IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කාන්තාවක පෙරමගට හමුවීම සුබ නිමිත්තක්ද ?

මෙරටේ පමණක් නොව දියුණු නොදියුණු බොහෝ රටවල පෙරමග නිමිති සම්බන්ධයෙන් තද විශ්වාසයක් ඇති බව පෙනේ. මේ ගැන නොසලකන සමහර අය පෙරමඟට හමුවන දේවල් ගැන කිසි තැකීමක් නොකළ යුතු යැයි පවසති. පෙර නිමිති හුදු කාල්පනික මාත්‍රයක් පමණක් බව ඔවුන්ගේ විශ්වාසයයි.   

ගමනක් යාමට ප්‍රථමයෙන් හමුවන සුබාසුබ දේවල් කෙරෙහි තද විශ්වාසයක් ඇති සමහරු ඒ ගැන ඉතා විමසිල්ලෙන් කටයුතු කරති. ඔවුහු ඉෂ්ටාර්ථ සිද්ධිය ඉහළම තත්ත්වයෙන් ලබාගනිති. අතීතයේත් වර්තමානයේත් මිනිස් සමාජය තුළ පෙර නිමිති සම්බන්ධයෙන් ලොකු පිළිගැනීමක් තිබූ බවට සාධක අපමණය.   


නිවසින් පිටත්වන මනාල යුවළක් ඉදිරියට දිය පිරුණු බඳුනක් රැගෙන වැඩිහිටි කාන්තාවක් පැමිණීමේ සිරිත, අදත් උගත් යැයි සම්මත නාගරික සමාජයේ පවා සම්භාවිත වූවක් බව දැකගන්නට හැකි වෙයි.   


මෙසේ ජල බඳුනක් රැගෙන කාන්තාවක්ම පෙර මගට පැමිණීම යහපත් පෙර නිමිත්තක් ලෙස සැලකීම අනුව කාන්තාවන් පෙර මගට හමුවීම සුබද අසුබද යන්න ශාස්ත්‍රීය වශයෙන් විමසා බැලීම වඩාත් උචිත වනු ඇත. ඒ අනුව සමාජය තුළ යම් කිසි වැරදි ආකල්පයක් මුල් බැසගෙන ඇත්නම් එය දුරුවී යාමටද මෙය ඉවහල් විය හැක.   


අපගේ පැරණි සංදේශ කාව්‍යයන්හි පෙර මග සුබඅසුබ නිමිති ගැන බොහෝ තොරතුරු සඳහන් වෙයි. එය අපට වාසනාවකි. කාන්තාවන් පෙර මගට හමුවීම සුබ නිමිත්තක් වශයෙන් සඳහන් වී ඇත්තේ 15-16 වැනි සියවස්වලදී ලියූ සාහිත්‍ය කෘතිවලිනි. විශේෂයෙන් කෝට්ටේ යුගයේ සංදේශ කාව්‍යවල මේ පිළිබඳ තොරතුරු සඳහන් වෙයි.   


සැළලිහිණි සංදේශ කාව්‍යයේ පෙර මග සුබ නිමිති ගැන සඳහන් කර ඇත්තේ මෙසේය.   


නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ​ ගෙඩී   
පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඬී   
සල සුදු සෙමෙර සේසත් ගිජිඳු නොද වැඩී   
බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩී   
රජ මැති නැකැති ගම් දෙටු වෙද තරුණ ගන   
දරු ඇති ඉතිරි අැත් සේසත්ද වෙස ඟන   
සුදු වති නියුතු අය සහ දිය පිරි බඳු න   
මෙම යුති සියලු සුබ නිමිතිය යනු ගම න   


මෙම කාව්‍ය නිබන්ධන අනුව පෙනී යනුයේ ප්‍රිය වචන කතා කරන තරුණ කාන්තාව, දරුවන් සිටින මාතාව සහ වෙසඟන යන කාන්තාවන් දැක්ම, ඉදිරියට හමුවීම සුබ නිමිත්තක් බවය. 

 
සුබ නිමිති පිළිබඳව පරීක්ෂාකර බැලීමේදී එයට යොමුවන්නාගේ සිත තුළ හටගන්නා මානසික උද්​ෙව්ගයම සුබඅසුබ ප්‍රතිඵල ගෙන දීමට හේතුවන බව මනෝවිද්‍යාත්මක නිගමනයයි.   


ප්‍රිය වචන කතාකරන කාන්තාවක් හා කතා කිරීමේදී සිතට සතුටක් ඇතිවෙයි. යම් කිසි අයෙකු සිතේ ව්‍යාකූල තත්ත්වයක් සහිතව ගමනක් යන විට ප්‍රිය වචන කතාකරන කාන්තාවක් හමුවුවහොත් සිතෙහි කිසියම් ප්‍රබෝධමත් ගතියක් ඇතිවෙයි. තරුණ කාන්තාවන් දකින කාගේත් සිතෙහි සතුට ඇතිවෙයි. නමුත් තමා බලාපොරොත්තු වන කාර්යය ඉටු වනතුරුම ඔහුගේ සිතේ ප්‍රබෝධමත් ගතිය පවතීයැයි අවිනිශ්චිතය. 

 
දරුවන් ඇති කාන්තාව සුබ දර්ශනයක් ලෙස අතීතයේ සිටම සම්මතයේ පැවැතුණි. ඇය ඉතා උතුම් පෙරමග සුබ නිමිත්තක් ලෙස සැලකීම විවිධ හේතු සාධක තිබේ. කිරි දැරීම එහි මූලික අංගයකි. කිරි සුබ මංගල වස්තුවකි. දරුඵල දැරූ කාන්තාව කිරි දරන හෙයින් ඇය සුබ නිමිත්තකි. එම නිසා එවැනි කාන්තාවක් ඉදිරියට හමු වී යන ගමන සර්වප්‍රකාර්යෙන්ම සපල විය හැකිය.   


වෙසඟන හෙවත් වෛශ්‍යා ස්ත්‍රිය පෙර මග සුබ නිමිත්තක් ලෙස පැරණි සාහිත්‍ය කෘතිවල සඳහන් කර ඇත. අතීතයේ රටවල්වල රාජාණ්ඩු පැවැතිණි. ඒවායේ ප්‍රධාන නගරවල රාජ්‍ය අනුග්‍රය ලැබූ නගර ශෝභනියෝ සිටියහ. නගර ශෝභනිය යන්න නගරයේ අලංකාරයයි. එවන් වෛශ්‍යාවන් දැකීම සුබ නිමිත්තක් ලෙස එදා සැලකූ නිසා සංදේශ කතුවරුද එය ඒ අයුරින්ම සිය කෘතිවලට ඇතුළත් කළහ.   


සිරි රහල් හිමියෝ ලිහිණියාට නිතර නිතර මගතොටදී හමුවන සුබ නිමිති ගැන මතක් කර දුන්හ. කලින් කලට ඇතිවන සමාජ විපර්යාසයන් නිසා එම කරුණුවල යම් යම් වෙනස් කම් වර්තමානයේ දක්නට ලැබේ. පැරණි සමාජයේ නගර ශෝභිණියට තිබූ තත්ත්වය වර්තමාන සමාජයේ එවන් අයට නැත.   


අද වෛශ්‍යාව විශේෂයෙන් දැන හඳුනා ගත නොහැක. පෙර මගට හමුවන තැනැත්තිය වෛශ්‍යාවක් ද නැද්ද යන්න නිශ්චය වශයෙන් තෝරා බේරාගත නොහැක. එද‌ා රාජ්‍ය අනුග්‍රහය යටතේ මහ ඉහළින් පිළිගත් එම වෘත්තීය අද ඉතා රහසිගතව නීතියේ රැහැනට අසු නොවී කරන්නක් බවට පත් වී ඇත.   


පෙරමඟ සුබ නිමිති සම්බන්ධයෙන් පවතින ජන විශ්වාසය ආගමික මතය හා මනෝවිද්‍යාත්මක මතය යන දෙකටම පටහැණිය. අධිෂ්ඨාන ශක්තියම උතුම් බව ඒ දෙතැනම දක්වා තිබේ. කුමන වර්ගයේ කාන්තාවක් හමු වී ගමන ගියත් අධිෂ්ඨාන ශක්තිය ස්ථිර නම් අභිමතාර්ථය ඉටුවීම සැකයක් නැතැයි එහි දැක්වෙයි.   


මෙයට හොඳම උදාහරණයක් ලෙස සිදුහත් කුමරු සතර පෙර නිමිති දැකීම සැලකිය හැකිය. කුමරු දුටු පෙර නිමිති හතරින් තුනක්ම සිතේ අසතුට, භය, පිළිකුල දනවන ඒවා විය. එහෙත් ඒ පෙර නිමිති නිසා එතුමාගේ කාර්ය සිද්ධිය සම්පූර්ණයෙන්ම සඵල විය. මේ අනුව පෙනී යන්නේ පෙර නිමිතිවල ස්වභාවය කෙසේ වෙතත් ඒවා ගැන මෙනෙහි කිරීමෙන් ඇතිවන චිත්ත ශක්තිය හොඳට හෝ නරකට පවතින බවය. 

 
අධිෂ්ඨාන ශක්තිය ස්ථිර නම් එයින් කළ හැකි බොහෝ දේවල් ඇතත් අධිෂ්ඨාන ශක්තියට කළ නොහැකි බොහෝ දේවල්ද මෙම විශ්වය තුළ පවතින බව අමතක නොකළ යුත්තකි. 

 
රිය අනතුරු, හදිසි මරණ, විපත් වැනි දේ පිළිබඳව දකින පෙර නිමිති වලින් වැටහීමක් ලබා ගැනීමට හැකි වූ අවස්ථා ගැන බොහෝවිට දැන ගන්නට ලැබී ඇත. පෙරමග සුබ නිමිති ලෙස සඳහන් කාන්තාවන් හමු වී යන ගමනින් නිසැකවම අභිමතාර්ථය ඉටුවන බව පරික්ෂාකාරී වුවහොත් වැටහෙනු නිසැකය. අප යන බොහෝ ගමන් සාර්ථක වෙයි. තවත් සමහර ගමන් අසාර්ථක වෙයි. එහෙත් පෙර මගට හමු වූ අය ගැන කිසිවෙක් පරික්ෂාකාරීව ඉන්නේ නැත. වරද ඇත්තේ එතැනය. ශාස්ත්‍රයේ දෝෂයක් නිසා නොවේ. අඩුව ඇත්තේ අපගේ අපරික්ෂාකාරී බවේය.   


පෙර මග සුබ නිමිති ලෙස ඉහත සඳහන් කාන්තාවන් සඳහන් කළ හැකි වුවද පෙර මගට හමු නොවිය යුතු කාන්තාවන් ගැනද නන්දි කේශ්වර පුරාණය නමැති ග්‍රන්ථයේ මෙසේ දක්වා ඇත.   


හිස් කළගෙඩි ගෙන ඉදිරියට එන කාන්තාවන්, දරමිටි බැඳගෙන එන කාන්තාවන්, වැරහැලි ඇඳගත් මහලු ස්ත්‍රීන්, හිඟන්නියන්, වඳ ස්ත්‍රීන්, වැන්දඹු කාන්තාවන්, අන්ධ, කොර, අංගවිකල කාන්තාවන් පෙරමගට හමුවුවොත් ගමනින් බලාපොරොත්තු අභිමතාර්ථය ඉටු නොවේ.   


එබඳු කාන්තාවන් දැකීමෙන් සිතෙහි හටගන්නා අසතුට නිසා අභිමත කාර්යය විෂයයෙහි අනිෂ්ට විපාක ඇතිවිය හැකිය. 

 

 

 

 
සටහන   
ගම්පහ - අබේසේන හේරත් 



අදහස් (0)

කාන්තාවක පෙරමගට හමුවීම සුබ නිමිත්තක්ද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site