IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සී.අයි.ඩී. 4 වැනි තට්ටුවෙන් වැටී මියගිය දොඩම්පේ මුදලාලිගේ ගම්බිම් සොයා ගිය ගමන

‘‘අධිකාරිය’’ ගමේ ගංගාතිලක විහාරය

 

ශේෂව ඇති රබර් වගාව

 

මීට පනස් දෙවසරකට පෙර සිංහල අවුරුද්‍රු අසිරිය කඳුළක් බවට පත්කරමින් රටම කතා කළ මිනිසා වූ ‘‘දොඩම්පේ මුදලාලි’’ගේ ගමට අප පිවිසෙන විට දහවල ඉක්ම ගොසිනි. 


දොඩම්පේ මුදලාලි ගැන වත්මන් පරපුර දන්නේම නැත. ගමේ බොහෝ තරුණයෝද මේ ‘‘දොඩම්පේ මුදලාලි’’ ගැන නොදනිති. ඔහු ජීවත් වූ, ඇසුරු කළ හිතවතුන්, ඥාතීන් සොයාගන්නට බොහෝ වෙහෙසක් ගන්නට මට සිදුවිය.
 
‘‘දොඩම්පේ මුදලාලි’’ යනු 1966දී එවකට පැවති එක්සත් ජාතික පක්‍ෂ රජය පෙරළා දැමීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රහස් පොලිස් මූලස්ථානයේ ගොඩනැගිල්ලේ හතර වන තට්ටුවෙන් වැටී මියගිය රත්නපුර දොඩම්පේ ‘අධිකාරිය’ ගමේ තිස් පස් හැවිරිදි අවිවාහක එල්.වී. පොඩිඅප්පුහාමි නම් ව්‍යාපාරික තරුණයාය. 


පානදුර රත්නපුර ප‍්‍රධාන කාපට් පාරේ පනස් තුන් වන සහ පනස් හතර වන කණු අතර පිහිටි අතුරු පාරක් අසල සිටි තරුණයෙකුගෙන් ‘‘දොඩම්පේ මුදලාලි’’ ගැන දන්නවාදැයි විමසුවෙමි. ඔහු ද හරිහැටි දැන නොසිටියේ ය. ඒ ‘‘දොඩම්පේ මුදලාලි’’ගේ ගම වූ දොඩම්පේ ‘අධිකාරිය’ ගමේ දී මා මුහුණ දුන් තත්ත්වයයි. 


නමුත් ඒ තරුණයා මට හෝඩුවාවක් දුන්නේ ය. 


‘‘පාරෙන් එහා පැත්තේ අර පේන ගෙදර ඉන්න සෝමවීර මාමා නම් දන්නවා ඇති. පොඩ්ඩක් අහලා බලන්න.’’ යැයි කීවේ අව්‍යාජයෙනි. 


තරුණයා කී දෙය සැබෑය. අයි.කේ. සෝමවීර මහතා හැට පස් වන වියේ පසුවන කාරුණික ගැමියෙකි. ‘‘දොඩම්පේ මුදලාලිත් එක්ක මම කතාබහ කරලා තියනවා. හොඳට ඇඟපත තිබුණ හතර රියං මිනිහා. එයා ගේ මරණය සම්බන්‍ධයෙන් හැබෑම තොරතුරු මට හරියට මතක නෑ. ආණ්ඩු පෙරළන්න කුමන්ත‍්‍රණය කරා කියලා සීඅයිඩී එකේ හතර වෙනි තට්ටුවෙන් පහළට දාලා මරලා දැම්මා කියලා තමයි අහලා තියෙන්නේ’’ සෝමවීර මහතා කතාව ආරම්භ කළේ ය. 


’‘දොඩම්පේ මුදලාලි’’ නමින් හැඳින්වූයේ එල්.වී. පොඩිඅප්පුහාමි හෙවත් ලොග්ගම විදානලාගේ පොඩිඅප්පුහාමිය. තිස් පස් වන වියේ පසුවූ ඔහු 1965දී බලයට පත්වූ ඩඩ්ලි සේනානායක ආණ්ඩුව පෙරළා දැමීමට කුමන්ත‍්‍රණය කළැයි රහස් පොලිස් අත්අඩංගුවට පත් විය. ඔහු 1966 සිංහල අවුරුද්ද ගෙවී දින දෙකකට පසු රහස් පොලිස් මූලස්ථානයේ හතර වෙනි තට්ටුවෙන් පැන සියදිවි නසා ගත් බවට එවකට පැවති රජය කීවද, සැබෑවටම සිදුව තිබුණේ ඔහු මරා දැමීමක් බවයි දොඩම්පේ ගමේ වැඩිහිටියන්ගේ විශ්වාසය. 


‘‘ඔය සිද්ධිය වෙනකොට මට අවුරුදු දාසයක් විතර ඇති. එතකොට අද වාගේ තොරතුරු දැනගන්න රේඩියෝ නාළිකා, ටී.වී නාළිකා, ජංගම දුරකතන ආදිය තිබුණේ නෑ. ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ පළවෙනි සහ දෙවෙනි සේවයේ ප‍්‍රවෘත්ති වලින් තමයි තොරතුරු දැනගත්තේ. දිනමිණ පත්තරේ තිබුණා. ඇත්ත පත්තරේ තිබුණා. උදේ, දවල්, හවස සහ රෑ තමයි ප‍්‍රවෘත්ති තිබුණේ. රටේ යම් වැදගත් දෙයක් වුණොත් හැමෝම ප‍්‍රවෘත්ති වෙලාවට රේඩියෝ තියන තැන්වලට රොක් වෙනවා.’’ සෝමවීර මහතා මතකය අවදි කළේ ය. 


‘‘දොඩම්පේ මුදලාලි’’ගේ ගම රත්නපුර පානදුර පාරේ දොඩම්පේ ‘අධිකාරිය’ ගමයි. දොඩම්පේ, අධිකාරිය, තුන්අඳහේන මේ ගම් එකට පිහිටා තිබේ. එල්.වී. පොඩිඅප්පුහාමි හෙවත් ‘‘දොඩම්පේ මුදලාලිගේ’’ පියා එල්.වී. බන්දුලහාමිය. අම්මා නුගමුන්න ගමඇතිගේ රන්මල්හාමිය. ‘‘දොඩම්පේ මුදලාලි’’ මේ යුවළගේ පස් වන දරුවාය. 


දොඩම්පේ මුදලාලිට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකි. වැඩිමහල් සහෝදරියන් ද දෙදෙනෙකි. බාල සහෝදරයින් දෙදෙනකු වන අතර එක බාල සහෝදරියකි. ලොකුම අක්කලා දෙදෙනාය. ඒ ලොකුමැණිකේ සහ පොඩිමැණිකේය. ඊළඟට ධනවර්ධන අයියාය. සිව්වැන්නා වීරවර්ධනය. පවුලේ පස් වැන්නා ‘‘දොඩම්පේ මුදලාලිය’’. ඔහුට බාල ගුණවර්ධනය. ඊළඟට හීන්මැණිකේ නංගීය. පවුලේ බාලයා ස්ටීවන්ය. දැන් මේ කිසිම කෙනෙක් ජීවතුන් අතර නැත. 


මම දොඩම්පේ මුදලාලි ගැන තොරතුරු දැනගන්නට හෝඩුවාවක් සොයන්නට මුලින්ම ගියේ ‘අධිකාරිය’ ගමේ ගංගාතිලක විහාරස්ථානයටය. එහි වැඩසිටි පොඩි හාමුදුරුවන්ට මගේ අවශ්‍යතාව දැනුම්දුන් විට උන්වහන්සේ එවැනි කෙනෙක් ගැන දැන නොසිටියහ. 


‘‘ඒ කවුද මහත්තයා. මම නම් අහලා නෑ. දන්න කියන වයසක කෙනෙක් හොයාගන්න ‘අධිකාරිය’ පැත්තට ගියොත් පුළුවන් වෙයි.’’ පොඩි හාමුදුරුවන්ගේ පිළිතුර විය. ඒ පිළිතුරෙන් නොසැලී යළි ප‍්‍රධාන පාරට එන විට හමුවූ තරුණයා ආගන්තුකයෙකුගේ උවමනාව හොඳින් දැන සිටියකු නිසා මගේ උත්සාහය සාර්ථක වුණේ සෝමවීර මහතාගේ හමුවත් සමගය. 


‘‘අපි යමු ‘‘දොඩම්පේ මුදලාලිගේ සහෝදරයෙකුගේ පුතෙක් ඉන්නවා ගුණරත්න කියලා එයා හම්බ වෙන්න. එයා තොරතුරු දන්නවා.’’ යැයි කී නිසා ගුණරත්න මහතා සොයා ගියද ඔහු ගෙදර නොසිටියේය. 


‘‘හරි පොඩ්ඩක් ඉන්න. තව කෙනෙක් ඉන්නවා. දොඩම්පේ මුදලාලිගේ සහෝදරයකුගේ දුවෙක් බැන්ද කෙනෙක්. අපි එහාට යමු’’ සෝමවීර මහතාගේ මගපෙන්වීම අනුව ගමන් ඇරඹුවෙමු. 


‘‘මේ ගංගාතිලක පන්සලට යන පාර නේද?’’ මම ඇසීමි. 


‘‘ඔව් මේ පාර දන්නවද? සෝමවීර මහතා මගෙන් පෙරළා විමසුවේය. 


‘‘ඔව් මම මුලින්ම ගියේ පන්සලට’’ මම කීවෙමි. 


‘‘දොඩම්පේ මුදලාලිගේ මල්ලී කෙනෙක් වූ ගුණවර්ධන මහතාගේ දියණියක හා විවාහ වී සිටින ජී.එම්. ජයරත්න මහතාගේ නිවසට අපි ගොඩවීමු. 


සුහද සිනහවකින් අපව පිළිගත් ජයරත්න මහතා දන්නා තොරතුරු පවසන්නට පටන් ගත්තේය. ඔහු වත්මන් කුරුවිට ප‍්‍රාදේශීය සභාවේ සභිකයෙකි. මීට පෙර ද සිව් වතාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කළ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකි. 


‘‘දොඩම්පේ මුදලාලිගේ මල්ලිගේ දුව එක්ක තමයි මම විවාහ වෙලා ඉන්නේ. ඒ කියන්නේ ගුණවර්ධන කියන මල්ලිගේ දුවෙක්. ගුණවර්ධන මාමා 2016 ජූනි මාසේ 26දා මියගියා. එයා මියයනකොට අවුරුදු අසූතුනක්. ‘‘දොඩම්පෙ මුදලාලි ජීවතුන් අතර හිටියා නම් අද වෙන කොට අවුරුදු අසූ අටක් විතර වෙනවා. එයා මැරෙනකොට අවුරුදු තිස් පහයි.’’ 


‘‘දොඩම්පේ මුදලාලි මැරෙනකොට මට අවුරුදු හතරයි. මිනිය බලන්න තරම්වත් මම උස නෑ. කවුරුහරි මාව උස්සලා පෙන්නුවේ. මිනීය ගෙනාපු වෙලාවේ හමුදාවෙන් පොලිසියෙන් හරියට හිටියා. මොකට හිටියද කියන්න මට තේරුමක් තිබුණේ නෑ. එයාගේ ගෙවල් තිබුණේ මේ පාරේ නෙවෙයි. එහා පාරේ. එතකොට ගමටම ගෙවල් දහයක් පහළොවක් තියෙන්න ඇති. ‘‘දොඩම්පේ මුදලාලි’’ එයාගේ කාර් එකෙන් ගමට එනකොට අපේ වයසේ ඊට වැඩිමහල් වයස්වල කොල්ලෝ කුරුට්ටෝ පස්සෙං එනවා. ඒ අයට මොනවාහරි දෙනවාමයි’’ ජයරත්න මහතා අතීතය සිහිපත් කරමින් කීවේ ය. 


‘‘දොඩම්පේ මුදලාලි’’ පරම්පරාවෙන් ධනවතෙක් නොවේ. සමාන්‍ය පවුලක කෙනෙක්. ඔහු අවිවාහකයෙකි. මියයන විට වැඩිපුර සිටියේ රත්නපුර නගරයේය. රත්නපුර නගරයේ පදික වෙළෙඳාමකින් ජීවිතය ඇරඹූ ඔහු මියයනවිට රත්නපුර නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට සහ පල්ලිය පාරේ රෙදි කඩයක් තිබූ බවට ඔහු ගැන තොරතුරු දන්නා අය කියති. එසේම ඒ කාලයේ හැටියට ඔහු ‘අලුත්ම මොටර් කාර්’ එකකට ද හිමිකම් කියූ තරුණයෙකි. ඒ නිසාම ඔහුට ‘මුදලාලි’ යන නම පටබැඳී ඇත. ගම දොඩම්පේ ‘අධිකාරිය’ වුවත් ‘‘දොඩම්පේ මුදලාලි’’ ලෙස කවුරුත් ඔහු හැඳින්වූහ. 


පිරිපුන් මනා දේහයකින් යුතු ඔහු තළෙළු වර්ණයෙන් යුතු විය. සරම කමිසය ඇන්ද අතර වැදගත් ගමනක් බිමනක් යද්දී සුදු ඇඳුමින් සැරසී කරට බාපනය දැමූ බව කීවේ සෝමවීර මහතා ය. 


එල්.වී. පොඩිඅප්පුහාමි හෙවත් දොඩම්පෙ මුදලාලි රට පුරා ජනප‍්‍රිය වූයේ මරණින් පසුවය. ‘අධිකාරිය’ ගමේ සාමාන්‍ය තරුණයකු වූ පොඩිඅප්පුහාමි ‘‘දොඩම්පෙ මුදලාලි’’ වීමේ ගමන ගැන අපට හෙළි කළේ ඔහුගේ ඥාති දියණියක වන හොලීපිටියේ පදිංචි චන්‍ද්‍රා දොඩම්පේ මහත්මියයි. විවාහ වීමෙන් පසු උපන් ගමෙන් පිටව ජීවත්වන ඇය සොයා යාමට සිදු වුණේ දොඩම්පේ මුදලාලිගේ ඡායාරූපයක් ඇගේ නිවසේ ඇති බවට ලැබුණ හෝඩුවාව ඔස්සේය. 


‘‘දොඩම්පේ මුදලාලි කියන්නේ මගේ මහප්පා. ඒ කියන්නේ තාත්තාගේ අයියා. මගේ තාත්තා ගුණවර්ධන. තාත්තා 2016දී මැරුණා. තාත්තා අපිට කියලා තියනවා මහප්පා ගැන. එක දවසක් මහප්පයි (දොඩම්පේ මුදලාලි) තාත්තායි රබර් විකුණන්න ගොරකඇළ හන්දියට ආවාලු. වේළපු රබර් ෂීට් කර තියාගෙන පයින්ලු එන්නේ. ගමේ රබර් වගාව තමයි තිබුණේ. කිරි කපලා රබර් ෂීට් හදලා ඒවා වේළලා විකුණලා තමයි කීයක් හරි හොයාගන්නේ.’’ 


‘‘තාත්තා කියන විදියට මේ සිද්ධිය වෙනකොට තාත්තට අවුරුදු පහළොවක් දාසයක් විතර ඇතිලු. මහප්පා තාත්තට වැඩිය අවුරුදු දෙක හමාරක් තුනක් වැඩිමහල්. රබර් ටික ගොරකඇළ රබර් කඩේට දීලා ගත්ත සල්ලිවලින් රුපියල් පහක් තාත්තාට දීලා කිව්වාලු ‘මේක අරං උඹ ගෙදර පලයං කියලා.’ මහප්පා රත්නපුර පැත්තට ඇවිල්ලා. මහප්පා ගියේ කොහොමද කියලා තාත්තට මතක නැතිලු. ඒ ආපු ගමන තමයි මහප්පා දොඩම්පේ මුදලාලි වෙලා ආපහු ගමට ගිහිං තියෙන්නේ’’ චන්‍ද්‍රා දොඩම්පේ මහත්මිය ඇය ඇසූ ඉතිහාස කතාව කීවාය. 


‘‘මේ පවුලේ අට දෙනෙක් නේ. මහප්පා කොහේ ගියාද කියලා හොයලා බලපු සිද්ධි එහෙම තාත්තට මතක තිබුණේ නෑ. කොහොම හරි මහප්පා රබර් විකුණලා ගත්ත සල්ලි වලින් රත්නපුර ටවුමට ඇවිත් පේව්මන්ට් එකේ රෙදි වෙළෙඳාමක් පටන් අරං තියනවා. ඒ වෙළෙඳාමෙන් තමයි මහප්පා දියුණු වෙලා තියෙන්නේ. තාත්තා කියපු විදියට ඊට පස්සේ මහප්පා ගමට යන්න එන්න පටන් ගත්තලු. ආච්චි අම්මට මහප්ප හරිම ආදරෙයිලු. ආච්චි අම්මා බලන්න එන එක පුරුද්දක් කරගෙනලු තිබුණේ. හැබැයි මහප්පා රත්නපුරේ නැවතිලා හිටියේ කොහේද? ගෙයක් තිබුණ ද? මේවා තාත්තලා දන්නේ නැතිලු. ඔරලෝසු කණුව ළඟයි, පල්ලිය පාරෙයි රෙදි කඩ දෙකක් තිබුණ බව දැනගෙන තිබුණා කියලා තාත්තා කියලා තියනවා’’ යැයි ඇය තවත් දන්නා විස්තරයක් කීවාය. 

 

 

‘‘මහප්පාගේ මරණය ගැන මට පොඩි මතකයක් තියනවා. එතකොට මට වයස අවුරුදු හතක් අටක් විතර ඇති. හරියටම සිංහල අවුරුදු දවස්. සිංහල අවුරුද්දට මහප්පා පවුලේ හැම කෙනාටම අලුත් ඇඳුම් අරං එනවා. මහප්පා ගමේ නොහිටියාට මහප්පා නිතර දෙවේලේ ඇසුරු නොකළට ගමට එනකොට අපි වගේ පොඩි එවුන්ට මොනවා හරි අරං එන හින්දා මහප්පා ගැන අපිට මතකයි. මහප්පාට ‘‘දොඩම්පේ මුදලාලි’’ කියලා කියනවා මතකයක් නෑ. මැරුණට පස්සේ තමයි ඒ නම දැනගත්තේ. පවුලේ වැඩිහිටියෝ කතාවුණා මහප්පා තට්ටු හතරකින් පහළට දාලා මරලා කියලා. ඒ කොළඹදී කියලා තමයි ආරංචි වුණේ. පුංචි අපිට ඒ සිද්ධිය ගැන ලොකු දැනුමක් තිබුණේ නෑ.’’ මේ වනවිට පනස් පස් වන වියේ පසුවන චන්‍ද්‍රා දොඩම්පේ මහත්මිය කරුණු අනාවරණය කළා ය. 

‘‘දොඩම්පේ මුදලාලි’’ට රත්නපුර නගරයේ ලොකු තැනක් තිබුණ බව කීවේ අයි.කේ. සෝමවීර මහතාය. 


‘‘රත්නපුර නගරයේ මහින්ද අබේසේකර කියලා කෙනෙක් හිටියා. එයා දොඩම්පේ මුදලාලිගේ සම වයසේ කෙනෙක්. හරක් මැරීමට විරෝධය පළකරලා නව අවිහිංසාවාදී තරුණ සංගමය කියලා සංවිධානයක් හැදුවේ මේ මහින්ද කියන කෙනා. එයාට ‘‘සුදු අයියා’’ කියලත් කියන බව දැනගත්තා. ඒවුණාට ගොඩාක් අය දන්නේ ‘‘ගව සුදා’’ කියලා. ඒක එයාට අගෞරවයට කියන එකක් නෙමෙයි ගෞරවයට කියන නමක්. එයා හරක් මස් කෑමට විරුද්ධව, හරක් මැරීමට විරුද්ධව හැත්තෑ ගණන්වල අත්සන් ලක්‍ෂයක පෙත්සමක් ඒ කාලේ ආණ්ඩුවට ඉදිරිපත් කරපු මනුස්සයෙක්. හැබැයි ඉතිං මේ කියන වකවානුවේ එයාගේ මේ සංගමය තිබුණද කියලා දන්නේ නෑ. නමුත් ‘‘දොඩම්පේ මුදලාලිගේ’’ සමීපතම හිතවතෙක් එයා. තව මහතුං අයියා කියලා කෙනෙකුත් ටවුමේ හිටියා. එයත් දොඩම්පේ මුදලාලිගේ ළඟම හිතවතෙක් කියලා අපි අහලා තියනවා.’’ සෝමවීර මහතා අතීතය අවදි කළේය. 


සෝමවීර මහතා මේ කළ අනාවරණය තවත් කිහිප දෙනෙක්ම තහවුරු කළෝය. 


‘‘අපිට අහන්න තිබුණේ මහප්පා මරුවා කියලනේ. හැම අවුරුද්දෙම මහප්පාගේ යාළුවෙක් වුණ ඔය මහින්ද අබේසේකර (ගව සුදා) මහත්තයා බුලත් අතක් අරං මහප්පාගේ සොහොන ළඟට ඇවිත් ඒක සොහොනට තියලා වැඳලා යනවා. මටත් මතකයි. හැබැයි දැන් එයත් මැරිලා.’’ චන්‍ද්‍රා දොඩම්පේ මහත්මිය කීවා ය. 


‘‘දොඩම්පේ මුදලාලි’’ ගේ ගම අද සම්පූර්ණයෙන් ම වෙනස් වෙලාය. එදා ගමේ තිබුණු රබර් වතුවලින් වැඩි හරියක් තේවතු බවට පත්ව තිබේ. එදා සරුසාර වෙල් යාය අද පුරන්ව ගොස් වල් වැදී ගිය මුඩු බිම් ය. ගුරුපාරවල් කොන්ක‍්‍රීට් පාරවල් වී එදාට වඩා පටුය. ඉඩම් කට්ටි කැඩී තැන තැන නව නිවාසය. වැඩිහිටි, තරුණ, බාල සියලු දෙනාම කාර්ය බහුලය. 


‘‘අද මේ ගමේ වාහනයක් නැති ගෙයක් නැති තරම්. අඩුම තරමින් යතුරුපැදියක්වත් තියනවා. ඔය කියන කාලේ දොඩම්පේ මුදලාලිටයි තව දෙන්නෙකුටයි තමයි වාහන තිබිලා තියෙන්නේ. ඒ කාලේ පෝඩ් ප‍්‍රිෆට් කාර් එක තමා ජනප‍්‍රියම කාර් එක. දොඩම්පේ මුදලාලිගේ කාර් එක 3 ශ‍්‍රී 7673 වගේ මට මතක. නිල් පාට කාර් එකක්. හරි සැපපහසු කාර්එක. දොඩම්පේ මුදලාලි කාර් එකේ වාඩිවුණාම ඔළුව කාර් එකේ වහලෙ වදිනවා. දැක්කම අපිට හරිම ආඩම්බරයි.’’ සෝමවීර මහතා පැරණි මතකය අවදි කළේය. 


හැටේ දශකයේ රත්නපුර මුද්දුව පිරිවෙනේ වැඩ විසූ හේන්පිටගෙදර ඤාණසීහ හාමුදුරුවෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය එක්ක සමීප සම්බන්ධකම් පවත්වපු කෙනෙක්. රත්නපුරේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය තේරුණේ හේන්පිටගෙදර නායක හාමුදුරුවන්ගේ උපදෙස් අනුවය. ප‍්‍රභූ පවුල්, ව්‍යාපාරිකයන්, නීතිඥයන් වැඩි පිරිස් උන්වහන්සේගේ සමීප ගිහි මිතුරෝ වූහ. 


‘‘දොඩම්පේ මුදලාලි’ගේ තොරතුරු දන්න අය පවසන්නේ ඔහු නගරයේ තරුණ පිරිස් අතර කැපී පෙනුණ උත්තුංග දේහධාරියෙක් නිසා හේන්පිටගෙදර ඤාණසීහ හාමුදුරුවෝ දොඩම්පේ මුදලාලි නම් තරුණයා සමග මිතු දමක් තිබූ බවය. ඒ ඔහුට අවුරුදු විසි අට තිහ වයසේදී බව ඔවුන් අසා ඇති තොරතුරුවලින් දැනගත් බව කියති. 

 

 


ඉතිරි කොටස ලබන සතියේ....... 

 

 

 


සටහන - ඡායාරූප 
අජිත්ලාල් ශාන්තඋදය



අදහස් (0)

සී.අයි.ඩී. 4 වැනි තට්ටුවෙන් වැටී මියගිය දොඩම්පේ මුදලාලිගේ ගම්බිම් සොයා ගිය ගමන

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5251 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1726 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site