ගමක නම හැදුණු හැටි
බිස්ස නොහොත් අටුව
කෑගල්ල නගරයට කිලෝ මීටර් පහළොවක පමණ දුරින් පිහිටා ඇති අටුගොඩ ගම තරමක පුළුල් ප්‍රදේශයක පැතිරුණු විශාල ගමකි. අතීතයේ තිබූ ගම වර්තමානයේ ප්‍රධාන වශයෙන් ගම් දෙකකට බෙදී ඇත. ඒ අටුගොඩ ඉහළගම හා අටුගොඩ පහළගම වශයෙනි. එසේම ගෝලින්ද ජනපදය වැනි අලුත් ප්‍රදේශද එක්වී ඇත.
මෙකල ගමේ ප්‍රමාණය දැක්වෙන්නේ ග්‍රාම නිලධාරී වසමෙනි. එහෙත් බුද්ධඝෝෂ හිමි විසුද්ධි මාර්ගයේදී දක්වා ඇත්තේ වැඩුණු පුරුෂයෙකු වෙර යොදා අහසට වීසි කරන ගල් කැටයක් වැටෙන දුර ගමක ප්‍රමාණය නොහොත් විශාලත්වය බවයි. කෙසේ වෙතත් ගම යනු මිනිසුන් ජීවත්වන ප්‍රදේශයකි.
අටුගොඩ ගම නින්දගමකි. ඓතිහාසික ගමක තිබිය යුතු අංග ලක්ෂණ අටුගොඩ ගමෙන්ද මනාව පිළිබිඹු වේ. ගමක ඓතිහාසිකත්වය පෙන්නුම් කරන සාධක අතර ගම පිළිබඳව ටීකා කවියක් තිබීම, ගමේ මායිම් දක්වන පැරැණි කවි පැවතීම, ඓතිහාසික නටබුන් පැවතීම, පැරැණි ලෙන් පැවතීම, සෙල්ලිපි තිබීම, ලේඛනගත තොරතුරු පැවතීම වැදගත් වේ.
අටුගොඩ සෙල්ලිපිය
ආර්.සී.පී. බෙල් මහතාගේ කෑගලු වාර්තාවෙත්, මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ ලක්දිව ශිලා ලිපි සංග්‍රහයේත් අටුගොඩ සෙල් ලිපිය ගැන දක්වා ඇත. මෙය පිහිටා ඇත්තේ අටුගොඩ වැවකන්ද නොහොත් දේවාල කන්ද මුදුනේ වත්මන් කඩිගමුව බඹරගම ප්‍රදේශයට අයත් සීමාවේය වර්තමානයේ මෙම ස්ථානය සෙනසුනක් බවට පරිවර්තනය වී ඇත.
මෙහි කටාරම් කෙටු ගල්ලෙන් කීපයක්ම ඇත. සමහර ලෙන් බිත්ති බැඳ ආවාස බවට පත්කර ඇත. මෙම සෙල්ලිපිය ඇත්තේද සෙනසුනේ ගල්ලෙනකය. මෙම සෙනසුනේ බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියන ලද සෙල්ලිපි කිහිපයක්ම ඇතත් ඒවා ගම්වාසීන්ගේ නොදැනුම්වත්කමින් ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශ මුඛයට පත්ව ඇත.
මේ සෙල්ලිපිය ක්‍රි.පූ 3-1 අතර සියවස්වලට අයත් වේ. සෙල්ලිපි එක් අතකින් ඔප්පුවක් වැනිය. එයින් කියවෙන්නේ අහවලාගේ ගල්ලෙන සංඝයාට දුන් බවය. එම කාල සීමාවෙන් හෙළිවන්නේ එතරම් ඈත කාලයක සිට අටුගොඩ ප්‍රදේශය ජනාවාසව තිබෙන්නට ඇති බවය.
අටුගොඩ සෙල්ලිපිය : බත ශිනහ බතගු අමතහ ගමික ශිවහ ශගශ අධිපති ශිනගේද ඇමැති බතගුගේ සහ ගම්පති ශිවගේ ලෙන සංඝයාට (දෙන ලදි)
ගල්ලෙන් : අටුගොඩ ගමේ උල්වල, ගොපනාව, ඉහළගම ආදි ස්ථානවල සාමාන්‍ය ගල්ලෙන්ද වැවකන්ද, වරකාව සහ ගොපනාව - දමුණුපොළ මායිමේ කටාරම් කෙටු ගල්ලෙන් ඇත. ඒවා පැවතීමෙන් පෙනී යන්නේ ඈත අතීතයේ සිටම අටුගොඩ ජනාවාසව පැවති බවය.
අටුගොඩ - ඉද්දමල්පාන යාකරන අලුත් පාලම
ගම ගැන කියන ටීකා සීපදය (කවිය)
අටුගොඩ ගම ගැන කියන ටීකා කවියක් ඇත. එයින් කියවෙන්නේ අටුගොඩ ගමේ තිබුණු රසවත් කුරු වරකා ගසක් ගැනය. මේ ගැන කියවෙන රසවත් ජන ප්‍රවාදයක්ද ඇත.
දිනක් ඉද්දමල්පාන තැන්නපිට බළකොටුවේ රාත්‍රිය ගත කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට රාත්‍රි කාලයේ ඉමිහිරි සුවඳක් ආඝ්‍රහණය වී ඒ ගැන සොයා බැලීමට ආරක්ෂක භටයන්ට අණ කර ඇත. සුවඳ එන්නේ කුමකින්දැයි සොයා බැලූ ආරක්ෂකයින්ට එම සුවඳ එන්නේ වවුලකු විසින් ගෙනවුත් දමන ලද වරකා මදුළකින් බව දැකගන්ට ලැබී ඇත. වරකා මදුල අතට ගත් රජතුමා වහාම එම වරකා ගස සෙවීමට අණ කර ඇත. පසුදා උදයේ එම ඉමිහිරි සුවඳ එන වරකා ගස සෙවූ රජුගේ ආරක්ෂකයින්ට අටුගොඩ පිහිටි කුරු වරකා ගස හමුවී ඇත.
රජතුමාට ඒ ගැන දැනුම් දුන් පසු පිරිවර සමග එම ස්ථානයට පැමිණි රජතුමා ඉදුණු කුරු වරකා මදුළුවල රස බලා ඇත. වරකා මදුළුවල රසය සහ සුවඳ ගැන රජතුමා පුදුමයට පත්ව ඇත.
අනතුරුව රජතුමා සමග සිටි පිරිස රජු වළඳා ඉතිරි වූ වරකා කටුවේ ඇති ඉරිවල රස බලා පුදුම රසයක් හා සුවඳක් ඇති බව රජතුමාට ප්‍රකාශ කර ඇත. සතුටට පත් රජතුමා කුරු වරකා ගස දෙස බලා මේ කවිය කියා ඇත.
අටිය වඩන අටුගොඩ කුරු වරකාව
නටිය බරින් පලගත්තයි පලදාව
කටුවට එන බඹරු කඳ මැද ගෝෂාව
කටුවත් රසයි අටුගොඩ කුරු වරකාව
පසුව මෙවැනි රසවත් වරකා ගසක් තිබිය යුත්තේ රජමැදුර ආසන්නයේ බව පවසා කුරු වරකා ගස මුල් පිටින් ගලවා මහනුවරට ගෙන යන ලෙස අණ කර ඇත. මේ නිසා අටුගොඩ ගමට කුරු වරකා ගස අහිමි වී ඇත. අදත් අටුගොඩ ගමේ එම ප්‍රදේශය වරකාව යන නමින් හැඳින්වේ.
අටුගොඩ ගම් සීමාව : අතීතයේ අටුගොඩ ගමෙහි සීමාව දැක්වෙන පැරැණි කවියක් ඇත.
නැගෙනහිරට දඬු දමලා මඩිත්තට
ගුරුගොඩ ඔයේ පෙණවළ ඔන්න දකුණට
කබරගලේ ගල බස්නාහිර අතට
රඹපත කෙටුව ගල උතුරට අටුගොඩට
ඓතිහාසික පෞරාණික ගම්වල සීමා දක්වා තිබුණත් ඇතැම් විට ඒවා සොයා ගැනීම අපහසුය. එහෙත් අටුගොඩ ගමෙහි සීමා පැහැදිලිව හඳුනාගත හැකිව තිබේ. අද වන විට ඇතැම් ගම් කුඩා වී ඇති අතර ඇතැම් විට අලුතෙන් ප්‍රදේශ එකතු වී ඇත. වර්තමානයේ වැදගත් වන්නේ ග්‍රාම නිලධාරි වසම මිස පැරැණි සීමා නොවේ.
රඹපත කොටුගල - මායිම් ලකුණ
මඩිත්ත
අටුගොඩ ශ්‍රී සුමංගල මහා විද්‍යාලය අසලින් දිවෙන අටුගොඩ - කණුහැත්තෑව මාර්ගයේ උල්වල නමැති ස්ථානයේ මඩිත්ත පිහිටා ඇත.
මේ ස්ථානය ජල උල්පත් බහුල ස්ථානයකි. උල්වල යන්නෙහි තේරුමද ජල උල්පත් පිරි ස්ථානය යන්නයි. දෙපැත්තකට ජලය ගලා යන උල්වල මෙම ප්‍රදේශයේ ඇති දිය බෙත්මකි. ජල උල්පත් බහුල නිසා මෙම ස්ථානයේ ඇති කුඹුර ගැඹුරු මඩවළකි. කුඹුරේ වැඩ කරන විට ටිකෙන් ටික මඩෙහි ගිලී යන නිසා පාද රඳවා ගැනීමට ලී කොට ගිල්වා ඇත. අතීතයේ එලෙස පැවතියත් වර්තමානයේ උල්පත් ජලය අඩුවීම නිසා අනතුරුදායක බව අඩු වී ඇත.
පෙණවළ : අටුගොඩ ගම ඉද්දමල්පාන ගමෙන් වෙන්වන සීමාව වන්නේ ගුරුගොඩ ඔයයි. කැලණි ගඟේ ප්‍රධාන ශාඛාව වූ ගුරුගොඩ ඔය මොරොන්තොට සිට අටුගොඩ ගොපනාව - රත්මල්ලක ප්‍රදේශයට එන විට ගලා බසින්නේ ගල් තලාවක් මැදිනි. ගල් බහුල නිසාම මේ ප්‍රදේශය ගල්ගෙඩියාන යන නමින් හැඳින්වේ.
පෙණවළ පිහිටා ඇත්තේ මේ කොටසේ ඇඳිරිගල්ලෙන ප්‍රදේශයේ පිහිටි වත්මන් විදුලි බලාගාරය ආසන්නයේය. ගල් වේදිකාවක් මතින් අඩි කිහිපයක් පහළට ඇදහැලෙන ජල ධාරාව වේදිකාව පාමුල ගල් කුහරින් පිරි ගැඹුරු වළක් නිර්මාණය කර ඇත. වර්ෂා කාලයට මෙහි ජලය පහතට ඇදහැලෙන ඝෝෂාව දුරට ඇසෙන අතර ගල් මතින් අැදහැලෙන විට නැගෙන පෙණ පිඩු ඔය දිගේ පහළට පාවීයයි. කෙසේ වෙතත් විදුලි බලාගාරය ඉදිකිරීමේ දී පරිසරයේ සිදුකළ යම් භෞතික වෙනස්කම් නිසා අද වන විට පෙණවළේ සුන්දර බව අඩුවී ඇත.
කබරගල : මේ නමින් හැඳින්වෙන ගල් ශ්‍රී ලංකාවේ නාවල දොළොස්බාගේ ආදි ප්‍රදේශවලද ඇත. එහෙත් ගමට මායිමක්ව පවතින කබරගල පිළිබඳව ඇත්තේ අවිනිශ්විත බවකි. වැඩිහිටි කීප දෙනෙකුගෙන් විමසුම් කළත් නිශ්චිතව කබරගල දන්නා අයෙකු නැත. සමහර විටක පෙඳ, පාසි නිසා සුදු පැහැති පැල්ලම් ඇති වූ ගල් පර්වතයක් මෙලෙස හඳුන්වන්නට ඇත.
වඳුරාදෙණිය ගමේ වැඩිහිටියෙකුගෙන් කළ විමසීමේදී එනමින් හැඳින්වෙන ගලක් නොදන්නා මුත් සුදු පැහැති පැල්ලම් ඇති උල්ගල යන නමින් හඳුන්වන ගලක් වඳුරාදෙණිය ගමේ කඳු මුදුනේ ඇති බව දැනගන්නට ලැබිණි. වඳුරාදෙණිය බෝමළුව අසලින් ඇරඹෙන පාර දිගේ ගොස් කඳුමුදුනේ පිහිටි උල්ගලට ගියෙමු. සමහර විට මෙය දබරගලම දැයි අපට සිතුණි.
රඹපත කෙටුගල : අතීතයේ සීමා දැක්වීමට විවිධ හැඩතල යොදාගෙන ඇත. ඒ අතර කිරිබත් කැටය, රෑන, රඹපත, දුන්න, ඊතලය, සත්ව රූප ආදිය විය.
රඹපත කෙටුගල පිහිටා ඇත්තේ අටුගොඩ වැවකන්ද නොහොත් දේවාලේ කන්ද මුදුනේ වත්මන් ආරණ්‍ය සේනාසන භූමියේය. එම ප්‍රදේශය වර්තමානයේ කඩිගමුව බඹරගමට අයත්ය. එහි ජලාශයට උඩු අතින් පිහිටි ගලේ මායිම් ලකුණ (කුකුල් අඩිය අඩිය) සමග රඹපත (කෙසෙල් අත්ත) කොටා ඇත.
අද පවා මෙම සීමාවන් පැහැදිලිව දක්නට ලැබුණත් වර්තමානයේ වැදගත් වන්නේ ග්‍රාම නිලධාරි කොට්ඨාසයයි.
පැරණි රජ මාවත : වන දුර්ග ගිරි දුර්ග වලින් යුතු වූ මහනුවරට වැටී තිබූ මාර්ගවලින් ප්‍රධාන මාර්ගය වූයේ කැලණි නිම්නය ඔස්සේ වැටී තිබූ මහනුවර-කොළඹ මාර්ගයයි. මෙයද රථ වාහන යා නොහැකි දුෂ්කර මාර්ගයකි. රජු සහ ප්‍රභූවරු දෝලාවලින් ගමන් කර ඇතත් සාමාන්‍ය ජනතාව ගමන් කර ඇත්තේ දෙපයිනි.
පයින් ගමන් කරන්නන්ට ගිමන් නිවා ගැනීම, නවාතැන් ගැනීමට තැනින් තැන අම්බලම් ඉදිකර තිබී ඇත. අටුගොඩ, පුස්සැලදෙණිය, ඉද්දමල්පාන යන ස්ථානවල තිබූ අම්බලම් අද දක්නට නැත. එහෙත් අරන්දර අම්බලම අදත් දක්නට ඇත.
මෙම මාර්ගය මහනුවර නොහොත් සෙංකඩගල නුවරින් ආරම්භ වී මහනුවර - ගන්නෝරුව - අමුණුපුර - බලන - ගනේතැන්න - අට්ටාපිටිය - හෙට්ටිමුල්ල - තලේවෙල - කණුහැත්තෑව - දමුණුපොළ - අටුගොඩ - ඉද්දමල්පාන - අරන්දර - මැණික්කඩවර - රුවන් වැල්ල - අවිස්සාවේල්ල - හංවැල්ල - කඩුවෙල - පසුකර ගොස් කෝට්ටෙන් අවසන් විය.
මේ මාර්ගයේම අටුගොඩ ගම හරහා අටුගොඩ දොරුව නමැති ස්ථානයට පැමිණ ගුරුගොඩ ඔය ඉවුරේ පිහිටි තැනිවෙලට සම්බන්ධ වන අතුරු මාර්ගයක්ද තිබී ඇත.
අතීතයේ මේ ප්‍රදේශයට රජුගේ නිලධාරියෙකු පැමිණි විටෙක ඔහු මඳක් විවේක ගත් ස්ථානයක් අටුගොඩ දොරුව යන ස්ථානයේ තිබී ඇත. එතැන් සිට තැනිවෙල දක්වා ඔහුගේ ආරක්ෂාව භාරව සිටි හේවායෙකුද අටුගොඩ වාසය කළ බව කියති. රජුගේ නිලධාරියා තැනිවෙලට පැමිණි පසු ඔහුට ආරක්ෂාව සැපයීම ඉද්දමල්පාන ගම් දෙටුවෙකුට භාරවිය.
තැනිවෙල ප්‍රදේශයේ සිටි ගම් දෙටුවාට අයත් එක් රාජකාරියක් වූයේ රාත්‍රී කාලයට ගුරුගොඩ ඔයෙන් යන එන අයට ආරක්ෂාව සැපයීමය. මේ සඳහා ඉද්දමලක හැඩයට නෙළුගල් පහනක් යොදාගෙන ඇත. ඔයේ ජල මට්ටම වැඩි වී ඇත්නම් පහන නිවා දැමීමත් ජල මට්ටම අනතුරුදායක නැතිනම් පහන දල්වා තැබීමත් සිදුකර ඇත. මෙම පහන තැනිවෙල අසලින් ගුරුගොඩ ඔයට වැටෙන අටුගොඩ ඇළේ ඉද්දමල්වල නමැති ස්ථානයේ තිබී නිදන් හොරුන් විසින් විනාශ කරනු ලැබ ඇත.
අටුගොඩ - ඉහලගම පිහිටි කිණිහිර ගල
ඉද්දමල්පාන ගමට එම නම ලැබී ඇත්තේද මෙම පහන නිසා බව කියති. අතීතයේ තැනින්වෙල හා ඉද්දමල්පාන යාකල වැල් පාලමක්ද තිබී ඇති බව කෝඩිනර්ගේ ලංකා විස්තරයෙහි සඳහන් කර ඇත. එකල සිටි චිත්‍ර ශිල්පියෙකු දෙපස පිහිටි කුඹුක් ගස් දෙකක් උපයෝගී කරගෙන සකස් කර තිබූ වැල් පාලමක චිත්‍රයක්ද ඇත.
මෑත අවධියේ මෙම ස්ථානයේ ඔයේ මැද ඉදිකළ දැවැන්ත කණු දෙකක් මත යකඩ හා ලෑලි යෙදූ පාලමක් හරිගල පණ්ඩිතරත්න නොහොත් කළු අප්පු මහතා මුල් වී ඉදි කළත් වර්ෂා දිනයක ගලා ආ සැඩ පහරකට හසුව පාලම විනාශ වී ඇත. එම පාලමේ කණුවක් තවමත් ඔය මැද දක්නට ඇත. වර්තමානයේ මෙම ස්ථානයේ අලුත් පාලමක් ඉදිකර ඇත.
ගමට නමක් : අටුගොඩ ගමට නම සැදුණු ආකාරය දැක්වෙන කතා පුවත් කීපයක්ම ඇත. මේ කතා පුවත් දෙකකටම මුල් වී ඇත්තේ රජුට බදු වශයෙන් ලැබූ ධාන්‍ය තැන්පත් කිරීමට ඉදිකර තිබූ අටු හෙවත් වී බිස්ස නිසාය. අතීතයේ ධාන්‍ය තැන්පත් කිරීමට පිදුරු බිස්ස, වාරුව, වෙනිය සහ පැස යොදාගෙන ඇත. මේ අතරින් අටුව නොහොත් වී බිස්ස අපේ පැරන්නන් ගේ උසස් නිෂ්පාදනයකි.
අටුව පරිභෝජනය සඳහාත් බීජ (බිත්තර වී) සඳහාත් ධාන්‍ය ආරක්ෂා කර ගැනීමට ඉදි කර ඇත. වී බිස්ස ඉදිකිරීමේදී විවිධ චාරිත්‍ර පිළිපැදිණි. එය නිවසේ ඉදිරිපස ඉදිකෙරිණි. නිවසේ පිටුපස හෝ වැසිකිළි ආසන්නයේ ඉදි නොවිණි. එසේම තෙතමනය ඇති ස්ථානද මගහැර එය ඉදිකෙරිණි.
අනිවාර්යයෙන්ම එය වියළි ස්ථානයක ඉදිකෙරිණි. වී බිස්ස හෙවත් අටුව ලී කණු හතරක් මත හෝ ගල් කණු හතරක් මත ඉදිකෙරිණි. එයින් බලාපොරොත්තු වූයේ තෙතමනයෙන් හා පස්වලින් ඈත්කර තැබීමය. වී බිස්ස හෙවත් අටුව බිත්ති සඳහා යොදා ගත්තේ හුඹස් මැටිය. එයින් බිත්ති පිපිරීම අවම කිරීම බලාපොරොත්තු විය. බිත්ති වේළුණු පසු ඇතුළත ගොම ගානු ලැබීය. එයින් කෘමි සතුන් ඇතුළුවීම වැළකිණි. අටුවේ ඕවලාකාර හැඩය හොඳින් වාතාශ්‍රය පවත්වා ගැනීමට හේතුවිය.
ධාන්‍යවලට කෘමි උවදුරු ඇතුළුවීම වළක්වා ගැනීමට කදුරු ගෙඩි, නික, කුකුරු මානා, කලවැල් හා දෙහි, කොහොඹ ආදී කොළ වර්ග යොදා ගැනුණි.
රජතුමාට අාදායම් ලබාදුන්නේ සරුසාර කුඹුරුවලිනි. සරුසාර කුඹුරු ඇති ගම් ගබඩාගම් ලෙස හැඳින්විණි. රජවාසලින් පැමිණි නිලධාරියෙකු විසින් සිදුකළ කරල් තක්සේරුව අනුව කුඹුරුවලින් ගෙවිය යුතු බද්ද තීරණය විය. ඒවා එකතු කිරීම සඳහා විදානේ, කංකානම වැනි නිලධාරින් සිට ඇත. මොවුන් රජුගේ ආදායම් පංගුව ලබා ගෙන ගම්වල පිහිටුවා තිබූ අටුවල තැන්පත් කළයුතු විය. මෙලෙස පිහිටුවා තිබූ අටු ගොඩක් පිහිටි ප්‍රදේශය යන අරුතින් ගමේ නම අටුගොඩ ලෙසට ප්‍රසිද්ධව ඇත.
තවත් මතයකින් කියවෙන්නේ ආරක්ෂාව සඳහා මෙම අටු සියල්ල උස ස්ථානයක හෙවත් ගොඩැල්ලක ඉදිකර තිබූ බවත්, එලෙස අටු ඉදිකර තිබූ ගොඩැල්ල යන අරුතින් අටුගොඩ ලෙසට ප්‍රසිද්ධ වූ බවය.
මේ හැර එම නම ලැබීමට හේතු වූ වෙනත් මතයක්ද ඇත. එම මතයට පාදක වී ඇත්තේ ගම අවට පිහිටි කඳු පංතියයි. අටුගොඩ ගම අයත් සතර කෝරළයේ පිහිටි කඳු හෙල් නිසා සතර කෝරළයේ වැසියන් උපහාසයට ලක්වූ අවස්ථාද ඇත.
අතීතයේදී සතර කෝරළයේ වැසියන් ලුණු ගෙන ඒමට ගොස් ඇත්තේ මීගමුවටය. එසේ යන අතර මීගමුවේ නිවෙස්වලින් පටමලු ඉල්ලීමට පුරුදුව සිට ඇත. මේ කරදරයෙන් බේරීමට මීගමුවේ කාන්තාවන් ඔවුන් දුටුවිට සැඟවී ඇත. මෙය සත් කෝරළයේ කාන්තාවන් තමන්ට අහංකාරය පෙන්වීමකැයි සිතූ සතර කෝරළයේ වැසියෝ ඔවුන් උපහාසයට ලක් කිරීමට මේ කවිය කියා ඇත.
කන්නේ හෝතලා පනවැල්ල පොතු ගෙනේ
බොන්නේ බොර දියයි මේ මඩිති ඉසිමිනේ
උන්නේ උණපිලා බඩගෙඩි නෙරා ගෙනේ
දන්නේ නැද්ද වන්නියෙ අඟනුන්ගෙ ගුණේ
එයට කවියෙන්ම පිළිතුරු දුන් සත් කෝරළයේ වැසියන් ‘අතින් පයින් කුඩැල්ලන් කඩමින් දණ හිසට අත ගසා ගෙන කඳු හෙල් නගින පට මලූ හිඟන්නන් යැයි’ සතර කෝරළයේ වැසින් උපහාසයට ලක්කර ඇත.
සතර කෝරලේ පටමලු හිඟන්නනේ
අතින් පයින් කූඩැල්ලන් කඩන්නනේ
දණට අත දිදී කඳු හෙල් නගින්නනේ
තොපට මොටද වන්නියේ අඟනුන්ගේ ගුණේ
මෙම කඳුවැටි සහිත පිහිටීම නිසා අතීතයේදී අටුගොඩ වැසියන් ස්වභාවික ව්‍යසනයන්ට ලක් වූ අවස්ථාද ඇත. ධාරානිපාත වර්ෂාව නිසා අටුගොඩ වැවකන්ද ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් කඳු පාමුලු පිහිටි අටුගොඩ වලව්ව යටවී එහි සිටි අටුගොඩ වලව්වේ මැණිකේ මියගොස් ඇත.
අහස ගුගුරලා වැහි පල බෝ විච්චී
පොළොව දෙදරලා නායක් රොක් වෙච්චී
ඈත හිටපු මරු ඇවිදින් ළං වෙච්චී
අටුගොඩ වලව්වේ මැණිකේ යට වෙච්චී
අටුගොඩ ගම හා සම්බන්ධ කඳුවැටි රාශියක් ඇත. මෙයින් එකක් වන්නේ මැදකන්දය. මෙය ගුරුගොඩ ඔය ආසන්නයේ සිට අටුගොඩ වරකාව දක්වා කි.මී 5 ක් පමණ දුරට විහිදී ඇත. මෙය ගම මැද පිහිටා ඇති නිසා මැදකන්ද යැයි ප්‍රසිද්ධ වී ඇති අතර එයින් ගම කොටස් දෙකකට බෙදේ. ඒ ඉහළ අටුගොඩ (අටුගොඩ ඉහළගම) හා පහළ අටුගොඩ (අටුගොඩ පහළගම) යනුවෙනි. අටුගොඩ පහළගම ප්‍රදේශයේ තිබූ කුරු වරකා ගස නිසා අදත් එම ගම් ප්‍රදේශය වරකාව යන නමින් හැඳින්වේ.
මැද කන්දත් සමග අටුගොඩ ගම හා සම්බන්ධ කඳු අටක් ඇත. එම කඳු අට වන්නේ 1. වැවකන්ද (දේවාලේ කන්ද) 2. අඟුරුවලේ කන්ද 3. කුඩුමිරිය කන්ද 4. වෙරළුප කන්ද 5. දොරුවේ කන්ද 6. ඇතුගල කන්ද 7. මැදකන්ද 8. අටුගොඩ කන්ද යන කඳු වැටිය. මෙලෙස කඳු හෙවත් ගොඩැලි අටකින් වටවී ඇති නිසා අටුගොඩ වී ඇති බවත් පසුව උච්චාරණයේ පහසුව තකා අටුගොඩ යැයි ප්‍රසිද්ධ වූ බවත් මෙම මතයෙන් කියැවේ.
එච්. පී. පී. අමරසේකර
(විශ්‍රාමලත් විදුහල්පති)
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රජුගේ ධාන්‍ය අටුව අද අටුගොඩ ගමයි