“මිනිස්සු දන්නෙ මගේ නම විතරයි. මගේ ජීවිත කතාව දන්නෙ මම විතරයි” මේ සටහන පසුගිය ජනවාරි 28 වැනිදා තම මුහුණු පොතට එක්කර තිබුණේ අරුණ උදයන්ත පතිරණය. එසේ කියුවාට ඔබ ඔහුව දන්නේ නැත. ඔබ ඔහුව දන්නේ සංවිධිත පාතාල ප්‍රහාරයකින් කළුතරදී පසුගියදා ඝාතනය කෙරුණු “රණාලෙ සමයං” යැයි කිව්වොත්ය. එහෙත් තම ජීවිත කතාවට තවත් ඉතිරිව ඇත්තේ මාසයක පමණ කෙටි කාලයක් යැයි ඔහු එදින දැන සිටියේ නැත. 


ගෙන්දගම් පොළොවේ අවි ආයුධවලින් කොළඹ රට භීතියට පත්කළද සමයං උපත ලැබුවේ ගැමි මවුපිය දෙපළකට දාවය. ඒ පොළොන්නරුවේ ඇතුමල්පිටිය ග්‍රාමයේය. එහෙත් ගැමියකු වීමට සිටි අරුණගේ ඉරණම වෙනස් කරනු ලැබුවේ රණාලේ මවුපිය දෙපළක විසිනි. දරු සම්පත් අහිමිවීමේ වේදනාව විසින් අරුණව පොළොන්නරුවෙන් කොළඹට විතැන් කෙරිණි. වැදූ අම්මා නොවුණ මුත් හැදූ අම්මාගේ ආදරයත් රැකවරණයත් ඔහුට නොඅඩුව ලැබිණි. විශේෂයෙන්ම ඇය වෘත්තියෙන් ගුරුවරියක වීම නිසාත් ඇයගේ සැමියා විදුහල්පතිවරයකු වීම නිසාත් ජීවිතයේ මංහසර ගැන පාඩම්වලින් අරුණට අඩුවක් නොවිණි. 


අරුණ පාසල් ගියේ බෝමිරිය ජාතික පාසලටය. දෙගුරුන් ගුරුන් වීම නිසා අධ්‍යාපනයේ වැදගත්කම ගැන පාඩම් කියාදෙන්නට අමුතුවෙන් කවුරුවත් අවශ්‍ය වුණේ නැත. පවුලේ එකම දරුවා ද වූයේ අරුණ බැවින් ආදරය මෙන්ම සැළකිලි ද බෙදීගියේ නැත. සැප සම්පත්වලින් අඩුවක් නොමැතිව ගෙවී යන ළමා කාලය රළු පරළු වන්නට ගත්තේ උත්පත්ති කතා කට කතා ලෙසින් අරුණගේ කණට වැටෙන්නට ගනිද්දීය. තමා කාගේ කවුද යන්න සැබැවින්ම අරුණ දැනගත්තේ ද පසුකලෙකය. 


“මම 5 වසරෙදි තමයි තාත්තා මැරුණේ. අපිට දේපළ ගොඩක් තිබුණා. ඉතින් අම්මයි, මායි විතරක් නිසා දේපළ ගැන ඥාතීන් උනන්දු වුණා. “මම ඒ අසාධාරණ වැඩ ගැන කතාකරන්න ගියාම ‘හදාගත්ත එකා’ කියමින් මිනිස්සු මාව කොන්කළා.” ඒ අරුණගේම වචනයි. 


පියාගේ අභාවයත් සමග ගේ දොර වතු පිටි බලාගැනීමේ කාරිය පැටවුණේ අම්මාගේ උර මතය. මේ අතර හතරවටින් ඇසෙන ‘හදාගත්ත එකා’ යන සන්නාමය අරුණගේ හිතට තදින් කිඳාබැස්සේය. අධ්‍යාපනයට හිත යොමන්නට අම්මා දෙන ඔවා පරයමින් කෙලිලොල් ජීවිතයකට අරුණ ප්‍රියකරන්නට වූයේය. අරුණ අධ්‍යාපනය හැදෑරුවේ සාමාන්‍ය පෙළ දක්වා පමණය. 


“සිංහලවලටයි, ගණන්වලටයි මම ගොඩක් ආසාවෙන් හිටියේ. ගමේ ප්‍රශ්න එන්න එන්නම වැඩිවුණා. නෑදෑයො කියලා කවුරුත් නැති නිසා යාළුවන්ට තමයි බරවුණේ. මාවයි, අම්මවයි ගමෙන් එලවන්න තරහකාරයන් නොයෙක් දේ කරන්න ගත්තා. අම්මගෙන් ලක්ෂ තුනහමාරක කප්පම් ඉල්ලලා ගෙදරට ලියුමක් ආවා. මේ ඔක්කෝටම මුල වුණේ දේපොල වත්කම්. ඒ ලියුමෙන් කිව්වේ සල්ලි නොදුන්නොත් මාව මරණවයි කියලයි. අම්මා ඒකට බයවුණා. ඒ ගැන නවගමුව පොලිසියට පැමිණිල්ලකුත් දැම්මා. එතකොට මම 7 වසරේ. මේ ඉතිහාසෙ පොලිස් පොත්වලින් වුණත් හොයාගන්න පුළුවන්.” 


ඒ අරුණ කියූ කතාවය. සැබැවින්ම ඒවායේ ඇත්ත නැත්ත අවශ්‍ය නම් පොලිස් පොත්වලින් සෙවිය හැකිය. ඒ අරුණ පසුකාලයේ කළ දෑ වලින් ඔහුව පවිත්‍රකරණයට නොවේ. මේ කතාවට ඉතිහාසයක් ඇති නිසාය. 


අරුණ යන්නේ වැරැදි පාරේ බව ගුරුවරියක වූ අම්මාට ඉවෙන් මෙන් දැනෙන්නට විය. එහෙත් ඒ වනවිට ඇය පමා වැඩිය. යාළුවන් අතරේම දවස දිය කරන අරුණ යන්නට වූයේ අධිවේගී මාවතකය. සාමාන්‍ය පෙළින් පසුව පාසලට මෙන්ම නිවෙසට ද සමුදුන්නා හා සමාන විය. ඔහු වැඩිපුර කාලය ගතකළේ නිවෙසින් පිටය. 


“එතකොට මම ටික ටික යාළුවන්ගෙ ආශ්‍රයට යොමුවෙලා. අම්මා උපරිමෙන්ම මාව ගලවාගන්න බැලුවත් මට ඔක්කොම එපා වෙලා තිබුණෙ.” 


ඔහු මුලින්ම පොලිස් අත්අඩංගුවට පත්වුණේ 2007 දීය. 


“මාස තුනක් පොලිසියෙන් ඇතිවෙන්න ගුටිකෑවා. මාරක බයක් මට දැනුණෙ. මට අම්මාව මතක් වුණා. අම්මා අදටත් නොන්ඩි ගහනවා. මොකද මාව බලන්න ඇවිල්ලම වැටිලා අම්මට කකුලෙ අමාරුවක් හැදුණා.”


අරුණගේ මිතුරන් පවසන ආකාරයට පාතාල වැඩවලට අත ගැසූ පසුව පවා ඔහුට අම්මා ගැන තිබුණේ අසීමිත සෙනෙහසකි. කන බොන තැන්වල පාටි දමද්දී සමයං මව් ගුණ ගී ගැයීම පුරුද්දක් කරගෙන සිටියේය. ඔහු එලෙස නිතර ගැයූ ගීයක් වූයේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ “ජීවිතේ මල් අපෙ අම්මා ඉන්න කල්” යන ගීයයි. 


“මිනිහා වැඩියෙන්ම ඇහුවෙත් අම්මා ගැන කියන සිංදු. පාටියකට ගියොත් එහෙම සිංදුවක් බලෙන් හරි කියනවා. අපි එක්ක අම්මා ගැන කිය කියා අඬනවා. ඔය ජීවිතෙන් දැන්වත් අයින් වෙයං කියලා අපි හැමදාම කියනවා. මම කැමැති වුණත් මේකෙන් දැන් ආපහු හැරිලා ජීවත්වෙන්න බෑ කියලා එතකොට අපට කියනවා....” මේ වචන කීපය සමයංගේ ගමේ මිතුරකුගෙනි. සැබැවින්ම අන්තිමේදී සමයංගේ ප්‍රාණය නිරුද්ධ සිරුරට කරගහන්නට හිටියේ ද ඒ පරණ මිතුරු කැළ පමණි. 


සිහින කන්දක් තිබුණ ද වැරැදි මගක ගිය පසු ඒ සිහින යථාර්ථයක් කරගැනීම පහසු නැත. සිහිනවලින් වැසී තිබුණු ඇත්තට මුහුණදෙන විට ඒ ඇත්ත රුදුරු වන්නේත් කටුක වන්නේත් වැරැදි මග ගිය තැනැත්තාට පමණක් නොවේ. ඔහුගේ නෑ සිය මිතුරන්ට පවා ඒ වේදනාව හිමිවේ. ‘අවිගත්තෝ අවියෙන්ම නැසෙති’ යන ලෝක නියාමය කලින් කලට විවිධ චරිත විසින් අපට පසක් කරනු ලබයි. ලොව ඇත්තේ යාම් ඊම්ය. පාතාලයේ ඇත්තේ ඉක්මන් යාම්ය. කෙටි ජීවිතය. සමයංලාගේ පාතාල ජීවිතය මෙන්ම ඊට පූර්වයෙන් වූ ජීවිතය ගැන ද අප අවධානය යොමුකළ යුත්තේ වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් කැපවෙන්නන්ට ගත හැකි යමක් එහි ඇතැයි සිතෙන බැවිනි. ලොව සියලු යෑම් ඊම් මනුෂ්‍ය සමාජයක සිදුවන ස්මරණ බවට පත්වනු ඇත්තේ එවැනි මගෙකින් පමණි.

බිඟුන් මේනක ගමගේ