යාල රාජා ඇතා මියයාම අනාවරණ වෙයි.  

 

 

යාල ජාතික උද්‍යානයේ භාරකරු හැටියට මා 


රාජකාරී කළ වසර 1989 අගොස්තු නියං සමයේ දිනක ප.ව. 3.00 පමණ වනෝද්‍යානයේ මාර්ග නඩත්තු කිරීමේ වැඩට යොදා සිටි සේවකයෝ තිදෙනෙක් දැවැන්ත ඇත්දළ ජෝඩුවක් කරතියගෙනවුත් කාර්යාලයට ​ගොඩ වී මා වෙත පැමිණ ‘සර්..... මේ ඇත්දළ දෙක කාර්යාලයට භාරගන්නනැයි’ ඉල්ලූහ. 
 
මම, ඔවුන් අමතමින් ‘කොහෙන්ද බං උඹලට මේවා හම්බවු​ෙණ්’ අසමින් මගේ මේසය මත දළ දෙක තැබීමට උපදෙස් දුනිමි. බැලූ බැල්මට දළ දෙක ඉතාමත් පිරිසිදුව කිසිම දුර්ගන්ධකින් තොරව, සුදු පැහැතිව තිබූ බැවින් මෑතකදී මියගිය ඇතකුගේ නොවන බව ප්‍රත්‍යක්ෂ විය.   


‘සර් දන්නවනේ මේ නියං කාලේ බුතව කළපුවේ ලුණු මිදිලා තියෙන බව.. ඉතින් අපි හතර දෙනෙක් හිස් පෝර මලු හතරකට ලුණු පුරවාගෙන කර තියාගෙන මහජනයාට (සංචාරකයන්ට) නොපෙනෙන්න කැලෑව ඇතුළෙ පාරකින් ‘බුතව’ පරණ බංගලාවට එන්න ආවා.. ඒ එනකොට තමයි මේ දළ දෙක බිම තිබිලා හම්බවුණේ. එතැන ඇතාගේ හිස් කබල ඇටකටු ගොඩක් තියෙනවා. ඒවත් සුදුම සුදු පාටයි.   


එකෙණෙහිම මට කල්පනා වූයේ යාල උද්‍යානයේ බුතව සහ උෟරණිය තණ බිම් ප්‍රදේශය විසුම් බිම කරගෙන තම අණසක පතුරවාගෙන සිටි අඩි 8 1/2 පමණ උසැති ‘රාජා’ නම් වූ දැවැන්ත දළ ඇතා අතුරුදහන් වී වසරකට වැඩි කාලයක් ගතවී ඇති බවය   


ක්ෂණිකව ක්‍රියාත්මක වූ මම දළ යුගලය රැගෙන එම සේවකයන් තිදෙනාද කාර්යාලයේ සිටි නියාමක (Game Guard) ප්‍රේමරත්න සහ මහේන්ද්‍ර කැටුව වන ලැහැබ තුළ ඇත් හිස්කබල (Skull) තිබූ ස්ථානයට පැමිණියෙමු. ඈතින් අලි රංචුවක් බෙරිහන් දෙනවා ඇසෙයි. රංචුවක පැටවුන් සිටිනා විට අලි එසේ කෑගසති. මේ ස්ථානය උරණියයි. තිත් මුවෝ හූඃ හූඃ හූඃ ශබ්දයෙන් කෑගසති. කොටින්ට බිය වන මුවන් එසේ කෑගැසූවත් ඈතට පලා යන්නේ නැත.  


 ​‘ප්‍රේමරත්නයි මහේන්ද්‍රයි දෙන්න ඔය ජීප් එකේ තියෙන ඇත් දළ දෙක මේ ඇත් හිස්කබලේ සිදුරු දෙකට ඇතුළු කරන්න.. මම උපදෙස් දුනිමි   


‘...සර් හරියට ෆිට් වෙනවා’ මගේ සගයන් දෙදෙනාගේ පිළිතුර විය.  


‘හරි දැන් දළ දෙකයි හිස්කබලයි ජීප් එකට පටවාගෙන බංගලාවට යමු’  


බුතව බංගලාවේ බිත්තියේ රාජගේ (ඇතාගේ) දැවැන්ත ජායාරූපයක් එල්ලා තිබේ. ඡායාරූපය ගන්නා ලද්දේ හිටපු ජනාධිපති (එවකට අග්‍රාමාත්‍ය) ආර්. ප්‍රේමදාස විසින් බව එහිම සඳහන් වේ. ඡායාරූපයේ දළ යුගලය අප ඉදිරියේ තිබෙන දළ දෙකට බෙහෙවින්ම සමාන බව තහවුරු විය.  


වසර ගණනක් තිස්සේ යාල උද්‍යානය නැරඹීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන් අභිමානවත් ලෙසින් සතුටු කළ ඇත් රාජයා මෙලොවින් සමුගෙන වසරකට වැඩි කලක් ගතවී ගොසිනි. වේලාව ප.ව. 5.00 පමණ විය. බංගලාව ඉදිරිපස මුහ​ුදේ රළපහර ශබ්දය දිගින් දිගටම මට ඇසෙයි. බංගලාවේ පුටුවක මම දිගාවීමි. ඒ සමඟම වසරකට ඉහත සිදුවීම් මාලාවේ මතක අවදිවන්ට විය.  


හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිඳුන් (අග්‍රාමාත්‍යවරයාව සිටි සමයේ) ආර්යාව ඇතුළු දරුවන් උද්‍යානයේ සංචාරයේ යෙදී සිටි දිනක මෙම ඇත් රාජයා​ගේ නළල් තලයේ (​forehead) තුවාලයක් තිබෙනවා දැක එය වීඩීයෝ ඡායාරූප ගත කරන ලදුව එතුමන් මා බංගලාවට කැඳවා ඇතාගේ ඡෘයාරූප බංගලාවේ බිත්තියකට පතිත වන්නට සලස්වා ‘විල්සන් හොඳහැටි බලාගන්න.. ප්‍රතිකාර ඉක්මන් කරවන්න’ මට උපදෙස් දුනි.  


ඉක්බිතිව ඇතා සොයාගොස් රැකවරණයේ සිටීමට සේවකයන් කණ්ඩායමක් යෙදවීමි. ඔයාලා ඇතා සොයාගෙන (Find and track down) ඌ පස්සෙන්ම යන්න... කාර්යාලයට පණිවුඩ එවන්න... ඉන්න ඉසව්ව දන්වල...  
මම නොපමාව හම්බන්තොට බලාගොස් වනජීවි අධ්‍යක්ෂ ලින් ද අල්විස් (නැසී ගොසිනි) මහතාට දුරකථනයෙන් සිද්ධිය දන්වා (එවකට යාල උද්‍යාන කාර්යාලයට දුරකථන පහසුකම් විදුලි බලය තිබුණේ නැත) ඇතා සෙවීමට උද්‍යානය බලා පැමිණි මම ඇතා රැකවරණයේ සිටි (හිටපු) වනසත්ව අඩවි ආරක්ෂක මන්සූර් (නැසී ගොසිනි) සහ අඩවි සහකාර අබේකෝන් සමඟ එක්වීමි.  


‘ මන්සූර් යමුද ඇතා ළඟට මට උ​ගේ තුවාලය පරීක්ෂා කරන්න ඕනැ.’ ‘එහෙනම් සර් පස්සට යන්න අපි දෙන්නා පිටපස්සෙන් එන්න’ මම ඔවුන් දෙදෙනාට අවනත වීමි.  


මන්සූර් සහ අබේකෝන් ඇතා දෙසට පිය නගන්නට විය. අප කිසිවකු අත ගිනි අවි (තුවක්කු) නැත. වසර ගණනක් තිස්සේ ප්‍රගුණ කරන ලද හැකියා ගැන මනසේ ඇත්තේ දැඩි විශ්වාසයකි. එක එල්ලේ බලා සිටි ඇතා කන් ​ෙපති කෙළින් කර ගත්තේය. අපගේ දෙඇස් යොමුව අැත්තේ ඇතාගේ දෙ ඇස් වෙතය. මම ලහිලහියේ කරේ එල්ලාගෙන තිබූ දුර දක්නයෙන් ඇතාගේ නළලේ තුවාලය පරීක්ෂා කළෙමි. සිහින්ව තුවාලයෙන් පහළට සැරව ගලයි. එය තුවක්කු වෙඩිල්ලක් බව පසක් විය. මේ අතර හොඬවැල ඉහළට එසවූ ඇතා කෑගසමින් ඒ ඉරියවුවෙන්ම පහරදීමට අප වෙත හඹා එන්නට විය. ඒ කෙණෙහිම දෙඅත් දෙපසට දිග හැර විහිදුවාලමින් මන්සූර් සහ අබේකෝන් උස්හඬින් දිගින් දිගට ඇතාට බැණ වදින්නට විය.’ ඒයි දහ අලියා.. ඔහේ හිටු... කොහෙද බොල එන්නේ..’ උද්‍යානය නැරඹීමට පැමිණි සංචාරක වාහන පහක් මාර්ගයේ නතර කරගෙන අප දෙස බලා සිටිත්. මම හස්ත මුද්‍රාවෙන් ඔවුන්ට ඉවත්ව යන ලෙස සංඥා ක​ෙළමි. අප දෙසට මුහුණ දීගෙනම නතර වූ ඇතා පසුපසට ගමන් කොට. ඉවත්ව ගොස් අසල වන ලැහැබට වැදුණි. බියෙන් සැකෙන් තොරව උස් හඬින් මුවින් පිට කරන මිනිස් කට හඬට සත්තු බිය වෙති. මම ජීප් රථයට නැඟ ගතිමි. ‘.. මන්සූර්... අ​බේකෝන් කළුවර වැටෙන කම් අපි මෙහෙම ඉඳිමු’ ම​ගේ උපදෙස් විය.

 

 

සවස් යාමයේ උද්‍යාන සංචාරය නිමවා හිටපු ජනපති ප්‍රේමදාස මැතිතුමා ආර්යාව සහ දරු පවු​ෙල් අය ඔවුන්ගේ වාහන මා සිටි තැන නතර කොට ‘විල්සන් ... රාජකාරිය අවසන් වුණාට පස්සේ බංගලාවට ඇවිත් යන්න මට ලැබණු උපදෙස විය’ මා එහි ගිය වහාම ආර්යාව සහ දරුවෝ මා වටකර ගත්හ. ඉක්බිතිව ප්‍රේමදාස මැතිතුමා ද පැමිණ මා අසල තිබූ හාන්සි පුටුවේ වාඩිවී දිග ඇදුණි. ‘විල්සන් .... මට විස්තරේ කියන්න ​ෙකා්’ දවසේ සිදුවීම් මාලාව මම එතුමන්ට පැවසුවෙමි. සියල්ල අසා සිටි එතුමන්.... අැතාට මැතිරුවාද.. විමසීය. ඊට පිළිතුරු දුන් මන්සූර් නැහැ සර්, වෙනදත් අපි ඒ වගේ අලි නතර කරනවා’ ‘හොඳයි. විල්සන්. අපි හෙට උදේ කොළඹ යනවා. මේ ඇතා ගැන මට දුරකථනයෙන් දිනපතාම විස්තර දෙන්න ඕනැ. ඔයාලා රාත්‍රී කෑම කාලා යන්න’ එදින රාත්‍රියේ ඇතා පිළිබඳ තවත් විස්තරයක් හිටපු ජනාධිපතිතුමන්ට පැවසූ බව මගේ මතකයේ රැඳී පවතී. සර් අවුරුදු හතරක් විතර වේලේ ඉඳන් මම මේ ඇතා ගැන දන්නේ. සෑම දිනකම සවස් ​ෙවන විට ඇතා උද්‍යානයෙන් පිටතට ඇවිදිමින් ආමදූව, ​ගො​ෙඩ්කළපුව (උද්‍යාන මූලස්ථානය) කිරින්ද හරහා මාගම කුඹුරු වෙල් යාවවලට යන්න පුරුදුවයි සිටියේ. ගොයං කෑමට මිනිසුන්ගෙන් කිසිම හිරිහැරයක් නැහැ. අලි වෙඩි දාලා ගොඩේකළපුව හරියේදී ඌ හරවලා යවන්න හැදුවත්... රෑ බෝවුණාට පස්සේ උෟගේ ගමන ඌ යනවා. කළුවර වැටුණට පස්සේ. පස්සෙන් යන්නත් බැහැනේ .. ඌට වෙඩි තියන්න ඇත්තේ ඔය පලටුපාන ලේවාය හරියේ ගැවසෙන පාපතරයෙක් කියලයි මම හිතන්නේ.’ අපිට හමුවුණේ ඒ ඇතාගේ සිරුරයි.  


ඒ රාජා නම් වු ඇත් රාජයා අවසන් ගමන් ගිය ආකාරයයි. 

 
යාලේ විසූ කතිර දල ඇතාට වෙඩි තබා මැරීම.  


1980-1986 වකවානුවේ යාල උද්‍යානයේ කතිර දළ ඇතුන් දෙදෙ​ෙනක් විසූහ. දකුණු දළය උඩින් පිහිටා තිබුණේ මහ පූට්ටුවාටය. (Crossed Tusker) පොඩි පූට්ටුවාගේ වම් දළය උඩිනි. එවකට උද්‍යාන භාරකරු වූයේ ඩෙස්මන්ඩ් වයිට් මහතාය. (නැසීගොසිනි) මං නියෝජ්‍ය උද්‍යාන භාරකරු වීමි. 1971 ජේවීපී ත්‍රස්තවාදී සමයේදී ස්වේච්ඡා යුද හමුදා සෙබළුන් විසින් කෲර අන්දමින් වෙඩි තබා ඝාතනය කරන ලද කතරගම රූප සුන්දරිය ප්‍රේමවතී මනම්පේරි නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වූයේ වයිට් මහතාය. මහ පූට්ටුවාද රෑ බෝ වීමත් සමඟ යාලෙන් පිටතට සංක්‍රමණය වෙමින් ගොඩේකළපුව ආමදුව කිරින්ද හරහා මාගම කුඹුරු වෙල්යායවලට ගොස් ​ෙගායම් කා බඩ පුරාවාගෙන පසුදින එළිවෙන යාමයේ ආපසු යාල උද්‍යානය කරා පැමිණීම පුරුද්දක් කරගෙන තිබුණි.  


මෙම ලිපිය සැකසීමේ දී මා වෙත දුරකථනයෙන් තොරතුරු සපයා දුන් යාල වනෝද්‍යානයේ සේවය කරන අඩවි ආරක්ෂක නිලධාරී එම්. රංජිත් සහ වන සත්ව නියාමක මහේන්ද්‍ර ගම​ෙග් මහත්වරුන් හට මගේ ස්තූතිය පිරිනැමේ.   

 

 

 

මතු සම්බන්ධයි