දඩබ්ම

 

“මම ඌරු ජුවා. මොකද අමතකද? අපේ වෝනින් එක. එක්කෝ සල්ලි දීලා ජීවිතේ බේරගන්න පුළුවන්. නැත්නම් පවුල් පිටින් වැළලිලා 
යන්න පුළුවන්. 
මොකද කියන්නේ? ”

 

ඉතිහාසය පුරා හැමදාමත් පාතාලය තුරන් කරනවා වෙනුවට සිදුවූයේ පාතාලයන් නැති කිරීම පමණි. ඒ නිසා එක පාතාල නායකයෙක් හෝ සාමාජිකයෙක් තුරන් කෙරෙන විට තව දහයක්  පමණ ඒ බිමෙන් නැගිටගත්හ. ඒ නිසා එදා රටම දැන ගත්ත සොත්ති උපාලිලා, කඩුවෙල වසන්තලා, කඩුවෙල ධම්මිකලා, නාවල නිහාල්ලා, ගෝනවල සුනිල්ලා, බැද්දගානේ සංජීවලා නැති බිමේ අද නම් කියා අවසන් කළ නොහැකි තරමේ පාතාලයෝ පිරිසක් රට පුරා තැනින් තැන තමන්ගේ අවශ්‍යතාව අනුව කඳවුරලා සිටිති. 


මාකඳුරේ මධූෂ්ගේ කල්ලිය, කොස්ගොඩ සුජීගේ කල්ලිය, කොස්ගොඩ තාරකගේ කල්ලිය ආදි ලෙස ගොඩනැගුණු දකුණේ පාතාලයත්, කඩුවෙල සමයං, අංගොඩ ලොක්කා, දෙමටගොඩ චමින්ද, මාළිගාවත්තේ කංජිපාන්, බ්ලූමැන්ඩල් සංඛ, මට්ටක්කුලියේ කඩු රොෂාන්ලාගෙන් ගොඩනැගුණ කොළඹ පාතාලයත්, පසුගිය දශක කීපය තුළ රට හොල්ලනු ලැබූහ. 


අද වන විට කඩු​ෙවල සමයං ජීවතුන් අතර නැත. කොස්ගොඩ තාරක සිටින්නේ බන්ධනාගාරයේය. කංජිපානි ඉම්රාන්ද සිටින්නේ බන්ධනාගාරයේය. මාකඳුරේ මධූෂ්ද මාස ගණනාවක් තිස්සේ සිටින්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේය. මට්ටක්කුලියේ රොෂාන්, දෙමටගොඩ චමින්දලාද බන්ධනාගාරයේය. එලෙස තෝරු මෝරු සිරවී සිටින නිසාදෝ පසුගිය කාලයේ යම් තරමක් දුරට පාතාල කෙරුම් යටපත්ව තිබිණ. එහෙත් එසේ පවතින්නට ඉඩ ලැබෙන්නේ කෙටි කලකට පමණි. තෝරු මෝරු නැති තැන ඉතිරිව සිටින හාල්මැස්සා නිකං ඉන්නේ නැත. ඔවුහු කල දුටු කල වළ ඉහගෙන තමන්ගේ හයිය පෙන්වන්නට වෙර දරති. 


සමයං ඝාතනයට ලක්ව, අංගොඩ ලොක්කා රට පැන්න අල්ල පනල්ලේ ඔවුන්ගේ ගෝලයෝ පසුගිය කාලයේ හංවැල්ල කඩුවෙල ප‍්‍රදේශවල දෙපිල බෙදි මරාගත්තේ ඒ බලය තහවුරු කරගැනීම වෙනුවෙනි. මේ මරාගැනිල්ල හා එකිනෙකා පරයා තමන්ගේ බලය පෙන්වීමට කප්පම් එකතු කිරීමේ ක‍්‍රියාවලිය නිසා කලක් හංවැල්ල ව්‍යාපාරිකයන්ගෙන් හිස් බිමක් බවට පත්වන්නට විය. 


එලෙස හංවැල්ල තැති ගන්වනු ලැබුවේ සමයං නැති බිමේ අංගොඩ ලොක්කා නැති බිමේ තමන්ගේ බලය තහවුරු කරගන්නට තැත් කරන සමයංගේම ගෝලයන්ය. මාඹුලගේ මෙලන් දිනෙත් නොහොත් ඌරු ජුවා හා අංකුඹුරේ ඉඳුනිල් නොහොත් ඉන්දා මෙලෙස පාතාල නායකයින් වීමට පෙරුම් පුරන ඒ වෙනුවෙන් අපරාධ කරමින් බලය තහවුරු කරගන්නට දගලන පාතාල සාමාජිකයෝ වෙති. 


ඉන්දා හා ඌරු ජුවා කලක් එකට වැඩ කළ සමයංගේ ගෝලයෝය. මේ දෙදෙනාගේ් බල පොරය නිසා පාතාලයට සම්බන්ධ මෙන්ම එයට කිසිම සම්බන්ධයක් නැති දහයකට දොළහකට පමණ ජීවිත අහිමි විය. ඌරුජුවා සිටින්නේ බන්ධනාගාරයේය. බන්ධනාගාරයේ සිට ඔහු මේ සියලූ අපරාධ මෙහෙයවා තිබුණේ දුරකථන මගිනි. 
පොලිසිය දැඩි වෙහෙසක් දරා මේ අපරාධවල සුලමුල සොයා පසුගිය කාලයේ ඒවා යටපත් කර හංවැල්ල සංසුන් කරනු ලැබීය. එහෙත් ඒ සංසුන්කම බිඳ දමමින් නැවතත් ඌරු ජුවාගේ ගෝලයන් යැයි කියාගන්නා පිරිසක් හංවැල්ල, ජල්තර, ඇඹුල්ගම, ආටිගල හා ඒ අවට ප‍්‍රදේශවල ජනතාවට දුරකථන මගින් තර්ජනය කරමින් කප්පම් ඉල්ලා කරදර කරන්නට විය. 


ඔවුන් මෙවර කරදර කරනු ලැබුවේ ව්‍යාපාරිකයන්ට පමණක් නොවේ. තෝරා ගැනීමකින් තොරව ඔවුන් සෑම කෙනෙකුටම මුදල් ඉල්ලා තර්ජනය කරනු ලැබීය. 


හලෝ
හලෝ


මම ඌරු ජුවා කතා කරන්නේ. දන්නවානේ කවුද කියලා. අපිට සල්ලි ටිකක්  ඕන. මගේ ගෝලයෙක් එළියට දාගන්න  ඕන. ඌට ඇප තියන්න ලක්ෂ දහයක් යනවා. මට තුනක් මදි. තමුසෙලා මට පනස්දාහ ගානෙවත් දුන්නොත් වැෙඩි ගොඩ දාගන්න පුළුවන්. මොකද කියන්නේ? 


අනේ අපි ගාව ඒ තරම් මුදලක් නැහැනේ. 


අපිට ඒක අදාළ නැහැ. මට ඕන සල්ලි. තමුන් ගාව නැත්නම් කාගෙන් හරි ඉල්ලලා දෙනවා. ණයක් විදිහට. තමුන්ට බැරියෑ ඒක පස්සේ බේරගන්න.


තර්ජනයෙන් බියපත් ඇතැමෙක් තමන්ට හැකි පරිදි සුළු මුදලක් ලබාදී නිහඬව සිටියහ. එහෙත් ඇතැමෙක් මුදල් නොදී මගහැර පොලිසිවලට පැමිණිලි කළහ. එසේ මුදල් නොදුන් අයට ඔහු දෙවනුව කතා කළේ තර්ජනාත්මකවය.


මම ඌරු ජුවා. මොකද අමතකද අපේ වෝනින් එක. එක්කෝ සල්ලි දීලා ජීවිතේ බේරගන්න පුළුවන්. නැත්නම් පවුල් පිටින් වැළලිලා යන්න පුළුවන්. මොකද කියන්නේ? 


මේ තර්ජනය සමහරුන්ට හුරු වුවත් යම්තමට ජිවිතේ ගැටගහගෙන ජිවත් වෙන ජනතාවට එය එතරම් හුරුපුරුදු එකක් වුනේ නැහැ. ඒ නිසා ඒ සමහරෙක් මේ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් හංවැල්ල පොලිසියට පැමිණිලි කළ අතර ඇතැමෙක් බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පතිට පැමිණිලි කළහ. අවසානයේ මෙහි විමර්ශන කටයුතු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට (එය මීට පෙර මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විය) භාර විය.


පොලිසිය දුකරථන ඇමතුම් ලැබුණ අංක සොයා පරික්ෂණ ආරම්භ කළ අතර එම ඇමතුම් ලබාගත් අංකය ජංගම දුරකථන අංකයක් බව හෙළි විය. එයට අදාළ සිම්පත ලබාගෙන තිබුණේ කාන්තාවකගේ නමටය. එම කාන්තාවගෙන් ප‍්‍රකාශයක් ලබාගත් පොලිසියට දැන ගන්නට ලැබුණේ ඇයගේ හැඳුනුම්පත ටික කලකට පෙර නැතිවිම නිසා පොලිසියේද පැමිණිල්ලක් කර ඇති බවය. 


ඉන්පසු එම සිම්පතෙන් ලබාගත් ඇමතුම් අංක ඔස්සේ පරික්ෂණ සිදුකරන විට ඒ ඇතැම් අංකවල අය ප‍්‍රකාශ කර සිටියේ මේ අංකයෙන් බන්ධනාගාරයේ සිටින තමන්ගේ මල්ලී හෝ අය්යා හෝ වෙනත් ඥාතියෙක් කථා කළ බවය. ඒ නිසා ස්ථිරවම මෙම දුරකථනය භාවිතා කරන්නා බන්ධනාගාරයේ සිටින්නෙකු බව පොලිසියට තහවුරු කරගත හැකි විය. එහෙත් ඒ කවුදැයි නිශ්චය කර ගැනීමට බන්ධනාගාරයට යන්න පෙර ඔවුන්ගේ අවධානය විශේෂ අංක දෙකක් වෙත යොමු විය. 


එම අංක දෙකම අයත් වුයේ වැලිකන්දේ පදිංචිකරුවෙකුටය. ඔහුගෙන් ඒ පිළිබඳව විමසීමේදි දැන ගන්නට ලැබුණේ මේ සිම්පත් දෙක වැලිකන්දේ් සුද්දාට අරන් දුන් බවය. ඒ වෙනුවෙන් තමන්ට රුපියල් හාරසීයක් ලැබුණ බවද ඔහු පවසා ඇත. 


තමුන් කොහොමද සුද්දාව අඳුනන්නේ? එයා අපේ ගමේ. මම ඔහුව බලන්න බන්ධනාගාරයට ගිය වෙලාවේ තමයි මේ සිම්දෙක අරන් දෙන්න කියලා කිව්වේ. 


තමුන්මද මේවා අරන් බන්ධනාගාරයට ගෙනිහින් දුන්නේ? 


නැහැ මම ඒවා ඔහුගේ තාත්තාට දුන්නා.


ඒ ඔහුගේ ප‍්‍රකාශයයි. ඉන්පසු පොලිසිය මුදල් තැන්පත් කරන්නැයි ලබාදුන් ගිණුම් අංකය ඔස්සේද පරික්ෂණ ඇරඹීය. එහි හිමිකරු පොල්පිතිගම පදිංචිකරුවෙකු බව එම පරීක්ෂණවලදී හෙළි විය. ඔහු හිටපු හමුදා සෙබළෙකි. හමුදාවෙන් ඉවත්ව දේවාලයක් පවත්වාගෙන යන අතරතුර තවත් පිරිසක් සමග නිධානයක් ගන්නට තැත් කිරිමේදී ඔහු කලකට පෙර පොලිසියට කොටුවිය. ඉන්පසු බන්ධනාගාරයේ සිටියදී ඔහුට සුද්දා හමුවිය. එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවා වගේ මේ හමුවිම ඔහුගේ ගමන හා සැසඳින. ඒ නිසා මේ සබඳතාව හිරෙන් එළියට ආ පසුවද පවත්වාගෙන ගියේය. 


මට ඇප ලැබිලා ගෙදර ආවා. ටික කාලෙකට පස්සේ සුද්දා හිරෙන් පැනලා අපේ ගෙවල් පැත්තට ආවා. ඔහු ඒ පැත්තේ ගෙයක් කුලියට අරන් පවුලත් එක්ක එහේ ජීවත් වුණා. ඒත් පස්සේ ඔහු නැවත අත්අඩංගුවට පත්වුණා.  


තමුන්ගේ ගිණුමට එක එක්කෙනාගෙන් මුදල් වැටුණේ කොහොමද?


මෑතකදී දවසක සුද්දාගේ යාළුවෙක් මාව හමුවෙන්න ආවා. ඇවිත් සුද්දාට කතා කරන්න  ඕන කියනවා කියලා මගේ ෆෝන් නම්බර් එක අරන් ගියා. ඊට ටික දවසකට පස්සේ මිනිහා මට කතා කරලා කිව්වා රට ඉන්න කෙනෙකුගෙන් මුදල් වගයක් ලැබෙනවා. ඒවා දාන්න ගිණුම් අංකයක් දෙන්න කියලා.


ඒ ලැබෙන මුදල් කොහොමද සුද්දාට දුන්නේ?


සුද්දා මට තවත් ගිණුම් අංකයක් දුන්නා. මට ලැබෙන මුදල් මම ඒ ගිණුමට දැම්මා.  


ප‍්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව සැකකාර හිටපු හමුදා සෙබළාද අත්අඩංගුවට ගත් පොලිසිය සුද්දා හමුවිමට බන්ධනාගාරයට ගියහ. එහිදි සුද්දා, මීට වඩා මුදල් සහිත ගිණුම් තමන් සතුව ඇති බවත් හැකි නම් ඒවාද සොයා ගන්නා ලෙසත් අභියෝග කළේය. 


කෙසේ වුවද ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමෙන් ලද තොරතුරු අනුව හෙළි වුයේ ඔහු ඌරුජුවා බලය පවත්වාගෙන ගිය ප‍්‍රදේශයේ ස්ථාවර දුරකථන අංකයක් සොයාගෙන ඉන්පසු එම අංකයට ආසන්න අංක සඳහා ඇමතුම් ලබාදී මෙලෙස කප්පම් ඉල්ලා සිටියා මිස ව්‍යාපාරිකයන් කවුදැයි තහවුරු කරගන්නට  සමත්ව නැති බවය. ඌරු ජුවා කලක් කප්පම් ඉල්ලිම නිසා හංවැල්ල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් බියට පත්ව ප‍්‍රදේශය අත්හැර ගිය පුවතද ඔහු අසා දැන තිබිණ. ඔහු තම වාසියට යොදා ගත්තේ එම පුවත බවද මෙහිදී හෙළි දරව් විය. 
ඒ අනුව ඌරු ජුවාගේ නම භාවිතා කර කප්පම් ඉල්ලූ ජාවාරම හෙළි කරගන්නට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට හැකිවිය. 


බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී විදුර ජයසිංහ, එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී රොහාන් පෙරේරා, ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයන්ත පෙරේරා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ සිදුකළහ. 

 


මුදිතා දයානන්ද සහ
බිමල් ශ්‍යාමන් ජයසිංහ