ගිං ගං දෑලේ  සැඟවුණු ලෝකය

 

 

‘‘ඒ කාලේ රුපියල් වෙනුවට පාවිච්චි කළේ සත. මුළු දවසම පුරන් කෙටුවම ලැබෙන්නේ ශත විසි පහයි. පැණි බෝතලයක් ශත දාහතයි. හාල් සේරුවක් ශත පහයි’’ 


  
දිවි මගෙහි එකසිය දෙවැනි විය පසුකර සිටින කෝරළේගම පතිරණගේ උපසේන මහතාගේ මතකයේ ඇති අතීත සැමරුම් ඔහු එ​ෙස් එකින් එක විස්තර කරයි. 1916 මාර්තු මස 14 දින උපත ලබා ඇති උප​ෙස්න මහතා තම පවුලේ සහෝදර සහෝදරියන් පස් දෙනෙක් සිටි බවත් මේ වෙන විට ජීවතුන් අතර සිටින්නේ තමා පමණක් බවත් කියා සිටියේ මහත් සංවේගයෙනි. තවලම - කෝරළේගම පදිංචි උප​ෙස්න මහතාට දූ දරුවන් නව දෙනෙකු සිටින අතර වැඩිමහල් දියණියගේ වයස අවුරුදු හැත්තෑ හතරකි. බාලම දියණිය හතළිස් නව වැනි වියේ පසුවන්නීය.  
 
උපසේන මහතාගේ ආදරණීය බිරිඳද ජීවතුන් අතර සිටින අතර ඇයද මේ වෙන විට ජීවන ගමනේ අනූ අට වැන්න පසුකරමින් උපසේන මහතා සමග තම බාල දියණියගේ රැකවරණය මැද කල දවස ගෙවාගෙන යයි.   
‘‘එයත් දැන් සෙන්චරිය ගහන්න ළඟයි’ උපසේන මහතා එසේ කියන විට ඇය කොක්හඬලා සිනහ සලයි.   


‘‘තාත්තට අවුරුදු එකසිය දෙක පහු වුණාට තවම හොඳට උදැල්ලෙන් වැඩ කරනවා. අම්මගෙ උප්පැන්න සහතිකය නැති නිසා හරියටම වයස කියන්න ක්‍රමයක් නෑ. 1920 ඉපදුණා කියල තමයි කියන්නේ. දෙන්නගෙම හොඳට ඇස් පෙනෙනවා. කන් ඇහෙනවා. දෙන්නම තවම මිදුල අතුගාන වැඩෙත් කරනවා. අපිට කිසිම කරදරයක් කරන්නේ නෑ.’’ බාල දියණිය කේ.පී. කාන්ති මහත්මිය (49) තම පියා සහ මව ගැන ආඩම්බරයෙන් පැවසුවාය.   


‘‘පොඩි දුවේ මේ පුතාට තේ එකක් හදාගෙන එන්න’’ යැයි මා සමග දොඩමලුවෙන අතරතුර උපසේන මහතාගෙන් දුවට අණක් ලැබිණි. උපසේන මහතා මේ වෙන විට පරම්පරා හතරක දූදරුවන් නැළවූ භාග්‍යවන්තයෙකි. ඔහුට දරුවන් නව දෙනෙකි. එම දරුවන් නව දෙනාගේ මුනුබුරු මුනිබිරියන් ගණන තිහකි. එම මුණුබුරු මිනිබිරියන්ගේ දරුවන් ගණන තිස්නවයකි. එම දරුවන්ට ද දැනට දරුවෝ සය දෙනෙක් සිටිති. ඒ අනුව උපසේන මහතා ජීවත්ව සිටියදීම ඔහුගේ පරම්පරාව සාමාජික සාමාජිකාවන් අසූ හතරක් දක්වා වර්ධනය වී ඇත. මේ අනුව රට ජාතිය වෙනුවෙන් උපසේන මහතා සිදුකර ඇති මෙහෙය අතිමහත් එකකැයි කිව හැක.   


‘‘සුද්දන්ගෙන් නිදහස ලැබුණට පස්සේ සුද්දෝ මේ ප්‍රදේශවල තිබුණු තේ වතු දාල යන්න ගියා. ඒ කාලේ මේ ගම්මානවලට එන්න පාරවල් තිබුණෙ නෑ. ගිංතොට ඉඳල ගිං ගඟ දිගේ පාරුවලින් තමයි භාණ්ඩ ප්‍රවාහනය කළේ. අපි පාරුවෙන් යන මුදලාලිට අපට අවශ්‍ය කළමනා ලැයිස්තුවක් දෙනවා. සීනි පරිප්පු, හාල්, කරවල හැම දෙයක්ම පාරුවෙන් අපට ගෙනත් දෙනවා. පාරුව නතර කරන්නේ තොටුපොළවල්වල. අපි තොටුපොළට ගිහින් ඒව ගන්නවා’’   


මම උපසේන මහතාගේ පැරණි මතකය අවදි කිරීමට නානා ප්‍රකාර ප්‍රශ්න අසමි. ඔහු කිසිදු පැකිළීමකින් තොරව ගඟ ගලායන්නා සේ ඊට පිළිතුරු බඳියි.   


‘‘මං පනංගල මහාබෝධි විදුහලෙන් දෙකේ කැලෑසිය වෙනතුරු පමණයි ඉහත ගත්තේ. ඊට පස්සේ අකුරු සාස්තරේ දැන ගත්තේ පංසලේ හාමුදුරුවන්ගෙන්. ඒ කාලේ මං අල බතල, අමු, මෙනේරි, කුරක්කන්, මිරිස් තිබෙන හේනක් වවල තිබුණා. ලොරියක් පුරවන්න තරමට අල බතල එක මුරේකට ගලවනවා. ඉස්සර කාටවත් තේ තිබුණේ නෑ. ලොකු තේ වතු විතරයි තිබුණේ. ඒව පාලනය කෙරුවෙත් සුද්දෝ’’   


උපසේන මහතාගේ උපන්ගම තවලම කෝරළේගම ගම්මානයයි. ඔහුගේ බිරිඳ එම්.ජී. සෝමාවතී මහත්මිය උපත ලබා ඇත්තේ නෙළුව ඇඹලගෙදර ගම්මානයේය. යෝජිත විවාහයකින් යුග දිවිය අරඹා ඇති උපසේන මහතා ඒ අතීතයද සිහිපත් කිරීමට අමතක නොකරයි.   


‘‘ඒ කාලේ මාර්ග පහසුකම් නෑ. ගිං ගඟ දිගේ ගං ඉවුරෙන් අඩිපාරවල් තමයි තිබුණේ. කෝරළේගම ඉඳල මං නෙළුවට ගියේ පයින්. අපි තවලමදී කසාද බැඳල මේ ගෙදරට ආවෙත් පයින්. ඒ කාලේ පයින් යන අයට මහන්සියට නතර වෙන්න තවලම අම්බලමක් තිබුණා. අදත් ඒක තියෙනවා. පිපාසෙට වතුර බොන්න පිංතාලි මග තිබුණා.’’   


උපසේන මහතා සඳහන් කරන අම්බලම අදත් තවලම, බටහේන ප්‍රදේශයේ දැකගැනීමට ඇත.   


ගිංගඟ පිටාර ගැලීම නිසා ගංවතුර තර්ජන ඇතිවීම ද ඈත අතීතයේ සිටම තවලම අවට ප්‍රදේශවල ජනතාවට මහත් හිංසනයක් වූ බව උපසේන මහතා සිහිපත් කරයි.   

 

 

‘‘1940 තමයි මට මතක කාලේ මුල්ම ගංවතුර ගැලුවේ. මිනිසුන්ට ඒකාලේ තිබුණේ කටුමැටි ගෙවල්. වහල සෙවිලි කළේ පොල් අතුවලින්. ගොඩක් ගෙවල් පාවුණා. හරක් පට්ටි පිටින් ගඟේ ගියා. ඊට පස්සේ 1944 ඒ වගේම ගංවතුරක් ආවා. පසුගිය 2003 ගලපු ගංවතුර තමයි මේ පැත්තට ආපු ලොකුම ගංවතුර.   


උපසේන මහතා ගොවිතැනට අමතරව පැණි නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයටද හපනෙකි. අද වයසත් සමග එම වෘත්තීන්හි යෙදීමට වරම් නැති වුවද අතීත කෙරුවාවල් සිහිපත් කිරීමට ඔහුට ඇත්තේ මහත් උනන්දුවකි.   
‘‘ඒකාලේ පැණි උණුකරගන්න බැරුව මං තෙලිජ්ජ මුට්ටි පිටින් බිමට හලනවා. ඒ තරමට කිතුල් මැද්දා. ඕනෑතරම් රා තිබුණා. සමහර කොලු කුරුට්​ටෝ මගේ කිතුල් මල්වලින් තෙලිජ්ජ බේරෙනකොට බිම ඉඳන් කට අල්ලනවා. මුට්ටිය උතුරල වැක්කෙරෙනවා’’   


උපසේන මහතාගේ බාල පුතු පැවිදිවී සිටින අතර නිරන්තරව උන් වහන්සේ මව් පියන් පිළිබඳව සොයා බලන බවද උපසේන මහතා කියා සිටියි.   


‘‘සීයාගෙ හැඳුනුම්පත තියෙනවද?’’   


උපසේන මහතාගේ බාල දියණිය එය මා අතට පත්කළ අතර එහි උපන් දිනය ලෙස 1916.03.14 ලෙස සටහන්ව තිබිණි.   


‘‘මට ලොකුවට අසනීපයක් නෑ. තවම උදැල්ලේ වැඩ පුළුවන්. මං මේ අත් දෙකෙන් කරපු හරිය මදි නෑ. වස විස කෑවේ නෑ. මොන ප්‍රශ්නය තිබුණත් දරුවන්ට පොත පත අරගෙන දුන්නා. හොරකම වංචාව කළේ නෑ. අද හැම තැනම වංචාකාරයො. කන තරමක් කන්නෙ වස.’’   


උපසේන මහතා සමග ගත කළ පැය කිහිපය ජීවිතයේ ඉමිහිරිම මතකයක් සනිටුහන් කළ සෙයක් මට දැනේ.   

 

 


(මතු සම්බන්ධයි)   

 

 

 


සටහන සහ ඡායාරූප
තවලම රංජිත් හේවගේ