IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ස්ලෝවේනියාවේ ආශ්චර්ය පොස්තුමියා ගුහාව

රටකින්
  රටකට

 

 

 

යුගොස්ලාවියාව 1991 දී ක්‍රොඒෂියාව, සර්බියාව, ස්ලෝවේනියාව, බොස්නිසා හර්ෂගෝවිනාව, කොසෝවෝ සහ උතුරු මැසිඩෝනියාව වශයෙන් රටවල් හයකට බෙදී වෙන්විය. මින් ස්ලෝවේනියාව අද වනවිට සෙසු රටවල් පහට වඩා ආර්ථික, සමාජීය සහ දේශපාලන වශයෙන් ඉදිරියට පැමිණීමට සමත්ව සිටී.   


වර්ග කිලෝ මීටර් 20,273ක විශාලත්වයකින් යුත් ස්ලෝවේනියාවේ ජනගහනය විසි ලක්‍ෂ හැට දහසකි. කාර්මික, කෘෂිකාර්මික නිෂ්පාදන, වයින්, ජලය, දැව සහ සංචාරක කර්මාන්තය ඔවුන්ගේ ප්‍රධානතම ධනෝපායන මාර්ග වේ. මේ අතරිනුත් සංචාරක කර්මාන්තය සඳහා විශාල දායකත්වයක් ලබාදෙන එක්තරා ස්වාභාවික සම්පතක්, ස්වභාවික නිර්මාණයක් හේතුවෙන් ස්ලෝවේනියාව යුරෝප​ෙය් පමණක් නොව සෙසු රටවල් අතරද ප්‍රසිද්ධියක් උසුලයි. ස්ලෝවේනියාවට උරුම වූ ඒ ස්වභාවික නිර්මාණය ‘‘පොස්තුමියා හුණුගල් ගුහාවයි.’’   


ස්ලෝවේනියාව උතුරින් ඕස්ට්‍රියාවටත්, දකුණින් ක්‍රොඒෂියාවටත්, නැගෙනහිරින් හංගේරියාවටත් සහ බටහිරින් ඉතාලියටත් වශයෙන් මායිම් වේ. එහි අගනුවර වන ලුබියානා පිහිටා තිබෙන්නේ රට මැදට වන්නටය. පොස්තුමියා ගුහාව පිහිටා තිබෙන්නේ ලුබියානා අගනුවර සිට කිලෝමීටර් 53ක් දකුණට වන්නටය.   


පොස්තුමියා ඉතා රමණීය ප්‍රදේශයකි. බැලූ බැලූ අත හරිත වර්ණයෙන් බැබළේ. පරිසරය ඉතාමත් නිස්කලංකය. ඒ හරහා ගංගාවක්ද ගලා බසී. දිනපතා ලොව සතර දෙසින් දහස් සංඛ්‍යාත සංචාරකයින් පිරිසක් පැමිණියද ගුහාව අවට ප්‍රදේශය ඉතාමත් පිරිසිදුවත් මනා කළමනාකරණයකින් යුතුවත් පවත්වාගෙන යාමට එම ප්‍රදේශයේ නගර සභාව සමත්ව සිටී.   


පොස්තුමියා හුණු ගල් ගුහාව නැරඹීම සඳහා එක් අයකුගෙන් අය කරන මුදල යුරෝ 38කි. (රුපියල් 7500ක් පමණ). ගුහාව ආරම්භක ස්ථානයට පැමිණි පසු ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, ඉතාලි සහ ස්පාඤ්ඤ යන භාෂාවලින් කතා කරන මාර්ගෝපදේශකයන්ගේ සේවය ඔබට ලබාගත හැකිය.   


පිවිසුම් දොරේ සිට ගුහාව නැරඹීම සඳහා සූදානම් කර ඇති කුඩා විදුලි දුම්රිය වෙත යාමට මීටර් 115ක් පොළොව යටට පයින් යා යුතුය. පිටත නිර්මාණය කර ඇති මෙම කුඩා විදුලි දුම්රියේ සංචාරකයින් 100කට පමණ ගමන් කළ හැකිය. දුම්රියේ ගමන් කාලය විනාඩි 20ක් පමණ වේ. එම ගමන තරමක් තිගැස්සෙන සුළු සහ ගුප්ත ස්වභාවයකින් යුක්තය.   
මන්ද අප මේ යන්නේ පොළොව අභ්‍යන්තරයේ තිබෙන ගුහාවක් හරහා වන බැවිනි. මෙම දුම්රිය මාර්ගය සාදා ඇත්තේ හුණුගල් විද පසාරු කරමිනි. දුම්රිය ගමනින් පසු සංචාරකයින්ට තමන් තෝරාගත් භාෂාවට අදාළ මාර්ග උපදේශකවරයා සමඟ උමග දිගේ ගමන් කිරීමේ අවස්ථාව උදාවේ. එම ගමන කෙනෙකුට තම දිවිය තුළදී ලබාගත හැකි ඉතා විරල ගණයේ අත්දැකීමකි.   


උපදේශකවරයාගේ පැහැදිලි කිරීමට අනුව මෙම පොස්තුමියා හුණුගල් ගුහාවේ වයස වසර මිලියන 2.5කි. එනම් මානව ශිෂ්ටාචාරයේ ආරම්භක අවධියේය. ගුහාවේ සම්පූර්ණ දිග කිලෝමීටර් 20.5කි. නමුත් සංචාරකයන්ට නැරඹීමට අවස්ථාව ලැබෙන්නේ කිලෝ මීටර් හයක පමණ ප්‍රදේශයකි. මෙය යුරෝපයේ තිබෙන දිගම ගුහාවයි. ගුහාව අභ්‍යන්තරයේ උෂ්ණත්වය වසර පුරාම සෙල්සියස් අංශක 10ක රැඳී තිබීම විශේෂත්වයකි. ගුහාවේ ගර්භය කොතරම් ශක්තිමත් ද යත් රිච්ටර් මාපකයේ 8ක භූකම්පනයකට වුවද එය ඔරොත්තු දේ.   


පොස්තුමිය ගුහාව නිර්මාණය වී ඇති ආකාරය ඉතා පුදුම සහගතය. එනම් එය නිර්මාණය වී ඇත්තේ ජච්තා නමැති ගංගාව සිඳීයාමෙනි. ඒ කලින් සඳහන් කළ පරිදි මීට වසර ලක්‍ෂ 25කට පෙරය. කෙසේ වෙතත් එම ගංගාව පොස්තුමියා ගුහාවට යටින් යළි නිර්මාණය වී ගලා බසින බවට සොයා ගෙන තිබේ. ඊට සාක්‍ෂි දරමින් විශාල ජල දහරක් ගලාවිත් එක්වරම අඳුරු ගුහාවක් තුළට ගලාබසිනු දක්නට ලැබේ. මෙය තරමක් බිය උපදවන දර්ශනයක් මෙන්ම ස්ථානයක් ලෙසද හැඳින්විය හැකිය. ඊට හේතුව ඒ ජලය ගුහාවට වැටෙන විට නැගෙන ශබ්දය සහ අවට පවතින අඳුරු ස්වභාවයයි.   


ස්ලෝවේනියාව සතු ලෝක උරුමයක් වන මෙම පොස්තුමියා හුණුගල් ගුහාව මුලින්ම සොයා ගෙන ඇත්තේ වර්ෂ 1213දීය. නමුත් එය මහජනයා සඳහා විවෘත කර 1872 දී ලූතා චෙක් නමැත්තාගේ පුරෝගාමීත්වය යටතේය. සංචාරකයන්ට ගමන් කිරීම සඳහා දුම්රිය මාර්ගය විවෘත කර ඇත්තේ ඊට වසර 12කට පමණ පසුවය.   
පොස්තුමියා ගුහාව අභ්‍යන්තරය අමුතුම ලෝකයකි. එහි ඇති හුණුගල් පර්වත එක ස්ථානයක සුදු පැහැයෙන්ද තවත් ස්ථානයක කහ, තැඹිලි සහ රෝස පැහැයන්ගෙන්ද දිස්වේ. අඩියෙන් අඩිය විදුලි බල්බ දල්වා තිබෙන හෙයින් එය ඉතා ආලෝකමත්ව දිස්වේ.   


ගුහාවේ මීටර් 200ක් පමණ ගමන් කළ පසු පුද්ගලයන් 1000ක පමණ සිටිය හැකි වේදිකාවන් බඳු ස්ථානයක් හමුවේ. පොළොව අභ්‍යන්තරයේ මෙවැනි ස්ථානයක් තිබේද කියාවත් සිතා ගැනීමට අපහසුය. තවත් දුර ගිය පසු හමුවන්නේ පළමු ලෝක යුද සමයේ රුසියානු සිරකරුවන් විසින් සාදන ලද පාලමකි. එය ගුහාවේ බිම් මට්ටමේ සිට මීටර් 40ක් පමණ උසින් පිහිටා ඇත. වසර 100කටත් අධික කාලයක පෙර නිර්මාණය කළ මෙම පාලම සඳහා අමුද්‍රව්‍ය ගුහාව තුළට කෙසේ ගෙනාවේ දැයි සිතා ගැනීමට පවා අපහසුය.   
ගුහාවේ ඉහළ ඇත්තේ ඉතා උල් හැඩැති හුනුගල්ය. යම් විදියකින් ඉන් එකක් මිනිසකුගේ හිස මතට කඩා වැටුණහොත් ඔහු නියත වශයෙන්ම මියයනවා ඇත. එහෙත් සංචාරක උපදේශකවරයාගේ ස්ථිර අදහස වූයේ කිසිදා දිනක මෙම හුණුගල් උල් කඩා වැටෙන්නේ නැති බවයි. සමහර තැනක මෙම හුනුගල් පර්වත මීටර් 10කටත් වඩා උසය. මෙහි තවත් පුදුමය දනවන කරුණ වන්නේ මෙම හුණුගල් සෙන්ටිමීටරයක් වැවීමට වසර 100කටත් වැඩි කාලයක් ගත වීමයි.   

 

 


විනාඩි 20ක පමණ දුම්රිය ගමනින් පසු තවත් කිලෝමීටර් තුන හතරක් පයින් ගිය පසු අපට හමුවන්නේ පොස්තුමියා හුනුගල් ගුහාවේ මහා ආශ්චර්යයි. එනම් ලොව මෙම ගල්ගුහාව තුළදී පමණක් ජීවත් වන ‘ඔල්මා’ නමැති සලමන්දරා වර්ගයට අයත් අරුම පුදුම ජීවියා දැක බලා ගැනීමට හැකිවීමය. ප්‍රෙතෙව්ස් ඇන්ගුයිනස් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම සත්වයා මුලින්ම සොයාගෙන ඇත්තේ 1768දීය. දිගින් සෙන්ටිමීටර් 20ක් පමණ වන කිරි සුදට හුරු රෝස පැහැයෙන් යුත් ඔල්මා බිත්තරවලින් වැඩෙන සත්වයෙකි.   
ඔල්මාගේ ආයු කාලය වසර 100 පමණ වන බවත් ඌට වසර 10කටත් වඩා වැඩිකාලයක් කිසිදු අහරක් නොගෙන ජීවත් විය හැකි යැයි කීවොත් ඔබ විශ්වාස නොකරනු ඇත. නමුත් සත්‍යය එයයි. ඊට අමතරව ඔල්මාට වසර කිහිපයක් එක් ස්ථානයක නොසෙල් වී සිටීමට පුළුවන.   


වසර 2016 දී ඔල්මා සත්වයකුගේ බිත්තර 50ක් රක්කවා ඉන් බිත්තර 22කින් සාර්ථකව පැටවුන් ලබා ගැනිමට පෝස්තුමියා බලධාරීන් සමත් විය. මේ වන විට ගුහාවේ පිහිටි කුඩා ජල මාර්ග තුළ මෙම පැටවුන් දැඩි ආරක්‍ෂාකාරීව ජීවත් වේ. ඔවුන් ආහාර වන්නේ හුණුගල් මත වැඩෙන පාසි විශේෂයකි.   


ප්‍රසාද් සම්පත් ජයසිංහ   
ස්ලෝවේනියාවේ සංචාරයකින් පසු.   



අදහස් (0)

ස්ලෝවේනියාවේ ආශ්චර්ය පොස්තුමියා ගුහාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site