IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


කොරල්පර අතරේ විස්මිත වික්‍රම

‘සමුදුරු සුවිසැරිය’  ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිනි

 

 

සොබාදහමේ අපූර්වත්වය ලෝකවාසීන්ට කියා දෙන අද්විතීය චරිතයක් ලෙස, බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ හැඳින්විය හැකිය. 91 හැවිරිදි වියෙහි පසුවන ඩේවිඩ් ඇටන්බරෝ, රූපවාහිනී වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරන්නකු පමණක් නොව, ස්වභාවවේදියෙකි. ​ෙඩ්විඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් පෙළට පාදක වන්නේ සාගරයයි. ‘බ්ලූ ප්ලැනට් 2’ කතා පෙළ නිර්මාණයේදී අති නවීන තාක්ෂණය භාවිතා කිරීමට වැඩසටහන නිෂ්පාදනය කරන බී.බී.සී. නාළිකාව කටයුතු කර ඇත. ‘බ්ලූ ප්ලැනට් 2’ නිර්මාණය සඳහා බී.බී.සී. නිර්මාණකරුවන්ට වසර හතරකට වඩා වැඩි කාලයක් ගත වී ඇතැයි පැවැසෙන අතර, සියලු දසුන් ‘එච්.ඩී’ තාක්ෂණයෙන් රූගත කර තිබේ. සාගර ජීවීන් සම්බන්ධයෙන් අප මෙතෙක් දැන නොසිටි, විස්මිත කරුණා කාරණා රැසක් ‘බ්ලූ ප්ලැනට් 2’ හරහා දකින්න ලැබේ.

 

පතුලේ විස්මිත නගර


සාගරය සම්බන්ධයෙන් අප තුළ ඇත්තේ බිය මුසුවුණු ගෞරවයකි. දිය රළ යටින් සැඟවුණු දේ බොහොමය. සිතාගත නොහැකි විදියේ හරි අපූරු ජීවීහු සාගරය නිවහන කරගෙන ජීවත් වෙති. කොරල් යනු එවැනි ජීව විශේෂයකි. ‘කොරල් ත්‍රිකෝණය’ පිහිටා ඇත්තේ අග්නිදිග ආසියාව කෙළවරය. ලොව ඉතා නිරෝගී සෞඛ්‍ය සම්පන්න කොරල් පොකුරු මෙහි දකින්න ලැබෙයි. කොරල් පොකුරු මුහුද යට නගර වැනිය. එතැන, එක පොදියට ජීවය පිරී පවතී. කොරල් නගර අප මනුෂ්‍ය නගර හා සමානය. නොයෙක් නොයෙක් විදියේ සාගර ජීවීන්ට නිවහන වුණු කොරල් නගරවල ද ඉඩකඩ සහ ආහාර වෙනුවෙන් පමණක් නොව, සුදුසු සහකාරියක හෝ සහකරුවකු තෝරා ගැනීම වෙනුවෙන් ද පවතින්නේ ලොකු තරගයකි. 


ගල්මල්


සිංහලෙන් ගල්මල් එසේත් නැතිනම් හිරිගල් යනුවෙන් ද හැඳින්වෙන කොරල්, උණුසුම් මෙන්ම නොගැඹුරු සාගරයේ වාසය කරන, චූර්ණමය බාහිෂ් සැකිල්ලක් ඇති බහුබා ගණාවාස ජීවීන් පිරිසකි. කොරල් ඇත්තේ අප සාගර පතුලෙන් දහයෙන් එකක් වැනි සුළු ප්‍රමාණයකි. ඒත් සාගරයේ වෙසෙන අප දන්නා හඳුනන සියලුම ජීවීන්ගෙන් හතරෙන් තුනකට කොරල් නිවහන වෙයි. කොරල් යනු බොහොම සංකිර්ණ, අනන්ත අප්‍රමාණ හැඩයෙන් සමන්විත අපූරු ඉදිකිරීම් යැයි කීවොත් එය ද නිවැරදිය. ඇතැම් කොරල් පිහිටීම්, සාගර ජීවීන්ට තරු පහේ හෝටලයක සුඛෝපභෝගී නවාතැන් කාමර බඳුය. තවත් කොරල් පිහිටීම් අඳුරු ගුහාවකි. එවැනි තැන් කුඩා මසුන්ට ඔවුන් ගොදුරු කරගන්න තැත් කරන ලොකු මසුන්ගෙන් බේරෙන්න කියාපු ආරක්ෂිත නිවහනකි. ලොව විශාලතම කොරල් ‘පුරය’ ලෙස සැලකෙන්නේ, මහා බාධක පරයයි. සැතපුම් 1,400 ක ප්‍රදේශයක් පුරා මහා බාධක කොරල් පරය විසිරී පැතිරී පවතී. මහා බාධක පරය ඇත්තේ ඊසානදිග ඕස්ට්‍රේලියානු වෙරළ තීරයට ඔබේබෙනි. ලොව කොතැන පිහිටියත්, කොරල්පර සමවිටම කාර්යබහුලය. 

 

කොරල් සාරවත් කරන ගිරා මාළුවෝ


ගිරා මාළුවෝ


හිරු උදාවත් සමඟ, දිවා සේවා මුරය ඇරැඹෙයි. කොරල්පරයේ වෙසෙන මාළුවෝ, ඉස්සෝ ආදිය ඔවුනොවුනට ආවේණික බසින් ශබ්ද නඟති. පවතින නවීන තාක්ෂණය යොදා ගනිමින් බ්ලූ ප්ලැනට් වැඩසටහන නිර්මාණය කරද්දී, නිර්මාණකරුවන්ට සියුම් මයික්‍රෝෆෝන භාවිත කරමින් ජලයේ පැතිරී යන මෙම හඬ පටිගත කිරීමට ද හැකිවුණැයි පැවැසෙයි. කොරල් පරයේ සෑම පදිංචිකරුවකුටම, කිරීමට වෙනම කාර්යයක් පැවැරී තිබේ. මුහුදු කැකිරි යනුවෙන් හැඳින්වෙන ජීවීහු, කසළ ශෝධකයන් ලෙස කටයුතු කරති. කටින් කඩා, කොරල් ආහාරයට ගන්නා මසුන් වර්ගයක් ලෙස ගිරා මසුන් හැඳින්විය හැකිය. ගිරා මසුන් එනමින් හැඳින්වෙන්නේ, උන්ගේ මුඛය හොටක් බඳුවීම නිසාය. ගිරා මාළුවාගේ මුඛය සවිමත්ය. කොරල් හපා කඩා ඇතුළත මෘදු මාංශ අනුභව කිරීමට ඌට හැකිවෙයි. ආහාර අනුභවයෙන් පසු ගිරා මාළු රංචුව, වසුරු බැහැර බැහැර කරන්නේ කොරල්වලට පොහොර ලෙසිනි.

 


දැල්ලාගේ මෝහනය


ශීර්ෂපාදික මෘද්වංගියකු ලෙස සැලකෙන පොතු දැල්ලා (ඉංග්‍රීසි බසින් කට්ල් ෆිෂ්) ද කොරල් පරය නිවහන කරගත් සාගර ජීවියෙකි. පොතු දැල්ලාගේ ප්‍රියතම ආහාරය කොරල් පරයේ ජීවත් වන කකුළුවන්ය. කකුළුවන් දඩයම් කිරීමට පොතු දැල්ලාට ඇත්තේ සුවිශේෂී හැකියාවකි. ඒත් සවිමත් අඬු ඇති කකුළුවකු අල්ලා ගැනීමට තැත් කිරීම පොතු දැල්ලාට අනතුරකි. එවැනි ලොකු කකුළුවකු සමඟ කෙළින්ම සටනට යෑම පොතු දැල්ලා ප්‍රිය කරන්නේ ද නැත. කකුළුවාගේ අඬු ශක්තිමත්ය. කෙසේ නමුත්, පොතු දැල්ලා සතු සුවිශේෂී හැකියාවක් ඇත. උගේ සමේ මිලියන ගණනින් වර්ණක සෛල අඩංගුය. එම සෛල උපයෝගී කර ගනිමින්, පොතු දැල්ලාට උගේ සමේ පැහැය වෙනස් කිරීම කළ හැකි වෙයි. දැල්වෙන නිවෙන බල්බයක් මෙන්, පොතු දැල්ලා වර්ණය වෙනස් කරයි. අපූරු සිත් ඇද ගන්නා රටා මවයි. දැල්ලාගේ සිරුරේ අපූරු වර්ණ සහ රටා දකිද්දී, කකුළුවා අඩපණ වෙයි. ඒ, දැල්ලාගේ වරණවලින් ඌ මෝහනයට පත් වන නිසාය. සැඟවී සිටි තැනින් එළියට පැමිණෙන කකුළුවා කළ යුත්තේ කුමක්දැයි නොදැන අන්ද මන්ද වී සිටී. කකුළුවා අල්ලා ගැනීමට ඔන්න මෙන්න තියෙද්දී, දඩයක්කාරයාට අභියෝගයක් එල්ල වෙයි. 


අතුරුදන්


කොරල් පරය නිවහන කරගත් ‘රීෆ් ෂාක්’ මෝරකු එතැනට පිහිනා එයි. ‘රීෆ් ෂාක්’ මෝරාගේ ප්‍රියතම ආහාරය පොතු දැල්ලාය. සාගරයේ ආහාර දාමය එයයි. දඩයක්කරු දඩයමට ලක්වන අවස්ථා එමටය. දඩයම් කරන්න පොතු දැල්ලා ශූරයකු වුවත්, මෝරා ඌට වඩා ප්‍රමාණයෙන් විශාලය. මෝරාගෙන් බේරීම පහසු නොවන බව දැල්ලා දනී. කකුළුවා අමතක කර පණ බේරා ගැනීමට වෙලාව පැමිණ ඇත. පණ බේරා ගැනීමට නම් කළ හැක්කේ අතුරුදන්වීමය. සමේ වර්ණක යොදා ගනිමින් පොතු දැල්ලා අවට කොරල් පරයේ වෙස් ගනිමින් සැඟවෙයි. මෝරාට දැන් ඌ පෙනෙන්නේ නැත. මෝරා එතැනින් පිහිනා යයි. පොතු දැල්ලා යළි දඩයමට සැරැසෙයි. ඒත් කලින් මෝහනය කළ කකුළුවා දැන් පෙනෙන්න නැත. ඌ ද සැඟව ගොසිනි. පොතු දැල්ලා අලුත් ගොදුරක් සොයා යයි. අලුත් ගොදුරට වුවත් පොතු දැල්ලාගේ මෝහනයෙන් බේරීමට ඉඩක් නොලැබෙයි.

 

කොස්සා

කොස්සා සහ බූවල්ලා එක්වී දඩයම් කරමින්


කොස්සා සහ බූවල්ලා


ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය යනුවෙන් හැඳින්වෙන කොරල් පරයේ ‘කොරල් ගෲපර්’ නමැති විශාල මාළුවා ජීවත් වන්නේ කොරල් පරයේ වෙසෙන සෙසු කුඩා මාළු ගොදුරු කර ගනිමිණි. ‘ගෲපර්’ මසුන්ගේ සත්ව විද්‍යාත්මක නාමය පොමික්‍රොප්ස් ලාන්සියෝලේටස් ය. සිංහලෙන් ‘ගෲපර්’ හැඳින්වෙන්නේ ‘කොස්සා’ යන නමිනි. කොරල් අතරේ කුඩා මසුන්ට සැඟවී සිටින්න තැන් බොහොමය. ඒ නිසා ගෲපර්, හිඩස් අතරට රිංගා යන කුඩා මසුන් අල්ලා ගන්නේ කෙසේදැයි ගැටලුවකි. කුඩා පටු කොරල් පර අතරේ ඇති හිඩැස් තුළට ගෲපර්ට රිංගා යෑම කළ නොමැකිය. කොරල් පරයේ කුඩා මසුන් දඩයම් කරන ගෲපර් ට ප්‍රතිවාදියෙක් ද සිටී. මේ ප්‍රතිවාදියා ඉතා බුද්ධිමත් සාගර ජීවියෙකි. කුඩා මසුන් ගොදුරු කර ගැනීමට මාන බලන ඌ බූවල්ලෙකි. බූවල්ලා ‘අටපාවා’ යන නමින් ද හැඳින්වෙයි. ඒ, බූවල්ලාට පාද (අඬු) අටක් ඇති නිසාය. පොතු දැල්ලා ද අයත් පවුලේ සාමාජිකයකු වන හෙයින් බූවල්ලාට ද උගේ සමේ වර්ණ රිසි පරිදි වෙනස් කළ හැකි වෙයි. අවට පරිසරයේ වෙස් ගෙන සැඟවීමට බූවල්ලා දක්ෂයෙකි. ගෲපර් මාළුවාට මෙන් නොව, පාද අටක් ඇති බූවල්ලාට පහසුවෙන් කොරල් පර අතරේ ඇති කුඩා පටු හිඩැස් සහ විවරවලට ළං විය හැකිය. එසේ වුවත් බොහෝ වෙලාවට කුඩා මසුන් බූවල්ලාගේ ග්‍රහණයට ද හසුවන්නේ නැත.

 

 


විස්මිත බැඳීම


බූවල්ලාට සහ ගෲපර් මාළුවාට එකට වැඩ කරන්න පුළුවන් වුණොත් මොකද වෙන්නේ ? එය සත්ව ලෝකයේ, විශේෂයෙන් සාගරජීව විශේෂ දෙකක් අතර අපූරු මිත්‍රත්වයක් විදහා පාන බොහොම දුර්ලභ අවස්ථාවකි. ගෲපර් මාළුවා, උගේ සිරුරේ පැහැය මලානික ස්වභාවයකට හරවයි. ඒ, බූවල්ලාගේ අවදානය දිනා ගැනීමටය. ඉන්පසු ගෲපර්, බූවල්ලාට හිසෙන් සංඥා කරයි. ඉඟිබිඟි කරයි. ගෲපර් මාළුවා මේ කරන්නේ, කොරල් පර අතරේ කුඩා මසුන් සැඟවී සිටින තැන බූවල්ලාට පෙන්වීමකි. බූවල්ලා එතැනට පැමිණ උගේ සිරුරින් කොරල් වසා ගනී. ඉන්පසු උගේ අඬු කොරල් සිදුරු සහ විවර අතරට විහිදවයි. සැඟවී සිටින මාළුවා බියට පත් වී, බේරී යෑමට තැනක් සොයයි. බේරී යෑමට බූවල්ලා විසින් එක විවරයක් ඉතිරි කර තබා ඇත. මාළුවා පිටවී යන්න තැත් කරන්නේ එතැනින්ය. ගෲපර් එතැන රැකගෙන සිටී. කුඩා මාළුවා කෙළින්ම ගෲපර් මාළුවාගේ ගොදුරක් බවට පත් වෙයි. සමහර වෙලාවට බූවල්ලාට ගොදුරක් ලැබේ. සමහර වෙලාවට ගොදුර ලැබෙන්නේ ගෲපර් මාළුවාටය. කොරල් පරයේ ජීවත් වන එකිනෙකට හාත්පසින්ම වෙනස් ජීව විශේෂ දෙකක සාමාජිකයන් දෙදෙනකු, කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්න ඉගෙන ගෙන ඇති අයුරු සැබැවින්ම අපූරු නොවේද?

 

 

 

 

ලුසිත ජයමාන්න
බී.බී.සී. නිෂ්පාදනයක් වන
‘බ්ලූ ප්ලැනට් 2’ ඇසුරිනි



අදහස් (0)

කොරල්පර අතරේ විස්මිත වික්‍රම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1205 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 441 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site