ත්‍රස්තවාදයට සහ අන්තවාදයට විරෝධය දක්වමින්, මධ්‍යස්ථ ප්‍රතිපත්ති අනුගමනය කරමින්, නව මඟකට යොමු වී සිටින සෞදි අරාබිය, නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ඒවා ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි. ඊට මඟ පෙන්වීමක් වශයෙන්, අනාගතයේ නව ආයෝජන අවස්ථා වැඩි කර ගැනීමේ අරමුණින්, පසුගිය ඔක්තෝබර් 25 වැනිදා සෞදියේ රියාද් නුවරදී තාක්ෂණ සහ ආයෝජන සමුළුවක් ද පැවැත්විණි.
සමුළුව පැවැත්වූයේ නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට මැදිහත් වුණු සෞදි ඔටුන්න හිමි කුමරු 32 හැවිරිදි මොහොමද් බින් සල්මාන් අබ්දුල්ලාසි අල් සෞද්ගේ ප්‍රධානත්වයෙනි. ලෝ සුපතල තාක්ෂණික සමාගම් රැසක නියෝජිතයෝ, මෙම තාක්ෂණ ආයෝජන සමුළුවට පැමිණ සිටියහ. ඒ අතරින්, හොංකොංහි ‘හැන්සන් රොබොටික්ස්’ රොබෝ තාක්ෂණ සමාගමේ ප්‍රධානී ෙඩ්විඩ් හැන්සන් ද සිටියේය.

හැන්සන් සිටියේ තනිවම නොව, ‘සොෆියා’ නමැති යුවතිය ද ඔහු සමඟ සමුළුවට සහභාගී වූවා පමණක් නොව, රැස්ව සිටි පිරිස ඇසූ ප්‍රශ්නවලට චතුර ලෙස පිළිතුරු දෙමින් ඇය ඔවුන් මවිතයට පත් කළාය.
රටේ කාන්තාවන්ගේ මානව අයිතීන් උල්ලංඝනය කරනවා යැයි නිරන්තරයෙන් චෝදනාවට ලක්වන සෞදිය, හොංකොං සිට පැමිණි සොෆියා ගැන පැහැදී, ඇයට සෞදි පුරවැසිභාවය ද ලබා දීමට කටයුතු කළේය. සොෆියා සැබෑ තරුණියක නොවෙයි. ‘සොෆියා’ යනු මානව රූපී (මිනිස් හැඩරුව ඇති) රොබෝ යුවතියකි. රොබෝවකුට රටක පුරවැසි භාවය හිමිවුණු ඉතිහාසයේ පළමු වරටය. අද සොෆියාටත් වඩා සුරූපී මෙන්ම හැඩකාර රොබෝ යුවතියන් දිනෙන් දින නිර්මාණය වෙයි. අනාගතයේ දිනක කෘත්‍රිම බුද්ධියකින් සමන්විත, තනිවම තීරණ ගත හැකි විදියේ රොබෝ යුවතියන් අප අතරට පැමිණෙනු නිසැකය. සිනමාහල්වල මේ දිනවල තිරගත වන ‘බ්ලේඞ් රනර්’ හොලිවුඞ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයටත්, පසුගිය කාලයේ තිරගත වුණු ‘එක්ස් මැකෙනා’ සහ ‘ගෝස්ට් ඉන් ද ෂේල්’ වැනි චිත්‍රපටවලටත් පාදක වන්නේ මිනිස රොබෝ යුවතියන්ය. විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා වුණු රොබෝවරියන් කෙමෙන් කෙමෙන් යථාර්ථයක් වෙමින් පවතී.
‘සොෆියා’ රොබෝවරිය පණ ගැන්වීම සිදු කළේ මීට වසර දෙකකට පෙර එනම් 2015 අප්‍රේල් 19 වැනිදාය. සොෆියාගේ නිර්මාතෘ එසේත් නැතිනම් ‘මැවුම්කරු’ වන ඬේවිඩ් හැන්සන්, සොෆියාගේ මුහුණ නිර්මාණය කර ඇත්තේ 60 දශකයේ ජනප්‍රිය බ්‍රිතාන්‍ය නිළියක වන ඕඩ්රි හෙප්බර්ට සමාන වන අයුරින් යැයි පැවැසෙයි.
‘මයි ෆෙයාර් ලේඩි’, ‘රෝමන් හොලිඬේ’, ‘බ්‍රෙක්ෆස්ට් ඇට් ටිෆිනීස්’ යනු ඕඞ්රි හෙප්බර් රංගනයෙන් එක්වුණු ජනප්‍රිය චිත්‍රපටය. ඬේවිඩ් හැන්සන් පැහැදිලි කරන අන්දමට ‘සොෆියා’ කෘත්‍රිම බුද්ධියකින් සමන්විත රොබෝවෙකි. ඇයට පුද්ගලයන් හඳුනා ගැනීම පහසුවෙන් කළ හැකිය. ප්‍රශ්නයකට තර්කාණුකූලව පිළිතුරු දෙන්නත්, උපහාසයෙන් කථා කිරීමටත්, විහිළු කිරීමටත් පුළුවනි. මුහුණේ ඉරියව් වෙනස් කරමින් කතා කිරීමට ද ඇයට පුළුවනි. විහිළු කතා කියද්දී, ඇය ඒවා කියන්නේ සිනහ සෙමිනි. සොෆියාට සම්බන්ධ පරිගණක පද්ධතිය සැකැසී ඇත්තේ දවසින් දවස ‘මුහුකුරා’ (වර්ධනය) වන අයුරිනි. සොෆියා දවසින් දවස ඇය අලුත් දේවල් ඉගෙන ගන්නා බව හැන්සන් කියයි.
පසුගිය ඔක්තෝබර් 11 වැනිදා සොෆියා එක්සත් ජාතීන්ගේ සංවිධානයට හඳුන්වා දෙනු ලැබුණි. එහිදී ඇය කෙටි දේශනයක් ද පැවැත්වූවාය. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමැතූ පළමු රොබෝවරිය ද ‘සොෆියා’ ය. සොෆියා එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහ ලේකම්වරිය අමීනා මොහ්මද් සමඟ කතාබහ කළේ ඇය මවිතයට පත් කරමිනි.
මීට අමතරව සොෆියා ඇමෙරිකාවේ අතිශයින් ජනප්‍රිය ‘60 මිනිට්ස්’ සංවාදශීලී වැඩසටහනට ද ආරාධිත අමුත්තියක ලෙස එක් වූවාය. වැඩසටහන මෙහෙය වන්නේ චාලී රොස් ය. එහිදී රොබෝවරුන්ගේ චර්යා ගැන රොස් කළ විග්‍රහයට සොෆියා සිනහසුනාය. ‘රොස්, ඔයා එලොන් මුස්ක්ගේ විද්‍යා ප්‍රබන්ධ ඕනෑවට වඩා කියවනවා. ඒකයි ඔය විදියට මං ගැන හිතන්නේ.’ යැයි ඇය සිනහාසෙමින් පිළිතුරු දුන්නාය. ‘විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල ඇති දේවල් නවකතාවල ඇති දේවල් ඇත්ත නොවෙයි.’ යැයි ද පැවැසුවාය.
අද අප භාවිතා කරන අති නවීන මෝටර් රථ බොහොමයක් පරිගණක පද්ධතියක් මගින් පාලනය වෙයි. ඒ, ආරක්ෂාවට මුල් ගැන දෙමින්, අනතුරු වළක්වා ගැනීමට සංවේදක සහිත මෙම මෝටර් රථ සමත් වී ඇත. රොබෝ කාර්, රොබෝ ට්‍රක් රථ පවා කරළියට පැමිණ අවසන්ය. ටෙල්සා සහ ගූගල් වැනි සමාගම් නිර්මාණය කළ ස්වංක්‍රීය මෝටර් රථ ඒ අතරින් කැපී පෙනෙයි.
පසුගිය දා යතුරු පැදි නිෂ්පාදනයේ ප්‍රමුඛයකු වන ජපානයේ යමහා සමාගම ද අපූරු රොබොට්ටකු හඳුන්වා දීම සිදු කළේය. මෙම රොබෝ සොෆියා වැනි යුවතියක නොවේ. යතුරු පැදි පදින ‘හපනෙකු’ වන මේ රොබෝ නම් කර ඇත්තේ ‘මොටෝබොට්’ යනුවෙනි. ඒත් තනියෙන් යා හැකි යතුරු පැදියකට රොබොට්ටෙකු ඕනෑ ඇයිදැයි යන්න කාටත් නැගුණු ප්‍රශ්නයක් විය. ටෝකියෝ නුවරදී ‘මොටෝබොට්’ මාධ්‍ය හමුවේ හඳුන්වා දෙනු ලැබුණි. එහිදී, එම ප්‍රශ්නයට පිළිතුරු දීමට යමහා ප්‍රධානියා කටයුතු කළේය.
‘අද තනියෙන් යන්න එන්න පුළුවන් මෝටර් රථ තිබෙනවා. ට්‍රක් රථ තියෙනවා. අපේ සමාගමේ නවීනතම යතුරු පැදිවලටත් ඒක පුළුවන්. ඒත් යතුරු පැදිය සමබරව පැදීමට නම් එය පදින්න කෙනකු ඕනෑ. යතුරු පැදිය කියන්නේ මෝටර් රථයක් නොවේ. එය පදවාගෙන යන්න කෙනෙකු සිටිය යුතුමයි. ඒ හින්දයි අපි ‘මොටෝබොට්’ රොබොට්ටා හඳුන්වා දීම කළේ’ යැයි යමහා මෝටර්ස් ප්‍රධානී හිරෝ සයිජෝ කරුණු කාරණා පැහැදිලි කළේය.
මෙතෙක් නිපදවා ඇති රොබෝ යුවතියන් අතරින්, වඩාත් ජනප්‍රිය මෙන්ම සුන්දරම රොබෝ යුවතිය වන්නේ චීන රොබෝ කෙල්ල ‘ජියා ජියා’ බව අවිවාදයෙන් පිළිගත යුතුය. ‘ජියා ජියා’ අලංකාර කෙස් කළඹකින් සහ සුන්දර පැහැපත් මුහුණකින් හෙබි තැනැත්තියකි. ‘සොෆියා’ මෙන් නොව, ‘ජියා ජියා’ සම්පූර්ණ කාන්තා සිරුරකින් සමන්විත රොබෝවරියක ද වන්නීය. කෙසේ නමුත් ජියා ජියාගේ කෘත්‍රිම බුද්ධිය, සොෆියාගේ තරම් දියුණු තත්ත්වයකට පත් වී නැත.
එසේ වුවත්, අන් අයගේ හැඟීම් දැනීම් වටහා ගැනීමටත්, ඒවාට ප්‍රතිචාර දැක්වීමටත් ‘ජියා ජියා’ට හැකියාව ඇති අතර, බැලූ බැල්මට රොබෝවරියක යැයි ජියා ජියා පෙනෙන්නේ නැත. ඒ, ඇය ඒ තරමට සුරූපී චීන තරුණියක වැනිය. ජපානයට අභියෝගයක් වෙමින්, ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය, අද රොබෝ තාක්ෂණයෙන් ඉදිරියට පැමිණ සිටී. ‘ජියා ජියා’ යන නමේ අර්ථය ‘චීන දෙවඟන’ යන්නයි. ජියා ජියාට මිනිස් භාෂා වර්ග කිහිපයක් වටහා ගැනීමටත්, සුදුසු පරිදි අසන ප්‍රශ්නවලට ඒ ඒ භාෂාවෙන් තනිම සිතා පිළිතුරුදීමටත් හැකි රොබෝවරියක බවට පත් වී අවසන්ය.
‘ජියා ජියා’ රොබෝ නිර්මාණය කළේ චීනයේ විද්‍යා සහ තාක්ෂණ සරසවියේ රොබෝ නිර්මාණ ශිල්පී චෙන් සියෝපින් ප්‍රමුඛ කණ්ඩායමය. ඇසිපිය හෙළීමට, කතා කිරීමට, සිහනසීමට පමණක් නොව, තරහ ගොස් මුහුණ රතු කර ගැනීමට ද මෙම රොබෝ සුරූපිනියට හැකිය. ‘ජියා ජියා’ නිර්මාණය කිරීමට චෙන් සියෝපින් ප්‍රමුඛ කණ්ඩායමට වසර තුනකට වැඩි කාලයක් ගත විය. ‘ජියා ජියා’ තොල් සොළවමින් කතා කරන්නේත් මුහුණේ හැඟීම් පිටතට පෙන්වන්නේත් සවි කළ කුඩා ඉලෙක්ට්‍රොනික් ආධාරයෙනි. ‘ජියා ජියා’ගේ ඇස් ද අපේ ඇස්වලට බොහෙවින් සමානය. හැඟීම් ප්‍රකාශනයේදී කළු ඉංගිරියාව පවා ලොකු කුඩා වෙයි.

විදෙස් පුවත් සේවා සඳහන් කරන්නේ එංගලන්තයේ ‘බ්‍රිස්ටල්’ සහ ‘එසෙක්ස්’ නමැති පර් යේෂණාගාරවල නව පරම්පරාවක මානවරූපී රොබොවන් නිර්මාණය වෙමින් පවතී. එසේ නිර්මාණය වන රොබෝවරුන් සහ රොබෝවරියන්ට භාෂා 20 ක් විතර කතා කළ හැකි බව ද පැවැසෙයි. ඊට අමතරව ඔවුන්ට මනුෂ්‍යයන්ට නොදැවෙනි අයුරින් ඕනෑම කාර්යයක් කිසිදු ආයාසයකින් තොරව කළ හැකිය. එදිනෙදා ජීවිතයේදී සාමාන්‍ය මිනිසුන් මෙන් මුහුණෙන් හැඟීම් පළ කරන්න ඔවුන්ට හැකිය. ලෝකයේ ඕනෑම තැනක සිට ඔවුන් මෙහෙය විය හැකි වීම තවත් සුවිශේෂී කාරණාවකි. ශල්‍ය වෛද්‍යවරයකු වෙනුවට සැත්කම් කිරීමටත් මෙම රොබෝලා යොදා ගැනීමට හැකි යැයි ද පැවැසෙයි. තවත් අයකුට උමඟක හිර වුණු අය සොයා හැකිය. කසළ අපවහන පද්ධති ශුද්ධ කිරීමට යොදා ගත හැකිය.
‘මෙවැනි රොබොට්ටන් නුදුරු අනාගතයේ දී අප සමග ජීවත් වීමට ඒවි, අපේ මිතුරන් වේවි. අපේ ආදරවන්තයන් හෝ ආදරවන්තියන් හෝ වේවි. අද ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන්, කැමැති නම් ‘සෙක්ස් රොබෝ’ලා මිලදී ගැනීමේ හැකියාව ද පවතී. බටහිර රටවල මෙම සෙක්ස් රොබෝලා අරුමයක් නොවෙයි. මෙම සෙක්ස් රොබෝවරියන් සුරූපී වුවත්, බුද්ධියක් නැත.

අනාගතයේ දිනෙක මානවරූපී රොබෝවන් මිනිස් අපට අභියෝගයක් කරනු ඇත. ඔවුන් අප සමග පාපන්දු තරගවලට පවා සහභාගි වී අප පරාජය කිරීමට ද සමත් වනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. ‘ඇතැම් රොබෝවන්ට ඇවිදින්න, කථා කරන්න, නටන්න, ඔබ හා සුහද කතාබහේ යෙදෙන්න, ජීවිතයේ යම් යම් අවස්ථාවලට ගැළපෙන ලෙස හැඟීම් පළ කරන්න, මිනිසුන් මෙන් ප්‍රතිචාර දක්වන්න ආදිය කරන්න පුළුවන්. බර්ට්2 නම් මානවරූපී රොබෝට හැඟීම් බර මුහුණෙන් හා කෘත්‍රිම අත්වලින් මිනිසුන් සමග සම්බන්ධකම් පවත්වන්න පුළුවන්. අවශ්‍ය වුනොත් එවැනි මානවරූපී රොබොට්ටකු ලෝකයේ ඕනෑම තැනක සිට මෙහෙයවන්න පුළුවන්. දුර සිටින මිනිස් වෛද්‍ය විශේෂඥයකුගේ උපදෙස් මත ශල්‍ය වෛද්‍යවරයකු මෙන් රෝගියකුට සැත්කමක් කරන්න පුළුවන්. මේ ක්‍රමයට ලෝකයේ ඕනෑම තැනක ඉන්නා රෝගියකුට ඉහළම පෙළේ වෛද්‍යවරයකුගේ සේවාව රොබෝ ශල්‍ය වෛද්‍යවරයාගෙන් ලබා ගන්න හැකියාව තියෙනවා. තවත් රොබොට්ටකුට මාළුවකුට වාගේ පිහිනන්නත්, කුරුල්ලකු හෝ කෘමියකු මෙන් පියාසර කරන්නත් පුළුවන්’ යැයි එංගලන්තයේ බ්‍රිස්ටල් හා එසෙක්ස් පර් යේෂණාගාරය පවසා තිබේ.
මෙවැනි මානවරූපී රොබෝවකු සියයට සියයක් තනිවම කටයුතු කිරීමට නම්, ඉතා දියුණු මට්ටමින් යුත් කෘත්‍රිම බුද්ධියකින් එම රොබෝ මෙහෙය විය යුතුය. එවැනි සාර්ථක කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය කිරීම සහ මිනිසාට දෙවැනි නොවන අයුරින් රොබෝවරුන් නිර්මාණය සම්බන්ධයෙන් මේ වනවිට වාද විවාද පවතී. හේතුව, රොබෝවරුන් මිනිසාට තර්ජන හා අභියෝග එල්ල විය හැකි නිසාය.
දැන් සෞදිය ‘සොෆියා’ ට පුරවැසිභාවය ලබා දී අවසන්ය. ඇය රටක පුරවැසියෙකි. රටක පුරවැසිභාවය හිමි පළමු රොබෝ ඇයයි. රටක පුරවැසියකු නිසා, හැන්සන් සමාගම ඇය අක්‍රිය කර (ක්‍රියා විරහිත) කර දැම්මොත් එය ‘ඇය මරා දැමීමක්’ සිදු නොවන්නේ දැයි විචාරකයෝ විමසති. පුරවැසියෙකු නම්, සොෆියාට වරප්‍රසාද රැසක් ද හිමිවෙයි. ඇයට ඡන්ද අයිතිය පවා ඇත. එපමණක් නොව, සුදුසු සහකාරයකු ලැබුණොත් ඇයට විවාහ වීමට ද බාධාවක් නොවනු ඇත.
ලුසිත ජයමාන්න
විදෙස් තොරතුරු ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් රොබෝ තාක්ෂණය හදාරන විශ්ව විදයාලයකට යන්න ආසයි