IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


මට විවාහ ජීවිතය තවම එපාවෙලා නෑ

බොහෝ දෙනා ඔහු හඳුනා ගෙන තිබෙන්නේ කාන්තා චරිත රඟපෑමේ දී දක්වන දක්ෂතාව නිසාය. වේදිකාවේදී ඔහු එම චරිතය රඟපාන ආකාරය නිසාම සමහරු ඔහු දෙස වැරැදි කෝණයකින් පවා බලන්නට උත්සුක වූහ. නමුත් ඔහු එය රංගනයට පමණක් සීමා කළ එකක්ම විය. ඔහු සැබවින්ම හොඳ ප්‍රේමවන්තයෙකි. මේ නිසාම ඔහුට කාන්තාවන්ගේ ආකර්ෂණය නිතැතින්ම හිමිවී තිබිණී. ආදරයට දැඩි ලෙස ප්‍රේම කළ මේ සොඳුරු රංගධරයා තම විවාහ ජීවිත පිළිබඳවත් ප්‍රේම සබඳතා පිළිබඳවත් මා සමග කතා බහ කෙරන්නට කැමැත්තක් දැක්වීම මේ ලිපිය ලිවීමට මට උත්තේජනයක් විය.   


ඔහු රංගධරයෙක් පමණක් නොව වේදිකා හා ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. හාස්‍ය රසය මැවීමට උපන් හපන්කම් ඇති දක්ෂ රංගන ශිල්පියෙකි. ඔහුගේ වේදිකා නාට්‍ය සියල්ල අකුරු දෙකින් නිර්මාණය වීම විශේෂත්වයක් විය. ඔහු නමින් ජයසේකර අපොන්සුය. ‘‘ආදරය ප්‍රේමය හා විවාහය’’ යන පරිච්චේදයේ තවත් එක් සොඳුරු සටහනක් ඔහුට තබන්නට මා කළ ආරාධනය පිළිගත්තේ ඔහු මා කෙරෙහි තබා ඇති විශ්‍වාසය නිසාය. ඒ නිසාවෙන්ම මීට පෙර හෙළි නොකළ බොහෝ කාරණා ඔහු ප්‍රථම වරට මා සමග පවසන්නට විය. ඉතිං එහෙමනං මේ සොඳුරැ රංගධරයාගේ ආදර කතාවට අපේ ඉඩ වෙන් කරමු.   

 

ඔබ ජීවිතය විඳින්නෙක්ද? එහෙමත් නැත්නම් විඳවන්නෙක්ද?   


මම ජීවිතය ඇත්තටම විඳින්නෙක්. විඳවන්න කැමැති නෑ. හරි සාධාරණෙන් ජීවිතය විඳින්න කැමතියි.   


ඔය විඳින ජීවිතය තුළ ඔබ ආදරය ප්‍රේමය හඳුනාගෙන තිබෙන්නේ කොයි ආකාරයට ද?   


ආදරය කියන එක මා හිතන්නේ දැඩි ආත්මාර්ථකාමී එකක් කියලයි. ඒක සොඳුරැ ආත්මාර්ථකාමී හැඟීමක්. මම තමයි මට ආදරේ කරන්නේ. ඔය ආදරය කොටස් කිහිපයකට බෙදෙනවා. අම්මාට, තාත්තාට, සහෝදර සහෝදරියන්ට, ගුරුවරුන්ට යනාදිය. මම කියන්නේ එයින් පරිබාහිරව කෙල්ලන්ට කරන ආදරය ප්‍රේමය ගැනයි. හැම පැත්තෙම ආදරය එක වගේ විය යුතුයි.   


මම ගැහැණු ළමයෙකුට ආදරය කරනවා කියා සිතමුකෝ. මම බලාපොරොත්තු වෙනවා. ඒ ආදරය මට උපරිම ආදරය කරයි කියා මට එයාව දකින්න ඕනැ. එයා මට ආදරයෙන් කතා කරන්න ඕනැ. සලකන්න ඕනේ. එතකොට මගේ හිතට තමයි දැනෙන්නේ සතුට එයා දකින්න නැතිවෙනකොට මට දුකයි. එයා වෙන කවුරුහරි උදුරගත්​තොත් මට ඊර්ෂ්‍යාව එනවා. ඒ විදිහට මම කැමැති නෑ. මම කැමැති එයා මගේ විතරක් වෙන්න. එයා මට සැර දැම්මොත් මගේ හිත කලකිරෙනවා. මම එයාට කැමැති නෑ. ඔක්කොම දැනෙන්නේ මගේ හිතට. මගේ සිතැඟි අනුව කටයුතු කරන කෙනාට මම දැඩිව ප්‍රේම කරනවා. හැබැයි ඉතිං පෙරළා මගෙනුත් එයාට ඒ ආදරය ලැබෙනවා. කලකිරීම ආවොත් මට එයා එපා වෙනවා. එයාගෙන් දුරස්වෙන්න බලනවා. එයා නැතිවෙනවානම් හොඳයි කියා සිතෙනවා. ඒ විදියට තමයි මා ආදරය දකින්නේ. 

 
ඔබට ඔවැනි විරුද්ධ ලිංගික ආදරයත් ප්‍රේමයත් මුලින්ම ඇතිවුණේ කොයි කාලයේදී ද?   


එ්ක ගැන තමයි මම කනගාටුවෙන්නේ. මම මුලින්ම ආදරය කළ කෙනා මට ලබාගන්න බැරි වුණා. මුලින්ම මම ආදරය කළේ මගේ පාසලේ ගැහැණු ළමයෙක්ටයි. පාසල් කාලයේදී තමයි මට මුලින්ම විරුද්ධ ලිංගික ආදරයක් ඇතිවුණේ. මේ ගැහැණු ළමයා හරියට සරෝජා දේවි වගේ. මම සරෝජා දේවිට හරි කැමතියි. ඒ කියන්නේ සිනමා සිත්තමේ ඉන්න සරෝජා​ දේවි ගැනයි. මේ කෙල්ලත් මට පේන්නේ සරෝජා දේවි වගේ. හැබැයි ඉතිං මම සිතින් ආදරය කරනවා. මේ කෙල්ල කවදාවත් මට ආදරය කළෙත් නෑ. මාව හමුවුණෙත් නෑ. ඒක එතනින්ම ඉවර වුණා. 

 
මම වෛජයන්තිමාලාට තවත් ආදරෙයි. හින්දි සිනමාවේ ප්‍රේමයෙන් තමයි මාව ආදරයෙන් පිස්සු වැට්ටුවේ. වෛජයන්තිමාලා, රාජේන්ද්‍ර කුමාර්ලා, සංගම්, චිත්‍රපටයේ ආදරෙයෙන් ඉන්නකොට මා බලාපොරොත්තු වුණේ ඒ වගේ ආදරයක්. වෛජයන්තිමාලා වගේ ගැහැණු ළමයා වෙන ඉස්කොලෙක ඉන්නේ. ඉස්කෝලේ අැරුණු වෙලාවට වටේ යනවා. ලයින් එක දාන්න. එක දවසක් යනවිට ස්ටයිල් කොල්ලෙක් එක්ක මේ ළමයා කතා කරකර ඉන්නවා. කොල්ලා පාසල් ගිහින් ඉවර වුණ කෙනෙක්. මට බෑ ඔහු එක්ක හැප්පෙන්න. හරිම වේදනාවකින් ඒ අාදරයත් නිමා වුණා.   


ඔය විදියට බූට් කාලා ප්‍රථම ආදරයක් දිනාගත්තේ කොළඹට ආවට පස්සේ නේද?   


ඔව්. කොළඹ ඇවිත් නළු​ෙවක් වෙන්න දුක් වින්ද කාලයේ තමයි ඇය මට හමුවුණේ. එතකම් මම කෙල්ලෙක්ට ලව් කරලා තිබුණේ නෑ. ප්‍රථම ආදරය තමයි ඒක ලස්සන ගැහැණු ළමයෙක්. මම එයා දැකලා එයාට යෝජනා කළා. ‘‘මම ඔයාට ආදරෙයි’’ කියලා. එයත් ඒක පිළිගත්තා. අපි පාන්දර තමයි හම්බවෙන්නේ. මා පිළිකන්නේ පැත්තෙන් ඇවිත් ඇය හමුවෙනවා. අපේ ආදරය හරිම පිවිතුරුයි. ප්‍රේමය නම් සඳ එළියසේ අචින්තයි වගේ තමයි රාගයෙන් තොර මම රාගය ගැන සිතුවේ නෑ. අපි සිප වැළඳැගනීම් තිබුණා එච්චරයි. එතනින් එහාට ගියේ නෑ. ඒ ආදරය ඔහොම දිගට ගියා.   


මේ සම්බන්ධයට මගේ ඥාතීන් විරුද්ධ වුණා. ඒ විරුද්ධත්වය උඩ අපි දෙන්නට පොඩ්ඩක් අයින් වෙන්න වුණා. ඒ අයින් වීම තිබුණත් මම හොරෙන් හොරෙන් ඇයට ආදරේ කළා. නමුත් මගේ කලා ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් එක්ක මෙයා යාළුවුණා. ඊට පස්සේ බොහොම දුකක් මට ඇතිවුණා. මගේ ප්‍රථම ප්‍රේමය දුක්මුසුව ඉවර වුණා. ඊට පස්සේ අද ජනප්‍රිය නළුවන්ගේ බිරින්ඳෑවරු පවා මට ලව් කළා. ඒවා කියන්න අපහසුයි.   
ඔබ ඊට පස්සෙ ජනප්‍රිය නිවේදිකාවක් මෙන්ම රංගන ශිල්පිනියකට ද ආදරය කළ බව දැනගන්නට ලැබුණා. ඇත්තටම ඒ ප්‍රේමයට මොකද වුණේ.   


ඔබ ඒ පිළිබඳව දන්නේ කොහොමද? ඒ කතාව හරි හැබැයි ඒ ප්‍රේමය තිබුණේ දවස් 2 ක් විතරයි. ඇය එතකොට හරිම ලස්සනයි. හැබැයි ටිකක් කළුයි. මම එයාට ලියුම් ලිව්වා. ඒ ලියුම් තවමත් එයා ළඟ තිබෙනවාලු. මම නුවරඑළියේ සිට පැමිණි අහිංසක තරුණයෙක්. මම ඔයාට ආදරෙයි කියලා ලියුම් ලිව්වා. එයාත් මට කැමැති වුණා. අපි දෙන්නා ලුම්බිණියේ නාට්‍යයක් බලන්න ගියා. නාට්‍යය බලල එළියට එනකොට වැස්සක් වැටෙනවා. මේ කෙල්ල ළඟ කුඩයක් තිබුණා. කෙල්ල කුඩය ඉහළගෙන යන්න හදනවා. ඉස්සරහින් මගේ යාළුවෙක් වන නාට්‍ය නිෂ්පාදකයෙක් ගියා. අැය එක පාරටම ඔහුට ‘‘අයියේ එන්න මේ කුඩේ යටට’’ කිව්වා. එහෙම කියලා ඔහු ඒ කුඩය යටට ගිහින් දෙන්නා හොඳටම දොඩමළු වී යනවා. මාව මගහැරුණා. මම බලාගෙන ඉන්නවා. මාව අමතකයි. මේ දෙන්නා යනවා. දැන් බස් හෝල්ට් එකට ආවා. මම තෙමීගෙන ඇවිත් ඇයට කිව්වා අදින් පස්සේ ඔයාගෙයි මගෙයි ආදරේ නෑ කියලා. එහෙම කියලා මම ගියා. එතනින් ඒ ප්‍රේමයත් ඉවරවුණා. එක දවස් දෙකේ අපූරු ප්‍රේමයක්. 

 
ඔබ පස්සේ හොරණ පැත්තේ ගෙදරකට ගිහින් ගැහැණු ළමයෙක්ට ආදරේ කරන්න නැවතුණා කියලත් ආරංචියි. ඇත්ත ද ඒ කතාව?   


ඔව්. ඒ කතාවත් හරිම සුන්දරයි. මට හොරණ පොකුණුවිට පාරේ ඉන්න ගැහැණු ළමයෙක්ගෙන් හරියට ලියුම් එනවා. හරිම ලස්සන ලියුම්. ඒ ලියුම්වල තිබුණු අත් අකුරුත් ලස්සනයි. මම මේ කියන්නේ 1975 වසරේ මුල හරියේ. මේ ලියුම්වල තිබුණු අදහස්වලට මම සිතුවා ඇය තමයි මගේ හිමිකාරිය කියලා. මම බඳින්නේ මෙයා තමයි කියලා දවසක් මෙයා සොයාගෙන මම පොකුණුවිට ගියා. එයා එතකොට ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් නෑ. එයාගේ තාත්තා තමයි මාව පිළිගත්තේ. එතකොට මම ජනප්‍රිය නළුවෙක්. තාත්තා එක පාරටම මාව දැකලා ‘අයියෝ මගේ දුව ඔයා දැක්කොත් මැරෙයි එන්න එන්න’’ කියලා කිව්වා. ටිකක් වෙලා යනකොට ඒ ගැහැණු ළමයා පාසල ඇරිලා ගෙදර ආවා.   


හරිම ලස්සනයි. එයා එකපාරටම මාව දැකපු ගමන් පුදුම වුණා. තව නූලෙන් පොත් ටික බිමට වැටෙනවා. ඒ තරමටම විස්මයට පත්වුණා. එතකොට මම හොඳම නළුවා විදිහට සම්මානයක් ලැබිලායි තිබුණේ. ඒකත් අරගෙනයි ගියේ. ඒ ළමයා කිව්වා ‘‘අපි සම්මානයක් ගන්නවා පත්තරෙන් දැක්කා’’ කිව්වා. මම කිව්වා මේ තිබෙන්නේ ඒ සම්මානය කියලා. එයාට හරිම සතුටුයි. මම එදා සිතුවා මෙයා තමයි මගේ ඉරණම්කාරී කියලා. එයා මාව හරියට අගය කරනවා. එයා ඉඳගෙන මාත් එක්ක කතා කරනවා. එයා ඊට පස්සේ මම කිව්වාම කෑම ටිකක් අරගෙන මා ළඟට ඇවිත් කතා කරනවා. මට කතා කරන්න දේවලුත් තිබෙනවා. එයාටත් කතාකරන්න දේවල් තිබෙනවා. අපි හරිම යාළුවෝ වුණා.   


දැන් ගොඩාක් හවස් වුණා. ‘‘මම දැන් යන්න ඕනෑ’ කිව්වාම ‘අනේ යන්න එපා තාත්තේ මේ යන්න හදන්නේ’ කියලා ඇය කියන්න ගත්තා. තාත්තයි අම්මයි කිව්වා අද ඉඳලා හෙට උදේ යන්න කියලා. මම හිතුවා දැන් ඉතිං මගේ මුළු අනාගතයම මෙතන තමයි කියලා. ඊට පස්සේ මට කාමරයක් දුන්නා. අපි රෑට කෑමත් කාලා හිටියත් එයා එක දිගට මාත් එක්ක කතා කරමින් ඉන්නවා. අම්මයි තාත්තයි නිදි කිරා වැටෙනවා. රෑ 11 වනතුරු කතා බහ හරිම සුන්දර කතාබහක්. පස්සේ නිදිමත හින්දා එයාට නිදාගන්න යන්න කිව්වා. මොකද පහුවදා ඉස්කෝලේ යන්නත් තිබෙන හින්දා.   


එතකොට ලයිට් එහෙම තිබුණේ නෑ. හැබැයි ඒ ගෙදර හරිම ලොකුයි. පහුවැනිදා නැගිටලා මම යන්න ලෑස්ති වෙනවා. එයා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා. එතකොට මෝටර් සයිකලක පොඩි ගැටවරයෙක් ආවා. ඇවිත් එයා එක්ක කතා බහ කරලා ගියා. ඊට පස්සේ ‘‘යමු මාත් එක්කම කියලා’’ ඇය මා සමග පාරට ආවා. අපි කතා කර කර යනකොට ‘‘මම ඔයාට ආදරෙයි’’ කියලා මගේ අදහස ඇයට ඉදිරිපත් කළා. එයාගේ ඇස්වල කඳුළු පිරුණා. එයා කිව්වා අර මෝටර් සයිකලෙන් ආව කෙනා ඔයා දැක්කා නේද? ඒ මගේ මස්සිනා. එයාව මට බන්දන්න තීරණය කරලයි තියෙන්නේ’’ කිව්වා. මට පුදුම ශෝකයක් ඇතිවුණා. ඒ ප්‍රේමය හරි ගියේ නෑ. ඒක හරිගියා නම් මම හිතනවා එය බොහොම සුන්දර ආදරයක් වේවි කියලා.   


ඔබේ කතාවලින් පේන්නේ හැම තිත්සෙම ගැහැණු ළමයින්ගෙන් බූට් කාලා තිබෙන බවයි. එහි දී ඔබට මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ.   


මම කල්පනා කළා, ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. මොකද මට හිත ගිය සියලු දෙනා මා හැරගියා. පස්සේ අන්තිමේ දී මම රඟපෑම් පන්තියක් කළා. එය කරද්දී එයට ක්ලීටස් මෙන්ඩිස්, උදයකාන්ත වර්ණසූරිය වැනි අය ආවා. මමත් එතකොට තරුණයි. 1975 දී මම හොඳම නළුවා වූ හින්දා රඟපෑම් උගන්වන්න කියා මට කිව්වා. රැපියල් 100 ක් තමයි ලැබුණේ. පන්තියේ හිටියා ලස්සන ගැහැණු ළමයෙක්. මට මෙයා ගැන ලොකු පැහැදීමක් ඇතිවුණා. එයා අම්මා එක්ක පන්තියට ආවේ හරිම ලජ්ජයි. මම එයාගෙන් ඇහුවාම අම්මාගෙන් අහන්න කිව්වා. මම අම්මාගෙන් ඇහුවාම ගෙදරින් ඇවිත් අහන්න කිව්වා. ගෙදර ගිහින් ඇහුවා. සහෝදර සහෝදරියෝ ඇයට සිටියා.   


ඒ අය මුලින්ම මගෙන් ඇහුවේ මොකක්ද රස්සාව කියලයි. මම කිව්වා නළුකම රඟපෑම කියලා. ‘අයියෝ ඒකත් කරලා ජීවත් වෙන්න පුළුවන්ද? රස්සාවක් සොයාගන්නකෝ කියලා ඔවුන් කිව්වා. මම කිව්වා ‘‘මගේ වෘත්තිය නළුකම, මම සම්මාන ගත්තේ ලොකු නළු නිළියෝ පරද්දලා. මට අනාගතයකුත් තිබෙනවා මෙකෙන් ගි​ෙයා්ත්. ඒ හින්දා මේ රස්සාව මට හොඳයි කියා. කොහොම හරි මේ ආදරය මාස ගණනාවක් ගියා. මේ අතරේ ගලෙන්බිඳුණුවැව චිත්‍රපටයක රූගත කිරීමකට මම ගියා. ඒ චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ හොඳම ගැහැණු ළමයත් එතනට ඇවිත් සිටියා. ඒ ගැහැණු ළමයා මට සමීප වෙන්න ගත්තා. මට වැටහෙනවා ඇය මට ආදරේ වගේ කියලා. හැබැයි මම කෙනෙක්ට ආදරේ කරද්දී තව ආදරයක බැඳෙන්නේ නෑ මොකද මට දැන් කෙනෙක් ඉන්නවානේ.   


මට එතන දී රවින්ද්‍ර රන්දේණිය කිව්වා අපොන්සු ‘‘මේ කෙල්ල උඹට හරි ආදරෙයි. උඹ දන්නවාද තෙල් මෝල් පොල් මෝල් තියෙන සල්ලි කඳක්. මේ කෙල්ලට කැමතිවෙයන්’’ කියලා මට කිව්වා. ‘‘ නෑ රවි අය්යා මම ආදරය කරනවා දුප්පත් කෙල්ලෙක්ට’’ කියලා. ඒ නිසා මම ඇයට ළංවුණේ නෑ. කොහොම හරි අර රඟපෑම් පන්තියේ සිටිය ගැහැණු ළමයා මට බඳින්න සිද්ධ වුණා.   


ඔබ විවාහ වුණත් ඒ විවාහය දිගටම ගෙනියන්න බැරිවුණා නේද?. ඇයි එහෙම වුණේ ඔබගේ වරදක් හින්ද ද? නැත්නම් ඇයගේ වරදක් හින්දද?   


1978 වන විට විවෘත ආර්ථීකය පැමිණි කාලයේ. අපි ඒ වන විට සිනමාවෙන් ලස්සන ජීවිත ගත කරන කාලේ. ජනප්‍රියත්වයේ හිටියේ. මම මෙතනදී කාටවත් දොස් කියන්නේ නෑ, මගේ රැකියාව රංගනය. මම ප්‍රේම කරපු කෙල්ලගේ අක්කා දරුණු විදිහට මට කිව්වේ රස්සාවක් කරන්න කියලයි. ආර්ථික ප්‍රශ්නත් එන්න එන්න ආවා. සිනමාවේ වැඩ නැතිවෙන්න ගත්තා. වැඩ නැතිවෙන කොට තමයි අපි දෙන්නට දරුවෙක් ඇතිවුණේ. මම මේ ඇත්ත කියන්නේ. දරුවාට පිටි පැකට් එකක් ගන්නත් බැරි තරම් මම අමාරුවෙන් පාසල් නාට්‍ය කරමින් රංගනය උගන්වමින් මේ නඩත්තුව ගෙනිච්චා. නමුත් ඒ අය කලාව විශ්වාස කරන්නේ නෑ. මට ලජ්ජා කරනවා. ඒ අතරේ ගැටුම් ගොඩාක් ඇතිවුණා. ඒ ගැටුම්වලින් අන්තිමේ දී උසාවි පවා යන්න සිද්ධ වුණා. එහෙම වෙලා අයින් වෙන්න සිද්ධ වුණා. පළමු විවාහය අසාර්ථක වුණා. හැබැයි ඒ කෙල්ලට මම දොස් කියන්නේ නෑ. මම වැරදි කියලවත් කියන්නේ නෑ.  


රංගන ශීල්පියෙකු ලෙස අපි රටේ පවතින විදිහ නිසයි අපි වැරැදිකාරයෝ වෙන්නේ. සල්ලි තිබුණා නම් කාර් බාර් තිබුණා නම් කවදාවත් අපි විවාහය අසාර්ථක වෙන්නේ නෑ. මෙතන ඇතිවුණේ ඒ ගැටලු තමයි. වෙන්වුණාට පස්සේ සාධාරණ මුදලක් මම ගෙව්වා. එය ලොකු ගණනක් ඒක ගෙවන්න මම මාර දුකක් වින්දා.   


ඊට පස්සේ ඔබ තවත් ආදරයක් පස්සේ යන්න ගන්නවා නේද? ඇයත් විවාහ කරගන්නවා. නමුත් ඒකත් අසාර්ථක වෙනවා නේද?   


ඔව්, ඔබ හරි මට ලස්සන ආදරයක් ලැබෙනවා. ඒ ආදරයට මම ඇත්ත කිව්වා. එයා මට බොහොම ප්‍රේම කළා. කොහොම හරි අපි දෙන්නා විවාහ වුණා. විවාහ වෙලා මම චිත්‍රපටයක් ‘රෑ රූ’ නමින් නිර්මාණය කළා. ඒ චිත්‍රපටය මම නිෂ්පාදනය කළේ ගේයි ඉඩමයි උගස් කරලා. එදා ක්‍රියාකාරී අධ්‍යක්ෂ මට චිත්‍රපටය රිලීස් කිව්වා. ඒ කාලේ බෝම්බ පුපුරණවා. 1999 දි විතර වගේ අසුබ කාලයක්. මටත් වැඩිය උසට තාප්පවලින් වටවූ ගෙයකුත් හදලා දෙවැනි විවාහයක මම හිටියේ. ඒ ගෙය බැංකුවට උගස් කරලා චිත්‍රපටය කළේ. මගේ බිරිඳ චිත්‍රපටයට කැමැති වුණේ නෑ. ගැටුම් නිතරම ඇතිවුණා. අපට ඇමරිකාවේ යන්න සිද්ධ වුණා. ඇමරිකාවේ ගිහින් බිරිඳ ආපහු ලංකාවට එන්න බැහැ කිව්වා. එයා නැවතුණා. මට කලකිරුණා. මම කිව්වේ ප්‍රශ්න තිබෙනවා කලාකරුවන්ට ඔබ මාත් එක්ක එන්න ඕනේ කියලා. එයා බැහැ කිව්වා. අන්තිමේදී එවයාගෙන් වෙන් වුණා. එයා ඇමරිකාවේ ඉන්නවා.   


ඔබ තුන්වැනියට විවාහ වෙන්නේ ගොඩාක් වයසින් බාල තරුණ කෙල්ලක් එක්කයි. නිරූපිකාවක් නේද ඇය. ඇයි ඒ විවාහයත් ඔබ කඩාකප්පල් කරගත්තේ?   


මට ලැබුණු හැම ආදරයටම වැඩිය තුන්වැනියට හමුවූ ඇය ආදරේ කළා. ක්‍රිකට් මැච් එකකදී තමයි ඇය මට හමුවුණේ. එයා නිළියක්ම නොවෙයි. මොඩ්ල් කෙනෙක්. එයා මගේ ජීවිතයට ඇතුළු වුණා. මගේ මේ නැතිබරිකම් ෆිල්ම් එකේ ණය ගෙවාගන්න ගේ දොර උගස් කරලා විකුණන තත්ත්වයට ඇවිත් එතකොට හිටියේ. ඒකට උදව් කළෙත් එයා. මට වඩා ගොඩාක් ඇය බාලයි. එයා මට පුදුම ආදරයක් දැක්වූයේ. මම යන කාර් එක පොඩියි කියලා එයා ලොකු එකක් ගන්න එයාගේ ගෙදරත් වික්කා. විකුණලා තාත්තාගෙන්ද සල්ලි ඉල්ලලා වාහනයක් ගත්තා. එයාගේ තාත්තා අම්මාත් මට කැමැති වුණා. අපි විවාහ වුණා. අපි සන්තෝෂයෙන් විවාහ දිවිය ගත කළේ. එයා මට කියන්නේ බබා පැටියෝ කියලයි. ඒ තරමට ආදරෙයි. ඉඳිකට්ටයි නූලයි වගේ හිටියේ.   


මේ අවුරුදු 12 තුළ එහෙමයි අපි හිටියේ. පොඩි සිද්ධියක් හින්දා සැකයක් මතුවෙලා ප්‍රශ්න ආවා. මගේ පළමු කසාදයේ පුතා විවාහ වෙන දවසේ ඔහුගේ යාළුවෝ ඇවිත් කිව්වා ‘‘අන්කල් ඔයාගේ පුතා බඳිනවා. ඒකට තාත්තා වශයෙන් එන්න බැරිද’’ කියලා. එතකොට නාට්‍යවලට මට උදව් කරන්නේ එයා. ඇය එවෙලේ ස්ටේජ් එකේ හිටියේ. මම කිව්වා ‘‘පුතා මම දැකලා නෑ. අවුරුදු ගාණකින් අර ඉන්නේ මගේ වයිෆ් එයා ඒකට කැමැති නෑ’’ කියලා ළමයි යනකොට දුකත් හිතිලා අඬගහලා පුතාට දෙන්න කියලා පොඩි මුදලක් දුන්නා. හැබැයි එතන කලාකාරයෙක් හිටියා. නම කියන්නේ නෑ. ඊට මාස 4 කට පස්සේ ඇය අඬාගෙන ඇවිත් කිව්වා. ‘‘මම දන්නවා ඔයා කවදා හරි පුතා ළඟට යනවා. මුල් වයිෆ් ගාවට යනවා ඔයා පුතාට රුපියල් ලක්ෂයක් දුන්නා නේද?’ කියලා. මම කිව්වා ඒක බොරු කතාවක් කියලා. සමාවෙන්න මට ඒක කියන්න බැරිවුණා කියලා කිව්වා. මම දුන්නේ මෙච්චරයි ලක්ෂයක් දුන්නේ නෑ කිව්වා. ඊට පස්සේ ඕක මෙයාට .................. වුණා. එයා වරින් වර මේකමට මතු කළා. ඔහොම ඉඳලා මම ගෙදර යනවා කියලා එයාගෙන් වෙන්වුණා. එයා අද විවාහ වෙලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. හැබැයි පුදුම ආදරයක් තිබුණේ. එයා මාව දාලා ගියාට පස්සේ දවසක් කෝල් කරලා කිව්වා. මගේ කණ්ණාඩිය කැඩුණු හින්දා ඒක හදාගන්න අහවල් තැනට යන්න එයා සල්ලි ගෙවන්නම් කියලා. මට දුකු හිතුණා. ඒක පුදුම ආදරයක්.   


ඇත්තටම ඔබට නිළියන් එක්ක ආදර සබඳතාවක් ඇති කර ගන්න බැරිවුණේ ඇයි‌ ? ඔවුන්ට ඔබ ඇල්ලුවේ නැද්ද? නැත්නම් ඔබ නිළියන්ට කැමැත්තක් දැක්වූයේ නැද්ද?   


ඒ කාලයේ ලස්සන නිළියො හිටියේ. පුදුම වැඩේ කියන්න මට නිළියන් අප්‍රමාණ හමුවුණත් ඔවුන් එක්ක එකට වැඩ කරන්න ලැබුණත් ආදරයක් ඇතිවුණේ නෑ. ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක් එක්ක මගේ සබඳතාවක් තිබුණේ නෑ. මම කිසිම නිළියක් එක්ක ප්‍රේම සබඳතාවක් ඇතිකරගත්තේ නෑ. ඔවුන් මට ආදරය කරන්න ඇති නමුත් කවුරුවත් මගේ මූණට ඇවිත් කිව්වේ නෑ.   


ඔබ පසු කාලයේදී යළිත් මුල් විවාහයේ බිරිඳ ළඟට ගියා නේද? එහෙම වුණේ ඇයි.?   


ඒක වුණේ ඔවුන් මට කතා කළා මම ගියා. හැබැයි මම ගියාම ඒ මුල් ආකල්පය ඒ කියන්නේ නළුවා, කලාකරුවා කියන එකට වඩා ඇමරිකාවේ යමු කියන තැන තමයි හිටියේ. පස්සේ අපි ඇමෙරිකාවට ගියා. ලංකාවට එන්න බැහැ කිව්වා. ජොබ් එකත් කරන්න ඕනෑ කිව්වා. ඉයාලට ඉන්න කියලා මම ලංකාවට ආවා. එයාලගෙන් අයින් වුණා. ඒ සියලු දෙනාට මම වෛර කරන්නේ නෑ. ඒ අයට මම ආශිර්වාද කරනවා.   


ඔබගේ මේ සබඳතා බිඳී යන්නේ ගැහැණු ගති ඔබ තුළ තිබෙන නිසා කියලයි සමහරු කියන්නේ. මොකක්ද මේ කතාවේ තේරුම.   


ගැහැණු ගති තිබෙනවා නම් කිව්වොත් මම නපුංසකයෙක් වෙයි. එහෙම නොවෙයි. චරිතවලට ගැහැණු වුණාට මම නියම පිරිමියෙක්. තුන්වැනි විවාහක බිරිඳට මම ගෙරෙව්වේ නැත්නම් නින්ද යන්නේ නෑ. මම ගොරවනකොට තමයි ඒ සනීපයට ඇය නිදාගන්නේ. විවාහ ජීවිතේ පැත්ත ගත්තොත් ඒක උපරිමයි. ඒවායින් කිසිම අඩුවක් නෑ, මගේ කසාද තුනම පොඩි දේවල් හින්දයි නැතිවුණේ. හැබැයි ආදරය උපරිමයි. තවමත් මට ඒවා මතක් වෙනවා. මට දැනුත් ඉන්න බැහැ. ආදරය මට අවශ්‍යයි. තුන්වැනියා මාව ගොඩක් ඉදිරියට ගෙන ගියා. එහෙම කියලා මම සල්ලාල ජිවිතයකට නැඹූරු වුණේ නෑ.   


ඔබගේ පුතා ඊට පස්සේ හම්බ වුණේ නැද්ද?   


නෑ. ඔහු හොඳ පුතෙක්. ඔහු දැන් විවාහ වෙලා දරුවොත් එකක් ඇමරිකාවේ ඉන්නේ. මම බලන්න ගියොත් අම්මාව හම්බවෙනවා. ඒකට මම බයයි. ඉතිං ඒ හින්දා යන්නෙ නෑ. ඔහුත් සතුටින් පවුල් ජීවිතය ගත කරනවා.   


ආදරය හා ලිංගිකත්වය පවුල් ජීවිතයට කො​හොමද බලපාන්නේ කියා ඔබ සිතන්නේ? 

 
ප්‍රේමය සඳ එළිය සේ අචින්තයි. කියනවානේ. ඇත්තටම ආදරයෙන් ගොඩ නැගෙන රාගය ලිංගිකත්වය එය වර්ධනයට ගොඩාක් බලපානවා. ඒක මම අත්දැකීමෙන් දන්නවා. දෙන්නාගේ ආදරය තුළින් තමයි රාගය ඇතිවෙන්නේ. ඒ රාගය ලිංගිකත්වය අපේ බැඳීම තවත් ශක්තිමත් කරන බැඳීමක් වෙනවා.   


ඔබ තුන්වරක් විවාහ වූ අයෙක්. මේ විවාහ ජීවිතය පිළිබඳව ද ආපසු හැරී බැලීමේ දී ඔබට මොකද සිතෙන්නේ.   


විවාහය හරිම සුන්දර දෙයක්. විවාහයේ දී දෙන්නාට දෙන්නා නීති දාන්න ඕනෑ නෑ. මම කැමතිත් වයසට යනතුරු ආදරයෙන් විවාහ ජීවිතය ගෙනියන්නයි. මට විවාහ ජීවිතය තවම එපා වෙලා නෑ.   


ඒ කියන්නේ ඔබ තව විවාහයක් කර ගන්නත් දැන් කැමතියි කියන එක නේද?   


ඔව්. කොල්ලෙක් ළඟදී දිවි නසාගෙන මැරුණා නේද කෙල්ලෙක් බූට් එකක් දුන්නා කියලා. එහෙම නම් මම තුන්පාරක් බෙල්ලේ වැල දාගන්න ඕනේ නේද? විවාහය කියන එක හරිම උත්තරීතර දෙයක්. හරිම ෂෝක් තවම වේකන්සියක් තිබෙනවා. ඉදිරියේදී මොනවා වෙයිද දන්නෙ නෑ. ‘‘ලිවින් ටු ​ෙගදර්’’ තුළ ආදරයෙක් නොවෙයි තිබෙන්නේ එතන තිබෙන්නේ මිනිහාට සර්වන්ට් කෙනෙක් හිඳීමයි. මුදලට සියල්ල සිදුවෙන්නේ. ඒක ආදරය විවාහයක් නොවෙයි. ඒ රැකියාවක්. ඒ රැකියාවේ පඩි දෙන්න මම ලැස්ති නෑ.   


ඔබට වයසින් බාල කෙනෙක් ආපහු විවාහ යෝජනාවක් කළොත් මොකද කරන්නේ?   


ඒක මට ගැලපෙන්නේ නැ කියා මා සිතනවා. ඊට වඩා ​මෝරන්න ඕනේ. මම තවමත් හිතින් තරුණයි. මගේ ආකල්පවලට ගැලපෙන කෙනෙක් වෙන්නත් ඕනේ. හැබැයි පොඩි කෙල්ලෙක් නම් නොවෙයි. වේකන්සියක් තිබෙනවා. තවම ඉල්ලුමක් නෑ, ඉල්ලුමට සැපයුම නම් තිබෙනවා. මා තරම් ආදරවන්තයෙක් තවත් නෑ කියලයි මට සිතෙන්නේ.   


අපොන්සු ප්‍රේමයෙන් මුසපත් වූ අනංගයෙක් යැයි මට සිතුණේ ඔහු ඒ කාරණා පිළිබඳව විවෘතව කතා කළ නිසාවෙනි. ඔබ සිතුවාට වඩා ඔහු කොතරම් ප්‍රේම කුරැල්ලෙක්ද ඉතිං හෙට දවසේදිත් ඔහු ඒ ආදරය සොයාගෙන යාවි. ඒ ආදරයට ඔහු ආදරය කරන නිසාය.

 

 

 

 

 

 

 

 

 

 

 

 


කතාබහ කළේ 
සමන්ත යහම්පත්

 



අදහස් (0)

මට විවාහ ජීවිතය තවම එපාවෙලා නෑ

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

තමන්ගේ පුතා උස්සාගෙන ගහින් මරා දමද්දී මනොරානී ඒක කොහොම දරාගන්න ඇතිද?... ස්වර්ණා මල්ලවාරච්චි
2025 පෙබරවාරි මස 06 37 0

“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.


තක්සලාවට දුෂ්ටකම් කළ ලූකස් මුදලාලි - ගිරිරාජ් කෞෂල්‍ය
2025 පෙබරවාරි මස 06 19 0

ක්ෂේත්‍රයේ හැම දෙනාටම ගිරා වන ගිරිරාජ් කෞශල්‍ය ආගමට දහමට ලොකු ළැදියාවක් දක්වන අයෙකි.


පිය සුවඳින් රසිකයන් පිනවන - තරංග නෙල්සන්
2025 පෙබරවාරි මස 06 18 0

මේ අමරණීය ගායන ශිල්පියා නිහාල් නෙල්සන් අපෙන් සමු අරගෙන දැනට අවුරුදු දෙකයි. ඔහුගේ පිය සටහන් ඔස්සේ යමින් රසික ආදරය දිනා ගැනීමට තරම් වාසනාවන්ත වූ ඔහුගේ එ


මාස්ටර් සර් වුණු විශ්ව
2025 පෙබරවාරි මස 06 21 0

වසර 17ක් පුරාවට කලාව හා සම්බන්ධ වෙමින් පුංචි තිරයේ අහිංසක ප්‍රේමවන්තයා ලෙස ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඔහු නමින් විශ්ව කොඩිකාරයි.


“ විසේකාරි ” හි වාසු මට ගොඩක්ම සමීප චරිතයක් - Ruvi Lakmali
2025 පෙබරවාරි මස 06 19 0

වෙළෙඳ දැන්වීම් ඔස්සේ ප්‍රේක්ෂක ආදරයක්, ආකර්ෂණයක් දිනාගත් ඇය ටෙලි නිර්මාණයකින් සිනමා තිරයෙන් හමු​ෙවන්නේ ඉඳහිට වුවත් - ඒ බොහෝ නිර්මාණ චරිතයන් ප්‍රේක්


කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි
2025 ජනවාරි මස 30 156 0

ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 19 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 104 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 823 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site