IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


අමනුෂ්‍ය විලාසයෙන් පැමිණ පින් ඉල්ලා අසල්වැසියන්ට කරදර කළ භූතයා

 

මියගිය තැනැත්තෙකුට භෞතිකව යමක් දිය නොහැකිය. ඒ මන්ද යත් ඔහු හෝ ඇය මෙලොවින් සමුගෙන ඇති නිසායි. එසේ නම් ඔවුන් මියපරලොව ගොස් ඇති බැවින් මියගිය ප්‍රාණකාරයෙකුට ලබාදිය හැක්කේ මෙලොව දී පුණ්‍ය කටයුත්තක් සිදුකර පින් අනුමෝදන් කිරීම පමණි. එම කටයුත්ත බුදු දහම අනුව සිදුවන ක්‍රියාවලියකි. වෙනත් ආගම් අනුවත් එකිනෙකට වෙනස් ආකාරයේ උපහාර මියගිය තැනැත්තන් වෙනුවෙන් සිදුකරනු ලබති.   


වසර දහයකට පමණ ඉහත දුප්පත් ගම්මානයක වාර්තාවූ සිදුවීමකි. ගමේ නිවාස කීපයකට දෙතුන් වතාවක්ම එම නිවාසවල ජනෙල් කවුලු අතරින් කෝටු කැබලි දැමීම, ගල්මුල්වලින් පහරදීම ආදිය මෙම භූතයා විසින් සිදුකරනු ලබයි. නමුත් රාත්‍රි කාලයේ දී මෙම ක්‍රියාවලිය සිදුවන බැවින් කවුරු විසින් මෙය සිදුකරන්නේ දැයි හරි නිගමනයකට පැමිණීමට ද නොහැකි විය. දිනක් එක් නිවසක ජීවත් වූ තරුණයෙකු විසින් මෙම අත්භූත තැනැත්තා අල්ලාගැනීම පිණිස මෙහෙයුමක් දියත් කිරීමේ අදහසින් අසල නිවෙස්වල තරුණයින් කිහිප දෙනෙකුගේ සහය ඇතිව ක්‍රියාන්විතයක් දියත් කළේය. මුලු රාත්‍රියක් පුරාවටම නිදිවර්ජිතව සැඟවී යමක් සිදුවේ දැයි බලාපොරොත්තුවෙන් සිටියහ.   
මධ්‍යම රාත්‍රිය පසුවීමත් සමගම රැකවල් ලා සිටි එක් නිවෙසකින් කෑගැසීමක් සිදු වී අනෙකුක් නිවෙස්වල රැකවල් ලා සිටි තරුණ පිරිස මෙම නිවස අසලට දිව ගියහ. “මේ දැන් ජනේලයෙන් කෝටුවකින් දමල ගැසුවා” යැයි එම නිවසේ මව විසින් කියනු ඇසිණි. ඉන් පසු මව නිදා සිටි කාමරය පරීක්ෂා කළ අතර කෝටු කැබැල්ල හමුවිය. නමුත් භූතයා අතුරුදන් ය. ඉන්පසු කෙසේ හෝ මෙම භූතයා අල්ලා ගැනීමේ අටියෙන් රාත්‍රි පුරාවට ම රැකවල් සිටියත් නැවත වරක් භූතයා නොපැමිණියේය. කෙසේ වෙතත් මොහු නම් අමනුෂ්‍ය බලවේගයක්ද නැද්ද කියා හඳුනාගැනීමට තරම් ප්‍රබල සාක්ෂියක් හමු නොවූ නිසා දිනපතාම ඉහත කී නිවෙස් කීපයේ දින ගණනාවක් රැකවල් ලා සිටීමට තරුණ කණ්ඩායම අදිටන් කර ගත්තේය.   


පසුවදා ද ආරක්ෂක තරුණ කණ්ඩායම කිසිවෙකුටත් නොදැනෙන සේ රැකවල් ලා සිටියහ. එදිනද රාත්‍රී දොළහ පසු වෙනවාත් සමගම එක් නිවසක ගෙහිමියන් තිගැස්සී අවදියෙන් කෑ ගසන්නට විය. “මෙන්න, මෙන්න අදත් ඇවිල්ලා. අල්ලපියව් ඕකව, අල්ලපියව්” කියමින් ගෝරනාඩු කරන්නට වූහ. එකෙනෙහිම තරුණ කණ්ඩායම අඳුරේම කෑගසන අතට දිව ගිය මුත් එල්ල කරන ලද ගල් කීපයක්, ලී කැබලි කීපයක් නිවසේ කාමර තුළ පතිත වී තිබුණත්, භූතයා හඳුනා නොගත්තේය.   


මෙම කරදරයට උපායක් වශයෙන් සියලුම නිවෙස්වල කුප්පි ලාම්පු දැල්වීමට තරුණ පිරිස පැවසීය. කුප්පි ලාම්පු එළිය නිවෙස්වල දොර ජනෙල් කවුලුවල හිඩැස් අතරින් පිටතට පෙනෙන නිසා අභූත බලවේග ආලෝකයට දැඩි බියක් දක්වන බව අසා ඇති හෙයිනි. තරුණ පිරිස ද තැන තැන භූතයාගේ හමුව බලාපොරොත්තුවෙන් දෑස් දල්වා බලා සිටියහ. සියලුම තරුණයන් අත ගල් මුගුරු එක්රැස් කර තිබිණ. එ් හදිසි අවශ්‍යතාවක් වුවහොත් පහරදීම සඳහාය. එදින අමාවක දිනයක් හෙයින් අඳුරු කුටිවලට වෙන් කිරීමට තරම් තද ඝනත්වයකින් යුක්තව පරිසරය වෙලා ගෙන ඇත. තිත්ත කළුවරට කැමති මෙම භූතයා සියලුම නිවෙස්වලට අලාභ හානි නොකරයි. විශේෂයෙන් මෙම භූතයාගේ සිරිත වන්නේ නිදා සිටිනවුන් අවදිකිරීමයි. ඒ ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමෙනි. මෙම ක්‍රියාකාරකමට ලී දඬු ද යොදා ගැනීම විශේෂත්වයකි.   


තරුණ පිරිස නොඉවසිල්ලෙන් බලා සිටී. එදින එක් තරුණයෙකුට එක්වරම කළු ලෝගුවක් වැනි මවිල්වලින් පිරුණු කබායක් වැනි දෙයක් ඇඟලාගත් අයෙක් තමන් සිටි ජනෙල් කවුලුව අසලින් මාරුවෙනු දුටුවේය. වහ වහා විදුලි පන්දම දල්වා බැලූ ඔහුට කිසිවකු අඳුරේ ගමන් කරන බව පෙනී ඇත. ඔහුගේ දෑස් ඔහුටම අදහා ගත නොහැකිය. කොතරම් අඳුරේ වුව ද එම කළු අවතාරය දැක ඇත. සියළුම අසල්වාසීන්ද අවදි කරවා වෙච්චි සිද්ධිය පහදා දුන්හ. අවිස්වාසය මත කෙරෙන නිගමනයක් අනුව ඔවුන්ට පෙනී ගියේ මෙම භූතයා කරදර කරන ගෙවල් අතරින් ප්‍රධාන කොට ගත් එක් නිවසක් ඇති බවයි. මසකට දෙතුන් වතාවක් මෙම කරදරයෙන් එම නිවාස කීපයේ අය පීඩා වින්දෝය. ඒ කෙසේ වෙතත් භූතයා කරදර කරන ප්‍රධාන නිවස කෙරෙහි ගම්වාසීන්ගේ අවධානය වැඩි වැඩියෙන් යොමු විණි. සියළුම ගම්වාසීන්ට ද ඒත්තු ගියේ එන්න එන්නම අසල එක් නිවසකට කරදර වැඩිවන බවකි.   


අසල්වාසීන්ගේ ප්‍රධාන ඉලක්ක කොට ගත් නිවසේ ගෘහ මූලිකයා තිස්පස් හැවිරිදි අයෙකි. ඔහු හිටි හැටියේ මිය ගියේ හදිසි වසංගත රෝගයක් වැළඳීමකිනි. ඔහුගේ තරුණ බිරිඳත් විවාහ නොවූ බිරිඳගේ නැගණියත් නිවසේ තනි විය. තරුණ බිරිඳට දරුවෝ තිදෙනෙක් ද සිටියහ. ඔවුන් වයස දහතුන් හැවිරිදි සහ එකළොස් හැවිරිදි, නව හැවිරිදි වශයෙනි. වැඩිමලා පිරිමි දරුවෙකි, බාලයන් දියණියන් ය. ස්වාමියාගේ හදිසි වියෝවෙන් පසු ඔවුන්ට කිසිවෙකුගේ හව් හරණක් නොවීය. දානපතියෙක්ගේ මාර්ගයෙන් කුඩා නිවසක් ඉදිකිරීමට ගම්මු ක්‍රියා කළහ. නව නි​ෙවසට ගෙවැදීමෙන් පසු භූතයාගේ කරදර සිදුවීම වැඩිවිය. මොහු අමානුෂ්‍යයෙක් යැයි ගම්වාසීන් විශ්වාස කළේ ඒ නිසයි. නව නිවසට ගෙවැදීමෙන් පසු අසල්වැසි නිවෙස්වලට වැඩියෙන් කරදර එන්න එන්නම වැඩිවන ලකුණු දැනිණි. ගල් මුල් ප්‍රහාර, ජනෙල් දොරවල්වලින් ගෙට පැනීම, කුප්පි ලාම්පුව නිවා දැමීම, දරුවන් ඇහැරී කෑගසනවිට පලා යාම ආදියද වැඩි විය.   


සියලුම ගම්වාසීහු එකතු වී ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් හමුවී සාකච්ඡා කළහ. ගම්මු පැවසුවේ මොහු මියගොස් වසර දෙකක් යනතෙක්ම ඔහු වෙනුවෙන් දානාදී කටයුතු කර නොමැති හෙයින් පින් ඉල්ලා එසේ පැමිණ කරදර කරන බවට සැකයක් පවතින බවයි. පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේ ද එය අනුමත කළහ. ඒ අනුව සියළුම ගම්මුන්ගේ පූර්ණ අනුග්‍රහය ඇතිව ඔහුගේ නිවසේ සංඝයා වහන්සේලා වෙනුවෙන් දානමය කටයුත්තක් සිදුකර වරු පිරිතක් කියවන ලදී.   


එදිනට පසු දිනයේ සිට මෙම භූතයා ඔවුනට කරදර කරන්නට පැමිණියේ නැත. මියගිය තැනැත්තා වෘත්තියෙන් වඩුකාර්මිකයෙකි. ඔහුගේ අවතාරය තමන්ගේ නිවස ඇතුලු අසල්වැසි නිවෙස්වලට කරදර කළේ කුඩා කල සිටම එම නිවෙස් ඉතා සමීපව ඇසුරු කළ නිසා වන්නට ඇත. අමනුෂ්‍ය විලාසයෙන් පැමිණ පිං ලබා ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකළ බව නම් ඉතා විශ්වාසයි.   


එමනිසා මෙවැනි සිදුවීම් ව්‍යාජ ඒවා යැයි කියා බැහැර කිරීමට නොහැකිය. සංසාර ගමනේ දී පිං ලබාදීමෙන් පසු මළ ගිය ප්‍රාණකාරයින් සුගතිය කරා ගමන් කරන බව බුදු දහමේ උගන්වා ඇත. එසේ නම් මෙතෙක් කල් භූතයා අසල්වැසියනට කරදර කළේ තමන්ට සුගතිය කරා යාමට පින් ලබා දෙන ලෙසද?

 

 

කුලියාපිටියේ   
එස්. ප්‍රබෝධා සමරක්කොඩි



අදහස් (0)

අමනුෂ්‍ය විලාසයෙන් පැමිණ පින් ඉල්ලා අසල්වැසියන්ට කරදර කළ භූතයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1875 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1509 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 529 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site