IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගොඩබිමත්-සාගරයත් ජයගත් අහස අහිමි කුරුල්ලා

‘සමුදුරු සුවිසැරිය’ 
ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිනි

අවසන් කොටස....   


බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් පෙළට පාදක වන්නේ සාගරයයි. 91 හැවිරිදි ඇටන්බරෝ කීර්තිමත් චරිතයකි. ස්වභාවවේදියෙකි. කෘතහස්ථ රූපවාහිනී නිවේදකයකු පමණක් නොව, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. බී.බී.සී. නාළිකාවේ විකාශය වුණු ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් මාලාවේ දෙවැනි කතා පෙළ නරඹන්නන් විස්මයටත් අමන්දානන්දයටත් පත් කරමින් විකාශය වී අවසන්ය. ‘බ්ලූ ප්ලැනට් 2’ කොටස් 7කින් සමන්විතය. ‘සමුදුරු සුවිසැරිය’ යන නමින් අප ඔබ වෙත ගෙනාවේ එම කතාංග පෙළ හරහා දකින්න ලැබුණු සාගරය කේන්ද්‍රකොටගත් ජීවීන්ගේ විස්මිත වික්‍රමය. 

 

ආපසු සාගරයට​


 

සාගර ජීවිතය   


සාගරයේ ජීවිතය මුළුමනින්ම බැහැරකොට, ගොඩබිමට පැමිණි ජීවින් සිටිනවා සේම, ගොඩබිම සිට සාරයට ගොස්, සාගරය තම නිවහන කරගත් අහස අහිමි කුරුල්ලෙක් සිටී. පියඹා යෑමට නොහැකි නිසාම, එය අඩුපාඩුවක් කර නොගෙන සාගරය නිවහන කරගත් මේ කුරුල්ලා, සාගරය පමණක් නොව ගොඩබිම ද ජයගත් විස්මිත සත්වයෙකි. පියඹා යෑමට නොහැකි වුණත් පිහිනීමට අතිදක්ෂයකු වන මේ කුරුල්ලා පෙන්ගුවින්ය. පෙන්ගුවින් ‘අවල් කුරුල්ලා’ යනුවෙන් හැඳින්වෙයි. ඒ, පෙන්ගුවින්ට පියාපත් නොමැති නිසාත්, පියාපත් වෙනුවට ඇත්තේ පිහිනීමට කදිම අවල්පත් නිසාත්ය. සාගරයේ ජීවිතයට හැඩ ගැසෙන අයුරින්, පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස, පෙන්ගුවින්ගේ පියාපත් අවල්පත් බවට පරිවර්තනය වී ඇත. රළ අතරින් ඉහළට පනිමින්, පිහිනා යමින්, දිය යට කිමිදෙමින් මසුන් දඩයම් කිරීමට පෙන්ගුවින් කුරුල්ලෝ ශූරයෝය. මොවුහු ජීවිතයෙන් වැඩි කොටසක් සාගරයේ ගත කරති. පෙන්ගුවින්ගේ සිරුරේ පිහාටු ද පිහිටා ඇත. ඒවා පියඹා යෑමට හැකි පිහාටු නොවෙයි. ඒවා පිහිනීමටත්, සාගරයේ ජීවත්වීමටත් සුදුසු අයුරින් නිර්මාණය වූ පිහාටුය. දක්ෂිණධ්‍රැවයේ සීතලෙන් සහ සීතල සාගරයෙන් ඔවුන් උණුසුම් කිරීමට පෙන්ගුවින්ගේ සිරුරේ ඇති මෙම සුවිශේෂී ‘පිහාටු ඇඳුම’ උපකාරී වෙයි. ඒත්, කොතරම් කාලයක් සාගරයේ ගත කළත්, වසරකට වරක් පෙන්ගුවින් කුරුල්ලන්ට මුහුදු වෙරළට පැමිණීමට සිදුවෙයි.   


රාජකීයයෝ   


‘දකුණු ජෝර්ජියාව’, ඇන්ටාක්ටිකාවට නුදුරින් පිහිටා ඇති, ජීවීන්ගෙන් පිරුණු කුඩා දූපතකි. හුදෙකලා දූපතක් ලෙස සැලකෙන මෙම දූපත එසේ හුදෙකලා අයුරින් තබා ගැනීමටත් රැකබලා ගැනීමටත් බලධාරීහු මැදිහත් වී සිටිති. හැම ග්‍රීස්ම කාලයේම, මෙම දූපත වටා ඇති වෙරළ තීරය ජීවීන්ගෙන් පිරෙයි. එය මිහි මත වඩාත් කාර්ය බහුල තැනක් බවට පරිවර්තනය වෙයි. දස දහස් ගණනින් රාජකීය පෙන්ගුවින් කුරුල්ලෝ මෙහි පැමිණෙති. රාජකීය පෙන්ගුවින් යන නමින් මෙම පෙන්ගුවින් විශේෂය හැඳින්වෙන්නේ මොවුන්ගේ ආඩම්බරකාර උඩඟු පෙනුම නිසාය. මෙම පෙන්ගුවින්ලාට ඇත්තේ ඍජු සිරුරකි. උදාර බවක් එසේත් නැතිනම් කිසියම් රාජකීයයන්ගේ ස්වරූපයක් මෙම පෙන්ගුවීන්ට ආරූඪ වී ඇති බවත් පෙනෙයි. මෙම පෙන්ගුවින් විශේෂය අනෙක් පෙන්ගුවින්ලාට වඩා ප්‍රමාණයෙන් ද විශාලය. මුහුදේ රළ අතරින් වෙරළට පැමිණෙන රාජකීය පෙන්ගුවින් රංචුව සෙමින් සෙමින් වෙරළ දිගේ ඇදෙන්නේ, වෙරළට මදක් ඔබ්බෙන් පිහිටා ඇති ඔවුන්ගේ කොලනිය එසේත් නැතිනම් ජනපදයට යෑමටය.   


ඇත් නීවගයෝ   


ජනපදය බලා යන පෙන්ගුවින් කණ්ඩායමට බාධාවකි. තෙල් තට්ටුවලින් සහ මස් පර්වතවලින් බාධාවකි. මුහුදු වෙරළේ ඔවුන් සහ ඔවුන්ගේ ජනපදය අතරේ යෝධ තාප්පයක් ලෙස, දැවැන්ත එලිෆන්ට් සීල් රංචුවක් පැතිර සිටී. එලිෆන්ට් සීල් ක්ෂීරපායියෙකි. ‘සීල්’ සිංහල බසින් හැඳින්වෙන්නේ ‘නීවගයා’ යනුවෙනි. එලිෆන්ට් සීල් හැඳින්වෙන්නේ ‘ඇත් නීවගයා’ යන නමිනි. එලිෆන්ට් සීල් යනු උතුරු ඇමෙරිකාවේ බටහිර වෙරළේ සහ දක්ෂිණධ්‍රැවය ආශ්‍රිතව අභිජනනය කරන දැවැන්තයෙකි. යෝධ සිරුරුවලින් සමන්විත මෙම සත්වයන් ඝෝෂාකාරීය. ප්‍රචණ්ඩකාරීය. සීල්ගේ නාසය අසාමාන්‍ය ලෙස විශාලය. එය හොඬවැල් කැබැල්ලක් සේ පහළට එල්ලී ඇත. එලිෆන්ට් සීල් යනුවෙන් මොවුන් හැඳින්වෙන්නේ එහෙයිනි. මේ ඇත් නීවගයන් වර්ගයා බෝ කරන කාලයයි. ටොන් හතරකට වඩා බරින් වැඩි යෝධ පිරිමි සත්වයෝ, සෙම පෙරාගෙන, තම තමන්ගේ සහකාරියන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එකිනෙකා සමඟ සටන් වදිමින් පොර බදති. සපා කා ගනිති. තුවාල කර ගනිති. 

 
සන්සුන් වෙනකල්


මුහුදු වෙරළට පැමිණ සිටින, රාජකීය පෙන්ගුවින් කණ්ඩායමට ඉදිරියට යෑමට, වෙරළේ වැතිරී සිටින, සිය ගණනකගෙන් සමන්විත එලිෆන්ට් සීල් රංචුව බාධකයකි. පෙන්ගුවින් රංචුව කෙසේ හෝ මේ බාධකය මඟ හැර, ඔවුන් පසු කර ඉදිරියට යා යුතුව ඇත. කළ හැකි හොඳම දේ, මදකිපී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන දැවැන්තයන් සන්සුන් වන තෙක් බලා සිටීමය. එක පොදියට වැතිරී සිටින එලිෆන්ට් සීල් සතුන්ගේ සිරුරුවලට ඉහළින් පියඹා යෑමට පෙන්ගුවින්ට කළ නොහැකිය. එහෙයින්, සුදුසු අවස්ථාව උදා වන තුරු පෙන්ගුවින් සිටී.   


හෙමිහිට ඉදිරියට   


බිහිසුණු පොර බැදීමකින් පසු, එලිෆන්ට් සීල් යෝධ පිරිමි සතුන් දෙදෙනෙක් සන්සුන් වෙති. ඔවුන් අසල වැතිරගත් ගැහැනු සතුන් නිදිය. පොර බැදීමෙන් පසු ලේ පෙරාගත්, සෙම පෙරාගත් පිරිමි සතුන් දෙදෙනා ද සන්සුන් වෙයි. පරාජය වුණු පිරිමි සතා බඩ ගා පැත්තකට ගොස් වැතිරී නිදා ගනී. ජයග්‍රහණය කළ පිරිමි සතා උගේ සහකාරියන් අසලට වී නින්දට වැටෙයි. පෙන්ගුවින් රංචුවට සුදුසු අවස්ථාව උදා වෙයි. දැන් කළ යුත්තේ නිද්‍රාගත යෝධයින් අසලින් සෙමින් සෙමින් ඉදිරියට යෑමය. එය බොහොම සීරුවෙන් කළ යුතු වැඩකි. ප්‍රචණ්ඩ සීල් සතුන්ගෙන් පෙන්ගුවින්ට හිරිහැර කරදර එල්ලවීමේ අවදානමක් පවතී. එක පෙළට පෙන්ගුවින් සෙමින් සෙමින් පාද තබමින් ගමන අරඹයි. පරෙස්සමෙන් ඉදිරියට යා යුතුය. පෙන්ගුවින් සෙමින් සෙමින් ඉදිරියට යයි.   


සටනක්   


මහ හඬින් ගොරවමින් නිදා සිටින සීල් රංචු කිහිපයක් පසු කරමින් පෙන්ගුවින් පෝලිම ඉදිරියට ගමන් කරමින් සිටී. පෙන්ගුවින්ලා කිහිපදෙනකු සීල් සතුන්ගේ සිරුරේ ස්පර්ශ වෙයි. කෙඳිරි ගාමින් සීල් අවදි වෙයි. ගැටලුවක් නැත. සියුම් ගෙරවුමක් පිට කරමින් යළි නින්දට වැටෙයි. තව ටිකක් ඉදිරියට යද්දී, යෝධ සීල් පිරිමි සතුන් පොර ඇල්ලීමට සූදානම් වී සිටින බව පෙනෙයි. ඌ පොර අල්ලන්න සූදානම් වන සීල් දැවැන්තයා බඩ ගාගෙන සිරුර පන්නමින් වේගයෙන් එයි. පෙන්ගුවින් කණ්ඩායම සිටින්නේ අතර මැදය. යෝධයන් දෙදෙනා එකිනෙකා සමඟ ගැටුණොත් පෙන්ගුවින්ලාට තුවාල වීමට ඉඩ ඇත. පෙන්ගුවින් පය ඉක්මන් කරයි. යෝධ එලිෆන්ට් සීල් පිරිමි සතුන් දෙදෙනා එකිනෙකා සමඟ ගැටෙයි. එය බිහිසුණු පොර බැදීමකි. මහ හඬක් පිට කරමින්, ගොරවා ගනිමින් ටොන් අටක මහා මස් පර්වත ගැටෙන්නේ එකිනෙකාට තුවාල කර ගනිමිනි. අත්දැකීම් බහුල වැඩිමල් පිරිමි සත්වයාට ජය හිමිවෙයි. ඔහුට අභියෝගයක් කරමින් සටනට ආ තරුණ පිරිමි සීල් සෙමින් පසුබසී. පරිණත පිරිමි සත්වයා සහකාරියන් අතරට ගොස් බිහිසුණු ගෙරවුමක් කරමින්, ජයග්‍රහණය තහවුරු කරයි.   


පෙන්ගුවින් ජනපදය   


සටන මෙසේ සිදුවෙද්දී, පෙන්ගුවින්ලා, සීල් රංචුව පසුකර ගොස් අවසන්ය. පෙන්ගුවින් කිසිදු බාධාවකින් තොරව ඔවුන්ගේ ජනපදය කරා ළඟා වෙයි. ජනපදයේ පෙන්ගුවින් පැටව් 40,000කට වැඩිය සිටිති. වැඩෙන තුරු පෙන්ගුවින් පැටවු දුඹුරු පැහැයක් ගනිති. ඔවුන් මාපියන් තරමටම ප්‍රමාණයෙන් විශාලය. එසේ වුවත් ඔවුන් තවම කුඩා පැටවුන්ය. සාගරයේ සිටින පෙන්ගුවින් අම්මලා සහ තාත්තලා පැටවුන්ට කෑම ගෙනත් ඇත. අම්මලා කෑම සොයද්දී, පැටවුන්ගේ ආරක්ෂාවට සහ තනි නොතනියට සිටින්නේ පෙන්ගුවින් තාත්තලාය. තාත්තා නැති වෙලාවට පැටව් මව් තුරුලේය. කුසගින්නේ සිටින පැටවු ක්‍රියාශීලීය. උන් උද්​ෙ‌යා්ගීමත්ය. කෑම ලැබෙන තුරු මුව අයාගෙන සිටිති.   


වේදනාකාරී අත්දැකීම   


පෙන්ගුවින් ජනපදයට පැමිණෙන හැම පෙන්ගුවින් කෙනකුටම කෑම දී ලොකු මහත් කිරීමට පැටවකු නැත. ඇතැම් රාජකීය පෙන්ගුවින්ලා මෙම ජනපදයට පැමිණෙන්නේ සුවිශේෂී පමණක් නොව, වේදනාකාරී අත්දැකීමකට මුහුණ දීමටය. එම අත්දැකීමට සූදානමින් පෙන්ගුවින් සිය ගණනක්, ජනපදයට ඔබ්බෙන් එක්තරා හුදෙකලා භූමියකට රොක් වෙයි. සෑම පෙන්ගුවින් කෙනකුම මෙම වේදනාකාරී මෙන්ම ‘දරා ගැනීමේ’ අත්දැකීමට මුහුණ දී එය සමත් විය යුතුය. එය ඔවුන්ගේ ජීවිතයේ කොටසකි. එය ඇරැඹෙන්නේ පුංචි කැසීමකිනි. එම කැසීම පෙන්ගුවින්ගේ සිරුර පුරා දුවයි. කැසීමත් සමඟ පෙන්ගුවින්, උගේ පුංචි පිහාටු එකිනෙක ගලවා දැමීම අරඹයි. පිහාටු ගලවා ඉවත් කිරීම වේදනාකාරීය. කොතරම් වේදනාකාරී වුවත් පෙන්ගුවින් පිහාටු සේරම ඇද ගලවයි.   


අපූරු ඇඳුමක්   


පෙන්ගුවින්ලාගේ සිරුරු වටා ඇති ‘පිහාටු ඇඳුම’, ඔවුන්ගේ දිවි රැක ගැනීමට උදව් වන ආවරණයයි. ජලයේ සිටියත්, පෙන්ගුවින්ගේ පිහාටු තෙතබරි වෙන්නේ නැත. එය සැකැසී ඇත්තේ ජලය උරා නොගන්නා අයුරිනි. මාස ගණනාවක් සාගරයේ ප්‍රචණ්ඩ රළ අතරින් පිහිනා යෑමෙන් පසු එම පිහාටු ඇඳුම වියැකී ගොසිනි. පිහාටු ගලවා දමමින් පෙන්ගුවින් ඇඳුම ඉවත් කරයි. වේදනාකාරී ක්‍රියාවලියක් වුවත් එය කළ යුතු වෙයි. පෙන්ගුවින්ලාගේ සිරුර වටා පිහාටු ස්ථර හතරකි. මෙම ස්ථර හතරම ඉවත් කිරීම කඩිනමින් කළ යුතුය. පිහාටු ඉක්මනින් වර්ධනය වෙයි. කෙසේ නමුත් පිහාටු වර්ධනය වන තුරු පෙන්ගුවින්ලා මෙම ස්ථානයේ රැඳී සිටිය යුතු වෙයි. පෙන්ගුවින් එකම තැනට වී නිසොල්මනේ ගුළි වී සිටී. කිසිදු ආහාරයක් නොගෙන මාසයක් නිසොල්මනේ එකම ඉරියව්වකින් සිටී. මාසයක් යද්දී, අලුත් පිහාටු වර්ධනය වෙයි. කහ සුදු සහ කළු වර්ණගත් අපූරු ඇඳුම් කට්ටලය යළි අලුත් වෙයි. දැන් යළි සාගරයේ වික්‍රමවල නියැළීමට අවස්ථාව ලැබේ. මාසයක් නිරාහාරව සිටි පෙන්ගුවින්ලාට දැන් කුසගිනි දැනෙයි. අලුත් පිහාටුවලින් යුතු සිරුරු නිසා රාජකීය පෙන්ගුවින්ලා දැන් තවත් ආඩම්බරය.   

 

 

 

 

 

 

 


ලුසිත ජයමාන්න   
බ්ලූ ප්ලැනට් 2 ඇසුරිනි   



අදහස් (0)

ගොඩබිමත්-සාගරයත් ජයගත් අහස අහිමි කුරුල්ලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2004 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site