මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය.

 

ඔවුන් පිටස්තර පුද්ගලයින් සමග සුහදශීලීව කටයුතු කරති. රටේ අනික් ප්‍රධාන ගෝත්‍රය වන චාගා ගෝත්‍රිකයින් වෙත දක්වන්නේ තදබල නොරුස්නා බවකි. අසංවර චාගා තරුණයකු බැරිවෙලාවත් මසායිවරුන්ගේ එළහරකකු සොරකම් කළහොත් එකිනෙකා මරා ගන්නා ද්වන්ද සටනකට එළඹෙති. අප පන්තියේ මසායි මෙන්ම චාගා ගෝත්‍රික ශිෂ්‍යයින්ද වූහ. ‘චූවා’ ඉන් එක් අයෙකි.
   
වර්ෂ 1890 දී පමණ මධ්‍යම හා දකුණු අප්‍රිකාවේ වනසතුන්ට මෙන්ම ගෘහාශ්‍රිත සතුන්ට වැළඳුනු මාරාන්තික (Rinder Pest) කුර ලෙඩකින් සතුන් 90% පමණ මිය ගියහ. එහෙත් මේ වන විට ප්‍රකෘතිමත් තත්ත්වයට පත්ව තිබේ. නොදැනුවත්ව හෝ ඒඩ්ස් (Aids) රෝගයෙන් පෙළෙන මසායි ස්ත්‍රීන් වඳභාවයට පත්ව සිටිති.   


රණකාමී මසායිවරුන්ගේ ආයුධ වූයේ විස කැවූ ඊතලය, හෙල්ලය සහ පලිහයි. සතුරා සමීපයට ගොස් හෝ ඈත සිට ඊතලය අතින් යවමින් හෝ හෙල්ලයෙන් ඇණ සතුරා මරා දමයි. කලින් සාද‌ාගත් ලී මුගුරු (Clubs) සතුරා දෙසට ඉලක්කයට වීසිකොට තුවාල සිදුකිරීම බහුලව සිදුකරති. ඒ යුද තත්ත්වයක් ඇතිවූ විටය. 1852 දී 800ක පමණ රණකාමී හමුද‌ාවක් කෙන්යා (Kenya) ප්‍රදේශය මුලුමනින්ම ආක්‍රමණය කළහ.   


1897-1898 වකවානුවේ උද්ගත වූයේ දරුණු නියඟයකි. දුර්භික්ෂය වසංගත ලෙඩ රෝග ව්‍යාප්ත විය. බොහෝ මසායිවරු මිය ගියහ. 1902 දී ව්‍යාප්ත වූ අප්‍රිකානු සත්ව කුර ලෙඩකින් එළ හරකුන් 90% මිය ගියහ. මිනිසුන් ඇවිදින ඇටසැකිලි බවට පත්වූහ. ඉහළ ආකාශයේ පියාසර කළ වල්චර් (Vulture) පක්ෂීන් බිමට පහත් වී වැතිර සිටි මසායිවරු නියවලින් ඩැහැගෙන ගස් උඩට ගොස් මළසිරුරු කා දැමීය. ශක්තිමත් අය නිරුපද්‍රිතව සිටියහ. පැවැති නියඟය දුරු වී මසායි ජන ජීවිතය යථා තත්ත්වයට පත්වීමත් සමග ඔවුන් පසුව ප්‍රකාශයට පත්වූ කිලිමන්ජාරෝ අම්බොසෙලි, මසායි මාරා, ගොරොංගොරෝ, සෙරෙන්ගෙටි ජාතික උද්‍යාන සීමාවලින් පරිබාහිර ප්‍රදේශයේ පදිංචි කරවීමට පැවැති ඉංග්‍රීසි ආණ්ඩුව විසින් පියවර ගති.   


ම්ටොවාම්බු ගමේ පදිංචියට යාම   


1983 අගෝස්තු නිවාඩුව ආරම්භ වීමට පෙර චන්ද්‍රා ජයවර්ධන සහ මම විද්‍යාලයේ පරිපාලන නිලධාරී 'John Kaale' ට කතා කළෙමු.   


‘...සර්... අපි ​ෙදන්නා නිවාඩු මාසෙදි... කොයිකායි එක්ක ම්ටොවාම්බු ගමට ගොහින් සති 1 1/2ක් විතර මසායිවරු එක්ක වාසය කරලා එන්න හිතාගෙනයි ඉන්නේ. අපේ යන ගමනට විද්‍යාලයේ වෑන් එක හයර් එකට දෙන්න... මුදල් අයකරගන්න...’ ඉල්ලීමක් කළෙමු.   


‘...ඔයාලා විදේශික ශිෂ්‍යයෝනේ. මම ඒක කරලා දෙන්නම්. මමත් මසායි ගෝත්‍රිකයෙක්. ඒ වුණාට ඔය ගම්වල ඉන්න අය එක්ක පරෙස්සමින් කටයුතු කරන්න...’   


අපගේ ඉල්ලීම සාර්ථක විය. ඒ අනුව 1983 අගෝස්තු 03 දින අපි තිදෙන විද්‍යාල වෑන් රථයෙන් විද්‍යාලයෙන් පිටත්ව පැය 4 1/2ක ධාවනයෙන් පසු ‘ම්ටොවාම්බු’ ගම්මානයට ළඟා වීමු. වියළි කටුක පරිසරයට මම ඇලුම් කළෙමි. ඈත සීබ්‍රාවුන් රංචුවක් වේගයෙන් පලා යති.   


මෙය දුටු ‘කොයිකායි’ පැවසුවේ ‘...ඔය සිංහයෙක් උන්ගෙ පස්සෙන් පන්නාගෙන එනවා ඇති...’   


‘කොයිකායි’ දකුණු අත දබර ඇඟිල්ල දිගු කරමින් ‘අර ඉදිරියෙන් පෙනෙන පැල්පත් නිවාස සංකීර්ණයටයි අපි යන්නේ... මසායි භාෂාවෙන් ‘බෝමා’ කියන්නේ නිවාසයකටයි. චන්ද්‍රා... විල්සන් ගමේ හැම කෙනෙකුම ස්වහිලි (Swahili) භාෂාව දන්නේ නැහැ. ඒ නිසා මම ඔයාලා සම්බන්ධ කරන්නේ භාෂාව දන්න අයටයි. ගමට ගියාම ඒ අයට සුහදත්වය පළ කරන්න. ඒ අයගේ වැඩවලට හිනාවෙන්න එපා. මේ අය කල්පනා කරන්නේ ලෝකේ එයාලට ඉහළින් ඉන්නේ දෙවියන්වහන්සේ විතරයි කියලා...’ ඔහු කීවේය.   


 වෑන් රථය නතර කළ පසු මම රියැදුරු ඇමැතීමි. ‘ඔයා අපි එනකම් ඉන්න... වෑන් එකේ අපේ බඩු බාහිරාදිය තිබෙනවා.   


‘හොඳමයි... සර්ලා ගිහින් එන්න...’   


කොයිකායි විසින් තීන්දු කළ ‘බෝමා’ නිවාස සංකිර්ණයක් වෙත රැගෙන ගිය අපි දෙදෙනා එහි සිටි තලතුනා පිරිමින්ට සහ කාන්තාවන්ට හඳුන්වා දුනි.   


‘කොයිකායි’ කතා කරමින් ‘ම්සේ (වැඩිහිටියාණෙනි) මේ චන්ද්‍රා සහ විල්සන්. විද්‍යාලයේ මගේ පන්තියේ අය. ඔයාලා එක්ක දවස් දහයක් විතර ඉඳලා යන්න ඕනෑය කියනවා. මම ගැන හිතලා මේ දෙන්නට උදව් කරන්න. කන බොන දේවල් ගෙනැවිත් තිබෙනවා. වෙන අවශ්‍ය දෙයක් කරලා දෙන්න. මුදල් දෙයි. මමත් රාත්‍රී දෙකක් මේ දෙන්නා එක්ක ඉන්නවා.’ යැයි කොයිකායි කී විට ‘බානා කියාජි (යාලුවා හොඳමයි).   


අපි තිදෙන ඇකේෆියා (Acacia) ගස් සෙවනේ සිටුවා තිබූ කොට කෑලි තුනක් උඩ හිඳගතිමු. එතැනට 12 දෙනකු පමණ පැමිණියහ. ඉක්බිතිව අපි සිනාමුසු මුහුණින් දෙඅත්ල එකතු කොට සිංහල ක්‍රමයට ආචාර කළෙමු. ඔවුන් නොදන්නා කමින් ඊට ප්‍රතිචාරයක් නොදැක්වීය. ඒ වෙනුවට ඔවුන් සියලු දෙනාම කළේ දකුණු අත්ලට (අල්ලට) කටින් කෙළ ගසා අතට අතදී අපිව පිළිගැනීමයි. අපි දෙදෙනාට නුහුරු චාරිත්‍රයක් වුවත් සතුටින් ප්‍රතිචාර දැක්වූයෙමු.   


කොයිකායි අපගේ මිත්‍රයා පැවැසුවේ ‘අප්‍රිකාව පුරා සිටින මසායිවරු... ආගන්තුකයින් හට සුහදත්වය... පළ කරමින් ඔවුන් පිළිගන්නේ ඔය ආකාරයටයි...’   


‘ඔයාලා දෙන්නත් මේ ගමේ ඉන්නකම් ඒ විදියට කරන්න පුරුදුවන්න...’ කියාය.   


කෙසේ වෙතත් ඔහු අප දෙස බැලුවේ ආගන්තුකයින් ලෙස නොවේ කලින් දන්නා කියන දෙදෙනකු ලෙසිනි. එයින් ගම්‍ය වූයේ පිටස්තර පුද්ගලයින් නිතර මෙහි යන එන බවයි. කොයිකායි ඔවුන් සමග ‘මා’ භාෂාවෙන් කතා කළ නමුත් අපි දෙදෙනාට නොතේරිණි.   


‘හරි විල්සන්. මේ අය කියනවා. දින දහයකට වැඩිය වුණත් ඉන්න කියලා. කෑමට මුදල් අවශ්‍ය නැහැ කියනවා. කෑම උයලා දෙන්නද ඔයාලා හද‌ා ගන්නවදත් අහනවා.’   

 

 

‘...අනේ ඔයාලා කන, බොන විදියට හදලා දෙන්න. ඒකට අපි ආසයි. බොන වතුර අපි උණුකර ගන්නම්...’ අපගේ ආහාරා මල්ලේ සීනි, තේ කොළ, කෝපි, බී ලූනු, තිරිඟු පිටි කිලෝ 20ක් දියලුණු සහ සූරියකාන්ත තෙල් විය.   


විද්‍යාල වෑන් රථයට පැමිණි අපි අපගේ ඇඳුම් බෑග්, ආහාර මල්ල ඉවතට ගත් පසු මසායි තරුණයින් දෙදෙනෙක් ඒවා කර තියාගෙන අපගේ බෝමා (Boma) වට ගෙන ගියෝය. රියැදුරු නිදහස් කළෙමු.   


ඊට පෙර ‘...බානා (යාලුවා) මෙතන තියෙනවා සිලිං 2000ක්. ඔයාට අවශ්‍ය දෙයක් ගන්න...’ ඔහු සතුටින් ඉපිල ගියේ එය ඔහුට විශාල මුදලක් වූ බැවිනි. හිතේ හැටියට වියදම් කිරීමට අපි දෙදෙනාට මුදල් තිබිණි. (Bank of Tanzania) ටැන්සානියානු බැංකුව ගෙවූයේ ඩොලරයකට සිලිං 35කි. පරිභාහිර ඉන්දියන් ජාතිකයන් ඩොලරයකට සිලිං 1000ක් ගෙවූහ. රට තුළ ප්‍රචලිතව එය සිදුකෙරිණි. 

 
අප වෙනුවෙන් වෙන්කොට දුන් (බෝමාවට) නිවසට පැමිණ දඬුමැස්සේ දිගා වුණෙමු. ලී මත ඉලුක් යහමින් තබා සතුන්ගේ හම් ඉලුක් තට්ටුව උඩ එලා තිබුණි. ගමන් විඩාව නිසා හාන්සි වී විවේක ගන්නා විටදී මගේ මව්බිම සිහිපත් විය. මගේ භාර්යාව, කුඩා දියණියන් දෙදෙනාට කතන්දර කියා දෙමින් සිටිනවා විය හැක. ටැන්සානියාව බලා ගුවන් ගතවීමට පෙර ඇගේ දෙඇස් කඳුළින් තෙත්වූ ආකාරය මට සද‌ා සිහිවටනයකි.  විනාඩි 15ට පමණ පසු කොයිකායි කතා කරමින් ‘දෙන්නාම. මා එක්ක ගම වටේ යමු... මිනිස්සු හඳුනාගන්න. බෝමාව ඉදිරිපිට කලින් හමු නොවූ තලතුනා පිරිමි කාන්තාවන් හත් අට දෙනකු වාඩි වී සිටියහ. අපි දෙදෙන ‘හබාරියාකූ (ආයුබෝවන්) කී විට, ඔවුන් තම දකුණු අත්ලට (අල්ලට) කෙළ (Saliva) ගසා අප දෙදෙනා අතට අත දෙමින් සුහදත්වය පළ කළෝය. ‘ම්සේ හැන්දෑවේ මේ පැත්තෙ එන්න...’ අපට අවශ්‍ය වූයේ ඔවුන්ගේ නැටුමක් බැලීමටය. ගම වටා යාම ආරම්භ විනි. වේලාව දහවල් 12 පමණ විය.   


 ඔවුන්ගේ නිවාස ඉදි කොට ඇත්තේ මහපොළොවෙන් සහ වනාන්තරයෙන් ලබා ගන්නා ද්‍රව්‍යවලිනි. නිවසේ වහළට ශක්තිමත් ලී යොද‌ා ගොම සහ මඩ කවලම් කොට වහළ තට්ටුව සකසා තිබූ ආකාරය ඊට උඩින් සතුන්ගේ හම් එලා වර්ෂා ජලය නිවස තුළට කාන්දු නොවීම නිරීක්ෂණය කළෙමු. බිත්ති ශක්තිමත් ලී සහ තල් කොළවලින් නිමවා තිබිණි. එය මීටර් 3x5 ප්‍රමාණයේ ඍජු කෝණාකාරයෙන් නිම කොට තිබූ අතර කවාකාර කොටසක් ඊට සම්බන්ධ වේ. නිවසක උස මීටර් 1 1/2 පමණය. ඉවුම්, පිහුම්, ආහාර ගැනීම, ආහාර ගබඩා කිරීම, නිද‌ා ගැනීම සඳහා කොටස් වෙන්කොට තිබිණි.   


නිවාස ඉදිකිරීම තලතුනා මසායි කාන්තාවන්ගේ වගකීමකි. ළඟම ඥ‌ාතීන්ගේ නිවාස 7-8ක් පමණ ළඟින් ළඟින් ඉදිකොට ඇත. ඒ සියල්ල වටා අඩි 8ක් පමණ උසැති කටු වැටකි. එය ඉදිකිරීම පිරිමින්ගේ වගකීමක්ය. ඔවුන්​ෙග් එළහරක් රංචුව සඳහා උසැති කටුවැටකින් ආවරණය කරන ලද කොටුවක් නිවාස අසලින් ඉදිකොට ඇති බව පෙනිණි. එළහරකුන්, බැටලුවන්, එළුවන් හයිනා (Hyena) ගෙන් රාත්‍රී කාල​ෙය් ආරක්ෂා කිරීම තරුණයින්ගේ වගකීමක්ය. මසායිවරු ආහාර පිළියෙළ කරන්නේ මැටි හට්ටි මුට්ටිවලය.   


‘විල්සන්... ආදි කාලේ අරාබිකාරයෝ, නීග්‍රෝ ජාතිකයින් වහලුන් ලෙස වැඩ ගැනීමට, මිලදී ගැනීමට නැගෙනහිර අප්‍රිකාවට ආවා ගියා. ‘මසායිවරු’ ඉන්න පළාත්වලට උන් ආ වෙලාවේ අපේ අය උන් මරා දැම්මේ ඊතලවලින් ඇනලා. පස්සේ මසායිවරු ඉන්න පැත්තට පළාතකට උන් ආවේ නැහැ.   


කාන්තාවන්ගේ කණකර අායිත්තම්   


වයසක මෙන්ම තරුණ මසායි කාන්තාවන් ලස්සනට හැඳපැළඳ සිටීමට කැමැත්තක් දක්වති. කණකර ආයිත්තම් වසර ගණනාවක් තිස්සේ වෙනස්වීම්වලට භාජනය වී තිබේ. සාමාන්‍ය ජීවිතයේදී මෙන්ම සුන්නත් කිරීම වැනි උත්සවවලදී කාන්තාවන් කණකර ආයිත්තම්වලින් සැරසී සිටීම සුලභ දසුනක් විය.   


අපි දෙදෙනා කාන්තාවන් දෙතුන් දෙනකුට කතා කළෙමු.   


‘නැන්දේ, අක්කේ ඔයාලා පැළඳ සිටින කණකර ආයිත්තම් හරිම අපූරුයි. කවුද මේවා හදන්නේ..?   


‘අපි. කාන්තාවෝ මේවා සියල්ලම හද‌ාගන්නවා. පිරිමි අයත් උදව් කරනවා. ‘ අසන්නේ (ස්තූතියි) මම පැවසීමි.   


මෙසේ ගම වටා යන විට කොයිකායි කතා කරමින් ‘...අර බලන්න අර පිරිමි තුන්දෙනා එළ හරකෙක් අල්ලගෙන කරන වැඩේ... උගේ බෙල්ල වැල් පටියකින් තදින් ගැටගහලා බෙල්ලේ ලේ නහරය මතු කරලා ඊතලයෙන් විදලා එළියට විදින ලේ මුට්ටියකට එකතු කරනවා. ඔය වගේ හරක් හතර පස් දෙනෙකුගේ ලේ එකතු කරනවා. ගෑනු සතකුගෙන් දවසක් හැර දවසක් ලේ පයින්ට් එකක් ද පිරිමි සතුන්ගෙන් ලේ බෝතල් තුනක් ඒ අන්දමින් ගන්නවා. ඒවා සියලු දෙනාටම බොන්න බෙද‌ා දෙනවා. විල්සන් චන්ද්‍රා ඔයාලටත් ඉල්ලලා දෙන්නද බොන්න...’   


‘​අනේ එපා... කොයිකායි ඔයාට ස්තූතියි. කොයිකායි ඉක්බිතිව... ‘එහෙනම් මම ගිහින් ටිකක් බීලා එන්නම්...’   


‘අපිත් එන්නද?’ මම විමසීමි.   


‘ඉතින් මා එක්ක යමු...’ කොයිකායි ලේ බෝතල් බාගයක් පමණ බීවේය.   


 ‘මේක අපේ ප්‍රධාන ආහාරයක්. තවද මේ හරක් මරලා කෑමට ගන්නවා. ඔයාලටත් කෑමට ලැබෙයි. ඊටත් අමතරව උගාලි (තැම්බූ බඩඉරිඟු පිටි) ලැබෙයි.’ එදින දහවල් කෑමට අපට ලැබුණේ උගාලි සහ හරක් මස් සුප්ය. බඩපිරෙන්න හරක් මස් ලැබුණි.   


දිවා ආහාරයෙන් පසු ‘කොයිකායි... අපි ලේක් මන්යාරා උද්‍යානයට හෙට උදේ ගොහින් උද්‍යාන භාරකරු හම්බවෙලා එමු.’ යෝජනා කළෙමු.   


‘හරි හෙට උදේ හතට බස් එකෙන් යමු...’ අපි මෙහි පැමිණි පළමුවැනි සන්ධ්‍යාව එළඹුනි. උදේ වරුවේ අප කළ ඉල්ලීම පරිදි තලතුනා කාන්තාවන්, තරුණ ගැටව් 12 දෙනෙක් පමණ අපි හමුවීමට පැමිණියහ.   


චන්ද්‍රාත් මමත් කොයිකායිට කතා කරමින් ‘කොයිකායි’... මා (Ma) භාෂාවෙන් මේ අයට කියන්න අපි මසායි ඩාන්ස් නැටුම්, බලන්න ආසයි. සින්දු අහන්න ආසයි කියලා... ඉල්ලීම ඔවුන්ට සන්නිවේදනය විය. කාන්තාවන් තරුණයින් කණ්ඩායමක් හැටියට ගී ගැයූහ. ගෝණාගේ අං (Horns) ජෝඩුව බැගින් තරුණයින් අත විය. එම අං කැබලි එකින් එකට ගැසීම සංගීත භාණ්ඩයක් විය. ඔවුන්ගේ නැටුම යනු තරුණයින් තරගයට උඩ පැනීමයි. සියල්ල අවසානයේ අපි මුදලින් ඔවුනට සංග්‍රහ කළෙමු.   


රාත්‍රිය එළඹුනි. බෝමාවන් (නිවාස) ආලෝකමත් වූයේ ගිනිගොඩවලිනි. මසායි ගැටව් අපේ ආහාර අපගේ නිවාසයට ගෙනැවිත් දුනි. උගාලි (තැම්බූ තිරිඟු පිට) හරක් මස් සුප් සහ අමු හරක් මස් ඒ ආහාරය අතර විය. අමු නොපිසින ලද හරක් මස් ඒ ආහාර අතර විය. අමු නොපිසින ලද හරක් මස් කෑවේ කොයිකායි පමණි. රාත්‍රී ආහාරයෙන් පසු අපි තිදෙන ඇඳන් මත වැතිරුනේ හෙට දින උදයේ Lake Manyara උද්‍යානය වෙත යාමට බලාපොරොත්තු ඇතිවය. ඈතින් සිංහයින්ගේ අණසක ගෙරවීම්වල නිමක් නොවීය. හයිනාගේ කෑගැසීම එලෙසමය. කෙසේ වෙතත් මසායි රණකාමී අයට සිංහයින් දක්වන්නේ බියකි. මිනීමරු අලියකු දුටු විට ලංකාවේ මිනිසුන් පලා යන ආකාරයෙන් මසායිවරු දකින සිංහයින් පලා යති. සිංහයින් දුටු විට මසායි තරුණයින් උන් පසුපස හඹා ගොස් විස කැවූ ඊතලවලින් ඇණ මරා දමති. මසායිවරුන් පදංචි ප්‍රදේශවලට ටැන්සානියා වනජීවී නිලධාරීන් යන්නේ නැත. ඒ ගියත් මසායිවරුන්ට විරුද්ධව කළ හැකි දෙයක් නැත.   


පසුදින උදේ ආහාරයෙන් (එළකිරි බීමෙන්) පසු අපි තිදෙනා ලේක් මන්යාරා උද්‍යානය බලා පැමිණියෙමු.   


 අපි එහි ළඟාවෙන විට Kapalondo උද්‍යාන භාරකරු ඔහුගේ සැහැල්ලු ගුවන් යානයෙන් අරූෂා Arusha උද්‍යානය බලා යාමට සූදානම් වෙමින් සිටියත් අපිව දුටු වහාම ගමන කල් දැමීය. අපි කතා කිරීමට පෙර ඔහු කතා කළේය.   


...හබාරියාකු බානා (කොහොමද යාලුවා) (වාපි) කොහේ යන ගමන්ද?..’ ස්වහිලියෙන් කතා කළේය.   


‘අපි ඔයා බලලා යන්නයි ආවේ... අපි ඉදිරි දිනවල ඉන්නේ... ‘ක්වකුච්න්ජා ගමේ. මසායිවරු එක්ක. ගමනේ අරමුණ ඔහුට පැහැදිලි කළෙමු. 

 

 

තේ පානයෙන් පසු උද්‍යානයේ සංචාරය කොට ආපසු ක්වකුචින්ජාවේ අපේ නිවසට පැමිණියෙමු. වසරක් 1982/1983 නැගෙනහිර අප්‍රිකාවේ උද්‍යානවලදී අපට දකින්ට ලැබුණු අලි, සිංහයින්, සීබ්‍රා (Zebra), ජිරාෆ් (Giraffe), චීටා (Cheetah), වයිල්බීස්ට් (Wildebeest) විවිධ ගැසල් මුවන්, විචිත්‍රවත් පක්ෂීන් සංඛ්‍යාව කියා නිම කළ නොහැක. නැගෙනහිර අප්‍රිකාව මගේ දෙවැනි නිජබිමයි.   


 රාත්‍රියේ අපි බෝමාවේ සිටින විට සමීපයටම පැමිණි සිංහයින් පොර කෑවත් ඒ ශබ්දය අප තුළ බියක් ඇති නොකළේය. කොයිකායි අප අමතමින් ‘ඔය බඳින්න ඉන්න ඉලන්ද‌ාරි තම පෙම්වතියට, පෙනෙන්න සිංහයින් මරා දමනවා. ඊතලවලින් විඳලා...’ ඒ විතරක් නෙවේ ගැටිස්සියන්ට පෙනෙන්න උඩ පනිනවා. වැඩියෙන්ම උසට පනින ඉලන්ද‌ාරියා තමයි ලස්සනම තරුණියගෙ හිත දිනා ගන්නේ. ඔයාලා දෙන්නට බලාගන්න පුළුවන් වෙයි.   
 දින 02ක් අපි දෙදෙන සමග සිටි කොයිකායි ‘ආයුබෝවන්’ කියා ඔහුගේ නිවස බලා ගියේය. ඔහු කෙන්යාවේ වික්ටෝරියා විලට නුදුරු ගමක පදිංචිව සිටින බව කලින් කියා තිබුණි. කාලය කෙමෙන් ගත විය. මසායි ඉලන්ද‌ාරි ඊලන්ඩ් ගව දඩයමේ යන විට අපි දෙදෙනාද ඔවුන් පිටුපසින් ගියෙමු. කාන්තාවන් කටුවැට සකසන විට අපි දෙදෙනාද උදව් කළෙමු. අපි ඔවුන්​ගේ පවුල්වල සාමාජිකයින් බවට පත්වීමට වැඩි දවස් ගත නොවීය.   
 දිනක් දහවල් 11.00 ට පමණ ‘කපලොන්ඩෝ’ ජීප් රථයක් පදවාගෙන අපි හමුවීමට ගමට පැමිණියේය. ඔහු අපි බලා සිටියදී මසායි තරුණයකුට කතා කොට ‘අර ජීප් එකේ මලු තුනක් ඇති. ඒවා මේ මහත්තුරු දෙන්නගේ බෝමාවේ (නිවාසයේ) තියාපන්...’ අණ දුනි. ඒවායේ තිබුණේ ඇපල්, පෙයාර්ස් සහ පැණි දොඩම්ය. ටැන්සානියාව පලතුරුවලින් පොහොසත් රටකි. එවායින් අඩක් අපේ මිත්‍ර තරුණ තරුණියන්ට බෙද‌ා දුනි. පැයක් පමණ අපි සමග සතුටු සාමිචියේ යෙදුන ‘කපලොන්ඩෝ’ නෛරෝබි (Nairobi) උද්‍යානය බලා පිටත්ව ගියේය.   


 පළාතේ ජාතික උද්‍යාන තුනක් අධීක්ෂණය කළ ඔහුගේ ගමනාගමනයට රජයෙන් සැහැල්ලු ගුවන් යානයක් ලබා දී තිබුණි. ලංකාවේ මෙන් නිලධාරීන් කුලල් කනවා නොදුටුවෙමි.   


 සන්ධ්‍යාවේ වයසක මසායි කාන්තාවන් (ආච්චිලා) කුඩා දරු දැරියන්ට කතන්දර කියා දුන් ආකාරය සිත්ගන්නා සුළු විය. මගේ මව්බිමේ වනජීවී නිලධාරීන්ට සැහැල්ලු ගුවන් යානා ලැබෙන්නේ කවද‌ාද? දරුවන්ගේ සුන්නත් කිරීම (Circumcision) වසර 3 කට වරක් උත්සවාකාරයෙන් සිදුකරති. අපිද වරක් එවැන්නකට සහභාගි වීමු. ඊට පෙර ‘ම්ටොවාම්බු’ කඩ පොළට ගොස් බිස්කට්, අලිගැටපේර, තිරිඟු පිටි කිලෝ 20 මිලයට ගෙන බූරුවකු පිට පටවාගෙන අවුත් උත්සවයේදී තෑගි හැටියට ඔවුනට ලබා දුනි. මසායිවරුන්ගේ නිතර කෙළ ගැසීම අපි නොරිස්සුවත් ඒ බව ඔවුනට ඇඟවූයේ නැත.   


අපි දෙදෙනා ගැයූ සිංහල සින්දුවලට ඔවුන් කැමැත්තක් දැක්වූහ. ‘හෙළ ජාතික අභිමානේ ගීය වනාන්තරය තුළ පිළිරැව් දුනි.   


 මේ වන විට අපි ගමට පැමිණ දින 10ක් ගතවී හමාරය. අපි දෙදෙනා පසුදින ඔවුන්ගෙන් සමුගන්නා බව දැන්වීමු. ම්සේ තව ටිකක් ඉන්න යන්න එපා...’ ඔවුන්ගේ ඉල්ලීම විය.   


‘ම්සේ වැඩිහිටියාණනි, අපි ආයෙත් එනවා මේ වගේ ඉන්න... ඔබ සියලු දෙනා අපට කළ සත්කාරවලට බෙහෙවින්ම ස්තූතියි. ස්වහිලි භා​ෂාවෙන් පැවසුවෙමු. කුඩා දරුවන් අපි දෙදෙනා දෙස බලාගෙන හඬන්නට වූහ. අපගේ හදවත් සසල විය. අනුවේදනීය අවස්ථාවක් විය.   


උදේ ආහාරයෙන් (එළකිරි සහ උගාලි) පසු අපගේ ඇඳුම් බෑග් සූද‌ානම් කරගෙන එළියට පැමිණි විට තරුණයින් හතර දෙනකු පැමිණ බෑග් සියල්ල ඔවුන් කරට ගති.   


 ‘එහෙනම් දරුවනේ, යාලුවනේ, අම්මා, අක්කාවරුනේ... අපි ගොහින් එන්නම්.   


 අපි දෙදෙනා ‘ම්ටොවාම්බු’ හන්දියට පැමිණ බස් රථයකට ගොඩවී අරූෂාව හරහා මොජි නගරයට පැමිණියෙමු.   


එතැන් සිට කුලියට ගත් කාර් රථයකින් කිලිමන්ජාරෝ දකුණු කඳු බෑවුමේ ඉහළට යමින් වනජීවී කළමනාකරණ විද්‍යාලයට සැපත් වීමු. 

 
කඳු මුදුනේ හිමකපොල්ල නැවතත් දිස්වන්නට විය. ‘කිලිමන්ජාරෝව’ සද‌ාකල්හිම නොනැසී පවතීවා.’ අපගේ පැතුමයි.