ගිංගං දෑලේ සැඟවුණු ලෝකය  

 

ජපන්නු අහසෙන් ඇවිත් බෝම්බ දානකොට මං හිටියේ ගාල්ලේ අඟුලුගහ තේ වත්තක. මං තමයි ඒ තේ වත්ත බලාගත්තේ. එදා මට හොඳට මතකයි. එක එක පාට එළිය කුට්ටි කඩා වැටුණා. මං ඒක දිහා බලා හිටියා. පස්සේ තමයි ආරංචි වුණේ ඒ ජපන්නු බෝම්බ දාල කියලා. 

මේ වන විට එකසිය දොළොස් වැනි වියට ළඟා වී සිටින ගාල්ලේ, නාගොඩ උඩවැලිවිටියේ පදිංචි එඩ්වින් වික්‍රමාරච්චි නොහොත් අඹවත්තෙ සීයා එසේ තම අතීත මතකය ස්මරණය කරයි. 


වික්‍රමාරච්චි මහතාට දූ දරුවන් දහ දෙනෙක් සිටි බවත් දෙදෙනෙක් මියගොස් ඇති බවත් කියා සිටියේ ඔහුගේ වර්තමාන භාරකාරත්වය උසුලන බාල දියණිය වන කුසුමාවතී වික්‍රමාරච්චි මහත්මියයි. 


හැටහය හැවිරිදි වියේ සිටින ඇය පවසන්නේ තම පවුලේ සියලුම සහෝදර සහෝදරියන් ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාගත් අතර තමා හැර සෙසු සියල්ලෝම රජයේ වැදගත් රැකියා කළ බවයි. වික්‍රමාරච්චි මහතාගේ දැනට ජීවතුන් අතර සිටින දූ දරුවන් අතරින් වැඩිමහල්ම දරුවාට ද මේ වන විට අවුරුදු අසූ දෙකක් සම්පූර්ණ වී ඇත. 


සීයා ඉස්සර අඟුලෙන් ගිය ගමන් ගැන විස්තර ටිකක් කියන්නකෝ. 

 

වික්‍රමාරච්චි මහතාගේ පවුලේ තොරතුරු කතා බහ කිරීමෙන් අනතුරුව මම එම ප්‍රශ්නය ඔහු වෙත යොමු කළෙමි. 


ඒකාලේ ඉතිං හැම ගමනම ගියේ ගඟ දිගේ තමයි. ගං ඉවුර දිගේ තිරික්කල යන්න පාරක් තිබුණා. පයින් යන අයත් ඒ අඩි පාර දිගේ තමයි ගියේ. ගඟේ එක ඉවුරක ගස් වැවෙන්න දුන්නේ නෑ. අඟුල ඇදගෙන යන්න පාර හදාගෙන තිබුණා. අපේ පවුලට ළමයි ලැබුණාම හීනටිගල නවත්තලා හිටියේ. මං අඟුලෙන් ගිංතොටට ගිහින් තමයි පවුලයි දරුවයි බලන්න හීනටිගලට ගියේ. 


 වික්‍රමාරච්චි මහතා එක දිගට කියවාගෙන යන පුද්ගලයෙකු නොවේ. ඔහු විස්තර කරන ගිංගඟේ ඉවුර දිගේ එදා තිබුණු අඩි පාර අද ද උඩවැලිවිටිය සහ කැප්පිටියාගොඩ වැනි ගිං ගඟ අසබඩ ගම්මානවල ශේෂවී තිබේ. වෙනසකට ඇත්තේ එම අඩි පාරවල් යතුරුපැදි ගමන් කළ හැකි තරමට අද පුළුල් වී තිබීමයි. 


‘සීයට මතකද සීයගෙ පාසල් ගිය කාලය?’ ඔහු කුඩා අවධිය දක්වා කැඳවාගෙන යන රිසින් මම විමසුවෙමි. 

 

‘මං හතර පාස් කළා විතරයි. ඊට පස්සේ පාසල් ගමන නතර කළා. පාසල් ගමන නතර උනාට පස්සේ අඟුලක එල්ලිලා හිනිදුමට ගිහින් නෙළුවෙ මැදගම අපේ ආච්චිලයි ගෙදර ගියා. එහේ අවුරුදු පහළවක් දහසයක් වෙනතුරුම හිටියා. ආච්චිලයි ගෙදර මාමල පස් දෙනෙක් හිටියා. මාමලයි යාළුවෝ ගෝන්නු, ඌරෝ දඩයම් කරල මාමලයි ගෙදරට කොටහ එවනවා. මාත් ඒකාලේ මාමලයි පස්සෙන් යනවා.’ 


අවුරුදු එකසිය දොළහක් වුවද තම කුඩා කාලය ගැන සිහිපත් කරද්දී වික්‍රමාරච්චි මහතාගේ මුවඟට නැඟුණ මඳහාසය ජවසම්පන්නය. ඔහු ඒ අතීත ආවර්ජනයන් මුදාහරින අතරතුර සුසුමක් පිටකර යම් කල්පනාවකට වැටිණ. 


‘සීයෙ ඒකාලේ වෙළඳ‌ාම් කටයුතු ගැනත් මතක ඇති නේද?’ 


මම ඔහුගේ අවධානය වෙනත් ඉසව්වකට කැඳවාගෙන යාමේ උත්සාහයක් සඳහා පෙළඹුණෙමි. 

 

 

‘ඒ කාලේ ඉතිං ලොකුම වෙළෙඳාම පුවක් තමයි. පුවක් වේළලා කරුංකා විකුණන එක තමයි කව්රුත් කළේ. ඉස්සර හැම තැනම පුවක් අරඹවල් තිබුණේ. ගඟ දිගේ එක පෙළට පුවක්ගස් ඉබේ වැවිල තිබුණා. වේලපු පුවක් ගෝනිවලට අරන් ගියාම ලොකු ඉල්ලුමක් තිබුණා. 


ඒ කාලේ කිරි කෝප්පයක් ශත පහයි. අරක්කු බෝතලයක් ශත හැත්තෑ පහයි. සිගරට් එක ශත හතරයි. ගිනි පෙට්ටිය ශතයයි. දවසම කුලී වැඩ කළාම ලැබුණේ ශත තිස් පහයි. රුපියල් විස්සක් විතර තිබුණා නම් ඒකාලේ දහ දොළොස් දෙනෙක් ඉන්න පවුලකට මාසයක් ජීවත් වෙන්න ඇති.’ 

 

 

වික්‍රමාරච්චි මහතාගේ පරණ මතක සටහන් වර්තමානය හා ගැලපීමේදී අහස පොළව තරම් අසමානවීම පිළිබඳව ඔහුට ඇත්තේ හොඳ අවබෝධයකි. ඒ පිළිබඳව අදහස් දක්වද්දී ඔහුගේ මුවඟට උපහාසාත්මක සිනහවක් නැගෙන්නේ ඒ නිසාය. මුල් කාලයේ කෘෂිකර්මාන්තයේ නියැලී ඇති ඔහු එළ සහ මී ගවයන් ඇති කරමින් කිරි නිෂ්පාදනය කිරීමේ සහ අළෙවි කිරීමේ කටයුතුවලට ද අත ගසා තිබේ. 

 

 

 


මතු සම්බන්ධයි

 

 

සටහන ඡායාරූප
තවලම රංජිත් හේවගේ