සිහිවටනයක පසුබිම් කතාව

 

කනත්ත යන නාමය බොරැල්ලෙන් පටන්ගෙන කෙතරම් ජනගත වූවාදැයි කිවහොත් බොහෝ දෙනා සිතා සිටින්නේ කනත්ත යනු කැරකොප්පුව, සුසාන භුමිය යන පදවලට සමාන පදයක් කියාය. නමුත් කොළඹ බොරැල්ලේ ඇති සුසාන භුමිය පිහිටි ඉඩමේ නම කනත්තවත්තය. ඊට එහා ඉඩම කිතුල් වත්තය. 1904 දී අච්චු ගස්යා ප්‍රසිද්ධ කරන ලද The Life of Charles Henry De Soysa නම් පිටු දහස් ගණනක පොතේ මෙම ඉඩම ගැන පැහැදිලිව සඳහන්කොට ඇත. චාර්ල්ස් හැන්රි ද සොයිසා ශ්‍රීමතාණන් මොඩල් ෆාම් නමින් දැවැන්ත ගොවිපළක් අරඹා ඇති භූමියට පිවිසෙන්නේ මොඩල්ෆාම් පාර හරහාය. 


  

එම ‘මොඩල් ෆාම්’ විවෘත කරන්නට පැමිණ ඇත්තේ එංගලන්තයේ ඇල්ෆ්‍රඩ් කුමාරයාය. කුමරාගේ ලංකා ගමන සිහිවන්නට එයට ඇල්ෆ්‍රඩ් ආදර්ශ ගොවිපොළ යන නම තබා ඇත. ගොවිපොළ සඳහා සොයිසා මහතා පරිත්‍යාග​කොට ඇති මුදල පවුම් 10,000 කි.  


ගොවිපොළට මුල්ගල තැබීමේ උත්සවයට පැමිණි සර් හර්කියුලස් රොබින්සන් ආණ්ඩුකාරතුමා කළ කතාව එද‌ා ‘‘රිවිරැස’’ පුවත්පතේ පළකොට ඇත. (ඇම්.ඩී.ගුණසේන සමාගමේ රිවිරැස නොවේ)  
‘ඇල්ෆ්‍රඩ් ආදර්ශ ගොවිපොළ තිබෙන ශාලාවට මුල්ගල තැබීමටද, අද දින එළඹ සිටීමට ද එහි භාරකාරයින් විසින් එවන ලද කැඳවීම් පත්‍රය පිළිගැනීමේ මට මහත් ප්‍රීතිදායක කරුණක්ය’ යනුවෙන් එදා රොබින්සන් ආණ්ඩුකාරතුමා පවසා ඇත්තේ මහත් ප්‍රීතියකිනි.  


කනත්තවත්තගේ, කනත්ත මුහන්දිරම්ගේ ආදී පෙළපත් නාමයක් අද බොහෝ දෙනා භාවිතයට අකමැති වුවද වේවි. අභය ගුණවර්ධනයන් සිංහල පෙළපත් නාමයක් ගැන ලියා ඇති පොතක ඇත්තේ එම පෙළපත් නාම උසස් කුලවලට අයත් ඒවා බවය. සොයිසා චරිතයේ ඇල්ෆ්‍රඩ් ආදර්ශ ගොවිපොළ භූමියේ මුලු සිතියම නොහොත් පිඹුර දුටුවිට ‘කනත්තවත්ත’ ඉඩමේ අයිතිය තහවුරු කරගත හැකිය.   


එහෙත් අද ‘කනත්ත’ සුසාන භූමියේ ඉඩ ප්‍රමාණය අක්කර 50 කටත් අඩුවී තිබේ. මුල් කාලයේ දැනට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිකොට ඇති ගොල්ෆ්පිටිය තෙක් විහිදී තිබුණ භුමිය හඳුන්වා ඇත්තේ කුඹිකැලේ නමිනි. අදද කොළඹ ‘කනත්ත’ ඉඩම පසුකර නරාහේන්පිට දෙසට එනවිට හමුවෙන කිතුල්වත්ත පෙදෙස මනරම් ගමක ගහකොළ අපට සිහිගන්වයි. මේ සොහොන් බිමේ ඇති සොහොන් කොත් යට තම වාසස්ථානය කරගත් ප්‍රධාන සත්ව කොට්ඨාසය නාගයින්ය. තවමත් කිතුල්වත්ත ප්‍රදේශයට වෙන්නට ඉත්තෑවුන්, මුගටියන්, හාවුන් මෙන්ම කෝවක්කන් ඕනෑ තරම් සිටීම ගැන ඒ ගැන නිරීක්ෂණය කළ පරිසරවේදියකු අපට පෙන්වා සිටියේ ඡායාරූප ද සමගය. ඔහු පවසා සිටියේ කට්ටඬියන් විසින් දෙන බිත්තර මේ සොහොන් කොත්වල දමා යන නිසා එ්වා නයින්ගේ ප්‍රධාන ආභරයක්වී ඇති බවය.

  
කනත්ත ඉඩමට සිතියමක් ඇති බව බොහෝදෙනා දැනගන්නේ එහි සැතපීම සඳහා ඉපැරණි ඉඩම් කට්ටියක් මිලදී ගන්නට යන විටය. මෙහි මුල්ම කාලයේ මිහිදන් කළ වළවල් සඳහා ඔප්පු ඇති පුද්ගලයින් ඔප්පු තිරප්පුවල ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ මෙම ඉඩමේ මුල් පිඹුරේ ඇති පරිදි එම ඉඩමේ නම Kanattawatta යන බවය. 1866 ඔක්තෝබර් 28 දින 55 වියැති ‘‘ඉයුබජින්’ නමැති වැන්දඹුව මෙහි මුලින්ම මිහිදන් වූ බව කීවත් මෙහි ඉතිහාසය ඊටත් එහා යන්නකි.   


‘දුහුවිල්ලෙන් සැදුනු නුඹ නැවත දුහුවිල්ලට හැරෙන්නේය’’  


යයි කතෝලිකයින් තම මරණය ගැන සිහිකරන කියමනක් තිබේ. ඒත් ලංකාවේ ඉතිහාසය පිරික්සීමේදී නිරීක්ෂණයේදී පෙනීයන්නේ ක්‍රි.ව ආරම්භයටත් පෙර මහින්දාගමනයට ද පෙර ලක්දිව සුසාන විධි ක්‍රම පැවති බවය. ලංකාවේ මුල්ම ආද‌ාහන විචිත්‍රම පැවතියුගය ලෙස සැලකෙන්නේ මෙසොලිතික යුගයයි. කාලනිර්ණය අනුව පෙනී යන්නේ වසර 6500 ක් පැවති මෙසොලිතික ලක්ෂණ ලංකාවේ පැවතී ඇත්තේ මෙයින් වසර 35,000 කට එපිට බවය. මේ ගැන කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ දම්මි බණ්ඩාර සටහනක් තබා ඇත්තේ මෙම ස්ථාන සම්බන්ධයෙන් ලැබී ඇති කාලනිර්ණ නිගමන මූලික වශයෙන් අඟුරු නියැදි රේඩියෝ කාබන් කාලනිර්ණ පර්යේෂණවලට ලක්කිරීමෙන් ලත් ඒවා බවය.  


මේ බොරැල්ල සුසාන භුමිය 1977 ජේ.ආර්. පාලන යුගය වෙනවිට පැවතී ඇත්තේ දුරාචාරවල කොළඹ මූලස්ථානයක් ලෙසය. එය තාප්පවලින් වටවී තිබුණ නිසා එහි සිදුවෙන්​ෙන් කුමක්දැයි අවටින් යන ජනයා ගමන්ගෙන ඇත්තේ කුහුලින් යුතුවය. 1977 මැතිවරණ, වේදිකාවල කොළඹ ජනතාවට දුන් එක් ඡන්ද පොරොදුවක්වී ඇත්තේ බොරැල්ල සුසාන භුමිය වටා යකඩ වැටක් ඉදිකරන බවය. එහෙත් 77 යුඇන්පී ආණ්ඩුව බිහිවී වසර 10 කට පසු ඡන්ද පොරොන්දුව ඉටුවිය. ඒ සඳහා යොදාගෙන ඇත්තේ 1987 ගම්උදාව සෙල්ල කතරගම භුමිය වටකොට තිබූ යකඩ වැටයි.  

අද ‘කනත්ත’ සුසාන භූමියේ ඉඩ ප්‍රමාණය අක්කර 50 කටත් අඩුවී තිබේ. මුල් කාලයේ දැනට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිකොට ඇති ගොල්ෆ්පිටිය තෙක් විහිදී තිබුණ භුමිය හඳුන්වා ඇත්තේ කුඹිකැලේ නමිනි. අදද කොළඹ ‘කනත්ත’ ඉඩම පසුකර නරාහේන්පිට දෙසට එනවිට හමුවෙන කිතුල්වත්ත පෙදෙස මනරම් ගමක ගහකොළ අපට සිහිගන්වයි. මේ සොහොන් බිමේ ඇති සොහොන් කොත් යට තම වාසස්ථානය කරගත් ප්‍රධාන සත්ව කොට්ඨාසය නාගයින්ය. තවමත් කිතුල්වත්ත ප්‍රදේශයට වෙන්නට ඉත්තෑවුන්, මුගටියන්, හාවුන් මෙන්ම කෝවක්කන් ඕනෑ තරම් සිටීම ගැන ඒ ගැන නිරීක්ෂණය කළ පරිසරවේදියකු අපට පෙන්වා සිටියේ ඡායාරූප ද සමගය. ඔහු පවසා සිටියේ කට්ටඬියන් විසින් දෙන බිත්තර මේ සොහොන් කොත්වල දමා යන නිසා එ්වා නයින්ගේ ප්‍රධාන ආහාරයක් වී ඇති බවය.  කනත්ත ඉඩමට සිතියමක් ඇති බව බොහෝදෙනා දැනගන්නේ එහි සැතපීම සඳහා ඉපැරණි ඉඩම් කට්ටියක් මිලදී ගන්නට යන විටය. මෙහි මුල්ම කාලයේ මිහිදන් කළ වළවල් සඳහා ඔප්පු ඇති පුද්ගලයින් ඔප්පු තිරප්පුවල ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ මෙම ඉඩමේ මුල් පිඹුරේ ඇති පරිදි එම ඉඩමේ නම Kanattawatta යන බවය. 1866 ඔක්තෝබර් 28 දින 55 වියැති ‘‘ඉයුබජින්’ නමැති වැන්දඹුව මෙහි මුලින්ම මිහිදන් වූ බව කීවත් මෙහි ඉතිහාසය ඊටත් එහා යන්නකි. 


මෙම කනත්ත සුසාන භුමිය බෙදා වෙන්කර ඇති අන්දම ආගම් මෙන්ම වෙනත් හේතුද පදනම් කොටගෙන ඇත. බෞද්ධ, හින්දු, රෝමානු, කතෝලික, දෙවැනි ලෝක යුද්ධයේ මියගිය පොදුරාජ්‍ය මණ්ඩලීය සෙන්පතියන්, මෙන්ම ජපන්, ජර්මන් ඒකකද මෙහි දැකගත හැකිය. ඉස්පිරිතාලවල මහපාරවල අවසන් ගමන් ගිය දේහයන් වෙනුවෙන් ඇති කොටස් හැඳින්වෙන්නේ ‘අනාත බ්ලොක්’ එක ලෙසය. මේ ‘අනාථ බ්ලොක්’ එක ගැන කදිම විශේෂාංග ලිපියක් හැටේ දශකය අග ලංකාදීපයේ පළකොට ඇත්තේ නාරගල කිත්සිරි සමරනායක විසිනි.  


නිවෙස්වලින් තරහ වී කොළඹ එන තරුණ​ෙයක් මෙන්ම විවිධ පුද්ගලයින්ද අනතුරුවලින් මියගොස් මහරෝහලේ සිට ගෙනා දේහය ඇල්බීසියා පෙට්ටියක දමා වළලන හැටි ගැන අනුවේදනීය පුවතක් එහි අන්තර්ගතයේ ඇත. මරණය ගැන දැනගෙන දුරබැහැර සිට ඥාතීන් එනවිට අද‌ාළ පුද්ගලයා මිහිදන්වී හමාරය. ඔහු හැඳසිටි ඇදුම් හා සාක්කුවල වූ පසුම්බි ආදිය ඥාතීන් ගමට ගෙන ගිය එකම සිහිවටන වී ඇත.  


කොළඹ කනත්ත සුසාන භූමියේ ඇති වටිනාම සිහිවටන වී ඇත්තේ කිරිගරුඬ ප්‍රතිමාය. ඒවා නිර්මාණයකොට ඇත්තේ ඉතාලියේය. තම ආදරණීයන් මියගිය පසු ඔවුනට සිහිවටන කනත්තට ඉතාලියට යන්නට තරම් ධනවතුන් එකළ සිට ඇත. මෙයින් වැඩිමනක් කිරි ගරුඬ නිර්මාණ, ජේසුස් වහන්සේ, මරියතුමිය හා දේව දූතයින්ගේය. මෙවැනි ඉපැරණි කිරිගරුඬ නිර්මාණ එකතුවක් ආසියාවේ ඇති එකම භුමිය සංරක්ෂණයට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පියවර නොගත්තේ හොල්මන්වලට බය නිසා දැයි ඇසිය යුතුය.  

 


මරණය ගැන අප බොහෝදෙනා හඳුන්වන්නේ අසුබ භයන්කර දෙයක් ලෙසය. එහෙත් තමා මියගිය පසු මිහිදන්කළ යුතු සොහොන් ගෙය හැදූ පුද්ගලයකුද මෙහි සිටී. ඔහු කවුරුත්දන්නා පිටකොටුවේ මේබල් ස්ටෝර්ස් අධිපති ඇස්.ඒ.සයිමන් පෙරේරාය. ඔහු ඉපදී ඇත්තේ 1898 දීය. උපන්දිනයට මෙන්ම මිතුරන් සමග විත් තම සොහොන් කොත යට පොඩි ෂොට් එකක් ‘මේබල් මුදලාලි’’ දමාගෙන ඇත්තේ ජිවිතයේ අනිත්‍ය බව කියමිනි. ඔහුගේ ගම වී ඇත්තේ මාතරය. නමුත් ව්‍යාපාර බංකොළොත්වී ගමට ගිය මේබල් මුදලාලිගේ අළුටිකවත් ‘කනත්ත ඉඩමේ හැදූ මේබල් හවුස්’ එකට තැන්පත් කරන්නට ගෙන ඒමට නොහැකි වී ඇත්තේ ජිවිතයේ අනිත්‍ය බව කියාපාමින් විය යුතුය.  


එක්දහස් නවසිය මුල්ගණන්වල පුවත්පතක ඇති වාර්තාවක ඇත්තේ ​ෙජ්‍යාතිෂය ගැන දැඩි මතවාදයක සිටි පුද්ගලයකු තමන් මිය යන වේලාව බලා වළක් කපා හිඳගෙන සිටි බවය. නමුත් ඔහු මියගොස් නැත. නමුත් දෙවැනිවර වේලපත්කඩය බැලූ කේන්දරකරුවකු මැරෙන නැකත ටකේට කියා ඇත. අදාළ පුද්ගලයා එවරද වළක් කපා මියයන වේලාව එනතුරු බලා සිටින විට හෘදයාබාදයක් වැළඳී මරුමුවට පත්වී ඇත.  


මේ කොළඹ ‘කනත්ත’’ සුසාන භුමියට වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ එච්.ආර්.ජෝතිපාල කලාකරුවානන්ගේ අවමඟුල සඳහාය. ඊට පෙර සතියේ ‘රමණී බර්තොලමියුස්’ නිළියගේ අවමඟුලටය. මේ මළ ගෙවල් දෙකම දා සෙනඟින් කනත්තේ ඉදිකිරීම්වලට සිදු වූ හානිය ලක්ෂ ගණනක් ලෙස ගණන් බලා තිබුණි. ඩෙන්සිල් කොබ්බෑකඩුව, ලලිත් ඇතුළත්මුදලි අවසන් කටයුතුවලදී එක්වූයේද දැවැන්ත සෙනගකි. කොබ්බෑකඩුව අවමංගල්‍යයේ වූ විශේෂ සිදුවීමක් නම් ප්‍රේමද‌ාසගේ කොන්තරාත්තුවකට ලිපි ලියූ අදත් වැජ​ෙඹන ලේඛකයකුට යට ඇඳුම පිටින් ගෙදර යාමට සිදුවීමය. පානදුරේ අරියධම්ම හිමිගේ අවසන් කටයුතු පැවති දින උදෑසන සිටම උපාසකම්මලාගෙන් ‘කනත්ත’ සුසාන භුමිය පිරි ඉතිරී ගිය බව එද‌ා ‘දවස’ පුවත්පත අනුර ගුණසේකරගේ ඡායාරූපයක් සමගම පළකොට තිබුණි.  


බොරැල්ල කනත්ත සුසාන භුමිය මෙරට සිටි විශිෂ්ටතම පුද්ගලයින් මිහිදන්වී ඇති තැනකි. අනගාරික ධර්මපාල තුමාගේ සොහොන් කොත මෙන්ම ඩී.ඇස්. පරම්පරාවේ සොහොන් කොතක්ද මෙහි දැකිය හැකිය. එච්.ආර්.ජෝතිපාල, ක්ලැරන්ස් විජේවර්ධන, මිල්ටන් මල්ලවාරච්චි ආදී ගායකයින් බොහොමයකගේ සොහොන් කොත් නිසසලව ඔබදෙස බලා සිටිනු ඇත. පියදාස සිරිසේන ශූරීන්ද ඒ අතරය. දිනමිණ ආරම්භක කර්තෘ එච්.එස්. පෙරේරාගේ සොහොන් කොත ද මෙහි ඇත්තේ අසරණව දැයි එය දුටුවකුට සිහිවනු නියතය.  


මේ ළඟකදි ද‌ාස හපුවලාන කාටුනයක් ඇඳ තිබුණේ මිනී පෙට්ටියක් ළඟ ආදායම් බදු ගොනුවක් සමඟ සිටින පුද්ගයින් දෙදෙ​ෙනකි. ආදායම් බදු නොගෙවූ පුද්ගලයින්ගේ අවමඟුල් කටයුතුවලට​ මේ ආණ්ඩුවට Funeral Tax එකක් ගැසිය හැකිය. පවුලේ සමාජිකයින් ලජ්ජාවටම හිඟ මුදල් ගෙවනු නියතය.  


හැටේ දශකය මුලදී අඩි 9x4 භුමියක් අලෙවි වී ඇත්තේ රුපියල් පනස් හයකටය. මේ ප්‍රදේශයේ අද පර්ච් එකක් ලක්ෂ 50 කටත් මිලදී ගත නොහැක. එය ලක්ෂ 100 ඉක්මවා යන අවස්ථාද ඇත. එදා රු 56/- ට ගත් වළක් අද ලක්ෂ 20 ටවත් මිලදී ගන්නට නැතුව ලුහුඬු දැන්වීම් දමන ඉල්ලුම්කරුවෝ සිටිති. ඔබට මුදල් තිබේ නම් අද අන්තර්ජාල වෙන්දේසි හරහා ද මිනී වළක් මිලදී ගැනීමට හැකිය. නූතන ගූගල් තාක්ෂණය ඔස්සේ වළ ළඟටම ඔබට යා හැකිය මෙම සුසානභූමිය අන්තර්ජාලයට ද එක්වී ඇත. www.borellacemetry.lk එහි වෙබ් අඩවියයි.  


මරණය කාටත් පොදුය. එහෙත් තමන් මියැදෙනු ඇතැයි නොසිතන පිරිසක්ද දැකගත හැකිය. තමන් මියෙන බව දත් ජාන ජනයින් මරා ගත්තේ නැත. අප කාටත් අවසානයේ යන්න ​ෙවන්නේ ඕං ඔතැනටය. ලොව කිසිවක් ස්ථිර නැත. ඊට වයසක්ද නැත. සිඟිති දියණියකගේ මරණයෙන් කම්පා වූ මවක් තැබූ සටහනක් උපුටමින් ලිපිය හමාර කරන්නේ සිතන්නට යමක් ඉතිරි කරමිනි.  

 

 


සසර පුරා සැරි සරලා ආ මග  
නැවතී මොහොතක් අපේ සෙවන යට  
සිනා පොදක්වී සිටියා මතකයි  
කඳුළු බිඳක් වී වෙන් වී ගියමුත්  
දඟකළ කෙළිලොල් නැගු සිනා හඬ  
රැව්දේ තාමත් අප හදවත් තුළ  
ආයෙත් එනව ද සතුටක් අරගෙන  
නිවන් යනෙන මග සසර මතු දිනක  

 

 

 


සටහන - වජිර ලියනගේ