ස්වභාව ධර්මය විසින් අපට ද‌ායාද කර ඇති ජාතික වස්තූන්ගෙන් එකක් ලෙස දුම්බර කඳු වැටිය අවිවාදයෙන් සැලකිය හැකිය.  


මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක වසා පැතිර පවතින මෙම කඳුවැටිය දකුණින් සහ නැගෙනහිරෙන් මහවැලි නිම්නයෙන් ද, බටහිරෙන් මාතලේ නිම්නයෙන් ද, ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳු වැටියෙන් වෙන්ව පවතින බව පරිසර විද්‍යාඥයෝ කියා සිටිති.  


 කඳුවැටියේ බටහිර බෑවුමේ අධික බට වර්ගවලින් වැසී තිබුණ බැවින් පැරැන්නන් විසින් බටදඬුකන්ද (බටදඩුමානා කඳුවැටිය) ලෙසින් ද හඳුන්වනු ලබයි.  


උස් කඳු ශිඛර නිතරම වාගේ මීදුමින් වැසී තිබෙන බැවින් දුමින් බරවුනු යන අදහස ඉස්මතු කරන දුම්බර කඳුවැටිය ලෙස ද නකල්ස් කඳු පංතිය හැඳින්වෙයි. ඈතින් සිට බලන්නෙකුට මීට මෙල වූ අතක ඇඟිලි දක්නට ඇති ආකාරයට කඳුවැටියේ ශිඛර 05 ක් දෘශ්‍යමාන වෙන නිසා නකල්ස් කඳුවැටිය ලෙස ද හඳුන්වනු ලබයි  


ශ්‍රී ලංකාවේ ගිනිකොන සිට වයඹ දිශාවට ලග්ගල සිට ඌරුගල දක්වා සැ. 12 පමණ කඳුවැටිය පැතිරි පවතින්නේය.  
 ප්‍රධාන කඳුවැටියේ ඇති ශිඛර කිහිපයක් වන දෝතළුගල, කොබෙනිගල, නකල්ස්, ගොම්බානිය නකල්ස් කඳු පංතියේ සුවිශේෂී ස්ථානයන්ය. මෙයට අමතරව ප්‍රධාන කඳුවැටියේ උතුරු කොටසින් ආරම්භ වී ඊශාන දිග දිසාවට විහිදෙන කළුපහන, වාමාරපුගල, ලකේගල සහ ලබුලැස්සපතන ද, දකුණු කොටසින් ආරම්භ වී ඊසාන දිසාවට විහිදෙන දුම්බානගල, ගල්කුළ ප්‍රධාන විහිදුම් ලෙස හැඳින් විය හැකිය.  


 පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් වූ මෙරට පරිසර පද්ධති තුනක් කේන්ද්‍රකර ගනිමින් ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.  
 බ්‍රසීලයේ බ්‍රසීලියා නගරයේ පැවැත්වුණු ලෝක උරුම කමිටුවේ 34 වැනි සැසිවාරයේදී මෙම නම් කිරීම සිදුකර තිබේ.  


 ශ්‍රී ලංකාවේ ගිනිකොන සිට වයඹ දිශාවට ලග්ගල සිට ඌරුගල දක්වා සැතපුම් 12 ක් පමණ දිගට විහිදෙන දුම්බර කඳුවැටිය හෙවත් නකල්ස් කඳුවැටිය පාරිසරික වශයෙන් අතිශය වැදගත් භූමි භාගයකි.  

 


 හෙක්ටයාර 28,000 ක පමණ වපසරියක් වසා විහිදී ඇති දුම්බර කඳුවැටියේ පාරිසරික වටිනාකම හේතුවෙන්ම එය දැඩි රක්ෂිතයක් ලෙස ද නම්කර තිබේ.  
 අතිශ්‍යය සංවේදී රුක්ෂ ලතාවන්ගෙන් පිරී ඇති මෙම නකල්ස් කඳු පංතිය ආශ්‍රිතව වැවෙන විවිධ පැලෑටි මෙන්ම සපුෂ්ක ශාක විශේෂ අද වන විටත් දක්නට ලැබෙයි.  
 අධික වර්ෂා තත්ත්වය හමුවේ මේ වන විට නකල්ස් රක්ෂිතය තුළ ස්වභාවධර්මය විසින් අපූර්වත්වයක් නිර්මාණය කර තිබේ.  


වැසි හා දැඩි මීදුම් හමුවේ අපූරු සුන්දරත්වයක් නිර්මාණය වී ඇති නකල්ස් කඳු පංතියේ මේ දිනවල දක්නට ලැබෙන තුරුලතා මෙන්ම සුවිශේෂ මල් වර්ග ද නෙත් සිත් පිනවනසුලුය.  
 පිටවල පතන ආශ්‍රිතව දක්නට ලැබෙන විවිධ මල් වර්ග මෙන්ම පිටවල පතනේ දී පමණක් හමුවන දුම්බර ගල්පර මැඩියා ද මේ දිනවල දක්නට ලැබෙයි.  
 මේ සුවිශේෂි පරිසර පද්ධතියට ආදරය කරන බොහෝ පරිසර ලෝලීන්ගේ නෙත් සිත් පැහැර ගන්නා මේ මනස්කාන්ත පරිසර පද්ධතිය තුළ වර්ෂා සමයේ දී දක්නට ලැබෙන විවිධ අවස්ථා මෙම ඡායාරූප පෙළින් දැක්වෙයි.  

 

 

 


සංචාරක සටහන
නාඋල ඉන්දික අරුණ කුමාර