IMG-LOGO

2025 මාර්තු මස 21 වන සිකුරාදා


ගොවියාත් රටත් සූරා කන රට බීජ ජාවාරම

පොළොව අපේ බීජ නොරටුන්ගේ

 

 

ලෝකයේ ඇති මහා පරිමාණ ජාවාරම් අතර “බීජ” ජාවාරම දෙවැනි වෙන්නේ ඖෂධ ජාවාරමට පමණි. එය කොතෙක්ද යන්න වසරකට මෙරටට ආනයනය කරන බීජ වර්ග, හා විදේශවලින් ගෙන්වන එළවළු, පළතුරු, ධාන්‍ය ප්‍රමාණය දෙස බැලීමෙන් වටහාගත හැකිය.   


එයට ළඟම උදාහරණය මෑතක දී සමාජයේ විවාදයට තුඩු දුන් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 12000ක් ආනයනයට රජයේ අවසරය හිමිවීම පෙන්වා දිය හැකිය. ත්‍රීපෝෂ නිෂ්පාදනයට යැයි කියා රුපියල් කෝටි 67කට අධික මුදලක් ගෙවා බඩ ඉරිඟු ඇට ගෙන්වීමේ ටෙන්ඩරය මෙරට ප්‍රධාන පෙළේ සමාගමකට ලබාදීමට අවසරය ඉල්ලන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ සෞඛ්‍ය හා කෘෂිකර්ම යන අමාත්‍යාංශ ද්විත්වය විසිනි.   


සේනා දළඹු හමුදාමය ප්‍රහාර හමුවේ දැනටමත් අකර්මණ්‍ය වී ඇති දේශීය බඩඉරිඟු වගාව තව තවත් වළපල්ලට යැවීමේ අරමුණින් මේසා බඩඉරිඟු ප්‍රමාණයක් ගෙන්වීමට රජය තීරණය කිරීම හෙළා දකින බව ගොවීන්ගේ පාර්ශ්වයෙන් කියැවේ.   


කෙසේ වෙතත් මෙය බඩ ඉරිඟු පමණක් නොව දේශීය වගාබිම්වල ඉබේ වැවෙනා භෝග වර්ගවල ඇට වර්ග ද මෙසේ මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනින් මෙරටට ආනයනය කරන බව නම් නොරහසකි.   


දේශීය කෘෂිකර්මය විදේශීය ගැති වීමේ ආනිසංස   


මෙරට භූමියට ආවේණික මෙන්ම ආවේණික නොවන ධාන්‍ය, එළවළු පලතුරු වැවෙනා පින් බිමකි. ඇතැම් ඒවා ක්‍රමවත් වගාවන් ලෙසත්, තවත් ඒවා අක්‍රමවත් ලෙසත්, තවත් ඒවා ඉබේ පැළවෙන බවත් අපි දනිමු. එහෙත් මෙකී දේශීය බීජ වර්ගවලින් බොහෝමයක් දැන් දැන් රටට ආගන්තුක වී හමාරය. මෙරට කෘෂි බිම්වල ආධිපත්‍ය පතුරාගෙන සිටිනුයේ මැලේසියන්, ආදී රටවලින් ගෙන්වන විදේශීය බීජ වර්ගයන්ය. මෙකී බීජ වර්ග ජාන වෙනස් කරන ලද ඒවාය. මේවායේ පරාගණය වීමක් නොමැත. ඒ නිසාම එදා රටට ආවේණිකව තිබූ බොහෝ එළවළු පලතුරු වර්ග මේ භූමියෙන් තුරන්ව ගොස් හමාරය.   


දශක කිහිපයකට පෙර මෙරට බිම්වල ඉබේ පැළවුණු පැණි කොමඩු, ගස්ලබු, අඹ, සීනි කැකිරි, වට්ටක්කා, මිරිස්, මොරගොල්ලාගම වට්ටක්කා ආදී ඒ ඒ ප්‍රදේශවලට ආවේණික වූ එළවළු හා පලතුරු දැන් දැක ගත නොහැකිය. ඒ වෙනුවට මැලේසියන්, ඩුබායි, ඉන්දියානු, පාකිස්තාන ආදී විවිධ රටවල නම් ඇති එළවළු, පලතුරු ධන ධාන්‍ය මෙරට ගොවිබිම්වල ආධිපත්‍යය ගෙන සිටී.   


එපමණක් නොව එදා ගොවිබිම්වල ගොවියාගේ මිතුරන් ලෙසත්, සතුරන් ලෙසත් සිටි කෘමීන් ආදී බොහෝ සත්ත්වයන් දැකගැනීමටවත් නොමැති තරම්ය.   


උදාහරණ ලෙස මෙරට වගාබිම්වල නිතර දැකිය හැකි වූ බත්කූරන්, මී මැස්සන්, මැඩියන්, සමනලයන්, කබරයන්, අම්බලම් පාළුවන්, වන්දා, තලගොයා, කළුකූඹීන් ආදී කෘමි හා සිවුපා සතුන් මේ වන විට වඳ වී ගොසින්ය. නැතහොත් ගහනය අඩු වෙලාය. දශක කිහිපයකට පෙර මෙරට දී කබරයා සුලබ සතෙකු වුවත් කෘෂි රසායන භාවිතය පැමිණි මුල් අවදියේ ගොවිබිම් පුරා කබරයන්ගේ කුණු වී ගිය ශරීර දැකගත හැකි වූ බව වයෝවෘද්ධ ගොවීන් සිහිපත් කරනුයේ කම්පාවෙනි.   


එමෙන්ම වගා බිම් ආශ්‍රිතව තිබූ වැව් ගංගා ඇළවේලි අමුණුවල, දියකඩිතිවල සිටි තිත්තයන්, දණ්ඩි, ලූලා, කණයා, කාවයියා ආදී වූ මත්ස්‍ය ගහනය අද වන විට එක්කෝ අඩුවෙලාය නැතහොත් නැත්තටම නැති වෙලාය. මේ ආදී වූ ආනිසංස රැසක් අපහට අත්දැකීමට සිදුවී ඇත.   

 

 

 

දේශීය වගාබිම්වල ජය කෙහෙළි නංවන විදෙස් බීජ   


එදා අප රටේ තිබූ තද කොළ පැහැ පැණි කොමඩු වෙනුවට අද ඇත්තේ කොමඩුය. ඒවා යේ බීජ ග්‍රෑම් සියයක් සිල්ලර මිල රුපියල් 4996/-ක් වැනි ඉහළ මිලකි. ඇතැම් කොමඩු වර්ගයක ඇට ග්‍රෑම් 10ක් රුපියල් 1450ක් වැනි ඉහළ මිලකි.   


ඒ අනුව බලනවිට මෙකී කොමඩු බීජ ඇට කිලෝවක වටිනාකම රුපියල් හතළිස් නව දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා වූ ඉහළ මිලකට අලෙවි වේ. මේවා ඇතැම්විට සහන මිලකට වෙළඳසල් හිමියන් විසින් ලබා දෙන බව ගොවීහු කියති.   


සාමාන්‍යයෙන් අක්කරයක් පමණ වූ ගොවිබිමකට බීජ ඇට ග්‍රෑම් 400ක් 500ක් පමණ අවශ්‍ය වේ. දින හැටකින් හැත්තෑවකින් මේ වාගේ අස්වනු නෙළිය හැකි අතර අක්කරයකින් සාමාන්‍යයෙන් කිලෝ දස දහසේ සිට 12000 දක්වා වූ ප්‍රමාණයක අස්වනු නෙළාගත හැකිය.  ඒ සා අස්වැන්නක් ලබා ගැනීමට බීජ සිටවූ දිනයේ පටන් යෙදිය යුතු කෘමි රසායනික, වල් නාශක, පොහොර ආදියේ මිල ද ඉතා ඉහළය. සුවිශේෂීම කාරණය වන්නේ මෙකී කෘෂි රසායනික වර්ග පමණක් නොව බීජ වර්ග ද ලබා ගැනීමට සිදුව ඇත්තේ ගොවීන්ගේ බසින් කියතොත් “වස කඩේ” එසේත් නැතිනම් “තෙල් කඩේ” මුදලාලි ගෙනි. වගාවට යෙදිය යුතු තෙල් පොහොර පමණක් නොව රෝගවලට පිළියම් ද යෝජනා කරනුයේ ඔවුන්ය.   
“මේ දවස්වල කොමඩු වැල්වලට අමුතු රෝගයක් හැදිලා. තෙල් කඩේ මුදලාලි පැළේ බලලා තෙල් වර්ගයක් ගහපුවාම හරි යයි කිව්වා. ඒ තෙල් එක ගැහුවා. කිසිම ප්‍රතිඵලයක් නැහැ. වැල්වල කොළ මැළවී ගෙන ගිහින් මැරිලා යනවා. ගෙඩි කඩන කාලේ නොවුණත් අපි කල් තියා ගෙඩි කඩා ගත්තා.”   


ඒ මිනුවන්ගැටේ, තලාකොළවැව පදිංචි කොමඩු ගොවියකු වන පී.එච්. විමලරත්න මහතාගේ හඬයි.   


මිනුවන්ගැටේ, 20 හන්දිය, කොනොත්ත තලාකොළ වැව, වෙල් නටුවා සුන්දර ගම ආදී ගම්මානවල ගොවීන්ගෙන් බහුතරය කොමඩු ගොවීන්ය. ඇතැම් කොමඩු වගා බිම් අලුතෙන් සකස් කරන අතර ඇතැම් බිම්වල අස්වනු නෙළමින් පවතී. තවත් ඒවා මාසයකින් හෝ දෙසතියකින් අස්වනු නෙළීමට ඇති බිම්ය.      


අප මේ ගම්මානවල දී දුටු තවත් සුවිශේෂී ලක්ෂණයක් නම් අස්වනු නෙළීමට පෙරම ගැනුම්කරුවන් හෝ අතරමැදි වෙළෙන්දන් පැමිණ තමාට අස්වැන්න ලබාදෙන ලෙස පූර්වයෙන් ගොවීන් දැනුම්වත් කර ඇති බවකි. එසේම මේ දිනවල කොමඩු කිලෝවක් සඳහා උපරිමව රුපියල් 70ක තොග මිලක් ගොවීන්ට ලැබෙන අතර වෙළෙඳපොළේ සිල්ලර මිල රුපියල් 140 දක්වා ඉහළ මිලකට තීරණය වී ඇත්තේ කොමඩු ඵලදාවේ හිඟකම නිසාය. එහෙත් ගොවිබිම්වලට බලපා ඇති “නොදන්නා රෝගය” ගොවීන්ගේ පැතුම්මල් සුනු විසුනු කර දැමීමට ආසන්නය.   


ඒ කොමඩු ගොවීන්ගේ ඛේදවාකයයි. පාරිභෝගිකයන් වන දේශීය ජනයා දැන් දැන් දේශීය “පැණි කොමඩු” වෙනුවට “මැලේසියන් කොමඩු” අනුභව කරයි. ඒවායේ පැණි රස වෙනුවට ඇත්තේ දිය රසය. පැණි රස වැඩි වී නම් අධික ලෙස තෙල් පොහොර, ජලය යෙදිය යුතුය.   


සුවිශේෂීම කාරණය නම් මේ කොමඩුවලින් ලබා ගන්නා බීජවලින් නැවත සාර්ථක පැළ ලබාගත නොහැකි වීමය. එමෙන්ම එසේ පැළ කර ගත්තත් ඒවායේ ආයු කාලය කෙටිවන අතර, අස්වැන්න කෘෂය. නැතහොත් අස්වැන්නට පෙරම පැළ මැරී යෑම සිදුවේ. අපට හමුවූ වෙල් නටුවේ කොමඩු ගොවියකු වන සුනිල් ජයරත්න මහතා ඇතුළු ගොවීන් කිහිප දෙනෙකුම කීවේ තමන් වසර පහළොවකට අධික කාලයක් තිස්සේ කොමඩු වගා කළත් ඒවායේ බීජ වලින් නැවත සිටුවීමට බියවූ බවකි. බිම් සකසා තෙල්, පොහොර, යොදා මාස ගණනාවක් ගතවූ පසු තමන්ට පසුතැවීමට සිදුවුවහොත් යන බිය නිසා ඔවුහු බොහෝ දෙනා නැවත නැවත අලුතින්ම බීජ මිලට ගෙන වගා කරති.   

  
අනතුරට ලක්විය හැකි භෝග 

 
මෙකී භෝගවලට අමතරව දේශීය අඹ, කෙසෙල්, දොඩම්, බටු, වැටකොළු, මිරිස් ආදිය ද දැන් දැන් අනතුරකට ලක් වී ඇති බව පරිසර සංවිධාන හා දේශීය බීජ රැක ගැනීම වෙනුවෙන් හඬ නගන සංවිධානවල අදහසය. දේශීය වෙළෙඳපොළේ ඉහළ මිලකට අලෙවි වන කර්තකොළම්බන් නමැති අඹ වර්ගය වෙනුවට ආදේශිත “ටොම් ජේඩ්” නම් අඹ වර්ගයක් ටිකෙන් ටික දේශීය වෙ​ෙළඳපොළ හා පාරිභෝගිකයා ආක්‍රමණය කරමින් සිටී.   


එපමණක් නොව ඉකුත් මාස කිහිපයක පටන් කර්තකොළම්බන් ගස්වලට ද “අමුතු පහේ රෝගයක්” වැලඳී ඇති අතර එයට නිශ්චිත හේතුවක් හෝ රෝගය වළක්වාගත හැකි ක්‍රමවේදයක් ද නොමැති බව ගොවි මහත්වරුන්ගේ අදහසයි.   


වාරියපොළ, නිකවැරටිය, මහව ආදී ප්‍රදේශවලින් දැනටමත් වාර්තා වී ඇති මේ හඳුනා නොගත් රෝගය නිසා ගසේ මල් කාලයේ පටන්ම හැලීමට ලක් වේ. මල් හට ගන්නා කාලයේදීම කූඩිත්තන් විශේෂයක් ගසේ කඳේත්, කොළවලත් වසා ගන්නා අතර ටිකෙන් ටික මල් හැලීම ශීඝ්‍ර වේ. ගොවීන් විසින් දුම් ගසා එළවීමට උත්සාහ කළත් සාර්ථ වන්නේ නැත.   


ඉන් අනතුරුව ඉතිරිවන මල්වලින් හටගන්නා ගෙඩි ද රෝගී ලක්ෂණ පෙන්නුම් කරයි. ගෙඩිය පණු රෝගයකට ලක්වූවා සේ පුපුරා, ඉරිතළා යන්නේ ගෙහිමියන්ගේ සිහින බොඳ කරමිනි. වෙනදාට අඹ පැහෙන කාලයට ගෙහිමියන්ගේ ද “කරල පැහෙන තරම්” සාර්ථක ආදායමක් මෙකී අඹ වර්ගයෙන් උපයා ගතහැකි වුවද මේ වනවිට එම සිහින බොඳවෙමින් පවතී.   


එපමණක් නොව අස්වැන්නකට කියා නෙළා ගන්නා ගෙඩිවල ද පිටපොත්ත කළු පැහැ ලප හෝ දුඹුරු පැහැ ලප රාශියකින් හෙබිය. ගසේ කඳ සුදු හා කළු පාටින් වර්ණ ගැන්වූවා සේ වර්ණවත්ය.   


මේ ගැන කෘෂිකර්ම නිලධාරීන්ට දැන්වුවත් ඔවුන් ගමට පැමිණීම වෙනුවට ගොවීන්ට “ගෙඩියක් හා කොළ රැගෙන සිය කාර්යාලවලට පැමිණීමට කියති. එම පුල්ලි රෝගය වෙනත් අඹ වර්ගවලට ද බලපා ඇති බව ප්‍රදේශ කිහිපයකම ගොවීහු පෙන්වා දුන්හ.   


මේවා දකිනවිට “ටොම් ජේඩ්”වලට වෙළෙඳපොළ සකසා ගැනීමට “මෙකී හඳුනා නොගත් රෝගයක්” අඹ ගස්වලට බෝකිරීමට කිසියම් කූට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක යැයි අප වෙත අදහස් පළ කළ ගොවීන්ගේ මතය විය. එය ප්‍රතික්ෂේප කිරීමට හෝ බැහැර කිරීමට අපට ද නොහැකිය. මන්දයත් අප කෘෂි ඉතිහාසයේ අහු මුළු පීරා බැලුවහොත් මෙරටට ආක්‍රමණකාරී බීජ, වල් පැළෑටි, කෘමීන් ගෙනා බවට සාක්ෂි කොතෙකුත් හමුවීමය. එකී නරක ඉතිහාසයකට උරුමකම් කියන අප ගොවීන් මෙකී ප්‍රශ්නය දෙස ද “සැකයකින්” බැලීම සාධාරණය.   


දේශීය බීජ වනසා විදේශීය වල් පැළ මෙරට බෝ වූ හැටි   


දශක කිහිපයකට පෙර මෙරටට වල් නාශක, කෘමි නාශක ආධුනික විය. හරිත විප්ලවයේ නාමයෙන් මෙරටට වල්නාශක, කෘමිනාශක, පොහොර හඳුන්වා දුන් යුගයේ පොහොරවල තිබී මෙරටට ආධුනික වූ වල් පැළවල බීජ සංක්‍රමණය වූ බව අනාවරණය විය. ඒවා මෙරට කෘෂිබිම්වල අරක් ගැනීමට පෙර මෙරට ගොයමට තිබුණේ “කුඩු මැට්ට” නම් වල් පැළෑටිය පමණි. එය විනාශ කිරීමට ද ගොවීන් අනුගමනය කළේ පරිසරයටත්, ගොයමටත්, ගොවියාටත් හානි කර නොවූ ක්‍රමයකි.   


දැන් වෙනවිට තත්ත්වය එසේ නොවේ. ගොයම් සඳහා බිත්තර බීජ පොහොර, වල් නාශක, කෘමි නාශක මෙකී නොකී සියල්ල දැන් දැන් අපට සපයනුයේ විදේශීය බහු ජාතික සමාගම් විසිනි. නැතහොත් ඒවාට අනුබද්ධ දේශීය සමාගම්ය. 

 
උදාහරණයක් ලෙස ග්ලයිපොසේට් හඳුන්වා දුන් මොන්සැන්ටෝ සමාගම ලෝක කෘෂිකර්මයෙන් සියයට 25කට සිය ආධිපත්‍යය පතුරාගෙන සිටින බහුජාතික සමාගමකි. මෙරට ජනප්‍රිය වූ කෘෂි රසායනික සමාගම් කිහිපයකම මූලික සමාගම මොන්සැන්ටෝය.   


මෙකී සමාගම්වල කෘෂි රසායන නිසා පසේ Ph අගය, ක්ෂුද්‍රජීවීන්, හියුමස් තට්ටු යනාදිය බරපතළ අවදානමකට ලක්ව ඇති බව ප්‍රසිද්ධ රහසකි. මේ වෙන විට කාබනික පොහොර යෙදීමේ උප සංස්කෘතියක් බිහිව ඇතත් දශක ගණනක් තිස්සේ විදෙස් කෘෂි රසායනවලට හුරුව ඇති පසට හා බීජ වර්ගවලට ඒවා ඔරොත්තු දෙන්නේ පෙර තරම් නොවන අගයකිනි.   


කෙසේ වෙතත් මෙකී සියල්ල දැන් උඩු යටිකුරු වී හමාරය. සේනා දළඹුවාගෙන් ආරම්භ වුණු මෙරට ගොඩ ගොවීන්ගේ ශෝකී කතාන්තරය මෙකී සියලු කාරණයන්ගේ කූටප්‍රාප්තියකි. එය උත්කර්ෂවත් වීමට පෙර වහ වහා නවතා ගත යුතු ක්‍රියාදාමයකි. ඒ සඳහා සියලු දෙනාම පාහේ “මෙකී විදෙස් ආක්‍රමණ” වලට එරෙහිව නැගී සිටීමට උත්සුක විය යුතුය.   


ශ්වේත වර්ණ ව්‍යාපාරයේ වෛද්‍ය රාජා විජේතුංග මහතා මෙසේ අදහස් දැක්වීය.   


“වාණිජ ව්‍යාපාරයක් නිසා ආනයනික බීජවල ප්‍රතිජනනය අඩුවීම ගැන ඒ ඒ සමාගම් ප්‍රකාශ කරලා තියෙන නිසා ඒ ගැන විවාදයක් නැත. අතිශය ලාභ ලබන ව්‍යාපාරයක් මේ බීජ ව්‍යාපාරය.   


හැමදාම මේ ආනයනික බීජ මතම රඳා පැවතීමට දැන් ගොවියට සිදු වෙලා. මේ බීජ නිර්මාණය වෙන්නේ මේ රටේ ඇති ස්වභාව පරිසරය තුළ නොවේ. එක්කෝ ඒ සමාගම්වල හරිතාගාරවල නැත්නම් විද්‍යාගාරවල. ඒ නිසා මේ බීජ අපේ රටේ පරිසරයේ පැළ කළ විට රටේ පරිසර තත්ත්වවලට ආපදාවලට ඔරොත්තු දීම පිළිබඳව ශක්තිය අඩුයි. ඒ කෘමීන්ට, වල් පැළවලට මේ බීජ ඔරොත්තු දෙනව ද කියන එකට වඩා ගොවියා බලන්නේ වැඩි අස්වැන්නක් කෙටි කාලයකින් ගැනීමයි.   


මේවා පැළ කිරීමෙන් පසු ඒවාට ඔරොත්තු දෙන පළිබෝධ හෝ යෙදීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් වෙලා. බීජ විකුණන සමාගම් මේවා නොකියා ගොවීන්ට මේවා විකිණීම වගේම පළිබෝධ අලෙවියත් කරනවා.   


දේශීය බීජ රැක ගැනීමේ ව්‍යාපාරයේ ලේකම් ඇලෙක්ස් තන්ත්‍රිආරච්චි මහතා මෙසේ කීය. 

 
“ඉස්සර බීජ වර්ග පිටරටින් ගෙන්වපුවාම මහ ඉලුප්පල්ලමට හරි ගන්නෝරුවට හරි දාලා ඒවා රටට, පසට, ගැළපෙනවද, ලෙඩරෝග තියෙනවද කියලා පරීක්ෂණ කරලා බැලුවා. අද එහෙම ක්‍රියාදාමයක් පේන්න නැහැ. සේනා දළඹුවගේ ප්‍රශ්නය වුණත් අපේ රටේ පරිසර පද්ධතියට නොගැළපෙන බීජ වර්ග සිටුවීම නිසා ඇතිවූ ප්‍රතිඵල ලෙසයි මම නම් දකින්නේ.   
සොබාදහමේ නීතිය අනුව හැමවිටම ජීව විද්‍යාත්මක සමබර බවක් තියෙනවා. මේ සේනා දළඹුවා වුණත් රසායනාගාරයක හදපු සතෙක් වෙන්න ඕනෑ. සොබාදහමේ කොහෙවත් “බැලන්ස්”නොවන සත්තු නැහැ. උදාහරණයක් ලෙස ජාන වෙනස් කරපු ඌරා බඩගින්නට කාගෙන කාගෙන යනවා වගේ මේ දළඹුවත් ඒ වගේ සතෙකු ද කියන සැකය අපට තියෙනවා. අසීමිත විදියට කාගෙන කාගෙන යන නිසා මේ සතා ස්වභාවධර්මයෙන් නිර්මාණය කරපු සතෙක් වෙන්න බැහැ.   


මේ ප්‍රමිතියක් නැති විනාශකාරී බීජ වර්ග ලංකාවට ගෙන්වීම ගැන නැවත සිතා බැලිය යුතු කාලය එළැඹිලා. අඹවලට හටගත් රෝගය පුද්ගලිකව මමත් අත්වින්ද කෙනෙක්.   
ඒ වගේම මේ සියලු හානිවලට හේතුව කෘෂිකර්මය කෑලි කෑලිවලට කඩල බෙදපු එකේ ප්‍රතිඵලය නිසා අද වන විට නිලධාරි වාදය ඔඩුදුවල වැඩි. මේකේ නරක ප්‍රතිඵල ඉතාම ඛේදනීයයි. ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීමයි ලොකුම අඩුපාඩුව.   


මේ රටේ ගොවීන්ගෙන් සියයට 70ක් ම අක්කර දෙකකට වඩා බිම් කොටසක් නැති අයයි. මේකෙන් සියයට 40ක් වියළි කලාපයේ වැහි හෝ ආසියානු මෝසමයි තීරණය කරන්නේ. මේ පාර අවුරුදු තුනකට පස්සේ ආව වැස්සෙන් පස්සේ මේ ගොවීන් බඩඉරිඟු වැව්වා. මේ දළඹුවා කන්නේ බඩඉරිඟු නොවේ ගොවියාගේ ජීවිතයයි.   

 

 


මේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නාමල් කරුණාරත්න මහතාගේ අදහසයි.  


ඉස්සර හේන්වලට ඇටමල්ලෙන් ගත්තු බීජ පැළ කළා. භෝග විවිධාංගීකරණයක් තිබ්බා. කෘමි හානි අඩුයි. පසු කාලයක අපේ බීජවල පලදාව ගැන ගොවීන්ගේ සැක සංකා අනුව දෙමුහුන් බීජ, හයිබ්‍රිඩ් භෝග ගැන අවධානය යොමු වුණේ.   


මේ හයිබ්‍රිඩ් තාක්ෂණය අපට ප්‍රතික්ෂේප කරන්න බැහැ. අපේ ගොවියා මේකට පුරුදු වුණා. වටානා, මැලේසියන් වට්ටක්කා ආදී ලෙස දැන් වෙළෙඳපොළේ විදේශීය වට්ටක්කා වර්ග දහයක් දොළහක් පමණ තියෙනවා. කෙටිකාලීනව, වැඩි අස්වැන්නක් ගතහැකි භෝග ගැන දැන් දැන් අවධානය වැඩියි.   


මුල් කාලේ බීජ සමාගම් නොමිලයේ බීජත් දීලා පොහොරත් දුන්නා. ඒ නිසයි ගොවියා මේවට හුරුවුණේ. මුල් කාලේ බීජවල රෝග අඩුයි. පසුව ලාභයට බීජ දුන්නා. ඒවාට ලෙඩ වැඩි වුණා. පසුකාලීනව මේවගේ බීජවල මිල වැඩි කළා පමණක් නොවේ හැදෙන රෝග ප්‍රමාණයත් වැඩි කළා. ඒක බොහෝම සැලසුම් සහගත වැඩක්.   


ගොවියෝ ළඟ දැන් බීජ නැහැ. මේ නිසා සමාගම්වලින්ම මේවා ගත යුතුයි. මේවට බේත් හේත් පවා හදන්නේ ඒ සමාගම්. එතකොට ඒවා කෑවම අපට පිළිකා, වකුගඩු රෝග, හෘද රෝග, දියවැඩියා යනාදිය ඇති වෙනවා. ඒවාට බේත් දෙන්නෙත් අර කියපු සමාගම්මයි. ඔන්න ඕකයි තත්ත්වය.   


පස්සේ වකුගඩු රෝගයෙන් ගැලවෙන්න වතුර පෙරළ බොන්න කියනවා. ඒ අටය වතුර ෆිල්ටර් හදලා දෙනවා. වතුර පෙරළ විකුණනවා. බෝතල් කරනවා. එක වැඩක් ඇතුළේ වැඩ කීයකට ගොවියා අහුවෙලාද? මේක නිසා ගොවියා හිරවෙලා ඉන්නේ. කොටින්ම ලෝකයම වෙළාගත් ජාවාරම්කාර බූවල්ලෙකුගේ දඬුවලට අපිත් නොදැනීම අහුවෙලා ඉවරයි.   
මේක අපිට කරන්න තිබුණේ විදේශීය හයිබ්‍රිඩ් බීජ වෙනුවට අපේ රටේ බීජ හයිබිඩ් කරලා ගොවියට දුන්න නම් ඔය ප්‍රශ්න නැහැ. එදා මේක කළේ නැහැ. දැන් නම් කෘෂිකර්ම අමාත්‍යාංශය ද මේ ගැන හිතලා තියෙනවා.

 

 

සටහන හා සේයාරූ
පුෂ්පා වීරසේකර



අදහස් (0)

ගොවියාත් රටත් සූරා කන රට බීජ ජාවාරම

ඔබේ අදහස් එවන්න

 

තක්සලාව

ත්‍රාසජනක අත්දැකීම්වලින් ට්‍රැවල් ලයිෆ් එක පුරවගන්න හදන සජීවනී
2025 මාර්තු මස 20 26 0

නිදහස් වෙලාවට පොඩ්ඩක් එළියට බැහැලා කොළ පාට, නිල් පාට ලෝකෙක අතරමං වෙන්න අපි කවුරුත් ආසයි.


ලෝකයේ තිබෙන ත්‍රාසජනක සංචාරක ස්ථාන
2025 මාර්තු මස 20 29 0

සංචාරක ලෝකය විවිධාකාර ය. පිරිසක් සොබාදහම විඳීමේ අරමුණින් සංචාරයේ යෙදෙති. තවත් පිරිසක් විනෝදාංශයක් ලෙසින් සංචාරය කරති.


පරිසරය විඳින , ගයන, වයන , රඟන දුල්නේත්ගේ ’’චාරිකා ඇස ’’
2025 මාර්තු මස 20 14 0

Travel with Dula යූ ටියුබ් නාලිකාව ඔස්සේ රට ම හඳුනාගත් දුල්නෙත් සෙතික ජයසූරිය මහනුවර කිංස්වුඩ් විදුහලේ 8 පන්තියේ සිසුවෙකි. අව්‍යාජ නිවුණු හඬකින් පරිසරයේ විවිධ ද


නන්පරෙයිල් වතුයාය මැදින් දෙව් ලොවට යමුද ?
2025 මාර්තු මස 20 32 0

මනරම් කඳු පන්තිවලින්, හෙල් - ගල් කුළුවලින් සහ දියඇලි කොමළියෙන් හැඩ ගැන්වෙනා මනරම් වූ සබරගමුවේ මතු ප්‍රකාශිත ඉසව්වෙහි සංචාරය කරන්නෙකුට මීදුම් වලාකුළු


සංචාරකයන් වශී කර ELLA ROCK
2025 මාර්තු මස 20 30 0

කඳු නගින්න පරිසරයේ සුන්දරත්වය විඳගaන්න කැමති අය බොහෝ ප්‍රිය කරන ගමනාන්තයක් වන “ඇල්ල රොක්” - ඇල්ල පුරවරයට උරුමකම් කියන අතිශය සුන්දර කඳුවැටියක්.


ඉන්දියාව සියල්ල අත්පත් කර ගනියි
2025 මාර්තු මස 19 14 0

ශූරයන් ගේ කුසලානය නිමා වූයේ - ඉන්දියාවට තවත් අයි.සී.සී. ශූරතාවක් ලබා දෙමිනි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 464 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1050 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 352 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site