අමුතු
ගති ඇති
මිනිස්සු
නියමිත ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රියෙන් ගමන් කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වැරැද්දකි. එවැනි අයකු ටිකට් පරීක්ෂකවරුන්ට හෝ ආරක්ෂක නිලධාරීන්ට අසුවුවහොත් ප්‍රවේශ පත්‍ර ගාස්තුවමෙන් දෙගුණයක් ඇතුළු දඩ මුදලක් ගෙවීමට සිදු විය හැකිය. එම දඩ මුදල ගෙවීමට නොහැකි වුවහොත් අදාළ පුද්ගලයාට සිදු වන්නේ කෙටි කාලීන සිර දඬුවමකට යටත්වීමට ය.
එසේ වුවද නියමිත ප්‍රවේශ පත්‍රයක් මිලදී නොගෙන දුම්රියේ ගමන් කරන මගීන්ගේ සංඛ්‍යාව ද සුළුපටු නොවේ. එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රුපියල් දස දහස් ගණනින් දඩ මුදල් අය කර ගත් අවස්ථා ගැන ද බොහෝවිට අසන්නට ලැබේ.
එවැන්නන් අතර වැඩි පුරම සිටින්නේ දඩබ්බර කොල්ලන්ය. එසේත් නැත්නම් හරි හමන් රැකියාවක් නොමැති කෙළිලොල් තරුණයන්ය. ඇතැම් යාචකයන් මෙලෙස ටිකට් නොගෙන දුම්රියට ගොඩවී මගීන්ගෙන් සිඟමන් යදින අවස්ථා ගැන ද නොයෙක්විට අසන්නට ලැබේ.
කෙසේ වෙතත් ඔවුන් සියලුදෙනාම පාහේ පුරුෂ පක්ෂයට අයත් වූවන් වීම විශේෂත්වයකි. එහෙත් අගනුවර ප්‍රසිද්ධ රාජ්‍ය බැංකු ශාඛාවක සේවයේ නියුතුව සිටි එක්තරා බැංකු නිලධාරිනියක විසි වසරකටත් වැඩි කාලයක් තිස්සේ කොළඹ කොටුවත්, කළුතරත් අතර සමුද්‍රදේවී දුම්රියේ ගමන් කළ බව ඇතැම්විට වැඩි දෙනෙකු නොදන්නවා විය හැකිය.
රාජ්‍ය බැංකුවක වැඩ කරන මාණ්ඩලික නිලධාරියකුට ලොකු පඩියක් ලැබෙනවා. ඉතින් එහෙව් කෙනෙක් මොකට ද හොරෙන් කෝච්චියේ යන්නේ. ඇරත් ගෑනු කෙනෙක් එහෙම යාවිද? යි අසන බොහෝ දෙනෙකුට ඒ කතාවේ සත්‍යතාව ගැන සැක සංකා සිතීම නිරායාසයෙන්ම සිදු වන්නකි. එහෙත් එකල ඇය සමඟ එකම දුම්රිය මැදිරියේ ගමන් කළ සෙසු කාර්යාල සේවක පිරිස ඒ ගැන අදටත් සිහිපත් කරන්නේ සිනාසෙමිනි.
ඒ කතාව සියේට සීයක් ඇත්ත. ඒ වගේම අපි හොඳින්ම දන්න දෙයක් තමයි එයා හොරෙන් කෝච්චියේ ගියේ අගහිඟකමට නං නෙවි. කොටින්ම එයා අපිට ලැබුණ පඩිය වගේ තුන් ගුණයක් විතර වැඩි පඩියක් ගත්තා.
ඉතින් එහෙම නං ඇයි එයා හොරෙන් කෝච්චියේ ගියේ? අහුවුණොත් එහෙම වස ලැජ්ජාවක්නේ.
අපිත් ඔය කතාව අනන්තවත් එයාගෙන් ඇහුවා. එතකොට එයා කියන්ෙන් ටිකට් නැතිව හොරෙන් කෝච්චියේ යනකොට පුදුම විදියේ ත්‍රීල් එකක් දැනෙනවා කියලයි.
වසර විස්සකටත් වැඩි කාලයක් ටිකට් නොමැතිව දුම්රියේ දිනපතා යාම් ඊම් කළ එම බැංකු නිලධාරිනියගේ මිතුරියක වන ඇය සඳහන් කරන අන්දමට තම යෙහෙළියගේ පවුලේ සහෝදරයන් කීප දෙනෙක්ම උසස් රැකියාවල නිරතව සිටියහ. පවුලේ එකම ගැහැනු දරුවා වන ඇය කුඩා වියේ දී හැදී වැඩී ඇත්තේ ද සියලු දෙනාගේම ආදර සත්කාර විඳිමිනි. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ඇය තරමක හිතුවක්කාරියකවීමයි.
එයා ඉස්ෙක්ලේ යන කාලේ අහල පහළ ඉස් කෝලවල කොල්ලොක් එක්ක හරි හරියට ගහහෙන තියෙනවා. ඒ නිසා කොල්ලො වැඩි දෙනෙක් ඒකිට බයයි.
ඇය සඳහන් කර තිබෙන අන්දමට තම මිතුරියට දුම්රියේ හොරෙන් ගමන් කිරීමේ පුරුද්ද ඇතිවී තිබෙන්නේ ද එම දඩබ්බර කොලු පිරිසගෙනි. එසේම තමන් ටිකට් නොගෙන හොරෙන් ගමන් කරන්නේ එමගින් දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක් සිදු කිරීමේ අදහසින් නොවන බව ඇය එකල පුන පුනා කියා තිබුණාය. මම මේ කෝච්චියේ ටිකට් අරගෙන ගියත්, ටිකට් නැතුව ගියත් සමුද්‍රදේවි හැමදාම මේ වෙලාවට යනවා එනවා. ඉතින් ඓහෙව් එකේ මම ටිකට් එකක් නැතුව ගියයි කියලා ආණ්ඩුවට අමුතු පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැනේ යි කියමින් තම ක්‍රියාව සාධාරණීකරණය කළ ඇය තමන් දිනපතා ගමන් කරන දුම්රිය මැදිරියේ සිටින වැඩි දෙනෙකුගේ ආදරය දිනා සිටියේ ඔවුන්ට සෑම මාසයකම පළමුවැනිදාට කට්ලට් පැටිස් රෝල්ස් සහ කේක් වැනි කෙටි කෑමවලින් බඩකඩ පුරා සංග්‍රහ කිරීමෙනි.
ඒ කාලේ කොළඹ කොටුවෙ ඉඳලා කළුතරට යන සීසන් ටිකට් එකකට රුපියල් හතළිහක් විතර තමයි ගෙවන්න සිද්ධ වුණේ. ඒත් මේ ළමයා මාස් පතා දාන පාටියට රුපියල් දාහකටත් වඩා යනවා. අපි එයාට ඒ ගැන කොච්චරවත් කිව්වා. ඒත් කනකටවත් ගත්තේ නැහැ.
එම බැංකු නිලධාරිනියගේ මිතුරිය එසේ කියන්නේ අතීතය ආවර්ජනය කරමිනි. සාමාන්‍යයෙන් සමුද්‍රදේවි කාර්යාල දුම්රියට ටිකට් පරීක්ෂකවරුන් නගින්නේ ඉතාමත් කලාතුරකිනි. එහෙත් දිනක් කල් තියා ලැබුන ටිකට් පරීක්ෂකවරුන් අතරමඟදී ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමට පටන්ගෙන තිබුණේ කිසිවක හෝ නොසිතූ ලෙසිනි.
එදින දුම්රිය පරීක්ෂකවරුන්ගේ අතටම අසුවීමට ගිය අපේ බැංකු නෝනා යන්තමින් බේරී ඇත්තේ තම මිතුරියන්ගේ දෙපා අතර සැඟවී ගෙනය. සෙසු කාර්යාල සේවිකාවන්ගේ උසුළු විසුළුවලට ලක්වී ඇඟ පත පවා පොඩි කරගෙන එම ටික්කන් පිරිස ආපසු යාමෙන් අනතුරුව අද නං මාර ත්‍රිල් එක මචං යි කියමින් ඇය තම මිතුරියන්ගේ දෙපා අතින් නැගී සිටියේ ඉහින් කනින් දූවිලි පෙරාගෙනය. ඊට පසුදා සමුද්‍රදේවිගේ තම මිතුරියන් පිරිසට චොක්ලට් සංග්‍රහයක් පැවැත් වූ ඇය ඉමහත් සතුටින් කියා සිටියේ කලින්දා ඇති වූ සිද්ධිය නිසා තම සිතට දැනුණු ත්‍රිල් එක කොපමණදැයි කිවහොත් මුළු රෑම තමන්ට එක මොහොතක්වත් නින්ද නොගිය බවය.
එකල දැන්මෙන් ජංඝම දුරකථන සේවයක් නොතිබිණි. එහෙයින් ටික්කන් දුම්රියට ගොඩවී ඇති බව එහි ගමන් කරන මගීන්ට දැන ගන්නට ලැබෙන්නේ කටින් කටය. නැතහොත් දුර තියා කෙරෙන හස්ත මුද්‍රාවෙනි.
දිනක් බැංකු නෝනා කළුතරින් දුම්රියට ගොඩවන විටම අම්බලන්ගොඩ සිට පැමිණෙන මිත්‍රයෙක්. නංගි අද සික්කො ඉන්නවායි කියා සිටියේ කල්තියා කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙසටය. ඒ අනුව සුපුරුදු අසුනෙහි හිඳගත් ඇය සූදානමින් පසු වුයේ කුමන මොහොතක හෝ එල්ල විය හැකි සතුරු උවදුරක් ගැන දැඩි අවධානයකිනි. මේ අතර ටිකට් ප්ලීස් යි කියමින් එක් තරුණ ආරක්ෂක නිලධාරියෙක් සෙනඟ අතර හිරවෙමින් ඇය අසලට ආවේය.
ඔහු දෙස නෙතගින් බලා මඳ සිනාවක් නැගූ අපේ බැංකු ෙනා්නා තම හෑන්ඩ් බෑගයෙන් ගත් වාර ප්‍රවේශ පත්‍රය ඔහු අතට දුන්නාය. ඇයගේ සිනාවෙන් හා නෙතග බැල්මෙන් කුල්මත් වූ ආරක්ෂක නිලධාරියා එම වාර ප්‍රවේශ පත්‍රය අතට ගෙන ඒ දෙසවත් නොබලා ආපසු දුන්නේ තෑන්කියු මිස් යි කියමිනි.
ආ... ඔයා කවද්ද සීසන් එක ගත්තේ?
අැය අසලම සිටි කාර්යාල සේවිකාව එසේ ඇසුවේ තම මිතුරිය වසර ගණනාවක සිට දුම්රියේ හොරෙන් ගමන් කරන බව දැන සිටි බැවිනි.
කෑ නොගහ හිටපං බං. ඒක අපේ අයියා ඉස්කෝලේ යන කාලේ ගත්ත පරණ සීසන් එකක් යි සිනාසෙමින් කී ඇය තම හෑන්ඩ් බෑගය තුළින් ඉවතට ගත් ඉංග්‍රීසි නව කතාපොත කිය වීමට පටන් ගත්තාය.
ධාවනය කෙරෙන දුම්රියක පා පාපුරුවේ එල්ලීමටත්, එයින් බිමට පැන ගැනීමත්, බැංකු නෝනාගේ සුපුරුදු විනෝදාංශයකි. ඇය ඒ සඳහා පුහුණුව ලැබුවේ කළුතර බාලිකාවේ අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලයේ සිටය. කෙසේ වෙතත් බැංකු රැකියාව ලැබීමෙන් පසු ඇය තම සුපුරුදු විනෝදාංශය නතර කරන ලද්දේ සාරිය ඇඳගෙන දුවන දුම්රියෙන් පැනීමටගොස් පය ලිස්සා වැටුණහොත් සිදුවිය හැකි අනතුර පිළිබඳව කල්තියා වැටහී යාමෙන් පසුවය.
එකල සමුද්‍රදේවී කාර්යාල දුම්රිය ප්‍රවේශ පත්‍ර නොගෙන දිනපතා යාම් ඊම් කළ පුරුෂ පක්ෂයට අයත් කීප දෙනෙක්ම සිටියහ. එහෙත් ඒ සියලු දෙනාටම වඩා බැංකු නෝනා සුවිශේෂී වූයේ ඇය දුම්රියෙන් ගමන් කළ විසි වසර තුළ කිසිම දවසක ටික්කන්ගේ ග්‍රහණයට අසුවී නැති බැවිනි.
ඇයට දුම්රිය ධාවනයක් සිදු නොවන ප්‍රදේශයක පිහිටි බැංකු ශාඛාවක කළමනාකාර ධූරයකට උසස් වීමක් ලැබුණේ මේ අතරතුරය. එතෙක් අගනුවර ආශ්රිත බැංකු ශාඛා කීපයකම සේවය කළ බැංකුනෝනා එම උසස් වීමක් ද සහිතව තමන්ට ලැබුණු මාරුව අවලංගු කර ගැනීමට සෑහෙන උත්සාහයක් දැරුව ද ඒ සියලු උත්සාහයන් අසාර්ථක විය. අන්තිමේදී තමන්ට ලැබුණු ස්ථාන මාරුව පිළි ගැනීමට ඇයට සිදු වූ අතර ඒ නිමිත්තෙන් පැවැති සමු දීමේ සාදයේ සුවිශේෂී අංගයක් වූයේ දුම්රියේ මිතුරු කැල විසින් අවලංගු වූ දුම්රිය ප්‍රවේශ පත්‍රවලින් සැදූ මාලයක් ඇයගේ ගෙළ වටා පැලඳ වීමයි.
නිහාල් ජගත් චන්ද්‍ර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාවෙන් සමාජයට දෙන්නේ වැරදි ආදර්ශයක්. මේ වගේ ගැහැණු සහ පිරිමි නිසා තමයි මේ රට දුප්පත් වෙලා තියෙන්නේ. මේක ලොකු හපන්කමක් කියල හිතන්න එපා. තමන් ගැන ලැජ්ජා වෙන්න ඕනනේ. තමන් මැරෙන දවසට තමන් මේ රටට කරපු මේ වංචාව ගැන තමන්ට දුක් වෙන්න වෙයි.
දේශපාලකයෝ ලංකාවට කරන පාඩු, හොරකම්, වංචා, එක්ක බලන කොට ටිකට් නැතුව හොරෙන් යන එක මොකක්ද?
කවුරු කළත් ප්‍රවේශ පත්‍රයක් නැතිව යන එක හොරකමක්.
කළුතර බාලිකාවේ නමත් කෑවා. මෙය මොන අතකින්වත් කාටවත් ආදර්ශයක් ගන්න හොඳ දෙයක් නෙවෙයි. කොහොම කරත් කෝච්චිය යනවා. පාඩුව මොකක්ද කියන්න තරම් මෝඩ මනුස්සයෙක් ජීවිතේ ඉතුරු ටිකත් ආත්මාර්ථකාමීව තමයි ගෙනියනවා ඇත්තේ. කවදා හරි විවාහ වුනොත් සැමියාට සහ දරුවන්ට දෙවි පිහිට තමයි ඉතින්.
මේක මානසික රෝගයක් විය හැකිය මම අහලා තියෙනවා සමහර ලොකු මිනිස්සුත් සාප්පු සංකීර්ණ වලින් පුංචි පුංචි දේවල් හොරකම් කරනවා කියලා
දුප්පත් රටේ දුප්පත්කම වැඩි කරන්න මෙයා වසර 20 ක්ම දායක වෙලා තියෙනවා. දුගී කම්කරුවෙක්වත් නොකරන පහත් වැඩක්. ලොකු පඩියක් අරන් නොමිලේ කෝච්චියේ යන්නේ ඇයි? රට ගැන කිසිම හැඟීමක් නැතිකම තමා පේන්නේ. වෙන රටවල කුඩාම ළමයි පවා නීති ගරුකයි. මෙවැනි කතාවක් කාටවත් ආදර්ශයක් නෙමෙයි
දැන් ඔය ඡන්දෙ ඉල්ලන්නේ හැමදේම කරනවා, සිංගප්පුරුවක් කරනවා කියලා. නොමිලේ දුම්රියෙන්, බස්රියෙන් යන්ඩ දෙනවා කියලත් කියයි.
ඉහත අදහස් දැක්වූ සැමගේ අදහස් වලට ගරුකරන අතර හොරකම සහ මානසික ආබාධ පිළිබද දැක්වූ අදහස් පිළිබදව මගේ අදහස නම් පොදුවේ සියලු මිනිසුන් දැන හෝ නොදැන හොරකම් කරන අතර සමහරු වෘත්තිය මට්ටමෙන් හොරකම් කරයි. ඉහත අදහස් දැක්වූ ඔබසැම අතරින්ද එවන් අයද සිටින බව ඔබලාගේ සිත්වලට නොරහසකි. මා ද දුම්රිය ප්‍රවේශපත නොමැතිව ගමන් කර ඇති වාර ගණන 10-12 ක් පමණ වේ. එය නීතියට අනුව වරදකි. එසේම අප සමාජයේ 90% කට ආසන්න පිරිසක් කිසියම් හෝ මානසික ආබාධ වලින් පෙළෙයි. අපේ රටේ අගමැති, මුදල් ඇමති සහ මහා බැංකු අධිපති ඇතුළු කණ්ඩායම කළ හොරකම බිලියන දහස් ගණනකි. එසේම අප රටේ පාර්ලිමේන්තු මැති, ඇමති, ජනපති, අගමැති, පළාත් සබා සහ ප්‍රා. සබා මැති, ඇමති වරු සහ සහ රාජ්‍ය සේවකයන්ගෙන් 95% ක් හොරු සහ වංචනිකයන්ය. ඔවුන්ගේ හොරකම් සහ වංචා විමර්ශනය කිරීම සදහාම FCID නමැ ති ආයතන පිහිටුවා ඇති අතර එහි සිටිනේද හොරු සහ වංචනිකයන්ය.
1970 දී පමණ මම කොළඹ විගණන කාර්යාලයේ වැඩ කරද්දී අම්බලන්ගොඩ ඉදන් එන යාලුවෙක් හිටියා. එයා සමුද්‍රදේවි දුම්රිය මගී සංගමයේ ගරු සභාපති. එයා ආඩම්බරයෙන් කියන්නේ කවදාවත් දුම්රියේ ටිකට් ගන්නේ නෑ කියලා. පසුව එයා උසස්වීම් ලබලා AAG කෙනෙක් වුනා. එක එයාට හරිම සතුටක්ලු. හොද යහපත් මනුස්සයා..
මහා ලොකු කෙරුවාව තමයි ඔය කියලා තියෙන්නේ......