IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ජ්‍යෝතිෂය පිළිබඳ මිථ්‍යා විශ්වාස

ජ්‍යෝතිෂය ලංකාවට පැමිණියේ ඉන්දියාවෙන්ය. ඒ සමඟ ඉන්දියාවේ පැවැති සිරිත් විරිත් ද ඒ අයුරින්ම ලංකාවට පැමිණියේය. ජ්‍යෝතිෂ කටයුතු කළ බමුණන්ගේ බමුණු මත එහි පැළපදියන් වී තිබුණි. විවාහයේ පොරොන්දම් බැලීමේදී කරනු ලබන වර්ණ පොරොන්දමේදී තම වර්ණය හෙවත් කුලය ක්ෂත්‍රීය වංශයටත් (රාජ්‍ය වංශයටත්) වඩා උසස් කර ක්ෂත්‍රීය වංශය දෙවන තැනට යොදා තිබුණි. 


  ආයුෂ පොරොන්දමේ දී පිරිමියා ප්‍රධාන තැනට ලා සළකා පිරිමියා කලින් මිය යාම අශුභ බවත් ස්ත්‍රිය කලින් මිය යාම ශුභ බවත් සඳහන් වේ. මෙවැනි දුර්මත සාධාරණ නොවන බව නිවැරදි නොවන බව ලංකාවේ ජ්‍යෝතිෂවේදීන් දැන සිටියත් එයින් මිදී කටයුතු කිරීමට ජ්‍යොතිෂයෙන් ඉඩක් නැත.  


 ඒ අයුරින්ම ඉන්දියාවේ බමුණන්​ෙග් ආගම වූ හින්දු ආගමේ පුද පූජා වෙනසක් නැතිවම ජ්‍යෝතිෂය හා ඈඳා තිබුණි. ග්‍රහ අපල නැති කිරීමට හින්දු ආගමේ කතරගම, විෂ්ණු වැනි දෙවියන් ගෙන් පිහිට පැතීම අද බෞද්ධයන් අතර බලවත් වූ ජනප්‍රිය සිරිතක් බවට පත්ව ඇත. දරුවකුට අකුරු කියවීමේදී ගණ දෙවියන් හා සරස්වතී දේවිය සඳහා පූජා තබන ඉන්දියාව් සිරිත අද ඒ අයුරින්ම​ බෞද්ධයින් ද කරන බව පෙනේ.  


 නොදැනුවත්වම දරුවාගේ පෞරුෂයට හානි පමුණුවා ආත්ම විශ්වාසය නැති කරති. දරුවා විභාගයකට යන විට පාඩම් කිරීම දෙවන තැනට තබා පළමු තැන දෙන්නේ දෙවියන්ගෙන් පිහිට ලබා ගැනීමය.

 
බෞද්ධයින්ට වෙනත් ආගමක දෙවියන් කුමටද? බලගතු තුන්සරණයක් තිබියදී අන්‍යාගමික සිරිත් විරිත් කිරීම මිථ්‍යාව සරණ යාමකි. හින්දු ආගමිකයන් එම දෙවියන්ගෙන් පිහිට පැතුව ද බෞද්ධයින් තෙරුවන් සරණ යාම උතුම්ය. වෙනත් දෙවියන් පිහිට පැතීම අධමය. බෞද්ධයකුට එය කිසිසේත් නොගැළපේ.  


 ආත්ම විශ්වාසයක් නැතිව වෙනත් කෙනෙකුගේ පිහිට පැතීම මිථ්‍යාවටම බැඳීමකි. ග්‍රහ අපල නැති කර ගැනීමට බෞද්ධ සිරිත් විරිත් අනුගමනය කරන්න. පන්සිල රැකීම, දාන, සීල, භාවනා පිරිත් වැනි දේ අනුගමනය කළ යුතු අතර මිථ්‍යා මත දරමින් අනවශ්‍ය පුද පූජා කිරීමෙන් අවැඩක් විනා වැඩක් නම් සිදු නොවේ. ගෘහාරම්භයේදී බහිරව පූජාව තැබීම ඉන්දියාවෙන් පැමිණි සිරිතකි.  


 බහිරවයා ගෙය ආරක්ෂා කර දෙනු ඇතැයි මිථ්‍යා මතයක් අද ලංකාව පුරා පවතී. එයින් ප්‍රයෝජන ගන්නා සමහර ජ්‍යෝතිෂ්‍යවේදීන් අහිංසක මිනිසුන්ගේ ධනය සූරා කති. ඔවුහු ඒ සඳහා රුපියල් දස දහස් ගණන් වියදම් කරති. එය ආඩම්බරයෙන් අන් අයට කියති.  
බෞද්ධ සිරිත විය යුත්තේ තිස් පැයක් පිරිත් සජ්ඣයනයකින් පසු එසේ නොහැකි නම් සංඝයාවහන්සේ දෙතුන් නමක් වැඩම කරවා සෙත් පිරිත් දේශනය කරවා සතර කොණේ පහන් පැල් ඉදිකර පිරිත් නූල් ඇද නිවසට මුල්ගල් තැබිය යුතුය. වියදම ද අඩුය. බලවත්කම ද වැඩිය. මිථ්‍යා විශ්වාසවලින් හිස පුරවා ගත යුතු නැත.  


සෙනසුරු (ශනි) හතේ සිටීම විවාහයට හොඳ නැතැයි අද සමාජයේ මිථ්‍යා මතයක් පවතී. ඇත්ත වශයෙන්ම ශනි හතට හොඳින් ගැළපේ. ශනි හතට දික්බල යයි කියනු ලබන්නේ බලවත් නිසාය. විවාහයේ ඇතිවන දහසක් ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දී ඔරොත්තු දීමේ ශක්තිය ශනි හතේ සිටින අයට ඇත. ශනි හතේ සිටින අය ගේ දික්කසාද වීමේ ප්‍රවණතාව ද අඩුය. ශනි පමණක් නොව ඕනෑම ග්‍රහයකු හතේ සිටින විට නොගැළපෙන අයකු හා විවාහ වුණොත් විවාහය අසාර්ථක වීම සිරිතය. ඒ නිසා කළ යුත්​ෙත් ගැළපෙන අයකු හා විවාහ වීමය. එවිට ප්‍රශ්න ඇති නොවේ.  


 සෙනසුරු ගැන නොයෙක් මත සමාජයේ පවතී. එයින් සමහරක් මිථ්‍යා මත වන අතර සමහරක් නිවැරැදි මත වේ. සෙනසුරු පාපී ග්‍රහයෙකි. බොහෝ අවස්ථාවලදී සෙනසුරු අශුභ ඵල උදාකරන බව සැබෑය. එහෙත් සෙනසුරු උච්ච හෙවත් බල​ෙය් උපරිමම අවස්ථාවට පත් වූ විට එනම් ශනි තුලාවේ සිටින විට එහි ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල උදා කරයි. සැප සතුට ඇති කරයි. බොහෝ ධනය ලබා දෙයි. වැඩ කටයුතු සාර්ථක කරයි. බොහෝ සැප සම්පත් ලබා​ෙදයි.   


ඒ ශනි තුලාවේ ගමන් කරන අවු. 2 1/2ක කාලය තුළදීය. ඒ නිසා සෙනසුරු දෙස නරක අයුරින්ම නොබැලිය යුතුය. ජ්‍යොතිෂ්‍යවේදීන් සාමාන්‍ය ජනයා සෙනසුරුට භය කිරීම අසාධාරණය.  


සෙනසුරු මාරුව සියලු දෙනාට අපල ගෙන දෙතියි යන මතයේ පිහිටා නොයෙක් සෙත් ශාන්ති කරන බව සමාජයෙන් පෙනේ. සෙනසුරු එරාෂ්ටක අපල තිබෙන තිදෙනෙකු එකම නිවසේ වාසය කිරීම මාරක අපල ගෙන දෙතියි. සමහර ​ජ්‍යොතිෂ්‍යවේදීහු කියති. බොහෝ විට එකම පවුලේ තිදෙනෙකුට එරාෂ්ටක අපල යෙදී ඇතැයි කියා බිය කරන අවස්ථා තිබෙන බව මම හොඳින් දනිමි.  


තිබෙන තත්ත්වයට වඩා මවා පෑමක් ඇතිකර වාසි ලබා ගන්නා අය සිටින බව පෙනේ. අවු. 30ක් ජීවත් වන ඕනෑම කෙනෙකුට එරාෂ්ටක අපල යෙදේ. එහෙත් සියලු දෙනාටම එයින් අපල ඇති නොවේ. ඔබ අවු. 30 ඉක්ම වූ අයකු නම් සමහර විට එරාෂ්ටක අපලයක් තිබුණාද නැද්ද කියා ඔබට දැනගන්නට නොලැබෙන්නට ඇත.  


 සෙනසුරුගේ අපලවලින් මිදීමට කපුටන්ට එළඟි තෙල් මිශ්‍ර කිරිබත් දීම සහ එක් කකුලක් ආබාධිත යාචකයින්ට දන් දීම සමාජයේ කෙරෙන දෙයකි. දන්දීම හොඳ දෙයක් වුවත් එවැනි දෙයකින් ග්‍රහ අපල නැති කළ හැකි නම් කොතරම් පහසුවෙන් ග්‍රහ අපල නැතිකරගත හැකිද. පෙර ආත්මවල කරන ලද පව් මේ ආත්මයේදී විපාක දෙන අවස්ථා ඇත. එය කර්මයෙන් සිදුවන දෙයකි.  
 හඳහනේ එය සටහන් වනු ඇත. කර්මය කිසිවකුටත් නැති කළ හැකි නොවේ. එහෙත් කුසල කර්මයෙහි යෙදීමෙන් එහි බලය අඩුකර ගත හැකි වේ. සමහර දේශපාලනඥයෝ ග්‍රහ අපලවලින් මිදීමට වෙනත් රටවලට යති. කරත්තයේ බැඳි ගොනාගේ පසුපසින් කරත්තය ඇදී එන්නා සේ කරන ලද පින් පව් තමා පසුපසින් එයි. කළ යුතු එකම දේ කුසලකර්ම කිරීමයි.  


 ජ්‍යොතිෂ්‍යයට මිනිසුන් රවටන තරම සමාජයේ කෙරෙන කටයුතුවලින් පෙනේ. අව පක්ෂයේ දිනවල, නොගැලපෙන තිථියක, බැලිය යුතු දිශාව නොසළකන කුමක් හෝ දිනයක් ශුභ යයි කියන නැකත් ගන්නා ​ජ්‍යොතිෂවේදීන් බැහැර කළ යුතුය. එවැනි අය වෙතත් යන සාමාන්‍ය ජනයා අඩු නැත. මිථ්‍යාවට නතුවී ඇති තරම එයින් පෙනේ.  


 උදාහරණයක් වශයෙන් මේ අවුරුද්දේ අගෝස්තු 11 වන බ්‍රහස්පතින්දා ප්‍රසිද්ධ විවාහ උත්සව පවත්වන බව දැනගන්නට තිබේ. එදින අව පක්ෂයේ දිනයකි. එදින දවස පුරා තිබෙන්නේ හතර වන තිථියයි. එය කිසිම ශුභ වැඩකට ගනු නොලැබේ. පෝරුවේ චාරිත්‍ර පවා එදින සිදුකිරීමට නියමිතව ඇත. මේ සියල්ල සිදුකෙරෙනුයේ ​ජ්‍යොතිෂයේ නාමයෙන් ජ්‍යොතිෂයට පටහැනිවය.  


 බොහෝ පුවත්පත්වලත් රූපවාහිනී නාලිකාවලත් කෙරෙන ප්‍රසිද්ධ බොරුවක් තිබේ. ඒ ලග්න පලාපල ඉදිරිපත් කිරීමයි. යම් කිසි ලග්නයකින් පමණක් පලාපල කිව හැකිද? පලාපල කීමට අනෙක් ග්‍රහයින්ගේ ක්‍රියාකාරීත්වයන් අත්‍යාවශ්‍ය වේ.  


 උදාහරණයක් වශයෙන් මේෂ ලග්න හිමියන්ට මේ සතියේ හදිසි අනතුරු සිදුවන බව මේ ‘සෘෂිවරයකු’ පැවසුවොත් සිදුවිය යුත්තේ මේ ලෝකයේ සිටින සියලුම මේෂ ලග්න කාරයින්ටම හදිසි අනතුරු සිදුවීමයි. එවිට රෝහල්වල හදිසි අනතුරු වාට්ටු තුවාලකරුවන්ගෙන් පිරෙනු ඇත. හදිසි අනතුරු වාට්ටුවල ඉඩ මදි වීම නිසා මුළු රෝහලම හදිසි අනතුරු සඳහා වෙන් කිරීමට සිදුවනු ඇත. මේවායින් නොරැවටී සිටීමට ජ්‍යොතිෂ දැනුමක් අවශ්‍ය නොවේ. සාමාන්‍ය බුදධියෙන් සිතා ගත හැකිය.  


 ලග්නය පමණක් උපයෝගී කරගෙන පලාපල කිව හැකිදැයි කල්පනා කර බලන්න. එහෙත් ඔබ කරන්නේ කුමක්ද? ඉරිදා පුවත්පත ගත් විගස තම ලග්නයට කෙසේදැයි බැලීම නේද? ඔබ මුලා වී ඇති තරමක මහත. අහෝ මිථ්‍යාව ජයගෙන ඇති තරම.

 
විශ්‍රාමලත් විදුහල්පති,  ජ්‍යොතිෂවේදී,  
එඩී කරුණාතිලක, 
32, ගලපැටිමෝදර පාර, නල්ලූරුව, පානදුර.  



අදහස් (0)

ජ්‍යෝතිෂය පිළිබඳ මිථ්‍යා විශ්වාස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1357 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1263 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site