මින් වසර 29කට ඉහත එනම් 1988 නොවැම්බර් 3 වැනිදා මාලදිවයිනේ අගනුවර වන මාලේ නගරයේ සාමකාමි වැසියන් අවදි වූයේ වෙනදා ඇසෙන විහඟ ගී නාදයෙන් නොවේ. සතර දෙස සිසාරා පැතිරුණු වෙඩි හඬින් බියපත් වූ ඔවුහු යහනින් බිමට පැන සිදුවන්නේ කුමක්දැයි සොයන්නට වූහ. එහෙත් කිසිවක් දැන ගැනීමට  මඟක් නොවීය. පැය 24ක් පුරා මාලේ නගරය හා අනෙකුත් දූපත් අතර සන්නිවේදන සබඳතා බිඳ වැටී තිබිණි. එය මාලදිවයිනේ මෑත ඉතිහාසයේ රුධිරයෙන් නැහැවුණු බිහිසුණු රාත්‍රිය විය.


එය සිදුවූයේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසිනි. ශ්‍රී ලංකාවේ ගොවිපළක් පවත්වාගෙන ගිය මාලදිවයින් ජාතික ව්‍යාපාරිකයකු වු අබ්දුල්ලා ලුතුෆි සහ  අද්දු අතොල් හිතාදු දිවයිනේ පදිංචිකරුවකු වූ අහ්මඞ් ‘සගාරු’ නසීර් එම කුමන්ත්‍රණයට වගකිවයුත්තෝ වූහ. (හිටපු මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් නසීර් මෙම කුමන්ත්‍රණයට සහය දැක්වූ බවට චෝදනා එල්ල වුවද පසුව ඔහු එම චෝදනාවෙන් නිදොස් කෙරිණි.) කුමන්ත්‍රණකරුවන්ට අවශ්‍ය වූයේ ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම්ගේ පාලනය පෙරළා දැමීමය.  ඒ සඳහා ඔවුන් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදි සංවිධානයක් වූ දෙමළ ඊළම සඳහා වන මහජන විමුක්ති සංවිධානය නොහොත් ප්ලොට් සංවිධානයට මුදල් ගෙවා  ඔවුන්ගේ සහය ලබා ගෙන තිබිණි. එහෙත් මාලදිවයින් සොල්දාදුවන්ගේ සහ ඉන්දියානු හමුදාවේ සහයෙන් එම කුමන්ත්‍රණය ව්‍යර්ථ කෙරිණි.


1980දී හා 1983දීද ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම්ගේ පාලනය පෙරළා දැමීම සඳහා කුමන්ත්‍රණ දෙකක් ක්‍රියාත්මක වුවද ඒවා 1988 ක්‍රියාත්මක කෙරුණු කුමන්ත්‍රණය මෙන් බරපතළ නොවීය. මෙවර කුමන්ත්‍රණය ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානයට පාත්‍ර විය.

කුමන්ත්‍රණකරුවන්ට ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ අතර ජනාධිපතිවරයා නිවෙසින් නිවෙසට සැ`ඟව පලායමින් ඉන්දියාව ඇතුළු රටවලින් උපකාර ඉල්ලා සිටියේය.  ඉන්දීය අගමැති රජීව් ගාන්ධි  විසින් 1,600ක බලඇණියක් එවා එම කුමන්ත්‍රණය පරාජය කරන ලදි.


1988 නොවැම්බර් 3 වැනි දින හිමිදිරියේ ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයේ පසුබිම හා එය පරාජය කෙරුණේ මේ අයුරිනි.
රැය ගෙවී යද්දී මාලේ අගනුවරට උතුරු දෙසින් වු මුහුදේ සිට මාලේ අගනගරය කරා අධිවේගී බෝට්ටු දෙකක් වේගයෙන් ධාවනය වෙමින් තිබිණි. ඒවායේ ලුතුෆි හා  සගාරුද, ප්ලොට් කුලී හමුදාවේ 80ත් 100ත් අතර භට පිරිසක්ද වූහ. එම බෝට්ටු උදෑසන 4 පමණ වන විට, අඩක් ඉදිකොට තිබූ ජනාධිපති ජැටිය වෙත  ළඟා විය. 


පළමු බෝට්ටුවෙන් පැමිණි භට පිරිස  ජනරජ චතුරශ්‍රය දෙසට දිව යද්දී අත් වැරදීමකින් එකෙකු අත රැඳි ගිනි අවිය පත්තු විය. ඉන් නැඟුණු හඬින් එහි ආරක්ෂාවට සිටි ජාතික ආරක්ෂක සේවයේ භටයන් දෙදෙනෙක් එම ස්ථානයට දිව ආහ. ඒ වන විට වේලාව උදෑසන 4.15ට පමණ ඇත. දැඩි අඳුර හාත්පස වෙළාගෙන තිබිණි.  වෙඩි හඬ පැමිණි දිසාව පිළිබඳ විමසිලිමත් වූ ආරක්ෂක භටයෝ එය තම සගයකුගේ ගිනි අවියකින් නිකුත් වූවක් නොවන බැව් වටහා ගත්හ. කොටකලිසම්වලින් සැරසී, අවි ගත් කණ්ඩායමක් වෙරළේ සිට හමුදා මූලස්ථානය දෙසට දිව එනු අඳුර මැදින් ඔවුනට පෙනිණි. පිරිස ජාතික ආරක්ෂක ගොඩනැගිල්ල දෙසට දිව යනු දුටු ආරක්ෂක භටයන් දෙදෙනාගෙන් එක් අයකු වූ කෝප්රල් හුසේන් ආදම්  ඔවුන් එහි කඩා වැදීම වළක්වාලීම සඳහා දැඩි උත්සාහයක නිරත වූයේය. ඔහු තම රයිෆලයෙන් පිරිස දෙසට වෙඩි තබන්නට විය.


නොවැම්බර් 3 වැනි දින හිමිදිරි උදෑසන 4.20 ත්‍රස්තවාදීන්ගේ ස්වයංක්‍රීය අවිවලින් පළමු වෙඩි ප්‍රහාරය නිකුත් වූයේය. ජාතික ආරක්ෂක ගොඩනැගිල්ලේ ප්‍රධාන ගේට්ටුව වෙඩි උණ්ඩවලින් සිදුරු වන්නට විය. ජාතික ආරක්ෂක සේවයට අනුයුක්ත භටයන් වූ හුසේන් ආදම් සහ ආදම් මොහොමඞ් නමැති සොල්දාදුවන් දෙදෙනා ඔවුනට ප්‍රතිප්‍රහාර එල්ල කළහ. ඒ සමඟ ජාතික ආරක්ෂක ගොඩනැගිල්ලෙන් නිකුත් වූ සයිරන් නාදය දසත පැතිර ගියේය.


ත්‍රස්ත පිරිස හා මාලදිවයින් හමුදාව අතර ප්‍රහාරය ඇරඹිණි. හිමිදිරියේ ඇසෙන්නට වූ නුහුරු ශබ්දවලින් නිදා සිටි ජනයා තිගැස්සී ඇහැරුණාහ. ජාතික ආරක්ෂක භටයන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ විට ත්‍රස්තයෝ කණ්ඩායම්වලට බෙදී මාලේ නගරය පුරා විසිර ගියහ. එක් කණ්ඩායමක් ජනාධිපති මන්දිරය දෙසට දිව ගිය අතර තවත් කණ්ඩායම් දෙකක් නියෝජ්‍ය ආරක්ෂක ඇමති ඉල්යාස් ඉබ්‍රහිම් සහ  කථානායක  අබ්දුල්ලා හමීඞ් අත්අඩංගුවට ගැනීම සඳහා පිටත්ව ගියහ. අනිත් පිරිස මාලේ නගරය පුරා දිවයමින් කඩසාප්පු සහ වෙළෙඳ සංකීර්ණ කොල්ල කෑමට පටන් ගත්හ.


දේවස්ථානයන්හි හිමිදිරි යාච්ඥා මෙහෙය ආරම්භ කෙරෙන විට ත්‍රස්තයෝ මාලේ අගනුවර තම බලය පතුරවමින් සිටියහ. හමුදා මූලස්ථානයේ රැඳීසිටි කණ්ඩායමට ඉන් පිටතට පැමිණිය නොහැකි වූයේ ත්‍රස්තයන් විසින් ඒවායේ දොරටු අවුරනු ලැබ තිබූ හෙයිනි. තම මූලස්ථානය ත්‍රස්තවාදීන් අතට පත් නොවීම සඳහා ඔවුන් වළක්වාලීමට එක් දොරටුවක ආරක්ෂාවට සිටි හුසේන් ආදම් උත්සාහ කළේය. අවාසනාවකට ඔහු සතු උණ්ඩ අවසන් වීම නිසා තවදුරටත් සටන් කළ නොහැකි විය. සතුරු වෙඩි පහරක් ඔහුගේ ළය විනිවිද ගියේය. (රට වෙනුවෙන් දිවිදුන් විසි හැවිරිදි වියේ පසු වූ ආදම් මාලදිවයිනේ ජාතික වීරයකු ලෙසින් ගෞරවයට පාත්‍ර විය.)
කුලී හේවයෝ පිරිස තීමූජ්හි පිහිටි ජනාධිපති මන්දිරයේ උතුරුදිග දොරටු ඉලක්ක කරමින් සිටියහ. එදින ජනාධිපතිවරයා තම නිවසේ රැඳී සිටියේය. එහෙත් ත්‍රස්ත පිරිස සිතා සිටියේ ජනාධිපති මවුමූන් ඉන්දියාවේ සංචාරයක නිරතව සිටි බවකි. ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම ඔවුන්ගේ න්‍යායපත්‍රයට ඇතුළත්ව තිබුණේ නැත. ඔවුනට අවශ්‍ය වූයේ ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීම පමණි.


ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සැලවූ ජනාධිපති මවුමූන් තම බිරිය නස්රිනා ඉබ්‍රාහිම්, පුතු ගසාන්  හා සේවකයෝ කිහිප දෙනෙක් සමඟ බටහිර ගේට්ටුවෙන් පලා යෑමට සමත් වූහ.


පාගමනින් මාෆන්නු වීදියේ ගුලිස්තානු නිවෙසට ගිය ජනාධිපතිවරයා එහි සිට ඉන්දීය අගමැති රජීව් ගාන්ධි දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළේය. පසුව ආරක්ෂක හේතු මත එම කාර්යය එවක සිටි විදේශ ඇමති ෆතුහුල්ලා ජමීල්ට පවරා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහුට පැවසීය. ෆතුහුල්ලාගේ උපදෙස් මත විදේශ අමාත්‍යංශයේ පළමු ලේකම් ඉබ්‍රහිම් හුසේන් ෂාකි දුරකථන ඇමතුමක් මගින් ඉන්දියානු රාජ්‍ය තන්ත්‍රය  දැනුම්වත්  කොට හමුදා සහය ඉල්ලා සිටියේය.


නොවැම්බර් 3 වැනි දින උදෑසන ඉන්දියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ සම ලේකම්වරයාට දකුණු ආසියානු රටකින් දුරකථන ඇමතුමක් ලැබිණි. ඉන් පැවසුණේ විදේශ හමුදාවක් මාලදිවයින ආක්‍රමණය කර හමුදා මූලස්ථානය  අත්පත් කරගෙන ඇති බවත්, ජනාධිපතිවරයා ඒ වන විට සැඟවී සිටින අතර මෙම කුමන්ත්‍රණකරුවන් පරාජය කිරීම සඳහා සහය ලබා දෙන ලෙසටත් එම දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා ඉල්ලා තිබිණි. 


මේ වන විට ආක්‍රමිකයෝ මාලේ නගරයේ සියලු වැදගත් ස්ථාන අත්පත් කර ගැනීමට සමත්ව සිටියහ.


ජනාධිපති මවුමූන්, ඇමෙරිකා එක්සත් ජනපදයෙන්, බි්‍රතාන්‍යයෙන්, පාකිස්තානයෙන්, මැලේසියාවෙන් හා ශ්‍රී ලංකාවෙන්  සහය ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයාගේ ඉල්ලීමට සහය දැක්වූ ශ්‍රී ලංකා රජයද 85 දෙනකුගෙන් සමන්විත කමාන්ඩෝ භට පිරිසක් මාලදිවයිනට පිටත් කර හැරීම සඳහා රත්මලානේ ගුවන් හමුදා කඳවුරේ සීරුවෙන් තබා තිබිණි. මැලේසියාවද නාවික හමුදා භට කණ්ඩායමක් මාලේ වෙත යැවීමට කටයුතු කළේය. චාගෝස් අචිපෙලාගෝ නෞකාවේ සිටි ඇමෙරිකානු භට කණ්ඩායමක් අවශ්‍ය විටෙක සහය දැක්වීම සඳහා සීරුවෙන් තැබුණු, අතර බි්‍රතාන්‍ය සහ ඇමෙරිකානු භට කණ්ඩායම් දෙකක් ඉන්දියානු හමුදාව සමඟ එක්ව ක්‍රියා කිරීම සඳහා සූදානම් කෙරිණි.

 


ඉන්දියානු හමුදාවේ කැක්ටස් මෙහෙයුම
ඉන්දියානු ගුවන් හමුදාවේ 44 වැනි බලඝනය ස්ථානගතව සිටියේ අග්‍රාවේය.  එය සීත සෘතුවේ අධික සීතල උදෑසනක් විය. උදෑසන 7.15ට පමණ අග්‍රා ගුවන් හමුදා ක`ඳවුරේ පාලක මැදිරියෙන් අනපේක්ෂිත නියෝගයක් ලැබුණේ ඒ අතරය. ඉන් පැවසුණේ පැය තුනක් ඇතුළත ගුවන් ගතවීම සඳහා ගුවන් යානා තුනක් සුදානම් කරන ලෙසටය. බලඝන නායකවරයා එම නියෝගය පිළිපදිමින් අදෑසන 10ට පිටත්ව යෑම සඳහා ගුවන් යානා තුනක් සූදානම් කිරීමට කටයුතු කළේය.


මාලදිවයින ආරක්ෂා කර ගැනීමේ ඉන්දියානු හමුදාමය මෙහෙයුම නම් කෙරුණේ ‘කැක්ටස් මෙහෙයුම’ නමිනි. මෙහෙයුම සඳහා පිටත්වීමට පෙර භට කණ්ඩායම විශේෂ ස්ථානයකට කැඳවා  දූර්දර්ශන් රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වන මාලදිවයින් සිදුවීම සම්බන්ධ ප්‍රවෘත්තිය ඔවුනට දැක ගැනීමට සැලසීය. මාලදිවයින් රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවද, එයට විදේශීය හමුදාවක සහය ලැබී ඇති බවද, තම අසල්වැසියා රැකගැනීම සදහා  මාලදිවයින් හමුදාවට සහය දැක්වීම පිණිස ඉන්දියානු හමුදාව එහි යෑමට නියමිත බවද දූර්දර්ශන් ප්‍රවෘත්තියෙන් කියැවිණි.


මතු සම්බන්ධයි