
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට දුන්නේ යැයි කියන ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ නිවසේ හිමිකාරිය වූ අනිකා විජේසූරිය මහත්මියට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සමීප ඥාතියකු බව කියන පුද්ගලයකුගෙන් තර්ජන එල්ල වූ බව බැඳුම්කර කොමිසම හමුවේ ඉකුත් දා කියැවිණි.
බැඳුම්කර කොමිසමේ කටයුතුවලට සහය වන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝ්දාගොඩ මහතා අනිකා විජේසූරිය මහත්මියට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සමීප ඥාතියකු බව කියන පුද්ගලයකුගෙන් ජීවිත තර්ජන එල්ල වී ඇති බව හෙළි කරමින් ජීවිත ආරක්‍ෂාව පතා ඇය විදේශ රටකට ගොස් ඇති බවද කොමිසම හමුවේ හෙළි කළේය.
අනිකා විජේසූරිය මහත්මියගේ වැඩිමහල් සහෝදරයා වන විජිත විජේසූරිය මහතාටත් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ බෑණා කෙනකු බව කියන ශනිල් නෙත්තිකුමාර නමැත්තා දුරකතන ඇමතුමක් මඟින් මරණීය තර්ජන එල්ලකොට ඇති බව දැනුම් දෙමින් විජේසූරිය පවුලටම පොලිස් ආරක්‍ෂාව ලබාදීමට පියවර ගන්නා ලෙස යසන්ත කෝ්දාගොඩ මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලන බව කොමිසම දැනුම් දුන්නේය.
කොමිසමේ සාක්කි විමසීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා කොමිසම රැස්වූ අවස්ථාවේදී කොමිසම ඇමතූ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අනිකා විජේසූරිය මහත්මිය මෙම කොමිසම හමුවේ සාක්කි දුන් සාක්කිකාරියකැයි පැවැසීය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ 2017 ජුලි 24 වැනිදා අනිකා විජේසූරිය මහත්මිය කොමිසම හමුවේ සාක්කි දුන් අතර කොමිසමට ඉතා වැදගත් තොරතුරු රාශියක් හෙළි කරමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතා විසින් බදු පදනම මත ලබාගත් ‘මොනැක් එපාර්ට්මන්ට්’ එකේ තිබූ ‘5 පී.එච්. 2’ ලිපිනයැති සිය නිවස අමාත්‍ය රවී කරුණානායක මහතාට පදිංචි වීමට දුන් බවත් පසු අවස්ථාවකදී එම නිවස තීර පාර්ශ්වීක ගිවිසුමක් මඟින් යළිත් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ බිරිඳ හා දියණිය අධ්‍යක්‍ෂධුර දරණ සමාගමකට විකුණූ බවත් හෙළි කළාය.
සුප‍්‍රකට ව්‍යාපාරිකයකු මෙන්ම ‘ඊස්ට් වෙස්ට්’ ප්‍රොපර්ටිස් ආයතනයේ හිමිකරු වන නහිල් විජේසූරිය මහතාගේ දියණිය වන ‘ඊස්ට් වෙස්ට්’ ප්‍රොපර්ටිස් ආයතනයේ අධ්‍යක්‍ෂිකා අනිකා විජේසූරිය මහත්මිය කොමිසමේ සාක්කි දෙමින් කොල්ලුපිටියේ ‘මොනැක් එපාර්ට්මන්ට්’ එකේ සිය නිවස බදු පදනම යටතේ රවී කරුණානායක මහතාගේ පවුලට පදිංචියට ලබාදීමට අදාළ ගිවිසුම විනාශ කරන ලෙස අර්ජුන් ඇලෝසියස් තමාට කළ දැනුම් දීම පිළිබඳව ද ඇය කොමිසම හමුවේ හෙළි කළාය.
‘රවී කරුණානායකගේ ගෙදරට කුලී ගෙවන්නේ අර්ජුන් ඇලෝසියස්’ යනුවෙන් සිංහල වෙබ් අඩවියක පළවී තිබූ ප‍්‍රවෘත්තිය දැකීමෙන් අනතුරුව තමන් ළඟ තිබූ අදාළ බදු ගිවිසුම විනාශ කළ බව දැනුම් දුන් අර්ජුන් ඇලෝසියස්, මා ළඟ ඇති බදු ගිවිසුම ද විනාශ කරන ලෙස මගෙන් ඉල්ලා සිටියත් මා එම බදු ගිවිසුම විනාශ කළේ නැතැයි අනිකා විජේසූරිය මහත්මිය කොමිසමේදී පැවසුවාය.
අනිකා විජේසූරිය මහත්මිය වැඩිදුරටත් කරුණු මෙසේ හෙළි කළාය.
ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන තමා කොළඹ ජාත්‍යන්තර පාසලෙන් හා කොළඹ බෞද්ධ කාන්තා විදුහලෙන් අධ්‍යාපනය ලබාගත් පසුව එක්සත් රාජධානියේ ‘ඩිරෑම්’ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර මූල්‍ය පිළිබඳව උපාධිය ලබාගත්තා. ලංකාවට පැමිණි පසුව පියාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධවී තමන්ගේ සමාගමෙන් වැලිගම කරන ව්‍යාපෘතියේ අධීක්‍ෂණ කටයුතුවලට මා ගියා.
2011 සහ 2012 කාලයේදී කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබනවිට මාගේ සමීප යාළුවෙක් හරහා මා අර්ජුන් ඇලෝසියස් මහතා හඳුනා ගත්තා.
අර්ජුන් ඇලෝසියස් මහතාගේ බිරිඳවන නටාෂා අංජලී මහෙන්ද්‍රන් මහත්මිය, අර්ජුන් මහෙන්ද්‍රන් මහතා සමඟ මෙන්ම අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ ද ඔහුගේ බිරිඳ වන මේලා කරුණානායක මහත්මිය සමගද 2016 පෙබරවාරි මාසයේදී සිට මා කතාකර තියෙනවා අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දුව වන ඔනෙල්ලා අපත් සමඟ කොළඹ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබුවා.
කොල්ලුපිටියේ ‘මොනෑක්’ තට්ටු නිවාස සංකීර්ණයේ ‘5 පී.එච්. 2’ දරන නිවස සුසන්ත රත්නායක මහතාගෙන් තමා මිලදී ගත් එකක්. එම නිවස මිලදී ගැනීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ 10ක පමණ මුදලක් වියදම්කොට එම නිවස ප‍්‍රතිසංස්කරණය කළත් 2010 ජනවාරි මාසයේදී පමණ තම ‘ඊස්ට් වෙස්ට්’ ප්‍රොපර්ටිස් සමාගමෙන් වැලිගම කළ ව්‍යාපෘතිවලට නිතර නිතර යෑමට සිදුවීම නිසා තම නිවස බදු දීමට මට අවශ්‍ය වුණ නිසා ඒ ගැන මා මගේ අයියට කී පසු අයියාගේ දැනුම් දීමට අනුව රවී කරුණානායක මහතාගේ බිරිඳ වන මේලා කරුණානායක මහත්මිය පැමිණ තම නිවස බැලුවා. පසුව ඇය කිසිවෙකුට හෝ දුරකතන ඇමතුමක් ගැනීමෙන් පසු මට කතා කොට ‘ඔයාගේ යාළුවෙක් එනවා’ කියා කීවත් යාළුවාගේ නමක් කීවේ නැහැ. ටික වේලාවකට පසු මා පුදුමයට පත් කරමින් අර්ජුන් ඇලෝසියස් තම නිවසට පැමිණියා.
මගේ නිවස කුලියට ගැනීමට අවශ්‍ය බවත් මෙම නිවස කුලියට ගන්න දින කිහිපයක් අවශ්‍ය බවත් පවසා ඔවුන් යන්න ගිය බවත් ඉන් අනතුරුව මා අර්ජුන් ඇලෝසියස්ට කතාකොට මාගේ අවසාන තීරණය දැනුම් දෙමින් තමාට රුපියල් මිලියන 10.2 ක මුදලක් අවශ්‍ය බව කී විට තී‍්‍ර පාර්ශ්වීක ගිවිසුමක් මත ඩී. ඇල්. ඩී. ඇෆ්. සේරම් නීතීඥ සමාගම හා වෝල් ඇන්ඩ් රෝ සමාගම මේ බදු ගිවිසුම් අත්සන්කොට අර්ජුන් ඇලෝසියස් මේ නිවස මගෙන් බද්දට අරගෙන රවී කරුණානායක මහතාගේ පවුලට මාස 06කට පදිංචිවීම සඳහා දුන්නා.
මෙම ගිවිසුම ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, අර්ජුන් ජෝශප් ඇලෝසියස් සහ සුරේන් මුතුරාජා යන මහත්වරුන් අධ්‍යක්‍ෂ ධුර දරන සමාගම සමඟ මා අත්සන් කළා.
දිනක් අර්ජුන් ඇලෝසියස් මට කතාකොට ‘රවී කරුණානායක නැවතිලා ඉන්න ගෙදරට කුලී ගෙවන්නේ අර්ජුන් ඇලෝසියස්’ කියා මාධ්‍යවල පළවී ඇති බව කීවා. සිංහළ වෙබ් අඩවිවල පළවී තිබූ එම පුවත් ඉංග‍්‍රීසී භාෂාවට පරිවර්ථනය කර මාත් කියෙව්වා. පසුව මා යළි අර්ජුන් ඇලෝසියස්ට කතාකොට එම බදු ගිවිසුම් පිළිබඳව විමසූ විට එම බදු ගිවිසුම් මා විනාශ කළා කියා ඔහු කීවත් එසේ කළේ ඇයි කියා මා ඔහුගෙන් ඇසුවේ නැහැ.
මාධ්‍ය වාර්තා පිළිබඳ මේලා කරුණානායක මහත්මියගෙන් විමසූ අවස්ථාවේදී ‘ඔවුන් වරදක් කරලා නැහැ’ කියා ඇය කීවා. ඒ වනවිට නිවසේ බදු ගිවිසුමේ කාලය අවසන්වී තිබුණා. ලබාගත් අත්තිකාරම් මුදල් වෙනුවෙන් තවත් මාස දෙකක කාලයක් ඔවුන්ට නිවස දුන්නා. ඉන්පසු මා මේලා කරුණානායක මහත්මියට කතාකොට නිවස මිලදී ගන්නැයි කී විට ඒ සඳහා කාලයක් දෙන්න කියලා ඇය කීවා.
නිවස විකිණීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදී රුපියල් මිලියන 180ක මුදලක් මට අවශ්‍ය බව දැනුම් දුන් පසු රුපියල් මිලියන 165ක මුදලකට නිවස ගැනීමට තීන්දු වුණා. ණයක් මඟින් මෙම මුදල පියවනවා කියූ ඔවුන් මෙරලිස් කරුණානායක, ඔනෙල්ලා කරුණානායක මහත්මීන් අධ්‍යක්‍ෂකවරුන් ලෙස කටයුතු කරන ‘ගෝලෝබල් ස්ටාර් ලොජිස්ටික් පුද්ගලික සමාගම’ නමට 2016 සැප්තැම්බර් 06 වැනිදා තම නිවස මිලදී ගත්තා.
පර්පචුවල් ටේෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් විජේසූරිය මහත්මිය තම නිවස බදු දෙන අවස්ථාවේදීම රවී කරුණානායක මහතා මෙම නිවසේ පදිංචි වන බව මා දන්නවා. ඒ වේලාවේ මට සල්ලි අවශ්‍යවී තිබුණා යැයි ද කීවාය.
මා ව්‍යාපාර මූල්‍ය සම්බන්ධයෙන් උපාධිධාරියකු වුවත් බදු ගිවිසුම හා විකිණුම්කරණය අතර වෙනස දන්නේ නැහැ. පාසල් කාලයේ මිතුරකු වන අර්ජුන් ඇලෝසියස් පිළිබඳව මට විශ්වාසයක් තියෙනවා.
බැඳුම්කර වංචාවන්ට ඈඳුණු තවත් සිද්ධීන් පිළිබඳව කොමිසම හමුවේ හෙළි කරන අවස්ථාවේදී තමන් උපන් රට දමා යෑමට සිදුවෙතැයි ඇය සිහිනෙකුදු නොසිතන්නට ඇත. සාක්කිකරුවන් ආරක්‍ෂා කිරීමට බව කියමින් විවිධ අණපනත් තිබුණත් ඒවායේ සීමාවන් නොදන්නා පිරිසක්ද සිටින බවට මෙය හොඳම නිදසුනකි.
‘ආරිය සිංහල ඇඳුම’ එහෙමත් නැත්නම් ‘ටයි කෝට්’ අඳින අපරාධකරුවා සෑම විටෙකම සිතන්නේ තමා හතර පෝයටම සිල් සමාදන්වන සැදැහැවතකු බවටද යන්න සැක සිතෙන අවස්ථාවන් බොහෝය, තම අපරාධය හෙළි කරමින් සාක්කි දෙන්නා, ඒ ගැන විමර්ශනය කරන නිලධාරියා හෝ තමන්ට එරෙහි නඩුව මෙහෙයවන නීතීපති දෙපාර්තමේන්තුවේ නීතීඥවරුන් තමන්ගේ පරම හතුරන් බවට අපරාධකරුවන් සිතන්නේදැයි සිතෙන අවස්ථාවන්ද බොහෝය.
අපරාධකරුවන් කරන්නේ සාක්කි දෙන්නාගේ, විමර්ශනය නිලධාරියාගේ හෝ රජයේ නීතීඥවරුන්ගේ වැරදි, කාපු බීපු හැටි, ගිය ගමන් එහෙමත් නැත්නම් ඔවුන්ගේ පෙම්වතියන් ගැන තොරතුරු සෙවීමය. ඒවා හෙළි කරන බවට තර්ජනය කිරීමය.
රට උදෙසා සිය ජීවීතයම කැප කරන බව කියන ඇතැම් ‘ආරිය සිංහල ඇඳුම’ එහෙමත් නැත්නම් ‘ටයි කෝට්’ අඳින අපරාධකරුවන් රට වෙනුවෙන් අමිල සේවයක් කරන නිලධාරීන්ට තමන්ගේ රැකියාවත් එපා කරවන තැනට වැඩ සිදුකළ බොහෝ අවස්ථා අප දැක ඇත. කවුරුන් හෝ එවැනි දෙයක් දැක නැතැයි පවසන්නේ නම් ඇසිය යුත්තේ ‘ලංකාවේ නෙමෙයිද ඉන්නේ’ යනුවෙනි.
‘ඉන්දියන් සාගරයේ මුතුඇටය’ වැඩි කල් නොගොස්ම ‘ඉන්දියන් සාගරයේ අමුතුඇටය’ වනවා නොඅණුමානය. මෙයට වගකිවයුත්තේ ඔබද? නැත්නම් මාද? තමන් තමන්ගෙන්ම ඇසිය යුතු මේ පැනයට කිසිවකුගේ කටින් කිසිම දාක කිසිම උත්තරයක් ගැනීමට හැකිවීම කෙසේ වෙතත් ‘මට මතක නැහැ’ යන රෝගය නම් උත්සන්න වනු නොඅනුමානය.
‘කාලය මැව් වෙනසක අරුමේ’..........
සටහන :
මනෝප‍්‍රිය ගුණසේකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd