පොලිස් චෝදනාගාරයෙන්

 

 

සිරියාවතී රත්නපුර ප්‍රදේශයේ පදිංචිකාරියක වූ 83 හැවිරිදි වයෝවෘද්ධ මාතාවකි. වයසට ගියත් සිරියාවතී හා ඇගේ සැමියා ජයසේන එකිනෙකාට බොහොම ආදරයෙන් සලකමින් ජීවත්වූ ආදරණීය යුවළක් විය. අතපය වාරු තිබෙන තුරු ගඩොල් කපා හරි හම්බ කරමින් සිය දරු පවුල රැකගත් ජයසේනට දැන් ඒ හයිය නැත. අංශභාග රෝගියෙක් වූ ජයසේනට අත්වාරුව බවට පත්වුණේ සිරියාවතීය. තනිව ඇවිද ගන්නට නොහැකිව එක්තැන්ව ජීවත් වෙන සිය සැමියාට ඇප උපස්ථාන කරමින් සිරියාවතී ජීවත් වූයේ එය කිසිම බරක් බවට පත්කර නොගනිමිනි. එහෙත් මීට මාස කීපයකට පෙර එනම් 2017 දෙසැම්බර් 29 වැනිදා ජයසේනගේ අත්වැල කැඩී ගියේය.

එදා රාත්‍රීය එතරම් අඳුරු රාත්‍රියක් නොවීය. දුරුතු පෝයට තව ඉතිරිව තිබුණේ සතියක පමණ කාලයකි. ඒ නිසා රාත්‍රී අට පමණ වන විට අහස ගැබ අරා සඳ මෝදු වෙමින් තිබිණ. ජයසේන තවමත් නොවැසූ ජනේලයෙන් සඳ දිහා බලාගෙන කල්පනා කරන්නට විය. පෝය කියක් නම් පන්සලකට යන්න බැරුව මේ ගෙයි බිත්ති හතරට මැදිවී සිටින්නට තමන්ට සිදුවෙන්නට ඇත්දැයි ඔහුට කල්පනා වෙන්නට ඇත. එහෙත් පන්සල් යන්න ඕනෑ කියලා සිරියාවතිට කරදර කරන්නේ කෙසේද? තමන්ගේ සියලු ආවතේව කරන ඇයට මේ ගැන පවසා මානසික වදයක් වන්නේ කුමක්ට ද? ඇය දැන් සුලු මොහොතකට පෙරත් තමන්ගේ රාත්‍රී ආහාර ගෙනවිත් කවා පොවා පිටවූවා පමණි. ජයසේන සිරියාවතී කරන කියන දෑ ගැන කන්දීගෙන සිටියේය. පසුපස යමින් ආරක්ෂාව සැපයීමට නොහැකි වුවත් මෙසේ කන්දීගෙන සිටීමෙන් ඇය ගැන තමන් සොයා බලන්නේ යැයි හිත හදා ගැනීමට ඔහු උත්සාහ කළේය.


කවුදෝ කු්සිය දෙසින් ඇවිද යනවා වගේ හඬක් ජයසේනට ඇසුනේ ඒ තියුණූ කන්දී සිටීම නිසා වෙන්නට ඇත. ඒ සමගම කිසිවෙකු ගෙයි පිටුපස තිබූ පනිට්ටුවේ ගැටෙන හඬක් ඇසිණ.


මට වතුර ටිකක් දෙන්න පුලුවන්ද?


පිටත සිටි කවුදෝ පිරිමි අයෙක් වතුර ඉල්ලා සිටියේය. ඒ කවුදැයි සොයා බැලීමට තරම් බියක් සැකයක් සිරියාවතීට තිබුණේ නැත. මේ නහින දෙහින වයසේ ඉන්න තමන්ට කරදරයක් කරන්න තරම් කාටද උවමනාවක් තිබෙන්නේ. ඇරත් ගෙට පැන සොරාගන්න තරම් දෙයක්ද ගේ හරියේ නැති බව මුලු ගමම දන්නා ඇත්තකි. ඒ නිසා බය වෙන්නට කිසිත් නැත. ඇය වතුර විදුරුවක්ද පුරවාගෙන කුස්සියේ දොර විවර කළාය. කුස්සියේ දොර කෙඳිරිගාගෙන ඇරෙන හඬට ද ජයසේන කන්දීගෙන සිටියේය. එහෙත් ඒ සැණින්ම ඇසුණ සිරියාවතිගේ බිපත් හඬත් සමග ආ වේදනාත්මක කෙඳිරිය වාරු නැති දෙපා මත ජයසේන හිටුවාලන්නට තරම් සමත් විය. සිරියා සිරියා යැයි ඔහු කිප වතාවක් ඇමතුවද කෙඳිරියක් මිස වෙනත් කිසිම ප්‍රතිචාරයක් නැත. කවුදෝ දඩි බිඩියේ මිදුලට පැන දුවන හඬක්ද ඔහුට ඇසිණ.


ජයසේන සැරයටියට වාරු දෙන අතර බිත්ති අල්ලාගෙන සෙමින් සෙමින් කුස්සිය දෙසට ඇදුණේය. එහිදි දක්නට ලැබුණ දසුනින් ජයසේනගේ දෑස් නිලංකාර වුවාසේය. සිරියාවතී ලේ විලක් මැද ඇද වැටී සිටියාය. ඔහු අමාරුවෙන් බිම දිගේ ඇදි ඇදී සිරියාවතී අසළට සේන්දු විය. ඇය අසළ බිම වාඩිවි සිරියාවතිට කතා කිරීමට උත්සාහ කළත් ඇගෙන් වදනකුදු පිටවූයේ නැත. ඔහු තමන්ට පුලුවන් උපරිම ශක්තිය යොදා අල්ලපු ගෙදරට ඇසෙන සේ කෑ ගැසුවේය. සුලු වේලාවකින් එක්තරා තරුණයෙක් එහි පැමිණියේය. සිරියාවති රෝහලකට රැගෙන යාමට සහය වන ලෙස ජයසේන ඔහුගෙන් ඉල්ලා සිටියේය. එහෙත් ඔහු එයට යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. එසේ කළ නොහැකි නම් පොලිසියට ඇමතුමක් දී මේ කරදරය ගැන දන්වන ලෙස ඉල්ලා සිටියේය. අර තරුණයා එයටද යහපත් ප්‍රතිචාර නොදැක්වීය. ඔහු කිසිවක් නොදැක්කා සේ පිටව ගියේය.
ජයසේන සිරියාවතී අත්නොහැර ඇය ළඟටම වී දුක් සුසුම් හෙළුවේය. තමන්ට යමක් කර ගැනීමට නොහැකි වීම ගැන තමන්ටම දොස් පවරා ගත්තේය. පැය කීපයකට පසු තමන්ගේ ජීවන ගමනේ අත්වැල සම්පූර්ණයෙන්ම බිඳී ගොස් බව ජයසේනට වැටහිණ.


පසුදින උදෑසන හතට අටට පමණ රත්නපුර පොලිසියේ නිලධාරින් පිරිසක් සිරියාවතිලගේ නිවසට පැමිණියහ. ජයසේන සිදුවූ සියල්ල නොවළහා පොලිසියට පැවසුවේය.


ජයසේන මහත්තයා ඔයාලට කවුරු හරි තරහකාරයෝ ඉන්නවාද?


‘‘අනේ රාළහාමි අපට දන්න තරමින් නම් එහෙම තරහ කාරයෙක් නැහැ. අපේ නෝනට මගේ වැඩ ටික කරන්නම කාලේ යනවා මිසක් අහල පහල ගෙදරකට ගිහින් කතා කරන්නවත් වෙලාවක් නැහැ. එහෙම එකේ කාගෙවත් ප්‍රශ්නයකට අතදාපු නිසා මෙහෙම වුණා කියලා හිතන්නත් බැහැ. මට තේරෙන්නේ නෑ මහත්තයෝ මේවා කොහොම වෙනවද කියලා. මේවා පුරුවේ කරුමම තමා. ජයසේන හිත හදාගන්න උත්සාහ කළේ සියල්ල කරුමයට බාරදෙමිනි.


පොලිසියට එය එසේ කළ නොහැකිය. අපරාධයක් සිදුව තිබේ නම් අපරාධකරුවෙකු සිටිය යුතුය. ඔහු සොයා නීතිය හමුවට ඉදිරිපත් කිරීම පොලිසියේ රාජකාරියයි.

 

සිරියාවතී රත්නපුර ප්‍රදේශයේ පදිංචිකාරියක වූ 83 හැවිරිදි වයෝවෘද්ධ මාතාවකි. වයසට ගියත් සිරියාවතී හා ඇගේ සැමියා ජයසේන එකිනෙකාට බොහොම ආදරයෙන් සලකමින් ජීවත්වූ ආදරණීය යුවළක් විය. අතපය වාරු තිබෙන තුරු ගඩොල් කපා හරි හම්බ කරමින් සිය දරු පවුල රැකගත් ජයසේනට දැන් ඒ හයිය නැත. අංශභාග රෝගියෙක් වූ ජයසේනට අත්වාරුව බවට පත්වුණේ සිරියාවතීය. තනිව ඇවිද ගන්නට නොහැකිව එක්තැන්ව ජීවත් වෙන සිය සැමියාට ඇප උපස්ථාන කරමින් සිරියාවතී ජීවත් වූයේ එය කිසිම බරක් බවට පත්කර නොගනිමිනි. එහෙත් මීට මාස කීපයකට පෙර එනම් 2017 දෙසැම්බර් 29 වැනිදා ජයසේනගේ අත්වැල කැඩී ගියේය.


පොලිසිය අංශ කීපයක් ඔස්සේ පරීක්ෂණ දියත් කළේය. ඒ සිවිල් පොලිස් නිලධාරින් සාමාන්‍ය පුද්ගලයන් සේ ගමේ අය සමග මුහුවී සිරියාවතීලට ඔවුන් නොදැන හෝ යම් හතුරෙක් සිටියේද යන කාරණාව ගැන සෙවීමටය. මෙම ස්ථානයට පැමිණි පුද්ගලයා පිළිබඳව ස්ථානීය පරීක්ෂණයකින් සාක්ෂි සොයා ගැනීමට කටයුතු කිරීම, ගමට පැමිණි ආගන්තුක පුද්ගලයන් කවුදැයි සොයා බැලීම. ඒ අංශ කීපය වේ.


ටික දවසකින්ම පොලිසියට හෝඩුවාවක් ලැබිණ. ඒ ගමේ නොවන පුද්ගලයෙක් ගමේ කාන්තාවක් සොයමින් දින කීපයක් තැනින් තැන සැරි සැරූ බවය. මේ හෝඩුවාව ඔස්සේ යමින් පරීක්ෂණ කළ පොලිසියට ආගන්තුකයා සොයා පැමිණි කාන්තාව ගැන දැන ගන්නට හැකිවිය. සිද්ධිය වෙන දවසේ ඇය සිටියේ ගමෙන් පිටය. එහෙත් සිරියාවතීගේ මළ ගෙදරට ඇය පැමිණියාය. පොලිසිය ඇයගෙන් ප්‍රකාශයක් ගනු ලැබීය. (මෙතනින් එහාට මේ කතාවේදි ඇයට අපි නාමලී යැයි කියමු)


නාමලීගේ ප්‍රකාශයට අනුව ඇය සරත් නමැති අයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත. ඔහු විවාහකයෙකි. මේ සම්බන්ධතාව ගොඩනැගී තිබෙන්නේ ඇය ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදීය. වසර කීපයක් ඔවුන් මෙම සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇත. එහෙත් ඇඟලුම් කම්හලේ රැකියාවද අතහැර ගමට පැමිණි නාමලී සිය අනියම් සබඳතාව පවත්වාගෙන යාමට අකමැති වූවාය. එයට බලපෑ හේතු කිසිවක් ඇය සතුව තිබෙන්නට ඇත.


කෙසේ වෙතත් තමන්ගේ ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටීම නිසා සරත් හිටියේ දැඩි කනස්සල්ලකිනි. ඔහුට නාමලී සමග දැඩි කේන්තියක් ඇති විය. ඇය සමග මේ ගැන කතා කර විසඳුමක් සොයා ගැනීමට සරත් සිතුවේය. සරත් නාමලීගේ ගමට පැමිණියේ ඒ අනුවය. එහෙත් අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය සරත් මෙම සිදුවීමට දින කිපයකට පෙර ගමට පැමිණ ඇත. ඒ නාමලී ඔහුව මගහැරීම නිසා ඇයව යළි සම්බන්ධ කරගැනීමේ අදහසිනි.

 

 

එහෙත් නාමලී හමුවීමට ඔහුට නොහැකි විය. නාමලී යන එන තැන් ගැන ඔහු සෙවිල්ලෙන් පසුවිය. සරත් ගමට ඇවිත් සිටින බව දැනගත් පසු නාමලී ඔහුගෙන් වසන් වීමට නිවස අතහැර වෙනත් තැන්වලට ගියාය. මෙයින් සරත් තුළ නාමලී කෙරෙහි වෛරයක් ඇතිවිය. ඇයව මරාගෙන මැරෙන තරම් ඒ සිත් රිදවීම දුරදිග ගොස් ඇතිසේය.


සිද්ධිය වූ දිනයේ දහවල් නාමලී සිරියාවතීලාගේ නිවසට පැමිණ ගොස් තිබේ. සරත් කෙසේ හෝ මේ තොරතුර දැනගන්නට ඇත. නාමලී සිරියාවතීගේ ගෙදර ආවත් ආපසු පිටවු බවක් දැනගන්නට නැත. නාමලී මේ නිවසේ සැඟවී ඇතැයි සැකයෙන් සරත් ඒ නිවස වටේ කරක් ගසන්නට ඇත. සිරියාවතී ජයසේනට කෑම කවනවාද සරත් ජනේලයෙන් බලා සිටින්නට ඇත. ඇය කුස්සියට එන්නට පෙර නාමලී එළියට ගැනීමේ අරමුණ ඇතිව සරත් කුස්සිය පැත්තෙන් වතුර ඉල්ලා ගෙන එන්නට ඇත. එහෙත් නාමලී නොසිටි නිවසේ වතුර වීදුරුව අරගෙන එළියට පැමිණියේ සිරියාවතීය. නාමලී වෙනුවෙන් අමෝරාගත් උල්පිහිය කිසිවෙකුටත් වරදක් නොකළ සිරියාවතීගේ පපුව පසාරු කරගෙන කිඳා බැස්සේය. වැඬේ වැරදුණ බව දැනගත් සරත් ඇය තමන් හඳුනාගනී යන සැකයෙන් තවත් පිහි පහර කීපයක් එල්ල කොට පැන දිව්වේය.


එහෙත් අපරාධකරුවෙකුට සදාකාලිකවම අපරාධයක් වසන් කරගෙන සිටිය නොහැකිය. පොලිසිය නාමලීගෙන් ලද තොරතුරු අනුව සිද්ධියේ අවස්ථා සම්බන්ධය ගොඩනගා ගත්තේය. පසුව නාමලී ලවාම සැකකාර සරත්ට ඇමතුමක් ලබා ගත්තේය. මේ ප්‍රශ්නය දුරකථනයෙන් කතා කර විසඳිය නොහැකි නිසා තමාව හමුවීමට රත්නපුර නගරයේ ඔර්ලෝසු කණුව අසළට පැමිණෙන ලෙස ඇය සරත්ට පැවසීය.


අවසානයේ තමන් දිණුවේ යැයි සිතමින් සරත් රත්නපුරයට පැමිණියේය. යොදාගත් තැන නාමලී සිටියේ නැත. ඔහු නාමලීට ඇමතුමක් ලබා ගත්තේය. ඒ හා සමගම පොලිසිය ඔහු අල්ලාගෙන මංචු දමා ජිප් රථයට නංවා ගත්තේය. ගමක් කැළඹූ සිරියාවතීගේ මරණයේ අභිරහස එසේ හෙළිදරව් වූ අතර වැරදිකරුවා ද අත්අඩංගුවට පත්විය.


රත්නපුර පොලිස් ස්ථානාධිපති මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඒ. උදයකුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. එම්. සමන් පාලිත, උප පොලිස් පරීක තුසිත කුමාර, පොලිස් සැරයන් ජයසුන්දර, පොලිස් කොස්තාපල්වරුන් වන (37730) විරසිංහ, (8046) තිලකරත්න, (42837) සිල්වා යන නිලධාරින් පරීක්ෂණ සිදු කළහ.


(රත්නපුර දිස්ත්‍රික්කයේ සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් සකස් කළ මෙම කතාවේ සඳහන් නම් ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සළකන්න)

 

 


මුදිතා දයානන්ද සමග 
රත්නපුර විශේෂ අප්සරා යෝෂිත් විජේසූරිය