මෙරට තේ වගාවේ ආරම්භකයෝ සුදු ජාතිකයෝය ඔවුහු වර්ෂ 1824 දී මුල් වරට  තේ බීජ ලංකාවට ගෙන ආ අතර 1839 වසරේදී මුල් වරට තේ පැළය හඳුන්වා දුන්හ. පළමු වරට ලංකාවේ වාණිජ තේ වගාවක් ආරම්භ කරන ලද්දේ 1860 වසරේය. ඒ ජේම්ස් ටේලර් නමැති බි්‍රතාන්‍ය ජාතිකයා විසිනි. ඔහු විසින් මහනුවර හේවාහැට ලූල්කදුර ප්‍රදේශයේ පළමු වරට අක්කර සියයකින් ආරම්භ කරන ලද තේ වගාව 1875 වෙද්දී අක්කර 500 ක් දක්වාත් 1887 වන විට අක්කර 150,000 දක්වාත් ව්‍යාප්ත විය. 1890 වෙද්දී තේ වගාව සමස්ත කඳුකරය පුරාම ව්‍යාප්ත කිරීමට සුදු ජාතිකයෝ පියවර ගත්හ. එය මෙරටට විදේශ විනිමය කැන්දාගෙන ආ ප්‍රධාන ආර්ථික බෝගය බවටද පත්විය.


මෙලෙස ආරම්භ කළ තේ වතු යායන් බොහොමයක කළමනාකාරීත්වය දරන ලද්දේද සුදු ජාතිකයින් වූ අතර 1948 වසරේදී අප රටට නිදහස ලබාදීමෙන් පසුවද බොහෝ වතුවල පාලනය සුදු ජාතිකයින් විසින්ම කරගෙන ගියෝය.


 මේ වන විට 80 වැනි වියේ පසුවන බදුල්ල සොරණාතොට පුස්සල්ලාව හයේ කණුවේ එස්.එම්.ඩී.බී. එගොඩවෙල මහතාද දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ සුදු ජාතිකයින් පාලනය කළ වතු යායවල විවිධ තනතුරු දරමින් විවිධ වූ අත්දැකීම් රැසක් ජීවිතයට එක්කර ගත් පුද්ගලයෙකි.  


  සුද්දාගේ නීතියට අනුව සියලු_ වියපැහැදම් අතින් පියවාගෙන තේ කර්මාන්ත ශාලා නිලධාරියෙකු වීමේ අපේක්ෂාවෙන් 1960 දී වැඩ පුහුණුවන්නෙකු ලෙස සේවයට බැඳුණු එගොඩවෙල මහතා  ප්‍රධාන තේ කර්මාන්තශාලා නිලධාරිවරයෙකු ලෙස විශ්‍රාම ලබා ඇත්තේ වසර 30 කට ආසන්න සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසුවය. 


විශ්‍රාම යාමෙන් පසුවද හෙතෙම තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙසද වසර 
ගණනාවක් සේවය කළේය.


 සිය සේවා දිවියෙන් සැලකිය යුතු කාලයක් සුදු ජාතිකයින්ගේ වතු පාලනය යටතේ සේවය කළ එගොඩවෙල මහතා අපි මෙවර ගැමි රසවිත තීරයට කැඳවාගෙන ආවෙමු.


 අපි ඔහුගේ රැකියා දිවියෙන් කතාව ඇරඹුවේ එය ඒ තරමටම රසබර කතා පුවත්වලින් සරුසාර වූ නිසාය.


“මගේ තාත්ත තමයි සොරණාතොට පළාතේ කෝරාල මහත්තය. මම අපේ පවුලේ වැඩිමලා. තව මට බාල දහ දෙනෙක් හිටිය. ඒ වෙනකොට මට වයස 20 ක් විතර ඇති. මම ඉගන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්.  සාමාන්‍ය පෙළ විභාගයට ලියල ප්‍රතිඵල එනකම් ගෙදර හිටියේ. ඉන්න ගමන් සන්ඬේ ඔබ්සර්වර් පත්තරේ තියෙන විවිධ රැකියාවලට ඉල්ලුම් කළා. ඒත් ලැබුණේ නැහැ. ඔය අතරේ තාත්තගේ යාළුවෙක් දවසක් ගෙදර ආව. එයා වත්තක ටී මේකර් කෙනෙක්.” 

 


තාත්ත එයාට කීව මට රස්සාවක් හොයල දෙන්න කියල. එයා ඒක බාර ගත්ත. එයා දවසක් මාව ඇටම්පිටිය පාරේ තියෙන තේ වත්තකට එක්ක ගියා. ඒකේ නම  “අයිස්ලැබ්.”


මාවත් අතින් අල්ලගෙන එයා වතු බංගලාවට ගියා. එතන හිටියා කළු කෝට් එකක් ඇඳපු මහත්තයෙක්. ඔන්න මම ඔයාට වැදගත් පවුලක තරුණයෙක් ගෙනාවා කියපු තාත්තගේ යාළුව මාව එයාට බාර දුන්න. ඊට පස්සේ එයා මාව සුද්දෙක් ළඟට එක්ක ගියා. සුද්දාගේ නම ලුෂින්ටන් (ඛඹී්‍යෂභඨධභ). එයා තමා ඒ වත්තේ පාලකයා.


මාව එක්කගෙන ගිය පුද්ගලයා සුද්දට මාව හඳුන්වා දුන්නා. මම බය නැතිව සුද්දත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කළා. ඒකට සුද්දට හරි සතුටුයි. “ගුඞ් ගුඞ්” කියල සුද්ද කීව. මාව වැඩට ගන්නත් කැමැති උණා. හැබැයි මට පඩි නැහැ කීව. මාස තුනක් වැඩ ඉගෙනගත්තම විභාග ප්‍රතිඵලත් බලල රස්සාවක් දෙන්නම් කීවා. හැබැයි තමන්ගේ වියදමින් ඉගෙන ගන්න වෙනව කියලත් කීව.  

  
ඊට පස්සේ තාත්ත මාව ඒ ළඟ ගෙදරක බෝඞ් කළා. බෝඩින් ගාස්තුව විදිහට රුපියල් 30 ක් ගෙවන්න සිදුඋනා. තාත්තා තමයි ඒ මුදල දුන්නේ. උදේ 6.30 වෙනකොට වැඩට එන්න ඕනෑ. වැඩ ඇරෙනකොට 6.30-7.00 වෙනව. සුද්දාත් ඒ වෙනකම්ම ඉන්නවා. සමහර වෙලාවට රෑටත් ඉන්න වෙනව.


කොහොම හරි මම විභාගෙනුත් පාස් වෙලා තිබුණා. වැඩ ටිකත් ඉගෙන ගත්ත. විභාග ප්‍රතිඵල ගැන අහපු සුද්ද මට දවසට 2.50ක පඩියක් යටතේ රස්සාව දුන්න. හැබැයි මට පඩි ලැබුණට පස්සේ තාත්ත දෙන බෝඩිං ගාස්තුව නැවැත්තුව. මම ලැබෙන පඩියෙන් බෝඩිං ගාස්තුව ගෙවල අම්මටත් රුපියල් 10 ක් දුන්න. මොකද ගෙදර තව 10 දෙනෙක් ඉගෙන ගන්නත් එපායැ. ඒ වෙන කොට තාත්ත විශ්‍රාම ගිහින් හිටිය නිසා අමාරුකමුත් ටික ටික තිබුණා.


ඒ කාලේ මගේ ඇඳුම කාකි කොට කලිසමයි සුදු ෂර්ට් එකයි. සපත්තු දාල කමිසේ යට කරල නීට් එකට ඉන්න ඕනෑ.  
දවසක් මම දලු මැෂින් එකක් ළඟ වැඩ කර කර හිටිය. සුද්දාත් එතන්ට ආව. ඇවිත් සාම්පල් එහෙම බලල මගේ දිහාත් උඩ ඉඳල පහළට බලන් ඉඳල යන්න ගියා.


ටික වෙලාවකට පස්සේ මට කාර්යාලයට එන්න කියල පණිවිඩයක් ආවා. මම ගියා. සුද්දා මගේ දිහා බලල මගෙන් ඇහුව කෝ මේස් සපත්තු කියල. මම එදා හදිස්සියට දාගෙන ඇවිත් තිබුණේ සෙරෙප්පු දෙකක්. සුද්දා මට අවවාද කරල යන්න කීවා. හැබැයි මේ වගේ දේවල් උනාම අපේ සිංහල අයනම් තැන නොතැන බලන්නේ නැතිව බණිනව. ඒත් සුද්දො කාට හරි දොසක් කියනව නම් ඒක කාර්යාලයට එක්කගෙන ඇවිත් කවුරුත් නැති තැනක තමයි කරන්නේ. 


කොහොම හරි මේ විදිහට අවුරුද්දක් විතර වැඩ කරන කොට තේ කර්මාන්තයේ හුඟක් දේවල් මම ඉගන ගත්තා. ඔය අතරේ මම රැකියාවලටත් ඉල්ලුම් කළා.


ඔන්න මට නාවලපිටිය පැත්තේ වත්තක තුන්වැනි පන්තියේ ටී මේකර් තනතුරක් සඳහා ඉන්ටර්වීව් ආව. මාත් එක්ක තව 10-15 ක් තරගෙට හිටිය. ඒ වත්තේ ලොක්කා ඉලංගකෝන් කියල සිංහල මහත්තයෙක්. එයා මගේ හැකියාව හා ඉංග්‍රීසි දැනුම බලල මාව තෝර ගත්තා. පඩිය දවසට රුපියල් දහයක් ලැබුණා.


ඔය අතරේ කසාදයකුත් කර ගත්තා. වත්තේ රියැදුරෙකුගේ දුවක් තමා බැන්දේ. හැබැයි ඒකට විරෝධතා ආවා. 


ඊළඟට මට හපුතලේ වත්තට ස්ථාන මාරුවක් ලැබුණා. ඒක ලොකු කොම්පැණියක්. අයිතිකාරයා මැක්රේ කියල සුද්දෙක්. මට එහෙදි නිල නිවසක් වගේම වත්තේ වැඩට, කඬේ යන්න, උයන්න වගේ දේවල්වලට කම්කරුවෝ කීප දෙනෙකුත් ලැබුණා.
හැබැයි එතනත් ඉන්න පුළුවන් උනේ වසර පහයි. මොකද සුද්ද කීයටවත් වැඩ කරන නිලධාරියෙක් වසර පහකට වඩා එක තැන තියන්න කැමැති නැහැ. අනිවාර්යයෙන්ම යන්න ඕනෑ. 


හපුතලේ වත්තේ ඉද්දි මට හොඳ වැඩක් උනා. එදා  මම රාත්‍රී සේවා මුරයට ගියා. මිනිස්සු මැෂින්වල වැඩ. මට තිබුණේ දලු වේළීමේ තත්ත්වය, වගේ දේවල් විටින් විට බලල අදාළ මැෂින්වලට දලු මාරු කරන්න උපදෙස් දෙන එක.


මම ඉතින් මගේ කාර්යය අවසන් කරල දලු ටික වේලෙනකම් මැෂින් එකට එහා පැත්තේ තියෙන මගේ සේවා කාමරයේ තැනක පොඞ්ඩක් ඇල උනා. වෙලාව රාත්‍රී 2.30 ට විතර ඇති. මට හොඳටම නින්ද ගියා. ඒත් එක පාරටම කවුදෝ කෙනෙක් මගේ අතක් තදින් පාගනව මට දැණුන. මම උඩ ගිහින් ඇහැරුණා. වට පිට බැලුවත් කිසි කෙනෙක් නැහැ. හීනයක් වෙන්න ඇති කියල හිතල මම ආයෙත් නිදා ගත්ත. ටික වෙලාවක් යද්දි ආයෙත් සැරයක් මගේ අත පෑගුව. ඒ පාර මම තවත් බය වෙලා නැගිට්ට. මම 
ගිහින් එහා පැත්තේ හිටිය කම්කරුවන්ට විස්තරේ කීවා.


ඒ විස්තරේ අහපු කම්කරුවො ඔලුවේ අතගහගෙන කිව්වා “දෙයියනේ සර් බේරුණා පුදුමයි. ඔය තමයි රෝදමණී සාමි දෙවියො” කියල. රෝදමණී සාමි කියන්නේ වතු පැක්ටරිවල යන්ත්‍රසූත්‍රවලට අරක් ගත් දෙවිකෙනෙක් කියලත් ඒ අය කීවා. 


රෝදමණි සාමි අමනාප උනොත් යන්ත්‍ර සූත්‍ර කඩා දමන්න පවා හැකියාවක් තියෙන බව වතු කම්කරුවො අදටත් විශ්වාස කරනවා. ඒ නිසා ෆැක්ටරිවල වැඩ කරන කම්කරුවො මේ දෙවියන්ට හරිම බයයි. ඒ අය වසරකට වරක් මේ දෙවියන් වෙනුවෙන් විශාල පූජාවක් කරනවා. එදාට එළුවො කුකුළො ගෙනත් බෙලි කපල ලේ හලල තමයි මේ පූජාව කරන්නේ. රෝදමණී සාමි දෙවියන්ට සුදු ජාතික නිලධාරි පවා බය උණා. ඒ දෙවියන්ට පූජාව දෙනකොට වතු මහත්තුරුත් ඒ පූජාවට සහභාගී වුණා. කොහොම හරි ඉතින් මම එදා නිදාගෙන තියෙන්නේ ඒ පූජාව කරන තැනලු. කම්කරුවො කියන විදිහට එදා අත පාගල මම බය කළා විතරලු. නැතිනම් එයා කරන්නේ බෙල්ලම පාගල ඉවරයක් කරන එකලු. කොහොම උනත් එදා මම හොඳටම බය උනා. ආයෙනම් කිසිම දවසක මම ෆැක්ටරියෙදි නිදා ගත්තේ නැහැ.


වතු කම්කරුවො මාඩු සාමි කියල දෙවි කෙනෙකුත් ඇදහුවා. මේ දෙවියන්ගේ බැල්ම තියෙන්නේ ගර්භණි මාතාවන්ට කියල තමා ඒ අය විශ්වාශ කළේ. වත්තේ කවුරු හරි කාන්තාවක් දරුවෙක් ලැබෙන්න සූදානම් වෙනව නම් මාඩුසාමි දෙවියන් සංඛේතවත් කරන ගහක් හරි ගලක් හරි ළඟට ගිහින් ඒ අය බාර වෙනවා. කරදරයක් නැතිව දරුව ලැබුණු වහාම ඒ දරුවත් අරන් එතෙන්ට යන මේ අය එතනදි පොල් ගහල කුකුළෙක් කපල එතන ලේ හලල බාරේ ඔප්පු කරනවා. එහෙම නොකළොත් දරුවට වගේම අම්මටත් කරදරවලට මුහුණ දෙන්න වෙනව කියල තමා ඒ අය විශ්වාශ කළේ. කොහොම උනත් වසර පහකට පස්සේ මට උසස්වීමක් එක්ක පස්සර මහදෝව වත්තට මාරුවක් ලැබුණා. 


ඊළඟට නානුඔය එඩින්බරෝ වත්තේ සීනියර් ඇසිස්ටන් විදිහට පත්වීමක් ලැබුණා. එහේ ඉද්දි මගේ ලොක්කා ඒ කියන්නේ සීනියර් ෆැක්ටරි ඔෆිසර් හොඳට හොරකම් කළා. මටත් කරන්න දෙයක් තිබුණේ නැහැ. එයා කියන දේවල් කළා. නැත්නම් මට රස්සාව නැතිවෙනවනේ. ඉතින් එයා මටත් ඉඳල හිටල රුපියල් 40-50 ක් දෙනවා. මේ විදිහට වතුවලින් වතුවලට මාරුවෙවි වසර 30 ක් විතර සේවය කළා.


වතු ජනතාව විවිධ නම්වලින් හැඳින්වෙන යක්ෂයින් දෙවියන් මෙන්ම නොපෙනෙන බලවේග යහමින් ඇදහූ අතර ඔවුහු පුද පූජා බාර හාරද පැවැත්වූහ. එගොඩවෙල මහතා මුලදී ඒවා විශ්වාස නොකළද අවසානයේදී ඔහුට අත්විඳින්නට සිදුවූ සිදුවීම් නිසා ඒවා යම් තරමකට විශ්වාශ කරන්නට ද ඔහුට සිදුවිය. ඔහු එවැනි අත්දැකීමක් මෙසේ විස්තර කළේය.


“වතුවල අය හරියට දෙවියො යක්කු භූතයො අදහනවා. ඒව පිළිගන්න මම අකැමැති උනත් මට මුහුණදෙන්න සිදු උනු දේවල් නිසා පස්සේ පස්සේ මට ඒව විශ්වාස කරන්න වගේම අදහන්නත් සිදුවුනා.”


මම කොකාගල වත්තේ ඉද්දි අපූරු සිදුවීමක් වුනා.


මගේ නිල නිවසේ නිදාගෙන ඉද්දි තමා මේ සිදුවීම වුණේ. මම, බිරිඳ වගේම මගේ පුතා එදා නිදාගෙන හිටියෙ ජනේලයක් ළඟ ඇඳක. වෙලාව රාත්‍රි 11-12 ට විතර ඇති. මට හොඳටම නින්ද ගිහිල්ල තමා හිටියේ. හිටපු ගමන් කවුදෝ මගේ ඇඟට පොල්ලකින් තට්ටු කරනව දැනුනා. මම ඒ කාලේ තරුණ නිසා කාටවත් බය නැහැ. මම ජනේලය ඇරල එළිය බැලුවා. එතකොට ජනේලය ළඟ හිටගෙන හිටියේ අපූරු සතෙක් වගේ මිනිහෙක්. එයාගේ මුහුණ හරියට හරකෙක්ගේ වගේ. අතේ හැරමිටියක් තිබුණා. එයා මගේ පුතා දිහා බල බලා දරුව ඉල්ලුවා. මම හොඳටම බය උනා. මේක ඇත්තම සිදුවීමක්.


කොහොම හරි මම වත්තේ අයට මේ ගැන කීවා. ඒ අය මට කීවා රෝදමණි සාමි දෙවියන්ගේ නියම විලාසය තමයි ඒ කියල. ඊට පස්සේ ඒ අය මට කීවා පූජාවක් තියන්න කියල. මම එහෙම කළා. ඒත් සති දෙකක් යද්දි මගේ දරුවට ආරූඪයක් ආව. පුතා දේව භාෂාවක් වගේ භාෂාවකින් කතා කරන්න පටන් ගත්ත. මොන පුද පූජා තිබ්බත් ඒ තත්ත්වය නැති උණේ නැහැ. දැන් එයා ලොකු දරුවෙක්. අදටත් එයාට හිටි ගමන් මේ ආරූඩෙ එනව.” 


එකල වතු බාරව වැඩ කළ බොහෝ සුදු මහත්තුරු රැකියාව අකුරටම කළ බව එගොඩවෙල මහතා පවසයි. 


හපුතලේ වතුයායේ ඔහු සේවය කරමින් සිටියදී එහි වතු අධිකාරීවරයා ලෙස කටයුතු කළේ මැක්රේ නමැති මහතෙකි. ඔහු කම්කරුවන්ගෙන් මෙන්ම නිලධාරීන්ගෙන්ද අපූරුවට වැඩගන්නට සමතෙක් බව එගොඩවෙල මහතා පැවැසුවේය.


“මැක්රේ මහත්තය හරිම දක්ෂයි. හපුතලේ වත්ත කියන්නේ දරා ගන්න බැරි සීතලක් තියෙන වත්තක්. හැබැයි මේ සීතලේ වත්තේ හැමෝටම කලින් මැක්රේ මහත්තය වත්ත හැමතැනම ඇවිදිනවා. සමහර වෙලාවට එයා ආව කාර් එක කොහේ හරි තැනක නවත්තලා හැතැම්ම ගාණක් පයින් ගිහින් වත්තේ අනිත් පැත්තෙන් මතුවෙනව. මිනිස්සු හිතන්නේ මහත්තය කාර් එක ළඟ ඇති කියල. අන්තිමට මහත්තයගේ මේ උපාය නිසා මිනිස්සු හොරට ඉන්නේ නැතිව වැඩ කරන්න පටන් ගත්තා. 


ඒ වගේම මෙයා මිනිස්සුන්ට හරිම කරුණාවෙන් සැලකුවා. හොඳට ඉන්න අයට පණ උනත් දෙන විදිහට වැඩ කළා. හැබැයි ඒ වගේම හොරකම් වංචා කළ අයටත් දඬුවම් දුන්නා.


එකල බෙහෝ වතු තුළ තිබුණේ අමුතුම පාලනයකි. වත්තේ මතුවන ගැටලු සම්බන්ධයෙන් නඩු හබ විසඳුවේත් යුක්තිය අයුක්තිය පසිඳනු ලැබුවේත් වතු පාලකයන් විසින්මය. ඔවුන්ගේ සිතැඟි පරිදිය. වතුයාය ඇතුළේ සිදුවූ බොහෝ සිදුවීම් පිටතට ආරංචි වූයේ කලාතුරකිනි. ඒ ගැන ඔහු මෙසේ කීවේය.


“සමහර මහත්තුරු යක්කු වගේ. කේන්ති ගියාම මොනව කරනවද කියල දන්නේ නැහැ. සමහර වෙලාවට වත්තේ ඇතිවෙන ගැටුම්වලදී මිනිස්සුන්ට වෙඩි තියල මරල දාපු  අවස්ථා ගැන පවා මම අහල තියෙනව. හැබැයි ඒ එකක්වත් වත්තේ ගේට්ටුවෙන් එළියට එන්නේ නැහැ. පොලිසියට යන්නෙත් නැහැ. හුඟක් වෙලාවට නිලධාරි වගේම කම්කරුවොත් වැරදි කාරයො වෙන්නේ තේ කොළ වගේ දේවල් හොරකම් කරලයි. හැබැයි දක්ෂ නිලධාරි නම් පොත් 


ගාණට බැලන්ස් කරල හොරකමත් ගාණට කරනව. සුද්දටත් පොතේ බැලන්ස් එක හරියට තියෙනව නම් ප්‍රශ්නයක් නැහැ.”
ඇතැම් සුදු ජාතික වතු පාලකයෝ හොඳ විනෝදකාමීහුය. සල්ලාලයෝද ඒ අතර වූහ. ඔවුන්ගෙන් වත්තේ වැඩ කරන ඇහැට කනට පේන ගැටිස්සියන්ට සිදුවූ කරදර ගැනද එගොඩවෙල මහතා ආවර්ජණය කළේය.


සමහර සුද්දො උදේම වත්තේ ඇවිදින්න යනව. කම්කරුවො දලු කඩන තැන්වලටත් යනව. එහෙම යද්දි ඇහැට කනට පේන ගැටිස්සියෙක් දැක්කොත් මතක තියාගෙන ඇවිත් කංකානිට කියල ඒ කෙල්ලව බංගලාවට ගෙන්න ගන්නව. කංකානිට වගේම ඒ කෙල්ලටත් අන්තිමට තෑගි බෝග දීල පිටත්කරනව. තෑගි බෝගවලට තියෙන කෑදරකම නිසා කංකානිලත් මේවට උදව් කරනව. හැබැයි ඉතින් මේවට නීතියක් නැහැ. විරුද්ධ උනොත් ඒ මිනිහ බල්ලෙක් වගේ වෙඩි තියල මරල දානව. එච්චරයි. කෙසේ වෙතත් වසර 30 කට ආසන්න කාලයක් තේ වතුවල සේවය කර විශ්‍රාම ලැබූ එගොඩවෙල ඉන් පසුවද පුවත්පතක තිබූ ඇබෑර්තුවක් මත තලවකැලේ තේ පර්යේෂණායතනයේ ආරක්ෂක සේවයට එක්වී එහි ප්‍රධානියා ලෙසද කලක් සේවය කළේය.


වත්තේ අත්දැකීම් පමණක් නොව එගොඩවෙලගේ ළමා කාලය ගැනද අපි ඔහුගෙන් විමසුවෙමු.


එගොඩවෙල මහතා උපන්නේ 1938 ජනවාරි මස 08 වන දින සොරණාතොට තිඹිරිගස්පිටිය ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ මහ ගෙදරය. එගොඩවෙලගේ සීයා රටේ මහත්තයෙකි. ඊ.එස්.එල්.සී. නම්වූ විභාගය (ෑීඛක්‍) සමත්වීමත් සමගම එගොඩවෙල මහතාගේ  පියාටද සොරණාතොට ප්‍රදේශයේ කෝරාල තනතුර හිමිවිය. පත්වීම සිදුකර ඇත්තේ එකල බදුල්ලේ ඒජන්තවරයා ලෙස කටයුතු කළ සුදු ජාතිකයෙකි. 


එගොඩවෙලගේ මවද වලව්කාරියකි. ඇය මෙහි කැඳවාගෙන පැමිණ ඇත්තේ පොල්ගහවෙල දැදිගම වලව්වේ සිටය. 


එගොඩවෙලගේ පවුලේ වැඩිමලා ඔහුය. මුළු සාමාජික සංඛ්‍යාව එකොළොස් දෙනෙකි. වෙලේ, කැලේ, ඉපනැල්ලේ නිදහසේ ගෙවුණු එගොඩවෙලගේ ළමාවිය බෙහෙවින්ම සුන්දර එකකි. ඒ ගැන ඔහු මෙසේ කීවේය.


 “මම පවුලේ වැඩිමලා. ඒ කාලේ මම මුලින්ම ඉගෙන ගන්න ගියේ ගමේ පාසලට. පාසල තිබුණේ ගෙදර ඉඳල ටිකක් දුරින්. ගස් ගල් දිය කඩිති කුඹුරු උඩින් තමා පාසලට යන්න ඕනෑ. ගෙදර වැඩට හිටිය කෙනෙක් තමා මාව වඩාගෙන පාසල් ගෙනිහින් තියෙන්නේ. දවසක් මම පොඩි කාලේ අම්මලගේ පොල්ගහවෙල වලව්වට ගිහින් ඉද්දි දවල් කෑමට ඩඞ්ලි සේනානායක මහත්තය ආවලු. එතුමට මම ගැන ආස හිතිල යනකම්ම මාව ඔඩොක්කුවෙ තියාගෙන හුරතල් කරල තියෙනව. මොකද ඒ කාලේ මගේ අම්මගේ තාත්තත් ප්‍රසිද්ධ ආරච්චි කෙනෙක්ලු.


 කෙසේ වෙතත් තම දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීමට එගොඩවෙලගේ පියාට තිබූ දැඩි උවමනාව නිසාම නොබෝ දිනකින්ම ඔහු ගමේ පාසලින් අස්කොට බදුල්ල ධර්මදූත විද්‍යාලයට ඇතුළු කළේය. එකල එහි විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේ ගුණවර්ධන නමැති මහතෙකි.


“බදුල්ල පාසල තිබුණේ අපේ ගමේ ඉඳල හැතැම්ම පහ හයක් දුරින්. ඒකාලේ බස් නැහැ. අපිට පයින් යන්න බැරි නිසා මල්ලියි මායි බදුල්ලේ තාත්ත දන්න ඉස්කෝල මහත්තයෙකුගේ ගෙදර නතර කළා. ඒත් අපිට ඒක ඇල්ලුවේ නැහැ. දවසක් අපි පැනල ගෙදරටම පයින් ආවා. පස්සේ ඒ මහත්තයත් අපිව හොයාගෙන ගෙදරටම ආව. තාත්ත අපිට බැන්නේ නැහැ. ආයෙත් අපිව එයාටම බාර දුන්නා. ඒත් අපි කැලේ පැන්නා. අන්තිමට අපිට ගෙදර ඉඳල පයින්ම පාසල් යන්න අවසර ලැබුණා.


  දවසක් අපි පාසල් යන්න කියල ගෙදරින් ගිහින් පොත් ටික මග හැංගුවා. හංගල බදුල්ල රේස් කෝස් පිට්ටනියට ගිහින් පාසල ඇරෙන වෙලාව කිට්ටු කරල ගෙදර ආවා. හංගපු පොත් ටික හෙව්වත් හොයා ගන්න බැරි උනා. අපි ගෙදර යන්නේ නැතිව දුංහිද කැලේ ළඟ ඉන්නකොට තාත්ත කට්ටියක් එක්ක ඇවිත් අපිව එක්ක ගියා. එදත් තාත්ත අපිට මොකුත් කීවේ නැහැ. අපි පොත් හංගනව බලා හිටිය ගමේ කෙනෙක් හංගපු පොත් ටික තාත්තට ගෙනත් දීල තිබුණා. ඒ කාලේ පාසලේ විනාඩි 45 ක් සිංහල උගන්වනවා. ඉතිරි සියලුම දේවල් ඉගැන්නුවේ ඉංග්‍රීසියෙන්. ගෙදරත් ඒකට හොඳ පරිසරයක් තිබුණු නිසා අපිට අමාරු වුණේ නැහැ. තාත්තත් මොන වැඩ තිබුණත් රෑ වෙද්දි අපිව වටේ තියාගෙන ඉංග්‍රීසි කතන්දර, පොත්පත් කියල දෙන්න පුරුදුවෙලා හිටියා.


අද රජයේ සේවකයින් මෙන් සේවා කාලය එකම තැනකට දෙකකට කොටුවී නොසිටි එගොඩවෙල මහතා දිවයින පුරා පිහිටි වතු රැසකම සේවය කරමින් ජීවිතයට අත්දැකීම් රැසක් එකතු කරගත් පුද්ගලයෙකි. රැකියාවෙන් කියා කිසිම දෙයක් හරි හම්බ කර නොගත් එගොඩවෙල මහතා තමන්ට නීතිමය අවසරය ඇති උපරිම වයස් සීමාව දක්වාම වතු රාජකාරියේ නිරතව සිටියේය. මේ වන විට අසූවැනි වියට පා තබා සිටින හෙතෙම අදටත් ජීවත් වන්නේ පෞද්ගලික ආරක්ෂක සේවයක ආරක්ෂක නියාමකවරයෙකු වශයෙනි. 


පස් පවින් වැළකී තමන් ගතකළ යහපත් දිවි පැවැත්ම නිසාම අදටත් තමුන්ට දියවැඩියාව අධිරුධිර පීඩනය ආදී කිසිදු 
රෝගාබාධයක් නැතැයිද හෙතෙම අපට සමුදෙමින් කියා සිටියේ මුවගට මද සිනහවක් නංවා ගනිමිනි. 
 

කතාව සහ පින්තූර - 
වියලුවේ නිශාන්ත කුමාර