ඈත අතීතයේ සිටම බොහෝ ජනයා කපුටු සාස්තරේ, හූනු සාස්තරේ, නොයෙකුත් සතුන්, නොයෙකුත් මිනිසුන්, නොයෙකුත් පාරිසරික සාධක ආදී බොහෝ දේ ඇසුරින් පලාඵල කියන්නට පුරුදු වී සිටියහ. ගමනක් බිමනක් යනවිට පළමුව මුණගැසෙන පුද්ගලයා අනුව එම ගමනේ කටයුත්ත සාර්ථක වෙනවාද නැද්ද යන්න කලින්ම දැනගැනීමට හැකි බව ඇතැමුන්ගේ මතයයි. මෙහිදී හිස් කළයක් අතින් ගත් කාන්තාවක්, වැන්දඹු කාන්තාවක්, නරක හැසිරීම් ඇති කාන්තාවක්, ස්වාමින් වහන්සේ නමක්, අංගවිකල මිනිසකු, හිඟන්නකු, ඕපාදූප කතා කරන ගමේ සිටින මූසල යැයි මිනිසුන් විශ්වාස කරන කාන්තාවක් හෝ පුරුෂයෙක් ආදී අයෙක් පළමුව මුණගැසුණේ නම් එම ගමන ඉතා අසුභ බවත් එම කාර්යය සඵල නොවන බවත් මිනිස්සු විශ්වාස කරති. ඒ වගේම නිවසින් එළියට බසින විටම බල්ලෙකු කන්පට ගැසීම, හූනකු චික් චික් ගෑම, කාට හෝ කිවිසුම් යෑම, පූසන්ගේ බෙරිහන් දීම, බල්ලකු උඩු බිරීම, කිරළ නාදය, යමක් අමතක වී නැවත ගේ තුළට යෑමට සිදුවීම, පය පැටලීම, ගෙන යන බෑගයේ කොක්ක කැඩීයාම, අතේ තිබෙන දෙයක් බිම වැටීම ආදී දේ සිදුවූයේ නම් එම ගමනේ අසුභ ලකුණක් ලෙස ඇතැමුන් සලකනු ලබති. 


මිනිසුන්ගේ සිත් තුළ මෙවැනි විශ්වාස මුල්බැසගෙන තිබුණද ඒවායේ සත්‍ය අසත්‍යතාවක් තිබේද? කොහේවත් සිටින සතෙකුට හෝ බාහිර පුද්ගලයෙකුට තම ජීවිතයේ ඉරණම වෙනස් කළ හැකිද? 


රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රදේශයක ජීවත් වෙන නිමල්සිරි තම දෛනික ජීවිතය ගෙවන්නේ කපුටන්ගේ හෝ හූනන්ගේ ශබ්ද අනුව ය. නිමල්සිරිගේ පවුලේ සිටිනුයේ ඔහුත් ඔහුගේ බිරිඳ හා අවුරුදු විසි දෙකක් වයසැති පුතාත් පමණකි. නිමල්සිරි මේසන් වැඩ හෝ වෙනත් කුලී වැඩ දෛනිකව කර යම්කිසි මුදලක් උපයාගෙන සපයාගෙන නිවසට පැමිණෙන්නේ ඉතාමත් තෙහෙට්ටු වීය. නිමල්සිරිගේ පුතා අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත්ව නිවසට වී සිටිනුයේ කිසිදු රැකියාවකට යාමට හෝ නිවසේ ආර්ථිකයේ දියුණුවට කිසිදු උරදීමක් ගැන හෝ උනන්දුවක් නොමැතිවය. මොනතරම් අඩුපාඩුකම් තිබුණද නිමල්සිරි කපුටු සාස්තරේ හා හූනු සාස්තරේ නම් හරියටම පිළිපැද්දේය. 


හූනන්ගේ චික් චික් නාදයත් සමඟ “ඔන්න බාධා වුණා” යයි පවසමින් බොහෝ වැඩ කල්දැමීම නිමල්සිරිගේ සිරිතක් විය. කපුටකු නිවස ඉදිරියට විත් “කාක් කාක්” කියා කෑ ගැසුවහොත් “ඔන්න අද නම් ගෙදරට කවුරු හරි එනවා. අද මං වැඩට යන්නේ නැහැ” කියමින් එදින කිසිදු වැඩක් පලක් නොකර නිවසට වී කල් ගෙවයි. ඔහුගේ බිරිඳ ද ඒ කෙරෙහි විශ්වාසයක් හෝ අවිශ්වාසයක් නොදැක්වූවා සේය. 


නිමල්සිරි තම නිවසට ළඟම අසල්වැසියා වන විමල් සමඟ එච්චර හිත හොඳ නැත. ඔහුද නිමල්සිරි මෙන් මේසන් වැඩ කරන්නෙකි. එහෙත් කිසිදු දිනක රක්ෂාවට නොගොස් නිවසට වී සිටීමේ පුරුද්දක් ඔහුට නැත. වැඩ තිබුණද නැද්ද ඔහු කෙසේ හෝ එදිනෙදා වැඩක් සොයාගෙන කීයක් හෝ හම්බ කරගෙන නිවසට ආවේය. නිමල්සිරි රෑට නිවසට එන්නේ පොඩි අඩියක් ගසාය. නිමල්සිරිට එක් දිනෙක නිවසක් සෑදීමේ කොන්ත්‍රාත්තුවක් ලැබුණි. ඔහු මෙදින උදෑසනම නිවසින් පිටත්වීමට සිතා උදෑසන හත හමාරට පමණ නිවසින් එළියට අඩිය තබනවාත් සමඟම හූනකු ‘චික් චික්” ගෑවේය. “අපොයි මේ මොන මූසලකමක්ද. ආසාවෙන් යන්න හිටපු ගමනත් නැති වුණා. කමක් නෑ තව ටිකක් වෙලා ඉඳලම යනවා” නිමල්සිරි ගේ තුළට විය. ටික වේලාවක් ගොස් නිමල්සිරි නිවසින් එළියට බසිනවාත් සමඟම කපුටකු ගේ ඉදිරියේ ඇති ලී කණුවේ සිට “කාක් කාක් කාක් කාක්” යනුවෙන් ශබ්ද කළේය. “මේ මොන අසුභ දෙයක්ද. මේකා මේ නම් කෑ ගහන්නේ කොයිම හරි නස්පැත්තියකට තමා. අද මං ගෙදර ඉන්න එක තමයි හොඳ. බලමු හවස් වරුවෙවත් ගිහිං” නිමල්සිරි තම අතට ආ වාසනාවට පයින් ගැසුවේ එසේය. “මොකෝ ඒයි මේ අහස පොළව දෙදරන්න වගේ කල්පනා කරන්නේ. යන්නෙ නැද්ද” නිමල් සිරිගේ බිරිඳ ඇසුවාය. “කොහේ යන්නද අද මහ අසුභ දවසක්. මොන දේ කළත් හරියන්නෙ නැහැ නන්දෝ” සුමනසිරී තම බිරිඳ දෙස බලා පැවසුවේ අතට ආ දේ කටට දා ගන්න තරම්වත් තමන්ට වාසනාවක් නැහැයි කියා තමන්ගේ සිතටම කියාගනිමිනි. එදින හවස් වරුවේ නිමල්සිරි නිවසින් එළියට බැස්සේ තමන්ට කොන්ත්‍රාත්තුව බාර දුන් පුද්ගලයා මුණගැසීමේ අපේක්ෂාවෙනි. නිමල්සිරි රාත්‍රී නමයත් පසු වී නිවසට පැමිණියේ පොඩි අඩියක් නොව ලොකු අඩියක් දාගෙනය. “අප්පේ මේ මනුස්සයා අද හොඳටම බීලනේ කනමදයෙක් වගේ. මොකද මනුස්සයො මෙච්චර බීලා” නන්දා තම සැමියාගෙන් ඇසුවේ ඔහුගේ කියවිල්ල කනකටවත් නොගෙනය. බීමතින් නිමල්සිරි දොස් කීවේම එහා ගෙදර විමල් ගැනය. “බලහන් නන්දො මං මොනතරම් බලාපොරොත්තුවෙන්ද මේ කොන්තරාත්තුව බාර ගත්තේ. එහෙත් ඒක අර මනුස්සයා අරූට බාර දීලනේ. ඌට මොන හයියක්ද මට ලැබුණ දේ ඌ බාර ගන්න. මං බලා ගන්නම්කො” නිමල්සිරි අරූ යනුවෙන් ඇමතුවේ එහා ගෙදර විමල්වය. 


 “දැන් ඉතින් මොනා කරන්නද. ඒ උනත් ඔහේ ඔය විදියට බීලා ආවහම හරි යනවද” නන්දා නෝක්කාඩුවෙන් පැවසුවේ හෙට දින සප්පායම් වීමට කිසිවක් නිවසේ නොතිබීමත් හෙට දින මොනවා කරන්නදැයි යන සිතුවිලි කන්දරාවත් සමඟය. 


මෙදින නිමල්සිරිට කිසිදු කුලී වැඩක් ලැබුණේ නැත. ඔහු හිස් අතින් නිවසට පැමිණියහොත් තම අඹුදරුවන්ට කුසගින්නේ සිටීමට සිදුවන බව දන්නා නිසාම දින දෙකකින් දෙන පොරොන්දුව මත හිතවතකුගෙන් මුදලක් ඉල්ලාගෙන ආවේය. ඒ පැමිණි නිමල්සිරිට ඔහුගේ පුතා “අප්පච්චි මට යාළුවෙක් කීවා රස්සාවක් තියෙනවා කියලා කොළඹ. ඒක පොඩ්ඩක් බලන්න යන්න මට අතට කීයක් හරි ඕනෑ කීය. 


 “හ්ම් හෙට දිහාට බලමුකො” නිමල්සිරි කල්පනා කළේය. දින දෙකකින් තම හිතවතාගෙන් ලබාගත් ණය මුදල ද දිය යුතුයි. පුතාට ද යම් මුදලක් දිය යුතුයි. ඔහු පසුදා උදෑසන තම මිතුරකු හමුවී මුදලක් ඉල්ලා සිටියේය. ඒ මුදලින් පුතාගේ අතට මුදල් දී ඉතිරිය වියදමට තියා ගත්තේ මේ දිනවල තමන්ට කිසිදු රක්ෂාවක් නොලැබෙන බව ඉඳුරාම දන්නා නිසාය. නමුත් කලින් ලබාගත් ණය මුදල දීමට ඔහු අපොහොසත් විය. 


දින දෙක තුනක් පමණ කල්පනා කරමින් නිවසට වී සිටි නිමල්සිරි කුමක් හෝ ලැබේවි යන චේතනාවෙන් නිවසින් එළියට බැස්සේය. හිස් අතින් නිවසට ආවේය. මේ නිසාම කිහිප දෙනෙකුටම ඔහු ණය විය. ඒ මදිවට පසුදා උදෑසන නිවසින් එළියට බැස්ස පසු ටික දුරක් යනවිටම කපුටකු ඔහුගේ හිස මතටම පාත් වී ගියේය. නිමල්සිරිට යකා නැග්ගේය. 


“මේක නම් අර මිනිහගේ වැඩක්. මේ දවස්වල මට වැඩත් නැහැ. ඒ විතරක්ද මේ මූසල කපුටෙක් මගේ පස්සෙම කැරකෙනවා. විමලෙයා මට පිල්ලියක්වත් එවලද දන්නේ නෑ. නැත්තම් ඌට වැඩ තියෙන්නත් ඌ ගජරාමෙට ඉන්නත් මං හිඟාකන්නත් හේතුවක් නෑනෙ” 


මේ වේලාවේ නිමල්සිරිට එක එක දේවල් මතක් වෙන්නට පටන් ගත්තේය. “මමත් කරන්නම්කො හොඳ වැඩක්” තමන්ටම මුමුණා ගනිමින් ඔහු පිටත් විය. 


මොන දේ කළත් හරියන පාටක් නැත. එන්න එන්නම ප්‍රශ්න පමණකි. අවුරුද්දේ වැසි කාලවලදී ප්‍රශ්න තව තවත් උග්‍ර වේ. හිඟා නොකා හිඟා කන තත්ත්වයකට ඔවුන් පත්විය. දැන් දැන් මානසික මෙන්ම ශාරීරික ලෙඩ රෝගවලින්ද නිමල්සිරිට අඩුවක් නොවුණි. නිතරම කුමන හෝ අසනීපයකි. වරෙකදී හිසරදය, වරෙක කරකැවිල්ල, දණහිස් වේදනා, පපුවේ දැවිල්ල නිතර නිතර ඔහු පෙළෙන්නාවූ රෝග කීපයකි. මේවාද කපුටු පිල්ලියක් එවීම නිසා සිදුවූ දේ හැටියට නිමල්සිරි විශ්වාස කළේය. ණය ලබාගත් කිහිප දෙනාද නිතරම මුදල් ඉල්ලා ඇවිටිලි කරති. නිවසේ හරියක උයන පිහන දෙයක් නැත. නිමල්සිරිගේ පුතා නුවන් ද කොළඹ ගොස් රක්ෂාවක් හරි නොගිය නිසා දින දෙක තුනකින් නිවසට පැමිණියේය. 


නිමල්සිරිට කුළුපග වූ කීපදෙනෙක්ම නිමල්සිරි සොයා ආවේ ඔහුට කියා තම නිවෙස් අලුත්වැඩියා කරගැනීමේ කටයුතු ඔහුට පැවරීමටය. ඒවා භාර ගත්තත් දිනපතා නිවස ඉදිරිපිටට පැමිණෙන කපුටා නිසා සියල්ල අතපසු කරගත් නිමල්සිරි පසුව කනගාටු වූයේ කපුටාට තමන් දන්නා සියලු වදන් වලින් බැණ වැදී තම අසල්වැසි විමල් කෙරෙහි වෛර බැඳගත්තේය. සමහර දිනවලදී කපුටා හෝ හූනා තමන්ට කරදර කිරීමට නොආවත් නිමල්සිරිට ඒ දිනවලට රක්ෂාවක් නම් ලැබුණේ නැත. එන්න එන්නම ආර්ථිකය ද පහත බසී. මානසික පීඩනයද උත්සන්න වෙයි. 


නිමල්සිරි පාසල් අධ්‍යාපනය ද හරිහැටි සම්පූර්ණ කර නොගත් අයෙකි. විවාහ වීමට පෙරද විවාහයෙන් පසුද නිමල්සිරිගේ ගතිගුණවල වෙනසක් නොවීය. ඔහු බොහෝ දේවල් කළේ කපුටාගේ හෝ හූනාගේ ශුභ අශුභ සලකා බලාය. ඒ නිසාම නිමල්සිරිගේ ජීවිතයේ බොහෝ දේවල් ඔහුට මගහැරී ගියේය. 


නිමල්සිරි බෙහෙවින්ම අසනීප විය. නිමල් සිරිත් නන්දාත් සිතුවේ මෙය විමල්ගේම වැඩක් වෙන්නට ඇති බවයි. ඒ නිසාම නිමල්සිරි කැටුව නන්දා ගියේ දන්නා හඳුනන අයෙකු මාර්ගයෙන් තමන් විස්තර දැනගත් කපු මහතකු සොයාය. තරමක බේබදු පෙනුමකින් යුතු කපු මහතා සීනුව නාද කරමින් දේවාලය තුළ සිට පැමිණියේ උගුර පාදා ගනිමිනි. 


“මොකද මේ මනුස්සයට වෙලා තියෙන්නෙ” නිමල්සිරිව පෙන්නා කපු මහතා ඇසීය. 


“අනේ කපු මහත්තයො මගේ මනුස්සයට දැන් කාලයක ඉඳලා හරියට අසනීප වෙනවා. රක්ෂාවට යන්නත් බෑ. අපි අන්තිමටම වැටිලා ඉන්නේ. එහා ගෙදර විමල් අපෙ මනුස්සයට මොනවා හරි කරලා තියෙනවා. හැමදාම ගේ ළඟට ඇවිත් කපුටා කෑ ගහනවා. දවසක් දෙකක්ම ඔළුවට කොටන්නත් ගියා අපේ මනුස්සයගේ” නන්දා තම සැමියාගේ තතු එලෙස පැවසුවාය. 


කපු මහතා සියල්ල වටහා ගත්තේය. “හොඳා හොඳා මං බලන්නම්කො මොකක්ද වෙලා තියෙන්නෙ කියලා” කපු මහතා එලෙස පවසා නන්දාට පඬුරු ලෙස රුපියල් තුන්සිය හැටක් බුලත් කොළයක් මත තබා මල් වට්ටිය මත තබන ලෙස පැවසුවේය. බොහෝ වේලාවක් යනතුරු කපු මහතා දෙවියන්ට කන්නලව් කළේය. එක්වරම ආරූඪ වූ කපු මහතා 


“පිරිමි ප්‍රාණකාරයකු පෙන්නනවා. ඔව් කපුටු පිල්ලියක් එවලා. මේක එසේ මෙසේ පිල්ලියක් නෙමෙයි. පවුල සී සීකඩ යවන්න කරලා තියෙන්නේ. ගෙදර ස්වාමියාගේ මරණය සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම. ඒ විතරක් නෙමෙයි ගෙදර හූනො හැමතැනම ඉන්නවා. මේක ඉක්මනට පන්නලා දාන්න ඕනෑ” මෙසේ කියූ කපු මහතා දේවාරූඪයෙන් මිදී 


 “මේක ඉවරයක් කරන්න රුපියල් පහ​ෙළාස් දාහක් යනවා. මිනී ඔළුවකුත් ගේන්න වෙයි කනත්තට ගිහිං. ඒක මංම කරන්නම්. මුදල් දීලා යන්න” කීවේය. 


එහෙත් නිමල්සිරිලා වැටී තිබෙන තත්ත්වය අනුව ඔහුගේ සන්තකයේ කිසිදු මුදලක් නොවීය. එහෙත් දින දෙකකින් මුදල් ලබා දෙන බව පවසා ඔවුහු පිටත් වූහ. නන්දා තම ඥාතිවරියකගෙන් එම මුදල ඉල්ලා ගත්තේ මාසයකින් පමණ පොලී මුදලකුත් සමඟ ලබා දෙන බවට පොරොන්දු වීය. මුදල් රැගෙන කපු මහතාට ගෙන ගොස් දී පසුදා මැදියමේ දී කපුටු පිල්ලිය පලවා හැරීමට කපු මහතාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පසුවිය. 
එදින කපු මහතා රාත්‍රී නවයට පමණ තවත් කොට්ටෝරුවන් (ගැත්තන්) දෙදෙනෙකු සමඟ පැමිණියේ නිමල්සිරිගේ නිවස අවට ද පරීක්ෂා කරමිනි. මැදියම් රැය ඉකුත් වනතුරුම බෙර ගසමින් නටමින් ගිනි ගසමින් කපු මහතා මිනී ඔළුවද රැගෙන ගොස් මැදියම ඉක්ම වන්නට පෙරම නිවස ඉදිරියේ වළලා දැමුවේය. මිනී ඔලුව වළලන අතරතුරේදීද පැය භාගයක් පමණ මැතිරූ කපු මහතා මිනී ඔළුව පිටතට ගෙන “දැන් ඉතිං මොන පිල්ලියකටවත් පැත්ත පළාතේ එන්න බෑ. ඔය ගේ ඇතුළ පිරිසිදුව තබා ගත්තොත් හොඳා. අපිරිසිදු තැන්වලට බැල්මවල් වැටෙනවා” එලෙස පවසා ගැතියන් දෙදෙනාද සමඟින් නික්ම ගියේය. 


නිමල්සිරිගේ නිවස බොහෝ විට අපිරිසිදු ස්ථානයක් බවට පත්වී තිබුණේය. නිවස තුළට පැමිණි ක්ෂණයේම කපු මහතාට එය වැටහුණි. රෙදි තැනින් තැන දමා ඇත. උයා පිහා ඇති භාජන දවස් කීපයක්ම එලෙසම තිබී ඇති බව දැනුණේ කුස්සියට ඇතුළු වනවාත් සමඟම දැනුණු අප්‍රසන්නකාරී ගඳ නිසාය. නිමල්සිරි අසනීප වූවාට පසු බොහෝ විට නිවසේ හොද්දක් බතක් පිසුවාද මතක නැත. නිමල්සිරිගේ බිරිඳ ඇයගේ මවගේ හෝ ඥාති නිවසකට ගොස් කීයක් හරි ලබාගෙන එන දෙයකින් කඩයට ගොස් යමක් රැගෙන විත් තිදෙනාම එයින් කුසගින්න නිවා ගත්තා විනා බොහෝ දුරට දිනකට වේල් තුනෙන් එක් වේලක් හෝ මඟහැරුණි. අඳින ඇඳුමක් හෝ සෝදා ගැනීමට සබන් කෑල්ලක් ගත නොහැකි තරමටම ආර්ථිකය පහළ වැටුණි. මේ තත්ත්වය උඩ කපු මහතාට ද රුපියල් පහළොස් දහසක මුදලක් දෙන්නට සිදුවිය. ණයට මුදල් ලබාගත් කිහිප දෙනෙක්ද නිතරම නිවසට පැමිණ මුදල් ඉල්ලා සිටිති. 


කපු මහතා පිල්ලිය ඉවත් කළ පසු ටික දිනක් යනතෙක් කපුටා නිවස අසලට පැමිණියේ නැත. නන්දා ගේ දොර පිරිසිදුව තබා ගන්නට අමතක නොකළාය. හූනන්ගේ කරදරය නම් බොහෝ දුරට හමාර වී ඇත. කපුටාද දින කීපයක්ම දක්නට නොලැබුණි. නිමල්සිරිලා තව තවත් විශ්වාසයෙන් බැඳුණේ මේ සිදුවීම් හරහාය. 


එහෙත් සිදුවුයේ කුමක්ද ? තවත් දින කීපයක් ගෙවී ගිය විට නැවත කපුටා නිවස අසලට පැමිණ “කාක් කාක්” කියා කෑ ගසන්නට විය. නිමල්සිරිට මෙය අදහාගත නොහැකි විය. කොපමණ කපුටෝ තම නිවසේ වහලය උඩ සිටියද නිවස ඉදිරියේ කණුවට පැමිණෙන එක් කපුටකු පිළිබඳව පමණක් නිමල්සිරි සිටියේ හොඳින් මතක තබාගෙනය. ඒ අතරතුර තවත් කපුටකු දෙන්නකු කණුව උඩට පැමිණියත් එය ඔහුට ගානක් නැත. කපු මහතා කපුටු පිල්ලිය යැවීමට පෙර සිටම මෙය මෙසේ සිදුවිය. 


තවදුරටත් මොවුන් මානසිකව ඇදවැටුණි. මොවුන්ගේ මෙම පරිහානිය පිළිබඳව ගමේ බොහෝ දෙනා කතා කරන්නට වූහ. “නිමලසිරියා ඔය කියන දේ අහන්නෙ නැහැනේ. මිනිහට ලෙඩක්ද කොහෙද” යනුවෙන් පැවසූ ගම්වාසීන් එක්වී මොවුන්ගේ මෙම ගැටලුව ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්.  විද්‍යා කුලපති මහතා වෙත යොමු කෙරිණි. මොවුන්ගේ ඉතිහාසය පිළිබඳව වෙන වෙනම දිගු වේලාවක් කතා කළ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ගැටලු විසඳීම භාර ගැණිනි. පළමුව නිමල්සිරිටත් නන්දාටත් ඔවුන්ගේ පුතාටත් මනෝ ප්‍රතිකාර ලබාදී සංයමයට පත් කළේය. නිමල්සිරිට ඖෂධීය ප්‍රතිකාර ලබාගැනීමටද නියම කෙරිණි. මාස තුනකටත් අඩු කාලයකදී මොවුන්ගේ මෙම ගැටලුව නිරාකරණය වී ඔවුන්ට හොඳ කලක් පැමිනුණි. අද වනවිට ඔවුන්ගේ ආර්ථික තත්ත්වයද සුභදායී අතට හැරී ඇති අතර, කපුටන් හූනන් ගැන ඇති මිත්‍යා මතද ඔවුන්ගේ සිත් තුළින් ඉවත් වී සිතට සතුට සැහැල්ලුව ලැබී ඇත. එහි විද්‍යාත්මක පැත්ත විද්‍යාකුලපති මහතා විසින් මෙසේ පහදා දුනි. 


නිමල්සිරි දැඩිව මිත්‍යා විශ්වාස හිතේ තබාගෙන සිටින, අධ්‍යාපනයෙන්, බුද්ධි මට්ටමෙන් අඩු පුද්ගලයෙකි. ඒ නිසා සමාජයේ තියෙන මිත්‍යා මත සිතෙහි දරාගෙන ඒවා සත්‍ය ලෙස සිතමින් කාලය ගෙවූ අයෙකි. එහි ප්‍රඵලයක් ලෙස සමාජයේ ඇති හූනු සාස්තරය, කපුටු සාස්තරය මොහු මහත් සේ සත්‍ය ලෙස සැලකීය. මේවා විශ්වාස කිරීම දැඩිවීම හේතුවෙන් ඔහුගේ එදිනෙදා ශුභකටයුතු පවා විශාල වශයෙන් පමා කරගැනීමට ඔහුට සිදුවිය. ඇත්තෙන්ම කපුටාට අනාවැකි කිව හැකිද? ඒ සම්බන්ධයෙන් ඔබ සැමදෙනාටද විවිධ මත තිබිය හැක. එහෙත් එහි සත්‍ය කුමක්ද? 


කපුටා යනු පක්ෂියෙකි. අනික් පක්ෂීන් මෙන්ම අප පරිසරයේ සිටින එක් පක්ෂියෙකු වන කපුටා අන් පක්ෂීන්ට වඩා විශේෂත්වයක් ලැබුවේ කෙසේද? මිනිසා නොදියුණු යුගයේ ඇතැම් දේවල් මත අනාවැකි පළකරන්නට, අද්භූත දේ සිතන්නට පෙලඹුනි. නමුත් මේවායේ කිසිදු විද්‍යාත්මක සත්‍යයයක් නැත. කපුටු සාස්තරයද එසේය. ඒක අප සලකන්නේත් පට්ටපල් බොරුවක් ලෙසයි. කපුටා වසන ගස මත, සිටින දිශාව මත, කෑ ගසන වේලාව මත, මලපහ හෙළන ක්‍රමය මත, සිටින ස්ථානය මත මිනිසා විසින් නොයෙකුත් දේ සාදාගෙන තිබේ. ඒවා සම්පූර්ණ මිථ්‍යාවල් පමණකි. මෙය අසන විට ඇතැම් විට ඔබ සමහරෙක් මාගේ මතයට විරුද්ධ වනු ඇත. උදාහරණයක් ලෙස කපුටකු වැඩි වශයෙන් කෑ ගැසූ පසු එදින නිවසට අමුත්තකු පැමිණෙන අවස්ථා ඔබටද තිබිය හැක. කපුටු සාස්තරය බොරුවක් නම් මෙය සිදුවූයේ කෙසේද? ඔබේ සිතටද ප්‍රශ්නයක් වනු ඇත. එය මෙසේය. යමෙකු ගෙදරට පැමිණි පසු එදින උදේ කපුටකු කෑ ගැසුවේ නම් මේ පුද්ගලයා පැමිණි පසු අපිට උදේ සිදුවීම මතකයට එයි. එවිට අපි “හරිනේ අද උදේ කපුටෙකුත් කෑ ගැහුවනේ” යනුවෙන් එම අහඹු සිදුවීම මතකයට ගනී. අමුත්තකු ආ විට එදින කපුටකු කෑ ගැසුවේ නැත්තම් අපිට එය මනසට පැමිණෙන්නේ නැතිවා මෙන්ම කපුටු සාස්තරය ගැනද මතකයක් නැත. මෙහිදී තවත් පැහැදිලි කිරීමක් සිදුකළ හැකිය. කපුටකු කෑ ගසන විට “අද නම් කවුරුම හරි ඒවි” කියා ගෙදර කතා වූ පසු ගෙදරට පැමිණෙන අසල්වාසියා වුවද අමුත්තා ලෙස සිතීමට මිනිසුන් පුරුදු වේ. මෙවැනි විශ්වාස දිගින් දිගට දිවයන්නේ ඒ හේතුවෙනි. මෙහිදී නිමලසිරිට අපි සිදුකළේ ඔහුගේ සිතේ තැන්පත් වී තිබූ කපුටු සාස්තරය හා හූනු සාස්තරය පිළිබඳව දැඩි විශ්වාසය මිථ්‍යාවක් බව යටි හිතට පහදා දීමයි. ඉන්පසු ඔහුගේ මනස විසින් මෙය බොරුවක් බව වටහා ගැනුනි. ඒ වගේම මෙම පරිසරයේ ජීවත් වීමෙන් නිවසේ තුන්දෙනාම මානසික ආතතියට පත්වී තිබුණි. අප විසින් අන් අයටද මනෝ ප්‍රතිකාර ලබාදීමෙන් සිදුකළේ ඔවුන්ගේ එම දුක, කලකිරීම, එපාවීම වැනි මානසික ආතති ලක්ෂණ සිතින් ඉවත් කර ඔවුන්ගේ සිතට සහනය ලබාදීමයි. ඉන්පසුව ඔවුහු උත්සාහයෙන් උනන්දුවෙන් වැඩපල කිරීමට ගත් හෙයින් ඉක්මනින්ම ණය තුරුස්වලින් නිදහස් වී සතුට සැහැල්ලුව ළඟා කරගත්හ. මෙහිදී ඔබහට කියන්නට තිබෙන ආදර්ශය ​ෙවන්නේ කිසිදු සතකුට, අදෘෂ්‍යමාන බලවේගයකට ඔබේ ජීවිතය පාලනය කිරීමට හැකියාවක් නොමැති බවයි. ඔබේ ජීවිතයේ රියැදුරා ඔබයි. එය නිසිමග රැගෙන යාමට හැකියාව තිබෙන්නේ ඔබේ සිතටමයි. 


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, සත්‍යා සිදුවීමකි.) 

 


සටහන ඡායාරූප 
හබරාදූව නිමල් අල්ගෙවත්ත