සිය ප්‍රේමණීය දේවියගේ දේහය රැගත් බුර බුරා නැඟෙන චිතකයට තව තවත් කුරුඳු දර එකතු කළ ද ‘නීරෝ’ අධිරාජයාගේ සිතට සහනයක් දැනුණේ නැත. යළි කිසිදිනෙක තමාට සිය ප්‍රියාදරියගේ ප්‍රේමණීය සිනහව දක්නට ලැබෙන්නේ නැති බව සිහිපත් කළ මහාධිරාජ්‍ නීරෝගේ සිත හඬා වැටෙන්නට විය. ‘පොපියා සැබිනා’ ඔහුගේ ප්‍රියාදර දෙවැනි බිරිය වූ අතර, ඇගේ මේ අවාසනාවන්ත අකල් මරණයට තමාත් වගකිව යුතු බවට විශ්වාස කළ රෝමානු අධිරාජ්‍ය නීරෝ, එලෙස මිටි ගණනින් කුරුඳු දර දැවෙන චිතකයට එක් කිරීමෙන් උත්සාහ ගත්තේ ඇගේ මරණය වෙනුවෙන් දුකින් පීඩිත වූ සිය හෘද සාක්ෂියට ගෙවීමට ඇති ණය බර අංශු මාත්‍රයකින් හෝ අහෝසි කර දැමීමටයි.   

ක්‍රි.ව. 65 දී මුළු ලොවම තම දෙපතුල අසලට ගෙන සිටි මේ මහා අධිරාජයා තම පව් සමාකර ගැනීමේ අරමුණින් වසරක දී තම රටේ භාවිතයට ගැනෙන ප්‍රමාණයට සමාන කුරුඳු මිටි තොගයක් සිය ප්‍රියාවියගේ චිතකයේ එලෙස ගිනිබත් කළේ කුරුඳුවල වටිනාකම කෙතරම් දැයි ඔහු මැනවින් දැන සිටි නිසාය. අසා සිටින්නන් විස්මයෙන් මුසපත් කිරීමට සමත් විසිතුරු ‘කුරුඳු කතන්දර’ සමඟ අධිසුඛෝපභෝගී මිලකට අරාබි වෙ​ෙළන්දන් විසින් දුර බැහැර සිට ගෙනැවිත් අලෙවි කරන මෙම මාහැඟි සුවඳවත් රසකාරකය අනෙකුත් බොහෝ අපරදිග ජාතීන්ට මෙන්ම රෝමානුවන්ට ද ආශ්වාදජනක කුතුහලයෙන් පිරුණු මහා අභිරහසක් විය.   


මීට වසර දෙදහසකට එපිටදී අපරදිග වැසියන් අතර කුරුඳු, ධනවත් භාවයේත්, උසස් සමාජ තත්ත්වයේත් ප්‍රබල සංකේතයක් ලෙස වැජඹීමට මෙම සුගන්ධවත් රසකාරකයේ නානාවිධ ප්‍රයෝජනයන් මෙන්ම ඒවා සපයා ගැනීමේ දුෂ්කරතාව හා බැඳුණු අතිශයෝක්තියෙන් කියැවුණු විචිත්‍ර ප්‍රබන්ධාත්මක වෘත්තාන්තයන් ද හේතුව තිබිණි. දහසය වැනි සියවස දක්වාම ‘කුරුඳු’, ඒවායේ වෙ​ෙළඳාම පිළිබඳ ඒකාධිකාරය දැරූ අරාබිවරුන්ටම සීමාවූ, අද්භූතත්වය කැටිකරගත් රස රහසක් විය. ඒ රහස රැක ගනිමින් අතීත අරාබි වැසියන් දුෂ්කර මුහුදු මාර්ග තරණය කරමින් සැතපුම් තුන්දහසකටත් එපිටින් පිහිටි ‘සිරිලක’ සොයා ඒමට තරම් ‘ලාංකීය කුරුඳු’ ගුණාත්මකභාවයෙන් හා තත්ත්වයෙන් උසස් ස්වභාවික නිෂ්පාදනයක් විය. එවන් වූ ලාංකීය කුරුඳුවලට සම කළ හැකි ආදේශකයක් එම දුරාතීතයේදී පමණක් නොව අදටත් නොමැති බව තහවුරු කෙරෙන අපූරු පුරාවිද්‍යාත්මක සොයා ගැනීමක් ඊශ්‍රායලයෙන් වාර්තා වි තිබේ.   


ඊශ්‍රායලයේ ‘හයිෆා‘ නුවරින් කිලෝමීටර් තිහක් දකුණට ​ෙවන්නට පිහිටි ‘ටෙල් ඩෝර්’ නුවර නටබුන්වල මීට වසර කිහිපයකට පෙර සිදුකළ කැණීම්වලින් මතුකරගත් වීදුරු ප්ලාස්කුවලින් වහනය වූ සුවඳ පුරාවිද්‍යාඥයන් පවා මවිතයට පත් කරවනසුලු විය. වසර තුන්දහසකටත් වඩා පැරණි මෙම ප්ලාස්කු මෙතරම් කාලයක් පස්යට ගිලී තිබී, කාලයේ නොයෙකුත් විපර්යාසයන්ට ලක් වීමෙන් පසුවත් මෙතරම් සුවඳවත්ව තිබෙන්නේ කෙසේ ද යන්න ඔවුන්ව පුදුමයට පත්කළ කාරණය විය. එකල ‘ලෙවන්ට්‘ ලෙස හැඳින්වුණු මෙම නටබුන් භූමියේ පිහිටි පුරාවිද්‍යාත්මක කැණීම් බිම් පහකින් සොයාගත් ප්ලාස්කු විසිහතක් තුළ වූ ද්‍රව්‍යයන් විශ්ලේෂණය කළ විද්‍යාඥයන්ට, ඉන් දහයක් තුළම කුරුඳුවලට ආවේණික ප්‍රණීත රසයට හා සුවඳට හේතුවන ‘සිනමැල්ඩිහයිඩ්‘ නමැති රසායනිකය අඩංගුව ඇති බව අනාවරණය කරගත හැකි විය. අප්‍රිකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල ද කුරුඳු වගාව සිදු කෙරුණ ද සුවිශේෂත්වය වූයේ වසර තුන්දහසක අතීතයකට හිමිකම් කියන මෙම ප්ලාස්කුවලින් හමුවූ ශේෂයන් ලාංකීය කුරුඳුවලට ආවේණික රසය හා සුවඳ මුසුවූ ගුණාංගයන් හා පමණක් ගැළපීමයි. ලංකා කුරුඳු හා තරග කිරීමට සමත් වෙනත් කුරුඳු විශේෂයක් අද මෙන්ම එදා ඒ ඈත අතීතයේදී ද නොතිබුණු නිසාම ජීවිත අවදානම ද නොතකා ‘කුරුඳු දිවයින‘ (කුරුඳු වැවෙන එම අද්භූත රට Pais De La ‌Canela ලෙස, එනම් කුරුඳු දිවයින ලෙස එකල ස්පාඤ්ඤ වැසියන් අතර ප්‍රකටව තිබිණි) නොහොත් සිරිලකට පැමිණීමට මෙම අරාබි වෙළෙන්දන්, විශේෂයෙන්ම ෆීනිෂියානුවන් පෙළෙඹී සිටි බව ඊශ්‍රායලයෙන් හමුවූ මෙම ‘ෆීනිෂියන් ප්ලාස්කු’ හොඳම පුරාවිද්‍යාත්මක සාක්ෂියකි. එලෙස කියන්නේ ඒවා පරීක්ෂණයට ලක් කළ ඊශ්‍රායලයේ ටෙල් අවීව් විශ්වවිද්‍යාලයට අනුබද්ධ විද්‍යාව පිළිබඳ වූ ‘වෙයිස්මන් ආයතනයේ’ පර්යේෂකයකු වන ‘වෝරි නම්ඩාර්’ හා ඇගේ පර්​ෙ‌ය්ෂණ සහායිකාව වන හයිෆා විශ්වවිද්‍යාලයේ ‘ආයිලට් ගිල්බෝවා’ය.   
කුරුඳු තැන්පත් කිරීම සඳහා භාවිතා කළ වීදුරු ප්ලාස්කු, වටිනාකමින් ඉහළ මෙම කුළු බඩු වර්ගය සුරක්ෂිතව තැන්පත් කිරීම සඳහා වෙසෙසින්ම නිර්මාණය කර ඇත්තේ එකල ෆීනිෂියාවට අයත් දේශභුමියක් වූ, ඊශ්‍රායලයේ උතුරුදිග වෙරළබඩ ප්‍රදේශයේය. පටු විවරයකින් ද ඝණකමැති බිත්තිවලින් ද සමන්විත මෙබඳු නිධන් තැන්පතු ප්ලාස්කු පුරාණ දෙවොල් හා නිධන් භූමි වැනි සුවිශේෂී නටබුන් ස්ථානවලින් ද හමුව ඇති අතර, ඉන් ගම්‍ය වන්නේ අරාබිකරයේ විසු පුරාණ ෆීනිෂියානුවන් කුරුඳු කෙතරම් උසස් කොට සැලකුවා ද යන්නයි. දුරු කතර ගෙවා පෙරදිගින් ගෙන එනු ලැබූ වියළි කුරුඳු පොතු කිසියම් දියරයක් සමඟ මිශ්‍රකොට මෙම ප්ලාස්කුවල බහා පිලිස්තියාව (වර්තමානයේ මෙම ප්‍රදේශය ඊශ්‍රායලයේ නිරිතදිගට වන්නට පිහිටා තිබේ) හා සයිප්‍රසය වැනි අසල්වැසි රාජ්‍යයන්ට ද අපරදිගට ද නැව්ගත කරන්නට ඇති බව නම්ඩාර් හා ගිල්බෝවාගේ විශ්වාසයයි.   


මෙලෙස ප්ලාස්කුවල බහාලන ලද කුරුඳු කුමක් සඳහා භාවිතා කරන්නට ඇත් ද යන ගැටලුවට පිළිතුරු ලබාදෙන පුරාවිද්‍යාඥ නම්ඩාර් හා ගිල්බෝවා කියා සිටින්නේ එකල අපරදිග වැසියන් අතර ජනප්‍රියම පානයක් වූ සුගන්ධවත් හා රසගැන් වූ මුද්‍රික පානයන් නිපදවීමට ඒවා යොදා ගන්නට ඇති බවයි. කුඩා ප්ලාස්කු තුළ සාන්ද්‍රගත කෙරුණු කුරුඳු ද්‍රාවණය විශාල ගුදම්වල බහාලු වයින් (මුද්‍රික පානය) සමඟ මිශ්‍ර කිරීමෙන් ඒවා සුවඳවත් කර රස ගන්වන්නට පෙළඹුණු පැරැන්නන්ගේ එම දැනුම හා පිළිවෙත් මත අදට ද යුරෝපීය වයින් නිෂ්පාදනයේ පදනම රැඳී පවතියි. වයින් නිෂ්පාදනයෙහිලා අන් රසකාරකයන් කෙතරම් භාවිතා වුවත්, මීට වසර තුන්දහසකට පෙරදී මෙන්ම අදට ද යුරෝපය තුළ වයින් නිෂ්පාදනයේදී ලාංකීය කුරුඳුවලට හිමිවන්නේ අග්‍රගණ්‍ය ස්ථානයකි.  

 
ලක්දිවෙහි කඳුකර කලාපයේ වනගතව සම්භවය වන්නට ඇතැයි සැලකෙන කුරුඳුවල ඉතිහාස කතාව ද ඒ හා බැඳුණු ප්‍රබන්ධයන් ද කුරුඳු මෙන්ම රසවත්ය. එම ඉතිහාස කතාව ක්‍රි.පූ. 2800 තරම් වූ ඈත අතීතයකට දිව යන්නක් බව කිව හැක්කේ, ‘ක්වායි’ ලෙස චීන බසින් හැඳින්වුණු කුරුඳු පිළිබඳ මුල්ම ඵෙතිහාසික මූලාශ්‍රය එතරම් ඈත වකවානුවකදී ලියැවුණක් නිසයි. දැනටත් ලොව වැඩිම මුද්‍රණයකට හිමිකම් කියන ඉපැරණිම ග්‍රන්ථය ලෙස සැලකෙන ශු. බයිබලයේ ද කුරුඳු පිළිබඳව සඳහන්ව ඇත්තේ එය ‘මෝසෙස්’ දිවැසිවරයන් විසින් නායකයන් අභිෂේක ගැන්වීමේ කටයුතුවලදී හිස ආලේප කරන තෙල් සඳහා යොදා ගත්තක් ලෙසයි. ක්‍රි.පූ. 2000 දී ඊජිප්තුවාසීන් පාරාවෝ රජවරුන්ගේ මෘත ශරීර සංරක්ෂණය කොට මමීකරණය කිරීම සඳහා කුරුඳු අනිවාර්යය අංගයක් ලෙස යොදා ගත් බවට පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සාක්ෂි දරයි. ඒ කුරුඳුවලටම අනන්‍ය වූ ප්‍රසන්න සුවඳ හා මස් වර්ග කල් තබා ගැනීමට ඒ සතුවූ විස්මිත හැකියාව නිසයි. මධ්‍යකාලීන යුගය වනවිට කුරුඳුවල සැපයුම් මාර්ගය හා එහි නිජබිම අරාබින්ටම පමණක් සීමා වූ රහසක්ව තිබිණි. ඒ වනවිට ඒවා සතු වූ අසමසම ගුණාංග හේතුවෙන් අපරදිග වැසියන් අතර නැතිවම බැරි සංඝටකයක් වූ කුරුඳු අරාබින් විසින් දුෂ්කර ගමන් මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින්, ඒවා සොයාගැනීමේ දුෂ්කරතාව අතිශයෝක්තියෙන් වර්ණනා කරමින්, සුඛෝපභෝගී මිල ගණන්වලට අලෙවි කිරීම නිසා එකල කුරුඳු යනු යුරෝපා වැසියන් අතර ධනය, බලය හා වංශාධිපතීත්වය අනියම්ව සංකේතවත් කරන සාධකයක් බවට පත්ව තිබුණි.   


දහසය වන සියවස දක්වාම කුරුඳුවල රහස පදනම් කර ගනිමින් එහි වෙළෙඳාධිකාරිය තමන්ටම සීමා කරගෙන සිටි අරාබි වෙළෙන්දන් ගෙතූ ‘කුරුඳු ප්‍රබන්ධයක්’ ක්‍රි.පූ. 5 වැනි සියවසේ විසු ග්‍රීක ජාතික ඉතිහාසඥ හෙරඩෝටස් විසින් සඳහන් කර ඇති ආකාරය දුටු විට අරාබි නිසොල්ලාසයේ එන සින්බෑඩ් සේලරුවාගේ කතන්දර සිහිපත් වන්නේ නිරායාසයෙනි. එබඳු එක් කතාවකට අනුව කුරුඳු යනු එක්තරා දැවැන්ත පක්ෂි විශේෂයක් විසින් නිශ්චිතව නොදන්නා දුර බැහැර පෙදෙසකින් ගෙනැවිත් උස් කඳු මුදුන්වල පිහිටි සිය කූඩුවල තැන්පත් කරන දරකෝටු විශේෂයකි. කිසිදු මිනිසකුට ළඟාවීමට සිතන්නටවත් නොහැකි තරම් උස් කඳුමුදුන්වල පිහිටි මෙම කූඩුවලින් කුරුඳු මිටි ඩැහැ ගැනීමට අරාබින් අනුගමනය කර ඇත්තේ අපූරු උපක්‍රමයකි. විශාල මස් කුට්ටි ගෙනැවිත් කූඩුවලට පහතින් ඒවා තැන්පත් කරන වෙළෙන්දන් සැඟවී රැක සිටින්නේ පක්ෂීන් ඒවා තම කූඩුවලට ඔසවාගෙන යනතුරුයි. මස් කැබලිවල බරට කූඩු බිමට වැටුණු කල ඒවායේ තැන්පත් කොට තිබූ කුරුඳු මිටි ලබා ගැනීමේ අවස්ථාව වෙළෙන්දන්ට හිමිවේ. ඒ එක් කතාවක් පමණි. තවත් ප්‍රබන්ධයකට අනුව මෙම සුවඳවත් කුරුඳු පිහිටා තිබෙන්නේ යෝධ විසකුරු, බියකරු සර්පයන් විසින් ආරක්ෂා කරන ගැඹුරු කුරුබිලියන් පත්ලේය. මෙයාකාරයේ අවදානම් සහගත තත්ත්ව රැසක් අබිබවා මහත් දුකසේ ලබා ගන්නා කුරුඳුවලට එතරම් ඉහළ මිලක් අයකිරීම, උපායෙහි දක්ෂ අරාබි වෙළෙන්දන්ට අනුව අසාධාරණ වූවක් නොවේ.   

නමුත් අපරදිග වංශාධිපතියන් බුක්ති විඳින සුඛෝපභෝගී යැයි සම්මත දෑ සොයා යාමට මධ්‍යම පාංතිකයන් ද පෙළඹීමත් සමඟ කුරුඳු සඳහා ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. මේ නිසා අරාබින් මතම නොයැපී ස්වඋත්සාහයෙන් මේ කියන අබිරහස් කුළු බඩු වර්ගය සොයා මහ මුහුද තරණය කිරීමට අපරදිග ගවේෂකයන් පටන් ගත්හ. ක්‍රිස්ටෝෆර් කොලම්බස් නව ලෝකය සොයාත්, වස්කෝද ගාමා දකුණු ඉන්දියාව හා ශ්‍ර‌ී ලංකාව බලාත් අහඹු ලෙස පැමිණෙන්නේත්, එලෙස කුරුඳු සොයා ඇරඹුණු මුහුදු ගවේෂණ චාරිකාවල ප්‍රතිඵලයක් ලෙසයි. ක්‍රි.ව. 1518 දී පෘතුගීසීන් ශ්‍රී ලංකාව තමන් මෙතෙක් කලක් සෙවූ කුරුඳුවල නිජබිම බව අනාවරණය කර ගැනීමත් සමඟ ලංකා රාජ්‍යය පෘතුගීසීන්ගේ යටත් විජිතයක් බවට පත්විය. එතැන් සිට සියවසක කාලයක් පෘතුගීසීන් සිත්සේ ලාංකීය කුරුඳු සම්පත බුක්ති විඳිමින්, ලොව සෙසු රටවලට ද අලෙවි කරමින් කුරුඳු වෙළෙඳාම ජයටම කරගෙන ගියත්, 1638 දී ලන්දේසීන් හා උඩරට රාජධානිය එක්ව දියත්කළ සටනින් පැරදීම නිසා කුරුඳු වෙළෙඳාමට අකමැත්තෙන් වුවත් සමුදීමට ඔවුන්ට සිදුවිය. ඉංග්‍රීසීන් විසින් 1784 දී යටත් කරගන්නා තෙක්, මීළඟ වසර එකසිය පනහක කාලය තුළ ලන්දේසීන් විසින් ලංකා කුරුඳුවල වෙළෙඳාධිකාරය පවත්වාගෙන ගියේ එකල උඩරට රජු වූ ‘කීර්ති ශ්‍රී රාජසිංහ’ සමඟ ගිවිසුමකට ද බැඳෙමිනි. ක්‍රි.ව. 1766 පෙබරවාරි 14 දා හඟුරන්කෙතදී අත්සන් තැබූ මෙම ගිවිසුමෙන් ශ්‍රී ලංකා රාජධානිය විදෙස් ආක්‍රමණවලින් රැක ගන්නා පොරොන්දුව පිට තෝරාගත් වනබිම්වල කුරුඳු අස්වැන්න ලබා ගැනීමට ලන්දේසීන්ට අවසර ලැබිණි. ශ්‍රි ලංකාවේ පැවැති කුරුඳු වෙළෙඳාම පිළිබඳ හමුව ඇති හොඳම ඵෙතිහාසික මූලාශ්‍රය වන්නේ මෙම හඟුරන්කෙත ගිවිසුමයි. ඉංග්‍රීසීන් විසින් යටත්කරගන්නා කාලයේදී කුරුඳු වගාවෙන් එතරම් ලාභයක් ලැබීමට ඔවුන්ට නොහැකි වූයේ ඒ වනවිට කුරුඳු පිළිබඳ රහස දියාරුව ගොස්, ලොව සෙසු බොහෝ රටවලත් කුරුඳු මෙන්ම ඊට අභියෝග කිරීමට සමත් යැයි එකී රටවල් විසින් පාරම් බෑ වෙනත් රසකාරකයන් වූ කොකෝ හා කැසියා (මෙය ද කුරුඳු ප්‍රභේදයකි) වැනි වගාවන් අරඹා තිබුණු නිසයි.   

නමුත් ඊශ්‍රායලයෙන් හමුවූ වසර තුන්දහසක අතීතයක් හිමි ඒ ඉපැරණි ප්ලාස්කුවලින් හෙළිවූ නිහඬ සාක්ෂියෙන් කියා සිටියාක් මෙන් ලාංකීය කුරුඳුවලට ආ‍වේණික රසයෙන් හා සුගන්ධයෙන් සම කළ හැකි අන් ආදේශකයක් අදටත් ලොව නැත. එමෙන්ම නව ලෝකය සොයා මුහුදු ගවේෂණයේ නියැළීමට ක්‍රිස්ටෝෆර් කොලොම්බස්, වස්කෝද ගාමා මෙන්ම ගොන්සාලෝ පිසාරෝ වැනි දේශ ගවේශකයන් පෙළඹ වූයේ ලංකා කුරුඳුය. අදට ද ජාත්‍යන්තර වෙළෙඳපොළේ වන කුරුඳු ප්‍රභේද අතර උසස්ම වර්ගය ලෙස පිළිගැනෙන්නේ ‘සිලෝන්ය’. ( ශ්‍රී ලංකා කුරුඳු චිරාත් කාලයක සිට විදේශිකයන් අතර හැඳින්වෙන්නේ මෙනමිනි). ලෝක ඉතිහාසය නිර්මාණය කිරීමට ලංකා කුරුඳු සිය දායකත්වය ලබා දුන්නේ එලෙසය.   

රුක්ලන්ති පෙරේරා