මහවැලි ගඟබඩ විල්ලු සම්පත නිසරු වී යන ආකාරය

 

 

පහළ මහවැලියේ පිහිටි ස්වාභාවික ආරක්ෂාව නිසාම සෝමාවතී වනාන්තරය මෑතක් වනතුරුම මිනිස් පා පහසින් නොකිළිටිව පැවැතියේය. ඒ නිසාම එය වනසතුන්ගේ නිදහස් පාරාදීසයක් විය. නමුත් මෑතක සිට එය ශීඝ්‍ර විනාශයක් කරා ගමන් කරමින් තිබීම කනගාටුවට කරුණකි. ජාතික වනෝද්‍යානයක් වුවත් මෙතෙක් ජනතාවට විවෘත නොකළ එකම ජාතික වන උයන වන්නේ ද මේ සෝමාවතී ජාතික වනෝද්‍යානයයි. මන්ද මෙය ජාතික වනෝද්‍යානයක් බවට ප්‍රකාශයට පත් කළේ මහවැලි ගඟෙන් සෝමාවතී වනාන්තර පද්ධතියෙන් ඇති සුවිශේෂ පාරිසරික වැදගත්කම සැලකිල්ලට ගනිමිනි. එහි භූගෝලීය පදනම ඊට සාක්ෂි දරයි. 
 

මනම්පිටිය පසුකර හුදෙකලා වනාන්තරය මැදින් විස්මිත රටාවකට ගලා බසින පහළ මහවැලිය මුහුදු මට්ටමේ සිට අඩි හතළිස් දෙකක් උසින් පිහිටි වනගත කරිඤ්ඤංමුණේදී පහත් තැනිතලාවට ගලා අවුත් එහිදී සිය ඩෙල්ටාව නිර්මාණය කර ගනිමින් ප්‍රධාන ශාඛා දෙකකට බෙදෙයි. ඒ ප්‍රධාන මහවැලි ගඟ හා වෙරුගල්ආර වශයෙනි. ගංගා මුවදොරේ සිට වැඩිම ඈතක පිහිටි ඉසව්වකදී සිය ඩෙල්ටාව නිර්මාණය කරගත් ලංකාවේ ඇති එකම ගංගාව මහවැලි නදිය වීම එහි පාරිසරික වැදගත්කම වටහා ගැනීමට ඇති හොඳම සාධකයයි.  


කරිඤ්ඤංමුණේ ඩෙල්ටාවේ සිට ප්‍රධාන මහවැලි ගඟ සැතපුම් 21 1/4 ඈතින් පිහිටි ත්‍රිකුණාමලයේ කොට්ටියාරම් බොක්කට පිවිසෙන්නේ ඇගේ වක්‍ර දුර ප්‍රමාණය සැතපුම් 36ක් වනසේ දඟර ගැසෙමින් මුළු සෝමාවතී වනාන්තරයේ තුනෙන් දෙකකට වැඩි භූමි ප්‍රදේශයක් දියළු ගංගා ජලයෙන් පෝෂණය කරමිනි.  


වෙරුගල් අප ශාඛාව ඩෙල්ටාවේ දකුණු ඉවුරෙන් නික්ම නැගෙනහිර බලා ඇදීගොස් වෙල්ලායි වෙට්ටය පුරා දඟර ගැසී අමිල දිය බෙදුම් රාශියක් නිර්මාණය කර දී සෝමාවතී වනෝද්‍යානයේ ඊසාන දිග වියළි භූමිය එකම සරුසාර දියළු ස්පොන්ජියක් බවට හරවා ඉක්බිති ඩෙල්ටාවේ සිට සැතපුම් 16ක් එපිටින් පිහිටි වෙරුගල් ගම්මානයෙන් මුහුදට පිවිසෙන්නේ ඇගේ ගමනේ වක්‍ර දුර සැතපුම් 31ක් බවට පත් කරගනිමිනි.  


මහවැලි ගංගාවේ මේ සුවිශේෂ ගැලීම් රටාව නිසාම සෝමාවතී වනෝද්‍යානය විල්ලු, වෙට්ට, වගුරු බිම් හා පිට්ටනි වැනි හරිත පාරිසරික තෝතැනිවලින් සමන්විත වී තිබේ. විල්ලු කියා හඳුන්වනු ලබන්නේ මහවැලි ගඟේ පිටාර තැනි ලෙස නිර්මාණය වූ දියළු වගුරු බිම්ය. මේවා සරුසාර තෘණ යායෙන් පොහොසත්ය. එ් නිසාම සෝමාවතී වනාන්තරයට පමණක් ආවේණික වූ විල් අලි හෙවත් වගුරු අලින් ජීවත් වන්නේ මේ විල්ලු බිම් උන්ගේ ගොදුරු බිම් බවට පත්කර ගෙනය.  


නමුත් එද‌ාමෙන් අද පහළ මහවැලි ගඟ පිටාර ගලන්නේ නැත. වැලි ජාවාරම්කරුවන් විසින් ඒ පාරිසරික ක්‍රියාද‌ාමය කණපිට හරවා ඇත. වැලි නිධි හා ගඟේ පතුල හාරා වැලි ඉවත් කරගැනීම හේතුවෙන් පිටාර ගැලීමකින් තොරව ගඟ දිය කඳ අද මුහුදට ගලා යයි. වාර්ෂිකව සුපෝෂණය වූ විල්ලු බිම් දැන් වියැළි පිට්ටනි බවට පත්ව තිබීම හේතුවෙන් සෝමාවතියේ අලි ඇතුන් ඇතුළු සියලුම සතා සීපාවා ගොදුරු අහේනියකට පත්ව අතරමංව සිටිති. වනාන්තරයද කාෂ්ටකව වියැළී යමින් ඇති බවත් පෙන්නුම් කරයි.  

 

වියැළි වෙරුගල් ආර මැද වැටී මියගිය පිපාසිත ගෝනෙක්

 


වනජීවි දෙපාර්තමේන්තුවේ නිසි අවධානයකට ලක් නොවීම නිසා සමස්ත වනෝද්‍යානයම අද දැව හොරුන්ගේත් අනවසර වගාකරුවන්ගේ දඩයක්කරුවන්ගේ හා වැලි ජාවාරම්කරුවන්ගේත් පාරාදීසයක් බවට පත්ව තිබේ. මේ වැරැදි ක්‍රියාවලට එරෙහිව නැගී සිටීමට වනජීවී දෙපාර්තමේන්තුවට නොහැකිව ඇත්තේ වනෝද්‍යානය තුළට පිවිසීමට නිසි වනමං නොතිබීමත්. ඇති වනමං පිළිබඳ අවබෝධයක් නිලධාරීන්ට නොමැති කමත්ය.  
මන්ද වසර තිහකට පෙර දෙපාර්තමේන්තුවේ සිටි නිලධාරීන්ට මේ ගැන අවබෝධයක් තිබුණත් මෑත කාලීන නවක නිලධාරී හා සේවක පිරිස් සෝමාවතී වනෝද්‍යානයක් ඇති බව දනිතත් එහි අභ්‍යන්තරය ගැන කිසිවක් දන්නේ නැත. ඒ නිසාම සෝමාවතී වනෝද්‍යානයට නිසි ආරක්ෂාවක් සැපයීමට අවැසි නම් දෙපාර්තමේන්තුව පළමුව කළ යුත්තේ වනෝද්‍යානය අභ්‍යන්තරයට පිවිසීමට තිබුණු පැරැණි වනමං යළිත් පාද‌ා ගෙන ආරක්ෂක විධිවිධාන යාවත්කාලීන කිරීමය. අවශ්‍ය ස්ථානවල බීට්ටු කාර්යාල පිහිටුවීම ඉතාම වැදගත්ය.  


උද‌ාහරණයක් ලෙස කිවහොත් වනෝද්‍යානයේ සමස්ත උතුරු මායිම් සීමාව අදටත් හුදෙකලාය. වැලි, දැව ජාවාරම්කරුවන්ගෙන් වනාන්තරයට වැඩිම තර්ජන එල්ල වන්නේ එකී සීමාවේ පිහිටි අල්ල කන්තලේ මාවත දෙසින්ය. නමුත් එහි ආරක්ෂාව භාරව ඇත්තේ වනෝද්‍යානයේ සීමාවට බොහෝ ඈතින් පිහිටි කන්තලේ කාර්යාලයටය. සැබැවින්ම සිත්තාරුවේ හෝ සිරිවංශලපුර ග්‍රාමයේ හෝ අලුතින් ආරක්ෂක බීට්ටුවක් පිහිටුවීම වැදගත්ය. මේ සරල උද‌ාහරණයක් පමණි.  

වනජීවි දෙපාර්තමේන්තුවේ නිසි අවධානයකට ලක් නොවීම නිසා සමස්ත වනෝද්‍යානයම අද දැව හොරුන්ගේත් අනවසර වගාකරුවන්ගේ දඩයක්කරුවන්ගේ හා වැලි ජාවාරම්කරුවන්ගේත් පාරාදීසයක් බවට පත්ව තිබේ. මේ වැරැදි ක්‍රියාවලට එරෙහිව නැගී සිටීමට වනජීවී දෙපාර්තමේන්තුවට නොහැකිව ඇත්තේ වනෝද්‍යානය තුළට පිවිසීමට නිසි වනමං නොතිබීමත්. ඇති වනමං පිළිබඳ අවබෝධයක් නිලධාරීන්ට නොමැති කමත්ය.  මන්ද වසර තිහකට පෙර දෙපාර්තමේන්තුවේ සිටි නිලධාරීන්ට මේ ගැන අවබෝධයක් තිබුණත් මෑත කාලීන නවක නිලධාරී හා සේවක පිරිස් සෝමාවතී වනෝද්‍යානයක් ඇති බව දනිතත් එහි අභ්‍යන්තරය ගැන කිසිවක් දන්නේ නැත. ඒ නිසාම සෝමාවතී වනෝද්‍යානයට නිසි ආරක්ෂාවක් සැපයීමට අවැසි නම් දෙපාර්තමේන්තුව පළමුව කළ යුත්තේ වනෝද්‍යානය අභ්‍යන්තරයට පිවිසීමට තිබුණු පැරැණි වනමං යළිත් පාද‌ා ගෙන ආරක්ෂක විධිවිධාන යාවත්කාලීන කිරීමය. අවශ්‍ය ස්ථානවල බීට්ටු කාර්යාල පිහිටුවීම ඉතාම වැදගත්ය.


සෝමාවතී වනාන්තරයටත් පහළ මහවැලි ගංගා ද්‍රෝණියටත් මා තුළ දැඩි අාද‌රයක් ඇත. වසර හතළිහකට වැඩි ඉතිහාසයක් ඊට තිබේ. එබැවින් වත්මනේ මේ වනපෙතට අත්ව ඇති ඉරණම මා තුළ කම්පනයක් ඇති කළේය. 1980 සිට 1984 දක්වා මගේ ජීවිතයේ වැඩි කාලයක් ගෙවී ගියේ සෝමාවතී වනාන්තරය සමඟය. කොට්ටියාරම්පත්තුවෙන් පටන්ගෙන විල්ලු වනපෙත ගෙවා ත්‍රිකෝණමඩුව හා කන්දකාඩුව දක්වා නොයෙක් වර මා පයින්ම ගිය ගමන් අපමණය.  


එ් පැරැණි වන මං අද වැසී ගොස් ඇතත් දන්නෝ නිසි මං පාද‌ාගෙන අදටත් වනාන්තරයට පිවිසෙති. වැරැදි ක්‍රියාවල නියැලෙති. එකල මේ වනාන්තරය තුළ රැඳී සිටියේ පාරම්පරික දමිළ හා මුස්ලිම් ගවපට්ටිකරුවන් හා කාලීන දුම්කොළ වගාකරුවන් පමණි. මේ බොහෝදෙනා මහවැලි ඩෙල්ටාව ඇතුළු ගඟබඩ ඉවුරුවල සිය ව්‍යාපාරික කටයුතු සාමකාමීව කරගෙන ගියහ. කොමනච්චිය, නඩුමැඳුර, පවන, කරිඤ්ඤංමුණේ, කුරුගඟ එහිලා ප්‍රධාන විය. ඔවුන් වාන්තරයට හානි කළේ නැත.  


ඒ නිසාම වනාන්තරය හුදෙකලා නොවීය. අද මෙන් එකල අනවසර වගාකරුවන්ගේ හා දැවහොරුන්ගේ තර්ජන වනාන්තරයට නොවීය. ගඟේ වැලි වැටි නිදහසේ සැකසිණ සුපුරුදු පරිදි වාර්ෂිකව මහවැලි ගඟ පිටාර ගැලුවේය. විල්ලු බිම් පෝෂණය විය. අලි ඇතුන්ට ගොදුරු සුලබ විය. උන් ගම්මාන සොයාගෙන ගියේ නැත. සිත්කාරුව, සිරිමංගලපුර, මාවිල්ආරුව දෙසින් වනාන්තරය තුළට පිවිසෙන කරත්ත පාරවල් වැටී තිබුණේය. ඉඳහිට යන එන දඩයක්කරුවෙක් හැරුණු විට මේ වන මං ඔස්සේ එකල දැව හොරු ගමන් කළේ නැත.  


1985න් පසුව මට යළිත් සෝමාවතී වනෝද්‍යානය දැකබලා ගැනීමට අවස්ථාව ලැබුණේ 2012 වසරේදීය. එවකට වනෝද්‍යානයේ ආරක්ෂාව භාරව තිබුණේ ශ්‍රී ලංකාවේ යුතත හමුද‌ාවටය. කන්දකාඩු හමුද‌ා කඳවුරේ විශේෂ අවසරයක් පිට ත්‍රිකෝණමඩුව ඔස්සේ මම තවත් මිතුරකු සමඟ ගොස් වනෝද්‍යානයේ අභ්‍යන්තරය දැකබලා ගතිමි. තිස්වසරකට පෙර මා දුටු වනාන්තරය ඒ අයුරින්ම ආරක්ෂා වී තිබීම මගේ සතුටට හේතුවක් විය. අයිතිකරුවන් නැතත් තිස්වසරකට පෙර දුටු සුදෝ සුදු කින්නියා ගව රංචු වනාන්තරය තුළ නිදහසේ උළාකමින් සිටියහ. උන් මිනිස් දසුනට නුහුරු නිසාදෝ අප දැක බියෙන් ඈතට පළා ගියහ. ඒ නවක ගවයන් පසු පරම්පරාවල සාමාජිකයන් වීම ඊට හේතුවයි.  


සෝමාවතී වනාන්තරයේ ආරක්ෂාව 2013 වසරින් පසුව යළිත් වනජීවී දෙපාර්තමේන්තුවට පවරන ලදී. ඒ සමගම මේ අමිල වනපෙතට දුර්භාග්‍ය උද‌ාවිය. කිසිදු පාලනයක් හෝ සොයා බැලීමක් නොමැතිව ගියෙන්, දැව හොරුන්ද, අනවසර කුඹුරු වගාකරුවන්ද, වැලි ජාවාරම්කරුවන්ද, දඩයක්කරුවන්ද සිතේ හැටියට වනාන්තරය විනාශ කරන්නට පටන්ගෙන ඇති බවක් දැනගන්නට ලැබුණේය. ඒ නිසාම 2013 වසරේදී වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගෙන යළිත් වරක් සෝමවතී වනපෙන නැරඹීමට මම ගියෙමි. ඒ තවත් පිරිසක් සමගය.   


වනාන්තරය තුළ ගමන් කිරීමටත්, රාත්‍රී නවාතැන් ගැනීමටත් නියමිත වනගත ඉසව් අවසර පත්‍රයේ සඳහන් කළ යුතු වූයෙන් ඒ ස්ථානවල නම් සඳහන් කළෙමි. ඒ කිසිදු වනගත ඉසව්වක් ගැන මේ නිලධාරීන් අසාවත් තිබුණේ නැත. මුල්වතාවේ මෙන් නොව මේ දෙවැනි වන සංචාරය මා කම්පනයට පත් කළේය. නිදහසේ බෝවී සිටි ගවරංචු වනාන්තරයෙන් අතුරුදන්ව ගොස් සිටියහ. උන්ගේ ඇටකටු අබිලි කොටස් විල්ලු පූරා තැන තැන විසිරී තිබිණ. එකල මා නෙත පිනූ හල්මිල්ල වනාත්තරයට සිදු වූ දෙයක් නැත. ඒ සියල්ල 2009 වසරට පසුව කපා ඉවත් කර ඇති බවට සාධක එමට විය.  

 

දියළු වෙල්ලෙයි වගුරු බිම හා මාවිල් ආරු සොරොව්ව

 


මහජනතාව සඳහා මේ වනෝද්‍යානය විවෘත කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. නමුත් එසේ කළ හැකි නම් සිරිමංගලපුර උතුරු සීමාවෙන් පටන්ගෙන කන්දකාඩුව, ත්‍රිකෝණමඩුව දක්වා වුව ගමන් කිරීමට හැකි වන මං අදත් නැතුවා නොවේ. මෙහිලා වනජීවී දෙපාර්තමේන්තුවට කළ හැකි එක් දෙයක් ඇත. එනම් පරිසරවේදීන්ටවත් නිතර නිතර මෙ වනෝද්‍යානය තුළට ගොස් පරිසර ගවේෂණයන්හි යෙදීමට ඉඩ සලසා දෙන්නේ නම් වනෝද්‍යානය තුළ සිදුවන වැරදි මානව ක්‍රියා අවම කරගත හැකිය. පරිසරයට ආදරය කරන මිනිසුන් නිතර යන එන විට වනයට විණකටින්නන් වනගතවීම ඉබේම වැළකෙනු ඇත.   


එය වනෝද්‍යානයටත් පරිසර පද්ධතියටත් යහපතක් වනු ඒකාන්තය. සෝමාවතී වනාන්තරය අභ්‍යන්තරයට ගමන් කිරීමට තිබුණු පැරැණි ජීප් රථ වන මං සියල්ලම මැනූම් දෙපාර්තමේන්තුව විසින් මින් වසර පනහකට පෙර කාලයක පටන් සිතියම් ගත කරන ලද ඒවා බැවින් මැනුම් දෙපාර්තමේන්තුවේ සහය ලබාගෙන සියලු වන මං යළිත් ප්‍රතිෂ්ඨාපන කරගැනීමට හැකියාව ඇත. පුරවැසියන් වශයෙන් අප ලබා ඇති අත්දැකීම්ද අවැසි නම් ඒ සඳහා අවස්ථාව ලබා දීමට අපට පුළුවන.  

 

 

 


කැම්ලස් වනිගසූරිය