මහවැලි නදිය මහනුවර දිස්ත‍්‍රික්කය පසුකරමින් යන සුන්දර ගඟබඩ විසූ තිලකරත්න සුපුරුදු පරිදි එදත් උදෑසනම මුහුණ කට සෝදා ගැනීමට ගඟට ගියේය. වෙන දා මෙන්ම අරුණලු වැටී ගඟ සුන්දරව දිස් විය. එහෙත් වෙනදා මෙන් ඒ සුන්දරත්වය අත්විඳින්නට තිලකරත්නට නොහැකි විය. නාන තොටුපළ පමණක් නොව අවට සෑම තැනකම පැතිරුන දුර්ගන්ධයකි. එය කොතැනකින් පැමිණෙන්නේදැයි නිශ්චය කරන රිසියෙන් තිලකරත්න තොටුපොළට තව තවත් ළඟා විය.   

“දෙයියනේ, මේ මොකක්ද?” තිලකරත්නට ඉබේම කෑ ගැසිණ.   


 ඟං ඉවුරේ නරක් වූ මළ සිරුරකි. එහි නිල මැස්සන් වසා තිබුණු ආකාරය තිලකරත්න තුළ ඇති කළේ අපුලකි. හිත හිතා ඉන්නට වෙලාවක් නැත. වහා දිව ගිය තිලකරත්න නැවතුණේ ග‍්‍රාම සේවා නිලධාරිගේ නිවසේය.   
 “රාළාමි,...... රාළාමි....... රාළාමි” කලබලය නිසා තිලකරත්නට නිවැසියෙක් එළියට පැමිණෙන තුරු බලාසිටින්නට පවා ඉස්පාසුවක් නැති තරම්ය. හේ දොරට ගසමින් නිවැසියන්ව ද කලබල කළේ ඒ නිසාය.   
 “මොකද මොකද මේ කලබලේ?” ග‍්‍රාම සේවා නිලධාරී ද කලබලයෙන් ඉදිරියට ආවේය.   


 “මහත්තයෝ, ගං ඉවුරට මිනියක් ගොඩ ගහලා කාගෙද දන්නේ නැහැ. නරක් වෙලා. අනේ මහත්තයෝ ඉක්මනට යමු බලන්න.”   


 “හොඳයි ඔහොම ඉන්න මම ඉක්මනට ඇඳුමක් දාගෙන එන්නම්.”   


 ග‍්‍රාම නිලධාරිවරයා මේ සිදුවීම වහාම පොලිසියට ද දැනුම් දුන් බැවින් පොලිසිය ද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ඇරඹීය.   


 කිසිවෙකුටත් හඳුනාගත නොහැකි පරිදි සිරුර නරක් වී තිබිණ. සිදුවූයේ කුමක්දැයි තේරුම් ගැනීමට පුද්ගලයා කවුදැයි තෝරා බේරා ගැනීමත් වැදගත් වේ. ඒ නිසා පළමුව මේ පුද්ගලයා කවුදැයි හඳුනාගැනීමට පොලිසියට වගකීම පැවරිණ. මෘත ශරීරයක් බොහෝ වේලාවක් අධික බැක්ටීරියා සහිත ජලජ පරිසරයක එනම් ජලයේ හෝ ජලය මතුපිට පැවතුණ විට නරක් වීම ඉක්මන් වේ. ජලයේ තිබෙන සිරුරක් ඉන් ඉවතට ගත්විට බාහිර පරිසරයේ තත්ත්වයන් සමග එහි නරක්වීම පෙරටත් වඩා වේගවත් වේ. ඒ නිසා එවැනි සිරුරක සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර මරණයට හේතුව සෙවීම පහසු නොවේ. එවැන්නක් සාර්ථකව සිදුකර තිබෙන්නේ කලාතුරකිනි. මේ මෘත ශරීරය ද දින කීපයක් හෝ ජලයේ තිබූ සිරුරක් බව එය නරක් වී ඇති ආකාරය අනුව සැක කළ හැකිය. බාහිර ලක්ෂණවලින් නම් මෙම සිරුර හඳුනාගත නොහැකිය.   


 එහෙත් මෘත ශරීරයේ දත් සියල්ලම මනා ලෙස ආරක්ෂා වී තිබෙනු දැකිය හැකි විය. ඒවා පරීක්ෂා කිරීමේදී එම දත් බොහොමයක් ස්ථිර හා තාවකාලික ලෙස පුරවා තිබෙනු නිරීක්ෂණයට ලක් විය. මෘත ශරීරය හඳුනා ගැනීමට එය පිටිවහලක් වනු ඇතැයි පොලිසිය මෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍යවරයා ද විශ්වාස කළේය. එහෙත් සැක කළ හැකි පුද්ගලයෙක් හෝ සිටීනම් හැර දත් පිළිබඳ විස්තරයක් තිබූ පමණින් මේ කවුදැයි කිව හැකි වන්නේ නැත. ඒ නිසා පොලිසිය විසින් අනෙකුත් පොලිස් ස්ථානවලින් අතුරුදන් වූවන් පිළිබඳ වාර්තාවක් කැඳවනු ලැබිණ.   


 එම වාර්තාවලට අනුව මෘත ශරීරයේ උස හා බාහිරව හඳුනාගත හැකි ලක්ෂණ ද අනුව සැක කළ හැකි තිදෙනෙකුගේ නම් අවධානයට ලක් විය. ඒ තිදෙනාගේ නිවැසියන් මගින් ඔවුන්ගේ දන්ත වෛද්‍ය වාර්තා පරීක්ෂාවට ලක් කරනු ලැබිණ. එයින් දෙදෙනෙකුට එවැනි වාර්තා තිබුණ අතර එක් අයෙක් සතුව දන්ත එක්ස් කිරණ වාර්තා කීපයක් ද විය. ඒ දත් පිරවීමට ලබාගත් ඒවා යැයි සැක කළ හැකිය. ඒ වාර්තා අනුව මෙම සිරුර කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ රාජේන්ද්‍රන් සිවනේසන්ගේ බවට හඳුනාගත හැකි විය.   


 ජලයේ තිබි සොයාගත් සිරුරක් නිසා මරණයට හේතුව ස්වභාවික රෝගයක් නම්, ජලයේ තිබී පටක නරක් වීම නිසා එය සොයාගැනීමට නොහැකි වනු ඇත. මරණයට හේතුව හදිසි අනතුරක් හෝ පහරදීමක් නම් එම තුවාල ජලජ ජීවීන් විසින් මරණයෙන් පසුව සිදුකළ තුවාල ද පිහිටනු ඇත. ගලා යන ජල පහරකට හසුවූයේ නම් ගල්පරවල ද ගස් මුල්වල ද හැපී තවත් තුවාල සිදුවනු ඇත. මේ එකක් අනෙක සමග අතිපිහිත වේ. එනම් ඒවා එකක් අනෙක මත පිහිටීම නිසා කලින් සිදුවූ තුවාල යටපත් කෙරෙනු ඇත. ඒ නිසා මෙවැනි මරණයක දී අධිකරණ වෛද්‍යවරයා පත්වන්නේ ඉතාමත් අසීරු තත්ත්වයකටය.   


 රාජේන්ද්‍රන්ගේ සිරුර බාහිරින් පරීක්ෂා කළ අධිකරණ වෛද්‍යවරයාට එහි සතුන් කා දැමූ තුවාල හැර වෙනත් මාරාන්තික තුවාල කිසිවක් දකින්නට ලැබුණේ නැත. ඒ නිසා සිරුර එක්ස්රේ පරීක්ෂණයකට ලක්කිරීමට තීරණය විය. එහිදී පිරවූ දත්වල ලකුණු හැර වෙනත් විශේෂිත දෙයක් දැකගත නොහැකි විය. ඒ අනුව මෙම මරණය වෙඩි තැබීමකින් හෝ පිහියා ඇනුමකින්, ගෙල සිර කිරීමෙන් හෝ එවැනි ආකාරයකින් සිදුකළ ඝාතනයක් නොවන බව වෛද්‍යවරයාගේ අදහස විය.   


 පුද්ගලයෙක් ජලයේ ගිලී මිය ගිය විට දී විශේෂිත ලක්ෂණ කීපයක් දක්නට ලැබෙනු ඇත. ඝාතනය කිරීමකින් පසු නොව ජලයේ ගිලීමෙන් මරණයක් සිදුවී නම් ජලයේ ගිලෙද්දීත් හුස්ම ගැනීමට උත්සාහ කරනු ඇත. හුස්ම ඉහළ පහළ ගමන් කරන විට ජලය පෙණහලුවලට ගමන් කරනු ඇත.


පෙණහලු පටකවලට එක්වන මේවා පෙණහලුවල ඔක්සිජන් හා කාබන්ඩයොක්සයිඩ් වායුව හුවමාරු කරන ගර්ත තුළට ඇතුළු වීම නිසා ඒ වායු හුවමාරුව ඇන හිටින තත්ත්වයක් නිර්මාණය වේ. අනතුරුව ගර්ත තුළ වූ ශ්ලේෂ්ම ද්‍රව්‍යයන් සමග මිශ‍්‍රවීමෙන් සුදු රෝස පැහැති පෙණ විශේෂයක් නිපදවයි. ඔක්සිජන් හා කාබන්ඩයෝක්සයිඩ් වායු හුවමාරුව නැවතීම නිසා එම පුද්ගලයා මිය යන අතර ගර්ත තුළ නිපදවුණු පෙණ ස්වසන මාර්ගය පුරා පැතිරේ. මෙවැනි පෙණ සහ ජලය නිසා විස්තාරණ වූ පෙණහලු හා ජලයේ සියුම් රොන් මඩ වැනි දෑ පෙණහලු තුළ ගැඹුරු අභ්‍යන්තරයේ දක්නට ලැබීම වැනි දේවල් ජලයේ ගිලීමකින් මිය ගිය අයෙකු බව සනාථ කරයි. එහෙත් නරක්ව තිබූ මෙම මෘත ශරීරයේ මෙවැනි ලක්ෂණ නිරීක්ෂණය කළ නොහැකි විය.   


 එසේම පුද්ගලයෙකු පණ පිටින් ජලයට වැටීමේ දී පෙණහලු ගර්ත තුළට ඇතුළුවන ජලය වහ වහා රුධිරයට අවශෝෂණය කරගනී. මේ සම ජලයේ තිබෙන ඉතා කුඩා අන්වීක්ෂීය මට්ටමේ ඒක ෙසෙලික ශාක වර්ගයක් වන ඩයටම පෙණහලු ගර්ත හරහා රුධිරයට ඇතුළු වී රුධිරය හරහා අස්ථි මිදුළු තුළට ඇතුළුවේ. නරක් වූ මෘත ශරීරයක වුවද ඇට මිදුළු සැලකිය යුතු මට්ටමෙන් නරක් නොවී පවතී. එලෙස ශක්තිමත් බාහිර ආවරණයක් සහිත ඩයටම ද විනාශ නොවී පවතී. මේ නිසා දියේ ගිලී මිය ගියේ පුද්ගලයෙකුගේ ඇට මිදුළු තුළ ඩයටම තිබීම පැහැදිලි සාක්ෂියකි. එහෙත් එය සොයා ගැනීමට පහසුකම් නොවීය.   


 මෘත ශරීරය ජලයේ තිබී හමුවීම නිසාත් වෙනත් පැහැදිලි හේතුවක් නොතිබූ නිසාත් මෙය දියේ ගිලීමෙන් වූ මරණයක් බවට අධිකරණ වෛද්‍යවරයා තීරණය කරන ලදී.   


 එහෙත් රාජේන්ද්‍රන්ගේ පවුලේ සාමාජිකයෝ එකි තීන්දුවට එකඟ නොවූහ. ඔවුන් කියා සිටියේ රාජේන්ද්‍රන් දියේ ගිලී මිය යාමට කිසිම හේතුවක් නැති බවය. එසේම ඔහුගේ මෝටර් රථය අතුරුදන්ව තිබූ අතර එය නුවරඑළිය ප‍්‍රදේශයේ තිබී පසුව හමුවීම මේ මරණය සැක සහිත බව පවුලේ සාමාජිකයන් ප‍්‍රකාශ කිරීමට හේතු විය. ඔවුහු දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියහ. පේරාදෙණිය අධිකරණ වෛද්‍ය විශේෂඥ සරත්චන්ද්‍ර කොඩිකාර මහතා වෙත මෙම පරීක්ෂණය පැවරුණේ ඒ අනුවය.   


 කපා කොටා ඇති නරක් වූ මළ සිරුරකින් නැවුම් සාක්ෂි සෙවිය නොහැකිය. ඒ නිසා කොඩිකාර මහතා මුහුණ දුන්නේ ඉතාමත්ම අසීරු තත්ත්වයකටය. වඩාත් හොඳින් සිරුර පරීක්ෂා කිරීමේදී තරබාරු සිරුරක් සහිත රාජේන්ද්‍රන්ගේ ගෙලෙහි සම නැමීම් කීපයකින් යුක්ත බව පෙනී ගියේය. මේ නැමීම් දෙකක් අතර සම පිටතට නොපෙනේ. ගෙලෙහි පිටුපසද එවැනිම නැමීම් තිබේ. ඉතා ප‍්‍රවේසමෙන් ගෙල පිටුපස සම මෑත්කර බලද්දී සෙන්ටි මීටරයක තරම් විෂ්කම්භයක් සහිත සිදුරු වූ තුවාලයක් දැකිය හැකි විය. එහි ඡායාරූපයක් ලබාගත් පසු වෛද්‍යවරයා ආශ‍්‍රිත සම සහ ඊට පහතින් පිහිටි පටක පිළිවෙළින් විච්ෙඡ්දනය කරන ලදී. එය පෙනුමෙන් වෙඩි උණ්ඩයක් නිසා ඇති වූවක් සේ පෙනී ගියද එය පිට වූ ස්ථානයක් පෙන්නුම් කළේ නැත. එය පිට වී නැත්නම් ශරීරය තුළම තිබිය යුතුය. එහෙත් ප‍්‍රථම පශ්චාත් මරණ පරීක්ෂණයට පෙර ලබාගත් එක්රේ ‘ඡායාරූපවලද වෙඩි උණ්ඩයක් ශරීරය තුළ පවතින ආකාරයක් දක්නට නැත. සිරුර කපා පරීක්ෂා කිරීමේදීද එවැනි උණ්ඩයක් හමුවී නැත.   


 ඒ අනුව ගෙල පිටුපස තියුණු විච්ෙඡ්දනයකට ලක්කරන ලදී. ගෙලෙහි කශේරුකා හා හිස්කබලේ පිටුපස අස්ථි සියුම්ව මේ පරීක්ෂණයකට ලක් කෙරිණ. අසීරුතා මධ්‍යයේ වුවද සිදුකරන ලද මෙම විච්ෙඡ්දනයෙන් ගෙලෙහි මෘදු පටක තුළ වෙඩි උණ්ඩයක් නැති බව දැකගත හැකි විය. අනතුරුව කොඳු ඇට පෙළේ ෙග්‍රෙවී කශේරුකා හිස්කබලට සම්බන්ධ වන ස්ථානයේ කියතකින් කපා වෙන්කර නිරීක්ෂණය කරනු ලැබිණ. සියලු දෙනා පුදුමයට පත්් කරමින් එහි අස්ථි තුළට කාවැදුණු උණ්ඩයක් තිබී හමුවිය. ඒ අනුව රාජේන්ද්‍රන්ට ගෙල පිටුපසට වෙඩි වැදීමෙන් ඔහු මිය ගොස් ඇති බව තහවුරු විය.   


ඔහු සිය දිවි නසා ගත්තේ නම් ඒ සඳහා තෝරාගනු ලබන්නේ එක්කෝ කනට ඉහළින් ඇති හිස පෙදෙසය. නැත්නම් නළල, මුඛය, නිකට වැනි ස්ථානය. එසේත් නැත්නම් පපුවේ වම් පසය. ඒ තැන්වලට ආයාසයකින් තොරව ගිනි අවිය එල්ල කරගත හැකි වීම එයට හේතුවයි. එහෙත් ගෙලෙහි පිටුපසට වෙඩි තබා ගැනීම කළ නොහැකිය. ඒ අනුව මෙය මිනීමැරුමක් බවට වෛද්‍යවරයා නිගමනය කළේය.   


 දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයේදී හමුවූ වෙඩි උණ්ඩය පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී හමු නොවූයේ මන්ද යන්න මෙහිදී මතු විය. ගෙල පිටුපසින් ඇතුළු වූ වෙඩි උණ්ඩය ඝන අස්ථිවල ගැටී තැලී විකෘති වී තිබූ අතර එය හිස් කබලත් ෙග්‍රෙවී කශේරුකාත් අතර සිර වී තිබිණ. එක්ස්රේවල මෙය දක්නට ඇති නමුත් ඔහුගේ මුඛයේ දත්වල ඊයම් පිරවුම් ඇති නිසා මේ දෙක වෙන්කර හඳුනා ගැනීමට අපහසු වී තිබේ. මේ වෙඩි උණ්ඩය මගින් සුෂුම්නාවේ හෘදය වස්තුවේ ස්පන්දනය හා ශ්වසනය පාලනය කරන ස්ථානයට හානි කර තිබීම මරණයට හේතු වී තිබේ.   

 


 (මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න.)   

 


අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතා සමග කළ සාකච්ඡා​වක් ඇසුරෙන් සටහන් කළේ :

 


මුදිතා දයානන්ද