IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මරු සිටින දිසාවට බය වෛද්‍ය විශේෂඥයා

අමුතු ගති ඇති මිනිස්සු   

 

 

මෙරට පැරණි ජන සමාජයේ විසූ මිනිසුන් අතර විවිධ මාදිලියේ ඇදහිලි සහ අන්ධ විශ්වාසයන් පැවතිණි. එවැනි ඇතැම් දෙනෙක් ඇස්වහ, කටවහ සහ හෝවහ කෙරෙහි දැඩි ලෙස විශ්වාස කළහ. තවත් අය විශ්වාසය රඳවා තිබුණේ රාහු කාලය ගැනය. එවැන්නන් කොතරම් හදිසි කර්තව්‍යයක් සඳහා වුවද නිවසින් පිටතට ගියේ රාහු කාලය මග හරිමිනි. පෙරමග නිමිති කෙරෙහි අතිශය සැලකිල්ලක් දක්වා කටයුතු කළ අයද ඒ අතර සිටියහ.   


කෙසේ වෙතත් විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුමෙන් පෙරට වඩා දියුණු ජන සමාජයක් පවතින වර්තමානයේ එවැනි මිත්‍යා මත දරන්නන් නැතැයි වැඩිදෙනෙකුගේ පිළිගැනීමයි. එහෙත් එය වැරදි මතයකි. අප එසේ කියන්නේ වර්තමානයේ වෙසෙන උසස් රැකියාවන්හි නිරතව සිටින අය අතර පවා එවැනි අභව්‍ය ගති පැවතුම් තිබෙන බැවිනි.   
කලකට ඉහත බස්නාහිර පළාතට අයත් එක්තරා මහ රෝහලක සේවය කළ විශේෂඥ දොස්තර මහතා එවැන්නෙකි. ඔහුගේ ඇති විශේෂත්වය වූයේ මරු සිටින දිශාව කෙරෙහි දැඩි ලෙස සැලකිලිමත්වීමයි. නැතහොත් බියක් දැක්වීමයි.   


ඕව මේ අපේ පරණ උදවියගේ මිත්‍යා විශ්වාස නෙවි. ඒ පැරැණි විශ්වාසවලත් අපට හිතාගන්න බැරි තරමේ සත්‍යයක් තියෙනවායි කියමින් තම හිතවතුන් සමග කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කළ එතුමා උදෑසන නින්දෙන් පිබිදුණු ගමන් කළ මුල්ම කර්තව්‍යය වූයේ තම කොට්ටය යට සුරැකිව තබාගෙන සිටින සතියේ ඒ ඒ දිනවල මරු සිටින දිශාව දැක්වෙන සටහන ඉතා හොඳින් කියවා බැලීමය.   
අද සඳුදා දවසෙ මරු සිටින දිශාව උතුර.. යි සෙමින් කොඳුරන ඔහු ඇඳෙන් නොනැගිටම යළිත් සිතා බලන්නේ එදින සඳුදාවක්දැයි නිවැරැදිව තෝරා බේරා ගැනීමේ අදහසිනි.   
දවසක් මට වැරදිලා අඟහරුවාදා දවසක සඳුදා දවසක්ය කියල හිතාගෙන වයඹ පැත්තෙන් ඇඳෙන් බැස්සා. ආයෙ මොනවද විනාඩි දහයක් යන්නත් කලින් ටොයිලට් එකේදි ලිස්සලා ගිහින් වැටිලා මගේ අතකුත් උළුක්කු වුණා. පස්සෙ බලනකොටයි දන්නේ මම එදා ඇඳෙන් බැහැල තියෙන්නේ ගිනිකොන පැත්තේ මරු සිටින දිශාවෙන්ය කියලා...   
ඔහු එසේ කියන්නේ තම ඇදහීම කෙරෙහිවූ දැඩි විශ්වාසයකිනි. මේ වෛද්‍ය විශේෂඥයා නවාතැනේ සිට තමන් සේවය කරන මහ රෝහල වෙත දිනපතා යාම් ඊම් කරන්නේ තමන් සතු අලුත්ම සුඛෝපභෝගී වාහනයෙනි. එසේම ඔහුට තම රෝහල වෙත යාමට විනාඩි කීපයකට වඩා ගත නොවේ. එහෙත් ඔහු බොහෝ දිනවල තම සේවා ස්ථානය කරා ගමන් කරන්නේ සැතපුම් තුනහතරක පමණ අමතර දුරක් ගෙවමිනි.   
කොහොමද මචං දකුණට හරවන්නේ. අද මරුගේ දිශාව දකුණ. ඉතින් මම බෝඩිමේ ඉඳල වමට හැරිල දුර පාරකිනුයි හොස්පිටල් එකට ආවේ.   
ඔහු තමන් සමග එකට වැඩ කරන සගයන් හා එසේ කියන්නේ තමන් එදින රෝහල වෙත පැමිණීමට ප්‍රමාද වූ හේතුව පැහැදිලි කරමිනි. එම වෛද්‍ය විශේෂඥයාගේ සායනය තුළ ඔහු වෙනුවෙන් වෙන්කර ඇති අසුන සහ මේසය දිනපතාම පාහේ විවිධ පැතිවලට හැරවීමට එහි සුළු සේවකයන්ට සිදුවීමද නොවැළැක්විය හැකි ක්‍රියාවකි. එසේ වන්නේ ඒ ඒ දිනවල මරු සිටින දිශාවට මුහුණලා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඔහු මොනම හේතුවක් නිසාවත් ඉදිරිපත් නොවන බැවිනි.   
දිනක් ඔහු තම වෛද්‍ය සායනය වෙත පැමිණෙන විට ඔහුගේ අසුන එදින මරු සිටින දිශාව වූ උතුරට මුහුණලා හරවා තිබුණේ ඊට කලින්දා එම වෛද්‍යවරයා විසින්ම දෙන ලද උපදෙස් අනුවය. එහෙත් එදින මරු සිටින දිශාව වූයේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තය.   


ළඟ පාතක සුළු සේවකයෙකු පෙනෙන්නට නොසිටියෙන් ඔය මේසෙයි, පුටුවයි අනිත් පැත්තට හරවන්නයි එදින කාර්ය නියුතු හෙදියකට දොස්තර මහතා අණ කළේය. එහෙත් එය තමන්ගේ කාර්යභාරයක් නොවෙතැයි කී හෙදිය එම උපදෙස් ප්‍රතික්ෂේප කර වෛද්‍ය සායනයෙන් ඉවතට ගොස් තම වෘත්තීය සමිති මූලස්ථානයට ඒ ගැන පැමිණිලි කර තිබුණාය.   
අන්තිමේදී තරමක් දුරදිග ගිය එම ප්‍රශ්නය බේරුම් කිරීමට රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට පවා මැදිහත්වීමට සිදුවී තිබුණේය.   
එකල වයස අවුරුදු තිස්පහක් පමණ වූ එම වෛද්‍ය විශේෂඥයා දිනපතාම පාහේ රෝහලට පැමිණියේ ජැන්ඩියට ඇඳපැලඳගෙනය. එහෙත් ඔහු ඇතැම් දිනවල රැවුල කපා තිබුණේ අපිළිවෙළටය. එසේත් නැත්නම් මුහුණ තුවාල කරගෙන හෝ රැවුල් ගස් තැනින් තැන නොකපා ඉතිරි කරමිනි.   
ඇයි ඩොක්ටර් අද කණ්ණාඩියෙන් බලාගෙන නොවෙයිද ෂේව් කෙරුවේ?   
තමන් යටතේ සිටින කනිෂ්ඨ වෛද්‍යවරුන් එසේ විමසනවිට තම මුහුණ අත ගා බලන ඔහු ඔව් අයිසේ හදිසියට රැවුල කපනකොට මූණ කැපෙන්න ඇතියි කියමින් සිනාසෙන්නේ තරමක් ලැජ්ජාවෙනි. එහෙත් එහි සැබෑ තත්ත්වය වන්නේ නාන කාමරයේ මුහුණ බලන කණ්ණාඩිය සවිකර තිබුණේ එදින මරු සිටින දිශාවේ නිසා ඔහු ඒ පැත්තවත් නොබලා රැවුල බාගෙන ඇති බවය.   


සාමාන්‍යයෙන් ඔහු සේවය කළ මහ රෝහලේ වෛද්‍යවරුන්ට ආහාර ගැනීම සඳහා ඉදිකළ නොයෙකුත් පහසුකම් වලින් සමන්විත ඩයිනිං හෝල් එකක් තිබුණේය. එහෙත් ඇතැම් දිනවල තම දිවා ආහාරය සඳහා එම කෑම කාමරයට යන අපේ වෛද්‍ය විශේෂඥතුමා වෙනත් අසුනක හිඳ පිඟාන තම අත්ල මත තබාගෙන කෑම කන අයුරු දකින්නට ලැබුණේය. ඔහු එසේ කළේ එදින මරු සිටින දිශාවට පිටුපෑමට ඒ හැර වෙනත් විකල්පයක් නොවූ බැවිනි.   
මේ අතර දිනක් ඔහු නතර වී සිටි බෝඩිමේ ගෝලයා උදෑසන බෙඩ් ටී එකද රැගෙන දොස්තර මහතාගේ කාමරයට ගොස් තිබුණේ ගුඩ්මෝනිං සර් යි කියමින් ඔහුට සුබ පතාගෙනය. ඒ වනවිටත් දොස්තර මහත්තයා සිටියේ ඇඳ මතය.   
ආ... තේ එක ඔය මේසෙ උඩින් තියන්න සයිමන්... යි කී ලොක්කා සුපුරුදු පරිදි ඇඳෙන් නොබැස ඇඳ විට්ටමට උඩින් පැන එන අයුරු දුටු සයිමන් කටත් ඇරගෙන පුදුමයෙන් බලා සිටියේය. අන්තිමේදී බලන විට සිදුවී තිබුණේ එදින මරු සිටින දිශාව මගහැර ඇඳෙන් බැසීම සඳහා ඔහු විසින් එවැනි පියවරක් ගෙන ඇති බවය.   

 


නිහාල් ජගත් චන්ද්‍ර  



අදහස් (0)

මරු සිටින දිසාවට බය වෛද්‍ය විශේෂඥයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site