නොපෙනෙන
   ලෝකය

 

රාවණා යුගයට පෙර පටන්ම, අදෘශ්‍යමාන බලවේග මිනිසුන්ට කරදර හිරිහැර කර ඇති බවටත්, එම බාධක මැඩ පවත්වා ගැනීම සඳහා ඔවුන් නොයෙක් යාග හෝම කළ බවටත් සාධක ඇත. බුදුන්වහන්සේ සූක්ෂම ශරීර ඇති, ඕනෑම තැනකින් ගමන් කළ හැකි, නොපෙනෙන, තන්මාත්‍ර ආහාර තන්මාත්‍ර ජලය (ආහාරයේ සියුම් කොටස්) ආහාරයට ගන්නා දේව, ප්‍රේත, භූත ආත්ම අප සමගම මෙම පොළෝ තලය මත ජීවත්වන බව පැහැදිලිවම දේශනා කළ සේක.   


එ් ඒ පුද්ගලයා විසින් කරන ලද කුසල කර්ම හේතුවෙන් උසස් දේව ආත්මවල උපදින බවද, අකුසල කර්ම හේතුවෙන් ප්‍රේත, භූත ආත්මවල උපදින බවද පැහැදිලිවම දේශනා කළ උන්වහන්සේ, ඒ සියලුම ආත්මවලට වඩා මිනිස් ආත්මය වටිනා බවද, මෙම කිසිම ආත්මයකට මිනිසුන්ට උදව් උපකාර නොකළ හැකි බවද, අවධාරණයෙන්ම පැවසූහ. නමුත් ප්‍රේත, භූත ආත්ම වලින් මිනිසුන්ට කරදර හිරිහැර සිදුවන බව පැවසූ උන්වහන්සේ, විශාලා මහනුවර ඇතිවූ තුන් බියෙන් එක් බියක් වූ අමනුෂ්‍ය බිය දුරුකිරීම සඳහා රතන සූත්‍රය ද භාවනාව පිණිස වනයට වැඩිය ස්වාමීන් වහන්සේලාට ඇතිවූ අමනුෂ්‍ය බිය දුරුකිරීම සඳහා කරණීය මෙත්ත සූත්‍රය ද දේශනා කළ සේක.   


​ෙලාව පුරා සෑම රටකින්ම වාගේ, ප්‍රේත ආත්මවලින් කරදර හිරිහැර සිදුවන බවත්, අවතාර හොල්මන් විටින් විට දර්ශනය වන බවත් වාර්තා වෙයි. ඩිජිටල් කැමරා කාචයක සඳහන් වන හොල්මන් අවතාරවල රූ සටහන් ද, අපට එක්වරම ඉවතලිය නොහැකිය. අපට අවශ්‍ය විටක මෙම හොල්මන්, අවතාර දැකිය නොහැකි අතර, ඉඳ හිට බලාපොරොත්තු නොවූ අවස්ථාවක දර්ශනය වීම, අපට එක් විටම ප්‍රතික්ෂේප කළ නොහැක්කේ, මා ද හොල්මන් දැක ඇති අතර හොල්මන් සමග කතාකර ද ඇත්තෙක් නිසාය. නමුත් එම දිනවල මා හොල්මන් අවතාර ගැන කිසිත් නොදැන සිටි බැවින් මසිතෙහි බියක් චකිතයක් ඇති නොවිණි.   
(26.05.2019 ඉරිදා ලංකාදීප, රසවිත අතිරේකය, සම්බුද්ධ ජයන්තිය දා මා දුටු අවතාරය) නමුත් අද මා විශ්වාස කරනුයේ එදා මා හා කතා කළේ යම් කිසි භූත බලවේගයක් විය හැකි බවය. එම අවධියේ විශේෂයෙන්ම පිරිමි අය පන්සලකට ගියත්, මළ ගෙදරක ගියත් ඇඳුම සුදු විය යුතු යයි කියා කටයුතු නොකළ අතර, ඇඳුමක් පිළිවෙළට අඳින අය සිටියේද අතළොස්සකි. නමුත් මට හමුවූ සියලුම පිරිමි අය සුදු ඇඳුම් ඉතාමත් පිළිවෙළට ඇඳ සිටියහ. අප ගමේ වැඩිහිටියන් සියලු දෙනාම පාහේ මා හඳුනන අය වුවත්, එම රාත්‍රී මට හමුවූ අය අතර, මා අඳුනන කිසිවෙක් නොවූහ.   


එම සිද්ධියෙන් පසු ​හොල්මන් අවතාර ගැන දැන ගැනීමේ කුකුසක් මා තුළ ඇතිවිය. මා මිතුරන්ගෙන් මේ ගැන විමසුවත් ඔවුන්ගේ දැනුම ද මාගේ දැනුමට සමාන විය. ඒ අප වැනි කුඩා ළමුන් ඉදිරියේ කිසි දින වැඩිහිටියන් හොල්මන් කථා නොකියන බැවිනි. අප නිවසට අල්ලපු නිවසේ විසූ සච්චක මුත්තා, රාත්‍රී කෑමෙන් පසු අප නිවසට පැමිණ අපේ මුත්තා, තාත්තා හා අම්මා සමග නොයෙක් අද්භූත කතා නිදිමත වන තුරු කීවේය. කතා කරනුයේ ඔහු පමණය. අපේ තාත්තා, මුත්තා හූ මිටි තබනවා පමණය.   
සර්ප වෙදකම හා කේන්ද්‍ර බැලීම කරන මොහු පවසන සෑම කරුණක්ම සැබෑ ලෙස අසන්නන් පිළිගත යුතුය. දිනක් ඔහුගේ ළඟදී මියගිය පියා දැනට දිව්‍ය ලෝකයේ දේව සභාවක බලවත් දෙවි කෙනෙකු වී ඉපදී ඇති බව පැවසීය. දිව්‍ය ආභරණ පැළඳ පළාතම එළිය කරමින් සෑම රාත්‍රියකම ඔහු හමුවීමට පැමිණ, ඔහු විසින් කළ යුතු සියලු කටයුතු සම්බන්ධව උපදෙස් දෙන බවත්, නිවැරැදි රෝග විනිශ්චයක් කළ යුතු ප්‍රතිකාරත් කියාදෙන බවත් පවසා නිතරම ඔහුට දේව පියාගේ බැල්ම ඇති බැවින් කිසිම අවතාරයකට, භූතයෙකුට, දිෂ්ටියකට ඔහුට කිසිම කරදරයක් සිදුකිරීමට නොහැකි බව පැවසුයේ ලොකු අයියාත්, මමත්, හොරාට සවන් දෙන බව නොදැනය.

   
මාගේ මව, පියා, මුත්තා, ආත්තා පමණක් නොව අසල්වැසි සියල්ලන්ම ද, හොල්මන්, අවතාර, යක්ෂ දිෂ්ටි හා කොඩිවින විශ්වාස කළෝය. කිසිවෙකු පාරක තොටක හෝ නිදි පැදුරේ අසනීපයක් නොමැතිව සිට හදිසියේ මියගිය හොත්, ගමේ වඩිහිටියෝ එක්ව මළ සිරුර පුරා පරීක්ෂා කර බලති. එක් සර්පයෙකු දෂ්ටකර ඇද්ද, යකා ගසා ඇත් දැයි සැක හැර දැන ගැනීමටය. සර්පයෙකු දෂ්ට කර ඇත්නම් දළ පහරවල් හා ඉදිමුම ඇත. දළ පහරවල් පරීක්ෂා කිරීමෙන් කුමන සතා දෂ්ට කර ඇද්දැයි කීමට ඔවුහු දැන සිටියහ. ශරීරයේ යම් ස්ථානයක දම් පැහැති පැල්ලමක් දුටුවහොත් ඒ යකා ගසා ඇති ස්ථානයයි. පැල්ලමේ විශාලත්වය හා වර්ණය අනුව, ගසා ඇත්තේ මහසෝනාද, රීරි යකා දැයි ඔවුහු තීරණය කළහ. ඉන් එහාට මරණ පරීක්ෂණ පැවැත්වූවේ නැත. වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු නොවූ, එම අවධියේ නහරයක් පිපිරී මියයාම සැලකුවේ යකා ගසා මියයාමක් හැටියටය.   
අද මෙන් නොව එදා සෑම ගෙදරකම, පඩි පෙළ මෙන් ළමයින් හතක් අටක් වත් සිටියහ. සෑම ගෙදරකම, සෑම දිනකම වාගේ ඉන් දෙතුන් දෙනෙකුවත් ​ෙසම්ප්‍රතිශ්‍යාව හා උණෙන් පෙළුණහ. නාසයෙන් කහ පාට හොටු කට තෙක් පෙරාගෙන බොල් හඬින් කසිමින් ජංගි කොටයක් පමණක් ඇඳ ගෙන, හිස නොපීරූ කකුල්වල මඩ තල්ලි පිටින් සිටි දරුවන් එකල සුලබ දසුනකි. අසනීප සෑම දරුවෙකුටම පළමු බෙහෙත් වේල අම්මා තම්බා දෙන ඉඟුරු, කොත්තමල්ලී වතුරය. ඇඟ රත්වී ඇත්නම් රෙද්දක් පොරවා ගෙන ජනෙල් දොරවල් වසා කාමරයට වී සිටිය යුතුය. උණු වතුර, කැඳ වතුර හෝ මෝල්ටඩ් මිල්ක් කොප්ප්යක් බඩ ගිනිවූ විට ලැබේ. ඉඟුරු කොත්තමල්ලි වලින් ගුණයක් නැත්නම් කළු වෙද මහතාගේ ගුලි, චූර්ණ හා කෂාය බීමට සිදුවේ. එයින් ද උණ අඩු නොවූයේ නම්, කට්ටඩි මුත්තා, අපේ ගමේ රාළහාමි කැඳවයි. ඔහු කහ මිශ්‍ර තෙල් මතුරා, හිසේ සහ නළලේ ගා කහ නූලක් කරේ බැඳ තුන් වරුවක් ආතුරයා තනි කොකරන ලෙස පවසා, තාත්තා අත මිට මොළවන රුපියල ද ගෙනයයි.   


රාළහාමි මුත්තා මටද, තුන් හතර වතාවක්ම තෙල් මතුරා ඇත. බෙල්ලේ මැතිරූ කහ නූල ගැට ගසන ඔහු අන්තිම ගැටය ගසන්නේ පෝඩා පෝ කියා හයියෙන් මූණට පිඹිමිනි. එවිට ඔහුගේ මුඛයෙන් එන පඩික්කන් සුවඳ දැනුදු මට දැනෙන්නේය. නමුත් උණ බැස ගොස් අපට සනීප වන්නේ එම තෙල් මැතිරීමෙන් අනතරුවය. සාමාන්‍ය උණක් පවතින කාලය දින තුන, හතරක් පමණය. අම්මාගේ කොත්තමල්ලි වල සිට තෙල් මතුරන දින වන විට එම කාලය ඉක්ම ගොස්ය. පරෙස්සම් වීමත් කාලය ඉක්ම යාමත් නිසා උණ බැස ගියද, අප සෑම විශ්වාස කළේ එය ​ෙතල් මැතිරීමේ හාස්කමක් ලෙසය.   
කළුවර වැටෙන්න ඉස්සර පොල් කටු පුච්චලා දුම් අල්ලන්න. ඔන්න පෙරේත ගඳ එනවා. සෑම ගොම්මනකම අපේ ආච්චි විලාප දී අපට අණ කරයි.   
මොකක්ද ආච්චි පෙරේත ගඳ කියන්නේ. මම ආච්චිට ළං වී ඇසුවෙමි.   


ඔය පිළිකන්න පැත්තට ගිහිල්ලා ටිකක් වෙලා ඉන්න, බලන්න මයියොක්කා තැම්බෙන ගඳක් එන්නේ නැද්ද කියලා.   
ඇත්තටම ටික වේලාවකින් මට ද එවැනි ගඳක් දැනුණි. අප නිවස පිහිටියේ මහ මුහුදට සැතපුම් බාගයක් පමණ මෙපිටිනි. අඳුර වැටෙත්ම මෙතෙක් සුළං හැමූ දිශාව වෙනස් වී ගොඩබිමින් මුහුදට සුළං හමන්නට පටන් ගනී. අප නිවසේ සියලු අපද්‍රව්‍ය කොස්කටු, වැල කටු, මාළු සේදු වතුර, ඉඳුල් සියල්ලම ද වැසිකිළි පාවිච්චි නොකරන ළමයින් තැන තැන දැමූ, ගොඩවල් ආච්චි උදැල්ලෙන් විසි කරන්නේ ද මෙම කසළ ගොඩටය. සුළං හැමීමේ දිශාව වෙනස් වීම නිසා, සුළං කසළ ගොඩ හරහා හමායන විට, මෙම දුර්ගන්ධය නිවස හරහා හමා යයි. දුම් ඇල්ලීමෙන් එම දුර්ගන්ධය ඉවත් වෙනවා නොව, ටික වේලාවකින් අප එම දුර්ගන්ධයට හුරුවීමෙන් අපට එම පෙරේත ගඳ නොදැනී යයි.   
අපේ ලොකු අයියා මල්ලීත්, මමත්, අක්කාත් පාඩම් කියා දීමට යයි පවසා ඔහුගේ කාමරයට කැඳවා, අම්මලාට හොරෙන් අපට හොල්මන් කතා කියාදුන්නේය. ඇසීමට බියජනක එම කතා ලොකු අයියා විටින් විට හඬ වෙනස් කරමින්ද, ඇස් ලොකු කර භයංකර විලාශයන් මවා පාමින් ද, කියන ආකාරයට අපි ප්‍රිය කළෙමු. අපි එකිනෙකාට ගුලිවී වෙව්ලමින් ඔහුට සවන් දුනිමු.   


ලොකු අයියා එක්වරම දිව එළියට ඇද, ඇස් ලොකුකර යටිගිරියෙන් අමුතු ගොරහැඬි හඬක් නැගූ විට, අක්කා බියවී කෑ ගසන්නට පටන්ගත්තාය.   
​ෙමාකද, මොකද, ලොකු ළමයා ඔය සද්දේ කියා ගෙන අම්මා එක්වරම දුව ආවාය.   
මේකිට තාම තුන් වරක් චක්කරේ හරියට කියන්න බැහැ. වරදින කොට බැන්නාම අම්මට ඇහෙන්න කෑ ගහනවා. අම්මා තමයි මෙයාව නරක් කරන්නේ. ලොකු අයියා කී විට අම්මා අක්කාට බැණ බැණ ගියාය.   


අද අපේ ස්කෝලෙ ළඟ සොහොන් පිට්ටනියේ මිනියක් වළ දැම්මා. රෑ දොළහට යක්කු, පෙරේතයෝ ඇවිත් ඔය මිනිය ගොඩ ගන්නවා. උන්ට ඕන ඕන හැටියට කෑළි කඩා ගන්නවා. එකෙක් අතක් ගලවා ගන්නවා. තව එකෙක් මිනියේ කකුලක් පාගගෙන අනිත් කකුල ගලවා ගන්නවා. උනුත් හරියට බල්ලෝ වගේ හොඳ හොඳ කෑළි වලට කෑ ගහහා රංඩු වෙනවා. එකෙකුට හදවත ඕන, තව එකෙකුට මොළේ ගලවා ගන්න ඕන. මහ කළු බඩ ගෙඩියක් එක්ක ඇස් රතු දත් ඉදිරියට නෙරා ආපු උසම උස යකෙක්, බොකු බඩ වැලක් ඇදල අරන් එතනම තියන්, ලේ බේරි බේරි කනවා. කරුමෙටවත් ඔය වෙලාවට මිනිහෙක් ඒ අසලින් ගියොත් ඒ මිනිහටත් කතා කරලා මස් කෑල්ලක් දෙනවා. එයා බය නැතුව ඒක අරගෙන ගිහිල්ලා පැඟිරි ගහක එල්ලලා යන්න ඕන. බය වුණොත් මිනිහ ඉවරයි. උන් ඒ මිනිහත් මරලා මස් අරන් යනවා.   
ලොකු අයියා දැකලා තියනවද එහෙම එල්ලපු මස් කෑලි මම ඇසුවෙමි.   


එල්ලපු මස් කෑලි නොවෙ. මට දීපු මස් කෑල්ලක් ගෙනල්ලා අර පල්ලෙහා දෙහි ගහේ එල්ලලත් තියෙනවා.   
ලොකු අයියාට බය හිතුණේ නැද්ද කොහොමද ඒක වුණේ අක්කා ඇසීය.   
මතකද ගිය ඉරිදා ඉස්කෝලේ මුත්තා වළලපු දවස, මම රත්නපුරේ ගිහින්ආවේ. මම දන්නේ නැහැ. එදා මිනියක් වළදාපු බව, ඒ නිසා මම එතනින් රෑ දොළහත් පහුවෙලා බය නැතුව ආවා. කව්දෝ එකෙක් එක පාරටම මගේ නම කියලා කථා කරා. බලනකොට මහ බඩ ගෙඩියක් එක්ක දත් ඉදිරියට ඇදිච්ච කොණ්ඩෙන් මූණට බාගෙට වැහුණු යකෙක්. මම දැනගත්තා මස් කෑල්ලක් දෙන්න තමයි කියලා මම බය නැතුව ගිහින් ඇයි මොකද? කියලා ඇහුවා.   
මේක අරන් පලයන් කියලා මස් කෑල්ලක් දුන්නා. මම ඒක ගෙනල්ලා අර පල්ලෙහා ​ෙදහි ගහේ එල්ලුවා.   
ඉතින් අපි දැක්කේ නැහැ නොවෙ එහෙම මස් කෑල්ලක් දෙහි ගහේ තියනවා. අක්කා කීවාය. මෝඩයා උන් මා පසසෙන්ම ඇවිල්ලා ඒක ආපහු අරන් යනවා. උන් මස් කෑල්ලක් දෙන්නේ බය කරන්න. මමත් බයවුණා නම් මාවත් මරල දැන් උන් ම​ගේ මසුත් කාලා ඉවරයි. ඊට පස්සේ අපි එතනින් තනියම යන්නේ නැහැ. කට්ටියම එකතු වෙලා ඒ ගොල්ලා බයවෙන ඒවා (කුණු හරුප) හයියෙන් කිය කියා තමයි යන්නේ.   


එකල ගමේ යමක් කමක් ඇති උදවිය මිනියක් වළලන විට විශේෂයෙන් කාන්තාවක නම් ඈ පාවිච්චි කළ මාල, වළලු, කරාබු කොණ්ඩ කටු, සාරි කටු, සියල්ල පළඳවා මිනිය වළදමනු ලබයි. අනේ උන්දෑ ඉන්නකම් ඕවට ආශාවෙන් හිටියේ. ඒවා එයාටම ගෙනියන්න දෙන්න යයි කියා ඒ සියල්ල සහිතව මිනිය වළලයි. මේ ආරංචිය ලබන ගමේ හොරු රාත්‍රී පැමිණ මිනිය ගොඩ ගෙන රත්‍රං බඩු සියල්ල ගලවාගනී. සමහර විට පෙට්ටිය ද ආපසු මිනී පෙට්ටි සාප්පුවටම විකුණයි. මෙම හොරු මිනිසුන් බියකිරීම සඳහා මෙවැනි කතා පතුරුවා හරිති.   


දිනක් අපේ අම්මාට සෑදුණු බඩේ අමාරුවකට කොතෙක් කළු වෙද මහතාගේ බෙහෙත් බිව්වද, ගුණයක් නූණෙන්, ආච්චි ගොස් ඌරුගමුවේ ගුරුන්නාන්සේ කැඳවාගෙන ආවාය. ඔහු එකළ පළාතේම ප්‍රසිද්ධ කට්ටඩි මහතෙකි. පැමිණි විගසම දෙහි යුෂ ටිකක් මතුරා ​ෙබාන්ට දී ආතුරයා, අතින්ම සහල් දමා බතක් පිසින්න අණ කළේය. බත ඉදෙන තුරු ආච්චි පිළිගැන්වූ තේ කෝප්පය බොමින්, පෙරදා රාත්‍රියේ මිනි වළක දපා, කුකුළු බිල්ලක් දී කොඩිවිනයක් කැපූ ආකාරය විස්තර කළේ අප සැම මවිතයට පත්කරමිනි.   
පිසුණු බත එළිය ඇති ස්ථානයකට ගෙන ගොස් හොඳින් පරීක්ෂා කර බලා, මේ ගෙදර ළඟදී කිසිවෙකු මියගියේ දැයි ඇසුවේය. ආච්චි ඇගේ දුව හින්නිහාමි ළඟදී මිය ගිය බව පැවසුවාය.   
එයා මළ පෙරේතියක් වෙලා මේ වත්තෙම ඉන්නවා. විටින් විට ආතුරයාගේ බඩට රිංගලා කරදර කරනවා. මම දැනට ඇප නූලක් දමන්නම්, ගුණ තිබුණොත් තොවිලයක් කරලා එයා ඉවත්කරන්න වෙයි.   


ඇප නූලෙන් අම්මාට ගුණ තිබුණෙන් තොවිලයක් කිරීමට තාත්තාට සිදු විය. තොවිලය දිනට පසු දින, අලුයම තාත්තා හීනෙන් බයවූවා සේම එක් වරම ඇඳෙන් නැගිට අම්මේ අම්මේ යයි ආච්චිට කතා කර, එයා ගියා, එයා ගියා හින්නිහාමි අර කඩුල්ල ළඟ අස්ප ඔළුවක් එක්ක අඬ අඬා ගේ පැත්ත දිහා බලං ඉඳලා, දීපු කෑම පිඟානත් අරගෙන ගියා. මම මේ පාන්දර හීනෙන් දැක්කා යයි තාත්තා කියත්ම, ආච්චි එක් වරම උඩ පැන හයියෙන් සිනාසී අත්පුඩි ගසමින්,   
අපේ ගුරුන්නාන්සේ වැඩක් කරොත් ඉතින් කිරි ගහට ඇන්නා වගේ තමයි, ඕකි ඉන්නකනුත් අපට වද දුන්නා. දැන් මැරිලා ගිහිල්ලත් අපටම වද දෙනවා යයි කීවාය.   
කොහේද ආච්චි ඒ නැන්දා ඉතින් යන්න ගියේ ? මම ආච්චිගෙන් ඇසුවෙමි.   
එයා සක්වළ ගලෙන් එහා, වෙසමුණි රජ්ජුරුවෝ ළඟට යනව. ආයි එයාට මෙහේ එන්න වරං නෑ.   
ජ්‍යෙෂ්‍ඨ පාඨශාලා විභාගයත්, උසස් පෙළ විභාගයත් අවසන් වන තුරුම අපට අම්මාගේ අණසකට යටත්ව ක්‍රියා කරන්න සිදුවිය. මාගේ උසස් පෙළ විභාගය අවසන් වන විටම වාගේ ලොකු අයියා, වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ ගිය බැවින්, මට ඔහුගේ ඉදිරිපස කාමරයත් පා පැදියත් හිමිවිය. විභාග ප්‍රතිඵල එනතුරු මම යහළුවන් සමග දිවා කාලයේ පා පැදියෙන් එහේ, මෙහේ ගියෙමි. මාතර නරගයේ තිබු සිනමා ශාලා දෙකේ පෙන්වනු ලැබු ඕනෑම චිත්‍රපටියක 2.30 දිවා දර්ශනය නැරඹුවෙමු. දිනක් එක් සිනමා ශාලාවක දිවා දර්ශනයෙන් පසු ආපසු එන අපට, අනිත් සිනමා ශාලාවේ තිබූ නැරඹිය යුතුම වූ චිත්‍රපටියක අවසාන දිනය අද බව දක්නට ලැබිණි. ඇඳිරි වැටීමට පෙර ගෙදර යා යුතුය. රාත්‍රී 9.30 දර්ශනය නැරඹීමට ගෙදරට හොරා ඒමට අපි කතාකර ගතිමු.   


එකල තාත්තා ගෙදර සිටියද, නොසිටියද රාත්‍රී 8.00 වන විට කෑම කා අවසන් කළ යුතුය. ඉන් පසු මුවන්පැලැස්ස අසා නින්දට යා යුතුය. ප්‍රවෘත්ති පටන් ගන්නා විටම ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාවිරහිත කරයි. වාසනාවට මෙදින තාත්තා ගෙදර සිටියේ නැත. අම්මා ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාවිරහිත කර, ලාම්පු නිවා නින්දට ගියාය. මම හොරෙන්ම පා පැදිය එළියට ගෙන කිසිම හඬක් ඇති නොවන සේ ගෙදරින් පිටවී ගොස් මිතුරන්ට එක්වී චිත්‍රපටිය නැරඹුවෙමි. ඇත්තෙන්ම එය නැරඹිය යුතුම වූ ඉතාමත් වටිනා සිනමා සිත්තමකි. දැනට ඩිස්කවරි නාළිකාවේ විකාශනය වන, එදා කිසි ලෙසකින් හෝ අපට දකින්නට නොලැබුණු සතුන්ගේ හා සොබා දහම පිළිබඳ අපූරු විග්‍රහයක් කරන අගනා චිත්‍රපටියකි. (Let Them Live) වෛද්‍යවරුන් හත් දෙනෙකු එකතුව පුරා වසර හතක විශාල මුදලක් වියදම්කර නිපද වූ සිනමා සිත්තමක් බව පසුව පුවත් පතක දුටුවෙමි. කැස්බෑවා වෙරළට පැමිණ වැල්ල හාරා බිත්තර දමා වළ වසා නැවත මූදට යයි. බිත්තර පුපුරා පැටවුන් එළියට එන දිනට හරියටම නැවත පැමිණ බිත්තර දැමු වළ හාරයි. වළෙන් එළියට එන පැටවුන් කැස්බෑවා කා දමයි. උගේ කටින් බේරී යන ස්ල්ප දෙනා ඉක්මණින් මුහුදට ගොස් ජලය සමග මිශ්‍ර වී නොපෙනී යයි. ටික දිනකින් බිත්තර දැමු ස්ථානයේ වරා පැළයක් පැළවෙයි. වටු කුරුල්ලා පිඳුරු තණකොළ එකිනෙක කටින් ගෙන උසම ගසක, අත්තක කූඩුව වියන්ට පටන්ගනී. නිදන කාමර, ගබඩා කාමර, බිත්තර රකින කාමර, වෙන්කර අව්වට වැස්සට සුළඟට මෙන්ම සතුරන්ගෙන් ගෙන් ද, ආරක්ෂා වන සේ කූඩුව වියා අවසන් කරනු ඉතා මනස්කාන්තා ලෙස විදහා දැක්වෙයි. එක්තරා පාළු දූපතක ප​ෙරවියන් වැනි කුරුල්ලන් ලක්ෂ ගණනක්, දූපත් බිම සම්පූර්ණයෙන්ම වැසී යන සේ එකිනෙකට ළංව බිත්තර දමා තිබේ. බත්තල් වලින් එන ගෝත්‍රික ජනයා පොලුවලින් ගසා හැකි තරම් බිත්තර පොඩි කර දමති. ඉන් පසු බිත්තර පෙට්ටි හත, අටක් පුරවා ගෙන යති. මල් පොහොට්ටුවක් ටිකෙන් ටික පිපී මලක් වන ආකාරය මනස්කාන්තය. සතුන් ද, ගස් වැල් ද, ජීවිතය පවත්වාගෙන යාම සඳහා මොන තරම් අරගලයක් කරන්නේ දැයි මනාව විදහා දැක්වෙන චිත්‍රපටියකි.   


ප්‍රධාන පාරෙන් හැරී අතුරු පාරේ අප නිවසට යන නියර තෙක් පා පැදියෙන් පැමිණිය හැකිය. අතුරු පාරේ සිට, වත්තේ කඩුල්ල දක්වා යා යුත්තේ අඩියක් වත් පළල නැති නියර මතින්ය. පා පැදිය ද තල්ලු කරගෙන නියර මතින් යාම අසීරු කටුයුත්තකි. දෙවිනුවර ප්‍රදීපාගාරයේ, තත්පර හයකට වරක් කැරකෙන ආලෝක ධාරාව සෑම දිනකම අපට මෙම නියර තරණය කිරීමට සහාය වෙයි. සතුන් පිළිබඳව සිතෙහි මෙතෙක් තිබූ අනුකම්පා සහගත සිතුවිලි, එක් වරම වෙනස්වූයේ, විහිදී යන යන අඳුරු ආලෝකයෙන් මා දුටු අද්භූත දර්ශනයෙනි. වත්තට ඇතුළු වන කඩුල්ල අසල කළු පාට උස අවතාරයක් සිට ගෙන සිටී. ආලෝකය විහිදී යන සෑම වාරයකම එම හොල්මන නොසෙල් වී සිටියි. හිස සිට පාදාන්තය දක්වාම තද කළු පාටට පෙනෙන උස ඡායාවකි.   


අවතාරයේ හිස හරි හැටි නොපෙනේ. අශ්ව ඔළුව එක්ක හින්නිහාමි නැන්දා ආයෙත් ඇවිද්ද? වත්ත හතර කොණ ආරක්ෂක මුට්ටි වළලා ඇති බැවින්, වත්තට ඇතුළුවීමට නොහැකිව කඩුල්ල ළඟ බලා ඉන්නට පුළුවන. මට බියක් හා තැතිගැන්මක් ඇතිවිය. නමුත් හින්නිහාමි නැන්දා ජීවත්වන කල අපට ඉතා ආදරයෙන් සැළකූ හෙයින් ඇයගෙන් හිරිහැරයක් වේයයි සිතිය නොහැකිය. කව්ද ඔතන? කව්ද ඔතන? මම ශබ්ද නගා දෙවරක් ඇසුවෙමි. ලොකු අයියා හොල්මන් බය වෙනවා. යයි කිවූ ඒවායින් මාදන්නා තුන, හතරක් ද කීවෙමි. නමුත් හොල්මන කිසිම වෙනසක් නැතුව රිටක් මෙන් සිටියි. හින්නිහාමි නැන්දා ආයිත් ආවද? මම නිර්භීතව ඇසුවෙමි. ඒත් කිසිම හඬක් නැත. කකුල් දෙක ටික ටික වෙව්ලන්නට පටන්ගනී. හිස කැරකෙයි. ආපසු යාමට ද නොහැකිය. අම්මාට කතාකිරීමට ද නොහැකිය. මම හෙමින් පහත් වී නියරෙන් පස් කුට්ටියක් කඩා ගෙන හොල්මනට දමා ගැසුවෙමි. පස් කුට්ටිය වදින බොල් හඬ මට ඇසුණි. නමුත් හොල්මන නොසෙල්වී සිටියි. මම නැවත පහත් වී ලොකු පස් කැටියක් ගෙන වේගයෙන් දමා ගැසුවෙමි. බොල් හඬ ඇසුණු මුත් හොල්මනේ වෙනසක් නොමැත. ගුටි කෑවත් අම්මට විලාප දී කතා කරනවා ඇර වෙන විකල්පයක් නැත. අම්මේ, යයි විළාප දීමට කට ඇරීමුත් ශබ්දය පිට වන්නේ නැත. උගුර කට වේලී ගොසිනි. අධික වෙව්ලීම නිසා සිට ගෙන සිටීම ද අපහසුය. පා පැදියත් සමග කුඹුරට වැටීමට පෙර මා කුමක් හෝ කළ යුතුය. මට එම නුවණ කොහෙන් ආව දැයි නොදනිමි. අමාරුවෙන් පා පැදියේ පසු පස රෝදය උස්සා ඩයිනමෝ එක දමා වේගයෙන් පැඩලය පෑගුවෙමි.   
දෙවියනේ මෙතියස් බාප්පා, මොකක්ද බාප්පා ඔය කරන වැඩේ. මම හොඳටම බයවුණා.   
ඔය ළමයා කොහේද මේ රාත්‍තිරි ඇවිදින්න යන්නේ. අම්මට කියලද ගියේ.   


අනේ බුදු බාප්පේ, අම්මට නම් කියන්න එපා. මොකද්ද ඔය ඇඳුම, බාප්පා මොනවද ඔතන කරන්නේ? මේක මේ පොලිසි​ෙය මල්ලි අහක් කරපු වැහි කබායක්. හීතලටයි, මදුරුවන්ටයි මේක හරි ජාති. මම හැන්දෑවට බැඳලා යන වක්කොඩ කව් ද එකෙක් හැමදාම කඩල වතුර පල්ලෙහා අරං යනවා. මේ කිරි වඳින ගොයමට වතුර ටිකක් හරවගන්න දෙන්නෙම නැහැ. මම එන්නේ ඌ තමයි කියලා හිතලා බලා හිටියේ. පුතා කතා නොකරන ආවා නම් මගෙන් කනව උදළු පාර. හා හා, ඔය ළමයා යන්න මම තව ටිකක් බලනවා.   
මෙයට දස වර්ෂ හය හතකට පෙර ගැමියා විශේෂයෙන්ම ගෙවිලිය අසනීපයක දී වෙද හෙදකම්වලට වඩා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විශ්වාස ක​ෙළ්ය. කට්ටඩි මහතෙකුගේ වචනය ඈ හිස් මුදුනින්ම පිළි ගත්තාය. ඒ අනුව වැඩ කටයුතු කිරීමට තම හිමියන් පොළඹවා ගත්තාය. නිතරම අසල්වැසියන් හා නෑදෑයින් අවිශ්වාස කළ ඈ, කොඩිවිනය ඉවත්කර ගැනීමට, වත්ත පිටිය ආරක්ෂා කරගැනීටම, මෙන්ම, බබා ලැබීමට පෙර රට යකුම නම් යාගයද, බබා ලැබී​ෙමන් පසු සන්නි යකුම නම් යාගයද, තම සැමියන් ලවා කරවාගැනීමට සමත් වූවාය. මේ නිසා එදා බෙර හඬක් නෑසුණ රාත්‍රියක් නොමැති තරම්ය. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් නිදහස් අධ්‍යාපනයේ ප්‍රගතියත් හේතුකොට ගෙන, ටිකෙන් ටික සමාජයෙන් ඉවත්වූ මෙම යාග හෝම ආදිය අද නැත්තටම වාගේ නැතිවී ගොස් ඇත.   


නමුත් අද ගැමියාට වඩා නාගරිකයා උසස් නිල තල දරන්නා පාලකයා දෙවියන්ගේ පිහිට පතා දේවාල කපුවන් පසු පස කෑම සුලබ දසුනකි. තිබෙන බලය රැකගැනීමට, නැවත බලය ලබාගැනීමට, විභාගය සමත්වීම, උසස්වීම ලබාගැනීමට දෙවියන් පසු පස ගොස් යාදිනී කියන්නන් ගෙන් ප්‍රසිද්ධ දේවාල පිරි ඇත. පාපකාරී ජීවිත ගතකර මිය පරලොව යන්නත් පහත් ප්‍රේත, භූත ආත්මවල ඉපිද මිනිසුන්ට හිරි හැර කරදර කරන බවත් පුණ්‍යවන්ත ජීවිත ගතකර මිය පරලොව යන්නන්, උසස් දේව ආත්මවල ඉපදෙන අතර කිසිවෙකුටත් හිරිහැර කරදර නොකර, නිතරම පිං බලාපොරොත්තුව සිටින කිසිවෙකුටත් උදව් උපකාර කළ නොහැකි කොටසක් බවත් පැහැදිලිවම බුදුන්වහන්සේ දේශනා කළ සේක.   


ඔබ නිරවුල් මනසින් යුක්තව ධර්මිෂ්ඨව ජිවිතය ගතකරන්න. කුමන ආගමට අයත් වුවත්, ඔබ අදහන ආගම ඔබ සුරකිනු ඇත. “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” යනුවෙන් ධර්මය රකින අය ධර්මය විසින් රකින බව බුදුන් වහන්සේ වදාළහ. මේ නිසා ඔබ ප්‍රේත, භූත ආදී ආත්මයන් දුම්මල ගසා එළවීමටත්, කුප්පියක හිර කර මුහුදේ ගිල්ලවීමටත් කටයුතු නොකරන්න. එය නිශ්ඵල ක්‍රියාවකි. දෙවියන්ට අවශ්‍ය තුටු පඬුරු, පූජා වට්ටි, තෑගි භාණ්ඩ හෝ මිල මුදල් නොවේ. පිං පමණය. ඒ නිසා හැකි තරම් දෙවියන්ට පිං පමුණුවන්න. රූපවාහිනි තරංග, ගුවන් විදුලි තරංග, ගුරුත්වාකර්ෂණය වැනි අපට නොපෙනෙන බලවේග සේ, අපට නොපෙනෙන මෙම ප්‍රේත, භූත, දේව ආත්ම ද සලකා ඔවුන් උපන් බිමේ ඔවුන්ට නිදහසේ ජීවත්වීමට ඉඩ හරින්න.   

 

 


(Let Them Live)   
ජයසේන හේවාපාත   
කඩවත