සලරුවක කතාව

‘‘එද‌ා හැන්දෑවේ, ඩහදිය සෙලවන තෙක්ම ටැනිස් සෙල්ලම් කළ මම ගෙදර විත් ස්නානය කොට, ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක දිගා වී සිසිල් බීමක් පානය කරමින් පත්‍රය බලන්නට වීමි. ඉතා විනෝදමත් කාලය, හැන්දෑ සමය බව මම කවදත් අදහස් කළෙමි. උදෑසන ඇස නිදි ගැට හැර පිබිදෙන කඩිසර අයට නම් ළා රතු පැහැ ගැන්වුණු අලුයම සිත් අලවන බව සැබෑය. එහෙත් සැඳෑ සමය මා සිත නළවන්නේ අනෙකකට සිත යොමු නොකරවමිනි.   

මදින් මඳ ගනඳුරෙහි ගැලී යන තුරුපතර කැදැල්ලක නිදිකරමින් සිටින කුරුල්ලන්ගේ හීන් රාවයෙන් ප්‍රබෝධමත් වුණු හැන්දෑවක දකින්නට ලැබෙන නිසල නිවුණු ගතිය දහවල පුරා පවතින හිරු රැයටත් කලබලයෙන් ඉඳුරා වෙනස් වූවකි.   


මේ නිසල සන්සුන් බව නිසා මා සිතෙහි පරම සතුටක් සහ සුවදායක හැඟීමක් ද පහළ වෙයි.’’   


ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් 1952 වසරේ Times Annual වාර්ෂිකයට ඉංග්‍රීසි බසින් ලියූ Horror of Mahene නම් රහස් පරීක්‍ෂක කෙටිකතාව ආරම්භ කර තිබුණේ කතාවේ කථකයා වූ රිචඩ් පෙරේරාගේ මේ විස්තරයෙනි. කුඩා කල සිටම සාහිත්‍යයට ඇලුම් කළ බණ්ඩාරනායක තරුණයා සර් ආතර් කොනන් ඩොයිල්ගේ රහස් පරීක්‍ෂක කතා කියවීමෙන් ලත් උත්තේජනයෙන් කෙටිකතා ලියුවේය. තමා කුඩා කල පටන් ඇසුරු කළ ධනපති රදළ සමාජය යස රඟට නිරූපණය කළේ මේ කෙටිකතාවලින් බව පැවසේ.   


හොරගොල්ල වලව්​ෙව් අමුත්තන්ගෙන් හිස් වූ සඳ එළිය පැතිර යන විට ආලින්දයේ හෝ ඇතැම් විට රුක් සෙවණක හෝ බණ්ඩාරනායක තරුණයා පොතක් කියවමින් සිටිනු තමා දැක ඇතැයි එවකට නිට්ටඹුවේ සංඝබෝධි විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කළ උඳුගොඩ නවරත්න කවියා පුවත්පතකට ලියූ ලිපියක සඳහන් කර තිබුණි.   


‘‘නරකද, පොඩිහාමු උඩුමහලට වෙලා පොත කියෙව්වොත්’’ වලව්වේ ලියන මහත්තයා සිහින් හඬින් තම තරුණ හාම්පුතාට කියයි.   


‘‘ඇයි මොකද? මගෙ ගෙදර කොතන මා හිටියත් ලියන මහත්තයට මොකද?’’   


එපමණකි. තවත් ප්‍රශ්නෝත්තර නැත. ලියන මහත්තයා තරමක් අසලින් පසෙකට වී සිටියේ මේ ගොම්මන් වෙලාවේ බණ්ඩාරනායක තරුණයා ‘‘ඩ්‍රැක්‍යුලා’’ වර්ගයේ පොතක් කියවන නිසාය.   


‘‘ඇයි, ඇයි? මොකද ඔතන?’’ ඔහු ලියන මහත්තයා පළවා හැරියේය. ඇත්තටම ඔහුට බයක් තිබුණේ නැත. පාළුවක් ද තිබුණේ නැත.   


බණ්ඩාරනායක මහතා ලියූ ‘‘නුවර පෙරහර’’, ‘‘මුදලි වලව්වක අවුල’’, ‘‘මහහේනේ රීරියකා’’, ‘‘ආත්මක් නැති මිනිහෙකුගේ අත්භූත ක්‍රියාවක්’’ යන රහස් පරීක්‍ෂක කතාවල සූර රහස් පරීක්‍ෂකයා වූයේ ජෝන් රත්සිංහය. ඔහු ඉංග්‍රීසි සාහිත්‍යයෙන් එන ෂර්ලොක් හෝම්ස් කෙනෙකි. එහෙත් මේ චරිතය කතුවරයා හඳුන්වා ඇත්තේ මෙසේය.   


‘‘ජෝන් රත්සිංහ සැලකිය යුතු මිනිහෙකැයි ඔහු දෙස බැලූවෙකුට පෙනෙතොත් එය අඩමාන සහිත කරුණකි. එහෙත් සැලකිය යුතු මිනිසුන් බොහෝ දෙනෙකු අරබයා මේ කරුණු ඇත්තකි. ඔහු විවෘත වූ මනසක් ඇති, කබල් පෙරකදෝරුවකුගේ පෙනුමින් යුක්ත විය. ඔහු ඇඳි කබාය දූවිල්ලෙන් දිළිසුණු අතර, සුදු කලිසම සුදු පැහැවූයේ කලාතුරකිනි.’’   


මුල්ම රහස් පරීක්‍ෂක කෙටිකතාව බණ්ඩාරනායක මහතා ලියුවේ 1926 දීය. ඒ කෙටිකතා ජිනද‌ාස විජේතුංග සංස්කරණය කරන ලද ‘‘ද අයිලන්ඩ් රිවීව්’’ සඟරාවේ පළ වූ අතර 1951 ‘‘සන්ඩේ ටයිම්’’ පත්‍රයේද පළ වී ඇත.   
1952 Times of Ceylon සඟරාවේ මහහෙ​්නේ රීරියකා මුලින්ම පළ වූ අතර 1953 සිට 1954 දක්වා මේ කතාව චිත්‍ර ශිල්පී සුසිල් ප්‍රේමරත්න විසින් චිත්‍රකතාවට නඟා ‘‘ඉරිද‌ා ලංකාදීප’’ පත්‍රයේ පළ කර තිබුණි. මේ චිත්‍රකතාවේ මුල් කොටසේ ඡායා පිටපතක් රූපවාහිනී කැමරා ශිල්පී හා චිත්‍රකතා දත්ත කෝෂ්ටාගාරයක් වූ ‘‘චිත්‍රකතාවේ සමාජ මුහුණුවර’’ නමැති ග්‍රන්ථය ලියූ නිසිත වර්ණසූරිය විසින් අපට සපයා දුණි. මේ චිත්‍රකතාව එද‌ා ලංකාදීප පාඨකයන් අතර අතිශයින්ම ජනප්‍රිය වූ බව පැවසේ.   


1959 වසරේ ‘‘මහහෙ​්නේ රීරියකා’’ කතාව ඇසුරෙන් ප්‍රකට නාට්‍ය රචකයකු හා නිෂ්පාදකවරයකු වූ ඩික් ඩයස් විසින් නාට්‍යය නිෂ්පාදනය කරනු ලැබූ අතර එය වසරේ මාර්තු මාසයේ පානදුර කලා සංගමය මගින් වේදිකා ගත කර ඇත. මේ නාට්‍ය පුහුණු කරන කාලයේ එවකට අගමැතිව සිටි කතා රචක බණ්ඩාරනායක මහතා තම රාජකාරි කටයුතුවලින් මිදී නාට්‍ය නිෂ්පාදකවරයාට හා නළු-නිළියන්ට උපදෙස් දෙන ඡායාරූප ඉරිද‌ා ලංකාදීප පත්‍රයේ පළ වී තිබුණි.   


මෙහි කතාව විකාශනය වන්නේ මෙසේය.   


මහහේන නම් විශාල පොල්වත්තක පිහිටි විශාල බංගලාවක ජීවත් වන ආනන්ද ලිවේරා හා ලීලා විවාහ වී ඇත්තේ මෑතකදීය. ආනන්ද ක්‍රීඩා ශූරයෙකි. ඔහු විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකි. ලීලා රූමත්ය. ටැනිස් ක්‍රීඩාවේ ශූරියකි. විලාසිතාවලට බරය. මේ විශාල වතුයායේ නිතර නිතර යනෙන තරුණයන් හා තරුණියන් කිහිප දෙනෙකුගේ මළකඳන් පොල්වත්තේ කැලයකදී හමුවිය. මෙය අභිරහසකි. 

 
මෙහි විශේෂයක් වූයේ මිය ගිය අයගේ මළ සිරුරුවල උගුරු දණ්ඩ ඉරා තිබීමය. මළ සිරුරුවල ලේ බිඳක් දක්නට නොවීය. ගම්මුන් සිතුවේ මෙය රීරියකා නිසා සිදුවූ බවය. මේ මිනීමැරුම් සිදුවන්නේ කෙසේ දැයි ආනන්ද හා ලීලාටද අභිරහසක් විය.   


ආනන්ද මේ ගැන පොලීසියට පැමිණිලි කළත් මිනීමරුවා සොයා ගැනීම අපහසු විය. ලීලා මේ සිද්ධිය තමාගේ ප්‍රථම පෙම්වතා වූ රිචඩ් පෙරේරාට රහස් ලිපියකින් දන්වා සිටියේ තම පවුලේ මිතුරෙකු වූ රහස් පරීක්‍ෂක ජෝන් රත්සිංහගේ සහාය මේ අභිරහස​ සොයා ගැනීමට උපකාර ලබාගැනීමේ අදිටනින්ය. මේ අනුව ජෝන්, මහහේනේ වත්තට යැවීමට රිචඩ් පියවර ගනී. ආනන්ද හා ලීලා විසින් ජෝන් සුහදව පිළිගැනෙයි. ජෝන් රත්සිංහ නම් රහස් පරීක්‍ෂකයාගේ හපන්කම් ගැන ආනන්ද අසා තිබුණි.   


මේ අතර රිචඩ් මාහේන වත්තට ගොස් තමා පුවත්පත්වලින් දුටු වාර්තා අනුව මේ අභිරහස් මිනීමැරුම් ආවේශවීමකින් සිදු කෙරෙන වැඩක් යයි ගම්මුන් තුළ විශ්වාසයක් ඇති බව ආනන්දට හා ලීලාට හෙළිකරයි. මෙයින් වඩාත් තැතිගන්නා ලීලා අහසේ පියාසර කරන වවුලෙක් තමා අසලින් යනු දැක භීතියට පත් වෙයි.   


තම දෙමිතුරන් වූ රිචඩ්ට හා ජෝන්ටද බිරිඳ ලීලාට සැක පහළ නොකරගන්නැයි කියා වත්ත සෝදිසි කිරීමට ආනන්ද ගියේය. නින්දට ගිය දෙමිතුරෝද, ලීලාද මහ රෑ මළ ළතෝනියක් ඇසී නැගිට්ටෝය.   
ආනන්ද කලබලයෙන් නිවසට පැමිණ පවසන්නේ තාමටද ඒ ශබ්ද ඇසුණු බවය. පසුව ආනන්ද තුවක්කුවක් රැගෙන දෙමිතුරන් සමග කැලේ පීරයි. ඔවුනට මිය ගිය තරුණයාගේ මළකඳ දක්නට ලැබෙයි. මරණය පොලිසියටද අභිරහසකි.   


ජෝන්, නිතරම ආනන්ද ගැන උනන්දුවෙන් නිරීක්‍ෂණය කරමින් සිටියේය. දිනක් ආනන්ද, රිචඩ් හා ජෝන් දඩයමේ ගියහ. ​ජෝන් රත්සිංහ නම් මේ රහස් පරීක්‍ෂක මිතුරා තමාගේ අතින්ම විළුඹේ කටුවක් ඇන ගනී. විළුඹින් ලේ ගලන දුටු ආනන්ද කටුව ඇනුණු තැනට කට තබා ලේ උරා බීවේය. එදින රාත්‍රියේ ද තවත් තරුණයකු මිය ගොස් තිබුණි.   


මේ අතර රිචඩ්ට හා ජෝන්, ලීලා හමුවන්නේ ආනන්ද නැති අවස්ථාවකය. ඔවුන් කතා කරමින් සිටින අතර ලීලාගේ බෙල්ලේ ලප කිහිපයක් දැක ඒ ගැන විමසද්දී ඇය කීවේ, එය මදුරුවන් විදීමක් නිසා සිදුවූවක් බවය. එදින රිචඩ් හා ජෝන් ‘කොළඹ හදිසි යන බව පවසා පිටව යති. ඔවුන් දෙදෙනා කාටත් හොරා ලීලාගේ නිදන කාමරයේ සැඟවෙති. ලීලා රාත්‍රියේ නිද‌ා ගැනීමට ගියාය. මධ්‍යම රාත්‍රියේ, අඳුරේම පුද්ගලයකු ලීලා අසලට පැමිණ ලීලාගේ මුහුණ කටුවකින් සිදුරු කරයි.   


ඉන් නැගෙන ලේ බිඳු ඔහු උරා බී පිටවීමට යත්ම ජෝන් රත්සිංහ විසින් එල්ල කළ පහරකින් අමුත්තා බිම ඇඳ වැටෙයි. අත්භූත අමුත්තා හිස ඔසවයි. ඔහු තම කටේ තැවරී තිබූ ලේ පිසද‌ාමින් හඬා වැටෙයි. ඔහු ලීලාගේ සැමියා වූ ආනන්ද බව ජෝන් හා රිචඩ් අඳුණා ගනිති.   


තමා ලේ උරා බීමට පෙලඹුණු හැටි ආනන්ද අනාවරණය කරයි. දඩයමේ ගිය තමා අධික පිපාසයෙන් සිටින විට කුළුමීමෙකු මරා ඌගේ ලේ බිව් බවත් ඉන් පසු ලේ පිපාසයෙන් හැම මිනිසෙකුම මරා දැමූ බව ඔහු අනාවරණය කරයි.   


ටික දිනකින් ප්‍රවෘත්ති පත්‍රවල සුප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් මියයයි නම් පුවත පළවෙයි. ‘‘සුප්‍රසිද්ධ ක්‍රීඩකයකුව සිටි ආනන්ද ලිවේරා මහතා හදිසියේම මියගිය බව දැනගන්නට ලැබී තිබේ. ඔහු වල්අලියකු පස්සේ එළවා යද්දී මේ මරණය සිදුවී ඇත. ඔහු අලියාට වෙඩි පහරවල් කිහිපයක්ම තැබූ නමුත් ඌ මරා ගැනීමට නොහැකි වී තිබේ. අලියා ආපසු හැරී ඔහු පාගා මරා දැමූ බව කියති.”   


ලීලා මාස කිහිපයක්ම විදේශ සංචාරයේ යෙදුණාය. ආපසු එන විට ඈ හොඳ සනීපයෙන් සිටියාය. ඇය ඉතා ආදරය කළ සැමියා ගැන ඉඳහිට මතක් කළේ දැඩි ශෝකයෙනි. මහහේනේ ගැමියෝ ආනන්ද හාමුගේ යහපත් ගතිගුණ ගැන සිහිපත් කරමින් ළතවෙති.   


මාහේනේ රීරියකා වේදිකා නාට්‍යයේ ලීලාගේ චරිතය රඟපෑවේ ජීවරාණි කුරුකුලසූරියයි. මේ ඇයගේ ප්‍රථම රංගනයයි. පසුව ඇය ‘‘රන් මුතු දූව’’ චිත්‍රපටයෙන් ඉතාම ජනප්‍රිය චිත්‍රපට නිළියක් ලෙස අභිෂේක ලැබුවාය. රිචඩ් පෙරේරා ලෙස මහින්ද ජේ. පෙරේරාද ආනන්ද ලිවේරා ලෙස මහින්ද ෆොන්සේකාද, ජෝන් රත්සිංහ ලෙස පී.ඇස්. කොස්තා ද රඟපෑ අතර සෙසු චරිත ජී.ජේ.බී. අපොන්සු, බර්ටි ද ෆොන්සේකා, ඩබ්ලිව්.ඩී. පෙරේරා, සෝමා අයිලප්පෙරුම, ඩබ්ලිව්.ඩී. පෙරේරා, සී.එච්. ප්‍රනාන්දු, ඇම්.ඇස්. ඉස්මායිල් රඟපෑහ. මේ නාට්‍ය හා නිෂ්පාදනය ඩික් ඩයස් ගෙනි. වේදිකා සැරසිලි හා අංග රචනය අයි.ඩී.ඒ. වීරවර්ධන රඟපා ඇත.   


එද‌ා කතා රචක බණ්ඩාරනායක මහතා දේශපාලන කටයුතුවලින් මොහොතකට මිදී නාට්‍යයේ පෙර පුහුණුවලට පැමිණ නළු-නිළියන්ට උපදෙස් දී ඇත. 1959 අගමැති බණ්ඩාරනායක මහතා දිවංගත වීමට තෙමසකට පමණ පෙර තම මැතිනිය සමඟ පානදුර නගර සභාවේ පැවති මේ නාට්‍යයේ මුල් දර්ශනයට සහභාගි වී ඇත.   


1960 නාට්‍ය උත්සවයේදී මෙම නාට්‍යය (1960 පෙබරවාරි 18) වේදිකා ගත කළ බව නාලන් මෙන්දිස් විසින් ලියන ලද ‘‘ශ්‍රී ලංකාවේ නාට්‍ය උත්සව ඉතිහාසය’’ කෘතියේ සඳහන් වෙයි.   


1975 වසරේ මේ කතාව පසුබිම් කොට කිත්සිරි නිහාල් ජයසිංහ චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කළේය. තිස්ස, ශාන්ත තෝමස් විද්‍යාලයේම ඉගෙන එම විද්‍යාලයේම ආචාර්යවරයකු වූ ඔහු, තමාගේ පන්තියේ ඉගෙනීම කළ, කලාවට ළැදි, අනල් ද සොයිසා ජයසූරිය හා නලීන් විජේසේකර (පසුව චිත්‍රපට නළු, නාට්‍ය නිෂ්පාදක) සිසුන් දෙදෙනාට මෙසේ කීවේය.   


‘‘මම කියවපු හොඳ කෙටිකතාවක් තියෙනවා. ඒක පළවෙලා තිබුණු සඟරාව අපේ ඉස්කෝලෙ පුස්තකාලයේ. ඒක ස්කොට්ලන්ත සඟරාවක. අගමැති බණ්ඩාරනායක ලිව්ව කතාවක්. එකෙන් හොඳ චිත්‍රපටයක් හදන්න පුළුවන්. ඒක දැන් හොයා ගන්න නෑ.’’   


‘‘සර් ඒක හොයාගන්න පුළුවන්. නම මහහේනේ රීරියකා. අපේ තාත්තගේ ලයිබ්‍රරියේ ඒක තියෙනවා. මම හොයාගෙන එන්නම්’’ නලින් විජේසේකර කීවේ. නලින්ගේ පියා අධිකරණ විනිසුරුවෙකි.   


ඒ කෙටිකතාව හමුවිය. කෙටිකතාවක් වුවද එහි තිබුණ ගැඹුර ගැන සිත යොමු කළ කිත්සිරි නිහාල් ජයසිංහ, බණ්ඩාරනායක මැතිනියගෙන් අවසර ගෙන තිර නාටකය ලිව්වේය. නිෂ්පාදනයට ඔහුගේ ශිෂ්‍ය අනල් ද සොයිසා ජයසූරිය ඉදිරිපත් විය. කතාවට ගැළපෙන අත්භූත පෙනුමක් තියෙන ගෙයක් ඔහුගේ ශිෂ්‍යයකුගේ පියකුගේ මාර්ගයෙන් ගිරිඋල්ල අාඬියා ගමේ වතුයායකින් සොයාගෙන ඇත. එය එංගලන්තයේ ජෝර්ජ් ස්ටුවට් සමාගමට අයිති එකකි. ඒ නිවස චිත්‍රපටයේ ප්‍රධාන දර්ශනතලය වූ බව අධ්‍යක්‍ෂවරයා අපට කීය.   


වොලී නානායක්කාර ආනන්ද ලිවේරා ලෙස ද, මාලනී ෆොන්සේකා ලීලා ලිවේරා ලෙසද පියද‌ාස ගුණසේකර ජෝන් රත්සිංහ ලෙසද, විජේරත්න වරකාගොඩ රිචඩ් පෙරේරා ලෙසද මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑහ. ලෝකයේ පළමුවරට අගමැතිවරයකුගේ කතාවක් සිනමාවට නැගුන මුල්ම අවස්ථාවයි මේ. මේ චිත්‍රපටය 1971 දෙසැම්බර් 28 වෙනිද‌ා තිරගත විය. ඇස්.කේ. කේවේන්ද්‍ර කැමරාව මෙහෙයවූ මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂ ෂෙල්ටන් ප්‍රේමරත්නය.   


දෙවන වරට මහහේනේ රීරියකා කෙටිකතාව ඇසුරෙන් ගුණසේන ගලප්පත්ති විසින් නිෂ්පාදනය කළ ‘‘මහහේනේ කතාව’’ වේදිකාවට ආවේ 1975 වසරේදීය. එය 1975 සැප්තැම්බර් 22 සහ 23 වන දිනවල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මුල් වරට වේදිකාගත වූ මේ නාට්‍යයේ ආනන්ද ලිවේරා ලෙස සතිස්චන්ද්‍ර එදිරිසිංහ හා ධම්ම ජාගොඩ (දර්ශන දෙකකදී) ද ලීලා ලිවේරා ලෙස වසන්තා වික්‍රමසිංහ රඟපෑ අතර සෙසු චරිත සිරිල් වික්‍රමගේ, දයා අල්විස්, සමන් බොකලවෙල, නිලන්ති හීන්දෙනිය, ලක්‍ෂ්මී අත්තනායක, නිශ්ශංක දිද්දෙනිය, ජයලත් මනෝරත්න, ගාමිණී ගනේගොඩ, දර්ශනී ගුණසේකර, කේ.ඇස්. ප්‍රනාන්දු රඟපෑහ. ලයනල් අල්ගම සංගීතවත් කළ අතර, මේ නාට්‍යය නිෂ්පාදනය කර ඇත්තේ ලක්‍ෂ්මන් ජයකොඩි හා සුනේත්‍රා බණ්ඩාරනායක විසිනි.   


මේ නාට්‍යය ගැන සතිස්චන්ද්‍ර එදිරිසිංහට ඇති අපූරු අත්දැකීමක් ඔහු අපට විස්තර කළේ මෙසේය.   


‘‘මම මේ නාට්‍යයේ ආනන්ද ලිවේරා ලෙස රඟපෑවේ අසීරු චරිතයක්. එය ඩ්‍රැක්‍යුලා චිත්‍රපටයක වගේ. ලේ උරා බොන මිනිසෙකුගේ චරිතයක්. මේ චරිතය එක්තරා අතකට අත්භූත එකක්. එම චරිතය රඟපෑමේදී මගේ සහෝදර රංගන ශිල්පී ධම්ම ජාගොඩගෙන් ලැබුණු උපදෙස් මම අගය කරනවා. දෙපයේ ඇඟිලිවලින් ඇවිදිමින්, අධිරංගනයකයි යෙදුණේ. මිනිසුන්ගේ ලේ උරා බොන ආනන්ද, තම බිරිඳ නිද‌ා සිටින විට ඉඳිකටුවකින් බෙල්ලට විද ලේ උරණ අවස්ථාවේ මම ස්වාභාවික රංගනයෙන් මිදී අංගචලනයෙන් කළ අසීරු රඟපෑම නිසා මට ශරීරයේ අපහසුතාවක් ඇති වුණා. ශරීරයේ ලේ ගමනය නතර වුණා. මාව රෝහල් ගත වුණා. මම හිතුවා මම මැරෙයි කියලා. මගේ අතේ වූ මඟුල් මුද්ද ගලවා මා අසල වූ ගාමිණී ගණේගොඩට දුන්නා. සුනේත්‍රා බණ්ඩාරනායකට හා ලක්‍ෂ්මන් ජයකොඩි යන මහත්ම මහත්මීන් මා ළඟම සිට ප්‍රතිකාර දුන් බව කෘතවේදීව මතක් කරනවා, මගේ ජීවිතය ගලවා දුන්නාට.’’   


මේ නාට්‍යය ගැන විවරණයක් කරන මහාචාර්ය රෝලන්ඩ් අභයපාල පවසා ඇත්තේ අත්භූත රසය තේමාව කොටගත් ‘‘මාහේනේ කතාව’’ එක්තරා විදිහක ඩ්‍රැක්‍යුලා ගණයේ නාට්‍යයක් මිස ඒ කතාවේ නාට්‍යයකට උචිත කතා වින්‍යාසයක් තිබුණේද යන්න ගැටලුවක් බවය. ගුණසේන ගලප්පත්ති නම් සාර්ථක නාට්‍යකරුවාගේ අසාර්ථක නාට්‍යයක් ලෙස මාහේනේ කතාව ඔහු හඳුන්වා තිබිණ.   

 

 

 


එ්.ඩී. රන්ජිත් කුමාර   
ඡායාරූප පිටපත් කිරීම ලාල් සෙනරත්