භාරත දේව සභාව 

පාරම්වාරා රාජවංශයට අයත් භෝජා රජු වූ කලී, ගාම්භීර මිනිසෙකි. ඔහු තම රාජධානිය ඉතා හොඳින් පාලනය කළ අතර, රටවැසියෝ සතුටින්ද සමෘද්ධිමත්වද ජීවත්වූහ. හොඳින් හුස්ම ගත්හ.  


එහෙත් එක් වරම මේ රාජ්‍යයට මුහුණ දෙන්නට සිදුවූයේ නපුරකටය. ඒ මිනිසුන් ආහාරයට ගන්නා රාක්ෂයකු පිළිබඳව රජු වෙත විවිධ පැමිණිලි ලැබෙන්නට පටන්ගත් නිසයි. මේ මිනිසුන් කන්නා පිළිබඳව ආරංචි පැතිර යන විට රාජධානියේ ජීවත්වූ සියලු මිනිස්සු බියට පත්වූහ.  


මහ වන මැද ජීවත් වූ මේ මිනිස් කන්නා උන් හිටි ගමන් ගම්මානවලට කඩාවැදී මිනිසුන් මරාගෙන ගියේය. මේ සිදුවීම් වර්ධනය වීමේ ප්‍රතිඵලය වූයේ රටේ පැවති සමෘද්ධිමත් බව පිරිහීමත් සතුට පලාගොස් භීතිය රජවීමත්ය.  
මේ විනාශයට පිළියම් සොයනු පිණිස රජු රාජ සභාව කැඳවූවේය.  
“භයානක සත්වයකු හෝ රකුසකු මේ රාජ්‍යයේ මිනිසුන් පැහැරගෙන ගොස් ආහාරයට ගන්නා බව සැලයි. ඔබටත් එය රහසක් විය නොහැකියි.”
රජු ඇමැතිවරුන්ගෙන් විමසුවේය.  
එහෙත් ඇමැතිවරු කිසිවෙක් ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ නැත. ඔවුහු වික්ෂිප්ත අයුරින් එකිනෙකාගේ මුහුණ දෙස බලාසිටියහ.  
“ඔබට එවැන්නක් දැනගන්නට ලැබුණේ නැද්ද?”  
රජු පෙරට වඩා ගැඹුරු හඬකින් විමසුවේය.  
“එහෙම රාවයක් නම් තියෙනවා රජතුමනි.”  
අගමැති, හීන් හඬින් පැවසුවේය.
“නමුත් එය කටකතාවක් පමණයි. එහි සත්‍යයක් ඇත්දැයි යන්න අවිනිශ්චිතයි.”  
“අගමැති.”  
රජු කතා කළේ කෝපයෙනි.  
“ඔබ මේ රාජ්‍යයේ සිදුවන කිසිවක් නොදන්නා හැඩයි. එසේ නම් ඔබට අගමැති පදවිය පවා ගැළපෙන්නේ නැහැ.”  
අනතුරුව කිසිදු ඇමැතියකුගේ අදහසකට සවන් නොදීම රජු විසින් මිනිස් කන්නා අල්ලාගැනීම සඳහා පිරිසක් සූදානම් කරගත්තේය. මේ පිරිස සමග රජතුමාද සම්බන්ධ වූ අතර ඔවුහු මිනිස් කන්නා වෙසෙන බව විශ්වාස කළ වන මැදට ඇවිද ගියහ.  
වනය මැදින් ඈතට ඈතට ගිය විට රාජකීය පිරිසට දැකගන්නට ලැබුණේ මනරම් උද්‍යානයකි.  
“මේ මහ වන මැදට කොහෙන්ද මෙබඳු උයනක්?”  
රජු විමතියෙන් ඇසුවේය.  
මේ වන විට බොහෝ දුරක් ගෙවා සිටි රාජකීය පිරිස සිටියේ හොඳටෝම බඩගින්නෙනි. පිපාසයද නොදැනුණා නොවේ. උද්‍යානයට පිවිසි විගස රාජකීය පිරිස එහි වූ නිල් පාට තණ පලස මත වාඩි වූහ.  
මේ උයනේ හිමිකරු සොයා ගොස් කෑමට පලතුරු රැගෙන එන්න. හැබැයි ඒ සියල්ලට මුදල් ගෙවන්නට අමතක නොකරන්න.  
රජු ඇමැතිවරයකුට අණ කළේය.  
එවිටම ඇසුණේ කිසියම් කටහඬකි.  
පිරිස හඬ ආ දිසාවට නෙත් යොමුකරද්දී දුටුවේ කුරුල්ලකු සමග කතාකරන කිසියම් පුද්ගලයෙකි. ඔහු වෙත සුහද සිනාවක් පෑ රජු ඔහුව නිරීක්ෂණය කරන්නට විය. අමුත්තා දෙස බැලූ හැටියේම රජුට අවබෝධ වූයේ ඔහු අතිශය ප්‍රීතියෙන් පසුවෙන බවය. ලෝකයේ සිදුවන කිසිවක් කෙරෙහි කණගාටුවක් ඔහු කෙරෙන් දකින්නට හැකි වූයේ නැත.  
“මම සරවනා. මේ උද්‍යානය මගේ. ඔබ දෙස බැලූ විට පේන්නෙ ඔබ සැම දැඩි ලෙස වෙහෙසව සිටින බවයි. මම කැමතියි ඔබට උදව් කරන්න. ඔබට ආහාර ලෙස පලතුරු රැගෙන එන්නද?”  අමුත්තා ඇසුවේය.  
ඊට අනුමැතිය පළ කළ රජු තම රාජකීය පිරිසට, සරවනා සමග උයන තුළට යන ලෙස ඉඟි කළේය.  
පිරිස උද්‍යානය තුළට ඇතුළු වූහ. එවිටම ඔවුනට දැනුණේ අමුතු හැඟීමකි. ඒ අමුත්ත කුමක්දැයි වටහා ගැනීමට ඔවුනට නොහැකි විය. එසේ වුවත් ඔවුහු උයනේ වැවී හැදී ඉදී තිබූ මිහිරි පලතුරු නෙළාගෙන ඒවායේ රස බලන්නට පටන්ගත්හ.  
“උඹල හොරු.”  
එවිටම ඇසුණේ ගෝරනාඩුවකි.
“උඹලා ආත්මාර්ථකාමී හොරු. මම අමාරුවෙන් හද‌ාගත්තු මගෙ උද්‍යානෙ තිබුණෙ හොඳම පලතුරු ටිකයි උඹලා කඩාගත්තෙ. මම මේ නඩුව රජතුමා ළඟට අරන් යනවා.” 
සරවනා කෑගසා කීවේය.  
මේ ගෝරනාඩුව ඇසුණ රජු භෝජා විමතියට පත්විය. ඔහු අර අමුත්තා දෙස ඔහේ බලා සිටියේය.  
මහන්සියෙන් පසුවෙන පිරිසට පලතුරු දෙන්නදැයි ඇසුවේත් සරවනාමය. දැන් තම උයනේ වූ මිහිරි පලතුරු කඩාගත්තෙයැයි චෝදනා කරන්නේත් ඔහුමය.  
”පුදුම මිනිහෙක්නෙ.”  
රජු තමන්ටම කියාගත්තේය.  
සරවනා වහා පසෙකට ගොස් අශ්වයකු පිට නැගී ආවේය.  
“මම රජතුමාට කියනවා,”  
භෝජා එදෙස බලා සිටියේය.   
“ඔබයි ඇහුවෙ පලතුරු දෙන්නද කියා”  
රජු ඇසුවේ කෝපය මැඩගෙනය.  
රජුගේ ගැඹුරු කටහඬින් සැලුණු නිසාදෝ සරවනා මොහොතකට නිහඬ වූවේය.  
“කුමක්ද ඔබ පවසන්නෙ? ඔබ හිතන්නෙ මගෙ පලතුරු වත්තෙ තියෙන පලතුරු ඔබට නිකම් දෙන්න හැදුවා කියලද? මම හුඟාක් මහන්සියෙන් මේ පලතුරු උයන හදන්නෙ, හැදෙන පලතුරු විකුණන්නයි ඔබට නිකන් දෙන්න මම මෝඩයෙක් නෙවෙයි.”  
සරවනා කීවිට රජුට සරවනාගේ කපටිකම අවබෝධ විය.  
කෙසේ වෙතත් කිසිවක් නොපැවසූ රජු තම සුරතෙහි ඇඟිල්ලක වූ රත්තරං මුද්දට අත තිබ්බේය. ඉනික්බිති පරෙස්සමට මුද්ද ගැලවූ රජු එය සරවනා අත තැබුවේය.  
“මමත් මගේ සෙනඟත් ඔබේ වත්තෙන් ගත් පලතුරුවලට හිලව්වට මේ මුද්ද තබාගන්න.”  
සරවනාගේ ඇස්වලට මුද්දේ දිස්නය වැදිණි. ඔහු මහත් ආශාවෙන් මුද්ද පිරිමදින්නට විය.  
“මේ ඉඩම ඔබ සතුවෙලා කොයි තරම් කල්ද?”  
අනතුරුව රජු විමසුවේය.  
“මෙය මට හිමිවුණේ මගේ පියාගෙන්.”  
සරවනා අතවූ මුද්දෙන් දෑස් ඉවතට නොගෙනම පැවසුවේය.  
“ඔබ කැමති නැද්ද මේ ඉඩම මට විකුණන්න.”  
රජු විමසුවේය.  
සරවනා පුදුමයෙන් මෙන් රජු දෙස බලද්දී රජු යළිත් කටහඬ අවදි කළේය.  
“ඔබ මේ ඉඩම විකුණනවා නම් එහි වටිනාකම මම ගෙවන්නම්.”  
මේ ඇහෙන වචන කිසිවක් සරවනාට විශ්වාස කළ නොහැකි විය. ඔහු තවත් වරක් අත වූ රන් මුද්ද දෙස බලා අනතුරුව රජුගේ මුහුණ බැලුවේය.  
“මගෙ උද්‍යානය ඔබට විකුණන්න මම කැමතියි.”  
සතුටින් පිනාගිය රජු තම සෙනග දෙස බලා සිනාපෑවේය.  
සිය ඇමැතිවරයා ළඟට කැඳවූ රජතුමා සරවනාට මුදල් ගෙවා ඉඩම ලබාගන්නැයි අණ කළේය.  

 

මහ වන මැද ජීවත් වූ මේ මිනිස් කන්නා උන් හිටි ගමන් ගම්මානවලට කඩාවැදී මිනිසුන් මරාගෙන ගියේය. මේ සිදුවීම් වර්ධනය වීමේ ප්‍රතිඵලය වූයේ රටේ පැවති සමෘද්ධිමත් බව පිරිහීමත් සතුට පලාගොස් භීතිය රජවීමත්ය. මේ විනාශයට පිළියම් සොයනු පිණිස රජු රාජ සභාව කැඳවූවේය. භයානක සත්වයකු හෝ රකුසකු මේ රාජ්‍යයේ මිනිසුන් පැහැරගෙන ගොස් ආහාරයට ගන්නා බව සැලයි. ඔබටත් එය රහසක් විය නොහැකියි. රජු ඇමැතිවරුන්ගෙන් විමසුවේය.  එහෙත් ඇමැතිවරු කිසිවෙක් ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ නැත. ඔවුහු වික්ෂිප්ත අයුරින් එකිනෙකාගේ මුහුණ දෙස බලාසිටියහ.  ඔබට එවැන්නක් දැනගන්නට ලැබුණේ නැද්ද?  රජු පෙරට වඩා ගැඹුරු හඬකින් විමසුවේය.


“මට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මුදලක් ඔබ මට ගෙව්වා.”  
ගනුදෙනුව අවසානයේදී සරවනා කීවේය. “කරුණාකර කියන්න ඔබට හෝ ඔබේ හාම්පුතාට වැරදීමක් සිදුවෙලාද කියා.”  
ඇමැති දෙපසට හිස සැලුවේ කිසිදු වරදක් සිදුවී නැති බව අඟවන්නටය.  
“ඒ ගනුදෙනුව හරියටම හරි. අපිට කිසිම වැරදීමක් සිදුවුණේ නැහැ.”  
ඇමැතිවරයා විශ්වාසයෙන් පැවසුවේය.  
සරවනා ඔහු රැඳී සිටි පටු වේදිකාවෙන් බැස ගියේය. ඔහු නික්ම යන අයුරුත් වේදිකාවත් දෙස මාරුවෙන් මාරුවට බැලූ රජුට අමුත්තක් දැනිණි.  
“ඔබට මොකද හිතෙන්නෙ මේ වේදිකාව ගැන?”  
රජු ඇමැතිගෙන් ඇසුවේය.  
වේදිකාව දෙස මොහොතක් බලා සිටි ඇමැති ආපසු රජුගේ මුහුණ බැලුවේ හැඟීමකින් තොරවය.  
“වේදිකාව?”  
ඇමැති මිමිනුවේය.
“එය හොඳටම පරණ වෙලා රජතුමනි.”  
රජු හිස සැලුවේය. එහෙත් ඔහුට දැනුණු අමුත්ත වේදිකාවේ පරණ බව නොවේ. එහි යට සැඟවුණු කිසියම් ගුප්ත බවකි.  
ඊළඟ මොහොතේ රජු මේ වේදිකාවට පය තැබුවේය. යම් කිසිවෙක් තමන්ට පහර දෙන බවක් රජුට හැඟිණි. ඔහු වේදිකාවට තැබූ දෙපය ආපසු ගත්තේය. ඔහුගේ හිත පෙළුෑ ගුප්ත බව නැවත වරක් ඔහුගේ හිත පීඩාවට පත් කළේය.  
“ඇමැති මේ වේදිකාව ගලවා දමා මෙහි සඟවා ඇති යම් දෙයක් වේදැයි බැලිය යුතුයි. ඉන් පසු වේදිකාව නැවතත් ඉදිකරන්න.”  
රජු ඇමැති අමතා කීවේය.  
“ඒ මොන පිස්සුවකටද?”  
ඇමැති තමාටම කියාගත්තේය.  
එහෙත් රජ අණ ඉටු කරනු මිස පැහැර හැරීමට පුළුවන් කමක් නැත.  
“එහෙමයි රජතුමනි.”  
ඇමැති අවසානයේ එසේ කීවේය.  
තවත් මොහොතක් වේදිකාව දෙස බැලූ රජු ඇමැති වෙත හැරිණි.  
මේ වේදිකාව යට රහස් රැසක් තිබෙනවා. ඔබ පුදුමයට පත්වෙන බව මට විශ්වාසයි.  
ඇමැති හිස සැලුවා විනා කිසිවක් නොකීවේය.  
“මේක යට පස් ගොඩක් ඇති, වෙන මොනව තියෙන්නද?” ඇමැතිට සිතිණි.  
ආරක්ෂකයන් කිහිපදෙනෙක් පමණක් ගත් රජු ආපසු අගනුවරට ගියේ මිනිසුන් කන්නා සෙවීමේ කටයුත්ත පසෙක තබාය. රජුට වද දුන්නේ අර ගුප්ත වේදිකාව යට සැඟවුණු රහසය.  
මැදුරට ගියත් රජුට වෙනද‌ා මෙන් සැහැල්ලුවක් දැනුණේ නැත. බිසවුන් සමග සතුටුවීමට හෝ නාටිකාවන්ගේ මනරම් නැටුම් නැරඹීමට හෝ කිසිදු කැමැත්තක් රජු තුළ නොවීය. ඔහු මග බලා සිටියේ ඇමැති පැමිණෙන තෙක්ය. ඇමැතිගෙන් අසන්නට ලැබෙන ගුප්ත ප්‍රවෘත්තිය දැනගන්නා තෙක්ය.  
රජු මැදුරේ ඉදිරියට ගොස් එහා මෙහා ඇවිද්දේය.  
“රජතුමනි ඔබ බරපතළ කල්පනාවක.”  
අගබිසව පැමිණ භෝජා රජුගෙන් විමසුවේය.  
“හිතේ පොඩි චංචල බවක් තිබෙනවා තමයි දේවිය.”  
“මට පැවසිය නොහැක්කක්ද?”  
“එවැන්නක් නොවේ නමුත් මා සිටින්නේ විමතියට පත්ව.”  
එසේ කී රජු වන මැද තිබූ උද්‍යානය ගැන සියලු පුවත් බිසව හා පැවසුවේය.  
“මට හිතෙනව ඒ වේදිකාව යට කුහුල උපදවන යම් කිසිවක් තිබෙනවා කියා.”  
රජු අනතුරුව පැවසුවේය.  
”රජතුමනි, ඇයි ඔබට එසේ සිතෙන්නේ”  
බිසව විමසුවාය.  
“පැහැදිලි කිරීම අපහසුයි දේවිය, නමුත් මගේ සිත විසින් මොනවා හෝ කියනු ලබනවා.”  
රජුගේ පයින්ඩකරුවකු රජුවෙත දිව ආවේ ඒ මොහොතෙහිය.  
“රජතුමනි,”  
රජුගේ දෙපාමුල වැතිරගත් පයින්ඩකරුවා, කලින් දවසක රජු සමග වන මැදට ගිය උද්‍යානයේ නතර කර පැමිණි ඇමැති සමග සිටි අය බව රජු හඳුනා ගත්තේය.  
“පවසන්න, කුමක්ද පණිවිඩය,”  
රජු ඇසුවේය.  

 


ලබන සතියට...  


ශාන්ත කුමාර විතාන