මළවුන්ගේ 
    අනාවරණ

 

සේනානායක හා ඔහුගේ සහයක ඩික්සන්ගේ සිරුරු ගුවනින් මෙරටට ගෙන එනු ලැබුවේ හොංකොංහිදී මිය ගොස් දෙදිනකට පසුවය. පවුල් දෙකේම ඥාතීන්ගේ සෝ සුසුම් මධ්‍යයේ දේහයන් මෙරටට භාරදෙනු ලැබිණ. ඩොලර් මිලියන 700ක ගනුදෙනුවක් සඳහා සැතපුම් සිය ගණනක් ඈත හොංකොං වෙත ගිය සිය සැමියා සහ ඔහුගේ සහයකයා මෙසේ හදිසියේ එකම ආකාරයට මිය යාම කෙසේ නම් විශ්වාස කරන්නද? 

 

සේනානායක දක්ෂ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ නමින් ලියාපදිංචි වූ ව්‍යාපාර රැසක් මෙරට තිබේ. අවුරුදු තිස් අටක් වැනි වයසකදී ඔහු ළඟාකර ගත් ආර්ථික සාර්ථකත්වයන් පිළිබඳව පවුලේ ඥාතීන් තුළ තිබුණේ ආඩම්බර හැඟීමකි. සේනානායක හා ඩික්සන් විදේශ ගත වීම අසාමාන්‍ය දෙයක් නොවේ. නිරන්තරයෙන්ම විවිධ ව්‍යාපාරික ගනුදෙනු සඳහා ඔවුන් විදේශ ගතවේ. මෙවර ඔවුන් හොංකොං බලා පිටත් වුණේ කලින් සාකච්ඡා කර එකඟතාවකට පැමිණි ව්‍යාපාරික කටයුත්තක් අවසන් කර ගිවිසුමකට එළැඹී මුදල් ලබාගැනීමටය. 


හොංකොං ගිය ඔවුහු දින දෙකක් තුළ සිය රාජකාරි අවසන් කරගත්හ. ඒ කාලය තුළ ඔවුහු සිය බිරින්දෑවරුන් හා දරුවන් සමග දුරකථන, ස්කයිප් හා ඊමේල් මගින් සම්බන්ධතා පවත්වාගෙන ගියහ. එහෙත් ගනුදෙනුව සිදු වූ දිනයේ රාත්‍රියෙන් පසු පසු දින සවස් වෙන තුරු ද මේ දෙදෙනා සම්බන්ධ කරගැනීමට නොහැකි වීම නිසා බිරින්දෑවරු කලබලයට පත්වූහ. 


‘‘දුලානි අක්කා, අපේ හස්බන්ඩ්ගෙන් කිසිම මැසේජ් එකක් නැහැනේ අනේ’’ 


‘‘ඒක තමයි සරෝජා, අපේ හස්බන්ඩ්ගෙනුත් කිසිම මැසේජ් එකක් නැහැ. මමත් ඔය දෙන්නටම ට්‍රයි කළා. ඒත් වැඩක් වුණේ නැහැ’’ 


‘‘දැන් අපි මොකද කරන්නේ අක්කා?’’ 


‘‘අපි එයාලා නැවතිලා හිටපු හෝටලයේ මැනේජර්ට කතා කරලා බලමුද?’’ 


දෙදෙනා අන්තර්ජාලය ඔස්සේ තොරතුරු සොයාගෙන හෝටලයේ කළමනාකරුට ඇමතුමක් ලබාගත්හ. ව්‍යාපාරික දෙදෙනා පෙර දිනයේ රාත්‍රි එහි නවාතැන් ගැනීමට පැමිණ ඇති බව සටහන්ව ඇතත් ඔවුන් පිටව ගිය බවට කිසිදු සටහනක් නැති බව එමගින් දුලානි හා සරෝජා බිරින්දෑවරු දෙදෙනාට දැනගන්නට ලැබිණ. 


“අපි කාමරයට ගිහින් කතා කළා. නමුත් කිසිම කතාවක් නැහැ. දොර වහලා. ඒ දෙන්නා පිටව ගිය බවටත් කිසිම සටහනක් නැහැ.” 


“ප්ලිස් දොර කඩලා හරි බලන්න ඒ දෙන්නාට කරදරයක්ද දන්නේ නැහැ” 


“කලබල වෙන්න එපා, මෙතන එහෙම කරදරයක් වෙන්න ක්‍රමයක් නැහැ. අපි කෝකටත් විකල්ප යතුරෙන් දොර ඇරලා බලන්නම්” 


දුලානි හා සරෝජාගේ ඉල්ලීම නිසා හෝටල් කළමනාකාරිත්වය සේනානායක හා ඩික්සන් දෙදෙනා නවාතැන් ගෙන සිටි හෝටල් කාමරය විකල්ප යතුරක් භාවිතයෙන් විවෘත කරනු ලැබිණ. සේනානායක කාමරයේ සෝපාව මත වැටී සිටියේය. ඔහුගේ සිරුර සීතලව දරදඬු වී තිබිණ. ඒ අනුව ඔහු මියගොස් පැය ගණනාවක් ගතවී ඇති බව කළමනාකරුට තේරුම් ගියේය. ඩික්සන් සිටියේ නාන කාමරයේය. ඔහු ද වැටී සිටි ආකාරය අනුව මියගොස් ඇති බව කළමනාකරු ඇතුළු සේවක පිරිසට වැටහිණ. මේ දසුනෙන් ඔවුන් වික්ෂිප්ත භාවයට පත්වුවා පමණක් නොව මහත් කැළඹීමටද ලක්වූහ. ඒ එක පැත්තකින් ඔවුන් විදේශිකයන් වීම නිසාය. තවත් පැත්තකින් ඔවුන් තම හෝටල​ෙය් නවාතැන් ගත් දෙදෙනෙකි. එවැනි පුද්ගලයන් දෙදෙනෙක් එකම ලෙස තම හෝටලයේදී මියයාම පිළිබඳ පුවත හෝටලයට විදේශිකයන් පැමිණීම වළක්වාලනු ඇත. හෝටලයට අපකීර්තියක් එක්කරනු ඇත. ඔහු කැළඹීමට ලක්වුණේ ඒ නිසාය. එසේම මේ මරණ කෙසේ සිදුවීදැයි සිතාගැනීමටවත් ඔහුට නොහැකි වූයේ එය ඇතුළතින් අගුලු දමා තිබූ අතර පිටතින් කිසිවෙකු පැමිණි බවට හෝ ඇතුළේ සිට පිටතට ගිය බවට හෝ කිසිදු සලකුණක් දක්නට නොවීම නිසාය. 


හෝටලයේ කළමනාකරු එහි හිමිකරුටද දන්වා හොංකොං පොලිසියට මෙම සිදුවීම ගැන දැනුම් දුන්නේය. එසේම මේ පිළිබඳව ඔවුන්ගේ පවුලේ ඥාතීන්ටද දැනුම් දෙනු ලැබිණ. පොලිසිය එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කළේය. කාමරය තුළ කිසිවෙක් පොර බැදූ බවට සලකුණක්වත් දක්නට නැත. සියල්ල පිළිවෙළට පවතී. ඒ නිසා පිටතින් කිසිවෙකු පැමිණ හෝ මේ දෙදෙනා අතර හෝ අාරවුලක් ඇති වූ බවට සැකයක් ඇතිකර ගත හැකි තත්ත්වයක් එහි නොවිණ. දෙදෙනා අසළ හෝ කාමරයේ කිසිම තැනක ලේ සලකුණු කිසිවක් නොවූ අතර කාමරය තුළ කිසිදු ආයුධයක්ද තිබුණේ නැත. සේනානායක නිදා සිටි සෝපානය අසළ සුදු පැහැති කුඩු විශේෂයක් වැටී තිබී හමුවිය. පොලිසිය ඒවා කඩදාසියකට එකතු කරගනු ලැබුවේ රස පරීක්ෂක වෙත යොමු කිරීමටය. 

 

හොංකොංවලින් ගෙන්වා ගත් සුදු කුඩ කොකේන් බවද ඒවාට කිසිදු අපද්‍රව්‍යයක් මිශ්‍ර වී නැති බවද හෙළි විය. එසේම සේනානායකගේ බිරිඳ විසින් ලබාදුන් මත්ද්‍රව්‍ය පැකට්ටුවේ අඩංගු කොකේන්වල අපද්‍රව්‍ය විශාල වශයෙන් අඩංගුය. ඒ නිසා එහි සැර බාලය. මේ අනුව සේනානායක තමන්ගේ රටේදී ලබාගන්නා සැරබාල අපද්‍රව්‍ය සහිත කොකේන් භාවිත කර තිබූ පුරුද්දට ඒ මාත්‍රාවෙන්ම පිරිසිදු තත්ත්වයෙන් ඉහළ කොකේන් එන්නත් කරගෙන ඇති බවද පැහැදිලි විය. ඒ කොකේන්වල අධික සාන්ද්‍රණය ඔහුව ක්ෂණික මරණයකට ලක් කර ඇති බව පැහැදිලි විය. එහෙත් එහි තවදුරටත් හෙළි නොවූ කරුණක් ලෙස ඉතිරි වූයේ මේවා එන්නත් කර ගැනීමට භාවිත කළ සිරින්ජ හෝ වෙනත් උපකරණවලට මොනවාද සිදුවූයේ යන්නය. 

 


පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණ සේනානායක, ඩික්සන් දෙදෙනාගෙන් කිසිවෙකුගේ සිරුරුවල කිසිදු තුවාලයක් නොතිබුණ අතර අවම වශයෙන් සීරීමක්වත් නොවීය. සිරුරු කපා කළ පරීක්ෂාවේදී ද මාංශ පේෂි කිසිවක් තැළීමකට ලක්ව නැති වීම තුළින් පහරදීමක් සිදුව ඇති බවට සාක්ෂියක්ද සොයාගත නොහැකි විය. කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් මරණයට හේතුවක් සොයාගත නොහැකි විය. අනතුරුව සිරුරු දෙකම ඔවුන්ගේ රටට යැවීමට තීරණය විය. දුලානි හා සරෝජා දෙදෙනාට තම සැමියන්ගේ සිරුරු දින කීපයක් ඇතුළත ලැබුණේ ඒ තීරණය අනුවය. දෙදෙනාගේම පවුල්වල අයට මේ මරණ ගැන තිබුණේ දැඩි සැකයකි. ගනුදෙනුවක් සඳහා විදේශ ගත වී එය සාර්ථක වූ දිනයේ රාත්‍රියේ ගනුදෙනුවට ගිය ව්‍යාපාරික යුවළ හෝටල් කාමරයක් තුළ මිය ගිහින්. මේක සාමාන්‍ය මරණයක් ලෙස දකින්නේ කෙසේද? එකම ලෙස, එකම ආසන්න කාලයක් තුළ දෙදෙනාම මියයාම සාමාන්‍ය වෙන්නේ කෙසේද? ඩික්සන්ගේ බිරිඳ මෙය දෙවියන්ගේ කැමැත්ත ලෙස ගනිමින් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය ප්‍රතික්ෂේප කළේය. එහෙත් සේනානායකගේ බිරිඳ දුලානි තමන්ගේ රටේදී දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියාය. 


ඒ අනුව මෙය අධිකරණ වෛද්‍ය මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතාට පැවරිණ. අධිකරණ වෛද්‍යවරයාට මෙය පහසු කටයුත්තක් වූයේ නැත. මන්ද පළමු පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන අවස්ථාවේ බොහොමයක් ශරීර අවයව කපා විවෘත කර තිබූ නිසා නැවුම්ව ලැබිය හැකි සාක්ෂි සොයාගත නොහැකිවීම නිසාය. කෙසේ වුවද වෛද්‍යවරයා සිදුවීමට අදාළ හා මියගිය දෙදෙනා සම්බන්ධයෙන් සත්‍ය තොරතුර එක්රැස් කළේය. 


තරුණ, නිරෝගි පුද්ගලයන් දෙදෙනෙක් එකම ලෙස ස්වාභාවික රෝගයකට ගොදුරුව මියයාමට තිබෙන ඉඩකඩ ඉතාමත්ම අල්පය. එසේම දෙදෙනාම හොඳ නිරෝගි පුද්ගලයන් බව පවුලේ අයගෙන් සහ පවුලේ වෛද්‍යවරුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව පැහැදිල විය. මියයාමට තරම්වන කිසිදු රෝගයක් ඔවුන් හට තිබී නැත. මිනීමැරුමක් සිදුවූයේ නම් එය සිදුවිය යුත්තේ එක්කෝ වෙඩි තැබීමකින්. නැත්නම් පහරදීමකින්, එසේත් නැත්නම් ගෙල සිරකිරීමකින් විය යුතුය. එහෙත් එවැනි කිසිවක් සිදු වූ බවට පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී තොරතුරු අනාවරණය වී නොතිබිණ. එසේම මේ මරණ සිය දිවි නසාගැනීම් හැටියටද ගත හැකිය. එහෙත් එවැනි දෙයක් කරගැනීමට හේතු වන තරමේ ප්‍රමාණවත් සාක්ෂියක්ද වෛද්‍යවරයාට හමු නොවිණ. 


ක්ලෝරෆෝම් වැනි විෂ රසායනික ද්‍රව්‍යයක් ආඝ්‍රාණය කිරීමට සැලැස්වීමෙන් මරණය සිදුවීමට සැලැස්විය හැකිය. අධිකරණ වෛද්‍යවරයාගේ වැඩි අවධානය ඒ කාරණාව සම්බන්ධයෙන්ද යොමු විය. හෝටල් කාමරය තුළ එය උණුසුම් කිරීමට භාවිත කරන කාබන් මොනොක්සයිඩ් වායුව කාන්දුවීම හේතුවෙන් එය ආඝ්‍රාණය කිරීම සහ විදුලිසැර වැදීම වැනි පාරිසරික හේතු එකම කාමරයක සිටින දෙදෙනෙකු එකම ලෙස මිය යාමට හේතු විය හැකිය. එසේම අධික ලෙස මත්ද්‍රව්‍ය, මත්පෙති භාවිත කිරීම නිසාද එවැනි මරණ සිදුවිය හැකිය. 


මත්ද්‍රව්‍ය භාවිත කිරීමේදී පාවිච්චි කරන සිරින්ජ, ඇලුමිනියම් කඩදාසි හෝ මත්ද්‍රව්‍ය උණුසුම් කිරීමට ගන්නා උපකරණ ආදී කිසිවක් හෝටල් කාමරයේ තිබී හමු වූ බවට පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාවල සඳහන්ව නැත. එහෙත් එහි සුදු පැහැති කුඩක් තිබී හමුවී ඇත. එය එක්කෝ කොකේන් හෝ හෙරොයින් වැනි විෂ මත්ද්‍රව්‍යයක් විය හැකිය. එසේම ඒ ඇන්ත්‍රැක්ස් වැනි විෂබීජයක් හෝ ස්ට්‍රීච්නින් වැනි විෂ රසායනික ද්‍රව්‍යයක්ද විය හැකිය. 


මෘත ශරීරයේ බාහිරව කිසිදු තුවාලයක් නැත. විදුලි සැර වැදීම වැනි දෙයක් පිළිබඳ සාක්ෂිද නැත. අභ්‍යන්තර අවයව බොහොමයක් විච්ඡේදනය කර තිබූ බැවින් ඒවා තරමක් නරක්වී ගිය බවක් පෙනෙන්නට තිබිණ. එහෙයින් එවැනි වැදගත් සාක්ෂි සෙවීම ඵලදායී නොවනු ඇත. එහෙත් පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී සේනානායකගේ මුත්‍රාශය විවෘත කර තිබුණේ නැත. එබැවින් දෙවැනි පරීක්ෂණය සිදුවන අවස්ථාව ​ෙවන විටත් පිරී තිබූ මුත්‍රාශයෙන් මුත්‍රා සාම්පලයක් ගන්නට වෛද්‍යවරයාට හැකිවීම මහත් වාසනාවක් සේ ඔහුට දැනිණ. 


අනතුරුව සම මුළුමනින්ම ඊට යටින් තිබූ මේද තට්ටුවෙන් වෙන්වන සේ විච්ඡේදනය කළේය. එවිට සමට යටින් පිහිටි මේද සහ මාංශ පේෂි පටක පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය. සම මතුපිටට නොපෙනෙන සුලු ලේ ගැලීම් මෙහිදී නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව සේනානායකගේ දකුණු අතේ පිටි අල්ලේ හා වම් අතේ වැලමිට ආශ්‍රිතව සමට යටින් රුධිරය ගැලීම් දෙකක් නිරීක්ෂණය විය. මත්ද්‍රව්‍ය ශරීරයට එන්නත් කරගනු ලබන්නේ මෙම ස්ථාන ආශ්‍රිත රුධිර නාළ තුළට වන අතර එවිට මෙවැනි රුධිර වහනයන් සමට යටින් පවතිනු ඇත. එම ස්ථානවලින් ගත් පටක සාම්පලද රසායනික ද්‍රව්‍ය විශ්ලේෂණය සහ අන්වීක්ෂීය පටක පරීක්ෂණය සඳහා ද යොමු කරන ලදී. 


රසායනාගාර පරීක්ෂණ වාර්තා ලැබිණ. එහිදී වැදගත් සාක්ෂි රැසක් අධිකරණ වෛද්‍යවරයාට හමුවිය. එනම් සේනානායකගේ මුත්‍රාවල කොකේන් මත්ද්‍රව්‍යය මාරාන්තික ප්‍රමාණවලින් අඩංගු වී ඇති බවය. එලෙසම දකුණු අතේ පිටි අල්ලේ සහ වම් අතේ වැලමිට ආශ්‍රිතව ලබාගත් පටක තුළද කොකේන් අඩංගුව තිබිණ. මේ අනුව සේනානායක කොකේන් මත්ද්‍රව්‍යය අධික සාන්ද්‍රණවලින් ලබාගැනීම නිසා සිදු වූ මරණයක් බවට වෛද්‍යවරයාගේ නිගමනය විය. 


එහෙත් එකවර එම අදහස ප්‍රකාශයට පත් නොකළ වෛද්‍යවරයා ඔහුගේ බිරිඳ මුණ ගැසී තවත් තොරතුරු විචාරා බැලුවේය. එහිදී ඔහුගේ ව්‍යාපාර අතර රාත්‍රී සමාජශාලා කිපයක් පවතින බවත් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි නොවුණද ඉඳහිට එවැනි දෑ භාවිත කරන බවද සේනානායකගේ බිරිඳ දුලානි සේනානායක මහත්මිය හෙළිදරව් කළාය. ඉන්පසුව වෛද්‍යවරයා කළ ඉල්ලීම පරිදි දුලානි තම සැමියා භාවිත කිරීමට ගෙනවිත් තිබූ මත්ද්‍රව්‍ය පැකට්ටුවක්ද පොලිසිය වෙත දුන්නාය. 


හොංකොං අධිකරණ වෛද්‍ය නිලධාරියාට අමතා හෝටල් කාමරයේ තිබී හමු වූ සුදු කුඩෙන් කොටසක් ගුවන් මගින් ගෙන්වා ගැනීමටද වෛද්‍යවරයා සමත් විය. ඒ සඳහා දෙරටේම බලධාරීන්ගෙන් නොමද සහයක් ලැබිණ. එලෙස ලද කුඩ පරීක්ෂා කිරීමෙන් තවත් වැදගත් සාක්ෂි කීපයක් හමුවිය. එනම් හොංකොංවලින් ගෙන්වා ගත් සුදු කුඩ කොකේන් බවද ඒවාට කිසිදු අපද්‍රව්‍යයක් මිශ්‍ර වී නැති බවද හෙළි විය. එසේම සේනානායකගේ බිරිඳ විසින් දුන් මත්ද්‍රව්‍ය පැකට්ටුවේ අඩංගු කොකේන්වල අපද්‍රව්‍ය විශාල වශයෙන් අඩංගුය. ඒ නිසා එහි සැර බාලය. මේ අනුව සේනානායක තමන්ගේ රටේදී ලබාගන්නා සැර බාල අපද්‍රව්‍ය සහිත කොකේන් භාවිත කර තිබූ පුරුද්දට ඒ මාත්‍රාවෙන්ම පිරිසිදු තත්ත්වයෙන් ඉහළ කොකේන් එන්නත් කරගෙන ඇති බවද පැහැදිලි විය. ඒ කොකේන්වල අධික සාන්ද්‍රණය ඔහුව ක්ෂණික මරණයකට ලක් කර ඇති බව පැහැදිලි විය. එහෙත් එහි තවදුරටත් හෙළි නොවූ කරුණක් ලෙස ඉතිරි වූයේ මේවා එන්නත් කර ගැනීමට භාවිත කළ සිරින්ජ හෝ වෙනත් උපකරණවලට මොනවාද සිදුවූයේ යන්නය. 


එසේම දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුනොකර භූමදානය කළ සේනානායකගේ සහයකයා වන ඩික්සන්ගේ මරණයට හේතුව තවමත් අබිරහසකි. මන්ද ඒ ගැන පරීක්ෂා කිරීමට අධිකරණ වෛද්‍යවරයාට අවස්ථාවක් ලැබුණේ නැත. එහෙත් ඔවුන් දෙදෙනාම එකම තැනක එකම ආසන්න කාලසීමාවක් තුළ මියගොස් තිබූ නිසා එයටද හේතුව සේනානායක මියයාමට අදාළ වූ හේතුවම විය හැකිය. එහෙත් පරීක්ෂණයක් සිදුනොකර එවැනි නිගමනවලට එළැඹී තීරණ ලබාදීම ඔහුට කරන අසාධාරණයකි. ඒ අභිරහස ඔහුගේ සිරුරත් සමග වැළලී යනු ඇත. 

 


(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න) 

 

 

 


අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් සටහන් කළේ 
මුදිතා දයානන්ද