කොළොම්පුරේ ජීවිතේ

ආර්. කුමාර්

 

අගනුවර සිඟාකන අසරණයෝ - පසුගිය සතියෙන්...   


කොළඹ හිඟන්නන් පිළිබඳව කරුණු පහද‌ා දෙමින් ඇත්ත හිඟන්නන් බොරු හිඟන්නන් හඳුනා ගන්නා අන්දම ඇතුළු යාචක සමාජයේ ඉතා වටිනා කරුණු රැසක් මට අනාවරණය කළ මා මිතුරු හිඟන්නෙකු කොටුව පිටකොටුව සාවියේ​ වෙසේ. ඔහු මා සමඟ මිතුරු වූයේද ‘‘කොළොම්පුරේ ජීවිත’’ ගැන ඉරිද‌ා ලංකාදීපයට ලියන්නට මා විසින් කරගෙන යන සමාජ සමීක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙනි.   


මගේ මිතුරා උගත් ‘‘හිඟන්නෙකි’’ මා එසේ කියන්නේ හිඟන ජීවිතය අතරතුරදීම නොයෙකුත් පුවත්පත්, පොත් කියවීමටද කාලය වැය කරන හෙයිනි. ගම් ප්‍රදේශය පන්නල, මාකඳුරය. අප ඔහුට හෙන්රි යයි කියමු. එහෙත් සැබෑ නම එය නොවේ. හෙන්රි පවුලේ එකම දරුවා වී ඉපිද ඇත. මව්පියන් මාකඳුර ප්‍රදේශයේ විශාල පොල්වත්තක කුලී වැඩ කළේ එහිම තිබූ ගෙපැලක පදිංචිව හිඳිමිනි. පියා වත්තේ මුර කරුවාද වූ නිසා හෙන්රිලා පදිංචිව සිටි නිවස මුර මඩුව නම් විය. හෙන්රි ඉපිද හැදී වැඩුණේ මේ මුර මඩුවේය.   
මව්පියන් වත්තේ සේවකයන් වූ බැවින් එහිම පදිංචිව සිටීම වතු හිමියාට අමතර වාසියක් වූයේ නිශ්චිත කාලාවේලාවක් නැතිව අතිකාල මුදල් නොගෙවා මේ දෙදෙනාගේ ශ්‍රමය පොල් වත්තට සින්නකර ගැනීමට හැකි වූ නිසාය. අතිකාල දීමනා වෙනුවට වත්තේ වැටෙන පොල් අතු ඇහිද පොඟවා වියා විකුණා ගැනීමට වතු හිමියා හෙන්රිගේ මවට අවසර දී තිබිණ.   


හෙන්රිගේ ළමා කාලය ගෙවී ගියේ මේ පොල්වත්තේ පොල් ගස් සෙවණේය. හෙන්රි අ.පො.ස සා.පෙළ දක්වා උගත්තේය. වැඩ 6 කුත් සම්මාන 5 ක් සමඟ විභාගයද සමත්විය. රාස්සිගේ අව්ව පොල් අතු අතරින් පෙරී ඇවිත් කහපාට වෙන හැන්දෑවේ පොල් මුලක් මත වාඩිගෙන පාඩම් පොත් කියවීමත් හෙන්රි කුඩා කල සිටම ආශා කළේය.   
විදුලි පන්දම ද අතින් ගෙන වත්තෙ අයිතිකරු විසින් ලබා දී තිබූ පතොරම් තුවක්කුවද කරගසාගෙන මහ රෑ වත්ත වටේ රවුමක් යාම හෙන්රිගේ පියා විසින් කළ දිනපතා රාජකාරියේ එක් අංගයක් විය. එක දවසක එසේ යන අතරතුර පොල් ගස් අතර වල් කැළේ සැඟව හුන් පොළොං තඩියෙකුගේ ඉලක්කයට ලක්වී පියා අවසන් ගමන් යාම හෙන්රිගේ පාසල් ගමනටත් ඉදිරි අනාගතයටත් මරුපහරක්ම විය.   


ඊට පස්සෙ මගේ ඉස්කෝලෙ ගමන නතර වුණා. අම්මත් එක්ක වත්තේ රස්සාවටම වැදුණා. තාත්ත මැරුණට පස්සෙ අම්මත් වැඩි කලක් ජීවත් වුණේ නැහැ. අම්මට කාලයක් තිස්සෙම පපුවෙ අමාරුවක් තිබුණා. ගොඩවෙදකම්, හන්දියේ ඩිස්පැන්සරියෙන් එද‌ා එදාට බෙහෙත් ගත්ත ඇරෙන්න අසනීපයට හොඳ වෙදකමක් නම් කෙරුණේ නැහැ. එහෙම සැරින් සැරේ හැදුණු අසනීපෙ පහුවෙනකොට සෙම හා ඇදුම දක්වා දුරගියා. මම වදෙන් පොරෙන්ම දවසක කුරුණෑගල ඉස්පිරිතාලෙට එක්කරගෙන ගිහින් පෙන්නුවාමයි දැනගත්තෙ ක්ෂය රෝගෙ දරුණුම තත්ත්වයට ඇවිත් කියල.   


දොස්තරවරු අම්මව ක්ෂය රෝග සායනයට යොමු කළා. පරික්ෂණවලින් පස්සෙ බෙහෙත් දීල මාවත් රෝහලට ගෙන්වල හොඳටම අවවාද කරල කලට වේලාවට බෙහෙත් දෙන විදියත් කියා දීල අම්මව ගෙදර එව්වෙ සතියක් රෝහලේ නතර කරගෙන ඉඳලයි.   
ඒ ඇවිත් අම්ම හරි විදියට පාවිච්චි වුණේ නැහැ. වෙලාවට බෙහෙත් ගත්තේ නැහැ. රෝගය නිසා ගමම අපිව කොන් කළා. බයේ මිනිස්සු වත්තෙ වැඩට ආවේ නැහැ. අයිතිකාරය අමානුෂික කෙනෙක් නොවුණත් ඔහුත් බයවෙලා හිටියෙ. අන්තිමේදි මගේ අතට මාස තුනක පඩි ගෙවල මුර මඩුවෙන් යන්න කිව්ව. අම්මටත් ‘‘ගානක්’’ අතමිට මොළවලා තිබුණා. අවුරුදු ගණනාවක් තිස්සේ පොල්ගස්වලට දිය කළ දහදිය, ලේ, කඳුළු වෙනුවෙන් අපට ලැබුණේ එපමණයි. තාත්තත් පොහොර වුණු ඒ වත්ත අතහැරල අපි දෙන්න කොච්චිකඩේට ආව.   


ටවුමට ටිකක් ඈතින් තිබුණු පරණ කඩ කාමරයක් කුලියට අරගෙන නැවතුණා. මම ටවුමේ තොග බඩු කඩේක නාට්ටාමි වුණා. අම්මගෙ අසනීපය ගැන ඒ පැත්තෙ කිසි කෙනෙක් දැනගෙන හිටියේ නෑ. අපි කා එක්කවත් වැඩි බජනෙට ගියෙත් නැහැ.   
කොච්චිකඩේට ඇවිත් මාස 6 ක් විතර වෙනකොට දවසක නිදි පැදුරෙම අම්ම මියගිහින් තිබුණ සෙම හිරවෙලා. මට හිටපු අම්ම වගේම එකම නෑයත් නැතිවුණේ එහෙමයි. තාත්තයි අම්මයි මාකඳුරට ඇවිත් තිබුණෙ කලාවැව පැත්තෙ ඉඳල. ඒ අතීතය ගැන හරි විස්තරයක් එයාල කවද‌ාවත්ම මට කියල තිබුණේ නෑ. නෑ පරම්පරාවක් ගැන මම දැනගෙන හිටියෙත් නෑ. මට තනිකම හරි විදියටම දැනෙන්න පටන් ගත්තෙ අම්ම නැතිවුණාට පස්සෙ.   
මට ඔක්කොම එපා වුණා. මට කියල තිබ්බ ඇඳුම් කෑලි දෙක තුනක් ඔතාගෙන එක දවසක් උදේ ටවුමට ඇවිත් බස් එකක නැංග්ගා නතර වුණේ කොළඹ. මේ විශාල අහසයට මම අතරමං වුණා. පිටකොටුවෙ බස්ටෑන්ඩ් එකේ නිදාගත්ත. කාටහරි අතපාල ලැබුණු මුදලෙන් බඩ ගින්න නිවාගත්ත.   
අතපය හතර හොඳට තියෙද්දි හිඟාකන්නෙ. මොනව හරි වැඩක් කරපංකෝ හුඟක් අය මට බැනල එළව ගත්ත. ඔය අතරෙදි තමයි හිඟන්නන්ව අල්ලගන්න කාලෙ ආවෙ. මාවත් ඒ ගොඩට අහුවුණා. නැවතුණේ රිදියගම කඳවුරේ.   


එහෙදි හුඟ දෙනෙක් ආශ්‍රයට හම්බවුණා. සෙල්ලදොරේ ඒ අයගෙන් එක්කෙනෙක්. ගෙන්දගම් පොළොවෙම ඉපදිලා එ්කටම කරවෙලා තෙම්පරාදු වුණු එයා කොළඹ ඕනෑම බජාර් එකක් දැනගෙන හිටිය. කඳවුරේ මාසයක් විතර ඉඳල ඉඩ ලැබුණු මුල්ම දවසෙ සෙල්ලදොරෙත් එක්ක අපි හතර දෙනෙක් ඒකෙන් පැනල ආයෙත් සුපුරුදු කොළඹට ආව.   
සෙල්ලදොරේ බජාර් එකට ඇවිත් මාව 4 වෙනි හරස්විදියෙ නාටාමි ගොඩට එකතු කළා. ඔහොම කාලයක් ගතවෙනකොට මටත් ඉඳල හිටල පොඩි කැස්සක් ආව. මම මුලින් හිතුවෙ කොළඹ දූවිල්ලට කියල. කැස්ස ටිකෙන් ටික වැඩි වෙනකොට යාළු නාටාමි කෙනෙකුගෙ උපදෙසට අනුව බොරැල්ලෙ පශ්චාත් ​වෛද්‍ය ආයතනයට ගියා. එතන ක්ෂයරෝග සායනයක් තියෙනව. මටත් හැදිල තිබුණෙ අම්මගෙ කරුම ලෙඩේම බව වෛද්‍යවරු තහවුරු කළා. හැබැයි මම හරි විදියට බෙහෙත් ගත්ත. සායනවලට ගියා. වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැද්ද.   
ගම් පළාත්වල වගේ ලෙඩරෝගවලට කොළඹ අය බය නෑ. සද‌ාකල්ම ක්ෂය රෝගෙන් පෙළෙන නාටාමිලත් ඕන තරම් ඉන්නව. බෙහෙත් ගන්නකොට ලෙඩේ අකාමකා වෙලා ගියත් ඒවායේ විසටද කොහේද ඇඟ දුර්වල වුණා. ලෙඩේ හඳුනගන්න කලින් හවසට හවසට ‘‘සූස්තියක්’’ අදින්න පුරුද්දක් මට තිබුණා. ඒකත් බලපාන්න ඇති. ඇඟ දුර්වල වෙනකොට ශක්තිය නැති වුණාම මම නාටාමි වැඩේ අත්හැරිය. ලෙඩේ නිට්ටාවටම හොඳ වෙනකොට මගෙත් හොඳ වයස මාව ද‌ාලා ගිහින්.   
කොටුවෙ ලෝක වෙළෙඳපොළ ගොඩනැගිල්ල ඉදිරිපිට පදික වේදිකාවෙ තියෙන සිමෙන්ති බංකුවක වාඩිවෙලා එක හුස්මට හෙන්රි අතීතය මා ඉදිරියේ වැමෑරූවේ එලෙසිනි.   
අහස ජයගන්නට දෝ ඉදි වූ සුවිසල් ගොඩනැගිලි තරුපන්තියේ කුමාර හෝටල අප එතැන කුරුමිට්ටන් බවට පත් කර තිබිණ. මම ඔහුගේ කතාව අසාගෙන සිටියෙමි. අප දැන හඳුනාගෙන මාසයක් දෙකක් පමණ කාලය ඉගිළගොස් තිබුණත් අනුන්ගේ කතා කීවා හැරෙන්නට ඔහුගේ කතා මේ වනතුරු මා සමඟ දිගහැර තිබුණේ නැත. ඒ ඇයිදැයි මම ඔහුගේ මූණටම දමා ගැසීමි.   


‘‘මහත්තය ඇහුවෙත් නැහැනෙ. අපි දෙන්නම කළේ මේ සමාජෙ ගැවසෙන අනික් අය ගැන හෙළිදරව් කරපු එක විතරයි. අනිත් එක පත්තරවල ​පොටෝ දාගන්න මම කැමති නෑ. ඔහු එසේ කී පසු මගේ ගමන් මල්ල තුළ නිබඳවම හිඳින කුඩා පරිමාණ ඩිජිටල් කැමරාවට තැබූ අත ඉවතට ගත්තෙමි.   
ඒ වුණත් ජීවිතේ හොඳම හරිය කීවෙ නැහැනෙ. ඔහු ප්‍රශ්නාර්ථය මුහුණේ රඳවාගෙන එක එල්ලේ මා දෙස බැලීය ‘‘ඇයි ජීවිතේ තරුණ කාලෙ කසාදය ගැන ඒ වගේ දේවල් ලියැවෙනවට බයද?’’ ලංකා බැංකු පිට්ටු බම්බුව දෙස බලාගෙන ඔහු මහ හඬින් හිනැහුණේය. බොහෝ වේලාවක් හිනැහුණේය.   
අසලින් යන එන්නෝද, ඒ අසල ත්‍රිරෝද රථ නැවතුම්පොළේ තරුණ නඩයද අප දෙදෙනා දෙස බලන්නට වූයේ අර හිනාවත් සමඟය. හිනාව අතරතුරදීම ඔහුට කැස්සක් ආවේය. මටත් නොදැනුවත්වම මම ඔහු අසලින් සිමෙන්ති බංකුවේ කෙළවරට ගොස් සිටියෙමි. ‘‘බය වෙන්න එපා, මගේ ලෙඩේ දැන් හොඳයි දොස්තර මහත්වරු එහෙම කියලා දැන් මාසෙකටත් වැඩියි’’ එහෙනම් පසුගිය කාලෙ දිගටම මුඛවාඩම් දැම්මෙ? මගේ ඊළඟ ප්‍රශ්නයයි.   


තරුණ වයස කියල එකක් මට තිබුණේ නෑ. කොළඹට අාවට පස්සෙ ගෑනු ආශ්‍රය කළා තමයි. වැඩි හරියක් කසාද බැඳපු වයස 40-50 විතර අය. උන්ටත් ඕන වුණේ මගේ තරුණකමයි, සල්ලියි විතරයි. ගංජ සුරුට්ටුවට එහෙමත් නැතිනම් කුඩුවලට, කසිප්පුවලට ඇබ්බැහිවෙලා ශරීර කූඩුවෙ දශමයක් තරමෙ පණ කළඳක් නැති කැහැටු ගැහැනු උන්ගෙ මිනිස්සුන්ගෙන් නොලැබුණු කාම ගින්න උන් මගෙන් හිතේ හැටියට කඩා ගත්ත.   


ඉන් පස්සෙ ඒ ශක්තියම තුට්ටු දෙකට විකුණලා මම හම්බුකරන සල්ලි ටික කඩා වඩා ගත්ත. ලෙඩ වුණාට පස්සෙ උන් මාව අතහැරල දැම්මෙ උදේ නැගිට්ට ගමන් තූ කියල ද‌ාන කුණුකෙළ තලියක් වගේ. සමහර ගෑනු බයටම ක්ෂය රෝගෙ හැදිලද බලන්න ඉස්පිරිතාල ගානෙ ගියේ තමන්ගේ මිනිස්සුත් ඇදගෙන. මට ගෑනු සංහතියම එපා වුණා.   
ඇත්තටම මම අසනීපයෙන් දුක් විඳින කාලෙදි මුඛවාඩමකුත් දාගෙන කොච්චියෙ හිඟා කෑවෙ. වැඩක් පලක් කරගන්න බැරි තරමටම උදේට රෑට ගන්න බෙහෙත් වඩිය මගේ ශක්තිය හපල මිරිකල පොඩිකරල ද‌ාපු නිසයි. හැබැයි මේක හොඳ ආදායම් මාර්ගයක් කියල වැටහුණේ ටික කලක් කරගෙන යනකොටයි. ලෙඩේ හොඳ වුණත් දිගටම මුඛවාඩම බැඳගෙන හිටියේ එතකොට ලෙඩ පෙනුමක් ඉබේටම ලැබෙන නිසයි.   
මේ දවස්වල ඒක දාන්නෙ නැත්තෙ කොරෝනා මඟුලක් හින්ද නිකම් පාරෙ යන එන අයත් මේව දාගෙන යන නිසයි. කොරෝනා හින්ද දවසෙ ආදායමත් අඩුවුණා. මහත්තය මුඛවාඩමක් ද‌ාන්නෙ නැත්ද? ඔහු මගේ ප්‍රශ්නයෙන් මටම දමා ගැසීය.   
‘‘මම ලෙඩ දුක්වලට බය නෑ. මාසෙ සමහර දවස්වලට අතේ සල්ලි හිඟවෙනකොට විතරයි. එතකොට අඹු දරුවන්ට කන්න බොන්නවත් අරගෙන දෙන්නෙ කොහොමද කියල බය හිතෙනව. ගෙවල් කුලී දෙන්නෙ කොහොමද කියල බය හිතෙනව. කොටින්ම ජීවත් වෙන්නෙ කොහොමද කියල බය හිතෙනව. මම මගේ ‘‘හිඟනකම’’ ඔහු හමුවේ දිග හළෙමි.   
කිසිදු ලැජ්ජාවකින් තොරව, හෙන්රි නැවතත් එක එල්ලේ මා දෙස බැලීය. මහත්තයට සල්ලි ඕනැ නම් කියන්න මම දෙන්නම්. ළඟ තියාගෙන ඉන්න බය නිසා බැංකුවෙ එකවුන්ට් එකක් ඕපන් කරලා දවස් දෙකකට වතාවක් ඒකට දානව. කොළඹ හිඟන්නෙකුගේ දවසෙ ආදායම මේ බජාර් එකේ ඉන්න ඕනැම කුඩ්ඩෙක් දන්නවා. ඒ නිසා මහ රෑක ඇවිත් බෙල්ලට දැළිපිහි පාරක් ඇදල සරොම් වාටියෙ එහෙමත් නැතිනම් කළිසම් සාක්කුවෙ තියෙන මුදල් ඩැහැගන්න නිසා මම බැංකුවට දානව. දන්න හඳුනන අයට 20% පොලියටත් දීල තියෙනව.   


මේ පාර්ක් එකේ ත්‍රීවීල් මල්ලිලාට විතරක් නෙමෙයි අර බිල්ඩින්වල මාසෙ පඩියට වැඩ කරන නෝනලා මහත්වරුන්ගෙ නම් මගේ ලිස්ට් එකේ තියෙනව. ඔහු හොක්.... හොක්.... ගා ඔලොක්කුවට මෙන් සිනාසුණේය.   
මහත්තයට ඕන නම් කියන්න. මට පොලිය එපා. පුළුවන් වෙලාවක මුදල විතරක් දෙන්න. උදේ එකතු වෙච්ච පොලී සල්ලි ඇති රු 10,000 ක් විතර. මම ‘‘එපා’’ යයි කීවෙමි. සැබෑ හිඟන්නා කවුදැයි තේරුම්ගෙන සාක්කුවෙන් ලේන්සුව ගෙන දෙනෙත් හි පිරුණු කඳුළු හෙන්රිට හොරෙන් පිසදා ගතිමි.   
‘හිඟන සමාජවලට අහුවුණේ නැතිද? කාලයක් මරියකඩේ මුදලාලි කෙනෙක් යටතේ දවස පඩියට වැඩ කළා. ඒක පාඩුයි. හැබැයි ලෙඩට දුකට මුදලාලි බලනව. අසනීපවෙලා හිඟමනේ යන්නෙ නැති දවස්වලදි කන්න බොන්න අතට මුදලකුත් ලැබෙනව. මම රණ්ඩු නොවී එතනින් අස්වුණා. බස් එකේ කෝච්චියෙ හිඟමන් යදිනව ඇරෙන්න මම මුදලාලිගෙ ඒරියා එකේ වැඩ කරන්නේ නෑ අදටත්. එ්යි උඹ අද ජොබ් එකට යන්නෙ නැතිද? මේ වෙලාවෙ හොඳ සෙනඟනේ, කෝච්චිවල විසිට් එකක් දාපං හදිස්සියේම මෙන් අප හුන් තැනට පැමිණ සුදු සරමකින් හා එම පැහැම කමිසයකින් සැරසුණු වයස අවුරුදු 50 ක පෙනුමැති උස කෙට්ටු තැනැත්තෙක් අප අසල සිට අසයි.   
වැඩක් නෑ බං. කන්තෝරු කෝච්චිවල හිඟාකනවට වඩා හොඳයි රේල්පාරේ යකඩ කනව. ඔව් ඒක නම් ඇත්ත. කන්තෝරුකාරයො මහ කුම්මැහියො. තඹ සල්ලියක් පිනට දෙන්නේ නෑ. දුන්නොත් එහෙමත්ම එකෙක් විතරයි. ඒකත් දෙන්නෙ ඇඟෙන් ඇටයක් ගලවල දෙනව වගේ.   
හරි මම මේ මහත්තයත් එක්ක වැදගත් කතාවක්. උඹට අද කීයක් ඕනැද? ‘‘වෙනද ගාන දියං’’ හෙන්රි තම කලිසම අස්සට අත දමා (සාක්කුවට නොව) රෝල් කළ රු 1000/- කොළ මිටියක් එළියට ඇදීය. රුපියල් දස දහසක් හෝ ඊට වැඩි මුදලක් ඒ මිටියේ තිබිණි.   


ඉන් රු 5000/- ක් ගැණ බලා අර පුද්ගලයා අත තැබීය. එය අතටගෙන අප දෙදෙනාටම ආචාර කළ උස පුද්ගලයා කොටුව පැත්තට යන දෙස මොහොතක් බලා සිටි හෙන්රි යළි මා දෙස බැලීය.   


ඔය හාදය මුස්ලිම්. රෑට මේ හරියෙ පේමන්ට් එකේ සිගරැට්, බුලත්විට තට්ටුවක් දාගන්නව. දැන් කාලයක් තිස්සෙ මගෙන් තමයි දවසෙ පොලියට සල්ලි ගන්නෙ. එළිවෙනකම් බිස්නස් එක කරල පාන්දර ජාමෙ මගේ ගනුදෙනු බේරනව. වංචා කරන්නෙ නෑ. මිනිහ එනකම් තමයි මං මෙතන හිටියෙත්. කොහොමත් සිංහලය තරම් අනෙක් ජාතිවල මිනිස්සු සල්ලිවලට පෙරේතකම් කරන්නෙ නෑ. දැන් හවස්වුණා යමුද පිටකොටු පැත්තට. අද මම ජොබ් එක කරන්නෙත් නෑ. කාමරේට යන්න කලින් කොලොනියල් එකට ගිහින් අඩියක් ගහමුද. මහත්තය මුණගැහුනෙ ගොඩක් දවසකින්නේ ඔහු කීය.   


මම මොහොතක් කල්පනා කළෙමි. කල්පනා කරන්න ඕන නෑ මහත්තය ළඟ සල්ලි නැති බව මම දන්නව. බිල මගේ ගානෙ.   
මට ලැජ්ජා හිතුණේ මා ගැනමය. සල්ලි නම් මොනවද මහත්තයෝ අද හම්බ කරනව අදම වියදම් කරනව. මගෙන් යැපෙන්න කියල කවුරුත් නැහැනේ. ජීවත්වෙන ටිකේ ජීවිතේ විඳල හිතේ සන්තෝසෙන් මැරිල යනව.   


කතා බහෙන්ම පිටකොටුව දෙසට ඇවිද යමින් සිටියෙමු. දවසෙ අවසන් භාගය වුවත් ගාලුමුවදොර වරාය නගරය අස්සෙන් සැඟව යාමට සැරසී වුවත් හිරු තම සැඩ රස්නය මඳකට හෝ අඩුවක් කර තිබුණේ නැත. කන්තෝරුවල දවල් දවස ගතකර අඹුදරුවන්. මව්පිය සෙනෙහස තොටුපොළවල් කරා යාමට මඟට බැස සිටින ජනී ජනයා පොදිපිටින් කොටුව දුම්රිය පොළට ගාල්වනු පෙනේ.  

හෙන්රි හිඟන්නෙකු වුවත් හිඟන පෙනුමකින් තොරය, පිරිසිදු ඇඳුම්වලින් සැරසී කෙස්ස හොඳ හැටි පීරාගෙන සිටියි. උරයේ එල්ලෙමින් පැද්දෙන ගමන් බෑගයද කබලක් නොවේ. අප දෙදෙනාම කන්තෝරුකාරයන් මෙනි. එහෙත් නියම කන්තෝරුකාරයා මම වෙමි. පොකට්ටුව හිස්ය. අතේ සතේ නැත. ඇත්තේ බස් ගාස්තුව පමණි. බඩ මහතය, තට්ටය පෑදීමට ඔන්න මෙන්නය. හෙන්රි නම් වයස ගියත් ස්මාට් පොරක් සේ පෙනේ. බයවීමට ලැජ්ජාවීමට හේතුවක් නොපෙනේ.   
ඔහු සමග එක පෙළට පැමිණ ඔහුට ඉස්සර වෙන්නට ඉඩ දී කොලොනියල් අවන්හලේ පඩි නැගීම ආරම්භ කළෙමි. ජීවිතයේ පළමු වතාවට හිඟන්නෙකු සමග මධුවිත තොලගෑමේ ඒ දුර්ලභ අවස්ථාව තව මොහොතකින් මා හට උදා වනු ඇත.   


ඊළඟ දිනයෙත් සවස් ජාමයේ පිටකොටුවට බැස්සෙමි. ඊයේ හෙන්රි සමඟ එක් වූ මා ඔහුගෙන් වෙන්වන විට මධ්‍යම රාත්‍රියද වියැකෙමින් තිබිණි. මධුවිතෙන් හා ඉස්තරම් රාත්‍රි කෑම වේලකින් මට සංග්‍රහ කළ හිඟන මිතුරා නිවහනට යාමට ත්‍රිරෝද රියක්ද සපයා දුන්නේ හිතහොඳ නියම මිත්‍රයෙකුගේ ගුණාංග මොනවට පැහැදිලි කරමිනි.   
ත්‍රිරෝද රථයේ කුලිය පමණක් රු 800/- කි. රියේ හිමිකරුවා හෙන්රිගේ ගනුදෙනුකරුවෙකු වන නිසා මගේ ගාස්තුව හෙට දවසේ ඔහුගේ පොලී මුදලෙන් අඩුවන බව රියැදුරා දනී. මේ නිසා පිටකොටුවේ සිට අයි.ඩී.එච්වලට නොව එතැනිනුත් එපිට ලංකාවේ ඕනෑම තැනකට මා ගෙනගොස් ඇරලීමට ඔහු සූදානමින් පසු වූ නමුත් නිවෙස අසලදී ගමන කෙළවර කිරීමට සිදුවිය. 

 
මම ඕල්කොට් මාවතට වැටුණෙමි. ආර්. කුමාර් තරුණයා හමුවූයේ සෙනඟ අතර එසේ සැරිසරන අතරතුරයි. ඔහු පදික වේදිකාවේ සිට ජංගම දුරකතන චාජර හා හෑන්ඩ් ප්‍රී සෙට් ගොඩක් ළඟ කෑගසමින් සිටි ‘‘මගේ වයස දැන් අවුරුදු 32 යි. ​පේමන්ට් එකට බැහැල අවුරුදු 13 ක් වෙනව. කොළඹම තමයි ගම නවගම්පුර.   
තාත්ත මැරෙනකොට මමයි සහෝදර ස​හෝදරියොයි පුංචියි. තාත්තගෙ රැකියාව වුණෙත් පේමන්ට් එකේ ඉණ පටි (බෙල්ට්) වෙළෙඳාම. ඒ තට්ටුව තිබුණේ මෙතනමයි. මමත් ඒ කාලෙ තාත්තත් එක්ක පිටකොටුවට එනව වෙළෙඳාම කරන හැටි බලාගෙන ඉන්නව. තාත්තත් එක්ක කෑගහනව. මේ නිසා පේමන්ට් බිස්නස් එක ගැන මට හුරුවක් තිබුණා.   
තාත්තගෙ මරණෙන් පස්සෙ ජීවිත සටන ගෙනියන්න අම්ම හරියට දුක්වින්ද. ඒක බලාගෙන ඉන්න බැරුව තමයි මං පේමන්ට් එකට බැස්සෙ. දැන් මම විවාහකයි. දරුවො දෙන්නයි. ලොකු දුව 6 වසරෙ චූටි දූ 5 වසරෙ ‘‘කොහොමහරි මුදල් ටික ටික එකතු කරලා ත්‍රීවීල් එකකුත් ගත්ත. ඒක හයර් කරනව. ඒක පාලනය කරන්නෙ අම්ම.   
මට මේ බිස්නස් එක හොඳයි ගනුදෙනුකරුවෙකු නිසා ඔහුගේ කතාව හිටිවනම නතර විය. පැමිණි පුද්ගලයා කුමාර්ගෙන් කිසිවක් මිලදී නොගත් නමුත් හෑන්ඩ් ප්‍රී සෙට් ගොඩම අවුස්සා බැලීය.   


වෙළෙඳාමක් නොකෙරුණු නමුදු කුමාර් අමනාපයට හෝ කේන්තිගත් බවක් නොපෙනිණි’’ ඔහොම තමයි ගොඩක් අය අවුස්සල බලල ගාන අහල යනව. පේමන්ට් එකේ රු 150/- ට අපි විකුණන මේ හෑන්ඩ් ප්‍රී සෙට් එකක් ඒ.සී. කරල වීදුරු ෂෝරූම් එකක අසුරලා තියෙන කඩවල්වල රු. 500 ඉඳන් 1500 වෙනකම් මිල කරල තියෙනව. මිනිස්සු වැඩියෙන් මුදල් ගෙවල ගන්නෙත් මේකමයි. අපේ ගාන අඩු නිසා බයට ගන්නේ නෑ බාල බඩු කියල. මට මේ කෑල්ලකින් ලාබෙ තියෙන්නෙ රු. 25/- යි   
අපි මේව තොග මුදලට ගන්නෙ මේ බජාර් එකෙන්මයි. මම සතියේ හැම දවසකම වගේ මෙතන ඉන්නව. එහෙම නැත්තෙ ලෙඩක් දුකක් කරදරයකදී විතරයි. ඒ නිසා මිලට ගන්න බඩුවෙ දෝෂයක් නම් ආපහු අරගෙන ඇවිත් මාරු කරගන්න කියල මම ගනුදෙනුකරුවන්ට කියනව.   
හොර බොරු වංචා කරලා පේමන්ට් බිස්නස් කරන්න බැහැ. කෙරුවොත් බොහොම ටික කාලයයි. ටික කාලයක් රිමෝට් කොන්ට්‍රෝල් (දුරස්ථ පාලක) වික්ක. ඊළඟට සෙල්ලම් බඩු වෙළෙඳ‌ාම කළා. දැන් මේක කරගෙන යනව. සීසන් කාලෙ එනකොට ඒවට හරියන්න අපි අයිටම් වෙනස් කරනව.   
පසුගිය කාලෙ පිටකොටුවෙ පේමන්ට් වෙළෙඳ‌ාම කරගෙන යන්න ඉඩ දුන්නේ නෑ. පොලිසියෙන් ඇල්ලුව. ඒ කාලෙදි උත්සව අවස්ථා හොයාගෙන රටපුරා ගියා. පෙරහර කාලෙට මහනුවර, කතරගම, කැලණිය, මඩු මංගල්‍යය ඒ වගේ.   


දැන් අලුත් ආණ්ඩුව ආවට පස්සෙ අපි පස්සෙ පන්නන එක නතර වෙලා. අපි එද‌ා වේල හම්බ කරගෙන උත්සාහයෙන් ජීවත්වෙන මිනිස්සු. නීති විරෝධී වැඩ කරන්නෙ නැහැ. කපටිකම් කරන්නෙ නෑ. ජනතාව යන එන මහපාරෙ පේමන්ට් එකේ බිස්නස් කරන්නෙ ස්ථිර තැනක් නැති නිසා. අනිත් එක ජනතාවට අවහිරයක් වෙන්නෙ නැති විදියට මගේ විතරක් නෙමෙයි මේ කාගෙ කාගෙත් දරු පවුල් නඩත්තු වෙන්නෙ මේ හම්බ කරන සොච්චමෙන් තමයි.   
අපි විකුණන බඩු මිලෙන් අඩු වුණත් කොලිටිය හොඳයි. මේව අපි අලෙවි කරන්නෙ මහ ලාබයක් තියාගෙන නෙමෙයි. වෙළෙඳාම හොඳම දවස්වලදි වුණත් දවසෙ ලාබය රු 1200/- ක් වගේ. රු 500/-, 800/- ලැබෙන දවසුත් තියෙනව. මේ වගේ සුළු ලාබයටත් දවස තිස්සෙ උගුර ලේ රහ වෙනකම් කෑ මොර දෙන්න ඕන.   
අපි රජයෙන් ඉල්ලන්නෙ අපි ගැනත් අනුකම්පා කරන්න. නව රජය බලයට පත් කරන්න අපිත් දායක වුණා. කුමාර් කතාව අවසන් කර දිගු හුස්මක් ගෙන මා දෙස බලා සිනා විය. හිත සැහැල්ලු වුණාසේය. මමද එතැනින් නික්මුණෙමි.  



සටහන හා ඡායාරූපය   
තිලක් පුෂ්පකුමාර