සිහිවටනයක පසුබ්ම් කතාව
පවසට පැන් පොදක් නොදෙන
ඉහඳ වපුල මුඩු දිය කඳ
කිසිදු පියුමක් නොපිපෙන
වසුරු මුහුන් මළ දිය කඳ
මේ දයාසේන ගුණසිංහ සූරීන්ගේ නොවඳිමි සිදුහත් නම් කාව්‍ය සංග්‍රහයෙන් බේරේ වැව ගැන ගුණසිංහයන් දුටු ආකාරයයි. කලක් බේරේ වැවේ බෝට්ටු සවාරි අපූරු අත්දැකීමක් විය. එය කොළඹ සුන්දරත්වයට එක් කළේ අපූරු ආශ්වාදයකි. ශත වර්ෂ ගණනාවක් පුරා දේශීය මෙන්ම විදේශීය ලේඛකයෝ මේ ගැන සටහන් කරන්නේ එම සුන්දරත්වය.
නමුත් ඔක්කොම කුණු බේරුවල් බොක්කට කීවාක් මෙන් කොළඹට තදාසන්න ෆැක්ටරි 5000 කට අධික කුණු නළ කලෙක එල්ල වුණේ මේ කියෙන බේරේ වැවටය. 1995 කරන ලද සමීක්ෂණයක් අනුව වසර 100 ක් තුළ බේරේ වැවේ ගොඩ වී තිබූ අක්කර ගණන 238 කි. මෙම අධ්‍යයන කෙරී තිබුණේ කැනඩාවෙනි.
1901 දී අක්කර 400 කින් යුතුව තිබූ බේරේ වැව 1993 දී අක්කර 162 දක්වා ගොඩ වී ඇති බව අනාවරණය විය. මේ වකවානුව වන විට වැව අවට තිබූ පැල්පත් සංඛ්‍යාව 600ට අධිකය.
නමුත් මෙම තත්ත්වය පසුව වෙනස් වී වැව අවට දැන් ඇත්තේ තරමක සැනසිලිදායක තත්ත්වයකි.
බේරේ වැවේ කුඩමසා ජාතික සත්ත්වයා කළ යුතු බව වරක් දයාසේන ගුණසිංහයන් යෝජනා කර සිටියේය. ඒ මෙසේය.
මේ නිසා ‘මහනෙල් සුවඳමය...... කුඩමසු පිළී ගඳමය.’
යනුවෙන් අලගියවන්න මුකෙවටි කවියා ලියූ දෙපදය අදට වලංගු නැත. නිල් මහනෙල ජාතික පුෂ්පය වශෙයන් ගත්තා හෝ නොගත්තා හෝ කුඩමසා නම් ජාතික සත්ත්වයා බවට පත් කළ යුතු වන්නේමය. දැනට එම ඨානාන්තරය උසුලන හස්තියා යෝධ ශක්තියෙන් යුතු අභිමානවත් සතෙකි. උගේ පෙනුම ගාම්භීරය. ගති පැවතුම් සංවරය. මතකය ඉතා දිගුය. කිපුණු විට අතිබිහිසුණුය. එහෙත් අන් හැම විටකදීම කුඩා දරුවකු මෙන් අහිංසකය. මෙවැනි සත්ත්වයකු අපේ ජාතිය සංකේතවත් කිරීමට කෙතරම් යෝග්‍ය වේද යන්න තීරණය කිරීම ඒ තරම් දුෂ්කර නැත. එහෙයින් හස්තියාට පැන්ෂන් දී බේරේ වැවෙන්ම අල්ලා ගත් කුඩමසෙකුගෙන් එම පුරප්පාඩුව පිරවිය යුතුය.
අනෙක් අතට කුඩමසා ජාතික මත්ස්‍යා බවට නම් කොට ජාතික සත්ත්වයා ලෙස චතුෂ්පදිකයකුම පත් නොකරන්නේ මන් දැයි ප්‍රශ්නයක් පැන නැඟුණහොත් එයද පහසුවෙන් විසඳිය හැකිය. මන්ද යත් උරුලෑ, ඌරු මී, කලවැඳි, හෝතඹු, මීමිනි, සිඟාල හා හික්මී ආදි උචිත දේශීය සතුන් ඕනෑ තරම් සිටින බැවිනි. මේ කොයි වෙතත් අප කතා කරමින් සිටියේ බේරෙන් මතු වන දුර්ගන්ධය ගැනය.
බේරේ වැව අද මේ රටේ ජාතික දේහයේ ඔඩු දුවමින් සුව නොවී පවතින තුවාලයක් නැත්නම් වණ පිළිකාවක් බඳුය. එහෙත් කොළඹ ගැන කවි පෙළක් ලියන්නැයි එළිසම කවියකුට කිවහොත් ඔහු කොළොම්පුරය නමැති සොඳුරු ලලනාවගේ නළලත රැඳි අංජන තිලකයට බේරේ වැව සමාන කරනු ඇත.
තමන් ලියන්නේ කවි සමය හෝ කවි සමයම අනුව හෝ වේවා කවීන්ගේ හැටි එහෙමය. ඔවුහු අසුන්දරත්වෙය් සුන්දරත්වය දකිති. කඨෝරභාවය තුළින් සංධ්වනියක් මතු කර ගනිති. දුර්ගන්ධයෙන් සුගන්ධයක් ආඝ්‍රාණය කරති.
බේරේ වැව අමතක කොට කොළඹ සිහිවටන ගැන ලිවිය හැකිද? පෘතුගීසි ලන්දේසි මෙන්ම ඉංග්‍රීසීන්ගේද නොමද සැලකිල්ල බේරේ වැවට ලැබුණි. පර්නාවෝද ක්විරෝස් පියතුමා 1688 දී ලියා පළ කළ ලංකාව ජය ගැනීම නම් කෘතියේ බේරේ වැව ගැන සඳහන් වේ. විජයබාහු රජු කොළඹ වැටලූ අවස්ථාවේ පෘතුගීසි කපිතාන් ලෝ ප්‍රොදෝ බ්‍රිටෝ ආක්‍රමණිකයින් මරමින් එක්තරා දොළක් දක්වා ලුහු බැඳ ඇත. පසුකලෙක මෙම දොළ හරස් කොට වැවක් තනා ඇත. 1578 දී මායාදුන්නේ රජු මෙම වැවෙහි පෘතුගීසි යාත්‍රා ගමන් කරනු දැක ඇත.
වැව හිස් කිරීමට රජු හිතුවත් වැඩේ හිතන තරම් ලේසි වී නැත. මායාදුන්නේගේ පුත් රාජසිංහ කීප විටක්ම කොළඹ වටලා වැව් ජලය පොළොවටම හිස් කොට ඇත. මෙයින් එක් ඇළක් අදත් දක්නට ඇත. ටෙක්නිකල් හන්දියේ සිට උසාවිය දෙසට යන විට හමුවන සාන්ත බස්තියම ඇළ ඉන් එකකි. මේ ඇළ අසලින් යන කවුරුත් මේ ඇළ එතරම් ඉතිහාසයක් ඇතැයි සිතනු නැතද සුප්‍රකට ෆ්ලෝටින් මාකට් නොහොත් බේරේ පාවෙන වෙළෙඳපොළ ඉදි කළ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහි ඇති අඩි 8 කටත් වඩා මඩ ඉවත් කරන්නට උත්සාහ ගත්තේ මුළු පිටකොටුව පළාතම දුර්ගන්ධයේ ගිල්වමිනි.
මීට වසර සියයටක් එහා ප්‍රැවික් ගෙයිස් ලියා ඇති කොළඹ නගර නිර්මාණ සැලසුමක බේරේ වැවේ ඇති වටිනාකම ගැන සටහන් කොට ඇත්තේ මෙසේය.
ඉර බැස යද්දී ඒ දෙපස මන්දිරවල සෙවණැලි වැව් ජලයට වැටෙන විට හැඟෙන්නේ කොළඹ අති මනරම් උද්‍යානය මෙය බවය. එය දෙවෙනි වන්නේ නම් ගාලුමුවදොර සුමුද්‍ර දර්ශනයට පමණි. වැවේ උතුරු පෙදෙස මුළුමනින්ම වෙළෙඳ ඒකාධිකාරයේ ආක්‍රමණයට නතුවී හමාරය. පැරණි සුන්දරත්වයෙන් යුතුව ශේෂව ඇති බේරේ වැව අනාගතය සඳහා ඉතිරි කර තබන මෙන් උදක්ම ඉල්ලා සිටිමි.
අාර්.එල්. බ්‍රෝහියර්ගේ මතය අනුව මේ බෙරේ වැව පෘතුගීසී නිර්මාණයක් වුවද ක්‍රමවත් සැලැස්මකින් ක්‍රියාත්මක කරන ලද්දේ ලන්දේසීන් බවය. බේරේ වැව භාරව සිටි ලන්දේසි යුගයේ ඕලන්ද ජාතිකයා නමින් සී. බෙයර්ය. බේරේ වැවේ වූ ගරාවැටුණ සොරොව්වක තිබී ‘ක්‍රි.ව. 1700 ද බේයර්’ නමැති ඵලකය හමු වූ බව බ්‍රෝහියර්ගේ සටහනේ ඇත. ලන්දේසි යුගයේ මෙය බෙයර් වැව ලෙස ව්‍යවහාර කොට ඇති නමුත් පසුව සිහංල උෟරුවට මෙය බේරේ වැව ලෙස ව්‍යවහාරයට එක්වන්නට ඇතැයි සැලකේ.
1688 දී පළ කළ ස්පිරිචුවල් ඇන්ඩ් ටෙම්පරල් කොන්ක්වෙස්ට් ඔෆ් ශ්‍රී ලංකා කෘතියේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙසේය.
කොළඹ නැගෙනහිරිත් කුඩා කඳු ගැට කීපයක් පිහිටා තිබුණි. ඒවා නමින් ආදුරුප්පු, අලුත් කඩේ සහ සාන්ත බස්තියම විය. බොරලුගොඩ නම් පැරණි නම පෘතුගීසීන් වෙනස් කළේ සෙන් සෙබස්තියන් යන නම තබමිනි. කඳු ගැට පෙළට සහ කැලණි ගඟට මැදි වූ පෙදෙස වගුරු බිමකි. මේ බිම මැදින් ගලා ගියේ කොළොන් ගඟයි. කැලණි ගඟ පිටාර ගැලූ විට එම ජලය මුහුදට ගියේ මේ කොළොන් ගඟෙනි. නාගලගම් හිදී මෙය බෙදී ගියේය. පෘතුගීසීන් මෙය හඳුන්වා ඇත්තේ ඕ ග්‍රැන්ඩේ පායේ යනුවෙනි. පසු කලෙක ‘ග‌්‍රෑන්ඩ්පාස්’ වූයේ මෙයයි.
ෙබ්රේ වැව නම ලැබුණ හැටි ගැන තවත් කතාවක කිය වෙන්නේ අප්‍රිකාවේ පරංගි යටත් විජිතයක සිට ගෙන ආ වහලුන් සිටි ගමක නමක් ලෙස එය හැඳින්වූ බවය. එම ගමේ නම වී ඇත්තේ බීරාය. මෙය ගොඩනැගීමේදී මෙම වහලුන්ගෙන් වැඩ ගත් බවට මීට වඩා සාක්ෂි අවශ්‍ය නැතැයි සිතන මුත් ‘මෝඩ ඇළ’ බිහි වුණේ කෙසේ දැයි ප්‍රශ්නයක් මෙහිදී පැන නගී.
මෝඩ ඇළ ඇත්තේ ගාල්ලේ ලන්දේසි කොටුවත් ගිං ගඟත් යා කරමිනි. මේ ඇළ කැපීමේදී මෝය ඇළේ ප්‍රදේශයට වඩා මෙය උස් වූ බැවින් ජලය බැස ගියේ නැත. ඒ නිසා මෙය මෝඩ ඇළ නම් වූ බව ප්‍රකට මුත්, මෙය ඉදිකෙරන සමයේ ලන්දේසි විශේෂඥයාගේ නම වී ඇත්තේ මෝඩ්ය. නිමල් සමරසිංහ මහතා අනූව දශකයේදී තබා ඇති සටහනක ඇත්තේ මෙම මතය ආරියදාස ගාල්ලගේ මහතා විසින් දැක් වූ මතයක් බවය.
මුල් ලේඛනවලින් පෙනී යන්නේ දුරාතීතයේ බේරේ දූපත් කීපයක්ම තිබි ඇති බවය. ඒ අතරින් විශාලතම දූපත ලෙස ගිනිය හැක්කේ ස්ලේව් අයිලන්ඩ් නොහොත් වහල් දූපතයි. (Slave Island) මේ දූපතේ අතීතය ලන්දේසි යුගයේ වහල් යුගය තෙක් ඇදී යයි.
දිවා කාලයේ සේවයේ යෙදුණ වහලුන් රාත්‍රියේ රඳවා ඇත්තේ මේ වහල් දූපතේය. කොළඹ කොටුවත් වහල් දූපතත් අතර ප්‍රවාහන කටයුතු සඳහා යොදාගෙන ඇත්ෙත් දුම් බෝට්ටු බව ඉපැරණි රේඛා චිත්‍රවල දැක්වේ. මෙහි නටබුන් තවමත් දැකිය හැකිය. බේරේ වැවට අදාළ අක්කර බොහෝ ගණනක් පසු කාලීනව පස් පුරවා ගොඩ කර ඇත.
අද Slave Island ලෙස වර නැගෙන්ෙන් එදා වහල් දූපත ප්‍රදේශයයි. මෙම දූපතේ එදා සරු කුරුඳු වගාවක් මෙන්ම පොල් වගාවක් ද තිබී ඇති අතර එහි ලන්දේසින් සතු මන්දිර කීපයක් ද තිබී ඇත.
එදා බේරේ තිබූ දූපත් අතරින් අද ඉතිරිව ඇත්තේ හරප දූපත හෙවත් කාක දූපතයි. අද බොහෝ දෙනා එයට සිඟිති උයන කියාද කියති. බේරේ වැව මැද සීමාමාලකයත් ගංගාරාම විහාරස්ථානයත් අතර ඇත්තේ නොබිඳිය හැකි සම්බන්ධයකි. පානදුරේ ශ්‍රී සුමංගල හිමියන් පවා විනය ධර්ම සඳහා යොදා ගෙන තිබුණේ මේ සීමාමාලකය වන අතර 50 දශකෙය් වූ සුවිශේෂී සිදුවීමක් වන්නේ එම සීමාමාලකය විනය කර්මයක් අවස්ථාවේ කඩා වැටීමය.
අද දක්නට ඇති සීමාමාලකය ගොඩනැගෙන්නේ ඉන්පසුවය. පැරණි සිතියමක් අනුව පෙනී යන්නේ ඕල්කට් මාවත ආරම්භයත්, ලේක් හවුස් භූමියේ සිට ඕල්කට් පාරේ සතොස ගබඩාව තෙක් භූමිය බේරේ වැව ව්‍යාප්තව ඇති බවයි.
පරංගීන් මෙන්ම ලන්දේසීන් තම සතුරන්ගෙන් ආරක්ෂා වීමට බේරේ වැවේ කිඹුලත් ඇති කර ඇත. දැන් පිටකොටුව ඇති ‘කයිමන් දොරකඩ’ සීනු කණුවට එම නම වැටී ඇත්තේ කිඹුල් කපොල්ල යන අර්ථය ඇතිවය. කොළඹ කොටුවට ඇතුළු වන හැම අතු ගංඟාවක්ම බේරේ අත්තක් වී ඇති අතර ඒවායේ කිඹුලන් සිටි බැවින් ලී පාලම් දම්වැල් යොදා සකස් කර තිබුණේ අවශ්‍ය වේලාවට අකුළා ගැනීමටය. එහෙත් බ්‍රිතාන්‍යයන් කොළඹ ආක්‍රමණය කරද්දී මේ පාලම් වෙනුවට තිබී ඇත්තේ තාවකාලික පලම් නොව ස්ථිර පාලම්ය.
දැන් ප්‍රශ්නයක් වුණේ මේ බේරේ වැවේ සිටි කිඹුලන්ට වූයේ කුමක්ද යන පැනයයි. කිඹුලන් තවමත් ඉතිරිව ඇත්තේ කයිමන් දොරකඩ සීනු කණුව අසලය. ඒත් ඒ අසල ඇති බේකරියේ ඇති සීනි දැමූ කිඹුලා බනිස් පමණය.
බේරේ වැවේ වූ කිඹුලන්ට වූ වින්නැහිය ගැන හොයන්නට පරණ ලේඛන සොයද්දී හමු වූයේ බේරේ වැවේ නියම වපසරිය අක්කර 840 කට එහා විහිදී ගොස් ඇති බවය. මෙයින් වැඩි කොටසක් ගොඩ කිරීම නිසා එහි සිටි කිඹුලන්ට ඉඩ මදිවී වෙනත් ගංගාවලට ක්‍රමයෙන් සංක්‍රමණය වීමට පටන් ගෙන ඇත. අක්කර 840 වපසරිය පුරා විහිදී තිබූ යුගයේ එහි මුහුණත ජල පරිමාව ගණන් ගෙන තිබී ඇත්තේ ගණ අඩි අටසිය පනස් හය ලක්ෂයක් ඉක්මවන බවටය. එදා තිබූ ඒ බිමේ අද පාරවල්, බැංකු, පත්තර කොම්පැනි, දුම්රිය ස්ටේෂන්, ගබඩා සංකීර්ණ දැකිය හැකිය.
බේරේ වැවේ ඔරුවල සිටි ධීවරයන් දැල් දමන අයුරු එදා සුලබ දසුනක් විය. මේ ධීවරයින් සුවිෙශ්ෂ වරප්‍රසාද ලත් පිරිසක් ද වන්නේ වැහි කාලයටය. වැහි කාලයට එදා මුහුදු මාළුන් ද මේ බේරේ වැවට ඇදී ඒම නිසා මේ ධීවරයින්ට මිරිදිය මසුන් මෙන්ම කරදිය මසුන්ද එක දැලේ අල්ලා ගත හැකි විය. මුහුදු මට්ටමේ සිට බැලුවහොත් මුහුදු මට්ටම වඩා ඉහළින් පිහිටි මේ බේරේ වැව වැසි රහිත කාලයට ජලය පිරිසිදු වී මුහුදට ගලා යාමක් එදා දක්නට නැත. කලක් බේරේ වැවේ ජපන් කොරලි හා තිලාපිය වැනි මසුන් බහුල ලෙස දැක ගත හැකි විය.
බේරේ වැවට පැන සිය දිවි නසාගත් අය ගැන නම් අපට වාර්තා සොයා ගත හැකි වුණේ නැත. එහෙත් එක් දහස් නවසිය ගණන් මුල නම් පත්තරවල වාහනයක් බේරේ වැවට වැටී එහි සිටි අය මිය ගොස් තිබූ බව සොයාගෙන තිබුණේ දිග ගණනාවකින් පසුවය. මෙම අනතුර සිදු වී තිබුණේ වෙසක් සමයක ය. මේ අනතුර ගැන එදා කවිකොළ පවා මුද්‍රණය කොට තිබිණි. මෙම පිරිස ගැන ප්‍රවෘත්තියට එදා පුවත්පත් වාර්තා කොට තිබුණේ ‘ජෙනරල් ලේක්’ වීදියේ සිදුවූ අනතුර ලෙසය.
ඒ අනුව මේ අනතුර සිදු වූ ප්‍රදේශයේ බේරේ වැව නොහොත් ‘ලේක්’ එක ගැඹුරු ලෙස පිරෙන ප්‍රදේශයකි. ලොරිය බේරේ ලේක් එකට වැටෙනු කිසිවකු දැක නැත. දින කිහිපයකින් සිරුරු ගොඩගන්නා විට ඒවා මුළුමනින්ම ඉදි මී තිබී ඇත්තේ විකෘති ලෙසය. ලොරියේ රියදුරු නැග එළියට ගෙන ඇත්තේ ස්ටියරින් කූරත් වින්ස්ක්‍රීනයත් අතර සිර වී සිටි නිසා එය කඩා දැමීමෙන් අනතුරුවය. මොවුන් ඇඳ සිටි ඇඳුම් තියුණු ආයුධවලින් කපා සිරුරු අවසන් කටයුතු සඳහා සූදානම් කරන්නට එම්බාම්කරුවන්ට සිදු වී තිබූ බවද එම ප්‍රවෘත්තියේ සඳහන්ය.
බේරේ වැව ගැන කියන බයිලාවක් කලක් ජනප්‍රිය වී ඇති අතර එදා සිට එය අහන්නට ලැබේ. එම බයිලාවෙන් කිය වෙන්නේ,
බැලුන් එකක නැගි උඩ ගිය සුද්දෙකු බේරේ වැවට ඇද වැටුණු ආකාරයයි. මේ සුද්දා ලංකාවේ ගුවනට බැලුනෙන් යන්නට පෙර වහසි බස් දොඩා ඇත්තේ තමන් නගර වටා ඉහළ අහසේ පවා බල්ටි ගසා ඇති බවය. බයිලාවෙන් කියවුණේ බේරේ වැවේ පීනූ සුද්දාගේ රැවුලේ කිරිඉබ්බන් එල්ලුණු බවය. නමුත් මේ සිද්ධිය ගැන සොයා බැලීමේදී පෙනී යන්නේ සුද්දා බේරේ වැවට පැන්නේ නැති බවය.
බේරේට වැටුණ සුද්දාගේ සිදුවීම සිදු වී ඇතත් 1912 දීය. මේ සුද්දා ලංකාවට ඇවිත් ඇත්තේ ගෑස් පිරවූ බැලුනයක ගොස් මාරක සර්කස් ඉහළ ආකාසයේ පෙන්වන්නටය. අප්‍රිකාවේ උපත ලද මේ විජ්ජාකාරයාගේ නම ලෙස සඳහන්ව ඇත්තේ ජැකී ජේය. ඉතිරි කොටස හෝ වාසගම සහිත කොටස ලේඛනාගාරයේ ඇති පත්තර පිටුවේ වේයන්ගේ බලදරයන් විසින් උලා කා ඇත්තේ එම සිද්ධියට දැන් වසර 106ක් ගත වී තිබූ නිසා විය යුතුය.
මෙම සිදුවීම සිදු වී ඇත්තේ ගාලු මුවදොර පිටියේ එක් කොනකය. මෙම විජ්ජාවට එදා විශාල ප්‍රචාරයක් දී තිබූ නිසා එදා ගාලු මුවදොර එක් කොනක් ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබිණ.
බැලුනයට ලී තට්ටුවක් සවිකොට ඇති අතර විජ්ජාකාරයා එහි නැගී බැලුනයට අම්ලයක් පිර වූ විට ඔහු උඩුගුවනට ගියේ ජනතාවගේ අත්පොළසන් මධ්‍යයේය. ටික්ක වේලා ගිය විට තම සාක්කුවෙන් පිස්තෝලයක් ගත් විජ්ජාකාරයා සියල්ලන් මවිතයට පත් කරමින් බැලුවට වෙඩි තැබුවේ, ගෝල්ෆේස් හි අනිත් අන්තයට ජයග්‍රාහී ලෙස ගොඩබසින්නටය.
නමුත් සිදු වූයේ අනිකකි. මුහුදු දෙසින් දැවැන්තව හමා ආ කුණාටුවකට අසුව විජ්ජාකාරයා ගසාගෙන ගියේ බේරේ වැව දෙයටය.
කලක් එලිෆන්ට් හවුයියේ බීම ෆැක්ටරිය තිබූ බේරේ වැව අසල ගැඹුරු මඩෙහි සුද්දා එරුණේ කිසිවකුගේ හව්හරණයක් නැතිවය. කිමිඳුම්කරුවන් ගොස් විජ්ජාකාරයා ගොඩ ගන්නා විට ඔහු එතකොටත් අවසන් ගමන් ගොසින් හමාරය.
අධිරාජ්‍යවාදී ආණ්ඩුව ජැකී ජේගේ දේහය කොළඹ කනත්තේ අවසන් කටයුතු කොට සොහොන්කොතක් ද ගොඩනැගූ බව එදා පුවත්පත් වාර්තා කොට තිබුණි. ඊට වසර 55 කට පමණ පසු 1968 දී මෙරටට ජැකී ජේගේ නංගි පැමිණීම පුවත්පත්වලට මෙන්ම රේඩියෝ සිලෝන් එකටද වැදගත් ප්‍රවෘත්තියක් විය. ඇය පැමිණ සිටියේ තම අයියාගේ සොහොන්කොතට පුෂ්පෝපහාර දැක්වීමටය.
සංචාරකයින්ගේ අතිශය කාර්යබහුල තෝතැන්නක් වූ මේ බේරේ වැව අද ප්‍රමාණවත් ලෙස ආදායම් ලබනවා දැයි ප්‍රශ්නයක් පැන නගී. මෙය අපවිත්‍ර කිරීම ජාතික අපරාධයකි. වෙනත් රටවල නම් මෙවැනි තැන්වල බෝට්ටු සේවා යොදා දේශීය මෙන්ම විදේශිකයන්ට ලබා දෙන විනෝදාස්වාදය අතිමහත්ය. අවසානයේ පැවසිය හැක්කේ කොළොම්පුරට මහා අලංකාරයක් එක් කරන මේ සුන්දර දායාදය මහා ඉතිහාසයක් තම වැව් පතුලේ සඟවා ගනිමින් නිහඬව බලා සිටින බව පමණකි.
වජිර ලියනෙග්
හැඩි දැඩි පෙනුම, රෞද්‍ර රළු බව පිරිමි පෞරුෂය පිළිබිඹු කරන ලක්ෂණ කිහිපයකි. එවන් පෞරුෂවත් පිරිමි පෙනුම නිසාම නිරන්තරයෙන් රළු චරිතවලට නිර්දේශ වන මොහු දැන
නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ කලාවට පිවිස, ’’ගිනි අවි සහ ගිනි කෙළි’’ චිත්‍රපටයේ බෝගවත්තේ ලකීගේ ජීවිතේ නැති කරන්න ආ සරාගී යුවතිය ලෙසින් ද ’’ලලයි ලිලයි ලයි’’ ට
පසුගියදා ඇමරිකාවේ ලාස් වේගාස්හි දී 40 වැනි වතාවටත් පැවැත් වූ ලෝක විවාහක රූ-රැජින තරගයේ දී, ‘උප කිරුළ’ දිනා ගැනීමට සමත් වූයේ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත
සකරදාං බලන්නට මනාලයෙක් ආවේය. ඔහු උඩ ගොස් බිම වැටුණේ ඇගේ රූප ස්වභාවය දුටු විටය.
ඔහු රංගනයට වඩාත් දක්‍ෂ වූ තුරුණු රංග ශිල්පියෙකි. ඇය ගැයුමට සහ සංගීතයට වඩාත් දක්‍ෂ වූ තුරුණු සංගීත ශිල්පිනියකි. දැන් මේ දෙදෙනා පෙම්වතුන්ය. ඔහු සංජය මුරම
“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
බේයර් වැව බේරේ වැව වුණාද ?