සබරගමුවේ පුරාණ නින්දගම්-5

 

ඇහැලේපොළ විසින් ඇමටියගොඩ වලව්වට අයත් කුමාරිහාමි කෙනෙකුට පැවරූ ඉඩම් හිමි කමක් ගැන අපි ඉකුත් සතියේ සඳහන් කළෙමු. සැබැවින්ම මෙම පැවරුම වී ඇත්තේ ඒ වන විට ඇහැ​ෙල්පොළට විරුද්ධව සිටි මොල්ලිගොඩ නිලමේ රැවටීම සඳහාය. මෙමගින් ඇහැලේපොළ උත්සාහ කර ඇත්තේ ඇමටියගොඩ තමා සමග තරහවී සිටින බව මොල්ලිගොඩට පෙන්වා දී ඔවුන් ගොඩකවෙල කම්මල්වත්තේ කරමින් සිටි රන් ඔටුන්න හැදීමේ කටයුත්ත ආරක්ෂා කර දීමය.   

මොල්ලිගොඩ මෙමගින් රැවටුණා දැයි ඉතිහාසයේ සඳහන් නොවන මුත් එමගින් ඇහැලේපොළගේ උපක්‍රමශීලී බව පිළිබිඹුවෙයි. ඇහැලේපොළට සබරගමුවේදී ඉතාම හිතවත්ව සිටි නිලමේවරුන් තිදෙනෙකු ගැන ද සඳහන් වේ. වාරිගම අලහකෝන් අබේවර්ධන මුදියන්සේ, එක්නැළිගොඩ මහිපාල අන්ද්‍රාකුරුප්පු මුදියන්සේගේ (අාන්ද්‍රා රටින් ආ) සහ ඇළපාත මුදියන්සේ එම තිදෙනා වෙති.   
ඔවුන් ප්‍රසිද්ධියේ ආශ්‍රය කළද ඇමටියගොඩ, කිරිඇල්ල, මඩුවන්වෙල රාජපක්ෂ සහ ඒකනායක යන මුදියන්සේලා සමග ඇහැලේපොළ අප්‍රසිද්ධියේ දැඩි සබඳතාවක් පවත්වා ගෙන ගි​ෙය්ය. ගොඩකවෙලට වී රන් ඔටුන්න සහ රන් අසිපත නිපැයුවේ ඔවුන් පිරිසය. මේ බව රහසක් කර තබා ගැනීම සඳහා ඇහැලේපොළ යෙදූ උපක්‍රමය නිසා රන් ඔටුන්න තනවන්නේ කොතනක සිට දැයි කන්දේ නුවර රජ වාසල දැන නොසිටියේය.   


අැහැලේපොළගේ විරෝධතාව තිබුණේ රජුගේ වඩුග ඥාතීන්ට මිස රජුට නොවන බව ඔහු බ්‍රිතාන්‍යයන්ගේ පිහිට පතා පැනගොස් සිටි කාලයේ උඩරට සිටි තම හිතවතුන්ට එවූ රහසිගත ලිපි​ෙයන් වටහා ගත හැකිය.   


සබරගමුවේ වංශ කතාව නමින් උදය ඇමටියගොඩ මහතා  ලියූ කෘතියේ ඇහැලේපොළගේ එම ලිපියද ඇතුළත්ය.


එයට අදාළ ඡේදය මෙසේය.   


‘‘කොහොමත් වඩුග පරම්පරාව නිසා සිංහල සේනාව ගැමි විදියෙන්ම විනාශ වේ. ඉබාගාතේ ආ වඩුගයෝ කරන නපුරුකම් අසන විට ඉවසා ගත ​ෙනාහැකි වේ. රජ්ජුරුවන්ගේ යහපත් ක්‍රියා ද මොවුන් නිසා නෂ්ට වී ගියාය.   


රට පාවාදීමෙන් විසිපස් වසක් ඇතුළත අප ලවාම උඩරට ආණ්ඩු කරවන සම්මත ආණ්ඩුවක් උඩරට ඇතිකර දී ඔවුන් පහත රට ආණ්ඩු කරන බවට ගොවැණ්නදෝරු තැන (ගවනර්) මා සමග දිවුළේ යැයි ඇහැලේපොළ කියයි.  


ඇහැලේපොළ රවටා රට පාවා ගත් අන්දම ද මෙයින් පෙනේ. එයටත් වඩා ඉන් පෙනෙන්නේ වඩුග ඥාතීන්ට රජ වාසලේ තිබූ බලයයි. තමිල්නාඩුවේ තාන්ජෝරයේ සිට ආ වඩුග පරම්පරාව ඒ වන විට සෙංකඩගල පුරවරයේ ප්‍රධානස්ථාන හැම එකක්ම පාහේ අත්පත් කරගෙන සිටියහ. දළදා මාළිගාව පෙනෙන දුරින් ඔවුන්ගේ කෝවිල් ඉදිව තිබූ අතර ඒ සඳහා එළුවන් බිලි දෙන පූජා නිතර සිදුවූ බවද උඩරැටියෝ දැන සිටියහ. මේ කටයුතු දෙස උඩරැටියන් බලා සිටියේ කම්පාවෙනි. ඇහැලේපොළ ආදී උඩරට නායකයන්ට ජනතාවගෙන් එල්ල වන මෙවැනි විරෝධයන්ට අනුගතවීමට සිදුව තිබිණි. රජුගේත් ඇහැලේපොළගේත් ගැටුම නිසා අවසානයේ සිදු වුණේ සමස්ත උඩරට රාජධානියම විනාශ වී යාමය.   


පුරාණ භාරතයේත් අතීත ලංකාවේත් කාන්තාව වූ කලී පිරිමියාට යටත්ව දිවි ගෙවිය යුතු තැනැත්තියකි. පුරාණ සමාජයේ කාන්තාවන්ට අද සමාජයේ සමහරුන් කතා කරන ජාතියේ කාන්තා අයිතිවාසිකම් හිමිව තිබුණේ නැත. ඇය නිතරම තම නිවසේ පළමු පුරවැසියාට යටත්ව ඔහුට කීකරුව ජීවත් විය යුතුය. පුරාණ සමාජය ස්ත්‍රීන් වහල් කමේ යෙදූ බවක් මින් අදහස් වන්නේ නැත. එහෙත් විශේෂ​ෙයන් ආවාහ විවාහයේදී කාන්තාව පිළිපැදිය යුතු වූයේ පවු​ෙල් ප්‍රධානියාගේ තීන්දුවය.   

රදල පවුලක ස්ත්‍රියක ගැබ්බර විය යුත්තේ රදළ පවුලක පිරිමියකු අතින්මය. මෙසේ රදල සමාජයෙන් කොන් කෙරෙන නිසාම තම පවුලේ ස්ත්‍රීන් නින්දගම් වාසී තරුණ පිරිමින්ගේ අැසුරින් ඈත් කර තැබීමට රදලයෝ වගබලා ගත්හ.   

 


පුරාණ වලව් සමාජයේ ද ඒ තත්ත්වය එලෙසම තිබිණ. වලව්වේ ප්‍රධානියා වන බණ්ඩර හාංදුරුවන්ගේ අනුදැනුමකින් තොරව වලව්වේ තරුණියන් වන ඩිංගිරි අප්පොලාට විවාහ වීමේ තනි තීන්දු ගත නොහැකිය. සහකරුවා තෝරා දෙන්නේ පියා හෝ සොහොයුරාය.   


වලව්වකින් වලව්වකට මිස බැහැර නිවසකට විවාහ චාරිත්‍ර නොකෙරේ. පිටස්තරයකු සමග සබඳතාවක් සිදුවුවහොත් මහවාඩියේ අසන නඩු වාරයකින් පසු ඩිංගිරි අප්පෝ වලව්වෙන් නෙරපා දැමේ. රත්නපුර බටුගෙදර මහවාඩියේ මෙවැනි නඩු වාර කීපයක් අතීත කාලයේ පවත්වා ඇති බවට සාධක ඇත.   


බණ්ඩරහාංදුරුවන්ගේ තීරණයට පිටින් පිටස්තරයෙකු හා විවාහ වන වලව්කාර තරුණියන් වලව්වෙන් නෙරපා දැමෙන තීන්දුව ගන්නේ පළාතේම සිටින වලව් හිමියන්ගේ රැස්වීමකිනි. සබරගමු වලව් අතර පමණක් නොව නුවර කලාවියේ වලව් අතර ද මෙම සිරිත පැවතිණි.   


නුවර කලාවියේ දී (රජරට) මෙම තීන්දුව ගන්නා රදලයන්ගේ රැස්වීම වරිගසභාව නමින් හඳුන්වා ඇති අතර සබරගමුවේදී එය මහවාඩිය ලෙස නම් වී තිබේ.   


වලව්වක බණ්ඩරහාංදුරුවන්ට දාව නින්දගමේ හෝ වෙනත් ගමක ස්ත්‍රියක ගැබ්බර විය හැකි වුවත් එයට එරෙහිව නඩු ඇසීමක් නැත. එහෙත් වලව්වේ පදිංචිකාරියක වන ඩිංගිරි අප්පෝ කෙනෙකු (වලව් පරපුරේ තරුණියක) හෝ වලව්වේ මහත්තැන් කෙනෙකු (බණ්ඩරහාංදුරුවන්ගේ බිරිය) හෝ නින්දගම් වැසියකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීම හෝ එවැන්නකු අතින් ගැබ්බර වීම දැඩි වරදකි.   


එම කාන්තාවට එරෙහිව රදලයන් මහාවාඩියට එක්ව නඩු අසා වලව්වෙන් පන්නා දමන තීන්දුවක් දක්වා මෙය දුර දිග යයි. එහිදී මහවාඩියේ මුලසුන ගන්නේ පළාතේ ප්‍රධානියා වන දිසාවේ කෙනෙකු, රටේ රාල කෙනෙකු හෝ බස්නායක නිලමේ කෙනෙකු ය.   


යම් වලව්වක කුල දූෂණයක් වී ඇති බවට යම් රදලයකු විසින් මහවාඩියට පැමිණිල්ලක් කළ විට සෙසු රදලයන් මහවාඩියට කැඳවා නඩුව විභාග කෙරෙයි.   


නඩුවෙන් වැරදිකාරිය වන තැනැත්තිය වලව්වෙන් නෙරපා දැමෙයි. ඇය නෙරපන තුරු වලව්වට තොවිල් තහංචියක් පැනවෙයි. මේ තොවිල් තහංචිය රදල සමාජයේ අයට දරා ගත නොහැකි තරම් බිහිසුණු එකකි.   


​ෙතාවිල් තහංචිය පැන වූ දා සිට වලව්වේ අයට කිසිම නිවසකින් ගින්දර ලබා ගැනීම තහංචිය. කිසිම පොදු නාන මංකඩකින් දිය නෑ නොහැකිය. කිසිම රදලයකුගේ මරණයකට, ආවාහ විවාහයකට යා නොහැකිය. කොටින්ම කිවහොත් ඔවුන් සමග කිසිම රදලයකුට ගනුදෙනු කළ නොහැක.   


අක්කර සිය දහස් ගණනක් පාලනය කරන රදලයකු තමාගේ වලව්වේ හුදකලා කරන මෙවැනි තීන්දුවකදී නින්දගම් වාසී ජනයා අතර වලව්වේ උදවිය හාස්‍යයට ලක්වීම අරුමයක් නොවේ. මෙවැනි දඬුවමක් පැනවීමේ අරමුණද එයමය. එහි තේරුම නම් රදලයකු හැර වෙනත් කුලයක අයකු සමග නීත්‍යානුකූල විවාහ සිදු නොකළ යුතු බවය.   


රදල පවුලක ස්ත්‍රියක ගැබ්බර විය යුත්තේ රදළ පවුලක පිරිමියකු අතින්මය. මෙසේ රදල සමාජයෙන් කොන් කෙරෙන නිසාම තම පවුලේ ස්ත්‍රීන් නින්දගම් වාසී තරුණ පිරිමින්ගේ අැසුරින් ඈත් කර තැබීමට රදලයෝ වගබලා ගත්හ.   


මෙසේ තහංචි දමා ඇති විටකත් රදල ස්ත්‍රියක තම තීන්දුව වෙනස් කර නොගන්නේ නම් ඇයට වාගම් සෝලි තහංචියක් පැනවෙයි. එහි තේරුම නම් ඇයට පියාගේ වාසගම භාවිතා කළ නොහැකි බවය.   


උඩරට ප්‍රදේශ සහ නුවර කලාවියේ (රජරට) පැවැති තොවිල් තහංචිය යනු රදලයන්ගේ පවුල්වල සිදුවන වැරදි නවත්වා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ දඬුවම් ක්‍රමයකි. තම කුලයට පිටස්තර කුලයක පිරිමියකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නා රදල පවුලක ගැහැනියකට එරෙහිව වාගම් ​ෙසා්ලි තහංචිය පැනවේ.   


සියලු රදලයන් එක්ව නඩු විභාගයක් පවත්වා මෙවැනි  සම්බන්ධයක් ඇති කරගෙන ඇති කාන්තාව වලව්වෙන් පිටමං කරයි. ඇයට තම පියාගේ වාසගම (වාගම) පාවිච්චි කළ නොහැකිය. එම කාන්තාව තම වලව්වෙන් පිටකරන තුරු වලව්වට එරෙහිව පැනවෙන තහංචිය තොවිල් තහංචිය වේ. එකල ගින්දර යනු ලෙහෙසියෙන් මොළවා ගත නොහැකි නිසා ගෙවල් කිහිපයකට අවශ්‍ය ගින්දර තබා ගත්තේ එක ස්ථානයක මොළවා රැක ගැනීමෙනි. ගෙයින් ගෙට ගින්දර හුවමාරු වේ. එකල අද මෙන් ලෙහෙසියෙන් ගින්දර පත්තු කරන ක්‍රම නොතිබිණ. මෙම තංහචිය පැන වූ පසු රදල නිවසට ගින්දර දීම සෙස්සන්ට තහනම්ය. පොදු නාන මංකඩ තහනම්ය. අාවාහ විවාහ සඳහා සහභාගී විය නොහැකිය. එය හුදකලා කිරීමකි.   

 

 

ඉන් පසු ඇත්තේ වලව්වේ ඇත්තන්ගේ තීරණයය. රදල නොවන කුලයක පිරිමියකු සමග පැටලුණු ඩිංගිරි අප්පෝ වලව්වෙන් නෙරපනවා ද තියාගන්නවා ද කියන තීන්දුවය. රදල නොවන පෙම්වතා අතහරින්නේ නම් ඩිංගිරි අප්පෝට වලව්වේ සිටිය හැකිය. අත නොහරින්නේ නම් රදල නොවන පෙම්වතා සමග වලව්වෙන් පමණක් නොව නින්දගමෙන් ද පිටමං වී යා හැකිය.   


පවුලේ දෙපිරිස තීන්දුවකට පැමිණි පසු මහවාඩියට දැනුම් දිය යුතුය. ඉන් පසු පවත්වන්නේ වරිග සම්මුතියය. එයින් කෙරෙන්නේ තියාගැනීම හෝ පිටමං කිරීමයි. පුරාණ සබරගමු වලව්වල වලව්ව අතහැර රදල නොවන පෙම්වතුන් සමග ගිය ඩිංගිරි අප්පොලා ද හිඳ තිබේ.   


රදලයන්ට එරෙහිව රදලයන් නඩු විමසුවේ බටුගෙදර මහවාඩියේය.  එහෙත් නින්දගම් වාසීන් සහ රටේ සාමාන්‍ය මහජනයාගේ නඩු ඇසුවේ මෙහි නොවේ. ඒ කටයුතු කෙරුණේ කෑගල්ලේ, ගලිගමුවේ සහ ​ගොඩකවෙල කම්මල්වත්තේ තිබූ උප තානායම් දෙකේය. මේවාට නඩුකාරයා ලෙස එන රටේ මහත්මයකු හෝ එයට ආසන්න නිලධාරියෙක් නඩු විමසීම් කටයුතු සිදු කරයි.   
වලව්වකට එරෙහිව ​ෙතාවිල් තංහචියක් පැනවූ පසු වලව්වේ උදවිය ජීවත් වන්නේ බ්‍රහ්ම දණ්ඩය පැනවූ අවස්ථාවක වගේය.   


රදල ඥාතීන් තබා නින්දගම් වාසියකුවත් වලව්වට එන්නේ නැත. නින්දගම් වාසීන් නොඑන්නේ ඔවුන්ගේ පැමිණීම තවත් කරදරයක් නිසාය. ඉන් පසු වලව්වේ ඩිංගිරි අප්පෝ හෝ වලව්වේ මහත්තයාගෙන් මෙම සම්බන්ධය අතහැර වලව්වේ සිටිනවාද නැතිනම් රදල නොවන පෙම්වතා සමග ගමෙන් ඉවත්ව යන්නේ දැයි විමසනු ලැබේ.   


රදල නොවන පෙම්වතා සමග යන්නට ඩිංගිරි අප්පෝ තීරණය කළහොත් ඇය පිටත් කර ​ෙතාවිල් තංහචිය ඉවත් කරවා ගැනීමේ කටයුත්තට තවත් රැස්වීමක් කැඳවිය යුතුය. එය හැඳින්වෙන්නේ පනම් පහ යනුවෙනි.   


මේ පනම් පහට රදල ඥාතීහුද නින්දගමේ වෙසෙන විවිධ කුලවල ප්‍රධානීහුද ආරාධනා ලබති. පනම්පහේ උදවිය ලෙස සැලකෙන්නේ වලව්වට රාජකාරි කරන කුල ගෝත්‍ර ප්‍රධානීන්ය. මෙම රැස්වීමේ විශේෂත්වය නම් මේ සියලු දෙනාම කැඳවා තබන රැස්වීම ඉහට උඩුවියන් බැඳ පයට පාවඩ එළා පැවැත්විය යුතු එකක් වීමය. 


මෙහි විශේෂත්වයක් තිබෙන්නේ වියන් බැඳීමේදීය.  


රදලයන් කිසිදාක රදල නොවන අය සඳහා ඉහට උඩුවියන් නොබැන්දත් මෙවර ඔවුන්ගේ පැමිණීම සඳහා ඉහට උඩුවියන් බැඳීමේ රාජකාරිය කළ යුත්තේ වලව්වාසීන් විසිනි. රදලයකුට මේ තරම් දඬුවමක් තවත් නැත. එහෙත් කුල ගෞරවය යළි ලබා ගැනීමට නම් මේ රාජකාරිය කළ යුතුමය. මෙවැනි තදබල නීතියක් පනවා ඇත්තේ රදලයන් වැරදි කිරීමෙන් වළක්වා ගැනීම සඳහාය.   


කුලගෝත්‍ර ප්‍රධානීන් සහ රදලයන් කැඳවා පවත්වන පනම්පහේ රැස්වීමට අදාළ පෙම්වතුන් යුවළද කැඳවිය යුතුය. ඉන් පසු තම පෙම්වතා අතහැරීමට සූදානම් දැයි ඩිංගිරි අප්පෝ ගෙන් විමසන අතර ඇයගේ අකමැත්ත පළවුවහොත් ඇය නෙරපීමේ ආඥාපත්‍රය කියවනු ලැබේ. ඇයට තම පියාගේ වාසගම (වාගම) ඉන් පසු පාවිච්චි කළ නොහැකිය.   


කිසිදු දේපොළක් ඇයට හිමි නොවේ. ඉන් පසු රදලයෝ එක් වී වලව්වට දඩයක් නියම කරති. තමා පියාගේ කුලය පාවිච්චි නොකරන බව හා කිසිදු තැනක එම කුලය නොකියන බවට ඇගෙන්​ පොරොන්දු පත්‍රයකට ලිඛිත අත්සනක් ගැනීමෙන් පසු වලව්වට පනවා ඇති තොවිල් තහංචිය ඉවත් කරවා එම ලියවිල්ල රටේ රාලට භාරදෙයි. එතැනින් වලව්වට තිබූ ප්‍රශ්නය අවසන් වෙයි. තොවිල් තහංචිය ඉවත් කිරීම සඳහා පහත සඳහන් ශ්ලෝකය කියවීම ඉන් පසු සිදු වෙයි.   

 

ආයුබෝ වේවා  


ආයු​බෝ වේවා.   


දෘථරාශ්ඨ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන හතර වරම් දෙව්වරුද අල්පේශාඛ්‍ය මහේශාඛ්‍ය සියලු දෙවියන් ද සබරගමුව කරවන මහ සමන් රජ්ජුරුවෝ ද මෙම කුලය තැන වූ බවට සාක්ෂිය.   


සාක්ෂිය.... සාක්ෂිය....

 
එසේ පැවසීමෙන් පසු ඩිංගිරි අප්පෝ සහ රදල නොවන පෙම්වතා වලව්වෙන් පිටමං කෙරෙයි. ඔවුන්ට අදාළ නින්දගමට අයත් කිසිම ගමක සිටිය නොහැකිය. එහෙත් වෙනත් නින්දගමකට අයත් ගමක ඔවුන්ට ජීවත් විය හැකිය. 

 

 

 

 

 

 

 

 

 

 

 


(උදය ඇමටියගොඩ මහතාට 
ස්තූතිය පළ කරමු)  
ප්‍රේමකීර්ති රණතුංග