ධර්ම ගවේෂී

සරණාගමනය පිළිබඳව අප විසින් සංග්‍රහ කරන ලද පස්වන ලිපියෙහිදී සරණාගමනය පිළිබඳව දැනගත යුතු මූලික කරුණු අතර සරණත්‍රය කවරෙකු විසින් දේශනා කරන ලද්දේද? කොතැනකදී දේශනා කරන ලද්දේද? කවදා දේශනා කරන ලද්දේද? කවර කරුණක් අරභයා දේශනා කරන ලද්දේද? යන කරුණු පිළිබඳව අපි ඔබ දැනුම්වත් කළෙමු. මේ ලිපියෙන් අපි එහිම දිගුවක් හැටියට තවත් ධර්මානුකූල කරුණු කිහිපයක් පිළිබඳව දැනුම්වත් කරන්නට බලාපොරොත්තු වෙමු. 

බුද්ධත්වයෙන් අනතුරුව ප්‍රථමයෙන්ම දේශනා නොකරන ලද මෙය කුමක් නිසා අනතුරුව ප්‍රථම වශයෙන් දේශනා කරන ලද්දේද? යන කරුණු පිළිබඳව සරණාගමනයට පත්වන අයෙකු විසින් දැනගත යුතු බව සඳහන් කළා ඔබට මතක ඇතැයි සිතමි. 


බුදුරජාණන් වහන්සේගේ ශාසනය ප්‍රධාන වශයෙන් ත්‍රිවිධාකාර වෙති. පර්‍යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේධ ශාසනය යනුවෙනි. පර්‍යාප්ති ශාසනය යනු විනය පිටකය, සූත්‍ර පිටකය හා අභිධම්ම පිටකය යන පිටකත්‍රයත් අටුවා, ටීකා ආදී ග්‍රන්ථයනුත්ය. යම් භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ සාමණේර භික්‍ෂුවක හෝ සාමණේරී භික්‍ෂුණියක හෝ ශික්‍ෂා මානවකයෙකු හෝ ශික්‍ෂා මානවිකාවක හෝ ශ්‍රද්ධාවන්ත උපාසකයෙකු හෝ ශ්‍රද්ධාවන්ත උපාසිකාවක හෝ යන කවරෙකු විසින් හෝ ත්‍රිපිටක අටුවාදී ධර්ම ග්‍රන්ථයන් වනපොත් කිරීමකින් ධාරණය කර ගැනීමකින් හෝ පවත්වාගෙන එයිද එය පර්‍යාප්ති ශාසනය ආරක්‍ෂා කිරීම වේ. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයෙහි පැවති ප්‍රධාන ධූරයන් දෙක වන ග්‍රන්ථ ධූරය හා විදර්ශනා ධූරය යන ශාසන ධූරයන් දෙකෙන් පළමුවන ග්‍රන්ථ ධූරය පර්‍යාප්ති ශාසනයම වේ. 


පර්‍යාප්ති ශාසනය රහිතව ප්‍රතිපත්ති ශාසනයත් ප්‍රතිවේධ ශාසනයත් නොපවතින්නේමය. එසේ පවතින්නේ යැයි කිවහොත් එය අර්ථ විරහිත කරුණෙකි. පර්‍යාප්ති ශාසනය අතහැර දමා ප්‍රතිවේධය සොයන්නට යන කිසිවෙකුටත් බුදුරජාණන් වහන්සේගේ නිවන අරමුණු කරගත් ආකාරයෙන් ධ්‍යාන මාර්ගඵල නිර්වාණ සුවය ලැබිය නොහැකි බව මනාව පසක්කරගත යුතුව ඇත්තේ එබැවිනි. වර්තමානයේ පෙළ අටුවා වනපොත් කිරීමකින් තොරව නිවන් සුවය සොයා ගිය ගිහි පැවිදි බොහෝදෙනෙකුට ව්‍යාජ ධ්‍යාන මාර්ගඵල නිවන් ලැබී ඇත්තේ මෙම අඩුව නිසා බව විශේෂයෙන් අවධාරණය කළ යුතුය. ප්‍රතිපත්ති ශාසනය නම් ධූතාංග, චුද්දස ඛන්ධක, සීලය, සමථය, විදර්ශනාවය. නැතිනම් ප්‍රතිපත්ති ශාසනය පූර්වභාග ශාසනය හා ලෝකෝත්තර ශාසනය යනුවෙන් දෙයාකාරයකට බෙදා දැක්විය හැක. පූර්වභාග ප්‍රතිපදාව නම් සීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ගුණධර්මයන්ය. 


ධර්මය අවබෝධකර ගැනීම සඳහා ලෝකෝත්තර ප්‍රතිපදාවට බැසගැනීමට වර්ධනය කළ යුතු මූලික ප්‍රතිපදාව ලෙස මෙම පූර්වභාග ප්‍රතිපදාව දැක්විය හැක. නිර්වාන සුවය අධිගමනය කිරීම සඳහා සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන යන අංග පහ වර්ධනය කළ යුතුය. ප්‍රතිවේධ ශාසනය නම් සෝතාපන්න සකදාගාමී අනාගාමී අරහත් මාර්ගයන් සතරත්, සෝතාපන්න සකදාගාමී අනාගාමී අරහත් ඵලයත් සතරත්, නිර්වාණයත් යන නව ලෝකෝත්තර ධර්මයෝය. 


බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පාඨයන් ධර්මය වශයෙන් එක් ආකාරයකින් වේ. ධර්ම විනය වශයෙන් දෙයාකාර වෙති . විනය සූත්‍ර අභිධම්ම හා මුල මැද අග වශයෙන් ත්‍රිවිධාකාර වෙති. දීඝ නිකාය මජ්ඣිම නිකාය සංයුක්ත නිකාය අංගුත්තර නිකාය ඛුද්දක නිකාය වශයෙන් ආකාර පහක් වෙති. සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරන ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූත වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනමය වශයෙන් නවාකාර වෙති. ජීවමාන ශ්‍රී මුඛ පාඨමය වශයෙන් (ස්කන්ධ වශයෙන්) අසූදෙදහසක් හා ශ්‍රාවක භාෂිත වශයෙන් (ස්කන්ධ වශයෙන්) දෙදහසක් ලෙස එකතුව ස්කන්ධ අසූහාරදහසක් වෙති. ශ්‍රී මුඛ පාළි වශයෙන් ග්‍රන්ථ දෙලක්‍ෂ හැත්තෑපන්දහස් දෙසියවිසිපහකි. ශ්‍රී මුඛ පාළි හා අටුවා විස්තර වශයෙන් බණවර දෙදහස්පන්සිය හතළිස්හතකි. ග්‍රන්ථ වශයෙන් හයලක්‍ෂ තිස්හය දහසකි. අක්‍ෂර වශයෙන් දෙකෝටි අනූතුන් ලක්‍ෂ හැට අට දහසකි. නය / න්‍යාය වශයෙන් අනන්ත සංඛ්‍යාත වෙති. 


දෙවි මිනිසුන් ආදී යම් සත්ත්වයෙකු සම්බුද්ධ ශාසනයෙහි අනුදැන වදාරන ලද ධ්‍යාන මාර්ගඵල නිවන් සුවය අධිගමනය කිරීමට යටත් පිරිසෙන් තිසරණ සහිත සරණාගමනයට හෝ පැමිණිය යුතුය. දෙවියන්හට සාමණේර හෝ උපසම්පදා පැවිද්ද ලබාගත නොහැක. පහත් උත්පත්තීන් ලද අන්‍ය අමනුෂ්‍යයන්ටද එසේ ශාසනික පැවිද්ද ලබාගත නොහැක. එසේ තිබියදී ඔවුන්ට නිවන් දැක්ම සඳහා පවත්නා අවම සුදුසුකම වන්නේ තිසරණ සහිත සරණාගමනයයි. යමෙක් ගිහි වුවද පැවිදි වුවද මූල නික්ෂිප්තය තිසරණ සහිත සරණාගමනයයි. පැවිදි නොවූවද යමෙකුට තිසරණ සහිත සරණාගමනය ඇත්නම් ඔහුට නිර්වාණවබෝධය සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් ඇත්තේය. 


එසේම නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන බුද්ධ ශ්‍රාවකයෙකු විසින් නිධානසෝධනය පිළිබඳවද අවබෝධයක් ඇතිකරගත යුතුය. නිදානසෝධනය යනු කුමක්ද යන්න බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ දේශනා කර තිබේ. එනම් බුදුරජාණන් වහන්සේ ඇසතු බෝධි මූලයෙහි අධිගමනය කළ සර්වඥතාධිගමනය හේතුවෙන් යම් බුදුගුණයකට හිමිකම් කීවේද එහි අන්තර්ගත ගුණයන් පිළිබඳව අවබෝධයකට පැමිණීමයි. කවර අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේ බුද්ධ වන සේක් දැයි ප්‍රථමයෙන් දැනගත යුතුය. සරණ යෑමට ප්‍රථමයෙන් තමන් සරණ යන්නේ කවර ආකාරයේ ශාස්තෘන් වහන්සේ කෙනෙකුදැයි දැනගත යුතු බැවිනි. මේ පිළිබඳව ජින සාසනයෙහි පහත ආකාරයෙන් දක්වා තිබේ. 


විමොක්ඛන්තික ඥාන සම්පත්තියෙන් සපරිපූර්ණ බැවින් බුදුරජාණන් වහන්සේ බුද්ධ වන සේක. විමෝක්‍ෂ හෙවත් විමොක්ඛ යනු අරහත් ඵලයයි. විමෝක්‍ෂය අන්ත කොට පැවතීම විමොක්ඛන්තය නම් වේ. එනම් අරහත් ඵලය අන්ත කොට අවසාන කොට පවත්නා බවයි. එසේ අරහත් ඵලයට පත්වීමෙන් ලබන යම් බුද්ධ ඥානයක් වේද එය විමොක්ඛන්තික ඥානයයි. 


බුදුරජාණන් වහන්සේ කුමන අවබෝධයක් හේතුකොටගෙන බුද්ධ යන නාමයෙන් හඳුන්වන්නේද යත් චතුරාර්ය සත්‍යය ධර්මය ගුරු උපදේශයන් රහිතවම තමන් වහන්සේගේ විශිෂ්ට ඥානයෙන්ම අවබෝධ කළ බැවින් බුද්ධ නමින් හැඳින්වේ. තමන් වහන්සේද චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කොට ලෝක සත්ත්වයාටද අවබෝධ කරවූ බැවින් බුද්ධ නමින් හැඳින්වේ. සබ්බඤ්ඤුත ඥානයෙන්ද අනාවරණ ඥානයෙන්ද යුක්ත වන බැවින් සියල්ල දක්නා බැවින්ද දන්නා බැවින්ද බුද්ධ නමින් හැඳින්වේ. 


චතුරාර්ය සත්‍යය ධර්මයන් අවබෝධය පිණිස දෙවි මිනිසුන් සහිත ලෝක සත්ත්වයන්ගෙන් අවවාද අනුශාසනා නොලැබූ බැවින් බුද්ධ නමින් හැඳින්වේ. පෘථග්ජන ලෝක සත්ත්වයා මෙන් කෙලෙස් නින්දෙන් නිද්‍රෝපගත නොවූ බැවින් බුද්ධ නමින් හැඳින්වේ. සියලු‍ම ආශ්‍රවයන් ප්‍රහීණ කළ බැවින් බුද්ධ නමින් හැඳින්වේ. ඒකාන්තයෙන් වීතරාගී බැවින් බුද්ධ නමින් හැඳින්වේ. ඒකාන්තයෙන් වීතදෝසී බැවින් බුද්ධ නමින් හැඳින්වේ. ඒකාන්තයෙන් වීතමෝහී බැවින් බුද්ධ නමින් හැඳින්වේ. ඒකායන මාර්ගයට පැමිණි බැවින් බුද්ධ නමින් හැඳින්වේ. හුදෙකලාව අනුත්තර සම්‍යග් සම්බෝධිය සමාධිගමනය කළ බැවින් බුද්ධ නමින් හැඳින්වේ. අබුද්ධිය නසා බුද්ධිය ප්‍රතිලාභ කළ බැවින් බුද්ධ නමින් හැඳින්වේ. භාග්‍යවතුන් වහන්සේට බුද්ධ යන නාමය දෙමාපිය සහෝදර සහෝදරියන් මිත්‍රාමාත්‍යයන් විසින් හෝ සලෝහිත ඥාතීන් විසින් හෝ දෙවි බඹුන් විසින් තබන ලද්දක් නොවේ. එය වනාහි උන්වහන්සේ විසින් විජයශ්‍රී ජයසිරි මහා බෝධීන් වහන්සේ අබියසදී ලබාගත් විමොක්ඛන්තික ඥාන ප්‍රතිලාභය හේතුකොටගෙනම ලබන ලද්දෙකි. 
බුද්ධි, බෝධි, බුද්ධ යනු එක්ව යෙදෙන පරියාය නාමයන් බැවින් කුමන නාමයකින් හැඳින්වුවද වරදක් නොමැත. නිල් පැහැය කවන ලද වස්ත්‍රයට නිල් වස්ත්‍රය කියන්නාක් සේද රතු පැහැය කවන ලද වස්ත්‍රයට රතු වස්ත්‍රය කියන්නාක් සේද ඒ ඒ ගුණස්කන්ධය සලකාම ඒ ඒ නාමයෙන් හඳුන්වා තිබේ. නියමිත ගුණයෙන් මිශ්‍රිත බැවින් එසේ හඳුන්වනු ලැබේ. 


බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය පිළිබඳව යම් පමණකට අවබෝධයක් ඇතිකරගත් පසුව සරණ පිළිබඳව අවබෝධයක් ඇතිකරගත යුතුය. සරණ යනු පිහිටයි. ආරක්‍ෂාවයි. බුද්ධ භාෂාවෙන් සරණං යනුවෙන් දැක්වෙන්නේ මෙම අර්ථයයි. භාග්‍යවතුන් වහන්සේ සරණ කොට පැවති දෙවි මිනිසුන් සහිත ලෝක සත්ත්ව ප්‍රජාව ලෞකික වූත් ලෝකෝත්තර වූත් පිහිටෙන් සතර අපායාදී දුකින් මිදෙන්නාහුය. ජාති ජරා ව්‍යාධි සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගෙන් නියත වශයෙන්ම මිදෙන්නාහුය. 


එසේ බුදුරජාණන් වහන්සේ සරණ කොට පැවතීමෙන් භය සන්ත්‍රාසය දුක දුග්ගතිය උපක්ලේශයන් නසන බැවින් දෙවි මිනිසුන් සහිත ලෝක සත්ත්වයෝ උන්වහන්සේ සරණ යති. බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර අනන්ත අප්‍රමාණ ගුණස්කන්ධය තම තමන්ගේ ඥානයට අනුගත ආකාරයෙන් මෙනෙහි කරන්නා වූ යමෙකුට වුවද උන්වහන්සේ පිළිබඳව අනන්ත අප්‍රමාණ චිත්ත ප්‍රසාදයක් ඇති වේ. එම ප්‍රසාදයම ඔවුනට අනේකවිධ ආනිසංස ලබාදීමට සමත් වෙති. 


විමාන වත්ථු පාළියෙහි සඳහන්වන චණ්ඩාලි විමාන වර්ණනාව මේ සඳහා අගනා උදාහරණයකි. දිනකට දෙවරක් සසරගත ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් විනේය ජනයා දෙස බැලීම තථාගතයන් වහන්සේගේ දෛනික බුද්ධ කෘත්‍යයන්ගෙන් එකෙකි. දිනක් උදැසන කාලයෙහි ලෝකය දෙස මහා කරුණා සමාපත්ති ඥානයෙන් බලන භාග්‍යවතුන් වහන්සේට සැඩොල් කුලයක ඉතා වයස්ගත ස්වභාවයට පත්වූ උපකාරයට කිසිවෙකුත් නොමැති මහලු තැනැත්තියක් හසුවූ සේක. ඇය එදිනම කලුරිය කොට අපායගාමී වන බව දුටු බුදුරජාණන් වහන්සේ එම තැනැත්තිය පිළිබඳව මහත් කරුණාවෙන් යුතුව ඇය වාසය කරන රජගහ නුවරට පිඬු පිණිස මහා සංඝයා වහන්සේ පිරිවරාගෙන වැඩම කළ සේක. 


බොහෝ වයස්ගත ඇය සැරයටියක් ආධාර කොට ගනිමින් රජගහ නුවරින් නික්මෙන අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ මහා සංඝයා වහන්සේ පිරිවරාගෙන ඇය ඉදිරියට පැමිණ ඉන් ඉදිරියට නොවැඩ එහිම නතරවී වැඩ සිටි සේක. මහා සංඝරත්නය අතර වැඩ සිටි ඉර්ධිමතුන් අතර අග්‍ර මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ නොවැඩ එක ස්ථානයක සිටි ඉරියව්වෙන් සිටීමට හේතුව පරීක්‍ෂා කරන්නේ අද දින භාග්‍යවතුන් වහන්සේ විසින් මැයගේ සංසාරික සුවපත්භාවය පිණිස මෙම ස්ථානයට වැඩමකළ බව දැන එම මහලු සැඩොල් තැනැත්තිය කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙසේ කීහ. 


චණ්ඩාලී වන්ද පාදානී 
ගෝතමස්ස යසස්සිනෝ 
තමේව අනුකම්පාය 
අට්ඨාසි ඉසිසත්තමෝ 
අභිප්පසාදේහි මනං 
අරහත්තම්හි තාදිනී 
ඛිප්පං පඤ්ජලිකා වන්ද 
පරිත්තං තව ජීවිතන්ති 


සැඩොල් උපාසිකාවනි, යසසින් යුක්තවන්නාවූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් වන්දනා කරන්න. ඒ ශ්‍රේෂ්ඨ මහා උත්තමයන් වහන්සේ ඔබ කෙරෙහිම මහත් අනුකම්පාවෙන් මෙම ස්ථානයට වැඩමකොට වැඩ සිටින සේක. සියලු‍ කෙලෙසුන් දුරුකොට අරහං බුදුගුණයෙන් යුක්තවූ ඒ මහා උත්තමයන් වහන්සේ කෙරෙහි ඔබගේ සිත මනාව පහදවා ගන්න. වහා දෑත් ඔසවා ඇඳිලි බැඳ වන්දනා කරන්න. තව කෙටි කාලෙකින් ඔබගේ ජීවිතය අවසන් වන්නීය. 
මෙසේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ විසින් මෙහෙයවන ලද ඇය මහත් සංවේගයට පැමිණ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් චිත්ත ප්‍රසාදයෙන් යුක්තව පසඟ පිහිටුවා වන්දනා කරගෙන නැවත නැවතත් නමස්කාර කරමින් එම මාර්ගයෙන් ඉවත්ව සිටියාය. ඇයට දිව්‍ය සම්පත් පිණිස මෙපමණක් ප්‍රමාණවත් වන්නේයැයි දුටු භාග්‍යවතුන් වහන්සේ මහා සංඝරත්නය පිරිවරා රජගහ නුවරට වැඩම කළ සේක. 
එකල්හිද බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් සිටි ඇයට කලබලයට පත්ව දිව ආ ගවදෙනක් විසින් පහරදී එතැනම මරණයට පත්කරන ලදී. බුදුරජාණන් වහන්සේ පිළිබඳව මහත් ප්‍රසාදයට පත්ව සිටි ඇය එම චිත්ත ප්‍රසාදය හේතුවෙන්ම තව්තිසා දෙව් ලොව මහත් සම්පත් ඇතිව උපන්නීය. එහි උපන් ඇයට පිරිවර දිව්‍යාංගනාවෝ ලක්‍ෂයෙකි. දිව්‍යමය ශරීරය කිණිහිරියා පුෂ්පයන්ගේ ආනුභාව වර්ණයෙන් වර්ණවත්ය. මහත් යසසින් යුක්තය. අතිශය දීර්ඝ දිව්‍යමය ආයුෂයෙන්ද යුක්ත වූවාය. 


එසේම ඉතිවුත්තක පාළියෙහි සඳහන් වන අග්ගප්‍රසාද සූත්‍ර දේශනාවෙහිද බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිත ප්‍රසාදයට පත්කර ගැනීමෙන් මහත් ආනිසංස ලැබිය හැකි බව බුදුරජාණන් වහන්සේ විසින්ම මෙසේ දේශනා කර ඇත. 


මහණෙනි, පාද රහිත වූත් පාද දෙකක් ඇත්තා වූත් පාද සතරක් ඇත්තා වූත් බොහෝ පාද ඇත්තා වූත් රූපී වූත් අරූපී වුත් සංඥා සහිත වූත් සංඥා රහිත වූත් සංඥා සහිතද රහිතද වූත් සසරගත යම්තාක් සත්ත්වයෝ වෙත්ද ඒ සියලු‍ සත්ත්වයන් අතරෙහි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාම අග්‍ර වේ. ශ්‍රේෂ්ඨ වේ. යමෙක් ඒ තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් යුක්ත වූවාහුද ඔවූහු අග්‍ර වූ බුද්ධ රතනය කෙරෙහි පැහැදීම ඇතිකර ගැනීම හේතුවෙන් අග්‍ර ආනිසංස හිමි වේ යනුවෙනි. 


එමනිසා ලෝකයෙහි ප්‍රඥාවන්තයන් විසින් තම තමන්ගේ සංසාර විශුද්ධිය ළඟාකර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ පිළිබඳව මහත් ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්තව සරණ යා යුත්තාහ. 


එසේම සසරගත සියලු‍ කෙලෙසුන් විහත විධ්වංසනය කරනු වස් බුදුරජාණන් වහන්සේ හැර වෙනත් ශාස්තෘවරයෙකු සරණ යාමෙන් පිළිසරණක් නොවන්නේය. මේ අන්තඃ කල්පයෙහි ලෝක සත්ත්වයා කෙරෙහි මහත් අනුකම්පාවෙන් පහළ වී වදාළ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ප්‍රථම අනුත්තර බුද්ධ භාෂිතය වන ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව ශ්‍රවණය කළ කොණ්ඩඤ්ඤ තාපසතුමාට සෝතාපන්න ඵලයට පත්වීමට හැකියාව ලැබුණේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළ ආකාරයට උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්ව ඇත්තේ යැයි ඇතිකරගත් විශ්වාසය හා පැහැදීම නිසාය. 


එම ධර්ම දේශනාව ශ්‍රවණය කළ දහඅට කෝටියක් දෙවි බඹුන්ට රහත් ඵලය ලබාගත හැකි වූයේද බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැවති විශ්වාසය හා ප්‍රසාදයමය. යම් පමණක සත්ත්ව කොට්ඨාසයක් ලෞකික ලෝකෝත්තර ආනිසංසයන් අත්කර ගත්තේද ඒ සියල්ලටම මූලික හේතුව වූයේ බුදුරජාණන් වහන්සේ සරණ කොට පැවතීමයි. මෙසේ යමෙක් බුදුරජාණන් වහන්සේ මාහට සාංසාරික ගමනෙහි පිහිටය, සරණය යන පිළිගැනීම බුද්ධං සරණං ගච්ඡාමි යන්නෙන් විග්‍රහ කෙරේ. එසේ සිතන්නහු විසින් අප විසින් බුදුරජාණන් වහන්සේ සරණ යන්නෙමු, ඔබ වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උවසු උවැසියන් ලෙස පිළිගන්නා සේක්වායි යටත්ව ඉල්ලා සිටිති. 


මජ්ඣිම නිකායේ උපරි පණ්ණාසක පාළියෙහි දේවදහ වර්ගයෙහි එන ගණක මොග්ගල්ලාන සූත්‍ර දේශනාවසානයෙහිදී ඒසාහං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච . උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති යනුවෙන්ද දක්වා ඇත්තේ මෙසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිකරගත් ප්‍රසාදය හේතුවෙන් අවසානයෙහිදී බුදුරජාණන් වහන්සේ සරණ ගිය ආකාරයයි. 


අනතුරුව සරණාගමනයට පත්වීමට බලාපොරොත්තුවන උපාසක උපාසිකාවන් විසින් සරණාගමනයට පත්වන ආකාර සතර පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුය. නැතිනම් තමන්ගේ සරණාගමනය කෙබඳු ආකාරයේ සරණ යාමක්දැයි අවබෝධයක් නොලැබෙනු ඇත. සරණාගමනයට පැමිණීමේදී ආකාර සතරකින් එය පරිපූර්ණ කරගත හැක. එනම් , 


1. ආත්මසන්නිර්ය්‍යාතන සරණාගමනය 
2. තත්පරායණතා සරණාගමනය 
3. ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය 
4. ප්‍රණීපාත සරණාගමනය යනුවෙනි. 


ආත්මසන්නිර්ය්‍යාතන සරණාගමනය යනු යමෙකු තමන්ගේ ලෞකික ලෝකෝත්තර විමුක්ති සුවය බලාපොරොත්තුවෙන් තමන්ගේ ආත්මයම බුදුරජාණන් වහන්සේට පූජා කිරීමයි. බුද්ධත්වයෙන් අටවන සතියෙහි මී පිඬු හා අත්සුනු පූජාකළ තපස්සු භල්ලු‍ක වෙළෙඳ සහෝදරයන් මෙන්ද භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස්මහා පුරුෂ ලක්‍ෂණ විමසා ධර්මය ශ්‍රවණය කොට අනාගාමී ඵලයට පත්ව සුද්ධාවාස බ්‍රහ්මලෝකයන්හි උත්පත්තිය ලැබූ බ්‍රහ්මායු ආර්ය්‍යන් වහන්සේද මෙනි. 


තත්පරායණතා සරණාගමනය යනු 


බුද්ධං සරණං ගච්ඡාමි 
ධම්මං සරණං ගච්ඡාමි 
සංඝං සරණං ගච්ඡාමි 
දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි 
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි 
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි 
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි 
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි 
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි 


යනුවෙන් උපසම්පදා සාමණේර පැවිද්ද හෝ උපාසක උපාසිකා භාවයට පත්වීමේදී තුනුරුවන් සරණාගමනයට අනෙකෙකු විසින් කියවීමෙන් හෝ තමන් විසින්ම කියා අධිෂ්ඨාන කිරීමෙන් හෝ ත්‍රිවිධ රතනය තමන්ගේ පිහිට කොට අධිෂ්ඨාන කොට සරණාගමනයට පැමිණීමයි. 


ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය යනු භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේය, මම ඒ ශාස්තෘන් වහන්සේගේ ශිෂ්‍යයා වෙමි යනුවෙන් ආරෝචනය කිරීමෙන් හෝ අධිෂ්ඨාන කිරීමෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙන්, මහා කප්පින මහරහතන් වහන්සේ මෙන් සරණාගමනයට පැමිණීමයි. ප්‍රණීපාත සරණාගමනය යනු තමන් විසින් ගරුකළ යුතු උසස් පූජනීය උත්තමයන් වහන්සේ කෙනෙකුන්ට කළ හැකි කළ යුතු උසස්ම ගරුකිරීම වශයෙන් සරණාගමනයට පැමිණීමයි. බිය මූලික කොට හෝ අනෙකුත් රාජාදී බලවත් අයගේ මෙහෙයවීමෙන් සිතෙහි ගරු කිරීමේ අදහසිනුත් තොරව ගරු කිරීමට පැමිණියේ නම් එහිදී සරණාගමනය සිදු නොවේ. 


මීළඟ ලිපියෙන් අප ඔබට සරණාගමනය භේදයට පත්වන ආකාරය පිළිබඳවත් ධර්ම රත්නය සංඝ රත්නය සරණ යාම පිළිබඳවත් එහි ආනිසංස පිළිබඳවත් දැනුම්වත් කිරීමට බලාපොරොත්තුවන අතර මෙතෙක් සරණාගමනය පිළිබඳව ඔබ විසින් දැනගත් දහම් කරුණු මෙලොව හැම යහපත පිණිසත් පරලොව සුගතිගාමීත්වය පිණිසත් නිවන් සුවය පිණිසත් හේතු වාසනා වේවායි මෙත් සිතින් පතන්නෙමු.