ඉතිහාසය

 

ලංකාවේ රාජ්‍යත්වයට පත්වූ ද්‍රවිඩ රජවරුන්ගේ කාලවල දී පමණක් නොව ඇතැම් සිංහල රජවරු ද සිය රාජ්‍ය බලය ලබාගැනීමට මෙන්ම එය පවත්වාගෙන යාමට ද දකුණු ඉන්දීය විවිධ ජන කණ්ඩායම් කුලී හේවායින් ලෙස මෙරටට ගෙන්වා ගත්හ. ඔවුන් නම් පරවර්, පල්ලර, මුක්කර, පඩන්තල ආඩි පාඩි හා මලල ආදී පිරිස්ය. මෙයින් පල්ලාරු හෙවත් පල්ලවයෝ උත්තර භාරතයෙන් දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා පෙදෙසට උතුරේ ආර්යන් විසින් පලවා හරින ලද අනාර්ය පිරිස් අතුරින් එක් ජන කණ්ඩායමකට අයත් පිරිසකි. මොවුන් ශාක්‍යයන් හෙවත් සිතියන් වරුන්ගෙන් පැවතෙන උප ජන කොටසකි.   
ශාක්‍යයන්ගේ මුල් වාස භූමිය වූයේ වර්තමානයේ දී යුක්රේනය නමින් හැඳින්වෙන පුරාණයේ දී සිතියාව නමින් හඳුන්වන ලද ප්‍රදේශයයි. ග්‍රීක ඉතිහාසකරුවන් සිතියන්වරු නමින් ද ආසියාවේදී සක නමින් ද බෞද්ධ සාහිත්‍යයෙහි ශාක්‍ය නමින් ද මෙම ජන වර්ගයා හැඳින්වෙයි. සිතියාව පිහිටියේ යුරෝපයේ ගිනිකොණ දෙස වූ කාර්පේනියන් කඳු හා ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙහි වූ ඩොන් ගංගාව අතර පිහිටි විශාල සම තැනිතලා ප්‍රදේශයෙහිය.  


එළු බැටළුවන් ඇති කරමින් නව තෘණ භූමි සොයා යන චරිත වර්ගයක් වශයෙන් කල්ගෙවූ ඔවුන් සතුව ස්ථිර නිවාස නොතිබූ අතර ලෝම හෝ සම්වලින් ආවරණය කරන ලද බර කරත්ත ඔවුන්ගේ නිවාස විය.  
විශාල අශ්ව රංචු තබාගෙන සිටි මොවුහු අසුන් විහිදුවීමෙහිද දුනු ශිල්පයෙහි ද, කඩු ශිල්පයෙහි ද ශූරයෝ වූහ. එයින් ගමන් කිරීමෙහි දක්ෂයින් වූ මොවුන්ගේ ස්ත්‍රීන් ද යුද්ධවල දී පුරුෂයින් සමඟ එකතුව සටන් කළහ. කල්යාමේ දී නියඟය සහ දුර්භික්ෂය වැනි හේතුන් නිසා මුල් ජනාවාස විනාශ වූ බැවින් අසල්වාසී සරුසාර රාජ්‍යයන්ට කඩාවැදී ඔවුන්ගේ දේපොල කොල්ලකෑමට පුරුදු වූහ.   
ක්‍රි.පූ අටවැනි ශත වර්ෂය පමණ වන විට මොවුහු කොකේසස් කඳු කපොලු අතරින් සුළු අසියාව මධ්‍ය ආසියාව යන දකුණු ආසියාව ආශ්‍රිත විවිධ රටවලට සංක්‍රමණය වූහ. එම පෙදෙස්වල සරුසාර රටවල් විනාශ කරමින් මංකොල්ල කෑමට පටන් ගත්හ.  


මොවුන්ගේ ආක්‍රමණ හමුවේ ඇතැම් ප්‍රදේශවල ජනයා පලාගිය අතර එසේ නොවූ පිරිස් තරුණ මහලු හා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මරා දැමූහ. නැතහොත් වහලුන් ලෙස තබා ගත්හ. ඔවුන් අතට පත් වූ ඇතැම් සිරකරුවන් පණපිටින් සිටියදීම ඔවුන්ගේ සම් ගලවා දැමූහ.   
කඩුවට නමස්කාර කළ මොවුන් යුද බිමේ දී මරා දමන ලද සතුරන්ගේ හිස් ගෙඩි එකතු කිරීම සිරිතක් විය. මෙම ශාක්‍යයෝ සිය ආක්‍රමණවල දී සරුසාර ගම්බිම් හෝ නගරවලට මාස ගණන් රැක සිට අවසානයේ දී ඒවාට ඇතුළු වී එළු බැටළුවන් මරා දමා ගේ දොර ගිනි තබා දේපොළ කොල්ල කෑවෝය.  


මොවුහු ගොවිතැන් පාළුකොට හරක් පට්ටි ගසාගෙන ගොස් හෝ විනාශ කොට හෝ ගම් නියම්ගම් හා නගර කොල්ලකා ගිනිතබා විනාශ කර රට එකම අවමගුල් ගෙයක් බවට පත් කළහ. කල්යාමේ දී මොවුන්ගෙන් ඇතැම් පිරිස් සෙසු රටවල ආදර්ශයන් උගෙන ගොවිතැන් හා වෙළෙඳ‌ාම වැනි කර්මාන්තයන්හි නියුක්ත වූහ. එවැන්නෝ එවැනි පෙදෙස්වල ස්ථිර පදිංචිය ද ඇතිකර ගත්හ. මෙසේ වෑන්විල් හා ඌර්මියා විලට උතුරින් අරක්සේස් සහ කයිරෝස් යන ගංගා දෙක අතර පිහිටි සාකෙයි නම් වූ තැනිතලා පෙදෙසෙහි ද එහිම කඳුකර පෙදෙසක් වූ සාකසේනි නම් වූ පෙදෙසෙහි ද පදිංචි වූවෝ සක හෙවත් ශාක්‍යයෝ නමින් පසු කාලයේ දී හඳුන්වන ලදහ.  
ඊශ්‍රායෙල්වරු මොවුන් හඳුන්වා ඇත්තේ මාගොග් යන නමිනි. බයිබලයෙහි ඉශ්කුසායි නමින් මොවුන් හඳුන්වා ඇති අතර වර්තමානයෙහි රටක් ගොඩ නගාගැනීම සඳහා මැදපෙරදිග සටන් වදින කුර්දිවරු ද ශාක්‍යයන්ගෙන් පැවතෙන පිරිසකි. අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන්ට විරුද්ධව සටන් වදින කුර්දි තරුණියෝ ඉතා දක්ෂ යුද සෙබළියෝ වෙති.  
සංක්‍රමණික සිතියන් හෙවත් ශාක්‍යයන්ගෙන් තවත් පිරිසක් මනුරට සහ ඌර්මියා විලට පහළින් පිහිටි පාර්තියා දේශයෙහි පදිංචි වූහ. පාර්තියා රජවරුන්ගේ අවසරය මත එහි පදිංචි වූ මෙම පිරිස් පල්ලවයන් ලෙස හඳුන්වන ලදී. පාර්තියාඩි පදිංචිකරුවන්ගේ භාෂාවට හුරු වූ පසු පල්ලවයන්ගේ භාෂාව පාලි බවට පත්විය. මෝර්ලන්ඩ් සහ ටැඩර්ජි මෙසේ සඳහන් කරයි.  
‘පාර්තියන් යන නාමයට වාග්විද්‍යානුකූල තුල්‍යතාවයක් පත්ලවයන් යන නමෙහි ඇත්තේය’’  


(මෝර්ලන්ඩ් සහ ටැඩර්ජි - සංක්ෂිප්ත ඉන්දීය ඉතිහාසය: පි-64)  


පත්ලවයන් යන්න දකුණු ඉන්දියාවේ දී පල්ලාර් නමින් ද මෙරට දී පල්ලරු නමින් ද හඳුන්වන ලද අතර පත්ලවයන්ගේ පෙන්ලව් භාෂාව පාලි ලෙසට ද මෙරට දී හැඳින්වේ. පල්ලවයන් පාර්තියාවේ පදිංචිව සිටි කාලයේ දී අසල්වැසි උරාටු දේශය ශිෂ්ටචාරයෙන් සහ සශ්‍රීක බවින් දියුණු බලවත් රටක් විය. එහෙත් ඇසිරියන් හෙවත් අසුරයින් (රාක්ෂයින්) සහ උරාටුවරු අතර නිරන්තරයෙන් පැවති සටන් නිසා අසුර රජවරු පාර්තියාවේ පාර්තුමා රජ පෙළපත සමඟ අාවාහ විවාහ මගින් සබඳකම් ඇතිකර ගත්හ. මෙහිදී පල්ලවයන් ද අසුරයින්ගේ මිත්‍ර පිරිසක් බවට පත්වූහ.  
මෙම කාලයේ දී වර්තමාන අසර්බයිජේන් සහ කර්මන්ෂාන් යන පෙදෙස් දෙක හඳුන්වන ලද්දේ මීඩියාව යන නමිනි. මැද පෙරදිග මධ්‍ය දේශය යන්න එහි අදහසයි. එහි අගනුවර අග්බටානා විය. මීඩියන්වරු නාග ගෝත්‍රිකයින් ලෙස හඳුන්වන ලද අතර භාමණ හෙවත් බ්‍රාහ්මණයින්ගේ ශුද්ධ නගරය අග්බටානා විය. බෞද්ධ සාහිත්‍යයෙහි ‘‘අගතිමා බඩලෙන්’’ ලෙස සඳහන් කර ඇත්තේ එම නගරයයි. මීඩියන්වරු අසුරයින්ගේ සතුරු පිරිසක් වූහ.  


ක්‍රි.පූ. 653 දී මීඩියන් රජු සිය හමුද‌ා සමඟ ඇසිරියාව සමඟ සටනක නියුක්තව සිටිය දී ශාක්‍යයන් සහ පාර්තියාවේ පල්ලවයන් එක්වී මීඩියාව අල්ලාගෙන එය වසර විසි අටක් ඔවුන්ගේ පාලනයට යටත් කර ගත්හ. ශාක්‍යයන් සමඟ සටන් කර සිය රට බේරාගැනීමට නොහැකි බව තේරුම් ගත් මීඩියන්වරු ශාක්‍ය රජු සහ ඔහුගේ හමුද‌ා ප්‍රධානීන් කෑමකට ආරාධනය කර බොහෝ සේ මත්පැන් පොවා මත්වූ පසු ඔවුන් මරා දැමූහ. ඉන්පසු ඉතිරි වූ ශාඛ්‍යයන් අල්ලස් දීමෙන් සහ වෙනත් උපාය මාර්ගවලින් ඔවුනොවුන් භේදකර කෙටවීමෙන් ඔවුන් දුර්වල කර මීඩියාට භේරාගති.  
පාර්සියානු අධිරාජ්‍යය ගොඩනැගූ මහා සයිර්ස් විසින් සිය අධිරාජ්‍යයේ දේශසීමා අසල සිටි ශාක්‍යයන් සමූල ඝාතනය කිරීමේ සටන ඇරඹීය. ෂාමීර් තැන්නෙහි සහ හින්දුකුෂ් කඳුවලින් නැගෙනහිර පැත්තෙහි පිහිටි වර්තමාන කෂ්ගාර් යාර්කන්ඩ් සහ බෝටාන් පෙදෙස්වල සිටි ලක්ෂ පහක් පමණ වූ සක පල්ලවයන් සමඟ සටන් කොට ඔවුන් පරාජය කළහ. අනතුරුව ඉන්දියානු දේශසීමා පෙදෙස්වල ශාක්‍යයන් සහ පල්ලවයන් (සක පල්ලවයන්) සමඟ සිදු කළ සටනක දී සයිරස්ගේ පර්සියානු හමුදාවලට අවද‌ානම් තත්ත්වයකට මුහුණපෑමට සිදුවිය.   


මෙහිදී පාර්සියන් ආර්යන්ගේම කොටසක් වූ කපිලවස්තුපුර ශුද්ධෝදන රජුගේ ගණවැසි රාජ්‍යයන් දහසයේ හමුද‌ා බළඇණි සේනා වාහන සමඟ අවුත් සටන්කොට ශාක්‍යයන් පරාජය කරන ලදී. මෙම හමුද‌ා බළඇණිවල නායකත්වය දරන ලද්දේ සිදුහත් කුමරු විසිනි. මරාන්තික තුවාල ලත් සයිරස් අධිරාජයා මාස තුනකට පසු මරණයට පත්විය. සිය මරණමංචකයේ දී සයිරස් අධිරාජයා සිය චක්‍රවර්ති අධිරාජ්‍යය භාරගන්නා ලෙස සිදුහත් කුමරුගෙන් ඉල්ලා සිටිය ද කුමරා එයට එකඟ නොවීය. සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය සඳහා යන ගමන වළකා චක්‍රවර්ති රාජ්‍යය භාරගන්නා ලෙස මාරදිව්‍ය පුත්‍රයා ​ඉල්ලා සිටින ලද්දේ යැයි බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන්නේ මෙම සිදුවීමයි. මහා සයිරස් අධිරාජයාගේ මරණය සිදුවූයේ ක්‍රි.පූ. 530 දී වූ අතර සිදුහන් කුමරු ගිහිගෙයින් නික්මීම සිදුවූයේ ක්‍රි.පූ. 528 දීය.  
ඉන්දියාවේ කාශ්මීර්, පන්ජාබ් සහ සින්ඩ් යන ප්‍රදේශ යටත් කරගත් පාර්සියන් අධිරාජ්‍යයේ මහා ඩේරියස් (ක්‍රි.පූ. 521-485) යුරෝපය සහ ආසියාව යා කරමින් නව වෙළෙඳ මාර්ගයක් විවෘත කරන ලදී. එය යුරෝපයේ සිට ෂාමීර් කඳුතෙක් විහිදී ගිය එකක් විය. සයිරස් වෙතින් පරාජය වූ සක පල්ලවයන්ගෙන් ශේෂ වූ පිරිස් මෙම සම භූමිය තුළ සැඟවී වාසය කළහ.
චරක වර්ගයක් ලෙස නැවත ජීවිතය පටන් ගත් ඔවුන් විටින් විට අධිරාජ්‍යයේ ස්ථිර පදිංචිකරුවන්ගේ පොහොසත් නගර සහ ප්‍රදේශවලට කඩාවැදී දේපොල කොල්ල කා නිවැසියන් මරා දමා ආපසු ගොස් ඉමක් කොනක් නැති සම භූමියෙහි සැඟවුණි. මේ නිසා ඔවුන් වැනසීමට ඩේරියස් අධිරාජයාට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.  


මහා සයිරස් මහා ඩේරියස් මෙන්ම පාර්සියන් වැසියන් මෙන්ම කපිලවස්තුපුර ගණවැසියන් ද සක්ක හෙවත් ශක්‍ර වැසියෝ වූහ. ශක්‍ර ධර්මය ඇදහූ ඔවුන් ක්ෂත්‍රීය වැසියෝ විය. මීඩියාවේ හැම්චන් නගරයට ආසන්නව මහා ඩේරියස් විසින් භාෂා ත්‍රිත්වයකින් හා වචන දහදාහකින් යුතුව පිහිටුවන ලද සුප්‍රසිද්ධ බෙනිස්ථාන් සෙල්ලිපියෙහි ඔහු හඳුන්වා ඇත්තේ සක්ක මානුසියා යන නමිනි.  
නේපාලයේ ලුම්බිණි නගරයට කිලෝමීටර් 22ක් උතුරින් කපිල නගර්හි පිහිටි කපිලවස්තු පුරයේ ශුද්ධෝදන රජ මාළිගය සොයාගන්නා ලද්දේ ක්‍රි.ව. 2005 දීය. එහි ශුද්ධෝදන රජුගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ ස්ථූපයේ කැණීම් කටයුතු සිදු කිරීමේ දී සොයාගත් ටෙරාකොටා ලේඛනයක් හමුවී ඇත.  
එහි ශුද්ධෝදන රජු හඳුන්වා ඇත්තේ ද සක්ක මානුසියා යන පෙළපත් නාමයෙනි. සක්ක හෙවත් ශක්‍ර වැසියන් ඉන්දියාවේ ආර්යන් විසින් හඳුන්වන ලද්දේ දේව යන නමිනි.  
පාර්සියන් අධිරාජ්‍යය මහා ඇලෙක්සැන්ඩර් විසින් යටත් කරගත් පසු පාර්සියන් ආර්යන්ගේ පෙරදිග ඉන්දියානු බළඇණිය මෙහෙය වූ චන්දගුප්ත ඉන්දියාවට පසුබැස ඉන්දියාව ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණයෙන් වළකාගන්නා ලදී. පාර්සියානු අධිරාජ්‍යයේ ආයු කාලය වසර 225ක් වූ අතර චන්ද්‍රගුප්තගෙන් අැරඹි ඉන්දියානු මෞර්ය අධිරාජ්‍යය වසර 130ක් දක්වා පැවතුණි.  
එම අධිරාජ්‍යයේ අවසන් රජු වූ ධර්මාශෝක මරණයෙන් වසර 52කට පසුව රාජ්‍ය බලය ලබාගත් පුෂ්‍යමිත්‍ර සුංග විසින් බෞද්ධ වෙහෙර විහාර වනසා දමා හින්දු ක්‍රමයට අභිෂේක ලබා සිය රාජධානිය සාංචියෙහි පිහිටුවා ගන්නා ලදී.   


ඒ අනුව කාලිංග වැසියන් මෙන්ම අසුරයෝද, ආන්ද්‍රා වැසියෝද ද මගධ බලයෙන් මිදී ස්වාධීන රාජ්‍යයන් පිහිටුවා ගත්හ. මෙසේ බැක්ට්‍රියාවේ ස්වාධීන රාජ්‍යයක් පිහිටුවාගත් ඉන්දු ග්‍රීකයෝ ක්‍රි.පූ. 175 වන විට ගන්ධාර්ය (ඇෆ්ගනිස්ථානය) සහ පංජාබයේ විශාල පෙදෙසක් ද අල්වාගෙන ග්‍රීක රාජධානි දෙකක් පිහිටුවා ගත්හ. ඒ මිනැන්ඩර්ගේ සාගලය (සියල්කොට්) සහ ඉයුක්‍රට්යිඩිගේ ගන්ධාර රාජධානියයි. මෙම ඉන්දු ග්‍රීක රජවරු බෞද්ධයන් වූහ.  


ග්‍රීකයන්ගේ රාජධානි දෙක වසර පනහක පමණ කාලයක් පැවතුණි. ක්‍රි.පූ. 165 දී පමණ චීනයේ කංසු සහ චීන මහා ප්‍රාකාර පෙදෙසින් පැමිණි හුණ හෙවත් සුදු හෑන්ස්වරුන් (හන්වරු) විසින් එහි සිටි යූඩී හෙවත් කෝබරියානු නමැති සංක්‍රමණික ජාතියක් චීන දේශයෙන් පලවා හරින ලදී. එම යුචීවරු ජැක්ස්ආර්ටේස් සහ ඩක්සූස් නදී දෙක අතර පිහිටි පෙදෙසට පැමිණ එහි පදිංචිව සිටි ශාක්‍යයන් බැක්ට්‍රියාව දෙසට පලවාහැර යුචීවරු එම පෙදෙස්වල පදිංචි වූහ. ශාක්‍යයන් බැක්ට්‍රියාවට පැමිණීම නිසා ඉන්දු ග්‍රීකයන්ට එම පෙදෙස අහිමි විය. ක්‍රි.පූ. 125 පමණ වන විට යුචීවරු බැක්ට්‍රියාව ද අල්ලා ගත්හ. ඒ නිසා ශාක්‍යයන් ඩොරාපාත් පෙදෙසට ඇතුළු වූහ.  


වසර දෙක තුනක් ඇවෑමෙන් පාර්සියන් රජවරු විසින් ශාක්‍යයන් ඩොරාසාන් පෙදෙසින් ද පලවා දමන ලදී. අසරණභාවයට පත් ශාක්‍යයන් ගන්ධාරය (ඇෆ්ගනිස්ථානය) පසුකොට බලුකිස්ථානයට (ශකස්ථානය) පැමිණ පාර්නියාවේ සිටි පල්ලවයන් ද සමඟ එකතු වී දුර්ග මාර්ග ඔස්සේ සින්ධු දේශයට ඇතුළු වූහ.  


මෙසේ ඉන්දියාවට පැමිණි මෙම පිරිස් එහි විවිධ ප්‍රදේශ කරා විසිරී පැතිරී ගියහ. එක් කොටසක් ගුජරාට ප්‍රදේශයට පැමිණ පදිංචි වූ පසු ඔවුහු ගුර්ජර යන නමින් හඳුන්වන ලදී. තවත් පිරිසක් ඉන්දියාවේ දකුණු දිග වෙරළට සංක්‍රමණය වූහ. සෙසු පිරිස් පංජාබයට ඇතුළු වී ක්‍රමයෙන් මථුරා තක්ෂිලා සහ තවත් යවන රාජ්‍යයන් (ඉන්දු ග්‍රීක් රාජ්‍යයන්) යටත් කරගෙන එම පෙදෙස්වල පදිංචි වූහ. මේ අනුව ගන්ධාර්ය සහ සාගලය ඇතුළුව උත්තර භාරත පෙදෙස් වසර හැත්තෑපහක පමණ කාලයක් මෙම සකපල්ලවයන් යටතේ පැවතුණි.  


උත්තර භාරතයෙන් ශාක්‍යයන් සම්පූර්ණයෙන්ම පලවා හැර එහි නැවත ශක්තිමත් අධිරාජ්‍යයක් ගොඩනංවන ලද්දේ කනිෂ්ක ප්‍රමුඛ ඔහුගේ පූර්වගාමී රජවරුන් දෙදෙනා විසිනි. ඔවුන් ධර්මාශෝක පරපුරට අයත් හක්ක මානුසියා හෙවත් ශක්‍ර පෙළපතට අයත් බව කනිෂ්කගේ මුනුබුරු හුවිස්ක විසින් මථුරා පුරයේ ඉදිකළ විහාර සංකීර්ණයක තිබී හමු වූ සෙල්ලිපියකින් පැහැදිලි වෙයි. එය මෙසේය.  
‘හුවිස්කගේ මුත්තණුවන් වූ දේව කුල සිනාමග’’  


''Devakula of the Pitamaha (Grand Father of) Huriska'' (JRAS 1834-402)  


කනිෂ්ක උත්තර භාරතයෙන් ශාක්‍යයන් සම්පූර්ණයෙන්ම පරාජය කර එළවාදමා එම ජයග්‍රහණය සමරනු වස් සිය අභිෂේක දිනය ශක වර්ෂයේ උපත ලෙස නම් කරන ලදී. ඒ අනුව ශක වර්ෂයේ උපත ක්‍රි.ව. 78 වේ.  


‘‘කනිෂ්ක විසින්ම ක්‍රි.ව 78 දී ශක සංවත්සරය ආරම්භ කරනු ලැබූ අතර අද දක්වාත් භාරතයේ මෙය පිළිගෙන ඇත’’  


(මහාචාර්ය ශ්‍රී වාසුදේව - ගුප්ත අධිරාජ්‍යයේ ඉතිහාසය පි-13)  


මතු සම්බන්ධයි...


එම්.කේ. ජයසේන  
(විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)