IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


දරුවා විදුලි රැහැනට හසු කළ මිනීමරුවා සොයා ගිය රෙජී

පොලිස් නිල සුනඛයන්ගේ වික්‍රම   

 

 

මහනුවර දිස්ත්‍රිකයේ අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් හීපිටිය රතුකොහොදිගල, ගම ඉතාමත් සුන්දර පරිසරයක පිහිටා තිබේ. මෙහි ද විවිධ පුද්ගලයෝ ජීවත් වෙති.. කිහිප දෙනෙක් ධනවතුන්ය. බොහෝ පිරිසක් දුප්පතුන්ය. හිතක් පපුවක් නැති අය ද, ඒ අතර නැතුවාම නොවේ. එහි ඉතා අසරණව තම එකම පිරිමි දරුවා සමග ජීවත්වන පවුලකි. මව්පියවරුන් වෙහෙස මහන්සි වී මුදල් උපයමින් දරුවාට උගන් වන්නේ අනාගතයේ දී ඔහු ගේ ජීවිතය යහපත් කිරීමේ අදහසිනි. ඒ අතරේ තම නිවෙස සෑදීමට ද මෙම උත්සාහවන්ත මව්පියෝ කටයුතු කරමින් සිටින්නේය. එහෙත් ඒ සියල්ලම මිරිඟුවක් බවට පත්වන්නේ ඔවුන් සිහිනයකින් වත් නොසිතූ මොහොතකය... 


2014 වසරේ අගෝස්තු මස 30 දිනයට හිරු පායා ඒමට ඉතිරිව ඇත්තේ තවත් මොහොතකි. හීපිටිය ගම තවමත් පවතින්නේ අඳුරේය.. එහි කුඩා පැල්පතක ජීවත්වන පවුලක බිරිඳ, නයනා හිමිදිරියේම අවදි වූයේ උදෑසන ඉටු කළ යුතු වැදගත් වැඩක් තිබෙන නිසාය. ඒ අලුතින් ඉදිවන නිවසේ ප්‍රධාන උළුවස්ස නැකතට අනුව තැබීමටය. පෙරදින වඩුබාස්ට දැනුම් දුන්න ද, ඔහු ප්‍රමාද වී පැමිණියොත් යන සැකය ඇය ගේ සිතේ හොල්මන් කළාය... 
පහළොස් වැනි වියේ පසුවන පුතා තවමත් නිදිය... ඔහු දුනුවිල රතනපාල විදුහලේ දහවන වසරේ ඉගෙනුම ලබයි. දරුවා පාසල් යාමට පෙර බාස්ගේ ගෙදරට යවා නැකතට කලින් ගෙන්වා ගත යුතු යැයි මව කල්පනා කරයි... ස්වාමිපුරුෂයා ඒ සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කළ යුතු බැවින් ඔහු පිටත් කළ නොහැකිය. පුතා අවදි කිරීමට ඇයට දුක සිතෙයි. 


 වෙනත් කරන්න දෙයක් නැතිම තැන ඇය ඔහුට කතා කළාය... “අනේ පුතේ උඹ ඉස්කෝලේ යන්න කලින් ගිහිං බාස් උන්නැහේ එක්කරගෙන වරෙං... හරියට නැකතට උළුවස්ස තියා ගන්න ඕන. බාස්ට වේලාවට එන්න බැරි වුණොත් එහෙම හොඳ නෑනේ මයේ පුතේ. දැන්ම බාස්ගේ ගෙදරට යන්න. එළිය වැටීගෙන එන්නේ. පාර පෙනෙනවා. ඔහු නිදාගෙන හිටියොත් ඇහැරවලා හරි එක්කරගෙන එන්න” මවගේ අණ කිරීමට වඩා එහි තිබුණේ අයැදීමකි. ඔහුට එය බැහැර කිරීමට නොහැකිය...  


‘හා හොඳයි අම්මේ...’ 


වෙනදා උදේ අවදි කරන්න අමාරු දරුවා අද කතා කළ සැණින් අවදිව බාස් සොයා යාමට කැමැත්ත පළ කිරීම ගැන, මවට ඇති වූයේ සෙනෙහස මුසුවූ අනුකම්පාවකි. 


‘මම ඇවිත්ම මුහුණ සෝදා ගන්නම්’ තම කටට ගත් වතුර ඉවතට දමමින් ඔහු පැවසුවේය. පුතා බාස්ගේ නිවෙසට යාමට එළියට බසින විට ප්‍රදේශය පුරාම පැතිර තිබුණේ අඳුරු පැහැයකි. 


බාස් උන්නැහැගේ නිවෙසට යාමට කිලෝ මීටරයකට ආසන්න දුරක් ඇවිද ගෙන යා යුතුය. නිවෙස ඉදිරියෙන් ඇති වෙල්යාය මැදින් ගොස් විශාල ගස්වලින් පිරී පවතින වනාන්තරයක්, කෙසෙල් යායක් පමණක් නොව කුඹුරු යායක් ද ඊට අයත්ය. මේ සඳහා වන මාර්ගය අඩි පාරකි. 


පුතා නිවසින් පිටත්ව ගොස් දැන් පැය දෙකකට ආසන්නය. හිරු එළිය ගස් අතරින් පෙරී ඇවිත් මිහිකත සිපගත්තේය. දැන් ඔහු පැමිණිය යුතුය. බාස් ද නැත. පාසල් යාමට ද පරක්කු වී ඇත. මව කලබලයට පත්වූවාය. පවුලේ අයට කතා කළ මව, ඔවුන් සමග දරුවා සොයා බාස් උන්නැහැගේ නිවස බලා පිටත් වූවාය. 


මව සමග දරුවා සොයා යන පිරිස අවසන කුඹුරු යායට ඇතුළු වී නියර දිගේ ඉදිරියට යද්දී ඈතින් වූ නියරක් අයිනේ වැටී සිටින දරුවා දුටුවේය. ළඟට ගොස් පරීක්ෂා කළ වැඩිහිටියෙක් පැවසුවේ... දරුවා මිය ගොස් ඇති බවය! මව සිහි නැති වී ඉපණැල්ල මත ඇද වැටුණාය. තම එකම පුතා නැතිවීමේ ශෝකයෙන් මව පොළොවේ පෙරළි පෙරළී හඬන ආකාරය දුටු අවට සිටි පිරිසට ද වාවා ගත නොහැකි දුකක් දැනිණ. 


පසුව දරුවාගේ අබිරහස් මරණය පිළිබඳව මව්පියන් විසින් අලවතුගොඩ පොලිසියට පැමිණිල්ලක් කරන ලදී. ඒ අනුව දරුවා වැටී සිටි ස්ථානයට පැමිණි පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කරන ලදී. 


මළ සිරුර පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වූයේ විදුලි සැර වැදීමෙන් ඔහු මියගොස් ඇති බවකි. පුදුමය නම් ඔහු වැටී සිටි ස්ථානයේ විදුලි සැර වැදිය හැකි කිසිවක් දක්නට නොමැති වීමය. එහෙත් අවට පරීක්ෂා කිරීමේ දී සැකයට භාජනය වන සාධක කිහිපයක් පොලිසියට සොයා ගැනීමට හැකිවිය. කුඹුර කෙළවර කැලයේ පඳුරු අතරේ සඟවා තිබූ කම්බි රෝලක් සහ දිග උණ ලීය ඉන් ප්‍රධානය. උණ ලීයේ කෙළවර එස්ලෝන් බට කැබැල්ලක් සවි කර තිබුණි. 


මේ වගේ උණ බටයක් යොදා ගන්නේ හොරෙන් විදුලිය ලබා ගැනීමට රැහැන, විදුලි කණුවට සවි කිරීම සඳහා බවත්, ඒ අසල සාදික්කා ගසක ඌරකු පුලුස්සා ඇති බවට සාධක කිහිපයක් දක්නට ලැබෙන බවත් පොලිස් නිලධාරියෙක් පැවැසුවේය. 


ඒ අනුව සාදික්කා ගස අසලට ගිය පොලිස් කණ්ඩායමට දක්නට ලැබුණේ සාදික්කා අත්තක උණ බටයක් ආධාරයෙන් ඌරෙකු එල්ලා පහතින් ගින්දර දමා ඌගේ ලෝම පුළුස්සා මස් කර ඇති බවය. මෙවැන්නක් සිදු කරන්නේ කවුරුදැයි කිසිවෙක් නොදන්නා බව ගම්වැසියෝ පැවැසූහ. අලවතුගොඩ පොලිසියේ නිලධාරින් මේ නිසා පත්වූයේ මහත් අපහසුතාවකටය. මිනීමරුවා සොයා ගැනීම ලෙහෙසි නැති බව පැහැදිලිය. මෙවැනි ක්‍රියාදාමවල නිරත වන්නේ කවුරුන්ද යන්න ගැන සොයා බැලීම සඳහා අලවතුගොඩ පොලිසිය මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ ඒකකයේ සහයෝගය ඉල්ලන්නේ ඒ නිසාය. 


මේ වන විට අපරාධ සම්බන්ධයෙන් පෙරමුණේ සිටින පොලිස් නිල සුනඛ රෙජීට මෙම රාජකාරිය පැවරිණි. ඒ අනුව පොලිස් කොස්තාපල් නලින් විජේසිරි රෙජී සමග උදේ දහය පමණ වන හීපිටියට යන විට මෘත දේහය අසල විශාල පිරිසක් එක් රොක්ව සිටිනු දක්නට ලැබුණි. 


අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ළඟට ගිය ඔහුට විදුලි රැහැන් ඇදීමට භාවිතා කළ බවට සැක කරන භාණ්ඩ කිහිපයක් පෙන්වූහ. ඒ අතර උණ බටයක් සමග එස්ලෝන් බට කැබැල්ලක් ද විය. නලීන් එය ගෙන ඉව කිරීමට රෙජීට ලබාදුන්නේ, මිනීමරුවා, විදුලිය ලබා ගැනීමේ දී රැහැන් මතට කම්බිය දමන්නේ උණ බටය ආධාරයෙන් බව දන්නා නිසාය. එහිදී විදුලිය වදින නිසා ආරක්ෂාවට උණ බටයේ කෙළවරට නැතිනම් අල්ලන කොටසට එස්ලෝන් බටයක් සවි කර ගනිති. 


එස්ලෝන් බට කැබැල්ල හොඳින් ඉව කළ රෙජී, මීටර් දෙසීයක් පමණ දුරක් කුඹුරු යායට උඩින් කඳුකර ප්‍රදේශයේ පිහිටි නිවෙසක් ඉදිරිපිටට ගොස් නැවතුණි. වසා තිබූ දොරට නලීන් තට්ටු කළේය. නිවෙස ඇතුළේ සිට පැමිණියේ වයස අවුරුදු පනහකට ආසන්න වයසේ පසු වූ කාන්තාවකි. රෙජී නැවතුණේ නිවසේ හිමිකරුගේ කාමරයට ගොසිනි. 


‘මහත්තයා ඉන්නවාද?’ 


‘වැඩට ගියා.. මහත්තයෝ’ 


‘කොහේද වැඩ කරන්නේ’ 


‘ගෙයක් හදන තැනක... අකුරණ පැත්තේ... අත් වැඩ දෙනවා...’ 

 

රෙජී සහ නලින්

 


පසුව පොලිස් නිලධාරීන් අකුරණට ගොස් එම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය. ප්‍රශ්න කිරීමේදී ඔහු මෙසේ පැවැසුවේය. 


“ඇත්ත මහත්තයෝ මම දාපු කරන්ට් කම්බියක් වැදිල තමයි දරුවා මැරුණේ.. ඔය කුඹුර මැදින් ඇති අඩිපාර හරහා හැමදාම වගේ රාත්‍රියට කරන්ට් කම්බි දාලා, උදේ පාන්දරම ඇවිත් ඒවා අයින් කරල තමයි වැඩට යන්නේ..” 


ඊයේ රාත්‍රියේ කරන්ට් කම්බි දාලා පොඩ්ඩක් බීලා ගෙදර ඇවිත් නිදා ගත්තා. පාන්දර ඇහැරුණේ නැහැ.. හොඳටෝම නින්ද ගියා. මට ඇහැරවන්න තරම් බිරිඳ දැනන් හිටියෙත් නැහැ. කොහොම හරි නැගිටලා බලද්දී හයත් පහුවෙලා. එකපාරටම මතක් වුණා. දුවගෙන ගියා කම්බිය අයින් කරන්න. එතකොට දැක්කේ ළමයෙක් වැටිල ඉන්නවා. වහාම කරන්ට් කම්බිය අයින් කරලා බලද්දී ළමයා කරන්ට් වැදිලා මැරිලා ටික වේලාවක් ගිහින්. 
මට ඒ වේලාවේ හැටියට කරන්න දෙයක් තිබුණේ නැහැ. කාටවත් කියන්න ගියෙත් නැහැ. බය හිතුණා. ළමයාගේ මිනිය උස්ස ගෙන ගිහින් ඊට තරමක් එහාට වෙන්න නියර අයිනේ දාලා කම්බි රෝලයි, උණ ලියයි කැලෑවේ හංගලා යන්න ගියා. කවුරුවත් මේ සිද්ධිය දැක්කේ නැහැ.. 


කුලී වැඩ කාරයෙකු වූ මොහු, මේ ආකාරයෙන් විදුලි රැහැන් ඇද ඒවාට ඌරන් හසු වී මියගිය පසු මස් කර විකුණනු ලබයි. රෙජී නොසිටින්නට මෙම සිදුවීම ඔප්පු කිරීමට පොලිසියට හැකියාවක් ලැබෙන්නේ නැත. 
ලබන සතියේ දී, රෙජී ගේ තවත් වික්‍රමයක් ගැන දැන ගනිමු. 


ස්තුතිය- මහනුවර අස්ගිරිය, පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න, පොලිස් නිල සුනඛ මූලස්ථානය භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත කුලසේකර, පොලිස් පරීක්ෂක කීර්ති වෙල්ලංගිරිය, අපරාධ පරීක්ෂණ පොලිස් නිල සුනඛයන්ගේ පුහුණු උපදේශක පොලිස් සැරයන් (30020), යූ.එන්.ඩබ්ලිව්.ජී.එස්.කේ. එදිරිසිංහ, පොලිස් සැරයන් (29082) අබේසිංහ, පො.කො (67126) එම්.ජී. නලීන් විජේසිරි යන මහත්වරුන්ට. 

 


සටහන සහ ජායාරූප 
සිසිර කුමාර බණ්ඩාර 



අදහස් (0)

දරුවා විදුලි රැහැනට හසු කළ මිනීමරුවා සොයා ගිය රෙජී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 635 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 831 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 358 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site