IMG-LOGO

2025 පෙබරවාරි මස 17 වන සඳුදා


පැටියාට කෑම සොයන්න දිය යට කිමිදෙන කුරුල්ලෙක්

මුහුදු වෙරළ තීරයට බලපෑම් එල්ල වන්නේ උදම් රළවලින් පමණක් නොවෙයි. සාගරයේ ඈත උපදින මහා රළ, පෙරැළි පෙරැළි වෙරළ දෙසට ඇදී එන්නේ, බිහිසුණු මෙන්ම ප්‍රචණ්ඩ ස්වරූපයකිනි. වෙරළට ඔබ්බෙන් නොගැඹුරු මුහුද කැලඹෙද්දී, මුහුදු රළ අඩි ගණනාවක් ඉහළට නැගෙයි. මෙවැනි උස රළ සැමවිටම රළ පදින්නන්ගේ අවධානයට ලක් වෙයි. අති දැවැන්ත මෙන්ම බිහිසුණු මුහුදු රළ දකින්න ලැබෙන්නේ,  යුරෝපයට අයත් පෘතුගාලයේ නසරේ වෙරළ තීරයට ඔබ්බෙනි. දිනපතා, ප්‍රචණ්ඩ මුහුදු රළවලින් මුහුදු වෙරළට බලපෑම් එල්ල වෙයි. වෙරළට කඩා වදින ප්‍රචණ්ඩ රළවලින් එල්ල වන බලපෑම, ටී.එන්.ටී. පුපුරන ද්‍රව්‍ය මිලියන එකහමාරක් පුපුරුවා හරිනවා හා සමාන යැයි පැවැසෙයි. මිහි මත වෙරළ තීරයන් හැඩ ගැස්වීම සිදුකරන්නේ මෙම බිහිසුණු මුහුදු රළය. යුරෝපයේ ඇතැම් පළාත්වල, වෙරළ තීරයෙන් සෑම වසරකම මීටර් තුනක් සාගරඛාදනයට ගොදුරු වෙයි. ප්‍රබල මුහුදු රළවලින් එල්ල වන බලපෑමෙන්, වෙරළ තීරයේ ඇති මහා ගල් පර, වෙනස් වෙන්නේ, එම ගල් පරවල ඇති සවි ශක්තිය අනුවය. රළ පහරට හසුවන මෘදු ගල් ස්ථර දිනෙන් දින පරිවර්තනයකට ලක්වෙයි. සිත් ගන්නා හැඩයෙන් යුත් ආරුක්කු නිර්මාණය වෙයි. මුහුදු රළවලින් එල්ල වන්නේ කිසිදා අවසන් නොවන ප්‍රහාරයකි. රළ පහරෙන් බැටකමින්, අපූරු පරිවර්තනයකට ලක්වුණු මහා ගල් පර්වත උතුරුදිග ස්පාඤ්ඤ වෙරළ තීරය පුරා දිස් වෙයි.

 

ප්‍රපාත නිවහන


වසර දහස් ගණනක් අතීතයේ, මේ අයුරින් මුහුදු රළවලින් බැට කෑ යෝධ ගල්පර අහසට නැගුණු මාලිගා වැනිය. භූමි වෙනස්කම්වලට ලක්වුණු මෙම ගල්පර මාලිගා අද, සාගරය ජීවිතය කරගත් මුහුදු පක්ෂීන් බොහොමයකගේ නිවාස බවට පත් වී ඇත. මුහුදු පක්ෂීන් යනු සාගරය කේන්ද්‍ර කොට ගනිමින් සාගරය අවට ජිවත් වන පක්ෂීන්ය. මුහුදු පක්ෂීන් විශේෂ දහස් ගණනකි. ආක්ටික් කලාපයේ දකින්න ලැබෙන ප්‍රපාතවල පිහිටි ගල්පර අතරේ, ගුල්වල පැටවුන් ලොකු මහත් කරන්න වෙහෙසන මෙවැනි පක්ෂීන් විශේෂ බොහොමයකි. කුරුලු තාත්තා සහ අම්මාගේ අරමුණ තමන් කුසගින්නේ සිටියත් පැටවුන්ට කෑම දී ලොකු මහත් කිරීමය. නොයෙක් නොයෙක් වර්ගයේ මුහුදු පක්ෂීන්ගෙන් ගල් පරයේ ගල් කුහර පිරි ඇත. මුහුද දෙසට මුහුණ ලා ඇති ගල් කඳු ප්‍රපාතයට ඇත්තේ එක් පිවිසුමකි. පිවිසුම ඇත්තේ අහසින් පමණි. එහෙයින්, මුහුදු පක්ෂීන්ට මෙතැන ආරක්ෂිත නිවහනකි. ආරක්ෂාව ගැන බිය විය යුතු නැතත්, ආහාර සොයා ගැනීමට නම්, මෙම ප්‍රපාත නිවහනේ ජීවත් වන මුහුදු පක්ෂීන් ලොකු අභියෝගයකට මුහුණ දෙයි. 


පෆින් තාත්තා


මුහුදු පක්ෂීන් විශේෂ බොහොමයක් මෙම ප්‍රපාත නිවහනේ ජීවත් වුවත්, අපේ කතාවට සම්බන්ධ ප්‍රධාන චරිතය වන්නේ ‘පෆින්’ පක්ෂියෙකි. පෆින් ප්‍රමාණයෙන් කුඩාය. පිහිනීමට හැකි ලෙස සැකැසී ඇති පාද දිප්තිමත් කහ වර්ණයක් ගනී. පෆින් කළු සහ සුදු පැහැතිය. පෆින්ට ඇත්තේ අසාමාන්‍ය විදියේ ලොකු හොටකි. එය කළු, කහ රතු වර්ණවලින් අලංකාරය වී ඇත. අපේ කතා නායකයා වන මේ පෆින් මසුන් අල්ලන්නෙකි. තාත්තා කෙනෙකි. ඔහුට සහකාරියක සිටී. ඇය ඔහුගේ ජීවන සහකාරියයි. දෙදෙනා ජීවත් වන්නේ ප්‍රපාතයේ ඇති කුඩා ගුලකය. පෆින් තාත්තාට සහ අම්මාට එක පුංචි පැටවෙකි. සතියක් පමණ වයසැති මේ පුංචි පැටවා ලොකු මහත් කිරීමේ වගකීම අම්මා සහ තාත්තා භාරගෙන ඇත. තද අළු පැහැයෙන් යුත් පැටවා, එසේත් නැතිනම් පෆ්ලිං ට අඩු තරමින් දිනකට දෙවරක්වත් ආහාර ලබා දිය යුතු වෙයි. පෆින් තාත්තා සහ අම්මා මාරුවෙන් මාරුවට මුහුදු යන්නේ පැටවාට ආහාර ගෙන ඒමටය. එය ඔවුන්ගේ දෛනික රාජකාරියයි. තාත්තා නැති වෙලාවට පැටවාගේ ආරක්ෂාවට ළඟ සිටින්නේ අම්මාය. අම්මා නැති වෙලාවට පැටවාට තාත්තාගේ උණුසුම සහ ආරක්ෂාව හිමිවෙයි. දැන් මාළු අල්ලන්න මුහුදට යෑමට වෙලාව හරිය. එළැඹී ඇත්තේ පෆින් තාත්තාගේ වාරයයි.


ගොදුරු සොයමින්


සහකාරියට සමුදී, පෆින් තාත්තා මුහුදට පියඹා යයි. ප්‍රපාත නිවහනේ ජීවත් වන මුහුදු පක්ෂී විශේෂ අතරින්, මෙලෙස මුහුදට ගොස් ආහාර සොයන පෆින්, තවත් එක් පක්ෂියකු පමණි. සෙසු පක්ෂීන් ද සමඟ පෆින් තාත්තා මුහුදේ ඈතට පියඹා යයි. වෙරළට නුදුරින් මුහුදු සීමාවේ මාළු හිඟ නම්, තවත් ඈතට පියඹා යෑමට පෆින්ට සිදුවෙයි. පෆින් සැතපුම් 30 ක පමණ දුරක් ඈතට පියඹයි. මසුන් යහමින් ඇති ස්ථානවලට ළඟා විය හැක්කේ එවිටය. වෙහෙසකර පියසැරියකින් පසු, පෆින් තාත්තා නියමිත තැනට ළඟා වෙයි. තටු ගැසීමේ වේගය සෙමින් අඩු කරමින්, පෆින් තාත්තා වතුරට බසී. ගොඩබිම සහ අහස නිවහන කරගත් පෆින් ඇතුළු මුහුදු පක්ෂීන් දැන් අලුත් ලොවකට පිවිසෙයි. ඒ, මුහුදේ කිමිදීමත් සමඟය. පෆින් තාත්තා ද මුහුදේ කිමිදෙන්නේ කුඩා මසුන් අල්ලා ගනිමිනි.


ගොදුරු සොයා කිමිදෙයි


පෆින් පමණක් නොවේ, වෙනත් මුහුදු පක්ෂීන්ගේ සිරුරු, අහසේ පියඹා යන්න පමණක් නොව, දිය යට කිමිදීමට හැකි අයුරින් ද නිර්මාණය වී ඇත. දිය යට කිමිදෙමින් මාළු අල්ලා ගැනීම පහසු කටයුත්තක් නොවේ. පෆින් තාත්තාට, වෙනත් මුහුදු පක්ෂීන්ගෙන් අභියෝග එල්ල වෙයි. ගොදුරු අල්ලා ගන්න ලොකු සටනකි. වේගවත් කෙනාට වාසි වැඩිය. පෆින්ලාට අභියෝගයක් එල්ල වන අනෙක් ගිලිමොට් පක්ෂීන්ගෙනි. ගිලිමොට් යනු ඕක් වර්ගයට අයත් පක්ෂි විශේෂයකි. ගිලිමොට් කෙටි පියාපත් සහිත කුඩා කළු සහ සුදු පැහැති මුහුදු පක්ෂියෙකි. පෆින් සේම, ගිලිමොට් ට ඇත්තේ කෙටි පියාපත්ය. ඒවා කිමිදීමට උපකාරී වෙයි. පෆින්ට මිනිත්තුවකට වඩා වැඩි කාලයක් හුස්ම හිරකරගෙන සිටිය හැකිය. මාළුන් සොයමින් පෆින් මිටර් 40 ක් ගැඹුරට පිහිනයි. 


තාත්තා අපසු එයි


පෆින් තාත්තා මාළුවකු අල්ලා ගනී. ඉක්මනින් ජලය මතුපිටට එයි. මාළුවා කටින් අල්ලා ගනිමින්, පෆින් තාත්තා ආපසු ගුල වෙත පියසැරිය ආරම්භ කරයි. මුහුදට පැමිණීමට පෆින් තාත්තාට පැය 3 ක් ගත විය. දැන් පැය 3 ක් පුරාවට ආපසු යා යුතුව ඇත. වේගයෙන් තටු ගසමින්, ජලය මතුපිට දුවමින් අවශ්‍ය වේගය ලබා ගන්නා පෆින් තාත්තා අහසට නගී. මාළුවා රැගෙන විඩාබර මෙන්ම දීර්ඝ පියසැරිය ආරම්භ කරයි. පුංචි පැටවා තාත්තා එනකල් මව තුරුලේ බලා සිටී. පෆින් තාත්තාට මාළු අල්ලා ගැනීමට මුහුදට යෑමටත්, පසුව ආපසු පැමිණීමටත්, සැතපුම් 60 කට වැඩි දුරක් පියඹා යෑමට සිදුවී ඇත. දැන් පෆින් තාත්තා උගේ නිවහන අසලට පැමිණ ඇත. තව ඇත්තේ ටික දුරක් පමණි. ඒත් ක්‍රියාන්විතය තවමත් අවසන් නොවේ.


පරපුටුවා


ප්‍රපාත නිවහනට නුදුරින්, මුහුදු තීරයේ ඉහළ අහසේ සැරිසරන කොල්ලකරුවෝ පිරිසකි. මුහුදු පක්ෂීන් වුණත් මොවුන් ජලයේ කිමිදී මසුන් අල්ලා ගැනීම සිදු කරන්නේ නැත. ‘ආක්ටික් ස්කූ’ යනුවෙන් හැඳින්වෙන මොවුන් මුහුදු ලිහිණි විශේෂයකි. සිංහලෙන් මේ කුරුල්ලා හැඳින්වෙන්නේ ‘මුහුදු හොරා’ සහ දුඹුරු වුලුඹුවා යන නමිනි. මේ කුරුල්ලා පරපුටුවෙකි. එයින් අදහස් කෙරෙන්නේ අනෙක් කුරුල්ලන්ගේ ගොදුරු හොරකම් කිරීමය. පෆින් තාත්තා පමණක් නොව, සෙසු මුහුදු කුරුල්ලන් ද දියඹට ගොස්, කිමිදී අල්ලා ගෙන එන මාළු, එම කුරුල්ලන්ට පහර දී ලබා ගැනීමට ‘ආක්ටික් ස්කූ’ හපනෙකි. අනෙක් මුහුදු කුරුල්ලන්ට වඩා මෙම පරපුටුවා ප්‍රමාණයෙන් ද විශාලය.


සතුරු ප්‍රහාරය


ආපසු නිවෙස් බලා පැමිණෙන මුහුදු කුරුල්ලන් ‘ආක්ටික් ස්කූ’ රංචුවේ ප්‍රහාරයට හසුවෙයි. ඉහළ අහසේ සිට ‘ආක්ටික් ස්කූ’ එකිනෙකා වේගයෙන් පැමිණ, කුරුල්ලන්ට පහර දී මාළු ඩැහැගැනීම ආරම්භ කරයි. එක් ආක්ටික් ස්කූ කුරුල්ලකු පෆින් තාත්තාට ද පහර දී මාළුවා ඩැහැ ගැනීමට තැත් කරයි. පෆින් තාත්තා ඌ මඟ හැර යාමට වෙර දරයි. ඌ මුහුදට වැටෙයි. පැටවා වෙනුවෙන් අල්ලා ගත් මාළුවා අත් හැරීමට පෆින් තාත්තාගේ අරමුණ නොවෙයි. සෙසු පෆින් කුරුල්ලන් ඇතුළු මුහුදු කුරුල්ලන්ට ආක්ටික් ස්කූ රංචුව පහර දෙනු වතුරේ පාවෙමින් සිටින පෆින් තාත්තාට දකින්න ලැබේ. ‘ආක්ටික් ස්කූ’ ට ඇත්තේ දිග පියාපත්ය. එහෙයින්, සුළං කපා ගෙන ඕනෑම විදියට සිරුරු හරවමින් පියඹා යන්න ඌට හැකිය. 


ගෙදර එයි


පෆින් තාත්තා කල්පනාකාරීව බලා සිටී. ඒ, නියමිත මොහොත එනකල්ය. ‘ආක්ටික් ස්කූ’ රංචුව අනෙක් මුහුදු කුරුල්ලන් වෙත අවධානය යොමු කරද්දී, පෆින් තාත්තා සෙමින් සෙමින් පියඹා යන්න සැරැසෙයි. අහසට නැගෙන ඌ නිවස බලා ගමන් ආරම්භ කරයි. එක් ‘ආක්ටික් ස්කූ’ කුරුල්ලකුට පෆින් තාත්තා පෙනෙයි. ඌ වේගයෙන් පෆින් තාත්තා පසුපස පියඹා එයි. ප්‍රපාත නිවහන පිහිටි ගල් පර්වතය අසලට පෆින් තාත්තා ළං වෙයි. ‘ආක්ටික් ස්කූ’ ඊට ළං වන්නේ නැත. ඊට හේතුව, ගල් පර්වතයට ළං වුවහොත් සෙසු මුහුදු කුරුල්ලන් එක් වී, ‘ආක්ටික් ස්කූ’ ට පහර දෙන බැවිනි. අකමැත්තෙන් වුවත් ‘ආක්ටික් ස්කූ’ පරාජය භාර ගනිමින් ආපසු හැරෙයි. පෆින් තාත්තා උගේ ගුලට පැමිණෙයි. සහකාරිය බොහොම ආදරයෙන් ඌ පිළිගැනීමට සූදානමින් සිටී. මාළුවා පැටවාට කෑමට දෙයි. ගෙනා මාළුවාගෙන් වැඩි කොටසක් ආහාරයට ගන්නේ පැටවාය. තාත්තා සහ අම්මා බඩගින්නේය. තාත්තාගේ වාරය අවසන්ය. මීළඟ වාරය පෆින් අම්මාගේය. මාළු සොයමින් දියඹට යෑමට පෆින් අම්මා සූදානම් වෙයි.  

 

 

 


 

සමුදුරු සුවිසැරිය අවසන් කොටස ලබන සතියේ 

 

 

ලුසිත ජයමාන්න
බ්ලූ ප්ලැනට් 2 ඇසුරිනි



අදහස් (0)

පැටියාට කෑම සොයන්න දිය යට කිමිදෙන කුරුල්ලෙක්

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

බැණුම් අහන්නේ චරිතය සාර්ථක නිසා - ගාවින්ද නවරත්න
2025 පෙබරවාරි මස 13 29 0

හැඩි දැඩි පෙනුම, රෞද්‍ර රළු බව පිරිමි පෞරුෂය පිළිබිඹු කරන ලක්ෂණ කිහිපයකි. එවන් පෞරුෂවත් පිරිමි පෙනුම නිසාම නිරන්තරයෙන් රළු චරිතවලට නිර්දේශ වන මොහු දැන


මම 1500 වතාවකට වඩා මනාලියන්ට හැඩවෙලා තියෙනවා - තාරා කළුආරච්චි
2025 පෙබරවාරි මස 13 49 0

නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ කලාවට පිවිස, ’’ගිනි අවි සහ ගිනි කෙළි’’ චිත්‍රපටයේ බෝගවත්තේ ලකීගේ ජීවිතේ නැති කරන්න ආ සරාගී යුවතිය ලෙසින් ද ’’ලලයි ලිලයි ලයි’’ ට


ලෝක විවාහක රූ රැජින දෙවෙනි ස්ථානය දිනූ ඉෂාදි අමන්දා
2025 පෙබරවාරි මස 13 30 0

පසුගියදා ඇමරිකාවේ ලාස් වේගාස්හි දී 40 වැනි වතාවටත් පැවැත් වූ ලෝක විවාහක රූ-රැජින තරගයේ දී, ‘උප කිරුළ’ දිනා ගැනීමට සමත් වූයේ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත


සුනීතා විමලවීරට ආනන්දයක් වූ නිරානන්දයේ සකරදාං
2025 පෙබරවාරි මස 13 52 0

සකරදාං බලන්නට මනාලයෙක් ආවේය. ඔහු උඩ ගොස් බිම වැටුණේ ඇගේ රූප ස්වභාවය දුටු විටය.


සංජය සහ අපූර්වා
2025 පෙබරවාරි මස 13 58 0

ඔහු රංගනයට වඩාත් දක්‍ෂ වූ තුරුණු රංග ශිල්පියෙකි. ඇය ගැයුමට සහ සංගීතයට වඩාත් දක්‍ෂ වූ තුරුණු සංගීත ශිල්පිනියකි. දැන් මේ දෙදෙනා පෙම්වතුන්ය. ඔහු සංජය මුරම


තමන්ගේ පුතා උස්සාගෙන ගහින් මරා දමද්දී මනොරානී ඒක කොහොම දරාගන්න ඇතිද?... ස්වර්ණා මල්ලවාරච්චි
2025 පෙබරවාරි මස 06 146 0

“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 271 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 141 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 971 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site