IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස පහයි අහිංසකයන්ගේ ජීවිතවලට සාධාරණය ඉටු වුණාද?

අපි මැරෙනකම් මේ දුකෙන් මිදෙන්න බෑ

 

 

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අපේ අාදරණීයයන් වෙන්ව ගිහින් හරියටම පස්මසකි. 


එදත් අද වගේම ඉරිදාවක් වුණත් කතෝලික බැතිමතුන්ට එදා ජීවිතේ විශේෂම දවසක්. ඒත් ඒ සතුට මූණුවල තිබුණු සිනහව එක් ක්ෂණයකින් පොළව යටට මිහිදන් වුණු ලොවම කම්පා කළ ඒ මූසල හෝරාවට හැම හදවතක්ම ගත වෙන හැම තත්පරයකම තවමත් ශාප කරන්නවා. එදා ජේසුන් වහන්සේ උට්ඨානයේ මංගල්‍යයට පල්ලියට ගිය 290කට ජීවිත අහිමි කර තවත් 300කට පමණ බරපතළ තුවාල සිදු කරමින් ඔවුන්ට ජීවත් වීමට වාසනාව ලැබූවත් ඉන් බොහෝ අය තවමත් දිවි ගෙවන්නේ අප්‍රාණික දෙපා සීමා වුණු රෝද පුටුවකය. ඉන් බරපතළ තුවාල සිදු වී ශල්‍යකර්මයන්ට භාජනය වෙමින් තවමත් ජීවිතය පිළිබඳ අවිනිශ්චිත හැඟීමෙන් දිවි ගෙවන කිහිප දෙනකු අදටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා අයුරු ද අපට දැක ගන්නට ද ලැබුණි. පාස්කු ප්‍රහාරය සිදු වී පස්මසක් ගත වුණත් අළු යට ගින්නෙන් දැවෙන වේදනාකාරී කඳුළු කතා මේ කටුවාපිටියෙන් තවමත් නිමක් වෙලා නැහැ. 


එදා ගමම මළගමක් වුණු කටුවාපිටියට පස් මසකට පසු ගියත්, තවමත් ඒ පාළු නිසොල්මන් වටපිටාව අඳුරු මතකය ඒ මාවත් තුළ තවමත් ගැබ් වී තියෙනවා. එදා එල්ලුණු ආදරණීයයන්ගේ මරණ දැන්වීම් පුවරු බොහෝ නිවෙස් ඉදිරිපිට තවමත් එලෙසින්මයි. පස් මසකට කලින් පාස්කු මංගල්‍යයට සිනහ මුවින් පල්ලියට ගිය සමහරෙකුගේ ඉබි යතුරු වැටුණු නිවෙස් තවමත් ඒ අයුරින්මයි. දරු පැටව්, සැමියා, බිරිඳ එක්ක සතුටින් ජීවත් වුණු බොහෝ අය අද ඒ නිවෙස්වල තනිවෙලා. සැමියා, බිරිඳ, දරුවෝ ගෙදර එනකම් පුරුද්දට තවමත් මඟ බලාන ඉන්න දෙමාපියන්ගේ කඳුළු තවමත් නිමක් වෙලා නැහැ. හිරු පෑයුවත් වෙනදා වගේම එළියක් අරන් මේ කටුවාපිටියට හිස් වුණු ජීවිතවලට හෙට දවස ගැන හිතන්න තරම් තවමත් දිරිය ශක්තියක් ඔවුන්ට නැහැ. පාස්කු ප්‍රහාරය සිදු වී පස් මසක් ගත වුණත් ඔවුනට සාධාරණයක් ඉටු වූවාද යන්න ප්‍රශ්නාර්ථයකි. 


“අපි උත්සාහ කරනවා. ඒත් අපට මැරෙනකම් මේ වේදනාවෙන් මිදෙන්න බැහැ. මගේ දරුවන්ගේ වයසේ දරුවෝ දකිනකොට, ඉස්කෝලේ යනකොට බලන්න බැහැ. ඒ එන වේදනාවට මට මිනිස්සු ද‌ාහක් වුණත් මරන්න පුළුවන්. කාදිනල්තුමා නිසා බොහොම ඉවසීමෙන් ඉන්නවා. මගේ මැරුණු දරුවෝ, බිරිඳ ආයේ ගෙනත් දෙන්න බැහැ. මම හැමදාම අඬනවා. මේ තාත්තට වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ මගේ පුතේ.”


මේ තාත්තාගේ වේදනාව වචනයකට සීමා කරන්න අමාරුයි. මේ වගේම තවත් කොච්චර නම් තාත්තලා මේ කටුවාපිටියේ අඬනවා ඇතිද? කටුවාපිටියේ මේ මාවත්වල ඇවිද ගිය අපට ඒ ජීවිත කොයිතරම් හදවතින්, මනසින් තමන් අසරණ ද කියලා එක් වචනයකට සීමා කළ නොහැකියි. 


“රෑ වෙනවා එළි වෙනවා. ඒත් අපේ ජීවිත තවම එක තැන නතර වෙලා. කොතනින් ද පටන් ගන්නා ඕනෑ කියලා තවම හිතාගන්න බෑ. අපි හරිම සතුටෙන් මේ ගෙදර ගමේ ජීවත් වුණ අය. එක පාරටම ඇවිල්ලා ඒ හැමදේම හොරු අරගෙන ගියා. මගේ දරුවෝ ඉස්පිරිතාලෙදී ජීවත් වෙන්න පණ ඇදපු විදිහ මතක් වෙද්දි, ගිහිල්ලා මේ කාලකන්නි දේශපාළුවන්ව මට මරාගෙන මැරෙන්න තරම් ශක්තියක් එනවා. තාමත් පුරුද්දට ඉස්කෝලේ ඇරිලා දරුවෝ ගෙදර එනකම් පාර දිහා බලාගෙන ඉන්නවා මම. ඉදෙන බත් කට කන්න මගේ දරු පැටව් ගෙදර නෑ කියලා දැනෙනකොට මේ අම්මට කන්න බෑ. බත්කට උගුරෙන් පහළට යන්නේ නෑ. මගේ පුතේ, මගේ දරුවෝ පස් යට වැළලෙද්දි අපේ කඳුළුවලට වගකිවයුතු කාලකන්නි හිනා වුණා. රටේ අහිංසක මිනිස්සු මේ විදිහට බිල්ලට දීපු ආණ්ඩුවක් මේ ලෝකේ කොහේවත් නෑ. විපත වුණු වෙලාවේ පණ දෙන්න ආපු උන් දැන් එකෙක්වත් එන්නේ නෑ. දැන් උන්ට එහෙම දෙයක් වුණාද කියලාවත් මතක නැහැ.” 


මේ මව්පියන් ජීවිතේ හැමදේම හැම බලාපොරොත්තුවක්ම එක් ක්ෂණයකින් විනාශ කරපු ඒ අඳුරු මතකය බොහෝ දෙනාට ඇත්තෙන්ම අද අමතක වුණත් මාස පහක් පුරාවට තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබන, තවමත් පාසල් නොයන දරුවන්, රෝහලෙන් නිවසට පැමිණියත් රෝද පුටුවක දිවි ගෙවන 24 දෙනකුට හරි හැටි සුවයක් ලැබී නැහැ. කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පවුල් 280කට එහි බලපෑම ඍජුවම බලපෑවත් මේ වනවිට බොහෝ ජීවිත යථා ත්ත්වය පත්වෙමින් තිබෙන බව කටුවාපිටිය ගමේ සංචාරය කළ අපට දැකගත හැකි විය. 


පස්මසක් ගත වුණත් අදටත් එහි බලපෑම කොයිතරම් ද කියලා තුවාල ලබා සිටින සමහර අය දැක්කම ඔබට පෙනෙනෙවා ඇති. කටුවාපිටිය දේවස්ථානයට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටින ඇය බෝම්බයෙන් විනාශ කරන්නට නොහැකි වන දේව දූතිකාවකි. 


ඇය පිළිබඳ බොහෝ සමාජ මාධ්‍යයන් තුළ කතා කෙරුණු ශ්‍රී ලංකාවාසීන්ගේ පමණක් නොව ඇයව මුළු මහත් සියලුම ලෝකවාසීන්ගෙන් ඉක්මණින් සුව වීමට ආශිර්වාදය ලැබුණි. බෝම්බ ප්‍රහාරයෙන් ඉතා බරපතළ ලෙස තුවාල ලැබූ ඇය කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ ආසිරි රෝහලේ සිව් මසක් පමණ මැෂින් ආධාරයෙන් ජීවත් වූ තිදරු මවක් වන 35 හැවිරිදි තිළිණි හර්ෂණී අද වෙනවිට බොහෝ සෙයින් සුව තත්ත්වයේ පසුවීම අපට ද අසන්නට ලැබුණු ඉතාම සතුටුදායක කරුණක් වුණා. ඒ නිසාම අප ඇයව බලන්න පසුගියදා මීගමුව ආවේ මරියා පෞද්ගලික රෝහලට ගියා. 

 

 


ඉතින් දැන් ඔයාට කොහොමද? 


වැසී තිබුණු දෑස්වලින් එක් ඇසක් විවෘත කරමින් ඇය ආදරණීය සිනහවකින් අපිව පිළිගත්තා. 


“හිටියට වඩා දැන් මට ගොඩක්ම සුවයි. මට මාසයක් විතරම සිහිය තිබිලා නෑ. මට මතකයේ තියෙන්නේ ආසිරි හොස්පිටල් එකේ ප්‍රතිකාර කරපුවා තමයි.


දැන් මොකද වෛද්‍යවරු කියන්නේ? 


“වෛද්‍යවරු තවම හරියට මුකුත් කියන්නේ නැහැ. තවම මගේ ඇඟ ගොඩක් දුර්වලයි. මම හිතන්නේ කරන්න තියෙන ලොකු ඔපරේෂන් දැන් ඔක්කොම කරලා ඉවරයි. තව පොඩි ඔපරේෂන් දෙකක් කරන්න තියෙනවා කියලා වෛද්‍යවරු කියනවා. දැනට මට හොඳට පේන්නේ දකුණු ඇහැ විතරයි. වම් ඇහේ පෙනුම යථා තත්ත්වයට ගේන්න පුළුවන් ද කියලා තාම දොස්තරලා හරියටම කිව්වේ නැහැ. 


ඉනෙන් පහළ මට තවම මුකුත් තේරෙන්නේ නැහැ. ටොයිලට් යනවා දැනෙන්නේ නැහැ. ඒක සුසුම්නාවට වැදුණු යකඩ බෝලයක් නිසා ඇති වුණු ස්නායු දුර්වලතාවයක්. තව අවුරුද්දක් විතර මේ විදිහට ඉන්න වේවි කියලා ඩොක්ටර්ස්ලා කියනවා. තෙරපිවලින් මට ලොකු ගුණයක් තියෙනවා කියලා ඇඟට දැනෙනවා. දැන් මට ටික ටික බඩගිනි එනවා. එක එක ඒවා කන්න ආස හිතෙනවා. අම්මා මම ආස ජාති හදලා එවනවා. දියර වර්ගම විතරයි මාස හතරක් වෙනකන්ම මට දුන්නේ. මාස පහකින් ඊයේ තමයි බත් ටිකක් පොඩි කරලා කෑවේ. ආසයි ඉක්මනට ගෙදර යන්න. අවුරුදු දහයක් ගිහිල්ලා හරි කමක් නෑ කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් තරමට මට සනීප වෙනවා නම්. දරුවො තුන් දෙනාටම හොඳට උගන්නලා හොඳ තැනකට ගේන්න තමයි මම එදා ඉඳලම හීන දැක්කේ. මගේ එක හීනයක් බොඳ වුණා. මගේ දෙවැනි පුතා දැන් නෑ. චූටි පුතාටයි දුවටයි හොඳට උගන්නන එක තමයි දැන් මට තියෙන එකම හීනය. 


ඇත්තටම මගේ ජීවිතේ මුලින්ම බේර ගත්තේ මගේ අම්මා. මගේ පුංචිගේ දුව (ඇය වෛද්‍යවරියක්) මට බාල සහෝදරියෝ, මගේ මල්ලි, තාත්තාගේ ඥාතීන්, අම්මගේ ඥාතීන්, මගේ යාළුවෝ, මම සේවය කරපු අායතනයේ පිරිස, ඒ වගේම වෛද්‍යවරු, සුනිල් පෙරේරා ඩොක්ටර් සියලුම දෙනාගේ ශක්තියෙන් තමයි මම අද මේ තත්ත්වයේ හරි ඉන්නේ. බිෂොප් හවුස් එකේ සෙත්සර කණ්ඩායම, කාදිනල් හිමිපාණන් මාව ජීවත් කරවන්න ගන්න වෙහෙසට ගොඩක් පිං. මාව බලාගත්ත හෙද නිලධාරිණිය එයාගේ අත්දෙකෙන් තමයි මගේ හැමදේම කරන්නේ. මාව පිරිසිදු කරලා මාව ආරක්ෂා කරලා බලාගන්නවට ඇයටත් ගොඩක් පිං. පිටරටවල අය පවා මට ගොඩක් උදව් කළා. ඒ හැම කෙනකුටම අත්දෙක එකතු කරලා මම ස්තූති කරනවා. මට තවම පුටුවක වාඩිවෙන්න බැහැ. ටික ටික තෙරපි ප්‍රතිකාරවලින් ව්‍යායාම කරනවා. වාඩි කරහම හරියට කටහඬ පිට වෙන්නේ නැහැ. ඒ දේවල් කාලයත් එක්ක හරියාවි කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. වෙච්ච දේවල් වුණා. දැන් ඉතින් මොනවා කරන්නද?” ඇය නිහඬ වුණි. 


“සමහර දේවල් ටික ටික මතකයි. අම්මා නැති වුණා. පුතා ගැන මොකක් හරි කියලා කෑ ගැහුවා මතකයි. ඒත් පුතා නැති වෙලා කියලා මම හිතුවෙ නැහැ. 


එදා පල්ලියේ ඉඳලා මීගමුව ඉස්පිරිතාලෙට යනවා මට පොඩි මතකයක් තියෙනවා. නැති වුණ පුතයි චූටි පුතයි දෙන්නම හිටියේ මගේ ළඟ. දුව හිටියේ අම්මා ළඟ. චූටි පුතා මට ටිකක් එහායින් වැටිලා හිටියා. නැති වුණු පුතා මගේ කකුල් දෙක ළඟම වැටිලා හිටියා මතකයි. මම පල්ලියේදි අම්මට කිව්වා මට හුස්ම ගන්න අමාරුයි කියලා. එතැනින් එහාට මට ලොකු මතකයක් නැහැ. 


මගේ දෙවැනි පුතා නැති වෙලා කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. අම්මත් මට කිසිම දෙයක් කිව්වේ නැහැ. පස්සේ මට වෛද්‍යවරු හිත හදලා කිව්වා පුතා නැතිවෙලා කියලා. දරාගන්න ගොඩක් අමාරු වුණා. දැනුත් මට ඒක දරාගන්න හරිම අමාරුයි. ඒත් මගේ පුතා ආයෙම එන්නේ නෑනේ. ගෙදර ගියේ නැති නිසා ඒ කාන්සිය ලොකුවට දැනුණේ නැති වුණත් ගෙදර ගියාට පස්සේ පුතාගේ අඩුව කොහොම දැනේවිද කියලා දන්නේ නැහැ. ගෙදර යන්න ආසයි. ඒත් බයයි. පුතා නැති නිසා මට මොන වගේ දේකට මූණ දෙන්න වේවිද දන්නේ නෑනේ. තවම මම නැති වුණ පුතාගේ ෆොටෝ එකක්වත් දැක්කේ නැහැ. බලන්න බෑ දුකයි.” 


ඇයගේ මව වන සිල්වියා මහත්මිය දියණිය ජීවත් කරවන්න උදේ සවස දරන වෙහෙස වචනයට පෙරළන්න බැරි තරම්. 


“ජාතික රෝහලෙන් එදා කිව්වේ 30% හොඳ පැත්ත තියෙන්නේ. හිත හදා ගන්න කියලා. 

 

 


එ්ත් දුව ඉඳපු තත්ත්වය හැටියට දැන් නම් ගොඩක්ම සුව තත්ත්වයේ ඉන්නවා. තෙරපිවලින් තමයි දැන් අත් කකුල් යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් කියලා වෛද්‍යවරු කියනවා. තවම ඇඟිලි හරි හැටි චලනය වෙන්නේ නැහැ. මාස පහක්ම කතා කරන්න බැරුව හිටියේ. පසුගිය සතියේ ඉඳලා දැන් ටික ටික කතා කරනවා. තාම පෙනහලු ප්‍රාණවත් මදි කියලා කියනවා හඬ එන්න. 


දැන් නම් පොඩ්ඩ පොඩ්ඩ බත් වගේ දේවල් කන්න කැමැතියි. කැඳ වර්ග මම හදලා යවනවා. එයා ආස කරන දේවල් ඉල්ලුවොත් මම හදලා හොස්පිටල් එකට ගෙනිහින් දෙනවා. 
දරුවෝ දෙන්නව හැමදාම හොස්පිටල් එකට එක්කගෙන යනවා අම්මාව බලන්න. දරුවෝ දෙන්නව දැක්කම එයාගේ හිතට පොඩ්ඩක් සහනයක් ලැබෙන නිසා හවසට හොස්පිටල් එකට එක්කගෙන යනවා. ලොකු දුව 6 වසරේ ඉගෙන ගන්නවා. පුතා තවම පෙරපාසල් යනවා. 


තව මාස 3ක් විතර හොස්පිටල් එකේ නේවාසිකව ඉන්න වේවි කියලා වෛද්‍යවරු කියනවා. ඒ වගේම දුවව ගෙදර ගේනවනම් ගෙදර එයාට විශේෂ කාමරයක් හදන්න ඕනෑ. මුලදි නම් ICU එකක් වගේ කාමරයක් හදන්න වේවි කියලා කිව්වා. දැන් හිතුවට වඩා සනීප තත්ත්වයේ ඉන්න නිසා සාමාන්‍ය විදියට ගෙදර එක්කගෙන එන්න පුළුවන් වේවි කියලා හිතනවා. 


කොහොම වුණත් එයා වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සහිත කාමරයක් හදන්න ඕනෑ. 


අපේ ඇඟට දැන් තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. මුල් දවස්වල ​ෙහාස්පිටල් එකෙන් කෝල් එකක් ආවත් මගේ කකුල් පණ නැති වෙනවා. මොකද දුව හිටියේ ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක. ජීවිතේ ගොඩක් අවිනිශ්චිත පැත්තට තමයි තිබුණේ. 


ඇත්තටම දරුවා නැති වෙලා කියලා අපි මුලදි කිව්වේ නැහැ. දරුවා කෝ කියලා අහනකොට මම එයා ගෙදර ඉන්නවා, ඉස්කෝලේ යනවා කියලා හිත හැදුවම ඒ දවස්වල එයාගේ හිතේ ඉබේටම බලාපොරොත්තුවක් ඇති වෙලා. 


පස්සේ වෛද්‍යවරු දුවගේ හිත හදලා පුතා නැති වෙලා කියලා කිව්වම හරියට ඇඬුවා. මම බය වුණා එයාගේ තත්ත්වය නැවත බරපතළ වේවි කියලා. අඬලම දුව හිත ටිකක් සැහැල්ලු කර ගත්තා. මට දැන් ඕනෑ මොන විදිහකින් හරි දුවව සනීප කර ගන්න.” 


තිළිණට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය කොහොමද සපුරා ගන්නේ? 


“ඉනෙන් පහළ පණ නැති නිසා තවම මළ පහ කරන්නේ ඇ​ඳේමයි. සනීපාරක්ෂක තුවා (පැම්පස්), වෙට්ටිෂුූ, ඕඩික්ලොන් තමයි ගොඩක්ම ඕනෑ වෙන්නේ. සෙත්සරණෙනුත් අවශ්‍ය ද්‍රව්‍ය ගෙනත් දෙනවා. ඒ නැතත් අපි ඉල්ලන දේවල් ගිහින් දෙනවා. දුවගේ ලොකු ඔපරේෂන් එකක් කළා. ඒ සියලුම වියදම් කාදිනල්තුමාගේ ඉල්ලීම පරිදි කියලා කපා හැරලා තිබුණා. බිෂොප් හවුස් එකෙන් හැමදේම සොයලා බලනවා. අපි හැමදේමට ඒ දරුවන්ට කරදර කරන්න යන්නේ නැහැ. පුළුවන් විදියට දුවගේ අවශ්‍ය කරන දේවල් අපි අරගන්නවා. ගොඩක් අය අපට උදව් කළා. ඒ හැම කෙනාටම ගොඩක් පිං. දුවව සම්පූර්ණ සුව කරගන්න මට ඒ අයගේ ශක්තිය ඉදිරියටත් අවශ්‍යයි.” 


​ෙම් වෙනවිට මෙම ව්‍යසනයට මුහුණ දුන් අයගේ තත්ත්වය කෙ​ෙස්ද යන්න අප සෙත්සරණ ආයතනයේ සම්බන්ධීකාරක පියතුමා වන රාමනායක පියතුමාගෙන් විමසීමක් කළා.  


“පිළිතුරු නැති ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ අයගේ ප්‍රතිකාර සහ කුලියට ඉන්න අයට ගෙවල් ප්‍රශ්නයක් තියෙනවා. බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා තවමත් සුව වී නොමැති කුලී පදනම මත පදිංචි වී සිටින පවුල්වල අය තවම ආර්ථික වශයෙන් ශක්තිමත් නැහැ. මොකද රැකියාවක් කරගන්න ඒ අයට තවම අමාරුයි. ඒ වගේම පවුල් 6ක පමණ දරුවන් තවම පාසැලේ යාමට තරම් සුව තත්ත්වයේ නැති අය ඉන්නවා. අගදරගුරුතුමා පුන පුනාම ඉල්ලන්නේ මේකට සාධාරණයක්. මේකේ ඇත්ත නැත්ත අපිට ඕනෑ. ඇයි අපට මෙහෙම කරේ කියන වේදනාව අපට දැඩිව තියෙනවා. තවම රජයෙන් දෙනවා කියපු වන්දි මුදල ලැබුණේ නැති පවුල් ඉන්නවා. බොහෝ දරුවන් දැන් පාසල් යනවා. මියගිය, තුවාල වුණ අයගේ පවුල්වල ආර්ථිකය සම්බන්ධයෙන් අපි ගැටලු රැසකට මූණ දීලා තිබෙනවා. දැනට ප්‍රමුඛතාව අපි දීලා තියෙන්නේ වෛද්‍ය ප්‍රතිකාර කරන අයට. එදිනෙදා ජීවත් වෙන්න අපි මාස 6කට ඒ පවුල්වලට මුදල් ලබා දීලා තියෙනවා. අධ්‍යාත්මික පැත්තෙන් මානසික පැත්තෙන් වැඩසටහන් කටුවාපිටිය, කොළඹ ස්ථාන දෙකක කරගෙන යනවා. මාස පහක් ගත වුණත් තවමත් බොහෝ පවුල් යථා තත්ත්වයට පත්වෙලා නැහැ.” 


ජීවත් වෙන්න හුස්ම ටික යදින මේ අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට ශක්තියක් වෙන්න දයානුකම්පා හදවත් ඇති අයට හැකි අයුරුන් උපකාර කරන්න අවස්ථාව තියෙනවා. සෙත්සරණ ආයතනය 0112-688999 සහ කටුවාපිටිය සෙත්සරණ කාර්යාලය 0760-956366 දුරකථන අංකය කතා කරලා වැඩි තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා. 

 

 


නදීශා අතුකෝරළ 
ඡායාරූප - චානුක කුලසේකර 



අදහස් (0)

පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස පහයි අහිංසකයන්ගේ ජීවිතවලට සාධාරණය ඉටු වුණාද?

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

ඇඟ පුරා ටැටූ 25ක් සීටා - කියූ කතාව
2025 මැයි මස 02 117 0

හර්ෂි කියන්න ද? රසාංගා කියන්න ද?


මම වාසනාවන්ත රංගන ශිල්පියෙක් එස්.අයි. සමරක්කොඩි
2025 මැයි මස 02 41 0

වේදිකාව හරහා කලා ලොව තරණය කරන්නෙකු පුංචි තිරයේ හෝ සිනමාවේදී කිසිදා අතරමං නොවන්නේ රංගනයේ හතර මායිම් පිළිබඳ ඔහුට හෝ ඇයට හොඳ අවබෝධයක් තිබෙන නිසාය. එස්. අය


විශාරද මනෝජ් පිරිස්ගේ අද දවසේ ජීවිතය
2025 මැයි මස 02 82 0

ඔහුගේ තබ්ලාවේ තාලයට නොගැයූ කෙනෙක් නැති තරම්ය. ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් හට පමණක් නොව, විවිධ අංශවලට අයත් තරු මෙන්ම ව්‍යාපාරික, දේශපාලන හා අනෙකුත්


පොඩි සහත්තයා ගැම්මෙන් හිටියාට මොකද බුලත් විට කන එකම තමයි අභියෝගය - පසිදු විතානගේ
2025 මැයි මස 02 52 0

පසිඳු විතානගේ කිවු පමණින් ඔහුව මතකයට නාවත් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ’’කිරි පුතා’’ එහෙමත් නැත්නම් මේ දවස්වල නම් පිරිමි ළමයි නාට්‍යයේ රසික ප්‍රජාව අ


මට තරගෙ තියෙන්නෙ මගෙත් එක්කමයි - ෂෙරිල් ඩෙකර්
2025 මැයි මස 02 43 0

’’අමා’’ කියන්නේ ලාංකීය ටෙලිනාට්‍ය අතුරින් බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලිනාට්‍යයක් කිව්වොත් නිවැරදියි. ඒ ආදරය කොයි තරම්ද කියනවා නම් එහි රඟපෑ ෂෙරිල


සින්ටෝ හි වසන්ත වූ වසන්ත
2025 මැයි මස 02 31 0

වේදිකා නාට්‍ය කලාව හරහා රංගනයට පිවිස ටෙලිනාට්‍ය කලාව ඇතුළු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන චරිතයක් බවට පත් වූ අයෙකු සමගයි මේ කතාබහ. ඔහු කවුරුත් හඳුනන වසන්ත ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1237 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 312 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1339 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site