පිරිත් දේශනා කිරීම බුද්ධ කාලයේ සිටම පැවත එන්නක් බවත්, එමඟින් එවක සමාජය මනා ඵල ප්‍රයෝජන ලැබූ ආකාරයත් කොටසක් ලෙස පසුගිය සතියේ විස්තර කළෙමු. අතීතයේ අද මෙන් විසිතුරු මණ්ඩපවල පිරිත් දේශනා කරන ලද අවස්ථා විරලය. ඒ කාලයේ බොහෝ විට අවශ්‍යතාව අනුව ඒ ඒ ස්ථානවලට භික්ෂූන් වහන්සේලා වැඩම කොට භික්ෂූන් වහන්සේලා වටවී රෝගියෙක් උදෙසා නම් රෝගියා මැද්දේ තබාගෙන පිරිත් දේශනා කර ඇත. 

පසු කාලීන වෙද්දී විසිතුරු සැරසිලි නිර්මාණ කළ පිරිත් මණ්ඩපවලදී පිරිත් දේශනා කිරීම ඇරඹී ඇත. මණ්ඩපය බාහිර අලංකාරයට කොයිතරම් දේශීය හෝ සම්ප්‍රදායික නිර්මාණ එකතු කළත් එහි අභ්‍යන්තරය සැරසීමට යොදා ගන්නා සෑම දෙයක් තුළින්ම කිසියම් ගැඹුරු අර්ථයකට යා හැකිය. ඒ පිළිබඳ ඉදිරියේදී කතා කරනු ලැබේ. 

පිරිත් දේශනා කිරීම ලංකාවට පැමිණියේ අනුරාධපුර යුගයේදීය. ලංකාවේ ආර්ය ජනාවාස ඇතිවූ තැන පටන් පිරිත් ආභාසය තිබුණු බවට සාධක හමුවේ. එයට හොඳම උදාහරණය වන්නේ විජය කුමාරයා ඇතුළු පිරිස ලංකාවට එන විට විෂ්ණු දෙවියකු බමුණු වේෂයක් මවාගෙන පැමිණ පිරිත් පැන් ඉස පිරිත් නූල් ගැටගසා ඔවුන්ට ආශිර්වාද කිරීමය. ඒ අනුව පිරිත් පැන්, පිරිත් නූල මේ සියලු ආභාසය ලංකාවේ ස්ථාපනය වූයේ අනුරාධපුර මුල් යුගයේදීය. 

 

 

ඊළඟ කාරණය වන්නේ අද මෙන් රටේ විපතක් ව්‍යසනයක් වූ විට හෝ වෙනත් හදිසි කරුණක් අරබයා පිරිත් කියවීම වෙනුවට අතීතයේ මාසිකව, ඇතැම් විට සතිපතා රාජ්‍ය අනුග්‍රහ ඇතිව රටේ පිරිත් කියවා තිබීමය. ඒ සඳහා අනුරාධපුර යුගයේ එළිමහනේ තැනූ ගලින් කළ විශේෂ පිරිත් දේශනා මණ්ඩප දැන් සොයාගෙන අැත. ඒවායේ නටඹුන් අනුව, මේ පිරිත් දේශනා මණ්ඩප බව තහවුරු කරවාගෙන ඇත. බොහෝ විට යම් හැඩතලයකට අනුව අෂ්ටාස්‍රාකාරව තැනූ මේවා බෞද්ධ ගොඩනැගිලි සම්ප්‍රදායේ වැදගත් සන්ධිස්ථානයකි. ඒ වගේම ගෞරවනීය මට්ටමින් එකල පටන් සැලකූ මේ ගොඩනැගිලි කලාව පසුව බෞද්ධ ගොඩනැගිලි තැනීමේ ආදර්ශකයක් ලෙස යොදාගෙන ඇති බවද පෙනේ. දළදා මාලිගාවේ පත්තිරිප්පුව ද පිරිත් මණ්ඩප හැඩයට සමීප වීම මේ යුගාන්තර අතර බැඳුණු ගොඩනැගිලි කලාවේ විශේෂත්වය පැහැදිලි කරන්නකි. 


ඊළඟට පිරිත් පොත ගැන කරුණු සිහිපත් කළ යුතුය. 


පිරිත් පොත හැටියට ගන්නා පිරුවානා පොත් වහන්සේ බෞද්ධයන් සලකන්නේ ගෞරවනීය සංකේතයක් හැටියටය. බෞද්ධයෝ ‘භික්ෂූන් වහන්සේ’ යන ගෞරවාර්ථයෙන්ම වහන්සේ යන ගෞරවාර්ථය යොදාගෙන ආමන්ත්‍රණය කරන පොත් දෙකකි. එකක් ජාතක පොතය. එය ජාතක පොත් වහන්සේය කියති. අනෙක පිරිත් පොතය. ඊට පිරුවානා පොත් වහන්සේ යැයි කියති. 


ඊළඟ සුවිශේෂ කාරණය මේ පොත් දෙකම ත්‍රිපිටකයට අයත් නොවීමය හෙවත් ත්‍රිපිටකය සඳහා ලියැවුණු පොත්වලින් එකක් නොවීමය. 


පිරිත් පොත ත්‍රිපිටකයට අයිති පොතක් නොවුණත්, ත්‍රිපිටකයේ ඇති සූත්‍ර යොදාගෙන නිර්මාණය වී ඇති නිසා ගෞරවාර්ථය හිමිවී ඇත. එසේමැ මෙය ඉන්දියාවේ සකස් වුණක් ද නොවේ. ලංකාවේ අනුරාධපුර යුගයේදී සකස් වුණක් බවද කියති. 


මෑතක විද්‍යාලංකාර, විද්‍යෝදය පිරිවෙන් මෙන් අනුරාධපුර යුගයේ ජන සම්භාවනාවට පත්, පිරිවෙන් අටක් තිබී ඇත. ඒවා අෂ්ටමූල ආයතන නමි. මේ අෂ්ටමූල ආයතනවල ඉගෙන ගන්නා සාමණේර භික්ෂූන් වහන්සේලාට පිරිත් සූත්‍ර රාශියක් කටපාඩම් කරන්නට නියම වී තිබිණ. ඒ සඳහා සකසා ගත් සූත්‍ර පිළිවෙළ චතුබණවර පාලිය නම් සාමණේර භික්ෂූන්ගේ පරිහරණයට සකස් වූ මේ චතුබණවර පාලිය පසුව පිරිත් පොත හැටියට පිළිගනිමින් එය ක්‍රමිකව වර්ධනය වූ බව පෙනී යයි. 


පිරිත් පො​ෙතහි එන සෙත් පිරිත් පසු කාලීනව එකතු වූ ඒවා බව පෙනේ. පිරිත් පොතේ මූලික සූත්‍ර අතරට ආ රතන සූත්‍රය, බන්ධ මෝර, මෙත්තානිසංස වැනි සූත්‍ර මෙහි පසුකාලීන අංග හැටියට සැලැකේ. 


සෙත් පිරිත් අතරට ජය පිරිත, අටවිසි, ජයමංගල ගාථා, වට්ටක, ගිනි ආදී පිරිත් එක්වීමේදී මහායානයේ තන්ත්‍රයාන හා වජ්‍රයාන බලපෑම ඇතිවූ බවක් පෙනේ. නමුත් ඒ සූත්‍රවල ඇත්තේ ද තුණුරුවන් ගුණමය. මහායාන ආභාසය මත ඒවා එක් වුණත්, ථෙරවාදයට ගැළපෙන පරිදි සකස් වී තිබීම විශේෂ වේ. 

 

 

පිරිත් පොත් ද ඒ ඒ සූත්‍ර නොයෙක් සමාජ මානුෂීය අවශ්‍යතා සඳහා විවිධාකාරයට               සජ්ඣායනයට යොදා ගැනීම සිද්ධ වන බව පෙනේ. මිනිස් වර්ගයාගේ කායික හා මානසික රෝග සුවපත් කිරීම සඳහාම එකතු වූ පිරිත් ද පිරිත් පොතේ ඇතුළත් වේ. සත්ත බොජ්ජංග ධර්ම සිහිපත් කොට නීරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමට ද එහිලා දැකිය හැකියේය. 


ගිරිමානන්ද, මහා කස්සපථෙර, චුන්දථෙර ආදී බොජ්ජංග පිරිත් මීට උදාහරණ කොට දැක්විය හැකිය. එසේම බන්ධ, සූරිය, මෝර පිරිත් සූත්‍ර පිරිත් පොතට පසුව එකතු වූ බව පිළිගැනීමයි. මේ සූත්‍ර බුද්ධ දේශනා ද යන්න පිළිබඳ සැකයක් ඇතැයි සමහරු කියති. කෙසේ වෙතත් එකී පිරිත් බුදුරජාණන් වහන්සේගේ අසීමිත බල පරාක්‍රමය ලොවට පෙන්වීම සඳහා මහායානිකයන්ගේ ආභාසයෙන් පිරිත් පොතට එන්නට ඇතැයි ඇතැමෙක් පිළිගනිති. ඉසිගිල, ධම්මචක්කපවත්තන, මහා සමය ආදී සූත්‍ර රාශියක බුදුරජාණන් වහන්සේ දේශිත ධර්ම කාරණා අන්තර්ගත වේ. 
වසල, කසීභාරද්වාජ, පරාභව ආදී සූත්‍ර ද මේ ධර්ම කරුණු ගෙනහැර දක්වන ඒවාය. 


අනුරාධපුර යුගයේ සිට ලංකාවේ විකාශය වූ පිරිත් මණ්ඩපය ද විශේෂ අංගයකි. එහි රජගහ නමින් කුඩා පුවක් ගසක් බැඳ එහි සුදු රෙද්දෙන් කළ නිර්මාණයක් ඉදිරිපත් කිරීම ඔබ දැක ඇති. එහි අර්ථය ඉදිරි ලිපියේ සාකච්ඡා කෙරේ. 
රජගහ බඳින තැන සාමාන්‍යයෙන් ප්‍රධාන ආසනයයි. එතැනට පේරාසනය යැයි කියනු ලැබේ. ප්‍රධාන පේරාසනය මූලිකව පිරිත් මණ්ඩපයේ භික්ෂූන් වහන්සේලා පිරිත් පැන් කළ ධාතු කරඬුව පිරිත් පොත තැබූ මේසය වටා භික්ෂූන් වහන්සේලා ආසනගත වේ. පේරාසනයේ වැඩ සිටින්නේ මණ්ඩපයේ මහ තෙරුන් වහන්සේය. උපසම්පදාවෙන් වැඩි මහලු භික්ෂුවයි. පිරිත් පොත තැන්පත් කරන්නේ එතැනය. මෙය පිරිතේ සම්ප්‍රදායික ක්‍රමවේදයයි. 


මණ්ඩපයේ මේසය මැද ධාතු කරඬුව තැන්පත් කෙරෙයි. කරඬුවේ සහ පිරිත් පොතේ පිරිත් හුය ගැට ගැසීමෙන් බුද්ධරත්නය හා ධම්ම රත්නය එකතු කිරීම අපේක්ෂා කෙරෙයි. ඉන්පසු රජගහේ පිරිත් නූල ගැට ගසා මණ්ඩපය වටා පිරිත් හුය ඇද භික්ෂූන් වහන්සේලාගේ අත්වලින් පිරිත් ශ්‍රවණය කරන මිනිස්සු අතරට එය ලබාදෙයි. 


පිරිත් හුය මණ්ඩපයෙන් එළියට යන්නේ ඊට බුද්ධ, ධම්ම, සංඝ යන තුණුරුවන් අන්තර් සම්බන්ධය ඇති කළ පසුය. 
පිරිත් දේශනා කරද්දී පිරිත් හුය හරහා තුණුරුවනේ ශක්තිය මනුෂ්‍ය ජීවිතවලට ගලා යයි. පිරිත් හුය අල්ලා සිටීමේදී පිරිත් නූල හරහා ගලා එන්නේ ධාතු කරඬුවේත්, පිරිත් පොත් වහන්සේගේත්, මහා සංඝ රත්නයේත්, පිරිත් දේශනයේත් ශාන්තිය කැටි වූ බලයයි. මේ බලය ශාන්තිය කෙළින්ම අල්ලා සිටින්නාගේ ශරීරයට ඇතුලු වේ. පිරිත් නූල අල්ලා නොසිටවුන්ට එහි බලය ලැබීම දුර්වලය. 


රට පුරා විදුලි රැහැන් ඇද ඇත. එහි විදුලි බලය අපට දැනෙන්නේ ඇල්ලුවහොත් පමණි. ඒ හැර විදුලි රැහැන දෙස බලා සිටියාට එහි ශක්තිය නොපෙනේ. 


පිරිත් හුය ද අල්ලා සිටින අයට වැඩි වැඩියෙන් සෙත ශාන්තිය හිමිකරන්නකි. ශරීර තුළ අමනුෂ්‍ය බලපෑම් වෙයි නම් ඔවුහු වහා පලා යේ. 


පිරිත් නූලක් අ​ෙතහි බැඳීමේ වටිනාකම සූත්‍රාන්තර් ගත වී ඇත. 


කාමේසුමිච්ඡාචාරා ශික්ෂා පදයෙ විස්තර කරද්දී කාන්තාවක් තම ජීවිත කාලය ගත කිරීමේදී ඇයගේ ආරක්ෂාවට සිටින අය පිළිබඳ යම් විග්‍රහයක් තියෙයි. ඇයට සැමියෙක් නැත්නම් කාන්තාවගේ ආරක්ෂාවට මව පියා සිටිය යුතුය. මව පියා නැත්නම් සහෝදරයෙක් ස​හෝදරියකු සිටිති. නැත්නම් සැමියෙක් හෝ දරුවෙක් කාන්තාවගේ ආරක්ෂාවට සිටිය යුතුය. 


මේ කිසිවෙක් කාන්තාවගේ ආරක්ෂාවට නැත්නම් පිරිත් නූලක් ඇයගේ අතේ බැඳගෙන සිටිය යුතු යැයි දැක්වෙයි. 
පිරිත් නූලක් අතක ගැට ගැසූ කාන්තාවකට කාමයේ වරදවා හැසිරීමට එන්නැයි පිරිමින් අයුතු යෝජනා නොකළ යුතු බව සම්මා දිට්ඨි සූත්‍රය ආදී සූත්‍රවල විස්තර කෙරෙයි. මෙකී කාරණා අනුව පැහැදිලි වනුයේ බුද්ධ කාලයේ ද පිරිත් නූල ආරක්ෂාව සඳහා අතේ බැඳ සිටීම පැවත ඇති බවෙකි. 


බ්‍රාහ්මණ සමාජයේ පූණ නූල නමින් නූලක් කරවටා බැඳීමක් තිබී ඇත. මේ පූණ නූල, බෞද්ධ සමාජය තුළදී පිරිත් දේශනයෙන් පේ කරගත් පිරිත් නූල ලෙස විකාශය වූ බව ද සිතිය හැකිය. 


පිරිත් නූල අතේ බැඳීම සාමාන්‍ය සිරිත වුවද එය කරේ පැළඳීම ඇතැම්හු කරති. එය සුදුසුද යන්න කෙනෙක් ප්‍රශ්න කරති. 


පිරිත් කරන ලද නූල කරේ ගැට ගැසීම ඉතාම සුදුසු බව ධර්මානුකූල ඥානයෙන් විමර්ශනයේදී පෙනේ. එයට හේතුව පිරිත් හුය කරට දැමීම යනු ගෙළත් සමග මුළු හිසම ආරක්ෂා වේ. හිස සමග ශරීරයේ සියලු පද්ධති ආරක්ෂා වේ. කරේ පැළඳි විට එය ශරීරයේ වැඩි පද්ධති ප්‍රමාණයක් හා නිතර ස්පර්ශ වේ. මෙසේ ස්පර්ශ වන තරමට පිරිත් නූලේ ගැබ් වූ තුණුරුවන් ආශිර්වාදය ශරීරගත වී සියලු පද්ධති ලෙඩ රෝගවලින්, අමනුෂ්‍ය උවදුරුවලින් ආරක්ෂා වෙයි. 


එසේම කරේ පැළඳීම පිරිත් නූලට කරන ගෞරවයක් ද වෙයි. අතේ පළඳින තරමට පිරිත් නූල නොයෙක් අපවිත්‍ර දේ හා ගැටීම වැඩිය. ඉක්මනින් කිලිටි වේ. එසේම ශරීරයේ ඉන්ද්‍රියන් හා සම්බන්ධ වීම ද අඩුය. නමුත් පොදුවේ ශරීරයේ ගැටී ඇති නිසා ආශිර්වාදය නොමදව හිමිවන බව කිව යුතුය. 

 

 


මතු සම්බන්ධයි. 

 

 

 

 

 

 

 

 

 

සටහන - අසංක ආටිගල