තරු පිරි අහස

 

සෞරග‍්‍රහ මණ්ඩලයට අයත් ප්ලූටෝ සැලකෙන්නේ කුරු ග‍්‍රහයකු හැටියටය. ප්ලූටෝ පිහිටා ඇත්තේ අප සෞරග‍්‍රහ මණ්ඩලයේ ඈත කෙළවරේය. ප්ලූටෝගේ පුංචි ොසහොයුරිය ලෙස සැලකෙන ‘මේක්මේක්’ නමැති චන්ද්‍රයා වටා තවත් කුඩා චන්ද්‍රයකු ගමන් කරන බව ඇමෙරිකා නාසා ආයතනය විසින් විශ්වයේ රහස් සෙවීමට අභ්‍යවකාශයේ රැඳවූ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය පසුගියද‌ා සමත් විය.   

ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන් ‘මේක්මේක්’ගේ මෙම කුඩා චන්ද්‍රයා නම් කර ඇත්තේ, එම්.කේ.එස්. 2015 136472 යනුවෙනි. (කෙටියෙන් එම්.කේ. 2) මෙය අයිස්වලින් මිදුණු අඳුරු කුඩා චන්ද්‍රයකු බවත්, එය මේක්මේක්ට වඩා 1,300 ගුණයකින් ප‍්‍රමාණයෙන් අඩු බවත් නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේක්මේක් චන්ද්‍රයා සහ එය වටා කැරැකෙන මෙම නව චන්ද්‍රයා ද අයත්වන්නේ කුයිපර් වළල්ලටය. හබල් දුරේක්ෂයේ ආධාරයෙන් මෙතෙක් ලැබී ඇති දත්ත අනුව හිරුගෙන් ඈතින් පිහිටියත් එම්.කේ. 2 චන්ද්‍රයාගේ උණුසුම් මතුපිටක් තිබිය හැකි යැයි පැවැසෙයි. ‘මේක ඇත්තටම අපූරු සොයා ගැනීමක්. තාරකා විද්‍යාවේ නව පිටුවක් පෙරැළීමක්.’ යැයි එම්.කේ. 2 චන්ද්‍රයා සොයා ගැනීමට ද‌ායක වුණු මාර්ක් බූයී පෙන්වා දෙයි.   


ප්ලූටෝගේ පුංචි සොහොයුරිය ලෙස හැඳින්වෙන ‘මේක්මේක්’ සැතපුම් 870ක් පළලය. එය පිහිටා ඇත්තේ හිරුගේ සිට සැතපුම් බිලියන 4ක් දුරිනි. ප‍්‍රමාණය ප්ලූටෝගේ මෙන් 2/3 කි. ‘මේක්මේක්’ ග‍්‍රහලෝ සොයා ගැණුනේ 2005 වසරේ මාර්තු 31 වැනිදාය. සොයාගැනීමට සමත් වූයේ ඇමෙරිකන් තාරකා විද්‍යාඥ මිචෙල් ඊ බ‍්‍රවුන් ප‍්‍රමුඛ කණ්ඩායමය. මේක්මේක් ගැන නිලවශයෙන් දැනුම් දුන්නේ එම වසරේ ජූලි 29 වැනිදාය. මේක්මේක් චන්ද්‍රයාගේ සාමාන්‍ය උෂ්ණත්වය කෙල්වින් 30 ක් යැයි පැවැසෙයි. මෙම චන්ද්‍රයා මේක්මේක් යන නමින් නම් කෙරුණේ පාස්කු දූපතේ රපා නුයි වැසියන්ගේ මිත්‍යා කතාපාදක කරගනිමිනි. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය විසින් ‘කුරු ග‍්‍රහයකු’ යැයි සලකනු ලබන ග‍්‍රහලෝක පහක් ඇති අතර ඊට ප්ලූටෝ පමණක් නොව, මේක්මේක් ද අයත් වෙයි.   


පාස්කු දූපත සම්බන්ධයෙන් තවමත් නොවිසඳුණු අබිරහස් 4 ක් ඉදිරිපත්ව තිබේ. ඒ, දූපතේ මුල් පදිංචිකරුවන් කවුරුද? සුප‍්‍රසිද්ධ යෝධ මෝයි පිළිම නෙළුවේ කවුරුද? ඒ සඳහා ඔවුන් භාවිත කළ තාක්ෂණය කුමක්ද? මේ නිර්මාණකරුවන්ට සිදුවූයේ කුමක් ද? යන්නය. වර්තමානයේ මේ දූපතේ පදිංචිකරුවන්වන්නේ පොලිනීසියානු බස කතාකරන පිරිසක්. ඔවුන් දූපත නම් කර තිබෙන්නේ ‘රපා නූයී’ යන නමිනි. එහි තේරුම ‘මහා දූපත’ යන්නය. පාස්කු දූපත යනු ගිණිකොණදිග පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දූපතකි. මෙය සොයා ගනු ලැබුවේ 1722 වසරේ පාස්කු ඉරිදා දිනයේය. ඒ, ලන්දේසි දේශගවේෂක යාකොබ් රොගෙවීන් සහ ඔහුගේ නාවික කණ්ඩායම විසිනි. පුරාවිද්‍යාත්මක ස්ථානයක් හැටියටත් පාස්කු දූපත හුඟක් ප‍්‍රසිද්ධය. ඈත අතීතයේ ජීවත් වූ ඉතා දියුණු ශිෂ්ටාචාරයක බලමහිමය පෙන්වීමට අද ඉතිරිව ඇත්තේ නිසල ගල් පිළිම පමණි. ඒවා 600ක් පමණ දූපතේ දකින්න ලැබේ. ඒවා උසින් අඩි 3 සිට 66 දක්වා වෙයි. විශාල පිළිමයක බර සාමාන්‍යයෙන් ටොන් 80ක් පමණය.   


ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයට අනුව, ග‍්‍රහලෝකයක්වීමට නම් සුදුසුකම් තුනක් සපුරා තිබිය යුතුවේ. ඒ අතරින් පළමු සුදුසුකමවන්නේ එය හිරු වටා භ‍්‍රමණය වීමය. එය තවත් ග‍්‍රහලොවක චන්ද්‍රයකු නොවිය යුතුය. දෙවැන්න තමන්ටම ක්‍රියා ගුරුත්වාකර්ෂණ බලයක් ඊට තිබිය යුතු අතර, එය ගෝලාකාර හැඩයක් ගත යුතුය. අවසන් සුදුසුකම වන්නේ සෞරග‍්‍රහ මණ්ඩලයක සෙසු ග‍්‍රහලෝක ගමන් කරන ආකාරයට හිරු වටා භ‍්‍රමණය විය යුතුයි. ප්ලූටෝට නැත්තේ මෙම සුදුසුකම පමණි.   


සෙසු ග‍්‍රහලෝක ඉලිස්ප්සාකාර හැඩයකින් හිරු වටා භ‍්‍රමණය වන අතර ප්ලූටෝගේ ගමන් මඟ එසේ නොවේ. අසාමාන්‍ය ගමන්මඟ නිසා 1979 වසරේදීත්, 1999 වසරේදීත් ප්ලූටෝ ඊට පෙර ඇති නෙප්චූන් ග‍්‍රහලොවටත් වඩා හිරුට සමීප විය. එම වසරවලදී සෞරග‍්‍රහ මණ්ඩලයේ දුරින්ම පිහිටි ග‍්‍රහලෝකය වූයේ ප්ලූටෝ නොව නෙප්චූන්ය. ප්ලූටෝ හිරු වටා භ‍්‍රමණය වෙද්දී, අනෙක් ග‍්‍රහලෝක නොකරන දෙයක් කරයි. ඒ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් එපිට පිහිටා ඇති කුයිපර් වළල්ල තෙක් ගමන් කරයි. එම කලාපයේ වෙනත් ග‍්‍රහ වස්තූන් ද පිහිටා ඇත. මේ කරුණු කාරණා සැලකිල්ලට ගනිමින්, ප්ලූටෝ ග‍්‍රහලෝකයක් නොව, කුරු ග‍්‍රහයකු යැයි 2006 වසරේදී මුලින්ම ලොවට හෙළිකළේ තාරකා විද්‍යාඥ ආචාර්ය ගැරෙත් විලියම්ස්ය. මොහු කුරු ග‍්‍රහලෝක සංගමයේ සාමාජිකයෙකි. ඔහු ගෙන ආ තර්ක පිළිගැනීමෙන් පසු, ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ විද්‍යාඥයන් තීරණය කළේ ප්ලූටෝ ග‍්‍රහලෝකයක් නොව, කුරු ග‍්‍රහයකු කියාය.   


පෘථිවියේ සිට දුරින්ම පිහිටා ඇත්තේ ප්ලූටෝය. අභ්‍යවකාශ යානයක නැගී ප්ලූටෝ තෙක් යෑමට හැකි නම් (එතරම් දුරකට මිනිසුන් රැගෙන යෑමට අභ්‍යවකාශ යානයක් මෙතෙක් නිර්මාණය වී නැත.) පැයට කිලෝමීටර් 1,810 ක වේගයකින් පෘථිවියේ සිට ප්ලූටෝ වෙත යෑමට අවුරුදු 370 ක් ගත වේවි. ප්ලූටෝට චන්ද්‍රයෙක් සිටී. ‘කැරොන්’ නමැති එය සොයා ගනු ලැබුවේ 1978 වසරේදීය. එය පිහිටා ඇත්තේ ප්ලූටෝගේ සිට කිලෝමීටර් 20,000 ක් තරම් ළඟිනි. එහි විෂ්කම්බය කිලෝමීටර් 800කි. ප්ලූටෝහි දරුවකු උපත ලැබුවහොත් (එයද විය නොහැකිය) පෘථිවි වර්ෂ අනුව, එම දරුවාගේ පළමු උපන්දිනය සැමැරීමට නම් වසර 248 ක් ගත වේවි. ප්ලූටෝ ග‍්‍රහලොවක් ලෙස මුලින්ම සොයා ගැනුණේ 1930 දීය. විෂ්කම්බය කිලෝමීටර් 2,400 ක් යැයි පැවැසෙයි. එය අපේ චන්ද්‍රයාටත් වඩා කුඩාය. බරින් ද ඉතා අඩුය.   

 

 

 

 

 

 

 

 

 

 


ලුසිත ජයමාන්න