වැව්ගම්පත්තුවේ වනමං දිගේ... 5
පුරාණ රෝහණ රාජධානියේ කොටසක් වූ දිගාමඩුල්ල එදත් අදත් බත බුලතින් සපිරි සශ‍්‍රීක බිම් පෙදෙසකි. වත්මන් දිගාමඩුල්ලේ වැව්ගම්පත්තුව වූ කලී කතා සරිත් සාගරයක් මවන පාරාදීසයක් කිවහොත් නිවැරැදිය. මීට වසර තිහ හතළිහකට පමණ පෙර මේ බිමේ සිටි අපූර්ව මිනිසුන් ගැන පමණක් නොව වන සතුන් සහ මිනිසුන් අරභයා ගෙතී ඇති අපූර්ව මෙන්ම ත‍්‍රාසජනක කතා පුවත් ඈත මෑත යුගයේ වැව්ගම්පත්තුවේ වන මං මැදින් ඇවිද යන විට අපට හමු විය.
ඒ අතරින් වැව්ගම්පත්තුවේ රාජ්‍ය සේවයට පැමිණි බොහෝ දෙනා ලැබූ අත්දැකීම් විශේෂිතය. ඔවුනගේ චරිත කතාවද විශේෂිතය. එයින්ද වැව්ගම්පත්තුවේ ගුරු සේවයට පැමිණි වැඩිමනත් දෙනා අත් දුටු දේ වනමං දිගේ ඇවිද යන විට හමු විය. නුහුරු නුපුරුදු රටකට ගියා බඳු වූ වැව්ගම්පත්තු ගමන ඔවුනට ත‍්‍රාසය, භීතිය මෙන්ම අපූර්වත්වය ද එක් කර ඇත.
රූස්ස ගහ කොළවලින් සපිරි නොඉඳුල් වනාන්තර මැද පිහිටියා වූ ගම්මාන අසල වුවද දිවා රෑ වෙනසකින් තොරව ගැවසෙන වන සතුන්ගේ හොස්ස අස්සෙ වැඩ කරන්නට ඔවුනට සිදු විය. කලාතුරකින් ගමට පැමිණෙන රටේ මහත්තයා හෝ මහ ඒජන්ත නොඑසේනම් පසු කලෙක ප‍්‍රාදේශීය ආදායම් නිලධාරි සේම ඉස්කෝල පරීක්‍ෂක ඈත රටකින් එන නිලධාරින් බඳු විය. ඒ තරමටම වැව්ගම්පත්තුව වන ගත බිම් කඩකි.
මෙවන් පසුබිමක් තුළ එවක වැව්ගම්පත්තුවේ සේවය කළ යෝධගේ සමරතිලක ඇදුරුතුමන්ට එක්තරා දිනෙක අපූරු දඬුවමක් ලැබුණි. ඒ ඔහු තොට්ටම විද්‍යාලයේ සේවය කරමින් සිටි කාලයකදීය. මේ ඔහුගේ කතාවයි.
“දමන විද්‍යාලයේ සේවය කරමින් හිටපු මම තොට්ටම ඉස්කෝලෙට ආවේ 1963.03.01 වෙනිදා. එතකොට තොට්ටම ඉස්කෝලේ විදුහල්පතිවරයා වුණේ කේ.සී. ඩයස් මහත්තයා. එයාගේ නෝනත් ඒ පාසලේම උපගුරුවරියක විදිහට වැඩ කළා. ඒ කාලේ තොට්ටම කියන්නේ බොහෝම නොදියුණු ගම්මානයක්. තොට්ටමට එහා බක්මිටියාව. ඊටත් වඩා නොදියුණුයි. හතර වටේම මහා ඝන වනාන්තර තමයි තිබුණේ.
ඒ කාලේ පවුල් 42 ක් විතර තමා ගමේම හිටියේ. ඉළුක් සෙවිලි කරපු විදුහල් ශාලාවෙම කාමරයක් තමා විදුහල්පති නිවාසය වුණේ. ගමට එන්න තිබුණේ බොහෝම පටු කැලෑ පාරක්. අම්පාර නගරයේ ඉඳලා එන ලංගම බස් එක ආවේ අම්බලන්ඔය හංදියට විතරයි. එතන ඉඳලා කිලෝමීටර් පහළොවක විතර දුර අපි එන්නේ පයින් තමා. කලාතුරකින් කරත්තයක නැගලා එනවා.
එහෙමත් නැත්නම් පා පැදියක එනවා. අතරමග දී හම්බවෙන ගම් දෙක තමා මඩාන සහ මඩවලලන්ද. පස්සේ කාලෙක ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලය මගින් අම්බලන්ඔය වැව හදනකොට ඒ හරිය තරමක් ජනාකීර්ණ වුණා. එහෙම නැත්නම් මඩවලලන්දෙන් පස්සේ කිලෝමීටර් දහයක් දොළහක් යනකම් මිනිස් පුළුටක් නැති මහා ඝන වනාන්තරය. ගමනාගමන අපහසුතාව නිසා ගමට ලංගම බස් රථයක් ගෙන්න ගන්න අපි කටයුතු කෙරුවා.
මාන්තොට්ටම කුකුළුවා විහාරයේ විහාරාධිපති වාචිස්සර හාමුදුරුවොත් මමත් එකතු වෙලා ඩිපෝවට කළ ඉල්ලීම අනුව අපට බස් එකක් දෙන්න සියලුම කටයුතු සූදානම් කෙරුණා. ඒත් බස් එකක් එන්න තරම් සුදුසු පාරක් නොතිබුණ නිසා ගමේ හැමෝම එකතුවෙලා ශ‍්‍රමදානයකින් අම්බලන්ඔය වැව්බැම්මේ මෙහා කෙලවර ඉඳලා බස් එකක් එන්න සුදුසු විදිහට පාර සංවර්ධනය කර ගත්තා.
පාර සංවර්ධනය කළාට පස්සේ බස් එකක් ගමට එන දිනයත් නියම වුණා. මම එදා ඉස්කෝලේ ගියේ නෑ. එදා නිවාඩුවක් දැම්මද නැද්ද කියලා මතක නෑ. කොහොම නමුත් හවස් වරුවේ ඉඳලා ගමේ අනිත් අයත් එක්ක බස් එක ගමට එන තැන උත්සවේට ගියා. උත්සවේ සංවිධාන කටයුතුවලටත් මම මූලික වුණා. ගමට බස් එකක් එන එක ගැන ගමේ හැමෝම සතුටින් තමා හිටියේ. මේ කැලේට මොන බස් ද කියලා අවඥාවෙන් කතා කළ අයත් හිටියා.
ඔය අතරේ එදා හවස අම්පාර අධ්‍යාපන නිලධාරිතුමා ඉස්කෝලෙට ඇවිල්ලා තියෙනවා. එතුමා ඇවිල්ලා තිබුණේ පාසල් සංවර්ධන සමිතිය මගින් ඉස්කෝලේ අලුතින් හදලා තිබුණ වැසිකිළි දෙක පරික්‍ෂා කර පාසලට පැවරීම සඳහා සහ හවස 4 ට පැවැත්වෙන පාසල් සංවර්ධන සමිතියේ රැස්වීමකට සහභාගි වෙන්න. එදා එවැනි රැස්වීමක් තියෙන බව මම දැනගෙන හිටියේ නෑ. ගමේ අයත් කල් වේලා ඇතිවම බස් එකේ උත්සවයට ඇවිත් තිබුණා.
ඒ නිසා පාසලේ රැස්වීමට කවුරුවත්ම හිටියේ නෑ. කොහොමින් හරි විද්‍යාලයේ එකම උප ගුරුවරයා වුණ මම නැති එක ගැන විපරම් කරලා බලලා තියෙනවා. අලුතින් ගමට එන බස් එක වෙනුවෙන් සූදානම් කරන උත්සවේ ළඟ මම ඉන්නවා කියලා ඉස්කෝලේ මුල් ගුරුතුමා කියලා තියෙනවා. ඉතින් අධ්‍යාපන නිලධාරි තුමා බොහෝම නොසතුටින් ආපසු යන ගමන් මම ඉන්න තැනට ඇවිත් “ඉස්කෝලේ රැස්වීමට සහභාගි නොවීම වරදක්” කියලා ප‍්‍රකාශ කරලා ගියා. මමත් ඉතින් වෙන දෙයක් වෙද්දෙන් කියලා හිටියා.
ඉතින් 1963.10.30 වෙනිදා රාත‍්‍රී 7 ට විතර තොට්ටම ගමට එන මංගල බස් රථය ආවා. උත්සවය සංවිධානය කරලා තිබුණේ තොට්ටම රජයේ වෛද්‍ය මධ්‍යස්ථානය ළඟ. එවක අම්පාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්ද්‍රසේන සොයිසා මහත්තයත් මංගල බස් රථයෙම ආවා.
අධ්‍යාපන නිලධාරිතුමා එනකොට විද්‍යාලයේ එකම උපගුරුවරයා වන මම නොසිටීම නිසා 1964.03.01 වෙනිදා ඉඳලා නාමල්තලාව විද්‍යාලයේ වැඩ බලන මුල් ගුරුවරයා ලෙස වැඩ බාර ගන්න කියලා විදුලි පුවතක් එවලා තිබුණා. නාමල්ඔය අංක 01 සහ 02 යන ගොවි ජනපදවල ළමයින් වෙනුවෙන් තමයි. ඒ ඉස්කෝලේ හැදුවේ. ඒ නිසා ඒ ඉස්කෝලේ පළමු මුල් ගුරුවරයා බවට පත් වුණා. නාමල්තලාවට කිලෝ මීටර් 30 ක් විතර මග ගෙවාගෙන යන්න වුණා. එක් පැත්තකින් දඬුවමක් දෙන ගමන් තවත් පැත්තකින් උසස්වීමක් දුන්නා වගේ.
දැන් ඉතින් මේ දුර යන්නත් එපැයි. අම්පාර හරහා වටයක් ගහනවාට වඩා පාදාගොඩ ඉඟිණියාගල හරහා යන එක ලේසියි. මට තිබ්බ එකම දඬුමොණරය තමයි මගේ BSA (Birmingham Small Arms) බයිසිකලය. මම ඉතින් ඒකෙන් තමා වැඩට ගියේ. ඉස්කෝලේට යන්න එන්නම කිලෝමීටර් 60ක් විතර තියෙනවා. නාමල්තලාව ඉස්කෝලේ ළමයි 14 දෙනෙක්ගෙන් තමයි පටන් ගත්තේ. නාමල්ඔය ගොවි ජනපදයට ගෙන් වූ ගොවි පවුල් තමන්ගේ ඉඩකඩම් ගෙවල් දොරවල් හදා ගන්නකම් පොල් අතු සෙවිලි කර පොල් අතු වට කළ තාවකාලික ගොඩනැගිලි දෙකක තමා නතර වෙලා හිටියේ. ඒ අය ක‍්‍රමයෙන් යන කොට ඒ අය තාවකාලිකව භාවිත කළ කුස්සි ගොඩනැගිල්ලේ තමයි පාසල ආරම්භ කළේ. එය ටකරන් සෙවිලි කරපු ටකරන් වට කරපු අඩි 20ක් දිග අඩි 30 ක් පළල ගොඩනැගිල්ලක්.
ඊට පස්සේ ඒ කාලේ ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි නීතිඥ කපිල රත්නායක මහත්මයාගේ අධීක්‍ෂණය යටතේ ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ ගොඩනැගිලි අංශයේ නිලධාරීන් විසින් නාමල්තලාව ඉස්කෝලෙ අලුත් තැනකට අරගෙන අනුමත වූ නව ගොඩනැගිල්ලක් ගුරු නිවාසයක් සහ ළිඳක් ද ඉදිකරලා ක‍්‍රීඩා පිට්ටනියකුත් සකස් කරලා දුන්නා. ඊට පස්සේ 1965.06.18 වෙනිදා ලොකු උත්සවයක් පවත්වලා එවක අමාත්‍යවරයකු වූ සී.පී. ද සිල්වා මහතා ලවා නව ගොඩනැගිලි විවෘත කරලා පාසලේ කටයුතු අලුත් තැනක පටන් ගත්තා.
ඉන්පස්සේ තොට්ටම එවක සිටි එම්.ඒ. සෝමපාල විදුහල්පතිතුමා සමග සුහද මාරුවක් කර ගත්තා. එතුමා නාමල්තලාවට අාවා. මම 1965.06.21 දින නැවතත් තොට්ටම විදුහලට ආවේ එහි විදුහල්පතිවරයා විදිහට. එතැන් පටන් අවුරුදු අටකුත් මාස හයක් දින 10 තොට්ටම විද්‍යාලයේ සේවය කළා.”
සැබැවින්ම වැව්ගම්පත්තුවේ කැලෑ ගම්වලට පැමිණි බොහෝ ගුරුවරුන් දරුවන්ගේ දෙනෙත් පාදන්නට අකුරු කළා පමණක් නොව සේවයෙන් ඔබ්බට ගොස් ගම්වල ඇති අඩුපාඩු සකසා දෙන්නටත් මැදිහත් වී ඇති බව වන මං දිගේ යන මේ ගමනේදී දැක ගත හැක. වර්තමානයේ කාපට් ඇතිරූ මාර්ග, නළ ජලය ආදී නෙක පහසුකම් පමණක් නොව ගම් රටවල් බලා යන්නට මිනිත්තු තිහෙන් තිහට බස් රථ පවා තිබේ. එදා මේ කිසිවක් කැලෑබද වැව් ගම්පත්තුවේ ගුරුවරුන්ට තිබුණේ නැත. ගමක් තිබුණේද සැතපුම් දෙක තුනකටත් ඈතිනි. එහෙත් ඔවුන් මැසිවිලි නැඟුවේ නැත. වර්තමානයේ දී ඇතැමුන් සිය ගමේ සිට කිලෝ මීටරයක් එපිට පාසලකට මාරු කර යැවුවහොත් ඔවුහු මැසිවිලි නගති. නහයෙන් අඬති. මානව හිමිකම් යති. උසාවි යති. වෘත්තිය අරගල කරති.
මතු සම්බන්ධයි.
සටහන සහ සේයාරූ
දිගාමඩුල්ලේ - සමන් දිසානායක
රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර
මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්
කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික
බාලාංශයේ සිට සංගීතය වෙනුවෙන් කැපවී , යම් දිනෙක ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගායිකාවක වීමේ සුන්දර සිහිනයක නිමග්නව සිටිමින්, මේ වෙන විටත් ඒ ගමන් ම
කැළුම් රන්දිම ඔහුගේ නම වෙයි. ඒත් එදා පාසලේ සිටි යාළු මිත්‍රයින්-හිත මිතුරන් -ඥාතීන් සහ පවුලේ උදවිය හැර බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ ‘ගැමියා’ යන නාමයෙනි. මේ ‘
මේ අක්කයි - මල්ලියි වෙසෙන්නේ ලංකාවේ නෙවෙයි, ලෝකයේ ධනවත්ව රටවල් අතරින් මුල් පෙළේ රාජ්‍යයක් වන ජර්මනියේ තමයි මේ දෙන්නා වෙසෙන්නෙ. ජර්මනියෙ ‘බොන්’ නුවර වා
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අධ්‍යාපන නිලධාරියා නොපිළිගත්තාට විදුහල්පති තනතුරක් සමග මාරුවක්