මා ඔයේ ඉවුරු දිගේ

සුදු රෙද්දක් වසා මා ඔයෙහි දිය කැපීමේ චාරිත්‍රය

මා ඔයෙහි දිය කපා නැවත ගොඩට ඒම

මා ඔය

 

 

අරණායක ප්‍රාදේශීය ලේකම් කලාපයේ පවතින සැලව රජමහ විහාරය සම්බන්ධයෙන් අප පසුගියදා තොරතුරු ඔබ හමුවේ තැබුවේ මා ඔය නිම්නයේ පවතින තවත් මෙරට ඓතිහාසික ස්ථානයක් ගැන සලකා ඒ මගින් මා ඔයට ඇති සම්බන්ධතාවත් ගැන සඳහන් කරමින්ය. එම විහාරයට දෙවැනි තවත් රජමහා විහාරයක් ඒ ආසන්නයේම පිහිටා තිබේ. සැලව රජමහා විහාරයට කිලෝමීටර් 2 ක් පමණ දුරකින් පිහිටා ඇති මෙම විහාරයේ පුරාණයේ සිට පවත්වාගෙන එනු ලබන ඓතිහාසික පෙරහරක් පවතින අතර එම පෙරහරේ දිය කැපීමේ චාරිත්‍රය අදටත් මා ඔය අාශ්‍රිතව සිදුවේ. දිය කපා උඩරට පහතරට නැටුම් කණ්ඩායම් සමඟ හේවිසි බෙර වාදන මධ්‍යයේ පෙරහරකින් රැගෙන එන පැන් කළය මැදිලිය රජමහා විහාරයේ ඇති ඉපැරණි කතරගම දේවාලයේ තබා දේව කන්නලව් කර පසු කලට වේලාවට ප්‍රදේශයට වැසි ලැබී ගොවිතැන් කටයුතු යන ආදිය සිදු කිරීමට ජලය ලැබුණු බව ​ෙම් කරුණු සොයා ගිය අපට දැන ගැනීමට හැකි විය.

   
දැනට වසර 100 කට පමණ ඉහතදී මැදිලිය රජමහා විහාරයේ පෙරහර පුරා සතියකට ආසන්න කාලයක් පවත්වා ඇති බව ජනප්‍රවාදයේ පවතින කථාවලින් දැන ගැනීමට හැකි වූ අතර රාත්‍රී පෙරහර අවසන් වීමෙන් පසුව දවල් පෙරහර පැවැත්වීමට පෙර මා ඔයෙන් දිය කැපීමේ චාරිත්‍රය අදටත් භක්තියෙන් එහි ආවතේව යනාදිය සිදු කරමින් පවත්වනු ලබනවා. දිය කැපීමේ චාරිත්‍රය සිදු කරන්නේ මැදිලිය රජමහා විහාරස්ථානයේ අවසන් රාත්‍රී පෙරහරින් පසුව. අලුයම දිය කැපීම සඳහා අලි ඇතුන් සහභාගි කරගෙන විහාරස්ථාන බිමේ ඇති කතරගම දේවාලයේ ආභරණ ද සමඟ අරණායක හොරේවල මා ඔය සහ කුඩා ඔය එකට එකතුවන “දෙල්කිඳවත්ත” නම් ස්ථානයට පෙරහරෙන් ගමන් කිරීමෙන් පසුවයි. එම පෙරහර කිලෝමීටර් 6 ක් පමණ දුරක් විහාරස්ථානයේ සිට ගමන් කිරීමෙන් පසු මෙම දිය කැපීමේ ස්ථානයට ළඟා වෙයි.   


ජනප්‍රවාදයේ පවතින කථාවලින් කියැවෙන්නේ මැදිලිය පෙරහර අවසන් වූ පසුව මැදිලිය විහාරස්ථානයේ පෙරහර ආරම්භ වීමට කලින් සිදු කරන කප් සිටුවීමේ මංගල්‍යයේ කප අලුත්නුවර දේවාලයට රැගෙන ගොස් එම දේවාලයේ ද පුරා මාසයකට ආසන්න කාලයක් පෙරහර මංගල්‍ය පවත්වා මා ඔයට සම්බන්ධවන හිඟුල් ඔයෙන් දිය කැපීමේ චාරිත්‍රය අවසන්කොට දහවල් පෙරහර පැවැත්වීමෙන් පසුව දින හතකින් මහනුවර දළදා මාලිගාව තෙක් එම කප රැගෙන යන බවයි. ඒම කප රැගෙන යෑමෙන් පසුව මහනුවර දළදා මාළිගාවේ කප් සිටුවීමේ චාරිත්‍රය සිදු කිරීමෙන් පසුව මහනුවර දළදා මාළිගාවේ පෙරහර මංගල්‍ය ආරම්භ වූ බව ද කියයි.   

 

මැදිලිය රජමහ විහාරයේ කප් සිටුවීමේ චාරිත්‍රය සිදුවන අවස්ථාවක්

 


අද ​ෙවන විට මෙම චාරිත්‍රය සිදු කිරීමේදී මැදිලිය විහාරස්ථානයෙන් එම ‘‘කප” අලුත්නුවර දේවාලය වෙත රැගෙන යෑම සිදු නොවන අතර අලුත්නුවර දේවාලයේ පෙරහර අවසාන කර දින හතකින් අලියා පිට පෙරහරකින් මහනුවර දළදා මාලිගාව වෙත කප රැගෙන යෑමේ චාරිත්‍රය අද ​ෙවන විට සිදු වෙනවා. නමුත් විවිධ කාල සීමාවන්වලදී දින වකවානු වෙනස් කරමින් මැදිලිය රජමහා විහාරයේ පෙරහර මේ වෙනවිට රාත්‍රී එක් පෙරහරකටත් දහවල් එක පෙරහරකටත් සීමා වී පවතී. පුරාණයේ මැදිලිය, අලුත්නුවර සහ කන්ද උඩරට ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර ආරම්භයටත් මා ඔය සම්බන්ධවීම සම්බන්ධයෙන් සහ ​ෙම් පිළිබඳ පුරාණයේ කලාතුරකින් අසා දැන ගැනීමට හැකි​ෙවන ක්‍රමයෙන් එම කට වහර යටපත් ​ෙවන කාලයක අපට “මා ඔයේ ඉවුරු දිගේ” ලිපි පෙළෙන් ඒ කතාවන්වලට ජීවයක් ලබා දෙන්නට හැකිවීම සම්බන්ධයෙන් අපට බොහෝ දෙනෙක් ප්‍රශංසා කර සිටියා. ඒ නිසාම අදත් අපි මා ඔය සම්බන්ධ කර ගත් කථා කිහිපයක් ගැන දැන ගැනීමේ අරමුණින් මා ඔය කුඩා ඔය සුරැකීමේ සංවිධානයේ සභාපති ගාමිණි ඇටම්පාවල මහතා සම්බන්ධ කර ගත්තා. එමෙන්ම මැදිලිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති බූවැලිකඩ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත ඉලුග්ගොඩ ඥානානන්ද හිමියන්ගෙන්ද තොරතුරු බොහෝමයක් මේ ලිපියට එකතු කර ගැනීමට හැකි විය.   


මුලින්ම අපිට අදහස් පළ කළේ ගාමිණි ඇටම්පාවල මහතායි. ඒ මහතා විසින් මා ඔය සම්බන්ධ බොහෝ දෙනෙකු අසා නැති විස්තර අපට කීවේ මෙලෙසිනි.   


ඇසළ මහා පෙරහර ඉතා උත්කර්ශවත් අන්දමට පෙර රජ දවස පටන් අද දක්වාම පවත්වාගෙන යනු ලබන උතුම් කටයුත්තක්. සතර කෝරළයට ආදාළ ​ෙවන පෙරහර සම්බන්ධව පෙර රජ දවස විශාල වගකීමකින් එම පෙරහර පවත්වා ඇති බව ජනප්‍රවාදයේ තාමත් පවතී. පෙරහරේ විවිධ කාර්යයන් ගමේ විවිධ පිරිස්වලට බෙදා දෙමින් සිදු කිරීම ද අතීතයේ සිට පැවත එන්නකි. එමෙන්ම මෙහි ඇති තවත් සුවිශේෂී දෙයක් ​ෙවන්නේ මැදිලිය හා සැලව රජමහා විහාරවල පැවැති පෙරහරවල්වලින් මා ඔය සම්බන්ධකොට ගෙන පුරාණයේ සිට මැදිලිය රජමහා විහාරයේ පෙරහර පවත්වා තිබීමයි.   


මැදිලිය විහාරයේ පවතින ඉපැරණි කතරගම දේවාලය සහ රංදිලිගම පුරාණ පත්තිනි දේවාලයත් (මැදිලිය විහාරස්ථානයේ සිට මීටර් 800 ක් පමණ දුරකින් පිහිටා ඇති දේවාලයක්) එක්ව කප් සිටුවා දින තුනක් දේවාලයේ අවට රාත්‍රී කුඹල් පෙරහර පවත්වා රාත්‍රී දේවාලය විහාර මළුව වටා පෙරහර පවත්වා අලුයම ගිනි පෑගීමේ චාරිත්‍රයෙන් (ගිනි පෑගීම සිදු කරන්නේ දේවාලය පිහිටි ස්ථානය ඉදිරිපිටයි) පසුව දිය කැපීමට සුභ නැකතකින් පිටත් වෙයි. හේවිසි නාදයෙන් පිටත්වෙන පෙරහරට බෙර පදයක් පවා රජ කල සිට නියම කර තිබෙන අතර අද වෙනවිට ද සමහර අවස්ථාවල එම බෙර පදය බෙර වාදකයන් විසින් එම අදාළ කටයුතුවලදී භාවිත කරනවා.   


“ඩේං කුටක් කුට දෙල්කිඳවත්තට” යනුවෙන් පාන්දර දේවාභරණ රැගෙන පෙරහර මා ඔය හා කුඩා ඔය එක්​ෙවන දෙල්කිඳවත්තට පිටත් වෙයි. ඔයට බැසීමට අඩි 12 ක පමණ පාරක් වෙන් කර තිබුණි. පාන්දර දිය කැපීමෙන් පසුව සැලව රජමහා විහාරයෙන්ද කුඩා පෙරහරක් පැමිණ පෙරහර හා එකතුවෙයි. ප්‍රදේශයේ මහජනතාවට පඬුල්ලන්නට අවශ්‍ය කටයුතු කර අරම හපුතොට ගෙදරින් පිරිනමන උදේ තේ වේල සහ දහවල් ආහාරයද ලබාදීම සිරිතක් වශයෙන් අද ​ෙවනතුරු පවතී. මෙය රජ කාලේ සන්නසකින් ලබා දුන් කටයුත්තක් බව පැවසුවත් එය ඔප්පු කර ගත හැකි වර්තමාන සාක්කි කිසිවක් දැක ගැනීමට නොහැකිය.   


දිය කැපීමෙන් පසු අලි, මා ඔයෙන් නාවාගෙන අලින්ද පඬුල්ලාගෙන දහවල් පෙරහරට සූදානම් වෙනවා. සැලව හා මැදිලිය රජමහා විහාරස්ථානවල පෙරහරවල් දෙකම එකට එකතුව රහල මළුවේ විහාරය හරහා කුඩා ඔය අසලට පැමිණ සැලව විහාරය දක්වාද මැදිලිය විහාරයේ පෙරහර මැදිලිය දක්වාද වෙන් වෙයි. අරම රජමහා විහාරය අසලදී සියලුදෙනා වෙනුවෙන් ඔසු පැන් දන්සලක්ද පවත්වයි. මේ එන අතරමගදී පඬුරු විශාල වශයෙන් පෙරහරට එකතු වෙයි. එය බොහෝවිට පෙරහරේ වියදම් සඳහා ප්‍රමාණවත් වූ බව පැරණි අය පවසති.   


පෙරහර ගෙට ගෙවදීමට පැමිණෙන අවස්ථාවේදී රහල මළුවේ විහාරය ද එක නැවතුම් පළකි. ගෙට ගෙවදීමට පැමිණෙන දහවල් පෙරහර මග දිගට ඒ ඒ ගම්මානවලදී මල් පැල් අටවා පඬුල්ලන කාර්යයේදී කපු මහත්වරු විසින් සිදු කරයි. මෙහිදී ගෙවදීමට එන ආපසු පෙරහරටත් බෙර පදයක් නියම කර ඇත.   


“යං උඩ ගෙට කොම්බු දෙකට” යනුවෙනි.   


ඉතා අලංකාරවත් ලෙස බෙර වයමින් බෙර හඬ පෙරහර අලංකාරව ගෙවදීම සඳහා මැදිලිය කතරගම දේවාලයට පැමිණෙයි. බෙර පදයේ උඩගෙට යන්නෙන් අර්ථවත් ​ෙවන්නේ “මැදිලිය කතරගම දේවාලය පිහිටි ස්ථානය බව සැලකේ” අනිවාර්යයෙන්ම දේවාලය හා විහාරය පෙනෙන මානයේ දේවාභරණ සහිත රන්සිවිගෙය තෙමෙන අයුරින් මල් වරුසාවක් ඇද ඇලෙන බව අපේ මුතුන් මිත්තෝ සඳහන් කර ඇත.   


මා ඔයේ දිය කපන ස්ථානයෙන් ලබා ගත් පැන් කළය දේවාලයේ තැන්පත් කළ දේව කන්නලව්වක් සිදු කරමින් කලට වැසි වසින්නත් කෙත් වතු සාර වෙන්නත් කියා කන්නලව්වක් කපුමහතා විසින් සිදු කරයි.   


මෙම චාරිත්‍ර ක්‍රමයෙන් නොකරන තත්ත්වය පත් වූ හෙයින් මා මේ චාරිත්‍ර පුළුවන් වශයෙන් සිදු කිරීමට සිතුවෙමි. පසුගිය වසරේ අප ප්‍රදේශයට විශාල නියඟයක් ඇති වී කුඹුරු කන්න දෙකක්වත් වැඩ කිරීමට නොහැකි විය. බීමට ජලය ළිංවල නැති විය. මා ඒ අනුව රංදිලිගම ස්වර්ණගිරි විහාරස්ථානයේ තල්ගස්යායේ ජිනරතන හිමියන්ගේ උපදෙස් අනුශාසනා පරිදි ඔය දෙක හා වෙන දෙල්කිඳවත්ත ස්ථානයට ගොස් අමු පෙරණයකින් හත් වතාවක් පෙරා ජලය බඳුනක් ගෙනවිත් ස්වර්ණගිරි ධාතු මන්දිරයේ තැන්පත් කර විහාරාධිපති හිමියන් විසින් සිදු කර පූජාවකින් පසුව මේ නියඟය දුරු වේවා කියා ප්‍රාර්ථනා කළා. මේ කටයුත්ත නිමවී මාසයකට පසු නියඟය තුරන්වී වැසි ලැබී කුඹුරු යායවල් සියල්ලම වැඩ කිරීමට හැකි විය.   


මෙසේ මැදිලිය රජමහා විහාරයේ පෙරහර අවසන් වූ පසු එම “කප” පෙරහරින් අලුත්නුවර දක්වා ගෙනවිත් අලුත්නුවර දේවාලයේ “කප සිටුවීම” සිදු කළ බව ඉතිහාසයේ සඳහන් ​ෙවනවා. 

 

 

 

 


මතු සම්බන්ධයි...

 

 


ජායාරූප හා සටහන මාවනැල්ල හෙම්මාතගම සමන් විජය බණ්ඩාර