‘පොකුරු මන්දාකිණියක්’ සොයා ගැනීමට ඉන්දීය තාරකා භෞතික විද්‍යාඥයෝ පිරිසක් පසුගිය දා සමත් වූහ. මේ බව නාසා ආයතනය විසින් ද තහවුරු කරනු ලැබ ඇති අතර, එම පොකුරු මන්දාකිණිය ‘සරස්වතී’ යනුවෙන් නම් කිරීමට පියවර ගෙන ඇත්තේ එය සොයා ගත් ඉන්දීය විද්‍යාඥයන්ට ගෞරවයක් පුද කරමිණි.

 

 

‘සරස්වතී’ පොකුරු මන්දාකිණිය, සොයා ගනු ලැබුවේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ නුවර තාරකා භෞතික විද්‍යාඥයන් පිරිසක් විසිනි. නාසා විද්‍යාඥයන් පවසා ඇත්තේ, සමස්ත විශ්වයේ ඇති විශාලතම පොකුරු මන්දාකිණිය මෙම ‘සරස්වතී’ විය හැකි බවය. ‘සරස්වතී’ මන්දාකිණිය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 4 ක් ඈත විශ්වයේය. 

 

ආලෝක වර්ෂයක් යනු එක් වර්ෂයක් කුළ දී ආලෝකය ගමන් කරන දුර ප්‍රමාණයයි. එක් තත්පරයක් තූළ ආලෝකය කි.මී. 2,97,600ක් එනම් සැතපුම් 1,86,000 පමණ දුරක් ගමන් කරයි. ඒ අනුව ආලෝකය එම වේගයෙන් වසරක් තිස්සේ යන දුර එක ඒකකයක් සේ ගෙන මෙම දුර ප්‍රමාණ මනිනු ලබයි. ඉන්දීය විද්‍යාඥයන් ගණනය කර ඇති ආකාරයට ‘සරස්වතී’ පොකුරු මන්දාකිණිය වසර බිලියන 10 කට පෙර නිර්මාණය වී ඇත. මෙම මන්දාකිණි පොකුරේ කුඩා මන්දාකිණි 10,000 ක් පමණ ඇතැයි අනුමාන කෙරේ.

 


තාරකාවලින් ද අන්තරීක්ෂ ධූලි සහ වායුවලින් ද නිර්මාණය වුණු සුවිසල් පද්ධතියක් ලෙස මන්දාකිණිය හැඳින්විය හැකිය. මන්දාකිණිය චක්‍රාවාට යන නමින් ද හැඳින්වෙයි. ග්‍රහලෝක සේම, මන්දාකිණි ද භ්‍රමණය වෙයි. අප සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණිය වන්නේ ‘කිරි සයුර’ ය. තාක්ෂණයේ දියුණුවටත්, ප්‍රබල දුරේක්ෂ නිර්මාණයටත් පෙර, අප කිරි සයුර හැර, පෘථිවියේ සිට බලද්දී, පියවි ඇසින් දකින්න ලැබුණේ තවත් මන්දාකිණියක් වන්නේ ඇන්ඩ්‍රෝමිඩාය. විශ්වයේ මන්දාකිණි බිලියන 500 ක් ඇතැයි අනුමාන කෙරේ.  

 

 

හබල් දුරේක්ෂයේ නිර්මාතෘ ඇමෙරිකා තාරකා විද්‍යාඥ එඞ්වින් හබල් 1920 දී, මන්දාකිණි ගැන කරුණු රැසක් ලොවට හෙළි කළේය. මන්දාකිණි වර්ග කිහිපයක් ද ඔහු විසින් නම් කරුණු ලැබීය. ඒ, එම මන්දාකිණිවල හැඩය අනුවය. ඉලිප්සීය, සර්පිලාකාර, යෂ්ටි සහිත සර්පිලාකාර, අක්‍රමවත් යනු එම වර්ග හතරය. ඉලිප්සාකාර මන්දාකිණි දිගටි හැඩයක් ගනී. සර්පිලාකාර මන්දාකිණි දැල්වූ බඹර චක්‍රයක් මෙන්ය. යෂ්ටි සහිත සර්පිලාකාර මන්දාකිනි බඹර චක්‍ර දෙකක් දෙපැත්තට තබා දැල්ලූ විට ලැබෙන හැඩය හා සමාන වෙයි. අක්‍රමවත් මන්දාකිණිවලට නිශ්චිත හැඩයක් නොමැත. හබල් පවසා ඇත්තේ යෂ්ටි සහිත සර්පිලාකාර මන්දාකිනි බවට පත්වන්නේ සාමාන්‍ය සර්පිලාකාර මන්දාකිණිය. හබල් විසින් මෙම ප්‍රධාන මන්දාකිණි තවත් අනු කොටස්වලට නම් කරනු ලැබ ඇත.

 

 

ලුසිත ජයමාන්න

 

එන්.ඩී.ටීවී. ඇසුරිනි