හල්පේ මාටින් වගා කළ කුඹුරක්  

 

 හල්පේ මාටින් ඉපදුන ‘රජගෙදර’ අද

 

“හල්පේ රජ්ජුරුවෝ” නමින් ගම්මු විසින් මීට දශක හත අටකට පෙර හැඳින්වූ අමරතුංග මොහොට්ටිහාමි අටදරු පියෙකි. ඔහුගේ බිරිඳ වැද්ද‌ාගල මුදියන්සේලාගේ රම්මැණිකේ ය. කුරුවිට හල්පේ ගමේ ප්‍රභූ පවුලක් වූ මේ පවුලේ දරුවන් අට දෙනාගෙන් වැඩිමල් පුතා අමරතුංග මාටින් ය. තරුණ වයසේ දී විවාහ වී දරු දෙදෙනකුගේ තාත්තා කෙනෙක් වූ අමරතුංග මාටින් සිය ජීවිතයේ තිස් වෙනි වියේදී මරණීය දණ්ඩනය නියමව වැලිකඩ හිර ගෙදර දී එල්ලා මරාදමන්නේ තවත් තිදෙනෙක් සමඟය.  

 

 
මාදම්පේ වතුයායේ වතු කළමනාකරු වූ ජෝන් එඩ්වඩ් ෆ්‍රෑන්ක් වයිට්හවුස් මහතා වෙඩිතබා මරා දමා ඔහු සන්තකයේ වූ රුපියල් තිස්පන් දහසක මුදලක් කොල්ලකෑමේ වරදට වැරදිකරුවන් වූ අමරතුංග මාටින් නොහොත් හල්පේ මාටින් සමඟ කොටි ඇල්බට්, ලෑතර බාස් හෙවත් පීටර් පෙරේරා සහ සුරුබියෙල් යන අය මෙසේ එල්ලා මරා දමනු ලැබුවේ මීට හැත්තෑ වසරකට ඉහතදීය.   


මිනීමැරීම, මිනීමරා නීතියෙන් සැඟව සිටීම, සොරකම් කිරීම, සොරකම් කිරීමේ චේතනාවෙන් නීති විරෝධී ලෙස රංචු ගැසීම යන චෝදනා විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබුණි. ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබා මාස දෙකක් ඉකුත් වෙද්දී මේ අපරාධය සිදුව තිබුණි.   


“හල්පේ මාටින්” නමින් හැඳින්වූ අමරතුංග මාටින් සොයා තුන්අඳහේනේ කේ. සෝමවීර මහතාගේ මඟපෙන්වීම අනුව ඔහුගේ ගමට ගියෙමි. අසූ පස්වන වියේ පසුවන විෂ වෛද්‍යාචාර්යවරයෙක් වූ අමරතුංග පුංචිමහත්මයා හෙවත් කුරුප්පු මහත්තයාගේ නිවසට යනවිට ඔහු සාලයේ පුටුවක වාඩිවී ‘ඉරිද‌ා ලංකාදීපය’ කියවමින් සිටියේය.   


“හල්පේ මාටින් කියන්නේ මගේ වැඩිමහල් සහෝදරයා. එයාගේ නම අමරතුංග මාටින්. උසට සරිලන මහතක් තිබුණ මාටින් අයියා කොණ්ඩෙ බැඳලා හිටියේ. වයිට් හවුස් නඩුවේ චූදිතයෙක් වෙලා එයා එල්ලුම් ගස් ගියා. එයා එල්ලුම් ගහට නියම වෙනකොට මගේ වයස අවුරුදු පහළොවක් ඇති. මාටින් අයියට අවුරුදු විසි හතක් තිහක් ඇති. එයා මේ අපරාධයට සම්බන්ධ නෑ, නිකං එල්ලුම් ගස් ගියා කියල අම්මා තාත්තා ඒ කාලේ කතා වෙනවා මට ඇහිලා තියනවා.” අමරතුංග පුංචිමහත්මයා හෙවත් කුරුප්පු මහත්තයා කීවේ ය.   


අමරතුංග මාටින් හෙවත් ‘හල්පේ මාටින්’ උපන් නිවසට කිව්වේ “රජ ගෙදර”ය. ඒ ඔහුගේ පියා වූ මොහොට්ටිහාමි හෙවත් ‘හල්පේ රජ්ජුරුවන්ගේ’ නිවස නිසාය. ඉඩකඩම් දේපල වතුපිටි රැසකට හිමිකම් කියූ මේ “හල්පේ රජ පවුල” වැදගත් පරම්පරාවකින් පැවත එන පිරිසකි.   


“සහෝදර සහෝදරියන් අටදෙනාගෙන් දැනට ජීවතුන් අතර ඉන්නේ අපි හතර දෙනයි. අපේ දරුවන්ගේ දරුවනුත් ඒ කියන්නේ මුණුපුුරු මිනිපිරියන් ගොඩාක් ඉන්නවා. ඒ කාලේ අපේ තාත්තා රජෙක් වගේ තමයි. මාටින් අයියා තාත්තාගේ වැඩවලට උදව් වුණා. ඉස්සර ළඟම තිබුණ ඉස්කෝලේ තමයි මිල්ලකඩේ ඉස්කෝලෙ. අයියා ඔය නඩුවට පැටලුණේ 1948 අවුරුද්දේ වගේ තමයි මට මතක. එතකොට මම අවුරුදු පහළොවක කොලු ගැටයා.   


එතකොට මේ ගොරකඇළ සහ කුරුවිට යා කරන හල්පේ හරහා වාහන යන පාරක් තිබුණේ නෑ. අඩිපාර තිබුණේ. බයිසිකල් එකකටවත් යන්න බෑ. අපි මිල්ලකඩේ ඉස්කෝලෙට යන්නේ පයින්. මාටින් අයියා ඉස්කෝලේ යනවා මට මතක නෑ. මහගෙදර හිටපු මාටින් අයියා කසාද බැන්දට පස්සේ මහගෙදරට එහායින් වෙනම ගෙයක් හද‌ාගෙන හිටියේ. මේ ගමෙන් ඉඩම් අක්කර විසි නවයක් අපට තිබුණා. හරක් ගණනක පට්ටි අපේ තාත්තට තිබුණා. කුඹුරු වැඩ කාලෙට කුරුවිට, කෙප්පනාව, කාහේන්ගම වගේ පැතිවලටත් අපේ හරක් අරං ගියා.” අමරතුංග පුංචිමහත්මයා හෙවත් කුරුප්පු මහත්තයා අතීතය සිහිපත් කළේය.   


ඔහු කියන පරිදි මීට වසර හැත්තෑවකට අසූවකට ඉහතදී හල්පේ ජීවත්ව ඇත්තේ පවුල් කිහිපයක් පමණි. හල්පේ ශ්‍රී සාංඝිකාරාම විහාරයට පහළින් හල්පේ මාටින් ඉපදුන ‘හල්පේ රජගෙදර’ අදටත් දකින්නට තිබේ. වර්තමානයේ එහි යම් නවීකරණයක් කර ඇති බව අමරතුංග පුංචිමහත්මයා හෙවත් කුරුප්පු මහත්තයා ද සිහිපත් කළේය. කුරුප්පු මහත්මයා ජීවත් ​ෙවන්නේ ඊට යාබදව තැනූ නිවසකය. හල්පේ, පාතගම ආදී ගම්මානවල උළු සෙවිළි කර කළුගලෙන් බැන්ද ගෙවල් තිබුණානම් ඒ එකක් හෝ දෙකක් පමණි. එයිනුත් රටඋළු හෙවිලි කළ ගෙයක් නම් එය ප්‍රභූත්වය තවත් ඉහළ නංවයි. ‘හල්පේ මාටින්” ඉපදී ඇත්තේ ද රටඋළු සෙවිලි කළ ‘හල්පේ රජගෙදර’ය.   


අමරතුංග පුංචිමහත්මයා හෙවත් කුරුප්පු මහත්තයාට ගමේ කියන්නේ කුරුප්පු මහත්තයා යනුවෙනි. අමරතුංග පුංචිමහත්තයා කිව්වාට ගමේ අය දන්නේ නැත. කුරුප්පු මහත්තයා යනුවෙන් ඔහුව හඳුන්වන්න පටන්ගෙන අවුරුදු හැටකට වැඩිය. 1965 දී සමස්ත ලංකා ජාතික විෂ වෛද්‍ය සංගමයේ සභාපති සූරියපොකුණේ විමලසාගර හිමියන් දුන් සහතිකයක දැක්වෙන්නේ අමරතුංග පුංචි මහත්මයා මීතිරිගල සාංඝික පන්සලේ දී වසර එකහමාරක් පමණ උන්වහන්සේ යටතේ විෂ වෙදකම ඉගෙනගත් බවයි.   


“මාටින් අයියා අපරාධ නඩුවකට අහුවෙලා එල්ලුම් ගහට නියම වුණාට අපි වැදගත් පරපුරකින් පැවත එන අය. අද අපේ පරම්පරාවේ හොඳට ඉගෙන ගත්තු වැදගත් රස්සා කරන අය ඉන්නවා. මාටින් අයියා මේ නඩුවට අහුවුණේ කොහොම ද කියලා කියන්න අපි කවුරුවත් දන්නේ නෑ. අම්මා එහෙම නිතරම කිව්වේ අයියා නිකරුණේ ඒ නඩුවට පැටලුවා කියලා”. කුරුප්පු මහත්තයා කීවේ ය.   


“මාටින් අයියා ගොවිතැන් බත් කළේ. ඒ කාලේ අද වගේ හැමදෙයක්ම සල්ලිවලට ගත්තේ නෑ. මාටින් අයියා වී හත්පෑලක කුඹුරු වැඩ කළා. (වී හත්පෑලක් යනු අක්කර පහකට ආසන්න ප්‍රමාණයකි) එයාට ලොකු සෙනඟක් හිටියා. එයා කුඹුරකට බැස්සේ නෑ. මේ ගමේ, පාගතම ගමේ අය තමයි ඇවිත් වැඩ කරලා දුන්නේ.   


එක දවසක් මාටින් අයියාගේ හිතවත්කම් තියන පොලීසියේ සාජන් මහත්තයෙක් කලබලයෙන් අපේ මහ ගෙදරට ආවා. ඒ සාජන් මහත්තයාගේ නම වීරසිංහ වගේ මට මතක. ඉන්ස්පැක්ටර් මහත්තුරුත් දෙන්නෙක් හිටියා. ‘හරි වැඩේනේ මාටින් අයියා අපිට වෙඩි තියනවා කියලා පන්නා ගත්තනේ’ කිව්වා. ඒ අය ඇවිත් තියෙන්නේ කටඋත්තරයක් ගන්න මාටින් අයියාව පොලීසියට එක්ක යන්න. මාටින් අයියාට කාරණය කිව්වාම ‘හා යමු’ කියලා ගේ ඇතුළට ගිහිං තුවක්කුව අරගෙන ඇවිල්ලා පොලීසියේ මහත්තුරුන්ට තුවක්කුව දික්කරලා ‘උඹලා මෙතනින් ගියේ නැත්නං වෙඩි තියනවා. දුවපියව්, දුවපියව්...’ කියලා පන්නාගෙන. පොලීසියේ මහත්තුරු ආපහු හැරිලා ඇවිත්. පස්සේ තමයි ආරංචි වුණේ ඒ ඇවිත් තියෙන්නේ වයිට් හවුස් සුද්දා මරපු එකට මාටින් අයියාව ගෙනියන්න කියලා. අයියා අඳුනන සාජන් මහත්තයා එක්ක ඇවිත් තියෙන්නේ ගේ පෙන්නලා එයාව චාටුවෙන් ගෙනියන්න.” කුරුප්පු මහත්තයා කීවේය.   


පොලීසිය එද​ා ඇවිත් ගිය පසු නැවත පැමිණ මාටින් සොයා හල්පෙට නොපැමිණි බව කුරුප්පු මහතා සඳහන් කළේය.   

 

 

“ඉන්ස්පැක්ටර් මහත්තුරුන්ට වෙඩි තියන්න හැදුවාට පස්සේ මාටින් අයියාව පැරඩයිස් වත්තේ හිටිය මැල් කියන නඩුකාරයට කියලා රත්නපුරේ උසාවියට බාරදෙන්න තාත්තා කටයුතු කළා.” කුරුප්පු මහතාගේ මතකය අවදි කළේය.   


එහෙත් අධිකරණ වාර්තා පෙන්වා දෙන්නේ ඔහු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවකි.   


කුරුප්පු මහතා පවසන ‘මැල් නඩුකාරයා’ සමහරවිට නීතීඥවරයෙක් විය හැක. එසේ නැත්නම් ඒ කාලේ ගම්සභා උසාවිවල නඩු ඇසූ විනිසුරුවරයෙක් විය හැක. කුරුප්පු මහත්තයා කියන පරිදි උසාවියට බාරවූ “හල්පේ මාටින්” නැවත ගෙදර පැමිණියේ නැත. ඉන්පසු රත්නපුර උසාවියේ පැවති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේ දී මාටින් අයියා දුටු අවසාන වතාව බව කුරුප්පු මහත්තයා සිහිකරයි.   


“හතළිස් අටේ සිංහල අවුරුදු කාලේ. මිල්ලකඩේ හන්දියට පයින් ගිහිං පානදුරේ ඉඳලා එන බස් එකක ශත විස්සක් දීලා රත්නපුරේ උසාවියට ගියා. උසාවිය තිබුණේ රත්නපුර ඔරලෝසු කණුව ළඟ කන්ද උඩ ගොඩනැගිල්ලක. ඒක පොඩි ඉඩක් තියන තැනක්. මං එතනට ගියාමයි. මිනිස්සු හත්අට දෙනෙක් පෝලිමට හිටවලා හිටියා. එක එක්කෙනා ඒ අයගේ මුහුණෙ ඉඳලා කකුල් දක්වා බලබලා යනවා මොනවත් කියන්නේ නෑ. අර හිටගෙන ඉන්න අය කාමරේකට ගිහිං ආයෙත් එනවා. මුලින් හිටිය තැන්වලින් ඒ අය ඉන්න තැන් වෙනස් වෙනවා. අායෙත් කිහිප දෙනෙක් ඒ අය අඳුනාගන්න යනවා. අපේ මාටින් අයියාත් ඒ හිටගෙන හිටිය අය අතරේ ඉන්නවා දැක්කා” කුරුප්පු මහත්තයාගේ මතකය අවදිකරමින් කියයි.   


“මේ වැඩේ මොකක්ද කියන්න අපි දන්නේ නෑ. මම කොලු ගැටයානේ. තාත්තත් ගිහිං හිටියේ. කවුරුවත් කතා කරන්නේ නෑ. පොලීසියේ ඉන්ස්පැක්ටර් මහත්තුරු, සාජන් මහත්තුරු, රාළහාමිලා විස්සක් තිහක් විතර ඉන්න ඇති. නඩුකාර මහත්තයා මේ වැඩේ දිහා ඇහිපිය නොහෙලා බලා ඉන්නවා දැක්කා. ටික වෙලාවකින් පිරිමි මනුස්සයෙක් මාටින් අයියත් එක්ක හිටගෙන හිටිය මිනිහෙක් පැත්තට ඇඟිල්ල දික්කරලා පෙන්නුවා. ඒ එක්කම ඇඟිල්ලෙන් පෙන්නපු මිනිහා තමන්ව පෙන්නපු මිනිහගේ බෙල්ලට ගහලා මිනිහව බිම දැම්මා. මහ කලබලයක් වුණා. නඩුකාරයා නැගිටලා ඇතුළට ගියා. ගහපු මිනිහයි මාටින් අයියා ඇතුළු කට්ටියට මාංචු දාලා එළියට අරං ගියා. මේ සිද්ධිය මට අද වගේ මතකයි.” කුරුප්පු මහතා හෙළි කළේය.   


ඔහු පහළොස්වන වියේ කොලු ගැටයෙක්ව සිටිය දී මේ දුටු සිදුවීම සත්‍යයක් විය. මෙය කුමක්ද යන්න ඔහුට අවබෝධයක් නොතිබුණ නමුත් එය හඳුනාගැනීමේ පෙරෙට්ටුවකි. මාදම්පේ වතුයායේ වතු කළමනාකරු වූ ජෝන් එඩ්වඩ් ෆ්‍රෑන්ක් වයිට් හවුස් මහතා වෙඩිතබා මරා දමා ඔහු සන්තකයේ වූ රුපියල් තිස්පන් දහසක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්‍ධයෙන් සැකකරුවන් හඳුනාගන්නට පැවැත්වූ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකි. එම පෙරෙට්ටුව පවත්වා තිබුණේ එවක රත්නපුර මහේස්ත්‍රාත්ව සිටි ටී.සී.පී. ප්‍රනාන්දු මහතා විසිනි.   


සිද්ධිය වූ දින දී වයිට් හවුස් මහතාගේ මෝටර් රථය පසුපසින් කොළ පැහැති රියේ පැමිණි අයෙක් ලෙස හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කර සිටි ජයසුන්දර පෙරේරා සහ ලෑතර් බාස් නොහොත් පීටර් පෙරේරා යන දෙදෙනා සාක්කිකරුවකු විසින් හඳුනාගෙන පෙන්වද්දී ලෑතර් බාස් එම තැනැත්තාට පහරදුන් බව නඩු විභාගය සම්බන්‍ධව තොරතුරු පළවූ පොත්පත්වල ද සඳහන් වෙයි. ඒ නිසා අධිකරණයේ කටයුතු විනාඩි හතළිහකට වඩා වැඩි කාලයක් කල්තබන්නට වූ බවත් එම තොරතුරුවල දැක්වෙයි.   


අමරතුංග මාටින් හෙවත් හල්පේ මාටින් කොණ්ඩේ බැඳසිටි ගැමියකු වුවත් ඔහුට පිටපළාත්වල මිතුරන් බොහෝ විය. ඒ මිතුරන් වරින්වර පැමිණ මාටින් අයියාගේ නිවසේ සිටිනවා කුරුප්පු මහත්තයාට මතකය.   
“මාටින් අයියාව හොයාගෙන පොලීසියේ ඉන්ස්පැක්ටර් මහත්තයලා එන්න දවස් කිහිපයකට ඉස්සර නොණ්ඩි ගහන මිනිහෙක් ඇවිල්ලා හිටියා මතකයි. මාටින් අයියාගේ යාලුවෝ නිතරම යන එන නිසා අපිට ඒකේ අලුත් දෙයක් නෑ. සමහරු දවසේ දෙකේ ඉන්නවා.” කුරුප්පු මහත්තයා පැවසුවේය.   


ඔහු කී මේ නොණ්ඩි මිනිහා වයිට් හවුස් නඩු විභාගයේ දී පැමිණිල්ලේ ප්‍රබල සාක්කිකාරයෙක් විය. ඔහු පාදුක්කේ පදිංචිකරුවකි. වයිට් හවුස් මහතාට වෙඩි තැබීමේ සිද්ධියට පෙර හිදැල්ලන අමුතාගොඩ හන්දියට ඉදිරියෙන් වූ මැඩිල්ලවළේ පාලමෙන් එගොඩ කාරයක් නවත්වා එහි බොනට් එක විවෘත කළ තැන සිටි පුද්ගලයෙකි. එතැන තිබූ තේ කඩයට ගොස් සිගරට්ටුවක් හා ගිනිපෙට්ටියක් මිලට ගෙන තිබුණේ ඔහුය. වෙඩිතැබීමෙන් පසු කලබල වූ ඔහු සිද්ධිය වූ තැන සිට දිවගොස් රත්නපුරේ සිට කොළඹ බලා යාමට පැමිණි කොම්පැණි බස් රථයක නැගී හංවැල්ලෙන් බැස ගෙදර ගිය නැපෝසිඤ්ඤෝ නම් පුද්ගලයා ඔහු විය.   


නැපෝසිඤ්ඤෝ අධිකරණයට පවසා තිබුණේ හල්පේ මාටින් විසින් 1948 අප්‍රේල් 09 දිනට දින පහකට පෙර ඔහුගේ වත්තක කිරිකපන පුද්ගලයකු අත ඔහුව හමුවන ලෙස පණිවිඩයක් එවා තිබූ බවයි. එදින දහවල් දොළහ පමණ වනවිට පණිවිඩකරුත් සමඟ හල්පේට ගොස් හල්පේ මාටින් මුණ ගැසුණ බව ද නැපෝසිඤ්ඤෝ අධිකරණයට කියා තිබුණි.   


මේ අතර පුංචිනා නමැති පුද්ගලයෙක් නැපෝසිඤ්ඤෝගේ මේ සාක්කිය සනාථ කරමින් හල්පේ මාටින් විසින් නැපෝසිඤ්ඤෝව කැඳවාගෙන ඒමට තමන් යැවූ බව අධිකරණයේ සාක්කි දී පවසා තිබුණි. නැපෝසිඤ්ඤෝට වියදම සඳහා රුපියල් පහක් ද හල්පෙ මාටින් තමන් අත යැවූ බව ද පුංචිනා අධිකරණයේ දී පවසා තිබුණි.   


“ගමේ ගරුගාම්භීරව අපි ජීවත්වන එක ගැන එදා ගමේම හිටිය සමහරු කැමැත්තකින් නෙවෙයි හිටියේ. අපිට උදව් කරන්න ආවාට, මාටින් අයියා ඉස්සරහ එයාට ලෙන්ගුකම් පෑවට සමහරු දිය යටින් ගින්දර ගෙනිච්චා. මාටින් අයියට ඒවා තේරුම්ගන්න බැරිවුණා. මට මතකයි අපේ අම්මා මාටින් අයියට අත්වෙච්ච ඉරණම ගැන විස්සෝප වෙනකොට ඒ වගේ දේවල් කියනවා මටත් සමහර වෙලාවට ඇහිලා තියනවා. ඒ මිනිස්සු කවුරුවත් අද ජීවතුන් අතර නෑ.” කුරුප්පු මහතා කනගාටුවෙන් අතීතය සිහි කරයි.   


රත්නපුර කොළඹ පාරේ අමුතාගොඩ හන්දිය පසුකර රත්නපුර දෙසට යද්දී හමුවන ඇඹිල්ලවළේ පාලමත්, මැඩිල්ලවළේ පාලමත් අතර සිදු වූ මේ බිහිසුණු අපරාධයට පෙර මැඩිල්ලවළේ පාලමෙන් එගොඩ නොණ්ඩිගහන පුද්ගලයෙක් එතැන තිබූ තේ කඩයෙන් සිගරට් පත්තු කරගත් බවට එහි සිටි අය කතා වූ බව තම පියා ඇතුළු වැඩිහිටියන්ගෙන් දැනගත් බවත් ඒ වයිට්හවුස් සුද්දාගේ මුදල් කොල්ලකන්න ආ නැපෝසිංඤ්ඤෝ බව නඩුව විභාගවෙද්දී දැනගන්නට ලැබුණ බව අමුතාගොඩ ගමේ විශ්‍රාම සුවයෙන් සිටින එස්.පී. සුමනද‌ාස මහතා පැවසුවේය.   


“අද නම් සිද්ධියක් වුණාම ඒ මොහොතෙම දැනගන්න පුළුවන්. එදා එහෙම නෑ. ඒ කාලේ පොලිසිය වෙස් වළාගෙන හැමතැනම ඉන්නවා කියලා බයක් මිනිස්සුන්ගේ තිබුණා කියලා වැඩිහිටියෝ කියනවා අහලා තියනවා. නාඳුනන කෙනෙක් යන එනකොට, එහෙම කෙනෙක් ඉන්න තැනක මිනිස්සු කතාකරන්නත් බයයි කියලා තමයි ඒ දවස්වල වැඩිහිටියෝ අපිට කියලා තියෙන්නේ.” සුමනදාස මහතා පැහැදිලි කළේය.   

 

 


ඉතිරි කොටසක් ලබන සතියට.....   

 

 


අජිත්ලාල් ශාන්ත උදය