කඩුගන්නාවේ අඩිපාර මහපාරක් කළ 
සුදු ඉංජිනේරුවා-4

 

එක්දහස් හත්සිය අනූහයේදී ඉංගිරිසින් ලංකාවේ වෙරළබඩ තීරය තම පාලනයට ගන්නා අවදිය වෙනවිට මෙරට එකම විධිමත් මහාමාර්ගයක්වත් නොවීය. පුරාණ සිංහලයේ ඉදිකළ කළුගල් අතුරා මට සිලුටු කළ මාර්ග තිබුණත් බ්‍රිතාන්‍යයන් එනවිට ලොව පිළිගත් මට්ටමේ මහා මාර්ග නොමැතිවීමට හේතුව දිගින් දිගටම සිදුවූ විදේශිය ආක්‍රමණයි. මේ නිසා ඉංගිරිසින්ගේ පළමු කටයුත්ත බවට පත්වූයේ විධිමත් මාර්ග පද්ධතියක් සැකසීමය.   


ඉංගිරිසින්ට පෙර ලන්දේසි යුගයේ ඔවුන් ගමන් පහසුව සලසා ගත්තේ ජල මාර්ගවලිනි. ඕලන්දයේ ඇළ මාර්ග දිගේ ගමන් කිරීම එකල බෙහෙවින්ම ප්‍රචලිතව තිබූ නිසා ඔවුහු පොළොව මත මාර්ග ඉදිකරනවාට වඩා ජල මාර්ගවලින් කෙරෙන ප්‍රවාහනය කෙරෙහි විශ්වාසය තැබූහ.


  

 

රට තුළින් දිගටම එල්ලවූ පහර දීම් නිසා එයට විකල්පයක් ලෙස ජල මාර්ග ඔස්සේ ප්‍රවාහනයට ඔවුන් උපක්‍රමශිලිවන්නට ඇත. බ්‍රිතාන්‍යයන් සමස්ත ලංකාවේ පාලනය සියතට ගත් පසු ගොඩබිම් මහාමාර්ග ඉදිකිරීමට ඔවුන් මුල්තැන දුන්නේ ලංකා පොළොවේ වතුවගා අරඹමින් ඔවුන් දියත් කළ ආර්ථික සම්පත් එකතු කරගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කර ගැනීම සඳහාය.   


එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයා පෑලියගොඩ - මහනුවර මහාමාර්ගය කැපීමට තීන්දුවක් ගත්තේ උඩරට ප්‍රදේශවල ඔවුන් පටන් ගත් කෝපි වගාවේ අස්වැන්න කොළොම්තොටට ගෙන ඒම සඳහා විධිමත් මහා මාර්ගයක් අවශ්‍ය යැයි බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් ඉල්ලා සිටි නිසාය. 

 
කැලණි ගඟ හරහා පෑලියගොඩදී පාරු පාලමක් ඉදිකිරීම කපිතාන් ඩො​්සන් ඇතුළු ඉංජිනේරුවන්ගේ වික්‍රමයක් ලෙස එකල සැලකිණ. ගඟ හරහා එක දිගට පාරු දුසිම් ගණනක් නවත්වා ඒ මතට ඉරූ ගස් කඳන් තබා යකඩ දම්වැල්වලින් බැඳ මෙම පාරු පාලම තනා ගන්නා ලදී. මෙම පාලම සවි ශක්තියෙන් යුතු වුවද ගංවතුර නිසා එය වරින්වර ප්‍රතිසංස්කරණය කිරීමට සිදුවිය. මේ නිසා එහි ස්ථිර යකඩ පාලමක් තනන ලද්දේ එක්දහස් අටසිය අනූතුන වසරේදීය. එතෙක් කොළඹ සහ මහනුවර අතර මහා මාර්ගයේ පළමු පාලම වුණේ මෙම පාරු පාලමයි.   


කොළඹ - මහනුවර පාර ඉදිකිරීමේදී කපිතාන් ඩෝසන් නැවතී සිටි ස්ථාන තුනක් අදටද ඉතිරිව තිබේ. ඉන් පළමුවැන්න වන්නේ අඹේපුස්ස තානායමයි. දෙවැන්න ගලිගමුව අඹන්පිටියේ ඩෝසන් බංගලාවයි. තෙවැන්න පේරාදෙණිය තානායමයි. අද වන විටත් මේවා මතු පරපුර වෙනුවෙන් සුරැකීව පවතී.   


කොළඹ - මහනුවර පාර ඉදිකෙරුණේ කොටස් දෙකකටය. පළමු කොටස පෑලියගොඩ සිට අඹේපුස්ස දක්වා විය. දෙවැනි කොටස අඹේපුස්සේ සිට ගලිගමුව, කෑගල්ල, මාවනැල්ල හරහා බලන කඳුමැදින් පේරාදෙණියටය. මේ කොටස් දෙක ඉදිකිරීමේදී මාර්ගය සැලසුම් කළ ප්‍රධානියා ලෙස කපිතාන් ඩෝසන් ස්ථාන කිහිපයක තාවකාලිකව නවාතැන් ගත්තේය. අඹේපුස්ස තානායම ඔහුගේ නිවස්නය ලෙස පාවිච්චි වීමෙන් අනතුරුව රජයේ සංචාරක නිවාසයක් බවට පත්විය.   


අඹන්පිටියේ බංගලාවේ නැවතී පාර තැනීමේ කටයුතු මෙහෙයවමින් සිටි ඩෝසන් පිළිබඳව වැඩි විස්තර දන්නා කෙනෙක් අද ඒ ප්‍රදේශයේ සොයාගන්නට නැත. එහෙත් ජනප්‍රවාද අනුව කියවෙන්නේ ඔහු එහි නැවතී මිදුලේ ඉදිකළ දුරදක්නයක් මගින් පාරකැපීමේ කටයුතු නිරීක්ෂණය කළ බවය. තාවකාලික නිවාසයක් ලෙස සැකසුවද එය බොහෝ කාලයක් නොකැඩී පැවතුණි. අසල කන්දක සිට ගලා ආ ජල පහරකට පීලි සවිකර මෙම නිවාසයේ පාවිච්චිය සඳහා යොද‌ා ගෙන අැත.   


පසුගිය කාලය වන විට ගරාවැටෙමින් පැවැති බංගලාව දැයට කිරුළ වැඩසටහන යටතේ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ මූලිකත්වයෙන් මේ වන විට පිළිසකර කර ඇත.   


මාවනැල්ලෙන් පසු බලන කඳුවැටිය දිගේ පාර කැපුවේ බිහිසුණු ප්‍රපාතවලින් පිරි කඳු බෑවුම් අතරිනි. එතෙක් මහා ඝන වනාන්තරයක්ව තිබූ එහි මහා මාර්ගයක් කැපීම යනු ලෙහෙසි දෙයක් නොවේ. එකපැත්තකින් ඉංගිරිසි වැවිලිකරුවන්ගේ වගා කටයුතු සඳහා කඳු බෑවුම් එළි පෙහෙළිකර තිබූ අතර අනෙක් පසින් මහා මාර්ගය සඳහා කඳුබෑවුම් එළි පෙහෙළි කළ යුතු විය. මේ නිසා බලන කඳු බෑවුමේ වන වියන වේගයෙන් ශේෂවීගෙන ගියේය. එතෙක් නිල් පැහැති වන ගොමුවෙන් පිරී තිබූ කඳුයාය ඒ වන විට තිබුණේ ගුරු පැහැයෙනි.   


බලනේදී ඩෝසන්ට අසීරු තීරණයක් ගන්නට සිදුවිය. එය මහපාර කැපීමේදී ඔහුට එතෙක් නොපැමිණි අභියෝගයකි. අවසන් රාජධානිය සමයේ බලන කඳුයාය හරහා ජනයා ඔබමොබ ගිය අඩිපාර තව තවත් විශාල කරමින් පාර කපාගෙන ආ ඩෝසන්ට ඊළඟට සිදු වූ බරපතළ අභියෝගය වූයේ මහා ගල්කුලකින් පාර හරස්වීමය. දැවැන්ත කඳු ශිඛර අතරින් අසීරු කුඩා මාවතක් පාද‌ාගෙන ආ ඩෝසන්ට මෙය මහත් අභියෝගයක් වූයේ ගල්කුළ මගහැර පාර ඉදිරියට සැකසීමේ වෙනත් කිසිදු ක්‍රමයක් නොමැති නිසාය. ඔහු තම ශිල්පීය ඥානය එහිදීත් යොදා ගන්නට තීරණය කළේය. එනම් මහා ගල්කුළ විද පාර ඉදිරියට ගෙන යාමයි.   


පාර හරස්කරමින් වැතිරි තිබූ මහා ගල් පර්වතය ගල් වෙඩි යොදා ඉවත් කිරීම ලෙහෙසි කර්තව්‍යයක් නොවීය. බිහිසුණු ප්‍රපාතයකට ආසන්නයේ ඇති පර්වතය ඉවත් කළ නොහැකි බව වටහා ගත් කපිතාන් ඩෝසන් එතෙක් ලංකා පොළොවේ නොකළ ඉංජිනේරුමය කර්මාන්තයක් කරමින් දැවැන්ත ගල් පර්වතය ගල්වෙඩි යොදා සිදුරු කර ඒ මැදින් මහා මාර්ගය ඉදිකළේය. කඩුගන්නාවේ ‘ගල විදපු තැන’ යනුවෙන් මෙම ස්ථානය රට පුරා ප්‍රකට විය.   


ඒ වන විට කැන්ඩි ලෙස ඉංගිරිසියෙන් කටවහරට ගැළපෙන සේ හද‌ාගෙන තිබූ සිංහලයන්ගේ කන්දේනුවර දක්වා යන මාවත කඩුගන්නාවෙන් පසු පිළිමතලාව ​ෙප්රාදෙණිය හරහා වැටී තිබුණේ තැනිතලා භූමියක් දිගේය. ඩෝසන් සහ බ්‍රිතාන්‍ය රාජකීය ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පේරාදෙණියේදී ඉතා දර්ශනීය ඉසව්වක් මැදින් එම මාවත ‘මහනුවර’ දක්වා යොමු කළෝය. මහවැලි ගඟෙන් එහා පැත්තේ තිබූ එම දර්ශනීය ඉසව්ව වැටී තිබුණේ රජ්ජුරුවන්ගේ රාජකීය මල්වත්ත අසලිනි. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය ලෙස පසුව වඩාත් විශාල වී ස්ථාපිත වූයේ එම මල්වත්තය. කපිතාන් ඩෝසන් මාර්ගයේ ඉතිරි කොටස ඉදිකිරීම සඳහා රාජකීය මල්වත්ත ඉදිරිපිට මහවැලි ගඟ​ පෙනෙන මානයේ තැනක තම තාවකාලික නිවාසය ඉදිකරගෙන එහි සිට මාවත ඉදිකිරීමේ ඉතිරි කොටස මෙහෙයවූයේය. අද පේරාදෙණිය තානායම ලෙස පවතින්නේ එද‌ා කපිතාන් ඩෝසන් පාර හැදීම මෙහෙයවීම සඳහා නවාතැන් ගත් තාවකාලික නිවාසයයි.   


සැන්දෑ කාලයට සිහින් මිහිදුම් කැරලි පාව එන පේරාදෙණිය ප්‍රදේශයේ මහවැලි ගඟ අසබඩ, රජුගේ මල්වත්ත අසල තාවකාලික නිවාසයක් ඉදි කර එහි නවාතැන් ගත් මේ ඉංගිරිසි ජාතිකයා සොබාව සෞන්දර්යයට බෙහෙවින් ආදරය කළ බව කියැවේ. ඒ බව පේරාදෙණිය තානායමේ පිහිටීම බැලූ විට වටහා ගත හැකිය.   


පාර කපා අවසානවීමෙන් පසු මෙම තාවකාලික නිවාසය බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සංචාරක නිවාසයක් ලෙස භාවිතා විය. පොදු ජනතාවගේ තානායමක් බවට එය පත්කෙරුණේ එයිනුත් පසුවය. තානායමේ ඉදිරිපස කාමරය ඩෝසන්ගේ කාමරය ලෙස අද දක්වාම භාවිත වෙයි.


එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයාගේ නියමයෙන් ඉදිවූ තවත් පාලමක් කොළඹ මහනුවර මහා මාර්ගයේ කිරිබත්කුඹුරේ ඇත. නානුඔය හරහා ඉදි කර ඇති මෙම පාලමද දෙවක් ආරුක්කු හැඩයේ එකකි. පාලම ඉදිවී ඇත්තේ ආරුක්කු හයකිනි. කොළඹ සිට කිරිබත්කුඹුරට සැතපුම් 68ක් ඇති අතර එහි සිට නුවරට සැතපුම් 4කි. මෙම පාලමද ඉදිකර ඇත්තේ පිලිස්සූ ගඩොලිනි. 1826දී බාන්ස් ආණ්ඩුකාරයාගේ නියමයෙන් පාලම ඉදිකළ බව එහි ඇති පුවරුවේ දැක්වේ.


බලනේ සිට කඩුගන්නාව මැදින් යන අඩි පාර අති දුෂ්කර විය. උඩරට සිට පහත රටටත් පහත රට සිට උඩ රටටත් යන්නේ ගලින් ගලට අඩිය තියමින් යන මෙම දුෂ්කර අඩි පාර දිගේය. අඩිපාර කරත්ත පාරක් තරමටම සමහර තැන්වලදී විශාලව තිබිණි. කඳු බෑවුමේදී එය අඩි පාරක් බවට පත්විය. මේ අඩි පාර අයිනේ තිබූ අනුහස් බෝධිය පාරේ යන එන මගීන්ගේ අතිමහත් ගෞරවයට පාත්‍ර වූයේය. බොහෝ දෙනා මෙම අඩි පාරේ යන්නේ සටන් සඳහා හෙයින් බෝධියට බාර හාර වී ගෞරව කර යාම අලුත් දෙයක්ද නොවීය. බෝධිය අසලම මිනිස් ශරීරයක් තරම් උසට වැඩී තිබූ මහා ​ෙව් තුඹසක් වාසභවනය කරගත් නා රජකු ගැනද ගමේ අය අතර කතා පැතිර තිබිණි. සාමකාමීව යන මගීන්ට මේ නා රජාගෙන් කරදරයක් නැති බවද ඒ පැතිර තිබූ කටකතාවලට අයත් විය.   


ඩෝසන්ගේ ජීවිතයට නැවතීමේ තිත වැටුණේ මෙම ප්‍රදේශයේදීමය. එයට හේතුව ලෙස කියන්නේ විෂඝෝර සර්පයකුගේ දෂ්ටනයකි. කඩුගන්නාවෙන් උඩ ප්‍රදේශයක දී මාර්ගය තැනීමට බාධාවක්ව තිබූ බෝධිවෘක්ෂය හා තුඹසක් ඉවත් කිරීමට ඔහු අණදුන් බවත් ජන වන්දනීයත්වයට පාත්‍රව තිබූ මෙම බෝධි වෘක්ෂය කපා ඉවත් කිරීමට කම්කරුවන් අකමැති වූ බවත් ජනප්‍රවාදයේ එයි. මේ නිසා ඔහු බලහත්කාරයෙන්ම බෝධි වෘක්ෂය කපා දැමූ බවද වේ තුඹස කඩා ඉවත් කිරීමද ඔහු අතින්ම කළ බවද කියැවේ. මෙහිදී සර්පයකු​ෙග් දෂ්ටනයට ඔහු ලක්වූ බවත් එය බෝධි වෘක්ෂය කැපීමේ පව පලදීමක් බවත් ගැමි ජන විශ්වාසයයි. අනුන්ට ගමන් පහසුව සැලසූ ඔහුගේ ජීවන ගමන අවසන් වූයේ ඉන් පසුවය.   


1832 දී මෙම පාර නිල වශයෙන් විවෘත වනවිට කපිතාන් ඩෝසන් ජීවතුන් අතර සිටියේ නැත. ඔහුගේ අභාවයෙන් පසු මාර්ගයේ ඉතිරි කටයුතු අවසන් කළේ ඩෝසන්ගේ ප්‍රධානියා වූ මේජර් ස්කිනර් විසිනි.   


බ්‍රිතාන්‍ය රාජකීය ඉංජිනේරු රෙජිමේන්තුවට සම්බන්ධව මෙරට මහා මාර්ග ඉදිකිරීමේ තවත් පුරෝගාමියකු වූ ජේම්ස් කැම්බල්, ඩෝසන් සමග තම බැඳියාවන් විස්තර කරමින් ඔහුගේ අභාවයෙන් පසු ලංකා ගැසට් පත්‍රයට ලියූ ලිපියක මෙසේ සඳහන් වේ. “මා මිත්‍ර කපිතාන් ඩෝසන් බැරෑරුම් රෝගයකට ගොදුරු වී ඉතාම දුර්වල තත්ත්වයකින් කුරුණෑගල වෙත ගෙන එන ලදී. රෝගය බරපතළ වුවද ඩෝසන්ගේ සුපුරුදු වූ දරාගැනීමේ ශක්තියෙන් ඔහු එය මැඩ ගෙන සිටීම කවුරුත් පුදුමයට පත් කිරීමට සමත් විය. මට සිටි වෛද්‍යවරයා මහනුවරට ගොස් සිටි නිසා වෙනත් නිලධාරීන් දෙදෙනෙකුගේ සහාය ලබා ගෙන මට හැකි අයුරින් ඩෝසන්ගේ රෝගය සුවපත් කිරීම පිණිස අවශ්‍ය ඖෂධ ප‍්‍රතිකාර ලබා දුන්නෙමි. අපගේ ප‍්‍රතිකාරවල සාර්ථකත්වය පෙන්වමින් ටික දිනකින්ම ඔහු කඳුකරය ජය ගැනීමේ සුපුරුදු මෙන්ම භාරධුර රාජකාරිය සඳහා පිටත්ව ගියේය. මේ ඔහු ගලගෙදර දුර්ග මාර්ගය තනා නිම කර ගිරිහාගම මාර්ගය හදමින් සිටි කාලයේදීය.”   


අනතුරුව ඒ වසරේදීම එනම් 1822 දී සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් කපිාතන් ඩෝසන් රාජකීය ඉංජිනේරු බළකායේ ලුතිනන් යුලේ සමග එංගලන්තය බලා පිටත්ව ගියේය.”   


එහෙත් කපිතාන්වරයා එවර එම රෝගාබාධයෙන් ගැලවුණේය. ඔහු සුවය ලබා යළිත් ලංකාවට පැමිණ මහනුවර දක්වා මහා මාර්ගය ඉදිකිරීම් කටයුතු වල නියැළී සිටියේය.   


ඔහුට සර්ප දෂ්ටනය සිදු වුණේ ඉනුත් කලකට පසුවය.   


මේජර් කැම්බල් ලංකා ගැසට් පත‍්‍රයට තම හිත මිතුරා ගැන ලියු සටහන ඩෝසන්ගේ කාර්යශූර බව ගැන මනා සහතිකයක් ලබා දෙයි. එහි මෙසේ සඳහන් වේ.   


“කපිතාන් ඩබ්ලිව්.එෆ්. ඩෝසන්ගේ මරණයෙන් මට ඉතා සුහදශීලී මිත‍්‍රයකු මෙන්ම රාජකීය ඉංජිනේරු බළකායට කිව නොහැකි තරම් වටිනා නිලධාරියකු අහිමි විය. ඔහු මියගියේ මගේ දෑත මත සිටියදීය. ඩෝසන්ගේ මරණය මුළු දිවයිනටම ශෝකාලාපයක් ගෙන ආවා වැනිය. ඔහු දැන සිටි සැවොම ඔහුට එතරම් ආදරයක් හා ළෙන්ගතුකමක් දැක්වූහ. ඔහුට ගරු කිරීමක් වශයෙන් ආණ්ඩුකාර ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් විසින් ඩෝසන්ට ඔහුගේ කණිෂ්ඨ නිලය ද නොතකා රාජකීය ඉංජිනේරු බළකායේ අණ දෙන නිලධාරී තනතුරට උසස්වීමක් එනම් කර්නල් තනතුරක වගකීමට පත්කරන ලද්දේ නිලධාරියකු ලෙස ඩෝසන් සතු වූ විශිෂ්ට නායකත්ව ගුණාංග නිසාය.”   


“කඩුගන්නාව දුර්ගය මත්තෙහි ඩෝසන් ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සිදු වීමක් ද සටහන් කිරීම වටී. ඩෝසන් ස්මාරක කුලුන ඉදිකිරීම සඳහා පාදමට මුල් ගල් තැබූ මොහොතේම, එම වෙලාවටම එංගලන්තයේ ලන්ඩන් නුවර වෝටර්ලූ පෙදෙසේ උද්‍යානය කෙළවර සේනාධිනායක යෝක් හී ආදිපාදවරයා සිහිවීම පිණිස ඉදි කළ ස්මාරකයේ ද මුල් ගල් තැබීමය. එපමණක් ද නොවේ. මෙම ස්මාරක දෙක නිමැ වූ කුලුනු දෙක ප‍්‍රමාණයෙන් එක සමාන වීමද විශේෂිතය. වෙනසකට කිව හැක්කේ ඩෝසන් කුලුන ගඩොලින් නිම කිරීමත් යෝක් ආදිපාද කුලුන කළු ගලෙන් නිමවීමත්ය. ඊට අමතරව අාදිපාදවරයාගේ පිළිරුවක් ද එහි තනා ඇත. ඩෝසන්ගේ භෂ්මාවශේෂ කොළඹ ශාන්ත පීතර දේවස්ථානයේ කුටියක තැන්පත් කෙරිණ. (ස්කිනර් 93 පිටුව)   

 

 

ඔහු ඉංගිරිසි නිලධාරියෙකු වුවද ඉංග‍්‍රීසි නිලධාරීන් මෙරට ධන ධාන්‍ය සූරා ගෙන තම රට දියුණු කිරීමට ගෙන ගියා වුවද ඩෝසන් සහ ස්කිනර් වැන්නන් අප රටට විශාල සේවයක් කළ බවද අමතක කළ නොහැකිය. කඳුහෙල් මැදින් මෙරටට විධිමත් මහා මාර්ග ඉදි කළේ ඔවුන්ය. ඔවුන් ඒ කටයුත්ත කළේ අද වගේ දියුණු තාක්ෂණය සමග නොව අතිශය දුෂ්කරතා මැදය.   


අද දක්වාම අප භාවිතා කරන්නේ එදා ඉමහත් දුෂ්කරතා මැද ඔවුන් ඉදි කළ මාර්ග බව කළ ගුණ දත් අපට නම් අමතක කළ නොහැක්කේය.   


(පේරාදෙණිය තානායමේ ප්‍රධාන කළමනාකාර උපුල් නිශාන්ත මහතාට ස්තුතිය පළ කරමු)

 

 

 

 

 

 

 

 

 

 


ප්‍රේමකීර්ති රණතුංග   

 

 

 

 

ඡායරූප
සිසිර කුමාර බණ්ඩාර
පේරාදෙණියේ සෙනරත් බණ්ඩාර