එක් නිමේෂයකින් සුන් වී ගිය කටුවාපිටිය ගමේ අහිංසක මිනිසුන්ගේ ජීවිත වගේම දිවි බේරාගන්නට වාසනාවන්ත වුණු බොහොමයකගේ ජීවිතවලට සිදු වූ කායික, මානසික කැළැල් අදටත් ඉතිරිවෙලා. සමහර අම්මලාට, සමහර දරුවන්ට ජීවිතේ ඉතිරිවෙලා තියෙන්නේ රුදුරු බෝම්බයෙන් ඉතිරි කරලා ගිය එම කැළැල් ටික විතරයි. ඒවා ඒ අයගේ ජීවිතවලට මැරෙන තුරාවට උරුම වුණු දේවල්.
බෝම්බ ප්‍රහාරයට ලක්වූවන් දවසින් දවස මියයන කටුවාපිටියේ අඳුරු මතකයේ වේදනාවන් තවමත් නිමක් වෙලා නැහැ.
පෙර පරිදි ගෙවුණු ජීවිත කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත් වුණත් පාසල් නොයන දරුවන්, හරි හැටි රැකියාවක් කර ගැනීමට නොහැකි අහිංසක මිනිසුන් තුවාල ලැබූවන් බොහෝ දෙනා කටුවාපිටිය ගමේ අදටත් දුක් විඳිනවා.
“දැන් නම් ගමේ ගොඩක් දෙනාගේ ජීවිත සාමාන්‍ය අතට හැරෙමින් තිබෙනවා. ඒත් සමහර පවුල් අන්ත අසරණ වෙලා ඉන්නේ. මොකද ගෙදර එක්කෙනෙක් හරි මේ අනතුරට මුහුණ දීලා නම් මුළු පවුලටම ඒක බලපානවා. බෝම්බය පිපුරුවට පස්සේ නම් පෙරහර වගේ කට්ටිය ආවා. හොයලා බැලුවා. දැන් බලු සතෙක් එන්නේ නැහැ. ගොඩක් අය ආවේ ප්‍රසිද්ධිය බලාගෙන.
අපිට හාල් ටිකක් දුන්නත් ඒවා වීඩියෝ කරලා, ෆොටෝ ගහලා ෙෆ්ස්බුක් දාලා සමහර අය පත්තරවල, ටී.වී. වල මූණ දාගත්තා. අපිව හිඟන්නෝ ගානට දාලයි සමහර අය ආධාර දුන්නේ. අපි කුලී රැකියාවක් කරලා, වඩු වැඩක් කරලා බොහොම වැදගත් විදිහට ජීවත් වුණු මිනිස්සු. අපි පාරට වැටුණු සරණාගතයෝ නෙමෙයි.
රුපියල් ලක්ෂයක් දෙන්න මාධ්‍ය සංදර්ශන පෙන්නල, ජෝගි නටද්දි මේ ඉන්නේ මුළු පවුලම නැතිවුණ එහෙම නැත්නම් අතපය කැඩිච්ච මිනිස්සු නේද කියලා ආපු එක දේශපාලුවෙකුටවත් එදා දැනුණෙත් නැහැ. අද දැනෙන්නෙත් නැහැ. මේ වගේ වේදනාවක් ඒ අයට නොදැනෙන තාක් ඒ අයට අපේ දුක තේරෙන්නේ නැහැ. එක ඇමැතියෙකුගේ හරි පවුල පිටින්ම ගියා නම් තේරෙයි අහිංසක අපේ වේදනාව.
අපිට වන්දි දෙන්න ආව සමහර දේශපාලනඥයෝ හැසිරුණේ හරියට අපිට සම්මාන දෙන්න ඇවිල්ලා වගේ. රටේ මහ අය හිතාගෙන ඉන්නේ අපිට ලොතරැයියක් ඇදිල කියලා.
අප්‍රේල් 21 පස්සේ මම මාස දෙකක් යනකම් පල්ලිය දිහාවත් බැලුවේ නැහැ. ඒත් මගේ මියගිය බිරිඳ වෙනුවෙන් මම අද පල්ලියට ආවේ. මේ ජරා තිරිසන් ලෝකෙන් එයා ගිය එක ගැන මම එක පැත්තකින් සතුටු වෙනවා. මට දැන් වයස 78ක්. අපි ජීවත් වෙන්නේ තව ටික කාලයයි. මට දුක මේ ගමේ ජීවත් වුණු තරුණ දරුවෝ, පුංචි දරුවෝ ගැන. උන්ට තව විඳින්න ජීවිතේ එහෙමමයි.”
මේ අඳෝනාව නැගූ ඔහු කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී අපට මුණ ගැසුණු ප්‍රදේශවාසියෙකි. නම සඳහන් කරන්නට අකමැති වුණත් අපේ ගමනට ඔහුගේ මඟ පෙන්වීමෙන් ලැබුණු සහය මතක් කළ යුතුමය.
ජූඩ් සුනිමල් මව දිස්නා සමග
ජූඩ් සුනිමල්ගේ කොඳු ප්‍රදේශයට සිදුවී ඇති හානිය
ජූඩ්ගේ කොඳු ඇටපෙළේ හානි වී ඇති කොටස්
මේරි ලලනිගේ සිරුරේ ඇති යකඩ බෝල
කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිංසක ජීවිත ගණනාවක් අහිමි වෙද්දි ජීවත් වන්නට වරම් ලැබූ අයට ජීවිත ගෙනයන්න වෙලා තියෙන්නේ තව අයෙකුගේ අත්වාරුවෙන්.
මවගේ අත්වාරුවෙන් ඇවිදින්නට උත්සාහ කරන ජූඩ් සුනිමල්ට වයස අවුරුදු තිහ අවසන් වූවා පමණයි. බෝම්බ ප්‍රහාරයෙන් ඉනෙන් පහළට සිදුවූ අනතුරින් අඩපණ වුණ, වඩු කර්මාන්තයෙන් ජීවත් වුණු සුනිමල්ට අද සියල්ල කර ගැනීමට සිදු වී තිබෙන්නේ මවගේ ආධාරයෙන්.
“එදා පල්ලි ගියේ මම විතරයි. බෝම්බේ පුපුරවපු කෙනා මගේ ඇඟෙත් හැපීගෙන තමයි ඉස්සරහට ගියේ. මේ පිස්සු මිනිහා පූජාව වෙලාවේ බෑග් එකකුත් කරේ දාගෙන කොහේ යනවද කියලා මම හිතින් කිව්වා විතරයි. ඒ මිනිහා මාව පහුකරගෙන ඉස්සරහට යනවත් එක්ක ලොකු සද්දයක් ආවා. මට මතක එච්චරයි. මට තාමත් ඒ සිදුවීමේ කිසිම දෙයක් මතක නැහැ. අදටත් මගේ කන ඇහෙන්නේ නැහැ. දැන් කනට මැෂින් එකක් දාලා තියෙන්නේ.”
“දැන් කොහොමද අසනීප තත්ත්වය?”
“මාස තුනකින් කොන්දේ ස්කෑන් එකක් කරන්න කිව්වා. මට මගේ කිසිම වැඩක් තනියම කරගන්න බැහැ. අම්මා තමයි හැමදේම කරන්නේ. ඇවිද ගන්න හරි ටිකක් පුළුවන් වුණා නම් ඒක හිතට හයියක්. මට තවම කතා කළාට සමහර වචන පිටවෙන්නේ නැහැ. මතකය ක්ෂණිකව නැති වෙලා යනවා. මම කලින් වඩු වැඩ කළේ. ඊට අමතරව කඩයප්පන් කඩවල්වලට දැම්මා. දැන් මට කිසිම දෙයක් කරගන්න බැහැ. කොන්දට වුණු හානිය නිසා හරියට අඩිය තියල ඇවිදින්න ටික කාලයක් ගත වේවි කියලා වෛද්‍යවරු කියනවා.”
“මේ මිනිස්සුන්ගේ ජීවිතේ හීන කොච්චරක්ද ඇතිද? ඒ දැකපු හීනවල තරමටම අද ඒ අයගේ ඇස්වලින් කඳුළු වැටෙනවා. අපි දකින්නේ ඒ අයගේ මතුපිට ජීවිතේ විතරයි. හැබැයි තට්ටු කරලා බලන්න මේ මිනිස්සු ජීවත් වෙන්න මොනතරම් මේ මහපොළොව එක්ක ඔට්ටු වෙනවද කියලා.”
ඇය ජූඩ් සුනිමල්ගේ මව දිස්නා ශ්‍යාමලී. බෝම්බ ප්‍රහාරයෙන් තමන්ගේ පුතාට අත්වෙලා තියෙන ඉරණමත් එක්ක ඇයට මුහුණ දීමට සිදු වී තිබෙන ඛේදනීය තත්ත්වය ගැන ඇය අපට මෙලෙස පැවසුවා.
“මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. මගේ මහත්තයා මැරුණේ දරුවෝ පුංචි කාලේදීමයි. දුවලා දෙන්නම විවාහ වෙලා. පුතා විවාහ වෙලා නැහැ. මම රැකියාවක් කළේ නැහැ. මම කළේ කඩයප්පන් තම්බලා කඩවල්වලට දාපු එක. මගේ මහත්තයා 83 අවුරුද්දේ වාහනේක හැපිලා මැරුණේ කඩවලට කඩයප්පන් දාන්න අරන් යනකොටයි.
එදා ඉඳලම මම දරුවොන්ව ජීවත් කළේ කඩයප්පන් තම්බලා. තවමත් මමයි පුතයි ජීවත් වෙන්නේ කඩයප්පන් වෙළෙඳාමෙන්. පුතා වඩු වැඩ තමයි කළේ. ඒ අතරේ මටත් උදව් කළා. තවම අප්‍රේල් 21 වෙනිදා ඉඳලා කඩයප්පන් හැදුවේ නැහැ. මම හදන කෑම වර්ග කඩවලට දාන්නේ පුතා. දැන් පුතාට ඇවිදගන්න බැහැ. පුතාගේ ඇඟේ යකඩ බෝල 4ක්ම ඔපරේෂන් කරලා ගත්තා. තව දෙකක් තියෙනවා ඉනෙන් පහළ.
ඒ දෙක අයින් කළොත් සදාකාලිකව එකතැන් වෙනවලු. පුතාට තවම වයස අවුරුදු 30යි. දුවලා දෙන්නා අපි ගැන නිතරම බලනවා. ඒත් එයාලටත් හැමදාම ඒක කරන්න බැහැ. කොන්දට ප්ලාස්ටර් එකක් දාලා තියෙන්නේ. තව මාස 3කින් ස්කෑන් එකක් කරන්න ඕන කියලා වෛද්‍යවරු කියලා තියෙනවා.”
“රජයෙන් දීපු සහන මුදල් ලැබුණද?”
රු. 75,000ක් අපට රජයෙන් ලැබුණා. කාදිනල්තුමා දුන්නු සහන මුදලත් ලැබුණා. තවම අපි ජීවත් වෙන්නේ පල්ලියෙන් දුන් දේකින් තමයි. තවම පුතාට හරියට ඇවිදගන්න බැහැ. එ්ත් දුන්නේ 75,000යි. ඒත් පුංචි තුවාල තියෙන අයටත් ලක්ෂ දෙක තුන ලැබිලා තියෙනවා. අපිට එහෙම කරන්නේ අපේ දුප්පත්කම නිසාද, අපේ නොදන්නාකම නිසා ද කියන්න තේරෙන්නේ නැහැ. අපි පුදුම විදිහට අසරණ වෙලා ඉන්නේ. කවදා වෙනකම් කියලා මෙහෙම බලා ඉන්නද?
වන්දි මුදල් ලබා දෙන්නේ රෝහලෙන් ලබා දුන් වෛද්‍ය වාර්තාවන්ට අනුව වර්ගීකරණය කරලලු. ඒ වර්ගීකරණයේදී හරියට අසාධාරණකම් වෙනවා. මේ අසාධාරණ ලෝකේ අපට සාධාරණයක් වේවි කියලා විශ්වාසයක් නැහැ. ආණ්ඩුවෙන් දීපු වන්දි මුදලේ අසාධාරණකම්, අඩුපාඩු ගොඩක් සිද්ධ වුණා.”
ශාන්ත සෙබෙස්තියන් දේවාස්ථානයට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා සිටින තවත් කාන්තාවක් තමයි මේරි ලලනි වෙත්තසිංහ. මේ වනවිට ශරීරය පුරා තිබූ යකඩ බෝල 20ක පමණ ප්‍රමාණයක් සැත්කම් හරහා ඉවත් කර අවසන්.
“මීගමුව රෝහලේ දින පහළොවක් පමණ මට ප්‍රතිකාර කළා. මගේ උරහිසේ අස්ථියට වුණු හානිය නිසා උරහිසට බැන්ඩේජ් එකක් දාලා මාස එකහමාරක්ම තිබුණා. සතියකට සැරයක් මම සායනවලට යනවා. තවම මට දකුණු අත ඔසවලා සාමාන්‍ය විදිහට වැඩ කරගන්න බැහැ.
අතේ ස්නායු නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වෙන්න ටික කාලයක් යනවලු. මම දැන් කෑම ටික පවා කන්නේ වමෙන්. හැමදේම වම් අතට හුරු කරගන්නවා. මට මගේ වැඩ තනියම කරගන්න අමාරුයි. මහත්තයා, දරුවෝ තමයි මගේ සියලුම වැඩ කරලා දෙන්නේ.
මගේ පිටේ විතරක් යකඩ බෝල 16ක් තිබුණා. දොස්තරවරු කිව්වා ‘අම්මාගේ පිට නම් ආයේ බලන්න බැරි වේවි අම්මේ’ කියලා. මගේ ඇඟේ ඔක්කෝම යකඩ බෝල 20ක් තිබුණා. දැනට යකඩ බෝල 4ක් ඉතිරි වෙලා තියෙනවා. ඒවා අයින් කරොත් මගේ ජීවිතේ නැතිවෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු කියනවා. මැරෙන්න නම් මම බය නැහැ. ඒත් සැත්කම කරලා මාව එකතැන් වුණොත් දරුවන්ට වදයක් වෙන්න මම කැමති නැහැ.
එදා මම පල්ලි ගියේ පුතාලත් එක්ක. වාසනාවකට වගේ එදා දරුවොයි, පුතයි, දුවයි පූජාව වෙලාවේ හිටියේ පල්ලියෙන් එළියේ. එදා පල්ලියේදී ලොකු සද්දයක් එක්ක එක පාරටම මාව බිමට වැටුණා. මම නැගිටින්න උත්සාහ කරාට නැගිටින්න බැහැ කියලා දැනුණා. මම ඔළුව ඉස්සුවම මම ඉස්සරහ දැක්කේ ජේසුගේ පිළිරුව.
මම ජේසු දිහා බලාගෙන ඇහුවා ඇයි ‘ජේසුනි, මෙහෙම කළේ?’ කියලා. මගේ බංකුවේ වාඩිවෙලා හිටපු සියලුම දෙනාගේ ඉතිරි වෙලා තිබුණේ මස් ගොඩක් විතරයි. මම විතරක් බේරුණේ කොහොමද කියලා මට අදටත් හරි පුදුමයක්.
“කටුවාපිටිය දේවස්ථානයේ දහම් පාසල් විදුහල්පති වජිර සුරංජන් ගුරුපියාණන් ද ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වී අනූනවයෙන් දිවි ගලවාගත්තේය.
“මගේ ශරීර අභ්‍යන්තරයේ සුසුම්නාව අාසන්නයේ යකඩ බෝල දෙකක් තියෙනවා. ඉවත් කරන්න බැහැ. තව මගේ කකුලේ බ්ලෙඩ් තලයක් වගේ කෑල්ලක් තිබිලා සැත්කමක් කරලා ඉවත් කළා. රජයෙන් තුවාල ලාභියකුට ලක්ෂ 5ක මුදලක් ගෙවනවා කිව්වා. සොයලා බැලුවා ඉතිරි මුදල ඉදිරියේදී ලැබේවි කියලා විශ්වාස කරනවා.
එදා පූජාව වෙලාවේ මම දරුවන්ව පෙරහරට සූදානම් කරවන්න අසුනෙන් නැගිටලා හිටියේ. ඒත් එක්කම ලොකු සද්දයක් ආවා. කළුවර වුණා වගේ දැනුණා. මට සිහිය එද්දි මම හිටියේ රෝහලේ. මම එකතැන් වෙන නිසා යකඩ බෝල කිහිපයක්ම අයින් කළේ නැහැ.
මම දැන් ජීවත් වෙන්නේ මතකය අහිමි වීමේ අවදානමකුත් එක්ක. මගේ ස්නායුවලට හානි වෙලාලු. පාසල් ගුරුවරයෙක් ලෙස මම විෂයන් 6ක් උගන්වනවා. මේ විෂයන් 6ම මතකයත් එක්ක සබැඳුණු ඒවා.
මට ගුරු වෘත්තිය නොකර ගෙදරට වෙලා ඉන්න බැහැ. උසස් පෙළ, සාමාන්‍ය පෙළ දරුවන්ට මම උගන්වනවා. මගේ මාසික පඩියම නිවාස ණයවලට හිලව් වෙද්දි මම ජීවත් වෙන්න ආර්ථිකය හදාගන්නේ ටියුෂන්වලින්. මගේ සෞඛ්‍ය තත්ත්වයත් එක්ක මගේ ජීවිතේ නැවතිලා තිබුණේ. පැහැදිලි ඉදිරියක් මට තාමත් නැහැ.
දැනට ගෙදර ටියුෂන් කරගෙන යනවා. හැමදාම අපට මෙහෙම ඉන්න බැහැනේ. ආණ්ඩුවෙන් කියලා අපි මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ. වන්දි මුදල වුණත් ගන්න කොච්චර රස්තියාදු වෙන්න වුණාද?
ක්‍රිකට් ටීම් එකේ ඉන්න ඇන්ජලෝ මැතිවුස්ගෙත් පන්තිභාර ගුරුවරයා වුණේ මම. මගෙන් දරුවෝ විශාල සංඛ්‍යාවක් ඉගෙනගෙන තියෙනවා. මේ බෝම්බ ප්‍රහාරයට මුහුණ දුන් දරුවනුත් මගේම දරුවන් වගේ. පල්ලියේ දහම් පාසලේ ඉගෙන ගත්ත දරුවෝ 27කට මේ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුණා. ඒක මට දරාගන්න බැහැ.
දරුවෝ තවම පාසල් යන්නේ නැහැ. යන්න කැමති නැහැ. මගේ එකම අරමුණ කොහොමහරි නැවත මේ දරුවන්ව නැගිට්ටවන එක. ඒ මුහුණුවල ඉස්සර තිබුණු සිනහව නැවත ගන්න ලේසි නැහැ. හැම කෙනාගෙම උදව්ව, සෙනෙහස, අාදරය මේක අවශ්‍යම වෙලාවක් අපට.”
රටම කම්පනයට පත්වුණු මෙම විපතින් අසරණ වූ ඔවුන්ට නැගිටින්නට ලාංකීය සියලුම දෙනාගේ උදව් අවැසි මොහොතක හැකි නම් දෙස් විදෙස් ඕනෑම අයකුට ඔවුන් වෙනුවෙන් කතා කරන්න, උදව් ලබා දෙන්න හැකියාව තිබෙනවා. ප්‍රධාන කාර්යාලය, සෙත්සරණ කරිටාස්, කොළඹ අගරදගුරු නිවස 0112-688999 දුරකථනයට ඇමතිය හැකිය.
නදීශා අතුකෝරළ
ඡායාරූප - චානුක කුලසේකර
‘පාට කුරුල්ලෝ’ කියන්නේ මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන ටෙලි නිර්මාණයක්. විශේෂයෙන් මේ වෙනවිට පාට කුරුල්ලෝ ඔස්සේ නවක මුහුණු කිහිපයකුත් පුංචි තිරය
සුන්දර දක්ෂ නිළියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් එක්කයි අද අපි ෆැෂන් ගැන කතා කරන්නේ. විවිධ ටෙලි නිර්මාණ ඔස්සේ, ඔබේ ආලින්දයට එන ඇය රුක්ෂානා දිසානායක
සිතුවමක් එහෙම නැත්තම් චිත්‍රයක් කියන්නේ අපේ ඇස් ඉදිරිපිටම මැවෙන හරි අපූරු මායාවක්. ඒ මායාව හරි අපූරුවට පාට කරන සෙනුති අයෝද්‍යා අද ලංකාවේ ගොඩක් අය දන්න
ලකී ගේ ගෝලයෝ ටිකක් පොලිසියට අහුවෙනවා. මේක ආරංචි වෙච්ච ලකී මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා හම්බවෙන්න පොලිසියට යනවා.
ඇයගෙ නම සජිනි හංසනී. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකීය සුරූපිනියන් අතර, පසුගියදා පැවැත්වූ විවාහක රූ-රැජින තරගයේදී 2024 සඳහා විවාහක රූ-රැජින ලෙස කිරුළු පැලඳියේ හං
බාල, තරුණ මහලු හැම හදවතකටම දැනෙන්නට ආමන්ත්‍රණය කළ හැකි කටහඩක් වේ නම් එය දෙවියන්ගෙන් ලැබුණු තිළිණයකි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අපේ ඇඟෙත් හැපීගෙනයි බෝම්බකාරයා ඉස්සරහට ගියේ