භාරත දේව සභාව

 

හින්දු මිථ්‍යා කතා යුග හතරකට බෙදී පවතී. සත්‍ය යුගය, තීර්ථ යුගය, ද්වාපර යුගය සහ කලියුගය වශයෙනි. මෙකී සියලු යුග ආරම්භ කරන්නේත් අවසන් කරන්නේත් බ්‍රහ්ම විසිනි.   

මෙකී යුගයක් අවසන් කිරීමෙන් පසු බ්‍රහ්ම හොඳ හැටි නිදාගන්නේය. ඒ නින්ද කොයිතරම් දීර්ඝ ද යත් තවත් යුගයක් ආරම්භ කරන්නට සුදුසු කාලය උදාවනතුරුම ඔහුට නිද‌ාගත හැකිය.   
ඒ දීර්ඝ නිද්‍ර‌ාව කෙළවර අවදිවන ඔහු යළිත් ලෝකය මවන්නට සූදානම් වන්නේය. ඒ සඳහා අවශ්‍ය බලය රැඳී ඇත්තේ වේදයේය.   
විෂ්ණු ලෝකය පවත්වාගෙන යන්නාය. යක්ෂයන්ගෙන් වේවා අන් කිසිවෙකුගෙන් වේවා පෘථිවියට විනාශයක් සිදුවන්නට යන්නේ නම් එයින් පෘථිවිය බේරාගන්නේ විෂ්ණුය. ඔහු දිව්‍ය ලෝකයේ සිටියත් නිරතුරුවම පෘථිවිය ගැන අවධානයෙන් පසුවන්නේය. ඒ සඳහා ඔහුට අවතාර දහයක් තිබේ. මේ අවතාර දහය යොදාගනිමින් පෘථිවිය, දිව්‍යලෝකය පමණක් නොව බ්‍රහ්ම ලෝකය ද නිරීක්ෂණය කිරීම විෂ්ණුගේ පුරුද්දයි.   
විෂ්ණුගේ පළමුවැනි අවතාරය නම් ලබන්නේ මත්ස්‍ය අවතාරය යනුවෙනි.   
මේ කතාව කියැවෙන්නේ සත්‍ය යුගය පිළිබඳවය. සත්‍ය යුගයේ පෘථිවියේ රජ කළ මනු වූ කලී විෂ්ණුගේ බැතිමතෙකි. එබැවින් ඔහු කරන කියන දේ ගැන සොයාබලන විෂ්ණු ඔහුට මුහුණ දෙන්නට වන සතුරු බලවේගවලින් ද ඔහුට ආරක්ෂාව ලබාදෙයි. විෂ්ණුගෙන් පළමුව ඔහුට ලැබුණේ වසර දහසක රැකවරණයයි.   
තව නොබෝ දිනකින් යුගය අවසන් වන බැවින් බ්‍රහ්මට අලුත් අලුත් මැවීම් කිරීමට අවශ්‍ය නොවිණි. යුගයක් පුරාවට මැවීම් කිරීම සඳහා වෙහෙසුණු බ්‍රහ්මට දැන් හොඳටෝම මහන්සිය. එහෙත් තවදුරටත් ඒ බරපතළ වගකීම නොමැති බැවින්, බ්‍රහ්ම යහනට වැටුණේය.   
යහනට වැටුණු පමාවෙන් නින්ද ගිය ඔහුගේ ගෙරවීම් හඬ පිටත ලෝකවලට ද ඇසිණි.   
“බ්‍රහ්ම නිදි”   
හයාග්‍රීව අසුරයා තමන්ටම කියාගත්තේය.   
ඔහු වහා බ්‍රහ්මගේ නිදන කාමරයට ගියේය.   
කපා හෙළුෑ ගසක් මෙන් වැතිර සිටි බ්‍රහ්ම දෙස බැලූ අසුරයා කෙන්දක් ගෙන බ්‍රහ්මගේ නාසයට ඇතුළු කළේය. එවිට ඇතිවන කිතියෙන් බ්‍රහ්ම අවදිවෙනවා සිකුරුය. එහෙත් බ්‍රහ්මට කිතිය නොදැනුණි.   
“බයවෙන්න දෙයක් නෑ. මෙයා ඉන්නෙ මර නින්දේ”   
හයග්‍රීව අසුරයා තමන්ටම කියාගත්තේය.   
ඔහුට අවශ්‍යව තිබුණේ බ්‍රහ්ම සතු අගනා වේද ග්‍රන්ථය හොරකම් කරගැනීමය. අනතුරුව එම ග්‍රන්ථ සාගරයේ ගැඹුරු පතුලේ සඟවා තැබූවිට බ්‍රහ්මට ආපසු ලෝකය මැවීමට පුළුවන්කමක් නොලැබේ.   
එහෙත් තුන් ලෝකය දෙසම ඇස ගසාගෙන සිටින විෂ්ණු අසුරයාගේ අදහස වටහාගත්තේය. ඔහු බ්‍රහ්මගේ කුටියට ඇතුළු වී වේද ග්‍රන්ථ සොයන හැටි දුටුවිට විෂ්ණුට දැනුණේ බියක් මෙන්ම කණගාටුවකි. අසුරයා විසින් වේදය හොරකම් කළහොත් ඊළඟ යුගය බිහිකිරීමට බ්‍රහ්මට නොහැකි වන්නේය.   
“මේකට මොකක්ද කරන්නෙ?”   
විෂ්ණු දහඅතේ කල්පනා කරනවිට ඔහුට පෙනුණේ මනු රජුය. ඒ ඔහු මොහොතත් විෂ්ණු යදිමින් සිටියේය.   
ඉන් සතුටට පත් විෂ්ණු මද සිනාවකින් දෙතොල සරසාගත්තේය. වේදය රැකගැනීමට කළ යුත්තේ කුමක්දැයි ඒ ඇසිල්ලේ ඔහුගේ කල්පනාවට ආවේය.   
ඊළඟ උදෑසන එළැඹියේය. අරුණැල්ල වැටෙන විටම අවදි වූ මනු ගංගාව වෙත ගොස් නා පිරිසුදු වූයේය. අනතුරුව දිය දෝතක් ගත් ඔහු එය හිස වටාගෙන ගොස් ආපසු ගං දියටම අතාරින්නට සැරසුණේය.   
“උතුමාණෙනි, කාරුණාකර මාව ආපසු ගඟට විසිකරන්න එපා”   
මනු රජුගේ දෝත දෙසින් සිහින් හඬක් නැගිණි.   
ඉන් විමතියට පත් රජු දෝත දිගහැර බැලුවේය. ඔහු දුටුවේ පුංචි මත්ස්‍යයෙකි.   
ඌ මනු රජු දෙස බලාසිටියේය.   
“කරුණාකර ආපසු මාව ගඟට දාන්න එපා. ගඟේ ඉන්නෙ හුඟක් ලොකු මාළු උන් මාව ආහාරයට ගනීවි”   
මනු රජු අසරණ මාළුවා දෙස බැලුවේ අනුකම්පාවෙනි.   
“මම රජෙක් මගෙ වගකීම මගෙන් උදව්වක් උපකාරයක් ඉල්ලා සිටින සියලු දෙනාටම පිහිට වීම රැකවරණය සැලසීම.”   
මනු රජු තමන්ටම කියා ගත්තේය.   
අනතුරුව ඔහු තම ගමන් මල්ලේ වූ කමන්ද‌ාලම් නම් වූ දිය ගෙනයන බඳුනෙහි මත්ස්‍යා රඳවාගත්තේය.   
ගං ඉවුරෙහි එරමිණිය ගොතාගත් රජු විෂ්ණු වෙනුවෙන් කරන යාතිකාව පැවත්වීය. ඔහු ආපසු මැදුරට ගියේ සන්ධ්‍යාවේදීය. ගමන් මල්ලේ වූ දිය බඳුන ගෙන එහි දැමූ මත්ස්‍යයා සිටින හැටි නැරඹුවේය. අනතුරුව එය මේසය මත තැබුවේය.   
“රජතුමනි, මට උදව් කරන්න”
මත්ස්‍යයා පැවසුවේය.
“ඔබේ දිය බදුනෙහි සිරවී සිටින නිසාදෝ මට හුස්ම ගැනීමට අපහසුයි”   
වහා තම දියබඳුනේ පියන ඉවත් කළ රජු මත්ස්‍යයා දෙස බැලුවේය ඌ සිටියේ අපහසුවෙනි. මත්ස්‍යයකු වූ කලී එහා මෙහා පිහිනීමට කැමති සතෙකි. එහෙත් දිය බඳුනෙහි ඒ සඳහා ඉඩක් තිබුණේ නැත.  
“ඉන්න මම ලොකු බඳුනක් රැගෙන එන්නම්”  
රජු එසේ පවසා ගෙතුලට ගියේය. ඔහුට අවශ්‍ය වූයේ ලොකු බේසමක් ගෙනැවිත් එහි මාළුවාට පිහිනීමට සැලැස්වීමය.  
කුස්සි​ෙය් තිබූ ලොකු බේසම ගෙනැවිත් වතුර පුරවා එයට මාළුවා දැමුවේය.  
“ඔබට ස්තුතියි රජතුමනි”  
ඒ සමගම මාළුවා පැවසුවේය.  
රජු උදෑසන යාතිකාව ආරම්භ කළේය.  
එවිටම ඔහුට ඇසුණේ මාළුවාගේ කට හඬයි  
“රජතුමනි, මට මේ බඳුන ඉඩමදි. කරුණාකර වඩා ඉඩ කඩ ඇති වෙනත් බඳුනකට මා දමන්න” මාළුවා කීවේය.  
රජු මාළුවා වෙත ගියේය. ඔහුට පෙනුණේ හිටියාට වඩා ලොකුමහත් වී අපහසුවෙන් හුස්ම ගන්නා මාළුවාය.  
වහා ගෙතුළට ගොස් වඩාත් විශාල බඳුනක් ගෙනැවිත් එහි මාළුවාට ඉන්නට සැලැස් වූ රජු නිවෙසෙන් එළියට ගියේය. එහෙත් එවිටත් ඇසුණේ මාළුවාගේ ළතෝනියයි.  
“දැන් මේ බඳුනත් මට කුඩා වැඩියි. මට මෙහි ඉඩමදි”  
“මේක වෙන්න බැරි වැඩක්. මෙයාට වැඩියෙන් ලොකු මාළුවොත් මේ වගේ පුංචි බඳුන්වල සතුටින් ඉන්නවා. හොඳට හුස්ම ගන්නවා” රජු මිමිනුවේය.
 “මීට වඩා ලොකු බේසම් හොයන්න නම් මට පුළුවන් වෙන්නෙ නෑ. කරන්න තියෙන එකම දේ ආපහු ගඟට දාන එක විතරයි”  
එසේ සිතූ රජු මාළුවා සහිත බේසම ඔසොවා ගත්තේය.  
“රජතුමනි, ඔබ හදන්නෙ මා ආපසු ගඟට අතාරින්න නේද? එසේ කරන්න එපා. මට සිදුවන්නේ ලොකු මසෙකුගේ ගොදුරක් වීමටයි”  
එහෙත් ඊට වඩා ලොකු බඳුන් සොයන්නට අපොහොසත් වූ රජු ගඟට යන ගමන නතර කළේ නැත. ගඟ ළඟට ගිය රජු බේසමේ වතුර ගඟ දියට මුසු කළේය.  

 

ගඟට වැටුණු පුංචි මාළුවා බලාසිටිද්දී ලොකු​ෙවන්නට පටන්ගත්තේය. අන්තිමේදී ගඟේ පළල තරමටම ලොකු වූ මාළුවා රජු පුදුමයෙනුත් පුදුමයට පත් කළේය. කොටින්ම ගඟේ පළලත් ඉක්මවා ලොකු වූ මාළුවාට ඒ ගඟේ ප්‍රමාණය මදි බව හැඟුණි. රජු කළේ මාළුවා ගෙන වඩාත් පළල ගංගාවකට ඌ බැහැර කිරීමය.  මාළුවා ලොකු වී ඒ ගඟේ පළලත් ඉක්මවීය.  රජු පුදුමයෙන් බලාසිටියේය.  


ගඟට වැටුණු පුංචි මාළුවා බලාසිටිද්දී ලොකුවන්නට පටන්ගත්තේය. අන්තිමේදී ගඟේ පළල තරමටම ලොකු වූ මාළුවා රජු පුදුමයෙනුත් පුදුමයට පත් කළේය. කොටින්ම ගඟේ පළලත් ඉක්මවා ලොකු වූ මාළුවාට ඒ ගඟේ ප්‍රමාණය මදි බව හැඟුණි. රජු කළේ මාළුවා ගෙන ගොස් වඩාත් පළල ගංගාවකට ඌ බැහැර කිරීමය.   
මාළුවා ලොකු වී ඒ ගගේ පළලත් ඉක්මවීය.  
රජු පුදුමයෙන් බලාසිටියේය.  
“මට මෙහි ඉන්න අපහසුයි. කරුණාකර මා මුහුදට රැගෙන යන්න”  
මාළුවාගේ ඉල්ලීමට කන්දුන් මනු රජු වහාම මාළුවා රැගෙන සාගරය වෙත ගියේය.  
සාගරයට අත්හළ මාළුවා සාගර දියේ නොපෙනී නොගොස් තව තවත් විශාල වන්නට පටන්ගත්තේය. අන්තිමේදී ඌ යෝධ තල්මසෙකුගේ විශාලත්වයක් ඉක්මවීය.  
“නාරායන”  
“ඔව්, ඔබ තමයි නාරායන”  
මහ රජු පුදුමයෙන් තෙපලුවේය.  
මාළුවා සිනාසුණේය.  
“රජතුමනි, ඔබ නිවැරදියි. මම නාරායන නැතිනම් විෂ්ණු තමයි. විෂ්ණුගේ මත්ස්‍ය අවතාරයයි” මාළුවා පිළිතුරු දුන්නේය.  
“උතුමාණනි, පවසන්න. මා දැන් කළ යුත්තේ කුමක්දැයි පවසන්න”  
වහා දෝත් එකතු කළ රජු, ඉල්ලා සිටියේය.  
“මනු රජතුමනි”  
විෂ්ණු කීවේය. “සත්‍ය යුගය තව දවස් හතකින් අවසන් වෙනවා. මහා වරුෂාවක් ඇද වැටීම, විශාල ගංවතුරකින් මුළු පෘථිවියම යටවීම හේතුවෙන් පෘථිවියේ සියල්ල වැනසීයාමට නියමිතයි. එබැවින් ඔබ කළ යුත්තේ විශාල නැවකට, පෘථිවියේ ඇති සියලු බවභෝගවල බීජ එක් රැස්කර පැටවීමයි.   
එසේම සියලු සත්ව වර්ගයන්ගේ ගැහැනු සතුන් සහ පිරිමි සතුන් දෙදෙනා බැගින් ද නැවෙහි පටවා ගෙන සාගරය බලා යාත්‍රා කිරීමයි. එවිට සමස්ත පෘථිවියම විනාශ වී ගියත් එහි පැවැති දේවල් සියල්ල විනාස වන්නේ නැහැ”  
මනු හිස සැලුවේය.  
ඉසිවරු හත් දෙනාත් සුකි, සර්ප දෙවියන්වත් නැවට නංවා ගැනීමට අමතක කරන්නට එපා”  
ඒ සමගම යෝධ මත්ස්‍යා මුහුදට පැන අනෙක් ඉසව්ව දෙසට පිහිනා ගියේය.  
මත්ස්‍යාගේ වගකීමෙන් අර්ධයක් දැන් අවසන්ය. මුහුදේ අනෙක් පැත්තට පිහිනා යන විට ඔහු දුටුවේ හයාග්‍රීව අසුරයාය. යෝධ මත්ස්‍යා දැකීමෙන් බියට පත් වූ අසුරයා පලායන්නට සැරසුණේය. එහෙත් මත්ස්‍යයා අසුරයාට පළායන්නට ඉඩ තැබුවේ නැත. ඔහු වහාම පහරදීම ඇරඹුවේය.  
පසුබට නොවූ හයාග්‍රීව, යෝධ මත්ස්‍යයා සමඟ සටනට පිවිසුණත්, මත්ස්‍යයාගේ විශාල සිරුර සහ අසීමිත බලයට අසුරයා පැරදිණි. අන්තිමේදී අසුරයා මැරී වැටුණේය. ​ඔහු පැහැරගෙන යමින් සිටි වේද ග්‍රන්ථය අරගත් මත්ස්‍යයා වහාම බ්‍රහ්ම ලෝකය කරාගියේය. නමුත් බ්‍රහ්ම ඒ වනවිටත් නින්දෙන් අවදිව සිටියේ නැත.  
මුහුදෙහි අනෙක් පැත්තෙහි, මනු රජුගේ විශාල නැව ඉදිකරමින් තිබිණි. ඉසිවරු හත්දෙනා සහ ඔවුන්ගේ පවුල් ඒ වන විටත් හදන නැව වෙත පැමිණ සිටියහ. එසේම පෘථිවියේ වෙසෙන සියලු සතුන්ගෙන් දෙදෙනා බැගින් එක් රැස් කිරීමේ වගකීම රජු, තම රාජ පුරුෂයන්ට පවරා තිබිණි.   
පසුදා වනවිට නැවේ ඉදිකිරීම් අවසානය, අවශ්‍ය සියල්ල නැවට පටවා නිමවන විටම වැස්ස පටන් ගත්තේය.  
“අපි වහාම මුහුදේ යාත්‍රා කිරීම ආරම්භ කළ යුතුයි”  
මනු රජු අණ කළේය.  
වැස්ස ටිකෙන් ටික තද විය. හුළඟ දැඩි වී කුණාටුවක් බවට පරිවර්තනය විය. කුණාටුව උපන්නේ මුහුදෙනි. නෞකාව යාත්‍රා කරමින් තිබුණ ද එයට ද අර කුණාටුවට මුහුණ දෙන්නට සිදුවිය. විටෙක නෞකාව පැද්දිණි විටෙක පසෙකට ඇලවිණි.   
“විෂ්ණු දෙවියන් නෞකාව රැකගනීවි අප ආරක්ෂා කරාවි”  
ඒ හැමවිටම මනු රජු කල්පනා කළේය.   
යෝධ මාළුවා නැව ඉදිරිපිට පාදූර්භූත වූයේ එවිටමය.  
“මගේ මුහුණ කෙළවර ඇති උස් වූ අඟ සහ නැව, වාසුකී යෝධ සර්පයාගෙන් සම්බන්ධ කරන්න” යෝධ මත්ස්‍යයා පැවසුවේය.   
මෙතෙක් වේලා නැව් පත්ලේ ගුලි ගැසී සිටි වාසුකී වහාම නැව සහ මත්ස්‍යයා එකිනෙකට සම්බන්ධ කළේය.   
මාළුවා නැව ඇදගෙන ගියේ කුණාටුවෙන් ඔබ්බටය.  
දින දෙක තුනක් ඇතුළත සමස්ත පෘථිවියෙහි වූ ජීවය විනාශ වී ගියේය. එතෙක් කලක් මිනිසා නිර්මාණය කළ දේවල් ඉදිකළ ගොඩනැගිලි සියල්ල කඩා වැටිණි. ගස් ඉදිරී වැටී තිබිණි. සියල්ලම නටබුන්ය.  
“යුගයක් අවසන්” මත්ස්‍යයා පැවසුවේය.  
අවසානයේ ඔහු නැව තුළ සුරක්ෂිතව තිබූ ජීවය හිමගිර පර්වතය මත තැන්පත් කළේය.

 


ශාන්ත කුමාර විතාන